ශාසන ඉතිහාසයේ වැදගත්කම සහ මූලාශ්‍ර ග්‍රන්ථලිපිය 01

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2600ක් පමණ කාලයක් ගෙවී ගොස් ඇති අතර ඒකාලය තුළ බුදුසසුන විකාශය වූඅයුරු නිරවුල්ව ඉදිරිපත්කිරීම සසුනේ ඉතිහාසය ලෙස මෙසේ පෙළ ගැසේ. තමන්වහන්සේගේ ධර්ම-විනය අවුරුදු 5000ක් කල් පවතීවා යැයි අදිටන් බල පිහිටවන ලද බැවින් බුදුසසුන තම දිවියෙන් හරි අඩක්ම ගෙවා අවසන් කර මැදි වියේ පසුවෙයි. ඒ ගෙවූ කාලපරිච්ඡේදය නොයෙක් ආකාරයේ සසුනට හිත-අහිත සිදුවීම්වලින්පිරී පවතී. ඒ අතර පිරිසිදු ථේරවාදී බුදුදහම සුරැකීමට පුරාණ සංඝපීතෲන්වහන්සේලාගේ ප්‍රයත්නය අතිශය ප්‍රශංසනීය වේ. එහෙයින් වර්තමානයේ සසුන් හිතැති සත්පුරුෂයන්ගේ දැනගැනීම පිණිස ඓතිහාසික මූලාශ්‍ර ඇසුරෙන් ඉදිරිපත් කරනු ලබන අභිමානවත් ‘සසුන් පවත’ මෙසේ කියන්නෙමු.

ශාසන ඉතිහාසයේ වැදගත්කම

ඕනෑම දේශයකට, ජාතියකට මෙන්ම උතුම් බුදුසසුනට ද අභිමානවත් ඉතිහාසයක් ඇත. එය ඇතැම් ජාතියක ඉතිහාසය අභිබවා යයි. වසර 2600ක පමණ මේ ඓතිහාසික පුවත සෑම බෞද්ධයකු විසින්ම දතයුතු වේ. මන්ද එය අපගේ අනන්‍යතාව බැවිනි. බුදුසසුනේ චිරපැවැත්මට එරෙහි නොයෙක් ආකාරයේ බලවේග බුදුසසුනට බැහැරින් පමණක් නොව ඇතුළතින්ද පැන නගින්නා වූ මෙවන්කලෙක නිස්සරණය පිණිස ධර්මය සොයා යන්නෙකුට හරි මඟසොයා ගැනීම අසීරුකටයුත්තක් වී ඇත. ධර්මය-අධර්මය හරිහැටි විසඳාගෙන ධර්මයේපිහිට සලසාගත යුතු බැවින්,නිවැරදි ධර්මය තෝරා බේරා ගැනීමට ශාසන ඉතිහාසය වැදගත්වේ. එය කියවන්නෙකුට මං මුලා නොවී හරිමඟ තෝරා ගැනීමට  පරිපූර්ණ මඟපෙන්වීමක් ලැබෙනු ඇතැයි අපගේ අදහස වේ. මන්ද පිරිසිදු ථේරවාදී ධර්ම-විනය අපිරිසිදු කරවන, සසුනට අහිතකර සිදුවීම්පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි බැවිනි. එහෙයින් ඒ සසුන්පවත මැනවින් දැනගෙන පිරිසිදු ථේරවාදී ධර්මයපිහිට කරගෙන දුක් සහිත සසරින් එතෙර වෙත්වා!

ශාසනික ඉතිහාසය පිළිබඳ මූලාශ්‍ර ග්‍රන්ථ

සම්බුදු සසුනේ ඉතිහාසය විමසා බලන්නෙකුට ඒ පිළිබඳව විමර්ශනය කළහැකි මූලාශ්‍ර ග්‍රන්ථ මොනවාද යන්න කෙටියෙන් හඳුන්වාදීම අවශ්‍ය වේ. මෙහිදී ලංකා ඉතිහාසය පිළිබඳ ඇති වංශකථාසාහිත්‍යයද, පාළි අර්ථකථා සාහිත්‍යයද, වෙනත් ඓතිහාසික සාහිත්‍ය කෘති ද මූලික වශයෙන් හඳුනාගතහැකි වේ. එහෙත් එදා මෙදා තුර ඉතිහාසය අරබයා ලියැවී ඇති ග්‍රන්ථ සහ ශාස්ත්‍රීය පළකිරීම් බොහෝවක් ඇති බැවින් මෙන්ම ඒවායේ නොයෙක් මතවාද මිශ්‍රව ඇති බැවින් නිවැරදි ථේරවාදී බුදුසමය සොයා යන අයෙකු තරමක මංමුලා බවකට පත් වේ. එහෙයින් නොයෙක් නවීන මත සමඟ මුසු වී නැති පිරිසිදු මූලාශ්‍ර ග්‍රන්ථ පිළිබඳ කෙටිවිවරණයක් පළමුව ඉදිරිපත් කිරීමෙන් මෙමඉතිහාස පුවත ඇරඹේ.

  1. දීපවංශය

    ක්‍රි.ව. පස්වැනිසියවසට පෙර රචනා කරන ලද බව සැලකෙන මෙම වංශකථාව ලංකා ඉතිහාසය පිළිබඳව ලියැවුණු පළමු ග්‍රන්ථය ලෙස සැලකේ. බොහෝසෙයින් පාළි (ශුද්ධ මාගධී) පද්‍යයෙන් ලියැවී ඇති මෙහි ශාසනික ඉතිහාසය පිළිබඳ තොරතුරු සංක්ෂිප්තව සඳහන්ව ඇත.

  2. මහාවංශය

    ක්‍රි.ව. හයවැනි සියවසේ පමණ මහාවිහාරීය භික්ෂුවක් වූ මහානාම හිමියන් විසින් රචනා කරනලද මහාවංශය ශ්‍රී ලංකා ඉතිහාසය මෙන්ම ශාසනිකඉතිහාසය පිළිබඳ තොරතුරු ඇතුළත් මාහැඟි කෘතියකි. මෙයද ශුද්ධ මාගධී භාෂාවෙන් ලියැවුණු පද්‍ය ඔස්සේ ඉතිහාසය ගෙන හැරදක්වන අතර ශාසන ඉතිහාසය පිළිබඳ සොයා බලන්නෙකුට වඩාත් විශ්වාසදායී කෘතියක් වන්නේ මහාවිහාරීය හිමිනමක්අතින් ලියැවුණු බැවිනි. අරිහත් උතුමන්වහන්සේලාගෙන්සහ සෙසු මගඵලලාභී ආර්යයන් වහන්සේලාගෙන් ලක්දිව බැබලූ එවන් යුගයක ග්‍රන්ථ සම්පාදනය කළ භික්ෂූන්ගේ ශීලය පිළිබඳ කිසිදු සැකයක් ඇති කළ යුතු නොවේ. එහෙයින් තම කෘතීන්හි දැන දැන මුසා බස් ඇතුළත් නොකළ උන්වහන්සේලා සත්‍ය තොරතුරු පමණක්ම රචනා කළ බවට විශ්වාසයෙන් යුතුව පිළිගත යුතු වේ. ඇතැම් විටෙක කටකථා ඔස්සේ පැමිණි දේශපාලන තොරතුරක් සඳහන් කිරීමේදී සුළු අතපසුවීමක් සිදු වීමට ඉඩ ඇති නමුදු ශාසනික ප්‍රවෘත්ති පිළිබඳ එවන් අතපසු වීමක් හෝ සිදු වී ඇති බව සිතිය නොහැකිය. දීපවංශය සංක්ෂිප්ත කෘතියක් බැවින් මහාවංශය බුදුසසුනේ ඉතිහාසය පිළිබඳ ඇති හොඳම වංශකථා සාහිත්‍ය කෘතිය බව නිසැකවම පැවසිය හැකි වේ.

    වර්තමානයේ මහාවංශය පිළිබඳව නොයෙක් සිංහල පරිවර්තන කෘති බිහිව ඇති බැවින් නිවැරදි ශාසන ඉතිහාසය සොයන්නවුන් ප්‍රවේසම් විය යුතු වේ.මන්ද ඇතැම් පරිවර්තක කර්තෘහු ශුද්ධ මාගධී භාෂාව පිළිබඳ මනා අවබෝධයකින් තොරව හුදු වචනාර්ථ ගෙන තමන්ගේ මතයන්ද මුසු කොට පරිවර්තනය කර ඇති බැවිනි.

    ශුද්ධ මාගධී භාෂා අවබෝධය නොමැති අය උදෙසා ශාසන ඉතිහාසය දැනගැනීමට ඇති සිංහල මහාවංශ අතර වර්තමානයේ විශ්වාස තැබිය හැක්කේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කරන ලද සිංහල මහාවංශය පමණක් බව අවධාරණය කළ යුතු වේ. කෙසේවෙතත් හැකි සියල්ලෝම සිංහල පරිවර්තන කෘති කෙරෙහි විශ්වාස නොතබා මාගධී භාෂාවෙන්ඇති ග්‍රන්ථ කලණමිතුරන්ගේ සහාය ඇතිවපරිශීලනය කරන්නේ නම් මැනවි.

  3. චූළවංශය

    මහානාම හිමියන් විසින් රචිත මහාවංශය මහසෙන් රජුගෙන් (274-302) අවසන් වන අතර එතැන් පටන් අඛණ්ඩව රචනා වුණු වංශකථාව චූළවංශය යන නමින් හැඳින්වේ. එහෙත් මෙය මහාවංශයම දිගටපවත්වාගෙන යාමක්බැවින් චූළවංශය යනනම නොයොදා මහාවංශයයන නමින්ම පවතී. මහසෙන් රජුගෙන් පසු ශාසනික තොරතුරු රැසක් මෙහි අඩංගුව ඇති අතර මෙයද මහාවංශය මෙන්ම මාගධී පද්‍යයෙන් රචිතය.

  4. සමන්තපාසාදිකා විනය අර්ථකථාව

    මහානාම රජුදවස(409-431) දඹදිව සිට පැමිණ අනුරාධපුර මහාවිහාරීය භික්ෂූන් වෙතින් ත්‍රිටකය පෙළ අර්ථකථා සමඟ උගෙන, සිංහල බසින් පැවති අර්ථකථා මාගධී භාෂාවටපෙරළමින් පාළි අර්ථකථා සම්පාදනය කළ මහාඅර්ථකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන් විසින් විනයපිටකයටලියන ලද අර්ථකථාව මෙනමින් හැඳින්වේ. මාගධී භාෂාවෙන්ලියන ලද මෙහි බුදුසසුනේ ඉතිහාසය සම්බන්ධ දඹදිව තොරතුරු සමඟ ලක්දිවට බුදුසසුන ලැබීමේ සිදුවීම් සවිස්තරව සඳහන් වේ.

    බුද්ධඝෝෂ හිමියන් විසින් පළමුකොටම සම්පාදනය කරන ලද විශුද්ධිමාර්ගය නම් ප්‍රශස්ථ කෘතිය ඇගයීමකට ලක් කළ මහාවිහාරීය මහරහතන් වහන්සේලා “මේ තෙමේ ඒකාන්තයෙන්ම මෙතේ බෝසතුන්” යැයි නැවත නැවතත් පැවසූ බව මහාවංශයෙහි සඳහන් වේ. (මහාවංශය සිංහල, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 174පිට). එහෙයින් උන්වහන්සේ විසින් රචිත මෙම අටුවා ග්‍රන්ථයන්හි ඇතුළත් ශාසනික ප්‍රවෘත්ති පිළිබඳ කිසිඳු සැකයක් ඇතිකළ යුතු නොවේ.

  5. වංසත්ථප්පකාසීතී

    ක්‍රි.ව. හත්වැනි සියවසෙන් පසුව ලියන ලද බවට සැලකිය හැකි මෙය මහාවංශයට ලියන ලද ටීකා ග්‍රන්ථයකි. ලංකා ඉතිහාසය හදාරන අයකුට මහාවංශය නිවැරදිව වටහා ගැනීමට වංසත්ථප්පකාසිනිය උපකාර වේ.

  6. ‍මහාබෝධිවංශය

    අනුරාධපුරයේ ශ්‍රී මහාබෝධියේ ඉතිහාසය පිළිබඳව මාගධී භාෂාවෙන් ලියන ලද මෙය බෝධීන්වහන්සේ හා සම්බන්ධ පුදපූජා පිළිබඳ තොරතුරු රැසක් ඉදිරිපත් කරයි. දහවැනි සියවසේ පමණ රචනා කරන්නට ඇතැයි සලකන මෙහි සිංහල අනුවාදයක් “සිංහල බෝධිවංශය” යන නමින් කුරුණෑගල යුගයේ විල්ගම්මුල සංඝරාජ මාහිමියන් විසින් රචිතය.

  7. දාඨාවංශය

    දහතුන්වැනි සියවසේ රජකළ ලීලාවතී රැජිනගේ කාලයේ රචිත පාළිදාඨාවංශය කිත්සිරි මේඝවණ්ණ රජුගේ කාලය අවසානය දක්වා දළදා වහන්සේගේ ඉතිහාසය දක්වයි.

  8. දළදා සිරිත

    දන්තධාතූන්වහන්සේ පිළිබඳ දාඨාවංශයට වඩා දික් වූ කාලපරිච්ඡේදයක් අළලා ක්‍රි.ව. දාහතරවැනි සියවස තරම් මෑත කාලයක ලියන ලද සිංහල ග්‍රන්ථයකි.

  9. ථූපවංශය

    පොළොන්නරු යුගයේවිසූ වාචිස්සර හිමියන් විසින් ලියන ලද පාළි ථූපවංශයක් ඇති අතර ඊට මඳකලකට පසුව ලියන ලද සිංහල ථූපවංශයක් ද ඇත. එය පරාක්‍රම පණ්ඩිත නම් කර්තෘ කෙනෙකු විසින් කර ඇති අතර මහාථූපය පිළිබඳ සවිස්තර වාර්තාවක් සපයයි.

  10. ධාතුවංශය

    බුදුරජාණන්වහන්සේගේ ලළාට ධාතූන්වහන්සේ පිළිබඳ ඉතිහාසය පෙරටුකොට ඇති මෙහිද පාළි හා සිංහල කෘති දෙකකි. ලියැවුණු කාලය අවිනිශ්චිත වන අතර මෙහි තොරතුරු බොහොමයක් රුහුණ වටා ගෙතී ඇත. ක්‍රි. පූ. දෙවන සියවසේ රජකළ කාකවණ්ණතිස්ස රජුසමයෙන් අවසන් වේ.

  11. පූජාවලිය

    වංශකථා මෙන් ‍ඓතිහාසික කෘතියක් නොවන මෙය බුදුරජාණන්වහන්සේගේ ‘අරහං’ ගුණය අළලා ලියැවුණු බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයකි. ජනප්‍රවාද හා වෙනත් ත්‍රිපිටක සාහිත්‍ය මූලාශ්‍ර කර ගත් මෙහි ශාසන ඉතිහාසය පිළිබඳ තොරතුරු සමහරක් සඳහන් වේ. එහෙත් මෙය සාහිත්‍ය වර්ණනා බොහොමයකින් යුතු විස්තරාත්මක වර්ණනයක් බැවින් ඓතිහාසික වටිනාකම වංශකථාවලට සාපේක්ෂව අඩු යැයි පැවසිය හැකි වේ.

  12. නිකාය සංග්‍රහය හෙවත් ශාසනාවතාරය

    ක්‍රි.ව. දහහතරවැනි සියවසේ, එනම් ගම්පළ යුගයේ දේවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති මාහිමියන් විසින් රචනා කරන ලද බව සැලකෙන මෙහි සම්බුද්ධ පරිනිර්වාණයෙහි පටන් දෙවැනි වීරබාහු (ක්‍රි.ව. 1391) රජුගේ කාලය දක්වා ඇතිවූ භික්ෂු නිකාය පිළිබඳ තොරතුරු සංගෘහිතය. ශාසනයට බැසගැනීම, මුලපිරීම, ආරම්භය යන අරුත් ඇති බුද්ධශාසන ඉතිහාසය ඉගැන්වීමේ ආරම්භයට සුදුසු කෘතියක් බැවින් මෙයට ‘ශාසනාවතාරය’ යන නම ද යොදා ඇත. එහෙයින් බුදුසසුනේ ඉතිහාසය කෙටියෙන් දැනගනු පිණිස මාහැඟි කෘතියක් ලෙස දැක්විය හැකි මෙහි බුදුසසුනේ චිරස්ථිතිය ප්‍රාර්ථනය කළ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න රාජරාජ මහාමාත්‍යාදීන් විසින් කරන ලද උපකාර, පරිත්‍යාග මෙන්ම ඒ ඒ නිකායයක විදග්ධ මහතෙරවරුන් විසින් නිර්මිත කතිකාදිය ද ඇතුළත් වේ. මෙහි සංස්කරණ කිහිපයක් වර්තමානයේ සොයා ගත හැකි වේ.

  13. රාජාවලිය

    විජයරජු පටන් දෙවැනි විමලධර්මසූරියරජු දක්වා වූ ලංකා ඉතිහාසය ඇතුළත් මෙය කවර කලෙක රචනා කරන ලද්දක් ද යන්න පිළිබඳ නිශ්චිත නිගමනයක් නැත. දෙවන විමලධර්මසූරියරජු දක්වා ලියැවී ඇති බැවින් දහඅටවැනි සියවසේ මුල් හරියේදී ලියන්නට ඇති බව සිතිය හැකිය. කෙසේ වෙතත් මෙය  ශාසන ඉතිහාසය පිළිබඳව වැදගත්කමින් අඩු කෘතියක් වන අතර වැඩි වශයෙන් ලෞකික තොරතුරු සඳහන්ව ඇත.

  14. සෙසු ග්‍රන්ථ

    මීට අමතරව සෙසු පාළි අර්ථකථා, රසවාහිනිය, අභිධර්මාවතාරය, දම්පියාඅටුවා ගැටපදය, සද්ධර්මාලංකාරය ආදී බොහෝ බෞද්ධ කෘතීන්හි ශාසන ඉතිහාසය පිළිබඳ වැදගත් හෝඩුවාවන් ඇතුළත් වේ. සසුන් හිතැති, ඉතිහාසය සොයන අයට මේ සෙසු ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන්ද නිවැරදි ඉතිහාසගත පුවත් සැකෙවින් දැන ගත හැකි බව අපගේ අදහස වේ.

    මෙසේ ශාසන ඉතිහාසය ගවේෂණය කිරීමට යෝග්‍ය වන පිරිසිදු ථේරවාදී අදහස් ගැබ්ව ඇති මූලාශ්‍ර ග්‍රන්ථ පිළිබඳ මූලික හැඳින්වීමකින් අනතුරුව සම්බුද්ධ පරිනිර්වාණයේ පටන් සසුනේ වගතුග පෙළගැස්ම ඇරඹේ. ඒ අනුව පළමුකොටම සකල ලෝකධාතුවම ඒකාලෝක කළ මිණිපහනක් නිවී ගියා සේ සර්වඥ සම්මාසම්බුදුරජාණන්වහන්සේ නිරුපාධිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීම පිළිබඳ පුවත ගෙනහැර දක්වන්නෙමි.

    සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳ මීළඟ ලිපිය හා සබැ‍ඳේ.

සම්පාදක
තිස්සදත්ත හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය