මහාවිහාරය වනාහි ථෙරවාදී බුදුදහමේ හදවතයි. ප්‍රථම ධර්මසංගායනාවෙන් ත්‍රිපිටකයට නැංවුණු බුදුවදන නිවැරදි අර්ථකථන සමඟ පරම්පරාවෙන් පරම්පරාවට සුරක්ෂිත කළේද, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරමින් එහි චිරපැවැත්ම තහවුරු කළේද, පසුකලෙක ඇතිවුණු අධර්මවාදී වූ අභයගිරික ආදී විපරීත මත ඛණ්ඩනය කරමින් ථෙරවාදී බුදුදහම රැකගත්තේද මහාවිහාරයයි. මේ එසේ සුපිරිසිදුව තථාගත වචනය දීපනය කළ මහාවිහාරයේ අන්තර්ජාල අනුවාදයයි.

අනුබුදු මිහිඳු මාහිමියන්වහන්සේ විසින් ලක්දිවට රැගෙන එන ලද සුපිරිසිදු ථෙරවාදී බුදුදහම ලක්දෙරණ තුළ මුල්බැසගන්නා ලද්දේ මහාවිහාරය මූලික කරගෙනය. එතැන් පටන් ඒ සුගත තථාගත නිර්මල ශ්‍රී සද්ධර්මය නොකිලිටිව රැකගෙන එනු ලැබූයේ මහාවිහාරීය භික්ෂු පරපුර විසිනි. දෙවන පෑතිස් මහරජු විසින් මිහිඳු මහරහතන්වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වෙත අනුරාධපුර මහමෙව්නා වනෝද්‍යානයෙහි ඉදි කර පූජා කරන්නට යෙදුණු තිස්සාරාමය හා ඒ ඇසුරු කර ගත් විහාර ආරාම ‘මහාවිහාරය’ නම් වූ අතර එය ලක්දිව බුදුසසුන අරබයා ඉදි වූ ප්‍රථම ආරාමය විය. පසු කලෙක අභයගිරි, ජේතවන ආදී ආරාම ඉදිවීමත් සමඟ මෙකී මහාවිහාරය පදනම් වූ භික්ෂු පරපුර සුනිමල දහම ඒ ලෙසින්ම රැකගෙන පවත්වාගෙන ආ මහාවිහාරීය ප්‍රවේණිය බවට පත් විය.

එදා පටන් අනේකවිධ දුක් ගැහැට ඔස්සේ පිරිසිදු ධර්ම-විනය රැකගැනීමට ඔවුහු අනුපමේය කැප කිරීමක් කළහ. පෙළ-අර්ථකථා ආශ්‍රිත තථාගත සුභාෂිත ධර්ම-විනය කටපාඩමින් දරාගෙන එමින් එහි චිරපැවැත්ම උදෙසා අමිල දායකත්වයක් දුන් ඔවුහු වළගම්බා රජු සමයේ ත්‍රිපිටකය අර්ථකතා සහිතව ග්‍රන්ථාරූඪ කර එහි අනාගතය සුරක්ෂිත කළහ. එතැන් පටන් ඒ ග්‍රන්ථාන්තරයෙහි එන ලද නිවැරදි ධර්ම-විනය වර්තමානය දක්වාම නොකිලිටිව පවත්වා ගැනීමට මහාවිහාරීය පරපුරේ භික්ෂූහු ස්වකීය දිවි පරදුවට තබා කැප වූහ. විශේෂයෙන්ම මහින්දාගමනයෙන් ලක්දිවට දායාද වූ, කාලයාගේ ඇවෑමෙන් සිංහල බසින් පවත්වාගෙන ආ බුදුදහමේ අරුත් විග්‍රහ කරන අර්ථකතා අනාගතයට සුරක්ෂිත කරලීමටත්, දේශදේශාන්තරයෙහි බෞද්ධයන්ගේ ප්‍රයෝජනය පිණිසත් මාගධී භාෂාවට පෙරළමින් ථෙරවාදී බුදුදහමෙහි අනාගතය ද්වීපනය කළහ. එසේම ඒ සුපිරිසිදු බුදුදහම අන්‍ය මතවාදවලින් කිලිටිවීම වළක්වනු පිණිස දැඩි සේ වෑයම් කර, ඒ නිර්මල දහමේ පහස විදගැන්මට අපමණ ගිහි-පැවිදි පිරිසකටද ඉඩ හසර සලසා දුන්හ. එහිලා නිවැරදි ධර්ම-විනය පිහිට කරගෙන සුවහසක් දෙනා නිවනින් සැනසුණහ.

ඒ මේ මහාවිහාරීය පරපුරෙහි සුවිශේෂී අනන්‍යතාව වනුයේ සුපිරිසිදු ථෙරවාදී බුදුදහම අනුගමනය කිරීමය. පළමු, දෙවන, තෙවන සංගායනාවලට බඳුන් වූ සර්වඥ සුභාෂිත පෙළ-දහමත්, එහිලා අර්ථ විවරණ සැපයුණු අර්ථකතාවත් ඔවුන්ගේ මුදුන්මල්කඩ විය. පසුකාලීනව නා නා මතවාද බුදුදහම ඇසුරු කරගෙන බිහි වූ බැවින් ඒ ඉපැරණි පෙළ-දහමත්, අර්ථකතාවත් පිළිපදිමින් සුපිරිසිදු නිවන්මඟ ගමන් ගන්නා නොකිලිටි බුදුසසුන ‘ඉපැරණි ථෙරවාදී මහාවිහාරීය ප්‍රවේණිය’ යන විරුදාවලියෙන් හඳුන්වමු.

අනුරාධපුර මහාවිහාරය
ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය වූ ද,සිංහල බෞද්ධ සංස්කෘතියේ ප්‍රභවස්ථානය වූ ද, වර්තමානයේ නටබුන් රැසක්ව පවතින අනුරාධපුර මහාවිහාරයට වසර දෙදහස් ගණනකට අධික අඛණ්ඩ ඉතිහාසයක් ඇත්තේය. ශ්‍රී බු.ව. 236 දී අනුබුදු මිහිඳු මාහිමියන් විසින් ශ්‍රී ලංකාද්වීපයට බුදුසසුන රැගෙන ඒමෙන් පසු දෙවනපෑතිස් මහරජු (ශ්‍රී බු.ව. 236-276) අනුරාධපුර මහමෙව්නා වනෝද්‍යානයෙහි ඉදි කර පූජා කළ ‘තිස්සාරාමය’ මේ මහාවිහාරරයෙහි සමාරම්භයයි. ඉක්බිති සඟමිත් රහත් මෙහෙණින් වහන්සේ විසින් වැඩම කරවා රෝපණය කරවන ලද ශ්‍රී මහාබෝධියත්, පසු කාලීනව බුදුසසුනේ උන්නතිය වෙනුවෙන් අද්විතීය මෙ‍හෙවරක් ඉටු කළ අතිශ්‍රේෂ්ඨ සිංහල පාලකයා වූ දුටුගැමුණු මහරජතුමා (ශ්‍රී බු.ව. 382-406) විසින් ඉදිකරවන ලද රුවන්වැලි මහසෑයත් නිසා මහාවිහාරයට අතිශය පූජනීයත්වයක් හිමි විය. එයටම අයත් දුටුගැමුණු රජු විසින්ම කරවන්නට යෙදුණු ලෝවාමහාපාය මහාවිහාරීය භික්ෂූන්ගේ පොහොයගෙය වීය. සර්වඥ ධාතූන්වහන්සේලා වැඩම කරවා තැන්පත් කරමින් දෙවනපෑතිස් රජු විසින්ම ඉදිකරන්නට යෙදුණු ථූපාරාමය මහාවිහාරයෙන් වෙන් වූ විහාරයක් බවට මහාවංශය ආදී මූලාශ්‍රයන්හි සඳහන් වෙතත්, මහාවිහාරීය ප්‍රවේණිය රැගෙන ආ මහරහතුන්ගේ නිබඳ වාසස්ථානයක් විය.

දෙවනපෑතිස් රජු විසින් සිය පියාණන් වූ මුටසීව රජු රාජකීයන්ගේ විනෝද උයනක් ලෙස ඉදි කර තිබූ මහමෙව්නා උයන මිහිඳු මාහිමියන්වහන්සේට පූජා කරන්නට යෙදුණේ ජනාකීර්ණ බවින් තොර, රෑ දහවල් ශබ්දවලින් තොර, නගරයට නොළං, නොදුරු වාසස්ථානයක් වශයෙනි. මිහින්තලයට වැඩම කළ මිහිඳු මාහිමියන්වහන්සේ පසුදින අනුරාධපුරයට වැඩම කර නන්දන උයනේදී දහම් දෙසා සවස රාත්‍රිය ගත කිරීමට ආපසු මිහින්තලය බලා වැඩම කරමින් සිටියදී මල්වතු ඔයෙන් ඔබ්බෙහි උන්වහන්සේ සම්මුඛ වූ රජු ආපසු යෑමට කරුණු විචාළ අතර නන්දන උයන අසල ජනාකීර්ණ බවත්,ඝෝෂාකාරී බවත්, රාත්‍රියෙහි පවා මහත් ශබ්ද ඇති ස්ථානයක් බවත් නිසා ආපසු යන බව පැවසූහ. මෙය ඇසූ රජු නන්දන උයනට දකුණින් පිහිටි මහමෙව්නා උයන උන්වහන්සේට පූජා කළේ භික්ෂූන්ට හිතකර විවේකී පරිසරයක් එහි තිබූ බැවිනි. එදා මහාවිහාරීය භික්ෂූන් කාය-චිත්ත විවේකයට දැක් වූ ඇල්ම මින් මනාව ප්‍රකට වේ.

අභයගිරිය බිහිවීම හා ථෙරවාදී බුදුදහමට බලපෑම් ඇති වීම
වළගම්බා රජු දවස (ශ්‍රී බු.ව. 439-466) ලක්දිව ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් දෙකක් සිදු විය. ලක්දිව ථෙරවාදී බුදුසසුනෙහි සිදු වූ බලවත්ම අභාග්‍ය සම්පන්න සිදුවීම වන අතිශය ශෝචනීය ලෙස සිහිපත් කළ යුතු අභයගිරිය බිහිවීම ඉන් එකකි. බු.ව. 439දී පමණ (ක්‍රි.පූ. 103දීපමණ) පළමුවර රාජ්‍යත්වයට පත් වළගම්බා රජු දවස රුහුණේ තිස්ස නම් බ්‍රාහ්මණ තරුණයෙක් විසින් කැරැල්ලක් ඇති කළ අතර ඒත් සමඟම ඉන්දියාවේ ද්‍රවිඩයන් සත්දෙනෙකු සතුරු සෙනඟත් සමඟ පැමිණ යුද්ධ කරන්න‍ට වූ බැවින් රජු සැඟවී කැලෑ වැදිණ. ඉක්බිති ක්‍රි.පූ. 89දී පමණ යළි රාජ්‍යත්වයට පත්ව තුදුස්වසක් අප්‍රසිද්ධව සිටි කළ රජුට උපකාර වූ මහාතිස්ස නම් තෙරුන්වහන්සේට අභයගිරි විහාරය කරවා පිළිගැන්වීය. එවකට මහාවිහාරයේ වාසය කළ උගත් තෙරනමක් වූ මේ මහාතිස්සතෙරුන් කුල සංසර්ගයේ යෙදෙන බවට චෝදනා එල්ල කළ මහාවිහාරීය භික්ෂූන් උන්වහන්සේට පබ්බාජනීය විනයකර්මය කළහ. එයට විරුද්ධ වූ උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුනමක් වූ මහදැළියා තිස්ස නම් උගත් තෙරනමක් පන්සියයක් භික්ෂූන්ද ගෙන මහාවිහාරයෙන් වෙන්ව අභයගිරි විහාරයේ පදිංචියට ගියේය. එම අභාග්‍යසම්පන්න සිදුවීමෙන් එතෙක් මිහිදු මාහිමියන් වහන්සේගේ පටන් පැවතගෙන ආ ලක්දිව බුදුසසුන පළමු වරට දෙකඩ වූයේය. මුල පටන් පැවති මහා විහාරය එලෙසම පැවති අතර වෙන්ව ගිය පිරිස අභයගිරිනිකාය බවට පත්විය. ථෙරවාදයේ කේන්ද්‍රස්ථානය වූ මහාවිහාරය තවදුරටත් නොකිලිටි ශ්‍රී සද්ධර්මයම ගුරුකොට සිටි අතර දඹදිව වජ්ජිපුත්‍ර නිකායෙහි ධර්මරුචි නම් ඇදුරුවරයෙක් ශිෂ්‍ය පිරිසක් ගෙන අභයගිරියට පැමිණ වාසය කිරීමෙන් ඒ අභයගිරිය ධර්මරුචිනිකාය, වෛතුල්‍යවාදය, වාජිරිවාදය ආදී ථෙරවාදයෙන් බැහැර සම්ප්‍රදායන් පිළිගත් බොහෝ සෙයින් ලෞකික ශාස්ත්‍ර උගන්වන ශාස්ත්‍රීය මධ්‍යස්ථානයක් බවට පත් විය. ඒ අනුව අභයගිරිය මහායන සම්ප්‍රදාය ගුරුකොට ගත්හ.

මෙකී ථෙරවාදී බුදුදහමෙන් බැහැර මතවාද දැරූ වජ්ජිපුත්‍ර ආදී අන්‍ය නිකායිකයන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල බුදුදහම ලෙස පළමු ධර්ම සංගායනාවෙන් සංගෘහිත වූ ත්‍රිපිටකයේ ඇතැම් කොටස් ඒකදේශයන් ලෙස ගෙන තම තමන්ට රුචි අයුරින් ධර්ම-විනය විකෘති කර ගත්හ. දීපවංශයෙහි සඳහන් වන අන්දමට ඒ අන්‍ය නිකායිකයන් බැහැර කළ දෑ අතර,

  1. අභිධර්ම පිටකයේ ප්‍රකරණ සය (වජ්ජිපුත්‍ර ආදී නිකායයන් බිහි වන කළ කථාවත්ථුප්පකරණය සංගෘහිතව නොතිබුණි)
  2. විනය පිටකයේ පරිවාර පාළිය
  3. සූත්‍රපිටකයේ එන පටිසම්භිදා මග්ගපාළිය
  4. සූත්‍රපිටකයේ නිද්දේසපාළිය
  5. ජාතක දේශනාවල ඒකදේශයක් යනාදිය විය.

ඒ අනුව අභයගිරිය තුළ මුල්බැසගත් සසුනට අහිතකර අන්‍ය නිකායිකයන්ද මේ ශාසනික හානිය ලක්දිව තුළ ව්‍යාප්ත කළ බව පැහැදිලිය. වර්තාමනයේ පවා ඇතැමුන් මේ සුනිමල තථාගත ශ්‍රී සද්ධර්මය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ අභයගිරිකයන්ගේ ආභාෂයෙන්ම බව මනාව පැහැදිලි වේ.

මෙසේ අභයගිරි නිකාය බිහිවීමත් සමඟ ලක්දිව බුදුසසුන දෙකට බෙදීමක් සිදු වූ අතර වරින් වර රාජ්‍යත්වයට පත් රජ දරුවන් මේ දෙපාර්ශවයට විටින් විට පාක්ෂික වීමෙන් ලක් බුදුසසුනේ පරිහානියක් දක්නට හැකි විය. එහෙත් සුපේෂල ශික්ෂාකාමී, ශාසනමාමක මහාවිහාරීය මහතෙරවරුන් ස්වකීය කාය ජීවිත නිරපේක්ෂත්වයෙන් ථෙරවාදී බුදුසසුන රැකගැන්මට උරදුන්හ.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම
වළගම්බා රජු දවස සිදු වූ ශාසනික වශයෙන් ඉමහත් වැදගත්කමක් උසුලන අනෙක් සුවිශේෂී සිදුවීම වනුයේ එතෙක් කටපාඩමින් දරාගෙන ආ ත්‍රිපිටකය, පෙළ-අටුවා ග්‍රන්ථ ග්‍රන්ථාරූඪ කිරීමය. බ්‍රාහ්මණතිස්ස බිය, පරසතුරු ආක්‍රමණ පමණක් නොව දොළොස් වසරක් පැවති දුර්භික්ෂයද හේතුවෙන් ධර්ම-විනය කටපාඩමින් පවත්වාගෙන යාම අපහසු විය. එසේම සසුනේ පැවැත්ම පර්යාප්තිය මතද, ප්‍රතිපත්තිය මතද යන්න පිළිබඳව භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ වාදයෙන් පර්යාප්තිය ප්‍රධාන බව තීරණය වූ බැවිනුත්, අභයගිරිය බිහි වී ථෙරවාදයට පටහැනි යම් යම් මතවාද ව්‍යාප්ත වන්නට පටන් ගෙන තිබූ හෙයින් අනාග‍තයේ එම අදහස් ත්‍රිපිටක ධර්මය හා එක්ව ථෙරවාදී සද්ධර්මය අපිරිසිදු වීම වැළැක්වීම සඳහාත් මහාවිහාරීය මහතෙරවරුන්ගේ මූලිකත්වයෙන් මාතලේ අලුලෙන් විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සිදු විය.

මෙහිදී වංශකථා අනුව පැහැදිලි වන්නේ රජුගේ සහායක් නැතිවම ප්‍රාදේශීය ජනනායකයකුගේ ආරක්ෂාව හා අනුග්‍රහ ඇතිව මෙම ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සිදු වූ බවයි. ඒ සඳහා මහාවිහාරය අනාරක්ෂිත බැවින් මාතලේ ප්‍රදේශය තෝරා ගත් බවත් වළගම්බා රජු ඊට එතරම් උනන්දුවක් නොදැක්වූ බැවින් අප්‍රකට ජනනායකයකුගේ ප්‍රධානත්වයෙන් සිදු වූ බවත් නිගමනය කළ හැකි වේ. කෙසේ වතුදු ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනයෙහි අතිශය වටිනා උත්කෘෂ්ට තරම ව්‍යායාමක් ලෙස මෙම පුස්තකාරූඪ-සංගීතිය හැඳින්විය හැකිය.

ජේතවන නිකාය බිහි වීම
ක්‍රි.ව. 274දී රාජ්‍යත්වයට පත් මහසෙන් රජු අභයගිරියට පක්ෂපාතීව සංඝමිත්‍ර නම් තෙරුන්වහන්සේ නමකගේ මඟපෙන්වීම මත මහාවිහාරයට මහත් හානියක් කළේය. එයින් රටවැසි බොහෝදෙනා රජු කෙරෙහි කලකිරුණු බැවින් මේඝවර්ණාභය නම් ඇමතියකුගේ උපදෙස් පරිදි යළි මහාවිහාරය ප්‍රතිසංස්කරණය කළේය. එහෙත් ඉන්පසු මහාවිහාරික භික්ෂූන්ගේ විරෝධතා මැද මහාවිහාර සීමාව තුළ පිහිටි ජෝතිවන උයනෙහි ජේතවන විහාරය කරවා දක්ඛිණගිරි විහාරවාසී තිස්ස නම් තෙරකෙනෙකුට පූජා කළේය. ඊට අභයගිරියේ අනුබලය ද ලැබිණි.

ඉන්පසු අභයගිරිය වෙතින් දක්ඛිණගිරි විහාරයට ගිය වෛතුල්‍යවාදය පිළිගත් භික්ෂු පිරිසක් එහි විසූ අතර සාගල නම් තෙරකෙනෙකු‍න් ඔවුන්ට ආචාර්ය වූ බැවින් ඔවුහු එතැන් පටන් සාගලික නම් විය. පසුව ජේතවනය පිළිගත් තිස්ස භික්ෂුව සඟ මැද චෝදනාවට ලක්ව සිවුරු හරවා යැවූ බැවින් ඒ සාගලිකයෝ ජේතවනයෙහි ලැගුම් ගත්හ. එය ඉන්පසු ථෙරවාදයට පටහැනි ජේතවනනිකාය නම් තවත් නිකායක් බවට පත් විය. මේ අභයගිරි, ජේතවන නිකාය ද්වයම මහායාන අදහස් ගරු කළ බව පෙනේ.

පාළි-අටුවා ග්‍රන්ථ සම්පාදනය
මිහිඳු මාහිමියන්වහන්සේ දඹදිවින් රැගෙන එන ලද සර්වඥ සුභාෂිත ශ්‍රී සද්ධර්මය පාළිභාෂාව හෙවත් ශුද්ධ මාගධී භාෂාවෙන් පැවතියේය. උන්වහන්සේ ලක්දිව මිනිසුන්ට සිංහලබසින් ධර්මය දේශනා කළ බව මහාවංශය පවසන නමුත් ධර්ම-විනය උගැන්ම සඳහා ඒ මගධබසින් තිබූ පෙළ සහ අටුවා භාවිත කරන්නට ඇත. කෙසේ නමුත් උන්වහන්සේගෙන් ධර්ම-විනය උගත් මහාඅරිට්ඨ මහරහතන් වහන්සේගෙන් පැවතගෙන ආ සිංහල මහරහත් පරපුර තම සිසුන් වෙත ධර්ම-විනය උගැන්වීමේදී කල්යත්ම තථාගත පෙළ-දහමට අරුත් සැපයූ අර්ථකථාව බොහෝ සෙයින් සිංහලභාෂාවට නැගෙන්නට ඇති බව සිතිය හැකි වේ. තවද අභයගිරිය හරහා ලක්බුදුසසුනට මුසු වෙමින් තිබූ ථෙරවාදයට පටහැනි මතවාද මුසුවීම වැළැක්වීමට මාතලේ අලුලෙනෙහිදී පවත්වන්නට යෙදුණු පුස්තකාරූඪ-සංගීතියේදී එවකට සිටි මහරහතන්වහන්සේලා ත්‍රිපිටක පාළිය ශුද්ධමාගධී භාෂාවෙන් ඒ අයුරින්ම ග්‍රන්ථාරූඪ කළ අතර අර්ථකතාව බොහෝ සෙයින් සිංහල බසින් ලියා තැබූහ.

මේ වන විට ලෝකය පුරා අන් බෞද්ධ රටවල මෙම අර්ථකතාව පිරිසිදුව නොතිබුණු බැවින් දඹදිව රේවත නම් මහරහතන්වහන්සේ නමකගේ ඇරයුම පිට බුද්ධඝෝෂ නම් ව්‍යක්ත, මහාප්‍රාඥ තෙරනමක් මහානාම රජ දවස (ශ්‍රී බු.ව. 951-973) ලක්දිවට පැමිණ මහාවිහාරීය මහතෙරවරුන් වෙතින් ත්‍රිපිටකය පෙළ-අර්ථකතා සහ ථෙරවාදයන් ද උගෙන සිංහලබසින් පැවති අර්ථකතාව මගධබසට පෙරළීමට අවසර ඉල්ලුවේය. එහිලා උන්වහන්සේගේ සාමර්ථ බව පරීක්ෂා කිරීමට සංයුක්තනිකායේ දේවතා සංයුක්තයේ එන ගාථා දෙකක් දුන් මහාවිහාරීය මහතෙරවරුන් ඒ ඇසුරින් යම් නිර්මාණයක් කරන ලෙසට කළ ආරාධනය පිට ‘විශුද්ධි මාර්ගය’ නැමැති අතිශය ප්‍රශස්ත ග්‍රන්ථය ලියූහ. එය දුටු මහාවිහාරීය මහතෙරවරුන් එහි ඇති විශිෂ්ටත්වය නිසා ‘මේ තෙමේ ඒකාන්තයෙන්ම මෙතේබෝසතුන් විය යුතුය’ යැයි උදන් ඇනූ බව මහාවංශය පවසයි.

ඉක්බිති මහාවිහාරීය මහතෙරවරුන්වහන්සේලාගේ සමාරාධනයෙන් එවකට පැවති මහාඅට්ඨකතාව, මහාපච්චරිය අට්ඨකතාව, කුරුන්දි අට්ඨකතාව යන සිංහල අටුවා ග්‍රන්ථ ඇසුරු කරගෙන, ථෙරවාද ද ඇතුළත් කරමින් ඒ බුද්ධඝෝෂ ඇදුරුපාණෝ පාළි අර්ථකතා සම්පාදනය කළහ. අනතුරුව ධම්මපාල තෙරුන් ආදී තවත් තෙරුන්වහන්සේලා පාළි-අර්ථකතා සම්පාදනයට දායක වූහ. එසේ මගධබසට පෙරළූ බැවින් ඒ අටුවා ග්‍රන්ථ අද දක්වා ලක්දිව පමණක් නොව බුරුමය ආදී විදෙස් රටවල පවා සුරක්ෂිතව පවතී. සිංහල බසින් පැවති මහඅටුවාව ආදිය මෙහිම අභවප්‍රාප්ත විය.  

පොළොන්නරු යුගයේදී නිකාය සාමග්‍රිය සහ ටීකා ග්‍රන්ථ සම්පාදනය
ලක්දිව ශාසන ඉතිහාසයේ දුටුගැමුණු මහරජු විසින් සිදු කළ අති උත්කෘෂ්ට ශාසනස්ථිතිකාමී ව්‍යාපාරයට නොදෙවෙනි කාර්යභාරයක් ක්‍රි.ව. 1164දී පොළොන්නරුව රාජධානි කරගෙන බිහි වූ ශ්‍රේෂ්ට නරපතියෙකු වූ පළමුවන පරාක්‍රමබාහු රජු විසින් සිදු කරන ලදී. මේ වන විට අතිශය පහත් තත්ත්වයකට පත්ව තිබූ සංඝ සමාජය නඟාසිටුවීමට මේ  මහාවිහාරය, අභයගිරිය, ජේතවනය යන තුන්නිකායන් සමඟි කළ යුතු බව වැටහුණු පැරකුම්බා රජු අතිශය ගුණයෙන් හා ඥානයෙන් හෙබි යතිවරයාණ කෙනෙක් වූ දිඹුලාගල කාශ්‍යප මහතෙරුන්වහන්සේ ඇතුළු තවත් මහතෙරුන්වහන්සේලාගේ උපකාර ඇතිව තුන්නිකාය සමඟි කරවීය. එහිදී ඇතැම් භික්ෂූන් එයට අකමැතිව සිවුරු හැර ගිය අතර ඇතැම් භික්ෂූන් දුර පළාත්වලට ගියහ. මෙසේ තුන්නිකාය සමඟි කරවීමෙන් පසු රජු වසරක් පාසා මහවැලිගඟ මැද සීමාවක් තනා එහි සිට උපසම්පදා විනයකර්මය කරවීය.

මෙසේ නිකාය සාමග්‍රිය ඇතිකරවීමෙන් පසු සිදු වූ අනෙක් සුවිශේෂී ශාසනික සේවාව වනුයේ ත්‍රිපිටකයට ටීකා ග්‍රන්ථ සම්පාදනයයි. ඒ අනුව තුන්නිකායෙහි මහතෙරවරුන් විසින් මෙම ටීකාග්‍රන්ථ රචනා කරනු ලැබීය. මෙය වනාහි ථෙරවාදී බුදුසසුන කෙරෙහි එක්තරා ආකාරයකින් සුඛදායී මෙන්ම තවත් ලෙසකින් අසුභදායී සිදුවීමක් විය. මන්ද තුන්නිකාය සමඟි වීමෙන් නොබෝ කලකින් සිදු වූ මෙම ටීකා ග්‍රන්ථ සම්පාදනයෙහි ලා ඇතැම් ථෙරවාදයට පටහැනි මතවාද ද සංගෘහිත වීමය. එබැවින් පොළොන්නරු යුගයේ ලියැවුණු ටීකා ග්‍රන්ථ සෑම එකක්ම සමාන සේ නොසලකා මහාවිහාරීය ථෙරවාදී මතය නියෝජනය කරන ටීකා ග්‍රන්ථ පමණක් තෝරා බේරා ගැනීම ථෙරවාදය ගුරු කො‍ට සලකන මහාවිහාරීය ප්‍රවේණිය නියෝජනය කරන භික්ෂූන් විසින් සිදු කළ යුතු වේ. ඒ අනුව සර්වඥ සුභාෂිත පෙළදහමත්, තදර්ථකතාවටත් අනුකූල වූම ටීකා ග්‍රන්ථ තෝරා බේරා ගැනීමට නිරාකූල වැටහීමක් ඇති කර ගත යුතු වේ. ඒ සඳහා පළමුව පෙළ, අර්ථකතා ඔස්සේ අර්ථ විවරණය කර ඉක්බිති ටීකා මත ගවේෂණය ප්‍රශස්ත ක්‍රියාදාමයක් ලෙස දැක්විය හැකි වේ. විශේෂයෙන්ම ධර්මධර, විනයධර, බහුශ්‍රැත කල්‍යාණමිත්‍ර ගුරුඋතුමන් වෙතින් නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරමින්ම ධර්මයෙහි අරුත් ගැනීමෙන් මෙකී ආකූල තත්ත්වයකට මුහුණ පෑමට සිදු නොවේ.

මහාවිහාරීය ප්‍රවේණිය – නිවැරදිව පෙළ, අර්ථකතා, ටීකා ඔස්සේ ධර්ම-විනයෙහි අරුත් ගැනීම
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනය සංක්ෂිප්ත සහ විස්තාරික වශයෙන් දෙවැදෑරුම් වේ. ඒ අනුව ඒ ඒ නිදානයෙහි පුද්ගල ආධ්‍යාශ අනුව පළමුව මාතෘකා තබා අනතුරුව නොයෙක් නය ක්‍රම ඔස්සේ බොහෝදෙනා සෝවාන් ආදී මාර්ගඵලවලට පමුණුවමින් විස්තරාත්මකව ධර්මය දේශනා කරන සේක. ඒ බව විනය, සූත්‍ර, අභිධර්ම යන තුන්පිටකයෙන්ම හෙළිවන ස්ථාන බොහෝ ඇත. ඒසේම මෙකී විස්තරාත්මක දේශනය දීඝනිකාය, මජ්ඣිමනිකාය තරම් ඉතා දීර්ඝ දේශනයක් වන අතර එයද සංක්ෂිප්තව පෙළෙහි ආයේය. ඒ අනුව පෙළෙහි නො ආ විස්තරාත්මක දේශනය ඒ බුද්ධ ආධ්‍යාශය දත් සමීපචාරී මහරහතන්වහන්සේලා විසින් අර්ථකතාව ලෙස පවත්වාගෙන විත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්මසංගායනාවේදී මහාකාශ්‍යප මහරහතන්වහන්සේ ප්‍රමුඛ පන්සියයක් මහරහතන්වහන්සේලා විසින් සංගායනාවට නංවන ලදී. එහෙයින් ධර්ම-විනයෙහි අර්ථ ගැනීමේදී මූලිකව පෙළදහමත්, එහිලා අර්ථ විවරණය කෙරුණු අර්ථකතාවත් ඇසුරෙන් අර්ථගැනීම පුරාණ මහාවිහාරීය ප්‍රවේණිය වේ. එහිලා වැඩිමනත් අර්ථ පැහැදිලි කරගැනීමට ගුරුන් ඇසුරෙන් තෝරා බේරා ගත් මහාවිහාරීය මත නියෝජනය කෙරෙන ටීකා ග්‍රන්ථ ඇසුරු කළාට වරද නැති.

මෙහිදී ඇතැමුන් දරණ මිත්‍යා මතයක් වනුයේ අර්ථකතා, ටීකා යනු බුද්ධදේශනාව නොව පසුකාලීන භික්ෂූන්ගේ මත රචිත සංග්‍රහ ග්‍රන්ථ බවයි. එහෙයින් ඔවු‍න්ගේ අදහස වනුයේ බුදුරජාණන්වහන්සේ විසින් මූලික වශයෙන් දේශනා කරන ලද පෙළදහම පමණක් පරිශීලනය කළ යුතු බවයි. එහෙත් පෙළදේශනාව පමණක් ඇසුරු කොට ගෙන අර්ථවිග්‍රහ කර ගැනීමක් කිසිසේත්ම කළ නොහැකි බව ත්‍රිපිටකයේ බොහෝ තැන්වලින් ප්‍රකට වේ. අනෙක් අතට පෙළදේශනාව පමණක් පරිශීලනය කළ යුතු යැයි අදහස් පළකරන්නවුන් ඒ සඳහා ශබ්දකෝෂ පරිශීලනයෙන් වැළකිය යුතු වේ. මන්ද ශබ්දකෝෂ ග්‍රන්ථ සියල්ලක්ම සම්පාදනය වී ඇත්තේ අර්ථකතා, ටීකා, ගැටපද ආදී අර්ථ විවරණය කරන ග්‍රන්ථ ඇසුරෙන් බැවිනි.

මෙසේ පෙළදේශනාව ඇසුරෙන් පමණක් අර්ථ සෙවීමෙන් බොහෝදෙනා මුලාවට පත්විය හැකි වැදගත් තැනක් අංගුත්තර අට්ඨක නිපාතයේ ගෝතමී සූත්‍රයෙහි එන්නේය. ඒ අනුව භාග්‍යවතුන්වහන්සේ වෙතින් පැවිදි උපසම්පදාව ඉල්ලා පැමිණි මහාප්‍රජාපතී ගෝතමිය ප්‍රමුඛ පන්සියදෙනා හට භාග්‍යවතුන්වහන්සේ විසින් තෙවරක්ම ප්‍රතික්ෂේප කරන ලදුව ඉක්බිති අෂ්ටගරුධර්ම පිළිගන්නේ නම් පැවිදි උපසම්පදාව ලැබිය හැකි බව පැවසූ සේක. ඒවා පිළිගත් බැවින් භික්ෂුණී පැවිදි උපසම්පදාව අනුදැන වදාළ භාග්‍යවතුන්වහන්සේ පසුව මෙබඳු ප්‍රකාශයක් අනඳ මාහිමියන් අරඹයා පැවසූ සේක.

“සචේ ආනන්ද නාලභිස්සා මාතුගාමස්ස තථාගතප්පවේදිතේධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජං, චිරට්ඨිතිකං ආනන්ද බ්‍රහ්මචරියං අභවිස්ස වස්ස සහස්සං සද්ධම්මෝ තිට්ඨෙය්‍ය. යතෝ ච…… පඤ්චෙවදානි ආනන්ද වස්සසතානි සද්ධම්මෝ ඨස්සති.” – ‘ආනන්දයෙනි, මාගම ගිහිහෙයින් නික්ම තථාගත ප්‍රවිදිත ශාසනයෙහි පැවිද්ද නොලද නම්, මේ සසුන් බඹසර චිරස්ථිතික වන්නේය. මේ ශාසන සද්ධර්මය අවුරුදු දහසක් සිටුනේය. අනඳයෙනි, යම්හෙයකින්…… දැන් මේ සසුන් බඹසර චිරස්ථිතික නොවන්නේය. දැන් මෙතැන් සිට පන්සිය වසක්ම ශාසන සද්ධර්මය සිටුනේය.’ යනුවෙනි.

මෙම ප්‍රකාශය පරිදි භික්ෂුණී ශාසනය නොඅනුදන්නා ලද්දේ නම් බුදුසසුන වසර දහසක් පවතින්නට තිබුණි. එහෙත් භික්ෂුණී ශාසනය අනුදැනීම හේතුවෙන් පන්සිය වසක්ම ශාසනය පිහිටන බව පැවසූ සේක. තවද මේ සූත්‍රයෙහි දැක්වෙනුයේ කල්තබාම භික්ෂුණීන්ට අෂ්ටගරුධර්ම පැනවූ හෙයින් ශාසනයෙහි ආයුෂ යළි පෙර පරිදිම වන බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ බුදුසසුනෙහි ආයුෂ උපරිම වසර දහසක් පමණක් බවයි. ඒ පෙළදහම පමණක් ගැනීමෙනි. ඒ අනුව පෙළදහම පමණක් පිළිගන්නා අයට වර්තමානයේ පැවිද්දක් හෝ උපසම්පදාවක් නැති බව ඔවුන්ගේම මතයයි. එහෙත් එය මිථ්‍යාවකි. බුදුසසුනේ ආයුෂ අවුරුදු පන්දහසක් වේ. එහෙයින් මෙකලද පිරිසිදු පැවිදි උපසම්පදාවක් ලැබ මගඵල නිවන් සාක්ෂාත් කළ හැකි වේ. එය දැක්වෙන්නේ අර්ථකතාවෙහිය.

අංගුත්තරනිකාය අට්ඨකතාවෙහි මේ පිළිබඳව විවරණයක් ඉදිරිපත් කරන බුද්ධඝෝෂ ඇදුරුපාණන් පවසනුයේ “වස්ස සහස්සන්ති චේතං පට්සම්භිදාප්පභේදප්පත්තඛීණාසවවසේනේව වුත්තං. තතෝ පන උත්තර්ම්පි සුක්ඛවිපස්සකඛීණාසවවසේන වස්ස සහස්සං. අනාගාමි වසේන වස්ස සහස්සං.සකදාගාමි වසේන වස්සසහස්සං. සෝතාපන්නවසේන වස්ස සහස්සසන්ති. ඒවං පඤ්චවස්සසහස්සානි පටිවේධ සද්ධම්මෝ ඨස්සති” – ‘එතකුදු වුවත් වසර දහසක් යන මෙය ප්‍රතිසම්භිදාප්‍රාප්ත රහතන්වහන්සේලාගේ වශයෙන්ම කියන ලදී. ඉන් මත්තෙහිද ශුෂ්කවිපස්සක රහතන්වහන්සේලා වශයෙන් වසර දහසකි. අනාගාමී උතුමන් වශයෙන් වසර දහසකි. සකදාගාමී උතුමන් වශයෙන් වසර දහසකි. සෝවාන් උතුමන් වශයෙන් වසර දහසකි. යැයි මෙසේ වසර පන්දහසක් ප්‍රතිවේධ සද්ධර්මය පවතින්නේය’ යනුවෙනි.

ඒ අනුව වසර දහසක් යන බුද්ධ වචනයේ අර්ථය නම් ප්‍රභින්න ප්‍රතිසම්භිදාලාභී රහතන්වහන්සේලාගේ වශයෙනි. ඉන්මත්තෙහිද ශුෂ්කවිදර්ශක රහතන්වහන්සේලා අනාගාමී, සකදාගාමී, සෝවාන් උතුමන්වහන්සේලා වශයෙන් වසර පන්දහසක් ප්‍රතිවේධ සද්ධර්මය පවතී. මගඵල නිවන් සාක්ෂාත් කිරීම එතකින් අවසන් වුවද පැවිදි ලිංගය කාසාවකණ්ඨක යුගය දක්වාම පවතී. මේ අනුව පැහැදිලි වන්නේ පෙළදේශනය පමණක් පිහිට කරගෙන ධර්මය දක්නට උත්සාහ දැරීමෙන් බොහෝ තැන්වල මංමුලාවනු බවයි. එබන්දෝ වර්තමානයේ බුදුසසුනක් නැති බවට වැරදි අදහසක් ගෙන දුර්ලභව ලැබිය හැකි බුදුසසුනේ නියම ඵලය ලබා නොගෙන බොහෝ විට අපායගාමී අකුසල්ද කරගෙන දුකින් දුකට පත්වන්නාහ. එහෙයින් ඉපැරණි ථෙරවාදී මහාවිහාරීය ප්‍රවේණිය අනුව යමින් පෙළ, අර්ථකතා, මහාවිහාරීය මත නියෝජනය කරන ටීකා ග්‍රන්ථ ඔස්සේ ධර්මය අරුත් දැන ගෙන මේ දුර්ලභව ලත් බුදුසසුනේ සාන්දෘෂ්ඨික ඵලය සාක්ෂාත් කර ගත යුතු වේ.

සිංහල බෞද්ධ සංස්කෘතියට හා ජනජීවිතයට මහාවිහාරයෙන් ලද ආභාෂය
මිහිඳු මාහියන්වහන්සේ ලක්දිවට බුදුදහම රැගෙන ඒමෙන් සමාරම්භ වූ මහාවිහාරය බෞද්ධ ජනතාවගේ නිස්සරණ විමුක්තිය උදෙසා පමණක් නොව ඔවුන්ගේ සංස්කෘතික හා ජනජීවිතයද සුපෝෂිත කරලීමට උදාර මෙහෙයක් ඉටු කළ අද්විතීය ජන මූලායතනයකි. දෙවනපෑතිස් රජු ප්‍රමුඛ සතළිස්දහසක්දෙනා පළමුව තෙරුවන් සරණ යාමෙන් ඉක්බිති ලක්දිව දීප ව්‍යාප්ත වූ බුදුදහම මිනිසුන්ගේ ජීවන රටාවේ අනිවාර්ය අංගයක් බවට පත් කරවන ලද්දේ මහාවිහාරීය සංඝ සංස්ථාවේ මූලිකත්වයෙනි. රාජ්‍ය පාලනයේ පටන් ග්‍රාමීය ජනතාවගේ ජීවන පැවැත්ම දක්වා සියලු තැන්හි මෙය නොසිස්ව පැවතිණි.

විශේෂයෙන්ම සිංහල රජු බුදුදහමේ නියමුවා, බුදුදහම සුරකින්නා බවට පත්විය යුතු විය. එහෙයින්ම දළදාවහන්සේ සහ පාත්‍රධාතූන්වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය විය. විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ ඇතැම් සෙල්ලිපිවලින් හෙළිවන්නේ සිංහල රජු අවශ්‍යයෙන්ම බෞද්ධයෙකු විය යුතු බවට සම්මතයක් තිබූ බවයි.

බුදුදහමේ ආභාෂය ලැබීමත් සමඟ ලක්දිව අධ්‍යාපන ක්‍රමය විහාරස්ථානය මුල්කර ගත් අධ්‍යාපනයක් විය. අනුරාධපුර මහාවිහාරය ඒ යුගයේ ලංකාවේ තිබූ ශ්‍රේෂ්ටතම විශ්ව විද්‍යාලය විය. ඒ ආභාෂය දිගින් දිගට පැවතීමත් සමඟ ලක්දිව ගම්වැසියන් සිය දරුවන්ට අකුරු කියවන ලද්දේ ගමේ පන්සලේ හිමියන් ලවා වේ. මූලික අධ්‍යාපනය ලබා දෙන අධ්‍යාපන මධ්‍යස්ථානය වූයේ ගමේ විහාරස්ථානයයි. එසේ මූලික අධ්‍යාපනය ලත් දරුවන් අනාගතයේ රට කරවන නියමුවන් වූ කළ සදාචාරාත්මක ශික්ෂණයෙන් හෙබි ගුණවතුන් වූහ. බුදුදහම, බෞද්ධ හැදියාව නියෝජනය කළහ.

එසේ අධ්‍යාපනය නොලත් ගම්වැසියන් පවා විහාරස්ථානය ඇසුරු කිරීමෙන් ස්වකීය ජීවිතය බෞද්ධ ආරට හැඩ ගස්වාගෙන දෙලොව හිත සුව සාදා ගත්හ. තම ජීවිතයේ එදිනෙදා සියලු වැඩ ඇරඹීමේදී ආගමික වතාවත් සිදු කර වැඩ කටයුතු ඇරඹීමට ඔවුනට හුරු වූයේ මහාවිහාරය නියෝජනය කළ විහාරස්ථානය ඇසුරු කිරීමෙනි. මහින්දාගමනයට පෙර පැවති ගස්, ගල් ඇදහීමේ ක්‍රම වෙනුවට අර්ථයක් සහිතව බෝධි වන්දනා, චෛත්‍ය වන්දනා ආදියට සිංහල ජනතාව හුරු වූයේ මහාවිහාරයේ ඇසුර ලැබීමෙනි. එය ඔවුන්ගේ සකලවිධ ප්‍රාර්ථනාවන්හි මුල් තැන ගත් පුද පූජා බවට පත් වීමෙන් තව තවත් බුදුදහම සමඟ ඇති සබැඳියාව දියුණු තියුණු විය.

කර්මය-කර්මඵලය අදහන මිනිස් ප්‍රජාවක් බිහි වූයේ ඒ මහාවිහාරය ඇසුරෙනි. තමා කරන කියන සෑම කටයුත්තකටම කර්ම විපාක ඇති බව විශ්වාස කරන තත්ත්වයට මිනිසුන්ගේ හදවතට තට්ටු කිරීමට මිහිඳු මාහිමියන් හඳුන්වා දුන් බුදුදහම සමත් විය. එහෙයින්ම ප්‍රාග් මහින්දාගමන යුගයේ එතරම් ශිෂ්ට සම්පන්න බවක් නොපෙන්වූ ජනයා බුදුදහම පැමිණීමෙන් පසු සතුන් මැරීම, සොරකම් කිරීම ආදී වූ පස්-පව් දස-අකුසල්වලින් හැකිතාක් ඉවත්ව සදාචාරාත්මකව ජනජීවිතය පවත්වා ගැනීමට උත්සුක වූහ. පිටිසර ගම්මානයන්හි මහ පොළොව සමඟ පොර බදන ගැමියන්, වනාන්තර වනසතුන් සමඟ සටන් වැද හේන් ගොවිතැන් කරන දිළිඳු අහිංසක ගැමියන් පවා තම හේන් ගිණිතැබීම් ආදී කටයුතුවලදී දින කිහිපයක් හේන වටේ ඇවිදිමින් කෑකෝ ගසමින් සතුන් එළවා දැමීමට පෙළඹුණේ ඒ බුදුසමයෙන් සුපෝෂිත වූ ශික්ෂණය නිසාවෙන්ම වේ. කුඹුරට කෘමිනාශත භාවිතය වෙනුවට විවිධ කෙම් ක්‍රම ආදිය හඳුන්වා දුන්නේ ඒ කර්ම-කර්මඵල විශ්වාස කරන බෞද්ධ ශික්ෂණය නිසාවෙන්ම වේ. තම හේනෙන්, කුඹුරෙන් ලද පළමු අස්වැන්න මහාසංඝයා උදෙසා පූජා කර ඉක්බිති තම පරිභෝගයට ගැනීමේ උසස් සිරිත අදටත් දක්නට ලැබෙන්නේ එදා මහාවිහාරීය භික්ෂූන් වෙතින් ලද දැහැමි ඔවදන්හි ප්‍රතිඵලයක් ලෙසිනි.

එසේම බෞද්ධ ගැමියන් ස්වකීය මංගල්‍ය අවස්ථාවන්ට, ලෙඩට-දුකට භික්ෂූන් වහන්සේ වෙතින් පිරිත්, බණපදයක් ශ්‍රවණය කර සෙතක් ශාන්තියක් අපේක්ෂා කරන්නට යෙදුණේ ඒ මහාවිහාරීය භික්ෂූන් වෙතින් ලත් ආභාෂයෙනි. මළගිය ඥාතීන් උදෙසා මහාසංඝරත්නය වෙනුවෙන් දන් පැන් පිළිගන්වමින් ධර්මදේශනා ශ්‍රවණය කිරීමෙන් පරලොවින් පින් පෙත් අනුමෝදන් කිරීම ඒ බෞද්ධ සංස්කෘතියෙන් ලද ආභාෂයයි. ඕනෑම සුභ කටයුත්තක් ඇරඹීමේදී විහාරස්ථානයේ පූජනීය මහාසංඝරත්නය වෙතින් පිරිත් නූලක් ගැට ගසා ගැනීම ජය සංකේතයක් ලෙස සලකන බෞද්ධයන් අද පවා සිටිති.

මෙසේ අනේක ප්‍රකාරයෙන් එදිනෙදා ජීවිතයට බුදුදහම ඈඳා ගත් ලක්වැසි ජනතාව පරම ධාර්මිකව දිවිපැවැත්ම අගය කළහ. එහෙයින්ම අවි-ආයුධ විකිණීම, සත්ත්වයන් විකිණීම, මත්පැන් විකිණීම, වස-විස විකිණීම ආදී  නොකටයුතුකම්වලින් හැකි තාක් ඉවත්ව ධාර්මික දිවිපැවැත්මකට උත්සාහවත් වූයේ ඒ මිහිඳු මාහිමියන් වෙතින් ලක්දිවට ලැබුණු මහාවිහාරයෙන් සුපෝෂිත වූ බුදුදහමේ ආභාෂයෙනි. චිත්ත සන්තානය තුළ මෛත්‍රිය, කරුණාව ආදී ගුණ ධර්ම දියුණු කර ගෙන දානය, ප්‍රියවචනය ආදී සංග්‍රහ වස්තූන් ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත් වූයේ ථෙරවාදී බුදුදහමේ මඟපෙන්වීමෙනි. එසේ මෙලොව ජීවිතය දැහැමින් සෙමෙන් හැඩගස්වා ගත් ලාංකේය ජනයා පරලොව සුව පතා නිති කුසලකර්ම රැස් කර ගත්හ. එපමණකිනුදු නොනැවතී නිති පන්සිල්, පොහොය අටසිල්, දසසිල් පවා රකිමින් ථෙරවාදී භික්ෂූන්ගේ නිති අවවාද අනුශාසනා මත පිහිටා කෙළවර නිවන්සුව පිණිස කුසල් දහම් රැස් කර ගත්හ. එසේම බුදුදහමේ උගැන්වෙන පරම සත්‍යය වන සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තත්ත්වයන් ස්වකීය ජීවිතයට ඈඳා ගෙන සිත මෙහෙයවා ඇලීම් දුරු කර බොහෝදෙනා මගඵල නිවන් සාක්ෂාත් කර ගත්හ.

ලෝකයේ රත්රන් නැතිවන්නා සේ සුපිරිසිදු සද්ධර්මය අතුරුදහන් වන බව
සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය ඇසුරින්
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500ට අධික කාලයක් ගෙවී ඇති මෙකල ටිකෙන් ටික පිරිසිදු        ධර්ම-විනය අතුරුදන් වන කාලයයි. මහාමහින්ද මහරහතන්වහන්සේ විසින් ශ්‍රී බුද්ධ වර්ෂ 236දී ලක්දිවට රැගෙන එන ලද සුපිරිසිදු ථෙරවාදී සද්ධර්මයට එරෙහිව ඊට වසර දෙසියයකට පමණ පසුව ක්‍රි.පූ. පළවන සියවසේදී අභයගිරිය මුල් කරගෙන මහායානික මතවාද ලක්දිව ව්‍යාප්ත වන්නට විය. ඉක්බිති ක්‍රි.ව. තුන්වන සියවසේදී පමණ ජේතවනය බිහිවීමත් ඒ ශාසන පරිහානිය තවත් තීව්‍ර විය. කෙසේ නමුත් කාලයාගේ ඇවෑමෙන් ලක්දිව යළිත් ථෙරවාදය ඉස්මතු වූ අතර ඒ‍ ථෙරවාදයේ මුවාවෙන්ම මහාවිහාරීය ප්‍රවේණියෙන් බැහැර යම් යම් මතවාද ටිකෙන් ටික මෑත කාලයේ ඉස්මතු වන්නට පටන් ගෙන ඇත. මෙය භාග්‍යවතුන්වහන්සේ බුදුඇසින් දැක අනාගතයේ ‘සද්ධර්ම ප්‍රතිරූපක’ බිහිවීමෙන් සද්ධර්මය අතුරුදහන් වන බව මහාකාශ්‍යප මහරහතන්වහන්සේ ඇසූ පැනයකට පිළිතුරු ලෙස සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයේ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේදී වදාළ සේක.

භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර වැඩ වසන කළ දිනක් මහාකාශ්‍යප මහරහතන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ, ‘පෙර අල්ප සිකපද ගණනක් තිබියදී බොහෝදෙනෙක් රහත් වීමත්, දැන් බොහෝ සිකපද ගණනක් තිබියදී ටිකදෙනෙක් රහත් වීමත් කවර හෙයකින් සිදුවන්නේද?’ යැයි විමසා සිටියහ. එහිදී භාග්‍යවතුන්වහන්සේ වදාරණ ලද්දේ සත්ත්වයන් පිරිහෙන කල්හි, සදහම් අතුරුදහන් වන කල්හි සිකපද බොහෝ ගණනක් වන බවත්, අල්පදෙනෙක් අර්හත්වයට පත් වන බවත්ය.

එසේ පැවසූ භාග්‍යවතුන්වහන්සේ තවදුරටත් බුදුසසුන අතුරුදහන්වීම රත්රන් අතුරුදහන්වීමට සමාන කරමින් මෙසේ වදාළ සේක. “සෙය්‍යථාපි කස්සප, න තාව ජාතරූපස්ස අන්තරධානං හෝති, යාව න ජාතරූපපතිරූපකං ලෝකේ උප්පජ්ජති. යතෝ ච ඛෝ කස්සප ජාතරූපපතිරූපකං ලෝකේ උප්පජ්ජති, අථ ජාතරූපස්ස අන්තරධානං හෝති. ඒව මේව ඛෝ කස්සප, න තාව සද්ධම්මස්ස අන්තරධානං හෝති, යාව න සද්ධම්මපතිරූපකං ලෝකේ උප්පජිජති. යතෝ ච ඛෝ කස්සපං සද්ධම්මපතිරූපකං ලෝකෝ උප්පජ්ජති, අථ සද්ධම්මස්ස අන්තරධානං හෝති” – ‘කාශ්‍යපයෙනි, යම් සේ වනාහී ලොව යම්තාක් රත්රන්වලට ප්‍රතිරූපක බිහි නොවේද ඒ තාක් රත්රන් අතුරුදහන් නොවේ. යම් දිනෙක පටන් කාශ්‍යපයෙනි රත්රන් ප්‍රතිරූපක ලොව බිහි වේද, එතැන් පටන් රත්රන් අතුරුදහන් වෙයි. එසේම කාශ්‍යපයෙනි, යම් තාක් සද්ධර්මයට ප්‍රතිරූපක ලොවෙහි බිහි නොවේද, ඒ තාක් සද්ධර්මය අතුරුදහන් නොවේ. යම් තැනක පටන් සද්ධර්මයට ප්‍රතිරූපක බිහි වේද, එතැන් පටන් සද්ධර්මය අතුරුදහන් වෙයි. යනුවෙනි’ මෙසේ රත්රන් අතුරුදහන්වීමට සමකරමින් ධර්මය අතුරුදහන්වීම භාග්‍යවතුන්වහන්සේ වදාළ සේක.

ඒ අනුව යම් දිනෙක ලොව රත්රන් වැනි වූ එනමුත් රත්රන් නොවූ, මිල අඩු යම් යම් ප්‍රතිරූපක බිහි වේද, එකල්හි මිනිස්සු රත්රන් පරිභෝගය අඩු කර අඩු මිලට ගත හැකි ප්‍රතිරූප භාවිතය අරඹති. එසේ ක්‍රම ක්‍රමයෙන් ලෝකයේ රත්රන් අතුරුදහන් වේ. එසේම තථාගතයන්වහන්සේගේ සුභාෂිත සද්ධර්මය හා බැලූ බැල්මට සමාන සද්ධර්ම ප්‍රතිරූපක බිහිවීමෙන් මිනිස්සු ගැඹුරු, නිරවද්‍ය සද්ධර්මය අතහැර පහසුවෙන් නිවන් දැකිය හැකි ප්‍රතිරූපක සද්ධර්ම කෙරෙහි  යොමු වෙති. එහි ප්‍රතිඵලයක් ලෙස කල් යත්ම ලෝකයේ නිර්මල තථාගත ශ්‍රී සද්ධර්මය ක්‍රම ක්‍රමයෙන් අතුරුදහන් වෙයි.

මෙම විපර්යාසය ඇතිවීමට බොහෝ කලක් ගත නොවනු ඇත. දැන් දැන්ම බෞද්ධ සැදැහැවතුන්ට භාවනා කර, පාරමී ගුණ-දම් දුක සේ පරිපූරණය කර නිවන් ගමන සාක්ෂාත් කර ගනු වෙනුවට පහසුවෙන් ධර්ම ශ්‍රවණයකින්, සිල් රැකීම් මාත්‍රයකින් පමණක් නිවන් අවබෝධ කර ගත හැකි පහසු ක්‍රමවේද බිහිවෙමින් පවතී. එය සද්ධර්මය අතුරුදහන්වන බවට භාග්‍යවතුන්වහන්සේ බුදුඇසින් දුටු පූර්ව නිමිති බව නුවණින් කල්පනා කළ යුතු නොවේද? පර්යාප්ති බුදුසසුන  අතුරුදන් වූ කළ ප්‍රතිපත්ති, ප්‍රතිවේධ ශාසන නිරායාසයෙන්ම අතුරුදහන් වේ. ඒ පර්යාප්ති සසුන අතුරුදහන් වන බවට පෙරනිමිති පහළවෙමින් පවතින බව ශාසන මාමක කවුරුත් පාහේ සංවේගයෙන් සිහිපත් කළ යුතු වේ. ඒ පර්යාප්ති සද්ධර්ම ලොවෙන් අතුරුදහන් වන ආකාරය පිළිබඳ ග්‍රන්ථාන්තරයෙහි සඳහන් වන්නේ මෙසේය.

  1. පළමුව අභිධර්මපිටකය අතුරුදහන් වේ.
  2. එහිලා ද පළමුව පට්ඨාන මහාප්‍රකරණය අතුරුදහන් වේ.
  3. ඉක්බිති පිළිවෙළින් යමක, කථාවත්ථු, පුග්ගලපඤ්ඤත්ති, ධාතුකථා, විභංග, ධම්මසංගනී යන ප්‍රකරණ අතුරුදහන් වේ.
  4. අනතුරුව සූත්‍රපිටකය අතුරුදහන් වේ.
  5. එහිදී ද පළමුව අංගුත්තරනිකාය ඒකාදසක නිපාතයේ පටන් පිළිවෙළින් ඒකකනිපාතය දක්වා පිරිහේ.
  6. ඉන්පසු සංයුක්තනිකාය පිළිවෙළින් මහාවග්ගය, සළායතනවග්ගය, ඛන්ධකවග්ගය, නිදානවග්ගය, සගාථවග්ගය ලෙස පිරිහේ.
  • ඉක්බිති මජ්ඣිමනිකාය පිළිවෙළින් උපරිපණ්ණාසකය, මජ්ඣිමපණ්ණාසකය, මූලපණ්ණාසකය ලෙස පිරිහේ.
  1. අවසන දීඝනිකාය ද පාඨිකවග්ගය, මහාවග්ගය, සීලක්ඛන්ධවග්ගය යන පිළිවෙළින් පිරිහේ.
  2. ඉක්බිති විනයපිටකය සමඟ ජාතක පමණක් දරණ කාලයකි. එකල ලජ්ජී භික්ෂූන් විනයපිටකය දරණ අතර ලාභ කැමති භික්ෂූහු ජාතක දරත්.
  3. කල් ගතවත්ම ජාතක ද පිරිහේ.
  4. ඉන්පසු විනයපිටකය පිරිහේ.
  5. එහිදී ද පළමුව පරිවාරපාළිය ද ඉන්පසු පිළිවෙළින් ඛන්ධක, භික්ඛුණීවිභංගය, මහාවිභංගය ලෙස පිරිහේ.
  6. උපෝසථක්ඛන්ධය පමණක් දරණ කාලයක් වෙයි. එහෙත් තවම සද්ධර්ම පර්යාප්තිය අතුරුදහන් වූයේ නොවේ.
  • යම් කලෙක සතර පද ගාථාවක් හෝ නොමැති වේද, එකල පර්යාප්ති සද්ධර්මය අතුරුදහන් වූවා නම් වේ.

යම් කලෙක සැදැහැති රජෙක් ඇතෙකු සරසවා ඒ මත දහසින් බැඳි පියල්ලක් තබා ‘බුදුරජාණන්වහන්සේ විසින් දේශිත සතරපද ගාථාවක් දන්නා මිනිසෙක් මේ දහසික් බැඳි පියල්ල ගනීවා’ යැයි නගරයෙහි තුන්වරක් බෙර හසුරුවා ද ගන්නා කෙනෙකු නොලැබ රාජපුරුෂයන් යළි රජගෙදරටම පිවිසේ ද එකළ පර්යාප්ති සද්ධර්මය අතුරුදහන් වූවා නම් වේ.

මෙසේ අතුරුදහන්වීම හෙවත් පිරිහීම යනු කාලයාගේ අවෑමෙන් භික්ෂූන් මේ ධර්මය අර්ථ වශයෙන් දරාගැනීමට අපොහොසත්ව පෙළ වශයෙන් පමණක් දරාගෙන සිටිත්. එයින් ද කල් ගතවත්ම පෙළ ද දරාගැනීමට අසමත්ව කියූ පිළිවෙළින් ධර්මය අතුරුදහන් වේ. ඒ අතුරුදහන්වීමට සද්ධර්ම-ප්‍රතිරූපක බිහිවීම බොහෝ සෙයින් උපකාර වේ.

වත්මනෙහි ද ඇතැම් විට අභිධර්මය ආදී ගැඹුරු ධර්ම කොටස් ප්‍රතික්ෂේප කරමින් සරල දහම් කථා පමණක් භාවිතය ප්‍රචලිතවීමෙන් මෙම සද්ධර්මයේ අතුරුදහන්වීම අත්දකිමින් සිටිමු. එදා මහාවිහාරීය මහතෙරුන්වහන්සේලා මෙම ශාසනික පරිහානිය දැක සද්ධර්මයේ චිරස්ථිතිය වෙනුවෙන් ස්වකීය දිවි පරදුවට තබා කැප වූහ. සැදැහැසම්පන්න ගිහිපින්වතුන්, රාජ්‍යපාලකයන්ද එයට අපමණ සහාය දැක්වූහ. ඒ අප්‍රමාණ කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස තවමත් සුරක්ෂිතව ඇති බුදුසසුන තවත් කලක් අනාගත පරපුර උදෙසා රැකගැනීමේ උදාර වගකීම ගිහි-පැවිදි කාහටත් නොමඳව ඇත්තේය. මේ සඳහා කළ යුතු, කළ හැකි එකම සහ වැදගත්ම කාර්යභාරය වන්නේ ඉපැරණි ථෙරවාදී මහාවිහාරීය මහරහතුන්වහන්සේලා අනුව යමින් ථෙරවාදී පෙළදහමත්, තදර්ථකථාවත්, මහාවිහාරීය මතය නියෝජනය කරන ටීකා ග්‍රන්ථත් ගුරුකොටගත් මහාවිහාරීය ප්‍රවේණිය අනුව ධර්ම-විනය අර්ථ විවරණය කරගෙන එය අනුව කටයුතු කිරීම වේ.

එහිලා යළි යළිත් සිහිපත් කළ යුතු වේ. ඒ මේ මහාවිහාරීය පරපුරේ සුවිශේෂී අනන්‍යතාව වනුයේ සංගීතිත්‍රයට නංවන ලද, මිහිඳු මාහිමියන් විසින් ලක්දිවට රැගෙන එන ලද සර්වඥ සුභාෂිත පෙළදහමත්, එහිලා නිරාකූලව අරුත් විවරණය කළ අර්ථකතාවත් අනුව යමින් සුපරිසිදු ථෙරවාදී සද්ධර්මය අනුගමනය කිරීමයි. ඒ අනුව ථෙරවාදී ත්‍රිපිටකපෙළ, අර්ථකතාව මහාවිහාරිකයන්ගේ මුදුන්මල්කඩ වේ. ‍එසේ ඒ සුපිරිසිදු, ධර්ම-විනය පිහිට කරගෙන, පෙළ අර්ථකතා ඔස්සේ සද්ධර්මයට නිරවුල් අරුත් සපයාගෙන සුපිරිසිදු නිවන්මඟ ගමන් ගන්නා නොකිලිටි බුදුසසුන ‘ඉපැරණි ථෙරවාදී මහාවිහාරීය ප්‍රවේණිය’ යන විරුදාවලියෙන් හඳුන්වමු. ඒ මහාවිහාරීය ප්‍රවේණිය පිහිට කරගෙන ශීල-සමාධි-ප්‍රඥා ගුණ දියුණු කරගෙන උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට සැවොම එක්වේවා!!!

 

“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධසාසනං”

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය
නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk