මුහුත්තමපි චෙ විඤ්ඤූ, පණ්ඩිතං පයිරුපාසති;
ඛිප්පං ධම්මං විජානාති, ජිව්හා සූපරසං යථා.

දිවට මාළුපිණි රස දැනෙන්නාක් මෙන් නුවණැත්තා මොහොතක් කල් පමණක් වුවත් පඬිවරයෙකු ඇසුරු කරන්නේ නම් වහා ධර්මය දැන ගනී.


යාවජීවම්පි චෙ බාලො, පණ්ඩිතං පයිරුපාසති;
න සො ධම්මං විජානාති, දබ්බී සූපරසං යථා.

හැන්දට මාළුපිණිවල රසය නොදැනෙන්නාක් මෙන් අනුවණයා දිවි ඇතිතාක් පණ්ඩිතයකු ඇසුරු කළත් දහම නොදැන ගනී.


දීඝා ජාගරතො රත්ති, දීඝං සන්තස්ස යොජනං;
දීඝො බාලානං සංසාරො, සද්ධම්මං අවිජානතං.

නිදි වරන්නාට රැය දිගය. ගමන් විඩාවට පත් තැනැත්තාට යොදුන දිගය. දහම් නොදන්නා වූ අනුවණයන්ට සසර දිගය.


න පරෙසං විලොමානි, න පරෙසං කතාකතං;
අත්තනොව අවෙක්ඛෙය්‍ය, කතානි අකතානි ච.

 අනුන්ගේ රළුපරළු කතාබස් මෙනෙහි නොකරන්න. අනුන් කළ නොකළ දෑ ගැන සොයා නොබලන්න. තමා විසින් කළ නොකළ දෑ ගැන සොයා බලන්නේ නම් මැනවි.


අචිරං වතයං කායො, පථවිං අධිසෙස්සති;
ඡුද්ධො අපෙතවිඤ්ඤාණො, නිරත්ථංව කලිඞ්ගරං.

මේ ශරීරය නොබෝ  කලකින් පහව ගිය සිත් ඇතිව, ඉවත දමන ලද්දේ, වැඩකට නැති, දිරාගිය ලී කැබෙල්ලක් මෙන් පොළොවෙහි වැතිරෙන්නේය.

වාරිජොව ථලෙ ඛිත්තො, ඔකමොකතඋබ්භතො;
පරිඵන්දතිදං චිත්තං, මාරධෙය්‍යං පහාතවෙ.

දුන්නිග්ගහස්ස ලහුනො, යත්ථකාමනිපාතිනො;
චිත්තස්ස දමථො සාධු, චිත්තං දන්තං සුඛාවහං.

සුදුද්දසං සුනිපුණං, යත්ථකාමනිපාතිනං;
චිත්තං රක්ඛෙථ මෙධාවී, චිත්තං ගුත්තං සුඛාවහං.

ජලයෙන් උඩට නඟා, ගොඩබිම තබන ලද මාළුවකු මෙන් මේ සිත හැම අතටම සැලෙයි. ඒ නිසා සංසාර චක්‍රය නැසිය යුතුය.

හික්මවා ගැනීමට අමාරු වූ, ඉක්මනින් ඇති වී නැතිවන සුලු වූ, කැමති අරමුණක් ගන්නා සුලු වූ, සිත දමනය කිරීම යහපත් ය. ඒ දමනය කරණ ලද සිත සැප ගෙන දෙයි.

නුවණැත්තා දැකීමට අමාරු වූ, ඉතා සියුම් වූ, කැමති අරමුණක් ගන්නා වූ, සිත රකින්නේ ය. රකින ලද සිත සැප ගෙන දෙන්නේ ය.


අප්පමාදෙන මඝවා, දෙවානං සෙට්ඨතං ගතො;
අප්පමාදං පසංසන්ති, පමාදො ගරහිතො සදා.

ශක්‍ර දෙවියා අප්‍රමාදය හේතුකොට ගෙන දෙවියන්ගේ ශ්‍රේෂ්‍ඨ බවට පැමිණියේ ය. නුවණැත්තෝ අප්‍රමාදය පසසත්, ප්‍රමාදය නුවණැත්තන් විසින් හැමදා ගරහන ලද්දකි.


උට්ඨානෙනප්පමාදෙන , සංයමෙන දමෙන ච;
දීපං කයිරාථ මෙධාවී, යං ඔඝො නාභිකීරති.

නුවණැත්තා නොපසුබස්නා වීර්‍ය්‍යයෙන් ද අප්‍රමාදයෙන් ද චතුපාරිශුද්ධි සීලයෙන් ද ඉන්ද්‍රිය දමනයෙන් ද යන මෙකී දෙයින් කෙලෙස් සැඩපහරින් යට නොවන දිවයිනක් සාදා ගන්නේ ය.


උට්ඨානවතො සතිමතො, සුචිකම්මස්ස නිසම්මකාරිනො;
සඤ්ඤතස්ස ධම්මජීවිනො, අප්පමත්තස්ස යසොභිවඩ්ඪති.

නොපසුබස්නා වීර්‍ය්‍ය ඇති, සිහියෙන් යුතු වූ, නිවැරදි කායකර්‍මාදියෙන් යුක්ත වූ, නුවණින් විමසා බලා කටයුතු කරණසුලු වූ, කය වචන දෙකින් හික්මුණු, දැහැමින් දිවි පවත්වන, නොපමා තැනැත්තාගේ යසස වැඩේ.


ඉධ සොචති පෙච්ච සොචති, පාපකාරී උභයත්ථ සොචති;
සො සොචති සො විහඤ්ඤති, දිස්වා කම්මකිලිට්ඨමත්තනො.

ඉධ නන්දති පෙච්ච නන්දති, කතපුඤ්ඤො උභයත්ථ නන්දති;
‘‘පුඤ්ඤං මෙ කත’’න්ති නන්දති, භිය්‍යො නන්දති සුග්ගතිං ගතො.

පවුකරන්නා මෙලොවත් ශෝක කරයි. පරලොවත් ශෝක කරයි. දෙලොවමත් ශෝක කරයි. හේ තමාගේ කිලිටි කර්මය දැක ශෝක කරයි. වෙහෙසෙයි.

පින්කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටු වෙයි. මා විසින් පිනක් කරණ ලදැ’යි සතුටු වෙයි. ඒ නිසා සුගතියක උපන්නේ වැඩි වැඩියෙන් සතුටු වෙයි.


අසාරෙ සාරමතිනො, සාරෙ චාසාරදස්සිනො;
තෙ සාරං නාධිගච්ඡන්ති, මිච්ඡාසඞ්කප්පගොචරා

සාරඤ්ච සාරතො ඤත්වා, අසාරඤ්ච අසාරතො;
තෙ සාරං අධිගච්ඡන්ති, සම්මාසඞ්කප්පගොචරා.

නිසරු දෙය සරු යැ’යි ද සරු දෙය නිසරු යැ’යි ද සිතන තැනැත්තෝ වැරදි කල්පනාවන්ට ගොදුරු ව සරුදහම නොලබත්.

සරුදහම සරු ලෙසත්, නිසරුදහම නිසරු ලෙසත් දැන නිවැරදි කල්පනාවන්ට ගොදුරු වූ අය සරුදහම ලබත්.


යෝ චේ වස්සසතං ජීවේ – කුසීතෝ හීනවීරියෝ,
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – වීරියමාරභතෝ දළ්හං.

(ගිහි වූ හෝ පැවිදි වූ) යම් කිසිවෙක් තමා විසින් කළ යුතු දෙයෙහි කම්මැලිව උත්සාහ නැති ව අවුරුදු සියයක් ජීවත් වේද, ඒ ජීවිතයට වඩා දැඩි සේ (කෙලෙස් තැවීමට) වීර්ය වඩන්නාහු ගේ එක් දිනක් ජීවත් වීම ශ්‍රේෂ්ඨයි.