ලෝකයේ රූපයෙන් අග්‍ර වූයේ බුදුරජාණන්වහන්සේය. මිහිරි කටහඬකින් යුක්තවූයේද බුදුරජාණන්වහන්සේය.  ශ්‍රී සෞභාග්‍යයෙන් කෙළවරට පැමිණියේ බුදුරජාණන්වහන්සේය. ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනයන්ගෙන් කෙළවරට පැමිණියේ බුදුරජාණන්වහන්සේය. ලෝකයේ ඇතැමෙක් බුදුරජාණන්වහන්සේගේ බුදු සිරිය වර්ණනා කළහ. ඇතැමෙක් ගුණ කඳ වර්ණනා කළහ. ඇතැමෙක් නුගුණද මවා පෑහ. මේ සියල්ල හමුවේ අකම්පිත සිත් ඇතිව වාසය කළ බුදුරජාණන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූවක් අනුබ්‍යඤ්ජන, බ්‍යාමප්‍රභා කේතුමාලාලංකාරාදීන්ගෙන් සමන්වාගතවූ ශ්‍රී ශෝභාව වංගීස මහරහතන්වහන්සේ විසින් දූටු අයුරු සංයුක්ත නිකායේ ගග්ගරා සූත්‍රයේ  සඳහන් වෙයි.

භාග්‍යවතුන්වහන්සේ එක් සමයක චම්පානුවර සමීපයෙහි ගග්ගරා නම් පොකුණු තීරයේ වැඩ සිටි සේක. පන්සියයක භික්ෂු පිරිසක්ද, සත්සියයක උපාසක පිරිසක්ද, දෙවිවරු දහස් ගණනක්ද භාග්‍යවතුන්වහන්සේ පිරිවරා සිටියහ. තථාගතයන්වහන්සේ පුණ්‍යශෝභාවෙන් ආලෝකමත් වූ ස්වර්ණ වර්ණයෙන්ද, පිරිවරින්ද ඒ පිරිස අභිබවා බබළන සේක.

භාග්‍යවතුන්වහන්සේ හට යෙදෙන පරියාය නමක් වන ‘භගවා’ යන්නට එම නම ලැබී ඇති එක් හේතුවක් නම් උන්වහන්සේගේ රූපකාය සම්පත්තියයි. භාග්‍යවතුන්වහන්සේගේ ශරීරය පෙර සසරෙහි පුරන ලද පාරමිතාවල විපාක වශයෙන් දෙතිසක් මහාපුරුෂ ලක්ෂණවලින් සමන්විත වීය. ස්වර්ණ වර්ණයෙන් බබළන්නා වූ රන්වන් ශරීරයක් ලැබීමට පෙර ජීවිතවලදී කළ කුසලකර්මයන් හේතු වීය. එනම් මිනිස් ආත්මභාවයන්හි ඉපදුනු අවස්ථාවලදී  නොකිපෙන ගති ඇත්තේ වීය. වෛර නොබැන්දේය. සිත් තැවුලට පත් නොවීය. අඩුම තරමින් ද්වේෂයද, වෛරයකට පත්වූ බවක්වත් පළනොකළේය. බොහෝ දේවල් කියමින් තමාට බැණ වදින විටදී පවා ක්‍රෝධය ඇති නොකර ගත්තේය. මෘදු වූ පොරෝනාද, කපු පිළී, සියුම් පටවස්ත්‍ර, සියුම් පළස් ආදී මෘදු වූ දෑ දන් දුන් සේක. මේ කර්මවල විපාක ලෙස රන්වන් සිරුරු දරන භාග්‍යවතුන්වහන්සේ පිළිබඳව සූත්‍ර පිටකයේ නොයෙක් තැන්වල සඳහන් වේ.

එමෙන්ම යසස, එනම් පරිවාර සම්පත්තිය ලැබීමට භාග්‍යවන්ත වූ බැවින් භගවා යන නම යෙදේ. සිද්ධාර්ථ කුමාර අවදියේ පටන් මහා පිරිවර සහිතව රජසිරි වින්දේය. බුද්ධ රාජ්‍යයට පත්ව ගණන පථය ඉක්මවූ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක්  පිරිසෙන් පරිවාර වීය. පරිනිර්වාණයෙන් අනතුරුවද සිටි ශ්‍රාවක පිරිසද ප්‍රමාණ කළ නොහැක. ගග්ගරා පොකුණු තීරයේදී භාග්‍යවතුන්වහන්සේ එතැන සිටි සියලු දෙව්මිනිසුන් පිරිවරාගෙන, යසසින් සියලු දෙනා අභිබවාගෙන වැඩ සිටියහ.

එම ස්ථානයේ වැඩ සිටි වඞ්ගීස ස්වාමීන්වහන්සේට මෙබඳු සිතිවිල්ලක් ඇති වීය. “භාග්‍යවතුන්වහන්සේ චම්පානුවර සමීපයෙහි ගග්ගරා නම් පොකුණු තීරයෙහි භික්ෂූන් වහන්සේලා පන්සියයක්ද, උපාසකයන් සත්සියයක්ද, දහස්ගණනින් දෙවිවරු පිරිවරාගෙන රන්වන් ශරීර වර්ණයෙන්ද පිරිවරින්ද අතිශයින් බබළමින් වැඩ හිඳී. මම මේ අවස්ථාවට ගැළපෙන පරිදි ගාථාවකින් භාග්‍යවතුන්වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන්නේ නම් මැනවි” යැයි සිත් වීය.

ඉන්පසු වඞ්ගීස ස්වාමීන්වහන්සේ සඟල සිවුර ඒකාංශ කොට භාග්‍යවතුන්වහන්සේ වෙත ඉතා ගෞරවයෙන් ඇඳිලි බැඳ මෙසේ වදාළහ.

භාග්‍යවතුන්වහන්ස, මට වැටහේය. සුගතයන් වහන්ස, මට වැටහේය” යනුවෙනි.

මට වැටහේය” යන වචනය යමක් ප්‍රකාශ කිරීමට ඇති බව යටහත් පහත් ලෙස භාග්‍යවතුන්වහන්සේට සිහිපත් කරන ආකාරයකි. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ “වඞ්ගීස, නුඹට වැටහේවා!” යැයි වදාළ සේක. ඒ වඞ්ගීස ස්වාමීන්වහන්සේ හට එම ගාථාව ප්‍රකාශ කිරීමට අවසරය දුන් ආකාරයයි. ඉන්පසු වඞ්ගීස ස්වාමීන්වහන්සේ මෙසේ වදාළ සේක.

චන්දෝ යථා විගතවලාහකේ නභේ
විරෝචති වීතමලෝ ච භාණුමා
ඒවම්පි අඞ්ගීරස ත්වං මහාමුනී
අතිරෝචේසි යස්සා සබ්බලෝකන්ති

හිරු සඳු දෙකට ප්‍රතිපක්ෂව එහි බැබළීම වළකන්නා වූ ධර්ම සතරක් ඇත. එනම් වළාකුළු, මීදුම, දුම සහ දූවිලි, රාහු අසුරේන්ද්‍රයා යන කරුණු සතරයි.

පහවී ගිය වළාකුළු ඇති අහසේ චන්ද්‍රයාද, නිර්මල වූ සූර්යයාද යම් සේ බබළත්ද මහාමුනීන්ද්‍රයාණන් වූ බුදුරජාණන්වහන්ස, ඔබවහන්සේද එසේ යසසින් සියලු ලෝකය අභිබවා බබළන සේක” යනු එම ගාථාවේ අර්ථයයි.

සම්පාදක
ධම්මික හිමි
Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය