පාරමිතා පිරූ මහබෝසතාණෝ
“මම බුද්ධත්වය ලබා අවශේෂ ලෝක සත්ත්වයා දුකින් මුදවමි, මම සසර දුකින් එතෙරව අන් සත්ත්වයන්ද මෙම සසරෙන් මුදවන්නෙමි” යැයි ලෝකසත්ත්වයා කෙරෙහි මහත්වූ දයානුකම්පාවෙන් වර්ෂ සිය ගණනින්, දහස් ගණනින්, ලක්ෂ ගණනින් කාලය පිරිසිඳිය නොහැකි, උපමා අනුසාරයෙන් පමණක් කාලය දැක්විය හැකි, කල්පය නම් අතිදීර්ඝ කාල ඒකකයෙන්ම පමණක් ප්‍රමාණකළ හැකි කල්පවලින් විසි අසංඛෙය්‍යකුත් කල්ප ලක්ෂයක් තරම් අතිදීර්ඝ කාලයක් පාරමිතා ධර්මයන් පුරා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දෙවැන්නෙකුගේ සහාය නොමැතිව චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ගෞතම නමින් බුද්ධත්වයට පත් වී වදාළ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වර්ෂ 45ක් තරම් කාලයක් නිවන් අවබෝධ කළ හැකි සත්ත්වයන්ට සසර දුකින් නිදහස් වනු පිණිස මාර්ගය දේශනා කළ සේක. තවත් අනන්ත අපරිමාණ සත්ත්වයන්ට මතු ජීවිතයන්හි සුගතිගාමී වන්නටද නිර්වාණය අවබෝධ කරගැනීමට ද සුදුසු පරිදි දහම් දෙසූ සේක.

ධම්ම – විනය
තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව පළමුවන ධර්ම සංගායනාවේදී මහාකාශ්‍යප, ආනන්ද, උපාලි ආදී ධර්මසංග්‍රාහික මහරහතන්වහන්සේලා  විසින් ඒ ධර්මය මතු පරම්පරාවන්ට ප්‍රයෝජනයට ගැනීම පිණිස සංග්‍රහකොට වදාළහ. ඒසේ සංග්‍රහ කරන ලද තථාගතධර්මය ධර්මය-විනය යනුවෙන් කොටස් 2කි. භික්ෂු, භික්ෂුණීන්ගේ කාය-වාග් අසංවරයන් වළකමින් ශීලමය වශයෙන් පනවන ලද ශික්ෂාපද සමූහය විනයයි. එය විනය පිටකයේ ඇතුළත් වේ. ධර්මය නම් විනය පිටකයට අයත් නොවන අවශේෂ බුද්ධ වචනයයි. චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය, ස්කන්ධ, ආයතන, ධාතු, නිවන් දැකීම පිණිස පිරිය යුතු ගුණ, සත්ත්වයා සුගතිගාමී වන අකාරය, දුගතිගාමී වන ආකාරය ආදී නොයෙකුත් කරුණු මෙම ධර්ම කොටසෙහි ඇතුළත් වේ. එය සූත්‍ර පිටකයේ සහ අභිධර්මපිටකයේ සංග්‍රහ වේ.

අභිධර්ම දේශනාව
අභිධර්මපිටකය ධම්මසඞ්ගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතුකථා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය, කථාවස්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය, පට්ඨාන ප්‍රකරණය යන ග්‍රන්ථ 7කින් සංග්‍රහ වේ. සූත්‍රපිටකයේ එන දේශනා නොයෙක් ස්ථානවලදී ඒ ඒ පුදගලයාට ධර්මය අවබෝධ කර ගත හැකි පරිදි කරන ලද දේශනා සමූහයකි. අභිධර්මපිටකය තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් සත්වැනි වස්කාලයේදී මාස තුනක් තරම් දීර්ඝ කාලයක් පුරා අඛණ්ඩව මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ දසදහසක් සක්වළින් රැස් වූ දෙවියන් වෙත කරන ලද එකම දේශනාවකි. භාග්‍යවතුන්වහන්සේ දහවල් දාන අනුමෝදනාව මඳක් වැඩිකොට දේශනා කරන විට එය දීඝනිකාය, මජ්ඣිමනිකාය යන දෙනිකාය පමණ දීර්ඝය. පසුබත් කාලයේදී දහම් ඇසීමට පැමිණෙන පිරිසට කරන දේශනාව සංයුක්තනිකාය සහ අඞ්ගුත්තරනිකාය තරම් දීර්ඝ වේ. මාස තුනක් අඛණ්ඩව පැවැත්වූ අභිධර්ම දේශනාව ධර්මස්කන්ධ ගණනින් පිරිසිඳිය නොහැකි තරම් අතිදීර්ඝ දේශනාවකි.

නිර්මිත බුදුරුවක් මවා ධර්මදේශනාව පැවැත්වීමට අධිෂ්ඨාන කොට භාග්‍යවතුන්වහන්සේ පිණ්ඩපාතය පිණිස උතුරුකුරු දිවයිනට වඩිනා සේක. පිණ්ඩපාතය එතැනින් ලබාගෙන අනවතප්තවිල අසලදී දන් වළඳා දිවා විහරණය පිණිස සඳුන් වනයට වඩිනා සේක. ප්‍රඥාවන්තයන් අතර අගතනතුරට පත් ධර්ම සේනාධිපති වූ සැරියුත් මහරහතන් වහන්සේ එතැනට පැමිණිවිට ඒ ඒ දිනවල දේශනා කරන ලද අභිධර්මය සාරාංශගතව දේශනා කරනා සේක. සතරපද ගාථාවකින් පද දෙකක් අසන විට සෝවාන්ඵලය ලැබීමට තරම් මහාප්‍රඥාවන්ත වූ සැරියුත් මහරහතන්වහන්සේ එම සංක්ෂිප්ත ධර්මය නය සියයෙන් නය දහසින් නය ලක්ෂයෙන් අවබෝධ කර ගැනීමට සමර්ථය. සැරියුත් මහරහතන් වහන්සේ තමාගේ ශිෂ්‍යයන් වූ පන්සියයක් පමණ භික්ෂූන්වහන්සේලාට එම ධර්මය දේශනා කරන සේක. අභිධර්මය වාචනාමාර්ගයට නංවන ලද්දේ සැරියුත් මහරහතන් වහන්සේ විසිනි. ත්‍රිපිටකයේ අසූහාරදහසක් ධර්මස්කන්ධ අතරෙන් හතළිස් දෙදහසක්ම එම වාචනාමාර්ගයයි.

අභිධර්මය යන පදය
අභිධර්මය (අභිධම්ම) යන පදය ධම්මසඞ්ගණී අටුවාවෙහි විස්තර කරනුයේ අධික වූ ධර්මය, විශේෂ වූ ධර්මය (ධම්මාතිරේක ධම්මවිසේසට්ඨේන) යනුවෙනි. සූත්‍රයන්හි රූපස්කන්ධය අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න, ආධ්‍යාත්මික, බාහිර, ඕළාරික, සූක්ෂම, හීන, ප්‍රණීත, දූර, සන්තික යනුවෙන් එකොළොස් ආකාරයකට බෙදා දක්වයි. අභිධර්මපිටකයේදී රූපය පටිනිද්දේසයක් සහිතව, එනම් ඉහත සඳහන් කළ එකොළොස් පදයන් එක එකක් පැහැදිලි කිරීම් වශයෙන්ද, අභිධර්ම භාජනීය වශයෙන් තවත් නය ක්‍රම රාශියකින්ද, පඤ්හ පුච්ඡකයේදී ප්‍රශ්න උත්තර ක්‍රමයටද යන තුන්ආකාරයකින් අධික වූ සහ විශේෂ වූ පාලි විස්තරයකින් දැක්වේ. මේ ආකාරයට කෙරෙන අධික සහ විශේෂ විස්තරය මගින් පරමාර්ථධර්ම පිළිබඳව පැහැදිලි සහ පිරිසිදු දැනුමක් ලබා ගැනීමට හැකි වේ.

අභිධර්මය ඉගෙනීමේ ප්‍රයෝජන

  • දහම් කරුණු නිවැරදිව වටහා ගැනීමට

ආභිධර්මික භික්ෂුවම ධර්ම කථිකයෙකු වන බව ධම්මසඞ්ගණී අටුවාවෙහි විස්තර වේ. “ආභිධර්මික භික්ෂූහුම ධර්මකථිකයෝ නම් වෙත්. අවශේෂ භික්ෂූහු දහම් දේශනා කරනුයේ නමුදු ධර්මකථිකයෝ නොවෙත්. කවර හෙයකින්ද යත්? අවශේෂ භික්ෂූහු ධර්මය දේශනා කරනුයේ එක් කර්මයක් තවත් කර්මයක් සමඟ අවුල්කොටද, එක් විපාකයක් තවත් විපාකයක් සමඟ අවුල්කොටද, රූප අරූප පිරිසිඳීම් දෙක අවුල්කොටද, එක් ධර්මයක් තවත් ධර්මයක් සමඟ අවුල්කොටද ලෙසය. එහෙයින් ආභිධර්මික භික්ෂුව ධර්මය දේශනා කළේ හෝ වේවා නොකළේ හෝ වේවා අනෙකෙකු විසින් ධර්මය විමසූ කල්හි නොවරදවා ප්‍රශ්නයට පිළිතුරු දෙන බැවින් මෙම ආභිධර්මික භික්ෂුව ඒකාන්ත ධර්මකථිකයෙකු වේ.” සූත්‍රධර්ම ඒ ඒ පුද්ගලයාගේ අදහසට ගැළපෙන පරිදි දේශනා කළ බැවින් එය රෝගීන් පරීක්ෂා කරන වෛද්‍යවරයෙකු ඒ ඒ රෝගියා හට ගැළපෙන පරිදි ලියන ලද බෙහෙත් සීට්ටු රැසක් වැනිය. ක්‍රමානුකූලව වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන ගැනීමෙන් මිස බෙහෙත් සීට්ටු කියවීමෙන් වෛද්‍යවරයෙකු වීමට නොහැකි වන්නා සේ සූත්‍ර පිටකය පමණක් ඉගෙනීමෙන් හොඳ ධර්මකථිකයෙකු විය නොහැක.

  • නාථකරණ ධර්මයක් ලෙස

“සනාථා භික්ඛවේ විහරථ, මා අනාථා, දුක්ඛං භික්ඛවේ අනාථෝ විහරති, දස ඉමේ භික්ඛවේ, නාථකරණ ධම්මා. කතමේ දස.”

“මහණෙනි, අනාථව වාසය නොකළ යුතුය. අනාථභාවය දුකකි. නාථකරණ ධර්ම නම් වූ පැවිද්දන්ට පිළිසරණ වන ධර්ම දහයකි.” යනුවෙන් නාථකරණ ධර්ම දහයක් බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත. එම ධර්ම දහය අතරින් එක ධර්මයක අභිධර්මය පිළිබඳව සඳහන් වේ.

යම් භික්ෂුවක් ධර්මකාමී වේද, සකස් කොට ධර්මශ්‍රවණයට සහ ධර්මදේශනා කිරීමට කැමති වේද, අභිධර්මයෙහි සහ අභිවිනයෙහි බලවත් ප්‍රමෝදයක් වෙත් නම් මෙය නාථකරණ ධර්මයකි. මෙහි එන අභිවිනය නම් විනය පිටකයෙහි මහාවග්ග, චුල්ලවග්ග සහ පරිවාරපාළි යන ග්‍රන්ථයි. අභිධර්ම නම් අභිධර්ම පිටකයයි. නාම රූප පිළිබඳව යම් අවබෝධයක් ලබා ගෙන එය විදර්ශනාවට උපකාර කරගැන්මට අභිධර්මය හැදෑරීම අවශ්‍යය. එනිසා අනාථ නොවී බුද්ධශාසනයේ පිළිසරණක් ඇතිව වාසය කිරීමට භික්ෂුවක් හට අභිධර්මය අවශ්‍යය.

  • සසරට ලැබෙන උපනිශ්‍රය – අභිධර්ම සජ්ඣායනය ඇසූ කිරිවවුලන්

සාරිපුත්ත මහරහතන්වහන්සේගෙන් මුලින්ම අභිධර්මය ඉගෙනගත් භික්ෂූන් වහන්සේලාට ඒ සඳහා පූර්ව ජන්මයකදී ලත් උපනිශ්‍රය බලවත්ය. කාශ්‍යප බුද්ධ කාලයේදී එම භික්ෂූන් 500දෙනා අකුසල කර්මයක ප්‍රතිවිපාක ලෙස කිරිවවුලන්ව ඉපිද සිටියහ. පර්වත ප්‍රපාතයක එල්ලී සිටින එම කිරිවවුලෝ අභිධර්මය සජ්ඣායනා කළ භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකුගේ හඬට සවන් දුන්හ. එම දේශනාව කුසලයක්ද අකුසලයක්ද යැයි නොදැන එම හ‍‍‍ඬෙහි නිමිති ගැනීම් මාත්‍රයම එම සතුන්ට කුසල් අරමුණක් විය. එම කුසලයෙන් දිව්‍ය ලෝකයෙහි ඉපිද බුද්ධාන්තරයක් එහි වාසය කළහ. අප බුදුරජාණන්වහන්සේගේ කාලයේ මනුෂ්‍ය ලෝකයෙහි ඉපිද බුදුරජාණන්වහන්සේගේ යමක ප්‍රාතිහාර්යය දැක පැහැදී සැරියුත් මහරහතන්වහන්සේ සමීපයෙහි පැවිදි විය. එසේ පැවිදි වී සැරියුත් මහරහතන්වහන්සේගෙන් අභිධර්ම පිටකය ඉගෙන ගත්හ. එම භික්ෂූන් හට සසරෙහි ලද උපනිශ්‍රය නිසා අභිධර්මය නුහුරු වූ දේශනාවක් නොවීය. අභිධර්ම සජ්ඣායනයක සිත පිහිටුවීම් මාත්‍රයක් මෙතරම් දුරකට උපනිශ්‍රය වන්නේ නම් මනා ලෙස සකස් කොට අභිධර්මයෙහි නිරත වීමෙන් ලැබෙන ආනිසංස ගැන නුවණින් විමසා බැලීම වටී.

  • සසරට ලැබෙන උපනිශ්‍රය -ආයතන දේශනාව ඇසූ ජනසාන ආජීවකතුමා

ධර්මාශෝක අධිරාජයා මවුකුස සිටියදී එතුමාගේ මවුතුමියට දොළදුකක් විය. එනම් එක් පයකින් ඉර පාගාගෙන අනෙක් පයින් සඳ පාගාගෙන තරු ද, වළාකුළු ද, පොළොවෙහි ගැඩවිල් පණුවන්ද, වනපලා ද කෑමට ඇයට සිත් වීය. අශෝක අධිරාජයාගේ පියා වූ බින්දුසාර රජුට මෙය සැළකළ විට රජතුමා ඇමතියන් රැස්කරවා මෙම දොළදුක සන්සිඳවිය යුතු ආකාරය පිළිබඳ විමසීය. ඉර සඳ දෙකෙහි පිළි රූ දෙකක් සාදා දේවියගේ දෙපය ඒවා මත තබා අනෙක් කෑමට කැමති දේ කවන්නෙමු යැයි ඇමතියන් කීහ. ඉන්පසු රජදේවිය එම පිළි රූ දෙක මත දෙපය තබාගෙන සිටියදී තරු හැඩයෙන් යුත් වටකුරු කැවිලි ද, වළාකුළු හැඩයෙන් යුත් කැවිලි ද කන්නට දුන්නේය. වනපලා ද, ගැඩවිලුන්ගේ හැඩයට ඇති කැවිල්ලක් ද කන්නට දුන්නේය. ඉන් ඇයගේ දොළදුක සන්සිඳුණි. රජතුමා මෙම දොළදුකෙහි පූර්ව නිමිත්තක් ඇත්දැයි දැනගැනීම පිණිස බමුණන් කැඳවීය. ඔවුන් මෙහි තේරුම නොදත්හ. ඉන් අනතුරුව නගර ගුත්තිකයන් කැඳවා ඔවුන්ගෙන් ද විමසීය. ඔවුන් ද මෙම දොළදුක තේරුම් කිරීමට නොදත් බැවින් ආජීවකයන්ගෙන් අසන්නට යැයි රජුට කීහ. රාජදේවියගේ හිතවත් වූ ජනසාන නම් ආජීවක කෙනෙක් රජතුමාට මෙම දොළදුකෙහි අර්ථය පැහැදිලි කර දුන්නේය. “මහරජ, දේවිය සියලු අඟපසඟින් යුත් පිරිපුන් පුත්‍රයෙක් ලබන්නී ය.” යැයි අනාවැකි පළ කළේය.

ජනසාන ආජීවකතුමා සසර පින්කරන ලද මහා නුවණැත්තෙක් වීය. ඔහු කාශ්‍යප බුද්ධකාලයේදී පිඹුරෙක්ව උපත ලබා සිටියේය. අභිධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්වහන්සේලා සමීපයට පැමිණ නිදනුයේ ඒ භික්ෂූන් ආයතන කථා සජ්ඣායනා කරන කල්හි එම ස්වරයෙහි නිමිති ගත්තේය. එම කුසලයෙන් දිව්‍යලෝකයෙහි ඉපිද අප බුදුරජාණන්වහන්සේ පිරිනිවෙන තුරු එහි වාසය කළේය. බුද්ධපරිනිර්වාණයෙන් පසු බමුණු කුලයක ඉපිද ආජීවකයෙක් ලෙස පැවිදි වීය. ඔහු දේවියගේ දොළදුක පිළිබඳව විවරණයක් දේවියට ඉදිරිපත් කළේය. දේවියට උපදින පුත්කුමරු දඹදිව රජුන් සියයක් අභිබවා රාජ්‍යය කරවන බවත්, සහෝදරයන් ඝාතනය කරන බවත්, බුදුසසුන බබුළුවන බවත්, අහසෙහි සහ පොළොවෙන් යට යොදුනක් පමණ භූමිභාගයක තම අණසක පවත්වන බවත් අනාවැකි පළ කළේය.

අශෝකකුමරු ඉපිද හැදී වැඩී අශෝක අධිරාජ්‍යයා වූ පසු ජනසාන ආජීවකයා හට සත්කාර කිරීමට රන්සිවිගෙයකින් කැඳවාගෙන ඒමට පිරිස යැවීය. රජුගේ මාළිගයට එන අතරතුරදී වත්තනිය නම් ආරණ්‍යයේ සිටි අස්සගුත්ත මහරහතන්වහන්සේ හමුවීය. මෛත්‍රී විහරණයෙන් අගතැන්පත් වූ මහරහතන්වහන්සේගේ ආනුභාවය නිසා එම ආරණ්‍යයේ වාසය කළ සිංහ, වළස්, ගෝන, මුව ආදී සත්ත්වයන් එකිනෙකා කෙරෙහි සමඟියෙන් විසීය. ජනසාන ආජීවක එම සතුන් පිළිබඳ “මොවුන් කවරහුද?” යැයි තෙරුන්වහන්සේගෙන් විමසීය. ජනසානගේ පෙර ජීවිතවලින් ලද හේතුසම්පත් විමසන්නාවූ මහරහතන්වහන්සේ  “ඇවැත්නි, මොහු ආයතන නම් වෙත්” යැයි පිළිතුරු දුන්හ. නැවතත් ජනසාන ආජීවක “මෙම සතුන් කොතන්හි සක්මන් කෙරෙත්ද?” යැයි විමසූ විට “එම ආයතන තුළම සක්මන් කෙරෙත්” යැයි පිළිතුරු දුන් සේක. ආයතන යන පදය ඇසූ පමණින් ඔහුට ධර්මයෙහි පැහැදීම ඇති වීය. ඉන්පසු අස්සගුත්ත මහරහතන්වහන්සේ වෙතින් පැවිදිව භාවනාකර්මස්ථාන ගෙන විදසුන් වඩා අර්හත්වයට පත්වීය. පිඹුරෙක්ව සිට ඇසූ අභිධර්ම කථාව ජනසාන ආජීවකතුමා හට නිවන් දැකීමට උපකාර වීය.

අභිධර්මය හැදෑරීමට සංග්‍රහ ග්‍රන්ථ භාවිතා කිරීම
ධම්මසංගණී ආදී ග්‍රන්ථ සතෙහි කරුණු සංක්ෂේප කරමින් අභිධර්මය ඉගෙනීම ආරම්භ කරන්නන්ගේ පහසුව පිණිස පසුකාලීනව නොයෙක් ග්‍රන්ථ රචනා වීය. අභිධම්මාවතාර, රූපාරූප විභාගය, සච්චසංඛේප, රූපවිභාගය, නාමරූප සමාසය, පරමත්ථ විනිච්ඡය ආදී එම ග්‍රන්ථ අතුරෙන් අනුරුද්ධාචාර්යයන් වහන්සේ විසින් රචනා කරන ලද අභිධර්මාර්ථ සංග්‍රහය වඩාත් ප්‍රචලිත විය. අභිධර්මයේ ඉගැන්වෙන චිත්ත, චෛතසික, රූප, නිර්වාණ යන සතර පරමාර්ථ ධර්ම, එම දැනුම උපයෝගී කරගෙන භාවනාව වඩන ආකාරය සංක්ෂිප්තව එම පොතෙහි අන්තර්ගතය. නිවන්මගෙහි ගමන් කරන ගිහි පැවිදි දෙපිරිසට එමගින් ලැබුණු උපකාරය මහත්ය.

පොළොන්නරු යුගයේදී සාරිපුත්ත සංඝරාජ ස්වාමීන්වහන්සේගේ ශිෂ්‍ය වූ සුමංගල නම් ස්ථවිරයන්වහන්සේ විසින් අභිධම්මත්ථ විභාවිනී නම් ටීකාවක් අභිධර්මාර්ථ සංග්‍රහයට පරිවාර වශයෙන් රචනා විය. අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථ ඇසුරෙන් අභිධර්මය ඉගෙනීම අරඹන සාම්ප්‍රදායික ථේරවාදී අභිධර්ම අධ්‍යාපන ප්‍රවේණියේදී අභිධර්මාර්ථ සංග්‍රහය සහ අභිධම්මත්ථ විභාවිනී ටීකාව යන ග්‍රන්ථ දෙකින් සැකසුණු පදනම ධම්මසඞ්ගණී ආදී සප්තප්‍රකරණය, අටුවා, ටීකා පරිශීලනය කර තථාගත වචනය අවබෝධ කර ගැනීමට මහත් සේ උපකාරී විය. අන් කිසිදු බෞද්ධ ග්‍රන්ථයකටත් වඩා අභිධර්මාර්ථ සංග්‍රහය ටීකා, සන්න, සංග්‍රහ ආදී බොහෝ ග්‍රන්ථවලින් පරිවාර විය. ථේරවාදී සම්ප්‍රදාය තුළ එම ග්‍රන්ථයට දී ඇති වැදගත්කම ඉන් පැහැදිලි වේ. අභිධර්ම පිටකය‍ට මුල්තැනක් දෙන බුරුමයේදී (මියන්මාරය) පුරාතනයේ පටන් අභිධර්මාර්ථ සංග්‍රහයට බොහෝ පරිවාර ග්‍රන්ථ රචනා විය. පසුගිය සියවසේදී ලංකාවේ ලියැවුණු ග්‍රන්ථ අතරෙන් අභිධර්ම මාර්ගය, අභිධර්මයේ මූලික කරුණු, අභිධර්ම චන්ද්‍රිකාව යන ග්‍රන්ථ සිංහල භාෂාවෙන් අභිධර්මය ඉගෙන ගැනීම අරඹන ආධුනිකයෙකුට විශ්වාසදායී ලෙස කියවිය හැකිය. අභිධර්මය ක්‍රමානුකූලව නොහදාරා එහෙන් මෙහෙන් එකතු කරගත් දෑ ඇසුරෙන් හුදු තර්කයෙන් පමණක් මතවලට බැසගන්නා වූ බටහිර උගතුන්ගේ මතවලට අනුව ‘අභිධර්ම අධ්‍යයනයන් ‘ කරන විශ්ව විද්‍යාල උගතුන්ගේ කෘති කියවී‍මෙන් ආධුනිකයෙකු හට සිදුකරන අනර්ථය ප්‍රමාණ කළ නොහැක.

අභිධර්මාර්ථ සංග්‍රහය ආදී ග්‍රන්ථ ඇසුරු කොට වර්තමානයේ ලියවී ඇති ද්විතීයික කෘති සම්බන්ධව මත පළකරන ඇතැම් උගතුන්ගේ මතය වනුයේ එම කෘති අභිධර්මය පිළිබඳව සාම්ප්‍රදායික ආකල්පයක් දරන බවයි. තථාගතයන්වහන්සේ ජාති, ජරා, ව්‍යාධි ආදී කොට දුක්ඛසත්‍යය යැයි යමක් වදාළේද, වර්තමානය වන විට එම සත්‍යයේ වෙනසක් වී නොමැත. සත්ත්වයා භවයෙන් භවයට පමුණුවන, සියලු දුක්ඛයන්ට හේතුවන, ලෝභය යැයි වදාළ සමුදය සත්‍යයෙහි ද වෙනසක් වී නැත. සියලු දුකින් මිදීම වන නිර්වාණය නම් වූ නිරෝධසත්‍යයේ ද වෙනසක් වී නොමැත. නිවනට පමුණුවන ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් මාර්ගසත්‍යයේ ද වෙනසක් වී නොමැත. අපගේ ශාස්තෲන්වහන්සේ වදාළ චතුරාර්යසත්‍යය අද වන විට කිසිදු වෙනසකට ලක් වී නොමැති නම්, එම චතුරාර්යසත්‍යය අවබෝධ කරගැනීමට උපකාරී වන සාම්ප්‍රදායික අභිධර්ම ග්‍රන්ථ තථාගතධර්මයට අනුකූල නම්, අභිධර්මය පිළිබඳව වර්තමානය වන විටද සාම්ප්‍රදායික ආකල්ප පැවතීම පිළිබඳ කිසිවෙකු කරදර විය යුතු නැත. විපස්සනා භාවනාව දියුණු කරගෙන මගඵල නිවන් දැකීමට සාම්ප්‍රදායිකව ප්‍රවේණියෙන් ලැබී ඇති පිරිසිදු ථේරවාදී ධර්මය අතිශයෙන් උපකාරී වේ. අභිධර්මය පිළිබඳ සාම්ප්‍රදායික නොවන මත දැරීමට ලෝකයා සමාදන් කරවන එබඳු උගතුන්ගේ මත මාර්ගය වැඩීමට බාධාකාරී වනු ඒකාන්තය.

අභිධර්මාර්ථ සංග්‍රහයේ දක්වන ලද පෞරාණික ක්‍රමය නොඉක්මවමින් අභිධර්ම පාලිය, අටුවා, ටීකා, සංග්‍රහ ග්‍රන්ථයන්ට අනුකූලවම මෙම ලිපිපෙළ ඉදිරිපත් කිරීම අපගේ අපේක්ෂාවයි.

මෙම ලිපිපෙළ සියලුදෙනාගේ ප්‍රඥාව දියුණුවීමට හේතු වේවා! මග-ඵල නිවන් දැකීම පිණිසම උපනිශ්‍රය වේවා! යනු අපගේ මෛත්‍රී පූර්වාංගම ප්‍රාර්ථනාවයි.

 

සම්පාදක
ධම්මික හිමි
Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය
නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk