අන්තරාගංගා නම් ස්ථානයෙහි මහාවාචකාළ නම් වූ උපාසකයෙක් විය. හෙතෙමේ සෝවාන් මාර්ගඵල උදෙසා තිස් අවුරුද්දක්ම ද්වත්තිංසාකාරය පුහුණු කළේය. එසේ කළත් ආලෝක මාත්‍රයක්වත් (අර්පණා සමාධිය) උපදවන්නට නොහැකිව බුද්ධ ශාසනය සසරින් එතෙරවීමට උපකාර වන්නක් නොවේ යැයි විපරීත දෘෂ්ටි ගෙන මරණින් මතු මහවැලිග‍ඟෙහි නව ඉස්බක් පමණ වූ කිඹුල් ප්‍රේතයෙක් වී උපන්නේය. දිනක් කසා තොටින් එතෙර වීමට ආ ගල්කණු පිරවූ කරත්ත හැටක් ගොනුන් සමඟ ගිල දැම්මේය.

(මනෝරථපූරණී නම් වූ අඞ්ගුත්තරනිකාය අටුවා තික නිපාත)

අංගුත්තර නිකාය අටුවාවෙහි එන මෙම කථා ප්‍රවෘත්තිය වත්මන් අපට බොහෝම වටිනා ප්‍රවෘත්තියකි. ඒ මන්ද යත් එදාටත් වඩා අද මෙවැනි විපරීත දෘෂ්ටි ඇති බොහෝ දෙනෙක් සිටින බැවිනි.

මගඵල ලැබීමට අප ඇතැම්විට කෙතෙක් වීර්යය කළද ඒ සඳහා සම්පූර්ණ විය යුතු හේතූන් සම්පූර්ණ නොවී ඒ මගඵල ලැබීමට නොහැක. කළ යුත්තේ නොනවත්වා අඛණ්ඩව ඒ මගඵල නිවන් සඳහා අවශ්‍ය හේතු සකස් කිරීමය. ත්‍රිහේතුක උත්පත්ති, පාරමී පූරණය ආදී විවිධ සාධක අනිවාර්යයයෙන්ම නිවනට බලපාන බව මෙයින්ද පැහැදිලි වේ. නිවැරදි පිළිවෙතක් අඛණ්ඩව අනුගමනය කිරීමෙන් යම් හෝ හේතුවකින් මේ ජීවිතයේ මගඵල නොලැබුණද ඉක්මන් භවයක මගඵල ලැබීමට එය ඒකාන්තයෙන්ම උපනිශ්‍රය වේ. අපිද මෙවැනි මිසදිටු මතවලට නොවැටී චතුරාර්ය සත්‍යාවබෝධයෙන් උතුම් නිර්වාණය සාක්ෂාත් කරමු.

සම්පාදක
මේධානන්ද හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය