සීහළ දීපයේ චක්කන නම් උපාසකයෙක් විය. කුඩා කාලයේ ඔහුගේ මවට රෝගයක් වැළඳුණි. වෙදැදුරා විසින් එයට අමු සා මස් ලැබීම වටී යැයි කීවේය. ඉන්පසු චක්කනගේ සහෝදරයා කුඹුරට ගොස් හාවකු අල්ලාගෙන එව යැයි චක්කනව කුඹුරට යැවීය. කුඹුරට ගිය චක්කන ලා ගොයම් කන එක් සාවෙකු දුටුවේය. සාවා චක්කනව දැක බියවී වේගයෙන් දුව යන විට වැලක පැටලී ‘කිරි කිරි ‘ යැයි ශබ්ද කළේය. චක්කනද එතැනට දුවගොස් හාවා මවගේ බෙහෙත් පිණිස අල්ලාගන්නට සිතා නැවත මවගේ ජීවිතය සඳහා වුවත් අනෙකෙකුගේ ජීවිතය නැසීම නොවටී යැයි සිතා හාවා මුදා හැර හිස් අතින් ගෙදර ආවේය.

සොහොයුරා මේ සියලු පුවත් දැන චක්කනට දොස් කීවේය. ඒ නමුත් චක්කන තම මව ළඟට ගොස් “යතෝහං ජාතෝ නාභිජානාමි සංච්චව පාණං ජීවිතා වෝරෝපේතා ති” මම උපන්දා පටන් දැන දැන සතෙකු දිවියෙන් තොර නොකළෙමි’යි සත්‍යක්‍රියා කළේය. ඒ සත්‍යක්‍රියා බලයෙන්ම මවගේ රෝගය සුවපත් විය.

(සාරත්ථප්පකාසිනී නම් වූ සංයුක්ත අටුවා )

අතීත අප හෙළදිව විසූ මෙවන් උපාසකවරු සේම දිවිහිමියෙන් සතුන් නොමැරීමට අදිටන් කර ගනිමු. එසේම දිවිහිමියෙන් සිල් රැක සමාධි ප්‍රඥා ගුණ වඩා සියලු සසර දුක්ඛයන්ගෙන් තොර උතුම් වූ නිවනින් සැනසෙන්නට උත්සාහවත් වෙමු.

සම්පාදක
මේධානන්ද හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය