සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ඉක්මගිය පොසොන් පුරපසළොස්වක් දින ලක්දිව අනුරාධපුරය සමීපයේ මිහින්තලා වන පෙදෙස සම්බුදුදහම් සිරියෙන් අලංකාර කරමින් උතුම් සම්බුදුසසුන් පණිවිඩය රැගෙන මහාමහින්ද මහරහතන්වහන්සේ ප්‍රමුඛ ධර්මදූතයන්වහන්සේලා පිරිස දඹදිව සිට පැමිණ ඒ මිස්සක පව්වට සැපත් වූහ. දඹදිව දීපචක්‍රවර්තී වූ ධර්මාශෝක මහරජාණන්ගේ අතිජාත පුත්‍රරත්නය වූ මිහිඳු මාහිමියන්වහන්සේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන්වහන්සේ වෙතින් ලත් සසුන් පැවිදි උපසපන් බව ඇතිව සවුකෙළෙසුන් නසා මහාරහත්භාවයට පත්ව, සර්වඥ සම්මා සම්බුදුරජාණන්වහන්සේ ජීවමාන අවධියේදී “මගේ ශාසනය මහින්ද භික්ෂුව විසින් ලක්දිව පිහිටවනු ලබන්නේය” යනුවෙන් කරන ලද ප්‍රකාශය සැබෑ කරවමින් ඒ දහම් පණිවුඩය රැගෙන ලක්දිව සසුන ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උදාර අදහසින් මෙහි වැඩම කළහ.
 
එය ක්‍රි.පූ. 307දී රාජශ්‍රීයට පත් දෙවනපෑතිස්රජුගේ රාජ්‍ය සමයයි. තෙවන ධර්මසංගායනාව ඉන්දියාවේදී පවත්වා අවසන ධර්මාශෝක මහරජුගේ අනුග්‍රහයෙන්, මොග්ගලීපුත්තතිස්ස මහරහතන්වහන්සේගේ මඟපෙන්වීමෙන් දේශදේශාන්තරයට ධර්මප්‍රචාරක කටයුතු සඳහා ධර්මදූත පිරිස් පිටත්කර යවනු ලැබීය. එකල ලක්දිව මහළු මුටසීව රජුගේ රාජ්‍ය විචාරණය වූ අතර ඒ රජතෙම මහළු බැවින් සසුනට දිරිදීමට සමත් නොවන බව දුටු මහරහතන්වහන්සේලා දෙවනපෑතිස් රජු අභිෂේක වනතුරු කල්බැලූහ. ඉක්බිති දෙවනපෑතිස් රජදවස ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරුන්වහන්සේලා සතරනමත්, සුමන නම් සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක නම් අනාගාමී උපාසකතුමාත් පිරිවරාගත් මහාමිහිඳු මාහිමියන්වහන්සේ ලක්දිවට වැඩම කළ සේක.
 
එකල ලක්දිව පොසොන් සමය සැණකෙලි සමයක් වීය. පොසොන් පොහෝදින රජු සතළිස්දහසක් පිරිවර සමඟ මුව දඩකෙළියට පිටත්ව ගියේ විනෝදය පිණිස වේ. ඒ අතර එක්තරා දෙවියෙක් මුවවෙසක් ගෙන රජුට පෙනෙන අන්දමින් තණ කන අයුරින් සිටියේය. රජු නිදැල්ලේ හැසිරෙන මුවපොව්වාට විදීම ස්වකීය ක්‍රීඩාවට යුතු නොවන බව ප්‍රකට කරමින් දුනුදිය ඇද හඬ නංවා මුවා දුවන්නට සලස්වා පසුපස එලවාගෙන ගියේය. ඒ ගමන කෙළවර වූයේ මිහින්තලා පව්ව අබියසදී මිහිඳු මාහිමියන් හමුවීමෙනි.
 
මිහිඳු මාහිමිපාණන්වහන්සේ මිහින්තලා පව්වෙහි තමන්වහන්සේ පමණක් පෙනෙන්නට සලස්වා අදිටන් කර රජතුමාට “තිස්ස” යැයි ආමන්ත්‍රණය කළහ. තමන්ට නමින් කතාකිරීමට සමත් අයෙක් මේ දිවයිනෙහි නොමැති බැව් සිතූ රජු, මිස්සක පව්වේ වැඩ හුන් මාහිමිපාණන්වහන්සේ දැක බියට පත් වූයේය. තෙරුන්වහන්සේ තමන්වහන්සේ දඹදිව සිට භාග්‍යවතුන්වහන්සේගේ පණිවුඩය රැගෙන පැමිණි ධර්මදූත‍යකු බව පවසමින් තමන්වහන්සේව හඳුන්වා දී සෙසු පිරිසිද පෙනෙන්නට සැලැස්වූහ.
 
ඉක්බිති රජුගේ බුද්ධිමත් භාවය මැන බැලීමට අවශ්‍ය වූ තෙරුන්වහන්සේ ඒ සඳහා ඉතාමත් තර්කානුකූල බුද්ධි පරීක්ෂණයක් සිදුකළහ. ඒ සමීපයේ තිබුණු අඹගසක් කේන්ද්‍රකොට ගෙන ප්‍රශ්න කිහිපයක් ඇසූ අතර වහා වැටහෙන නුවණක් තිබූ රජු ඒ සියල්ලට තර්කානුකූලව පිළිතුරු දුන්නේය. ඉක්බිති නෑයන් කේන්ද්‍රකරගෙන තවත් ප්‍රශ්න කිහිපයක් ඇසූ අතර ඒ සියල්ලටද මැනවින් පිළිතුරු දීමෙන් මේ රජතෙමේ ක්ෂණයකින් කිසියම් ගැටළුවක් නිරාකරණය කරගැනීමේ වහා වැටහෙන තීක්ෂණ බුද්ධියකින් හෙබි අයකු බව මිහිඳු මාහිමියන්වහන්සේ තේරුම් ගත්හ.
 
මෙසේ රජුගේ බුද්ධිය පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න කිහිපයක් ඇසූ මිහිඳු මහරහතන්වහන්සේ අනතුරුව රැස්ව සිටි රජු ප්‍රමුඛ සතළිස්දහසක් පිරිසට ‘චුල්ලහත්ථිපදෝපම’ සූත්‍රයෙන් දහම් දෙසූහ. මජ්ඣිමනිකායෙහි එන සමස්ත සම්බුදුසසුනේ ශීල – සමාධි – ප්‍රඥා සංඛ්‍යාත නිවන්මාර්ගය මධ්‍යම ප්‍රමාණයෙන් ඇතුළත් වූ සූත්‍ර දේශනයක් ලෙස මෙකී චුල්ලහත්ථිපදෝපම සූත්‍රය සලකා, උන්වහන්සේ මුලින්ම සම්බුදුසසුන පිළිබඳ මූලික අවබෝධය ලබා දෙනු වස් මෙයින් දහම් දෙසූහ. ඒ පළමු දහම් දේශනය අවසානයේම රජු ප්‍රමුඛ සතළිස්දහසක්දෙනා තෙරුවන් සරණ ගොස් බුදුසසුන වැළඳගත්හ. අවුරුදු පන්දහසක් කල් බුදුසසුන නිරුපද්‍රිතව පවතින බවට සර්වඥයන්වහන්සේ විසින්ම අදිටන් බල පිහිටුවන ලද ශ්‍රී ලංකාද්වීපය තුළ සම්බුදු පණිවුඩය වාතයට මුසු විය. ලාංකික වැසියන්ගේ අපමණ සිත්සතන් නිවී සනහාලන දහම් අමාවැසි ලක්දෙරණ තුළ වැටෙමින් සදහම් සිසිලස දසත පැතිරෙන්නට විය. ඒ උතුම් පොසොන් පෝදා ලක්දිව අගරජ ප්‍රමුඛ රටවැසියා උතුම් තිසරණයෙහි පිහිටියෝය.
 
අනතුරුව රජු ප්‍රමුඛ පිරිස ආපසු ගිය අතර මිහිඳු මාහිමියන් ප්‍රමුඛ පිරිස මිහින්තලා පව්වෙහිම වැඩ හිඳ රාත්‍රියෙහි සුමන සාමණේරයන් වහන්සේ විසින් දෙවියන් සහිත සමස්ත රටවාසීන්ටම එකහඬින් ඇසෙන සේ කාලඝෝෂා කරන ලදුව, මිහිඳු මාහිමියෝ සමචිත්තපරියාය සූත්‍රයෙන් ධර්මය දේශනා කළහ. ඒ‍ පොසොන් පොහෝදින ලක්වැසි බෞද්ධ සැමටම නැවත නැවතත් සිහිකටයුතු වටිනා දිනයක් වෙයි. ලක්දෙරණ තුළ බුද්ධ ශ්‍රාවක මහසඟරුවනගේ කසාවත පැහැසී එන සුපිරිසිදු සුළඟ හමා ගිය පිවිතුරු දිනය වෙයි. ලංකාද්වීපයටම බෞද්ධ දැහැමි රජෙකු බිහිකළ දැහැමි පුන් පොහෝදිනය වෙයි. ලක්වැසි සතළිස්දහසක්දෙනා තෙරුවන්සරණ ගිය බෞද්ධ උපාසකයන් බවට පත් කළ පින්වත් දිනය වෙයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව ලෝකවාසී දෙව්බඹුන් ධර්මශ්‍රවණයට ලක්දිවට පළමුවෙන්ම රැස්වූ, සැදැහැයෙන් දහම් ශ්‍රවණය කළ උතුම් දිනය වෙයි. ලක්දිව වාතලයට ඒ පිවිතුරු සද්ධර්මය මුසු වෙමින් දසත පැතිර ගිය, අසන සියල්ලෝම සුවපත්භාවයට, සන්සිඳීමට පත් කළ සන්හිඳියාවෙන් යුතු දිනය වෙයි. අවුරුදු පන්දහසක් කල් නොනැසී පවතිනු පිණිස ලක්දෙරණ මත බුදුසසුනේ පණිවුඩය බෙදා දුන් දිනය වෙයි. කල්ප කෝටි ගණනකිනුදු ප්‍රමාණය කළ නොහැකි අතිදීර්ඝ කාලයක් පුරන ලද සමතිසක් පාරමී බලයෙන් දේශනා කර වදාළ අතිසුපරිශුද්ධ ශ්‍රී සද්ධර්මය ලක්දිවට දායාද වූ දිනය වෙයි. ඒ සුපිරිසිදු ශ්‍රී සද්ධර්මය ලක් දෙරණ තුල චිරස්ථාපිත කළ මහා විහාරයේ ඇරඹුම සනිටුහන් කළ දවසයි.
 
ඒ අතිඋතුම් පොසොන් පොහෝදිනයෙහි අපට ලැබුණු උතුම් සද්ධර්ම දායාදය සිහිකරමින්, මහාකාරුණිකයන්වහන්සේ වදාළ ශීල – සමාධි – ප්‍රඥා සංඛ්‍යාත ත්‍රිශික්ෂා පූරණය කරගෙන සංසාර දුක්ඛස්කන්ධය කෙළවර කර අමෘතමහානිර්වාණය සාක්ෂාත් කරගැනීමට පෙළ ගැසෙමු.

 

සම්පාදක
තිස්සදත්ත හිමි
Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය