නොයෙක් ආකාරයන්ගෙන් අධාර්මික ප්‍රයෝගයන් මගින් තම ජීවිත පුරවාගෙන එතුලින් ලෞකික් වස්තූන් සොයන ලෝකය තුල, කාම සම්පත් අත්හරනා ලද උත්තමයෝද සම්පත් නොපතන උත්ත්මයෝද බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන්ගෙන් තොරව වර්තමාන ලෝකය සිහිනුවණින් යුක්තව ජීවත්වන උත්තමයෝද හිරු එළිය හමුවේ පිපුන පියුම් මෙන් පබසරව බබලත්. උන්වහන්සේලාගේ සිත් ඉතාම පිරිසිදුය. එබැවින් රූපයද ප්‍රසන්නය. බුදුරජාණන්වහන්සේගේ මෙම දේශනාව, අවිද්‍යාවෙන් මුලාවී ජාති ජරා ආදී ලක්ෂණයන්ට සාධාරණ වූ මේ කයෙහි වන ස්වභාව ධර්මතාවයන් බාහිර ආලේපනයන්ගෙන් වෙනත් ද්‍රව්‍යයන්ගෙන් වසාලන්නට වෙර දරන අසරණයන්ට ශරීරයේ පැහැපත්බව සහ ප්‍රසන්න බවට හේතු සාධක වන්නාවූ ධාර්මික  ප්‍රතිපදාව ලොවට හෙලිකරන්නකි.

භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කළෙක එක්තරා දෙවිකෙනෙක් රාත්‍රියේ මධ්‍යමයාමය ඉක්ම ගිය කල්හි හාත්පස බබුළුවාගෙන පැමිණියේය. පැමිණ තථාගතයන්වහන්සේට සකස්කොට වැඳ එකත්පසෙකට වී සිටියේය. නුවණැති දෙවියන් සහ මනුෂ්‍යයන් තමාට වඩා ශීලයෙන්, ගුණයෙන් උසස් වැඩිහිටි පුද්ගලයන් සමීපයට පැමිණ ආසන කුසලතාවෙන් එකත්පසෙකට වී සිටී. ආසන කුසලතාව යන මෙහි කුසලතාව යනු දක්ෂබවයි, මනා කෞශල්‍යයෙන් යුතු වීමයි. යම් ස්ථානයකට ගොස් එහි තමාට ගැළපෙන නිවැරදි ස්ථානයේ සිටීමට නුවණැති පුද්ගලයෝ දක්ෂ වෙත්. ආසන කුසලතාවෙන් යුතුව ස්ථානගතවීම එම සංවාදයට සම්බන්ධවන පාර්ශව දෙකටම එම සංවාදයෙන් අර්ථ සලසා ගැනීම‍ට උපකාරී වේ. මෙහිදී ආසනය සම්බන්ධයෙන් වන දෝෂ සයක් මගහැරිය යුතුය.

  • ඉතා දුර තැනකද නොසිටිය යුතුය.
  • ඉතා ළඟ තැනකද නොසිටිය යුතුය.
  • උඩු සුළඟේද නොසිටිය යුතුය.
  • උස් තැනකද නොසිටිය යුතුය.
  • ඉතා ඉදිරියෙන්ද නොසිටිය යුතුය.
  • ඉතා පිටුපසින්ද නොසිටිය යුතුය.

ඉතා දුරින් සිටියහොත් කතාකිරීමේදී උස් හඬින් කතාකිරීමට සිදු වේ. ඉතා ළඟින් සිටියහොත් එකිනෙකාගේ කය ස්පර්ශ වේ. උඩුසුළඟේ සිටියහොත් ශරීරයෙන් හමන දුර්ගන්ධය අනෙක් පුද්ගලයාට දැනෙයි. උස් තැනක සිට පහත් තැනක සිටින වැඩිහිටියෙකුට කතාකිරීම එම පුද්ගලයා කෙරෙහි අගෞරවය ඇති කරන්නකි. ඉතා ඉදිරියෙන් සිටියහොත් මුහුණ දෙස ඍජුවම බලා සිටිය යුතු වේ. ඇස ගැටීම නිසා සංවාදය අපහසුය. ඉතා පිටුපසින් හිඳගත් විට කතාකිරීමේදී හිස පසුපස හරවා බැලීමට සිදු වේ.

භාග්‍යවතුන්වහන්සේ වෙත පැමිණි මෙම දෙවියා ආසන කුසලතාව ඇති නුවණැත්තෙකි. එහෙයින් එකත්පසෙකින් සිටියේය. එම දෙවියා භාග්‍යවතුන්වහන්සේගෙන් ගාථාවකින් ප්‍රශ්නයක් ඇසීය.

“ආරණ්‍යයේ වාසය කරන්නා වූ පරිළාහයන්ගෙන් (දැවීම්වලින්) සන්සිඳුනාවූ එක් වේලක් ආහාර වළඳන ශ්‍රෙෂ්ඨ බ්‍රහ්මචරියාවක් ඇති උතුමන්ගේ ශරීරවර්ණය කවර හෙයකින් ප්‍රසන්න වන්නේද?”

දෙවියා මෙම ප්‍රශ්නය අප භාග්‍යවතුන්වහන්සේගෙන් විමසුයේ තමා දුටු කාරණා පදනම් කරගෙනය. ඒ දෙවියා භික්ෂූන්වහන්සේලා ගුණ පුරන නොයෙක් තුරුවදුලෙන් ගැවසීගත් ආරණ්‍යයක වාසය කළ භූමස්ථ දෙවියෙකි. එම ආරණ්‍යයේ වාසය කළ භික්ෂූන්වහන්සේලා ගමෙහි පිඬු පිණිස හැසිර දන් වළඳා ආරණ්‍යයට වඩිත්. ඉන්පසු තම තමන්ගේ සෙනසුන්හි, ගස්මුල්හි, සක්මන් මාලකයන්හි කර්මස්ථාන මෙනෙහි කරමින් සිටිත්. ඒ අයුරින් භාවනා කිරීමේදී සිත බලවත් ලෙස සමාධිගත වේ. නොයෙක් අරමුණුවල ඒ මේ අත දිවූ අසමාහිත චිත්ත සන්තතිය සන්සි‍ඳේ. සමථ-විදර්ශනා භාවනා වශයෙන් සිත නිවැරදි අරමුණුවල බැසගනී. සිත ප්‍රසන්න වේ. සිතෙහි ප්‍රසන්න වීම, සිතෙහි කිලිටක් නොමැතිවීම නිසා ශරීරයේ ලේධාතුව පිරිසිදු වේ. චිත්තසමුට්ඨානික රූපකලාප පිරිසිදුවීම නිසා (සිත නිසා හටගන්නා වූ රූපකලාප) මුව වර්ණයද ප්‍රසන්න වේ. පිරිසිදු සිත්වලින් හටගත් රූපකලාප නිසා ශරීරවර්ණය ප්‍රසන්න වේ. අකුසල සිත් ඇතිවිට හටගන්නා රූපකලාප නිසා ශරීරවර්ණය දුර්වර්ණ වේ. අධික තරහක් ඇති වූ විට මුහුණේ පැහැය ඉතා අප්‍රසන්න වනුයේ, අඳුරු වනුයේ එබැවිනි.

භික්ෂූන්වහන්සේලා හොඳින් නිරීක්ෂණය කළ මෙම දෙවියාට මෙබඳු ප්‍රශ්නයක් ඇතිවිය. “මනුෂ්‍යයන්ට අලංකාර වූ ශරීර වර්ණයක් ලැබෙනුයේ ප්‍රණීත වූ, ඕජාව බහුල වූ ආහාර ගැනීමෙන්ය. සුවපහසක් දෙන වටිනා වූ ඇඳුම් ඇඳීමෙනි. ඒ ඒ ඍතුවට සුදුසු වූ සුඛෝපභෝගී අලංකාර මන්දිරවල වාසය කිරීමෙන්ය. නමුත් භික්ෂූන්වහන්සේලාට පිණ්ඩපාතය ලෙස ලැබෙනුයේ ඒ ඒ නිවෙස්වලින් පූජාකරන මිශ්‍ර ආහාරයකි. සැතපෙන්නේ උණ පතුරුවලින් හෝ ලෑලිවලින් කරන ලද ඇඳන්වලය. වාසය කරන්නේ ගස්මුල්වල හෝ එළිමහනේය. මෙසේ තිබියදීත් කුමන කරුණක් නිසා භික්ෂූන්වහන්සේලාගේ ශරීර වර්ණය ප්‍රසන්න වන්නේද?” යන්නයි.

එම ගැටළුවට පිළිතුරු ගාථාව දේශනා කරන භාග්‍යවතුන්වහන්සේ,

“අතීතං නානුසෝචන්ති – නප්පජප්පන්ති’ නාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති – තේන වණ්ණෝ පසීදති
අනාගතප්පජප්පාය  – අතීතස්සානුසෝචනා
ඒතේන බාලා සුස්සන්ති – නළෝව හරිතෝ ලුතෝති” යැයි වදාළ සේක.

එම ගාථාවේ අර්ථය –

අතීතයේ වූ දේවල් පිළිබඳව කල්පනා කරමින් ශෝක නොකරත්. නොලත් දෙය පිළිබඳ ද ප්‍රාර්ථනා නොකරත්. වර්තමානයේ පවත්නා දෙයින් යැපෙත්. එයින් ශරීර වර්ණය ප්‍රසන්න වේ. නොලත් දේ පිළිබඳව ප්‍රාර්ථනා කරන්නා වූ, අතීතයේ වූ දෑ පිළිබඳව ශෝක කරන්නා වූ අනුවණයෝ කපා දමා රත් වූ පාෂාණයක් මත දමන ලද හරිතවන් බට දණ්ඩක් මැලවී යනුයේ යම් සේ ද එසේ මැලවී යත් යන්නයි.

අතීතයේ මෙරට ධාර්මික රජෙක් විය. ඒ රජතුමා භික්ෂූන්වහන්සේලාට උසස් ආකාරයෙන් සිවුපසය පූජා කළේය. අපගේ ආචාර්යය උපාධ්‍යායන්වහන්සේලා සිවුපසයෙන් ලාභී වූහ. අපට ඉතා ප්‍රණීත දාන, වටිනා සිවුරු පිරිකර ලැබුණි යැයි අතීතය ගැන සිතමින් ශෝක නොකරත්. අනාගතයේ ධාර්මික රජකෙනෙක් පහළවන්නේය. සියලු සැපසම්පතින් රට සමෘද්ධ වන්නේය. අපට බොහෝ වටිනා සිවුපසය ලැබෙන්නේය. එවිට ප්‍රණීත භෝජන වළඳන්නෙමු. වටිනා සිවුරු පොරවන්නෙමු යැයි අනාගතය පිළිබඳ ප්‍රාර්ථනා නොකරත්. ජප්පනා යනු සත්ත්වයා තුළ පවත්නා තණ්හාව සඳහා නමකි. යම් වස්තුවක් සම්බන්ධව මෙය මට අයිති දෙයකි, අසුවල් දෙය මගේය, අසුවලා විසින් මෙම වස්තුව මට දෙන ලදී ආදී වශයෙන් නැවත නැවත ඒ පිළිබඳව කතාකරන, ජප කරන ස්වභාවයක් ඇත. අනාගත කාලයේදී ලැබීමට අපේක්ෂා කරන සිවුපසය පිළිබඳ කරන ප්‍රාර්ථනා මෙම භික්ෂූන්වහන්සේලා නොකළහ. වර්තමානයේ ඇති සිවුපසයෙන් යැපුණි. අනාගතය වෙනුවෙන් රැස්කර තබා ගැනීමක්ද නැත. යමෙක් අනාගතය ප්‍රාර්ථනා කරමින්ද, අතීතය ගැන සිතමින් ශෝක කරමින්ද සිටියහොත් තද හිරු රැසින් රත් වූ පාෂාණයක් මත දමන ලද හරිතවන් බට දණ්ඩක් වියළී යන්නා සේ මැළවී යයි. ඒ අනාගතය පිළිබඳව ප්‍රාර්ථනා කරමින් ලෝභය ඇතිවීමත්, අතීතය ගැන ශෝකකරමින් ද්වේෂය ඇතිවීමත් නිසා නිරන්තරයෙන්ම සිත අකුසල මනසිකාරයක පැවතීම හේතුකොට ගෙනය.

සම්පාදක
ධම්මික හිමි
Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය
නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk