දිව්‍ය, මනුෂ්‍ය, තිරිසන් ආදි විවිධ ආත්මභාව ප්‍රතිලාභ ලබමින් සසර දුක් විඳින සත්ත්වයන්ට නිවෙන මඟක් දෙසා වදාළා වූ භාග්‍යවතුන්වහන්සේ විසින් ක්ලේෂයන්ගේප්‍රහාණයෙන් නිවීම ලබන අයුරු සඳහන් කොට දෙසා වදාළ උරගසූත්‍රයේ රාග, මානාදී ක්ලේෂයන් අරමුණු කොට දෙසූ සෙසු කොටසය. මෙහි රාගාදිය ඉවත් කිරීමෙන් ලබන උතුම් සැනසීම පිළිබඳව කියැවෙයි.

එක්තරා කාලයක භාග්‍යවතුන්වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන අතරතුර කාලයේදීම සාරිපුත්ත ස්වාමීන්වහන්සේගේ උපස්ථායක කුලයක රන්කරු පුත්‍රයෙක් සාරිපුත්ත ස්වාමීන්වහන්සේ හමුවේ පැවිදි බව ලැබීය. සැරියුත් තෙරුන්වහන්සේ තරුණයන් සඳහා අසුභ කමටහන යෝග්‍ය වන්නේ යැයි සිතා ඒ නවක පැවිදි හිමිනමට රාගය නසන්නා වූ අසුභ කමටහන ලබා දුන්නේය. නමුදු නවක පැවිදි භික්ෂුව එම අසුභ කමටහන මුල්කොටගෙන භාවිත සිත් මාත්‍රයක් පමණක්වත් නොලැබීය. උන්වහන්සේ ‘මා හට මෙම කමටහන උපකාර රහිත වූවක්’ යැයි සිතා සැරියුත් ස්වාමීන්වහන්සේට දැන්වීය. තෙරුන්වහන්සේ ‘මෙය තරුණයන්ට ගැළපෙන්නේ’ යැයි සිතා එම කමටහනම කීවේය. මේ අයුරින් සිවුමසක් ඉක්ම ගියේය. ඒ නවක භික්ෂූන්වහන්සේ විශේෂාධිගමයකට නොපැමිණියේය. ඉන්පසු සාරිපුත්ත ස්වාමීන්වහන්සේ ඒ නවක භික්ෂූන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේ සමීපයට කැඳවාගෙන ගියේය. භාග්‍යවතුන්වහන්සේ ‘සාරිපුත්තයෙනි, ඔබට මේ තැනැත්තාට සත්ප්‍රාය කමටහන දැන ගැනීම අවිෂය වේ. මේ තෙමේ බුද්ධ වේන්‍යෙයකයෙකි. (භාග්‍යවතුන්වහන්සේ විසින් හික්මවිය යුත්තෙකි.) යැයි දේශනා කොට ප්‍රභාෂ්වර පියුමක් ඍධියෙන් නිර්මාණය කොට (මවා) ඒ භික්ෂුව ‍අතට දුන්නේය. ‘මහණෙනි, මෙය විහාරය පසුපස වැලිතලාවෙහි නටුවෙන් සිටුවා එය ඉදිරියේ ‘ලෝහිතං ලෝහිතං’ යැයි මෙනෙහි කරමින් පර්යංකයෙන් සිටින්නැයි ද දේශනා කළ සේක. භාග්‍යවතුන්වහන්සේලා සත්ත්වයන්ගේ ආසය-අනුසය දන්නා සේක. චරිතයන්ද, පෙර ආත්මභාව ද පිළිබඳව මනා වැටහීමක් ඇති උත්තමයන් වහන්සේලාය. මේ සියල්ල බුද්ධ විෂයය. මේ නවක භික්ෂූන්වහන්සේ පන්සියයක් ආත්මභාවයන්හි රන්කරු‍වෙක් විය. එනිසාම භාග්‍යවතුන්වහන්සේ ඔහුට ලෝහිත නිමිත්ත යෝග්‍ය යැයි බුදුනුවණින් පිරිසිඳ දැන මෙම කමටහන වදාළ සේක. මේ භික්ෂූන් වහන්සේද එසේම කමටහන වඩා සුලු මොහොතකින් ක්‍රමානුකූලව රූපාවචර ධ්‍යාන සතර වඩා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ධ්‍යානයන්ට සමවැදීම හෙවත් දැහැන් ක්‍රීඩාව ඇරඹීය. භාග්‍යවතුන්වහන්සේ ඒ පියුම මැළවේවා යැයි අදිටන් කළ සේක. භික්ෂූන් වහන්සේ ද ඒ දැහැනින් නැඟී සිට පියුම මිලිනව ඇති සේ දැක, ‘මෙතරම් ප්‍රභාස්වර වූ රූපයද “ජරා” නම් ධර්මතාවෙන් පහසන ලද්දේ යැයි අනිත්‍යසංඥාව ලැබීය. පසුව ඒ අනිත්‍යසංඥාව ආධ්‍යාත්මික රූපයෙහිද එළවා බැලීය. එයින් පසුව යමක් අනිත්‍ය වේද, එය දුකකි. යමක් දුක් සහිත වේද, එය අනාත්ම වේ යැයි ත්‍රිලක්ෂණය වැටහිණි. මුලු තුන්භාවයම ගිනි ඇවිලගත්තාක් මෙන් දැක්කේය.

 භික්ෂූන්වහන්සේ වැඩ සිටි තැනම නුදුරින් විලක් ඇත. කුඩා දරුවෝ ඒ විලෙහි වූ පියුම් කඩා රැස් කරත්. කමටහන් වැඩූ ස්වාමීන් වහන්සේට විලෙහි වූ පියුම්, බටදඬු වනයෙහි හටගත් ගින්නක් මෙන් වැටහිණ. ගිලිහී වැටන පෙති ප්‍රපාතයකට පිවිසෙන්නාක් මෙන් වැටහිණ. ගොඩ තබන ලද අග මැලවුණා වූ පියුම් ගිනිදඬු මෙන් වැටහිණ. මෙසේ මේ ආකාරයට සියලු ධර්මතාවන්ට අනිත්‍යාදී ලක්ෂණ සමඟ සිත් යොමා බලන කල තුන්භවයම ගිනිගත් ගෙයක් මෙන් වඩාත් ප්‍රකටව පෙනිනි. ඒ භවයන් තුළ පිළිසරණක් නැති බවද වැටහිණ. භාග්‍යවතුන්වහන්සේ ගන්ධකුටියෙහි වැඩ සිටිමින් මේ නවක භික්ෂූන් වහන්සේගේ සිත දැන උන්වහන්සේ‍ ඉදිරියට ශරීර ප්‍රභාව මුදා හළ සේක. උන්වහන්සේ මේ කුමක්දැයි ආවර්ජනා කරන විට භාග්‍යවතුන්වහන්සේ වැඩමකොට සමීපයේ වැඩසිටින්නාක් මෙන් දිස් විය. ස්වාමීන්වහන්සේ නැඟී සිට ඇඳිලි බැඳ වැන්දේය. මෙම අවස්ථාවේදී භාග්‍යවතුන්වහන්සේ මේ භික්ෂුවට සුදුසු යැයි වටහාගෙන මෙම ඕභාස ගාථාව වදාළ සේක.

යෝ රාගසමුච්ඡිදා අසේසං
භිසපුප්ඵං සරෝරුහං විගය්හ
සෝ භික්ඛු ජහාති ඕරපාරං
උරගෝ ජින්නමිව තචං පුරාණං

ඇලීම් වශයෙන් හටගත් බැවින් ‘රාග’ යනුවෙන් මේ ක්ලේෂ ධර්මය හඳුන්වයි. මෙතැන්හි මෙය පංචකාමගුණයන්හි ඇලීමට කියනු ලබන සමාන වචනයකි. “යමෙක් මේ පංචකාමගුණික රාගය ඉතිරියක් නැතිවම විලෙහි හටගත් පියුම් කඩා ගොඩ දමන්නාක් මෙන් නසා, වනසා, බිඳ දමන්නේ නම් ඔහු උරගයෙක් තම පැරණි සැව ඉවත ලන්නාක් මෙන් ඕර පාරය අතහරී” යන අර්ථය මේ ගාථාවට අන්තර්ගතය.

නවක ස්වාමීන්වහන්සේ බවුන් වැඩූ තැන ඉදිරියේ විලෙහි හටගෙන තිබූ පියුම්, එතැන සිටි දරුවන් විසින් විලට බැසගෙන සිඳිත්ද එසේම යම් භික්ෂුවක් මේ ත්‍රෛලෝක සත්නිවාසය හෙවත් කාම-රූප-අරූප යන තුන්ලොව හා එක්ව විසීම නම් ධර්මතාව තුළට නුවණින් පිවිසි රාගාදී ක්ලේෂයන්ගේ ආදීනව ප්‍රත්‍යවේක්ෂා කරමින් පෙර තැනක සඳහන් පරිදි සීලසංවරාදී සංවරයන්ගෙන් යුක්තවද සිත් ඇති සිත් නැති වස්තූන් පිළිබඳව අසුභ සංඥාවෙන් යුක්තව ටිකෙන් ටික රාගය සිඳලමින් අනාගාමී මාර්ගඥානයෙන් කාමරාග හා පටිඝ සිඳලමින් එයින් ඉතිරි වූ යම් ක්ලේෂයක් ඇත්ද, එය අරිහත් මාර්ගඥානයෙන්ද සිඳලයි. ඒ භික්ෂුව ඕර පාරය සිඳලයි. සෝ භික්ඛු ඕර පාරං ජහති.

“ඕර පාර” යන්නෙහි අර්ථ හඳුන්වාදෙන විට අර්ථකථාචාර්යයන් වහන්සේලා බුද්ධ ආධ්‍යාශය දැන, ක්‍රම ගණනාවකින් මේ හඳුන්වාදීම සිදු කොට ඇත. සාමාන්‍ය වශයෙන් පාර යනු තීරයට, ඉවුරට නමකි. එසේ හෙයින් සංසාර සාගරයට මෙතෙර ඉවුරක් වූයේ යැයි “ඕර පාර” යනුවෙන් හඳුන්වයි. ‘ඕර’ යනු ස්වකීය ආත්මභාවයයි. ‘පාරං’ යනු අන්‍යයන්ගේ ආත්මභාව සංඛ්‍යාත ජීවිතයයි. නැතිනම් ‘ඕරං’ යනු ආධ්‍යාත්මික ආයතනයන් වූ ඇස, කන, නාසය, දිව, කය, මනසයි. ‘පාරං’ යනු බාහිර ආයතන සංඛ්‍යාත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන සයයි. එසේම ‘ඕරං’ යනු මනුෂ්‍යලෝකයයි. ‘පාරං’ යනු දිව්‍යලෝකයයි. ‘ඕරං’ යනු කාමධාතුවයි. ‘පාරං’ යනු රූප, අරූප ධාතූන්ය. ‘ඕරං’ යනු කාම-රූප භවයන්ය. ‘පාරං’ යනු අරූප භවයයි. ‘ඕරං’ යනු ආත්මභාවයයි. ‘පාරං’ යනු ආත්මභාවයේ සැපය පිණිස ඇති උපකරණයන්ය. මේ අයුරින් විභේද ඇති මේ ‘ඕරපාරය’ පිළිබඳ වූ ඡන්දරාගය සතර මාර්ගඥානයෙන් නසාලීම, අතහැර දැමීම, ඉවත් කිරීම, බිඳ දැමීම, ක්ෂයභාවයට පත් කිරීම ‘ජහාති ඕර පාරං’ යනුවෙන් හඳුන්වයි.

උරඟයාද ස්වකීය ජාතියෙහිම සිටිමින්, පැරණි සැව පිළිකුල් කරමින්, වීර්යය ගෙන සැව ගලවා දමන්නේයම් සේද භික්ෂුවද ආර්ය ජාතිය නම් වූ ස්වකීය ජාතියෙහි සිටිමින්, සීලයෙහි පිහිටමින්, ආධ්‍යාත්මික ආයතනාදීන්ගේ ආදීනවයන්ම දකිමින් පිළිකුල් කරමින්, කල්‍යාණ මිතුයන් ඇසුරු කරමින්, අධිමාත්‍ර වශයෙන් සම්මා වායාම නම් වීර්යය උපදවාගෙන නොලිහිල් පරාක්‍රමයෙන් ඕර පාරය සිඳ අනුපාදිශේෂ පිරිනිවන්ධාතුව දිශාවට රිසි සේ වැඩම කරයි. මෙසේ භාග්‍යවතුන්වහන්සේ මේ දේශනය අරිහත්වය කෙළවර කොට දෙසූ බැවින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුව වූ ඒ නවක පැවිදි ස්වාමීන් වහන්සේ අරිහත්ඵලය සාක්ෂාත් කොටගෙන සසර දුකින් එතෙර විය.  

සම්පාදක
ගවේසී භික්ෂුව

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය
නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk