බෞද්ධයන්ට හෝ අබෞද්ධයන්ට ජීවිතය පිළිබඳ ජීවිතයේ කවර හෝ අවස්ථාවකදී වැටහෙන ධර්මතා දෙකක් ඇත. එනම් ජරාව සහ මරණයයි. දුක්ඛසත්‍යයෙහි බුදුරජාණන්වහන්සේ වදාරණ එම කාරණා පිළිබඳ යම් වැටහීමක් ඇති වුවද ඒ ජරාව සහ මරණය පිළිබඳව එක් එක් පුද්ගලයා සිතන ආකාරය සහ ඊට විසඳුම් සොයන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඇතැමෙක් ජීවත්ව සිටිනා ස්වල්ප වූ ජීවිත කාලය තුළදී හැකි තරම් සැප විඳිය යුතු යැයි දෘෂ්ටියට බැසගෙන රිසි සේ සිකපද බිඳිමින් හැසිරේ. ඇතැම් සත්වයන් ස්ථිර, නොවෙනස් වන, සදාකාලික වූ බ්‍රහ්මලෝක හෝ දිව්‍යලෝක ඇතැයි සිතා ඒවායෙහි ඉපදීමට සිතා කටයුතු සම්පාදනය කරයි. තවත් ඇතැමෙක් ජීවිතය ඉතා ඉක්මනින් අවසන් වන නිසා සංසාරයට මග වියදම් ලෙස පින් රැස්කරගත යුතු යැයි දානාදී කුසලධර්මයන්හි නියුක්ත වේ. සසර සැරිසරන සත්ත්වයා සෑම විටම ප්‍රාර්ථනා කරන්නේ තමන් සිටිනා තත්ත්වයට වඩා උසස්, යහපත් තත්ත්වයකට පත්වීමටයි. වර්ෂ සියදහස් ගණන් නොයෙක් ආකාරයේ දුක් ඇති කරවන සතර අපායට වඩා මනුෂ්‍ය ලෝකය යහපත් යැයි එහි යම් සුන්දරත්වයක්, සුවයක් ඇතැයි සිතා ඒ පිළිබඳව සිත් අලවයි. මනුෂ්‍ය ලෝකයට වඩා දිව්‍ය ලෝකයෙහි සැප වැඩි යැයි දිව්‍ය ලෝකය ප්‍රාර්ථනා කරයි. දිව්‍ය-මනුෂ්‍ය ආත්මභාවයන්හි ආයුෂය අඩු යැයි සලකා රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්මලෝක ප්‍රාර්ථනා කරමින් එම තැන්වල ඉපදීමට ප්‍රාර්ථනා කරයි. එම තණ්හාව හැඳින්වෙනුයේ භවතණ්හාව නමිනි.

භවයෙන් මිදී නිවන් අවබෝධ කරගැනීමේ වැදගත්කම පිළිබඳව භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරණ දේශනාවකි සංයුක්ත නිකායෙහි දේවතා වර්ගයේ එන උපනීයති සූත්‍රය. බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර අනාථපිණ්ඩික සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයක උන්වහන්සේගේ සමීපයට රූපාවචර දෙවියෙකු පැමිණියේය.

තථාගතයන් වහන්සේට සකස් කොට වැඳ  එකත් පසෙක හුන් දෙවියා ගාථාවක් ප්‍රකාශ කළේය.

“උපනීයති ජීවිතමප්පමායු – ජරූපනීතස්ස න සන්ති තාණා
ඒතං භයං මරණේ පෙක්ඛමානෝ – පුඤ්ඤානි කයිරාථ සුඛාවහානි”

ජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ. ආයුෂය ස්වල්පය. ජරාව විසින් මරණය වෙත පමුණුවන ලද සත්ත්වයාට පිළිසරණක්, රක්ෂා ස්ථානයක් නැත. මෙම ත්‍රිවිධ භය මරණයෙහිලා දකිනුයේ සැප ගෙනදෙන්නා වූ පින් කරන්නේය.

ජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ.

ජීවිතය යනුවෙන් මෙම සූත්‍රයෙහි අදහස් කරන්නේ ජීවිතින්ද්‍රියයි. ජීවිතින්ද්‍රිය නාම ජීවිතින්ද්‍රිය, රූපජීවිතින්ද්‍රිය යනුවෙන් කොටස් දෙකකි. නාමජීවිතින්ද්‍රිය චිත්ත සන්තතියෙහි පැවැත්මට උපකාර වන, ජීවත් කරවන සිතෙහි යෙදෙන්නා වූ චෛතසිකයකි. ජීවිතින්ද්‍රිය චෛතසිකය මගින් චිත්ත සන්තතිය පාලනය කරයි. දියෙහි ඇති මානෙල් ආදිය වැටෙන්නට නොදී පාලනය කරනු ලබන්නේ ජලය මගිනි. එමෙන් සිතට වැටෙන්නට නොදී එය ජීවත් කරනුයේ ජීවිතින්ද්‍රිය මගිනි. ජීවිතින්ද්‍රිය මගින් පාලනය කළ සිත ජීවිතින්ද්‍රියාගේ කෘත්‍යය අවසන්වූ විට නිරුද්ධ වේ.

රූපජීවිතින්ද්‍රිය නම් ශරීරයේ රූපකලාප පරම්පරා වශයෙන් දිගු කාලයක් පවත්වා ගැනීමට උපකාර කරන, ජීවත් කරන, පාලනය කරන්නා වූ රූප ධර්මයකි. ඇසිපිය ගසන තරම් කෙටි කාලයක් තුළදී සිත ලක්ෂ කෝටි වාර ගණනක් ඉපිද නිරුද්ධ වේ. එම කාලය තුළදී ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපිද නිරුද්ධ වන නාම-රූප පරම්පරා පවතී. මෙය හැඳින්වෙනුයේ ක්ෂණික මරණය නමිනි. සත්ත්වයෙකුගේ ජීවිතය කෙළවර වීම සම්මුති මරණයයි. ඒ එය ලෝක සම්මතයෙහි මරණය ලෙස දක්වන බැවිනි. මේ ආකාරයට ක්ෂණයක් ක්ෂණයක් පාසා මරණයට ළං වීම සිදු වේ.

ස්වල්ප වූ ආයුෂය

උදෑසන අහසට නැගි සූර්යයා මොහොතක් පාසා අවරට යන්නා සේ උපන් ජීවිතය මරණය කරා යාම දක්වා වන ජීවිතකාලය හෙවත් ආයුෂ ප්‍රමාණයද ඉතා සීමිත වන්නේය. ස්වල්ප වූ ආයුෂය පිළිබඳව ආකාර දෙකකින් තේරුම් ගත යුතුය. ඒ සරස-පරිත්තභාවය සහ ක්ෂණ පරිත්තභාවයෙනි. පරිත්ත යන වචනයෙහි අර්ථය නම් ස්වල්පය යන්නයි. සරස-පරිත්තභාවය තේරුම් ගත යුත්තේ සත්ත්වයාට ඇති ආයුෂ අනුසාරයෙනි. ඒ ඒ සත්ත්වයන්ට ආයුෂ පරිච්ඡේදයක් ඇත. තිරිසන් ලෝකයේ ඇතැම් සත්ත්වයන්ගේ පරමායුෂ මිනිත්තු කිහිපයක් විය හැක. බ්‍රහ්මයන්ගේ ආයුෂ පිරිසිඳිනුයේ කල්පවලිනි. ඒ ඒ සත්ත්වයන්ට හිමි පරමායුෂ වින්දනය කොට ආයුෂ අවසන් වීමෙන් සිදු වන මරණය ආයුක්ෂය මරණයයි. දුබල කුසල කර්මයක් නිසා උපත ලද සත්ත්වයන්ට එම සත්ත්ව කොට්ඨාසයට අයත් පරමායුෂ වින්දනය නොකොට පින අවසන් වීමෙන් මරණය සිදු වේ. එය පුණ්‍යක්ෂය මරණයයි. ආයුක්ෂය, පුණ්‍යක්ෂය යන ආකාර දෙකෙන් කවරකින් මරණය සිදු වුවද මනුෂ්‍ය ආයුෂය නම් ස්වල්ප වූවකි.

“මහණෙනි, මනුෂ්‍යයාගේ ආයුෂ ස්වල්පය. යමෙක් බොහෝ කලක් ජීවත් වේ නම් හෙතෙමේ අවුරුදු සියයක් ඊට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් ජීවත් වේ.” යනුවෙන් බුදුරජාණන්වහන්සේ වදාළ සේක. ඒ බුද්ධ කාලයේදී පැවති පරමායුෂවලට අනුවය. නිරෝගි බවින් අග්‍රස්ථානයට පත් වූ බක්කුල මහරහතන්වහන්සේ වර්ෂ 160ක් ජීවත් විය. මහාපුණ්‍යවන්තයෙකු වූ අනුරුද්ධ මහරහතන්වහන්සේ වර්ෂ 150ක් ජීවත් විය. වර්තමානයේ මෙබඳු පුණ්‍යවන්තයන් දක්නට නොලැබෙන අතර බුද්ධකාලයේ පරමායුෂ වූ වර්ෂ සියය මේ වන විට අඩු වී ඇත.වැඩිහිටි පරම්පරාවල සිටි මනුෂ්‍යයන් තරම් ආයුෂ වර්තමාන පරම්පරාවල මනුෂ්‍යයන්ට නැත. මතු පරම්පරාවල ආයුෂ තවත් අඩුවීම අපේක්ෂා කළ යුතුය. ඒ මනුෂ්‍යයන්ගේ අකුසල වැඩි වීම හේතුවෙනි. මේ අයුරින් සරස-පරිත්තභාවය තේරුම් ගත යුතුය.

පරමාර්ථ වශයෙන් සත්ත්වයාගේ ආයුෂ ඉතා කෙටිය. එය එක් චිත්තක්ෂණ මාත්‍රයක්ම වෙයි. ඇසිපිය හෙලන තරම් කෙටි කාලයක් තුළ සිත් ලක්ෂ කෝටි ගණනක් ඉපිද නිරුද්ධවේ. හෙවත් මෙසේ සිතුවිලි ඉපදී නැතිවීම් වශයෙන් ක්ෂණික මරණයට පත් වන්නා වූ සසර සරන සත්වයා මොහොතින් මොහොත කිසිදු මොහොතක එක් තැනක නොරැඳී වන උප්පාද, ඨිති, භංග යන අවස්ථා තුනකට පත් වේ. උප්පාදය නම් සිත උපදින ක්ෂණයයි. ඨිතිය යනු එය පවතින ක්ෂණයයි. භංගය යනු එම සිත නිරුද්ධ වන ක්ෂණයයි. මෙම අවස්ථා තුනටම සමාන කාලයක් ගත වේ. ඇසි පිය ගසන තරම් කෙටි කාලය තුළදී ලක්ෂ කෝටි වාර ගණනක් මෙසේ සිත් පහළ වී නැතිවී යාම සිදු වේ. මේ ධර්ම පරියායෙන් බලන කල සත්ත්වයාගේ ආයුෂ එක් චිත්තක්ෂණ මාත්‍රයක්ම පමණි. ඒ චිත්තක්ෂණය නිරුද්ධ වූ විට සත්ත්වයා පරමාර්ථ වශයෙන් මරණයට පත් වූයේ යැයි කියනු ලැබේ. සත්ත්වයා පරමාර්ථ වශයෙන් ඇසි පිය හෙලන තරම් ස්වල්ප කාලය තුළදී ලක්ෂ කෝටිවාරයක් මරණයට පත්වේ.

ජරාව විසින් මරණය වෙත පමුණුවන ලද සත්ත්වයාට රක්ෂා ස්ථානයක් නැත

සත්ත්වයා මොහොතින් මෙහොත ජරාවට පත් වේ. මෙය ලොකයේ සියලු සත්ත්වයන්ට පොදු වූ ධර්මතාවකි. රූපයෙහි ජරාව එනම් වයස්ගතවීම නිසා සත්ත්වයන්ගේ වන මේරීම ප්‍රකටය. ශරීරයේ දත්, නියපොතු කැඩීම, සම රැලි වැටීම, කෙස් පැසීම හොඳින් වැටහේ. ශරීරයේ ඉන්ද්‍රියයන් මුහුකුරා යෑමද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වීමද සිදු වේ. මනා ශක්තියක් තිබූ තරුණ වයසේදී ශරීරය මෙහෙයවා කටයුතු කළ ආකාරයෙන් කටයුතු කිරීමට නොහැකි වේ. කුඩා කාලයේ පටන් අප මුහුණ බලන කැඩපත භාවිතා කරන්නෙමු. කණ්ණාඩිය ඉදිරිපිට සිට මුහුණ බැලීම මනා සිහිනුවණින් යුතුව කරයි නම්  එයින් ජරාව පිළිබඳ ‍හොඳ අවබෝධයක් ලබා ගත හැක. බාල කාලයේදී ශරීරයේ සම සිනිඳුය. ක්‍රම ක්‍රමයෙන් වයසට යන විට එය රළු බවට පත් වනු දැකිය හැක. අවුරුද්දෙන් අවුරුද්ද මුහුණ රැලි වැටෙනු, සම වැහැරෙනු, එල්ලා වැටෙනු දැකිය හැක. සාමාන්‍යයෙන් කණ්ණාඩිය ඉදිරිපිටදී සිදුවනුයේ කෙලෙස් වැඩෙන ආකාරයේ මනසිකාරයකි. තමාගේ රූපයෙහි අලංකාරය පිළිබඳ ඇලෙමින් ඒ පිළිබඳව ලෝභයද, තමාගේ රූපය අන් පුද්ගලයන් සමඟ සන්සන්දනය කරමින් මානයද, ද්වේෂයද, ඊර්ෂ්‍යාවද ඇති කර ගනී. කලාතුරකින් නමුදු කණ්ණාඩිය ඉදිරිපිටදී ඉහතින් සඳහන් කරන ලද ජරාව පිළිබඳව වැටහේ. එබඳු අවස්ථාවලදී සිත ජරා ලක්ෂණයෙන් කොතරම් මැඩී ගියේ වුවද මෙබඳු සිතිවිලි පහළ වේ.

“නුඹ වයසට ගිහින් කියන කාරණය ඇත්ත. අවු 40ක් වයස වුණාට නුඹට තියෙන්නේ අවු 35ක පුද්ගලයකුගේ පෙනුමක්. තව පොඩ්ඩක් උත්සාහවත් වෙලා හොඳ ආලේපනයක්, සබන් වර්ගයක් හෝ වෙනත් ප්‍රතිකර්මයක් කළොත් අවු 30ක කෙනෙක් වගේ වෙන්නට පුළුවන්.”

“මුහුණේ අළුතින් රැලි වැටිලා තිබෙන කාරණයත් නම් ඇත්ත. හැබැයි මුහුණේ රැලි නොවැටුණු හොඳ කොටසකුත් තිබෙනවා. මගේ වයසේ අනිත් අය තරම් නම් මගේ මුහුණේ රැලි වැටිලා නෑනේ”

මෙබඳු සිය ගණන් සිතිවිලිවලින් මුලින් පහළ වූ ධර්ම සංඥාව යටත් කිරීමත් ස්වභාව ධර්මයේ යථා ස්වරූපය වූ ‘ජරා’ ලක්ෂණය සිතින් ප්‍රතික්ෂේප කිරීමත්   සිදු වේ. සිත අතිදක්ෂ රැවටිලිකාරයෙකි. අවසානයේදී මුහුණ දෙස බැලීම අපහසුවන තරමටම රැලි වැටීම සිදු වේ. තාක්ෂණය කොතරම් දියුණු වුවත් සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය වසාලීමට තාක්ෂණය ගන්නා අතිශය දුර්වල ප්‍රයත්නය සැමදා මාරයා සිනහ ගන්වන්නකි.

ක්‍රම ක්‍රමයෙන් ජරාව විසින් මරණය වෙත ගෙන එනු ලබන සත්ත්වයා හට පිහිටක්, සරණක් රක්ෂා ස්ථානයක් නැත. ප්‍රාණඝාතය, අදින්නාදානය, කම්සැප වරදවා හැසිරීම ආදී අකුසල පුරුදු කළ පුද්ගලයන්ට මෙම ආත්ම භවයෙන් නික්ම මතු ආත්ම භවයෙක්හි පිළිසිඳ ගැනීමේ දී අරමුණු වන නිමිත්ත වශයෙන් අකුසල් කර්මයෝ ද, කර්ම නිමිති ගලස එයට භාවිතා කළ උපකරණද, ගති නිමිති ලෙස නිරයේ ගිනිදැල් තිරිසන් ආත්ම හා ප්‍රෙත ආත්මයන් හා සම්බන්ධ වූ විවිධ නිමිති ද දර්ශනය වෙයි. තමා කළ පව්කම්වල ප්‍රතිවිපාක වශයෙන් අනිවාර්යයෙන්ම දුගතියෙහි උපදින බව මේ ජීවිතය අවසානයේදී පෙනෙන විට සිතෙහි ඇතිවන පසුතැවිල්ල අතිමහත්ය. ඇතැම් විටකදී එම අවස්ථාවේ කරුණු අවබෝධ වී කුසලයක පිහිටීමට උත්සාහ කළද ඊට ප්‍රමාද වූවා වැඩිය. අකුසලයේ බලවත්භාවය නිසාම කුසලයක් ඉස්මතු කර ගෙන සුගතිගාමී වීමට නොහැකි වේ.

කුසල කර්ම රැස්කරගෙන සුගතිගාමී වන පුද්ගලයාට වුවද අවසන් මොහොතේදී තමාට අතිශය ප්‍රිය වූ අඹු-දරුවන්ගෙන් වෙන්ව යෑම මහත් වූ දුකකි. පව්කම් කළද පින්කම් කළද ජීවිතයේ අවසාන මොහොතේදී විඳීමට සිදු වන කායික දුක් අතිමහත්ය. අප බුද්ධශාසනයේ ප්‍රධාන දායකයා වූයේ අනාථපිණ්ඩික සිටුතුමාය. බුදුරජාණන්වහන්සේගේ පළමු හමුවීමෙන්ම එතුමා සෝවාන්ඵලයට පත්විය. ඉන්පසු ජේතවනාරාමය බුද්ධ ප්‍රමුඛ මහාසංඝරත්නයට පූජා කොට ජීවිත කාලය පුරාම නොයෙක් පින්කම් සිදු කළේය. සෝවාන් ආර්යය පුද්ගලයා ජීවිත සතක් ඇතුළත අර්හත්වය සාක්ෂාත් කර ගනී. සතර අපායවල වැටෙමින් සසර සැරිසරන්නා වූ පෘථග්ජනයාට සාපේක්ෂව සෝවාන් ආර්යයන්වහන්සේට විඳීමට ඇති දුක් ඉතා ස්වල්පය. අවසාන මොහොතේදී අනාථ පිණ්ඩික සිටුතුමා‍ට විඳින්නට වූ මරණාසන්න දුක අතිමහත්ය. එතුමා තමාගේ අවසාන මෙහොතේදී ධර්මසේනාධිපති වූ සැරියුත් මහරහතන්වහන්සේ තමාගේ සමීපයට වැඩමවා ගත්තේය. සැරියුත් මහරහතන්වහන්සේ එතුමාගෙන් සුව දුක් විචාළහ. ඊට පිළිතුරු ලෙස සිටුතුමා පැවසූයේ එතුමාගේ හිස තියුණු සැතකින් පෙළන්නාක් මෙන් වැටහෙන ආකාරයට ශරීරයේ වාතය කිපී ඇති බවයි. ඉතා ශක්ති සම්පන්න පුරුෂයෙකු එතුමාගේ හිස වරපටකින් බැඳ තදින් වෙළන්නාක් මෙන් වැටහෙන ආකාරයට ශරීරයේ වාතය කිපී ඇති බවයි. ගවඝාතකයෙක් හෝ ගවඝාතක අතවැසියෙක් ගවයන් කපන තියුණු සැතකින් කුස සිඳින්නාක් මෙන් වැටහෙන ආකරයට ශරීරයේ වාතය කිපී ඇති බවයි. ශක්තිමත් පුරුෂයන් දෙදෙනෙකු විසින් දුර්වල පුද්ගලයෙකු අල්වාගෙන අඟුරුවලක දමා තවන්නාක් මෙන් වැටහෙන ආකාරයට ශරීරයේ දාහය අධිමාත්‍රවී ඇති බවයි. සෝවාන් වූ ආර්යය පුද්ගලයාට දැනෙන වේදනාව මෙබඳු නම් අන් පුද්ගලයන්ට දැනෙන වේදනාව කෙබඳු විය යුතු දැයි නුවණින් විමසිය යුතුය. බොහෝ සත්වයන් මරණාසන්න මොහොතේ සිහිසන් නැතිබවට හෝ උමතු බවට පත්වන්නේ ද ඒ වේදනාව නිසාවෙනි. සෝවාන් ආර්ය පුද්ගලයා නියත වශයෙන්ම අරිහත්වය සාක්ෂාත් කර ගනී. නමුත් පෘථග්ජනයන්ට එබඳු සරණක් නැත.

ජරා මරණ යන දුක්වලින් මිදී තමාට පිහිටක් ලබා ගැනීමට පින් කළ යුතු යැයි දෙවියා ප්‍රකාශ කළේය. මෙම දෙවියා රූපාවචර දෙවිකෙනෙකි. ධ්‍යාන වඩා බ්‍රහ්මලෝකයක උපත ලබා සිටි ඔහු පහළින් වූ දිව්‍යතලයන්හිද මනුෂ්‍යලෝකයෙහිද වූ අල්පායුෂ්ක සත්ත්වයන් උපදිනු මැරෙනු දුටුවේය. එම සත්ත්වයන් දැක ඔහු මෙසේ සිතුවේය.

“මේ සත්ත්වයන් ධ්‍යාන වඩා එම ධ්‍යානවලින් නොපිරිහී බ්‍රහ්මලෝකවල ඉපිද කල්ප එකක්, දෙකක්, අටක්, දහසයක්, තිස්දෙකක්, සැටසතරක් තරම් දීර්ඝ කාලයක් සිටින්නේ නම් මැනවි” යනුවෙනි. එබැවින් ධ්‍යානයෙහි ගුණ වර්ණනා කරමින් එම ගාථාව තථාගතයන් වහන්සේගේ සමීපයෙහි ප්‍රකාශ කළේය.

මෙම දෙවියා විසින් සංසාර ගමන දීර්ඝ වන ආකාරයේ කතාවක් කරනු දුටු භාග්‍යවතුන්වහන්සේ සසර දුකින් එතෙරවීම නම් වූ නිවන ගෙනහැර දක්වමින් දෙවැනි ගාථාව වදාළහ.

“උපනීයති ජීවිතමප්පමායු – ජරූපනීතස්ස න සන්ති තාණා
ඒතං භයං මරණේ පෙක්ඛමානෝ – ලෝකාමිසං පජහේ සන්තිපෙක්ඛෝ”

ජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ. ආයුෂය ස්වල්පය, ජරාව විසින් මරණය වෙත පමුණුවන ලද සත්ත්වයාට පිළිසරණක්, රක්ෂා ස්ථානයක් නැත. මේ ත්‍රිවිධ භය මරණයෙහි ලා දකින නිවන අපේක්ෂා කරන පුද්ගලයා කාම, රූප, අරූප භව සංඛ්‍යාත වූ ලෝකාමිසය දුරු කරන්නේය.

බුදුරජාණන්වහන්සේ මෙම ගාථාවෙන් කාම භවයෙහි, රූපාවචර භවයෙහි, අරූපාවචර භවයෙහි ඉපදීම පිළිබඳව වන ප්‍රාර්ථනා අත හැර දමා නිර්වාණය අවබෝධ කරගැනීමට උත්සාහවත් විය යුතු බව වදාරණ සේක. මක්නිසාද යත් අතිදීර්ඝායුෂ්ක වූ කල්ප ගණන් ආයුෂ ඇති බ්‍රහ්මලෝකවල සිටින සත්ත්වයන් එම ආයුෂ කෙළවර වීමෙන් ඒ සත්ත්වයන් නැවත නැවතත් සසර දුකට වැටන බැවිනි. එසේම “මහණෙනි, අසුචි ස්වල්පයක් තිබුණද දුග‍දෙහි වෙනසක් නැත්තාක් මෙන් අසුරු සැණක් පමණ කාලයක් පවත්නා වූ භවයකුදු තථාගතයන් වහන්සේ විසින් වර්ණනා නොකරන්නේ යැ”යි ද වදාළේ ඒ අසුරුසැණක කාලය තුළ වුවද ඉපිද නිරුද්ධ වන්නේ දුකම බැවිනි. සසර දුකින් මිදීම සඳහා වන ප්‍රතිපදාව ආර්යඅෂ්ටාංගික මාර්ගයයි. අපගේ වෑයම විය යුත්තේ අප භාවිත කරන කුසල ආර්යඅෂ්ටාංගික මාර්ගය වැඩෙන සේ පුරුදු කිරීමයි. එසේ පුරුදු කිරීමෙන් අපට නිර්වාණාවබෝධය ලබා ගත හැක.

සම්පාදක
ධම්මික හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය