නිම්තෙරක් නොපෙනෙන්නා වූ සාංසාරික භවගමන තුළ අතරමං වී සරණක්, පිහිටක් පතන්නා වූ සත්ත්වයන් කෙරෙහි වූ කරුණාව පෙරදැරි කර දීපංකර සර්වඥ පාදමූලයේ පටන් සතර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා ප්‍රඥාධිකව පුරන ලදුවා වූ මහා පාරමී කුසලයෙන් පිරුණාවූ බෝධිසත්ත්වයන් වහන්සේ පශ්චිමභවිකව සිද්ධාර්ථ නම් ඇත්තේ වී අබිනික්මන් කොට සවසක් දුෂ්කර ක්‍රියාවෙන් පසු මැදුම්  පිළිවෙතට පැමිණ සිවුසස්දහම් අවබෝධ කොට සම්මාසම්බුද්ධත්වයට පත් වූ සේක. පුරා සතළිස්පස් වසක් මහාකාරුණිකභාවයත්, සර්වඥතාඥාණයත් මෙහෙයවා ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් අනේක සතසහස්‍ර සත්ත්වයන්ගේ කෙලෙස් පවස දහම් අමාපැනින් නිවා වදාරමින් නිවන්පුර පැමිණ වූ සේක. තථාගතයන් වහන්සේගේ බුදුකිස තුළ මුවින් නිකුත් වූවා වූ මඳ වූ වචන මාත්‍රයක් පවා සසර දුකින් පෙළෙන්නවුන්ට මහත් අස්වැසිල්ලක්ම විය. ඒ ආකාරයෙන් තථාගත ශ්‍රී මුඛයෙන් නික්මුණා වූ සුවාසූ දහසක් දහම්කඳ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණාදී නවාංගයක් වූ ශාසනය වශයෙන් බෙදා දක්වා ඇත. පිටක වශයෙන් තුනකි. මෙහි ඇතුළත් ගාථා සියගණනක් ඇතුළත් වූ ගෙය්‍ය වෙය්‍යාකරණ යන අංග දෙකට ඇතුළත් වූ ආත්මාර්ථ පරාර්ථ සාධනය කරන්නා වූ වේනෙය්‍ය ජනයාගේ අදහසට හා චරිතයට අනුරූපව දෙසා වදාළා වූ යහපත් අර්ථයන්ම උපදවන්නා වූ “සුත්තනිපාත” නම් වූ ධර්ම කොට්ඨාසයක් වෙයි.

උරග සූත්‍රය නම් වූ මෙම දේශනාව සිදු කරන්නාවූ කාලයේ භාග්‍යවතුන්වහන්සේ අලව් නුවර අග්ගාලව චේතිය ස්ථානයේ වැඩ විසූ සේක. මේ කාලයේ අලව් නුවරවාසී භික්ෂූන්වහන්සේලා විහාර කුටිසේනාසන ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටියහ. භික්ෂූහු ගස් කැපූහ. අනුන් ලවාද කැප්පවූහ. මේ අතර එක් භික්ෂුවක් දෙවියකු අධිගෘහිත වූ එක්තරා ගසක් කැපීය. මොහොතේ ගසට අරක්ගත් දේවතාවිය පෙනී සිටස්වාමීනි, තමන්වහන්සේට භවනක් කරනු පිණිස මාගේ භවන නොනසන සේක්වායැයි ඉල්ලීමක් කළේය. භික්ෂුව දේවතාවියගේ කීම නොඅසා ගස කපා දැමීය. එසේම දේවතාවියගේ දරුවාගේ අතද සිඳ දැම්මේය. දේවතාවියට එම භික්ෂුව මරාදැමීමට තරම් සිතක් පහළ වුවද පසුව කෝපය මැඬලාගෙනමේ භික්ෂුවගේ ජීවිතය නසන්නේ නම් එය මට නුසුදුස්සකි. මා මේ පිළිබඳව භාග්‍යවතුන්වහන්සේට සැල කරමි’යි සිතා භාග්‍යවතුන්වහන්සේ සිටි තැනට එළැඹියාය. එළැඹ, තමාට සිදුවූ දුක්ඛදායක ප්‍රවෘත්තිය සැලකළාය. එම අවස්ථාවේදී තථාගතයන්වහන්සේ,

යෝ වේ උප්පතිතං කෝධං
රථං භන්තංව ධාරයේ
තමහං සාරථිං බ්‍රෑමි
රස්මිග්ගාහෝ ඉතරෝ ජනෝ

යන ධම්මපදයෙහි සඳහන්වන ක්‍රෝධ වර්ගයේ දෙවන ගාථාව වදාළ සේක. “යමෙක් ඒකාන්තයෙන් උපන් ක්‍රෝධය ඉතා වේගයෙන් දුවන්නා වූ රියක් මෙන් දරාද, පාලනය කෙරේද, ඔහු මම රියදුරෙකැයි කියමි. අනෙක් ජනයා රැහැන අල්වා ගත්තෝ පමණකි”. යනු එහි තේරුමයි. ඉන්පසු තථාගතයන්වහන්සේභූතගාමපාතව්‍යතාය පාචිත්තියංයැයි උපසපන් භික්ෂූන් අරමුණුකොට සිකපදයක්ද පණවා වදාළ සේක. පසුව එම අවස්ථාවට එළැඹුණා වූ භික්ෂූන්වහන්සේලාට ධර්මය දේශනා කරනු පිණිස මෙම ගාථාව වදාළ සේක. කාරණා මෙසේ හෙයින් මෙම එකම කථාවස්තුව ස්ථාන තුනක සංග්‍රහ වී ඇත. විනයපිටකයෙහි, ධම්මපදයෙහි හා සුත්තනිපාතයේ මෙම උරගසූත්‍රය යන ස්ථානයන්යහිය. තථාගතයන්වහන්සේ උරගසූත්‍ර දේශනය ආරම්භ කරමින්

 යෝ උප්පතිතං විනේති කෝධං
විසටං සප්පවිසංව ඕසධේහි
සෝ භික්ඛූ ජහාති ඔරපාරං
උරගෝ ජින්නමිව තචං පුරාණං

යන ගාථාව දෙසා වදාළ සේක.

එහි අන්තර්ගතය මෙසේය. “යමෙක් සිරුර පුරා පැතිරුණ සර්පවිෂ ඖෂධවලින් නසාලන්නාක් මෙන් චිත්ත සන්තානයේ උපන්නාවූ ක්‍රෝධය දුරුකරලන්නේ නම් තැනැත්තා පැරණි සැව අතහරින්නා වූ සර්පයෙක් මෙන් පංචඕරම්භාගීය සංයෝජන නම් වූ මෙතෙර අතහරී.” යමෙක් තමාගේ සිතට නැඟුනාවූ ද්වේෂ සිතුවිල්ලක් කෙසේ විනයනය කළ යුතුද, නසාලිය යුතුද? මේ විනය සංවරවිනය, පහානවිනය වශයෙන් දෙවැදෑරුම් වේ. මේ දෙවැදෑරුම් විනය එක එකක් පස් අයුරකින් බෙදේ. සංවරවිනයසීලසංවරය, සතිසංවරය, ඤාණසංවරය, ඛන්තිසංවරය, විරියසංවරය යැයි ආකාර පසෙකි. යමෙක් සීලයෙන් සංවර වේ නම් එය සීලසංවරයයි. යමෙක් සිහිනුවණින් යුතුව ඇස ආදී ඉන්ද්‍රියයන් රකිමින් විසභාග අරමුණුවලට යොමු නොකර සිහියෙන් යුක්තව වසන්නේ නම් සතිසංවරයයි. විපස්සනාව සමග යෙදුනා වූ ප්‍රඥාව නිසා තණ්හාව ආදී ශ්‍රෝතයන් (ප්‍රවාහයන්) විෂ්කම්භණ වශයෙන් ප්‍රහාණය වේ.එම විශ්ඛම්භිත ශ්‍රෝතයන් මාර්ග ක්ෂණයෙහි යෙදෙන ප්‍රඥාවෙන් සියල්ලෙන් සියල්ල ප්‍රහාණය කරයි, වසා දමයි. එය ඤාණ සංවරයයි. සීතල, උණුසුම ආදිය ඉවසීම තුළින් යමෙක් යම් සංවරයකට පත් වේ නම් ඛන්තිසංවරයයි. යමෙක් තම චිත්තසන්තානය තුළ උපන්නා වූ අකුසල්වලට අයත් කාමවිතර්ක ආදී විතර්ක නොඉවසා බැහැරකොට නසා දැමීමට වෙරදරන්නේනම් එය විරියසංවරයයි. මේ සියලු සංවරයෝ, සංවර විය යුතු, නැසිය යුතු කායවාග්දුශ්චරිතාදීන්ගෙන් වළක්වනු ලබන බැවින් සංවරය යැයි දුශ්චරිත නසන බැවින් විනය යැයි හඳුන්වනු ලැබේ. තවද යමෙකුගේ සිතේ පවත්නාවූ විසමාකාර දෘෂ්ටී හා අනර්ථකර සිතුවිලි විදසුන් නුවණින් නැසීම තදංගප්‍රහාණය නම් වේ. උපචාර අර්පණා ආදී වූ ප්‍රභේද ඇති සමාධිය කරණකොටගෙන පංවනීවරණ තාවකාලිකව යටපත් කිරීම විශ්කම්භන ප්‍රහාණය නම් වේ. යම් සිවුමග නුවණින් ක්ලේෂයාගේ නැවත නූපදනා පරිදි නැසීමක් වේද එය සමුච්ඡේද ප්‍රහාණ නම් වේ. එමෙන්ම ඵලක්ෂණයෙහි යම් ක්ලේෂප්‍රහාණයක් වේද එය පටිප්පස්සද්ධි ප්‍රහාණය නමි. සියලු සංඛතධර්මයන්ගෙන්ම නිදහස් වුණු බැවින් නිර්වාණයම නිස්සරණ ප්‍රහාණයයි.

මේ සියල්ල අතහැරිය යුතු යන අර්ථයෙන් ප්‍රහාණය යැයිද, නැසිය යුතු අර්ථයෙන් විනය යැයි හඳුන්වයි. මේ පිළිබඳව බොහෝ දෑ සඳහන් කළ යුතු වුවද නැවතත් ප්‍රධාන මාතෘකාව වෙතම එළඹෙමු. තමාගේ සිතට නැ‍ගෙන්නා වූ ද්වේෂ සහගත සිතුවිල්ලක් මැඬලා, ඉවත් කළ යුතු අයුරු සඳහන් දෙසුමකි ආඝාත පටිවිනය සූත්‍රය. (අංගු 03 ආඝාතවර්ගය 302 පිටුව බු..මු.) සාරිපුත්ත ධර්මසේනාධිපතීන්වහන්සේ මේ අයුරින් මේ ධර්මපරියාය දේශනා කොට වදාළ සේක. යම් අපිරිසිදු කායසමාචාර ඇති නමුදු පිරිසිදු වාග්සමාචාර ඇත්තෙක් කෙරෙහි ද්වේෂයක් හටගත්තේ වී නම් ඔහුගේ අපිරිසිදු කායසමාචාරය සිහි නොකොට, මෙනෙහි නොකොට පිරිසිදු වාග්සංවරය මෙනෙහි කොට ද්වේෂය දුරු කළ යුතුය. පාංශුකූලික භික්ෂුවක් මහමඟ දමා ඇති දුර්වල රෙදිකඩක් දැක වම්පාදයෙන් පාගා දකුණුපයින් එහෙ මෙහෙ විදහා ගත දිග හැර බලාගත හැකි හරවත් කොටසක් වේ නම් පමණක් සිවුරු පිණිස  එය ගනීද එසේ පිරිසිදු වාග්සුචරිතය පමණක් මෙනෙහි කොට තැනැත්තා කෙරෙහි ද්වේෂය දුරුකළ යුතුය.

තවද වාග්සමාචාර නැති කායසුචරිතය, සංවරය ඇත්තාවූ පුද්ගලයෙකු කෙරෙහි ද්වේෂයක් හටගත්තේ වී නම් එය පිපාසයෙන් පීඩිත වූ විඩාපත් දියබීමට කැමති පුරුෂයෙක් සෙවෙල් හා පෙඳපාසිවලින් ගැවසුණා වු පැන්පොකුණක් දැක සෙවෙල්පෙඳපාසි අතින් ඈත් මෑත් කොට දිය බී පවස නිවාගන්නේ යම් සේද එසේම වචීදුශ්චරිතය ඉවත්කොට කායසුචරිතයම මෙනෙහි කොට දුරුකළ යුතුය.

යමෙකුගේ කායසුචරිතයද නැත්තේ වේද, වාග්සුචරිතයද නැත්තේ වේද, නමුදු කලින්කල සිත පිරිසිදුකර ගැනීමේ යෙදෙන්නා වූ මනසින් කලින් කලට පමණක් ස්වල්ප මාත්‍ර වශයෙන් හෝ සුචරිතයෙහි හැසිරෙන්නේ වේද එබන්දෙකු කෙරේ නැඟුනාවූ ද්වේෂයක් වේද කලින් කලට පමණක් ස්වල්ප මාත්‍ර වශයෙන් හෝ සුචරිතයෙහි හැසිරෙන්නේ ගවයෙකුගේ කුර ගැටීමෙන් සෑදුනා වූ කුඩා වළක ඇති දිය පොදක් පානය කරන්නාවූ පිපාසිත විඩාපත් පුද්ගලයෙකු මෙන් මනෝ සුචරිතයම මෙනෙහිකොට දුරුකළ යුතු වෙයි.

තවද කාය වාග් මන යන්නා වූ තුන්දොරෙහි කිසිම අයුරකින් සංවරයක් නැති දුශ්චරිතවත් වූ තැනැත්තෙකු පිළිබඳව නැඟුනාවූ ද්වේෂයක් වේද එය මේ අයුරින් දුරු කළ යුතුය. යම් ආබාධ ඇති දුකට පත් අසරණ පුද්ගලයෙක් දීර්ඝ මාර්ගයකට බැසගත්තේ වෙයි. ඔහුට යා යුතු මඟද දුරය. ඔහු විසින් ගෙවා පැමිණියා වූ මඟද දුරය. යහපත් ආහාර නොලබයි. සත්ප්‍රාය බෙහෙත්ද නොලබයි. උපස්ථායකයකුදු නොමැත්තේය. තවත් මඟම යන්නා වූ පුරුෂයෙක් ඔහු දකී. ඔහු මේ තැනැත්තා කෙරේ කරුණාවම පතුරුවයි. මෙත් සිතම පතුරුවයි. දයාවම දක්වයි. මේ අසරණ රෝගී පුද්ගලයා විපතට නොපැමිණේවායි සිතයි. එසේ ත්‍රිවිධ ද්වාරයම අසංවර දුශ්චරිතවත් පුද්ගලයා කෙරෙහි මේ තැනැත්තා සුචරිතයක් නැත්තේ අසත්පුරුෂයෙකි. අකුසල්ම රැස් කරයි. මෙලොවදීද සුවයක් නොලබයි. පරලොව සුගතියක්ද නැත. නිරයන්හි අනන්ත වූ  දුක්ඛයන් උරුමවීමට නියමිතය. සසරට කනුවක් යැයි සිතමින්මෙත් සිතම පාමින් ද්වේෂය තම සිතින් බැහැර කළ යුතුය. යමෙක් කාය, වාග් මනස යන ත්‍රිවිධ ද්වාරයෙන්ම සුචරිතවත්ද, සංවරද එබඳු පුද්ගලයා කෙරේ හටගත් ද්වේෂය පිරිසිදු දිය ඇති පස්පියුමින් සැදි පියුම්විලක මිහිරි දිය බී වැලිතලාවේ විඩා හරින්නාවූ පුරුෂයෙක් මෙන් සුචරිතවත්භාවයම මෙනෙහි කොට දුරුකළ යුතුය. මේ අයුරින් පස් අකාරයකට තම සිත තුළ උපන් ද්වේෂය දුරු කළ හැකිය. වහවහා දුරුකළ යුතුය. සත්පුරුෂයන් හට ද්වේශ කිරීම මහත් වූ අනර්ථයක් ගෙනදෙන බැවිනි. මෙසේ ද්වේෂය දුරුකරන්නාවූ තැනැත්තා අනාගාමී මාර්ගයෙන් සර්වාකාරයෙන්ම ද්වේෂය නම් වූ කෙළෙස් ධර්මය දුරුකිරීමට සමත් වේ. ඔහු ස්වකීය ආත්මභාව සංඛ්‍යාත ආධ්‍යාත්මික ආයතනයන්ද, අනුන්ගේ ආත්මභාව සංඛ්‍යාත වූ බාහිර ආයතනයන්ද අතහරී. නැතිනම් කාම, රූප, අරූප යන භවයන් අතහැර උත්තමාර්ථය වූ නිවනම සාක්ෂාත් කර ගනී.

සම්පාදක
ගවේසී භික්ෂුව

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය
නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk