“සම්පන්නසීලා, භික්ඛවෙ, විහරථ සම්පන්නපාතිමොක්‌ඛා; පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගොචරසම්පන්‌නා අණුමත්‌තෙසු වජ්‌ජෙසු භයදස්‌සාවිනො; සමාදාය සික්ඛථ සික්‌ඛාපදෙසු[i] = මහණෙනි පිරිපුන් සිල් ඇත්තාහු ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තව වසවු. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වූවාහු ආචාරයෙන් හා ගෝචරයෙන් සමෘද්ධව වසවු. ස්වල්ප මාත්‍රවූ වරදෙහි භය දක්නාසුලුව මොනවට ගෙන ශික්ෂාපදයන්හි හික්මෙවු”.

සසරෙහි බිය දැක සියලු දුකින් මිදෙන නිර්වාණය සාක්ෂාත් කරගනු කැමතිව සසුන් ගත වන කුළපුත්‍රයන් හට ශීල සංවරයෙන් යුතු විය යුතු බව සර්වඥයන් වහන්සේ විසින් වදාළේ එපරිද්දෙනි. එහෙයින් නිස්සරණ අධ්‍යාශයෙන් යුක්ත වූවාහු කුදු මහත් සිකපදයන්හි මොනවට හික්මෙමින් අනුමාත්‍ර වූ වරදෙහිදු බියදක්නා සුලුව මහණදම් පිරීමෙන් සියලු දුකින් මිදෙන උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්නාහ.

“යො වො, ආනන්ද, මයා ධම්‌මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො, සො වො මමච්චයෙන සත්‌ථා.[ii] = ආනන්දයෙනි මා විසින් යම් ධර්මයක් විනයක් දේශනා කරන ලද්දේද, පනවන ලද්දේ ද, එය මගේ ඇවෑමෙන් තොපට ශාස්තෘෘ වෙයි” යනුවෙන් වදාළ බැවින් එකී ධර්මය සහ විනයම පිහිට පිළිසරණ කොට වාසය කිරීමම භව නිස්සරණය පිණිස හේතු වන්නේය. එබැවින් බුදුමුවින් දෙසූ විනය සිකපද පිළිබඳව ශ්‍රද්ධාවත් ගෙ!රවයත් උපදවාගෙන ලේෂමාත්‍රයෙන් සිකපද අභිබවනය නොකරමින් ශීල සංවරයෙන් යුක්ත වීම නිස්සරණ ආධ්‍යාශය ඇත්තවුන් විසිනු නොපිරිහෙලා ඉටු කළයුත්තාහ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය විනය පිළිබඳව විවිධ මතවාද නිරන්තරයෙන් පැන නැගි බව ශාසන ඉතිහාසය අධ්‍යයනය කරන්නකුට මනාව වැටහෙනු නොඅනුමානය. ශාස්තෘන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමට මත්තෙන්ම පැන නැගුණු බුඩ්ඪ පබ්බජිත සුභද්‍ර භික්ෂුවගේ වදන් වලින් ඇරඹි මෙම මත පළකිරීම් නිසාවෙන් ශාසනමාමක උතුමන් වහන්සේලා වරින්වර ධර්මය හා විනය සංගායනාවට බඳුන්  කරමින් සද්ධර්මයේ චිරස්තිථිය පිණිස කටයුතු කළහ. සම්බුද්ධ ශාසනයේ ආයුෂයෙන් හරි අඩකට වැඩියෙන් ගෙවී ඇති මෙකල ධර්මය අධර්මය කිරීමටත්, අධර්මය ධර්මය කිරීමටත්, විනය අවිනය කිරීමටත්, අවිනය විනය කිරීමටත් නානාවිධ මතවාද සහ කරුණු ඉදිරිපත් වීම පිරිසිදු සද්ධර්මය මෙලොවින් තුරන් වීම පිළිබඳ පෙරනිමිති වන්නාහ. කාලයාගේ ඇවෑමෙන් ඉදිරිපත් වන මෙබඳු මතවාද පිළිබඳ හරිහැටි ධර්මානුකූල, විනයානුකූල විනිශ්චයක අභාවය නිසාවෙන්ම ඇතැම් මතයක් දිට්ඨානුගතියට ගොස් පශ්චිම ජනතාවගේ නිවන් මඟ අවුරා සිටීම නොවැළැක්විය හැකිය.

අනුමාත්‍රවූ වරදෙහි පවා බිය දකිමින් පිරිපුණ් සිල් ඇතිව නිවන් මඟ යාමට වෙර දරන්නාවූ ලජ්ජී, පේෂල සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ පහසුව පිණිස එවන් මතවාදයට තුඩුදෙන්නක් මුල් කරගෙන නිවැරදි විනයානුකූල විග්‍රහයක් ඉදිරිපත් කිරීම මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වේ. වර්තමානයේ බොහෝ දෙනෙකුට හරිහැටි අවබෝධයක් නොමැති බව ප්‍රකට වන “ගිලානසස අනාපතති’’ යන්න පිළිබඳ විස්තර විවරණයක් විනය පිටකය අලලා සිදුකිරීමට දැරූ උත්සාහයක ප්‍රතිඵලය මෙසේ ගෙනහැර දක්වම්හ.

 

විනය පිටකය

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුවින් දේශනා කරන්නට යෙදුන තෙවළා දහමෙහි ඇතුළත්, මෙම ශාසනයේ භික්ෂුවක් පිළිපැදිය යුතු බවට පනවන ලද නව දහස් එකසිය අසූ කෝටි පනස් ලක්ෂ තිස්හය දහසක්[iii] පමණ ශිලස්කන්ධය අන්තර්ගත දේශනාව විනය පිටකයයි. මෙය සර්වඥයන් විසින් පනවන ලද සිකපද නිදාන, වත්ථු, පුද්ගල යනාදී ලෙස බෙදා දැක්වෙන භික්ෂු-භික්ෂුණී උභතො විභඞ්ග, අනුදන්නා ලද දෙවිසි කඳුවත් සංගෘහිත ඛන්ධක, පරිවාර යන කොටස්වලින් යුත් පාරාජික පාළි, පාචිත්තිය පාළි, මහාවග්ග පාළි, චුල්ලවග්ග පාළි, පරිවාරපාළි යන පොත් පසකින් සමන්විත වේ.

ඒ අතරින් පාරාජිකපාළියෙහි භික්ෂූන්ට අයත් සතර පාරාජික, තෙළෙස් සඟවෙසෙස්, අනියත සහ තිසක් වූ නිස්සග්ගිය පාචිත්තිය සිකපද ඇතුළත් වේ. පාචිත්තියපාළි කොටසෙහි භික්ෂූන්ට අයත් දෙඅනූ පාචිත්තිය සිකපද, සතර පාටිදේසනීය, සේඛියා පන්සැත්තෑව සහ භික්ෂුණීන්ට අසාධාරණ සිකපද සියල්ල සංග්‍රහ වේ. මහාවග්ගපාළි සහ චුල්ලවග්ගපාළි විනය පිටකයේ ඛන්ධක විනය නියෝජනය කරන අතර ඒ අතරින් උපසම්පදා විනය කර්මය, උපෝසථය, වස් එළඹීම, පවාරණය ඈ විෂය මහන්තත්වයෙන් මහත්බවට ගිය ගරු විනයකර්ම බොහොමයක් හා ඊට අදාළ විනය පැනවීම් මහාවග්ගපාළියෙහි අන්තර්ගතවේ. චුල්ලවග්ගපාළියෙහි පිරිවෙස්, මානත්, අබ්භාන ආදී විනයකර්ම පිළිබඳවද විනය පිටකයෙහි අනෙකුත් කුඩා සිකපද පැනවීම් ද ඇතුළත් වේ.

 

සිකපදයක පැනවීම් සහ අනාපත්ති වාර

ඉහත දක්වන ලද කෝටි සංඛ්‍යාත ශීලස්කන්ධයෙහි සෑම සිකපදයකම භාග්‍යවතුන් වහන්සේගේ මුල් පැනවීම මූල ප්‍රඥප්තිය ලෙස හැඳින්වෙන අතර පසුව භාග්‍යවතුන් වහන්සේ විසින්ම එළඹෙන ලද විවිධ අවස්ථාවන්හි දී සිදු කරන ලද වෙනස්කම් අනුප්‍රඥප්ති ලෙස හැඳින්වේ. මෙසේ පනවන ලද අනුප්‍රඥප්තීන්හි ඇතැම් විට සිකපදය පිළිබඳ දැඩි කිරීම් දක්නට ලැබෙන අතර ඇතැම් විටෙක ලිහිල් කිරීම් ද දක්නා ලැබෙත්. ඒ අතරට ඇතැම් විටක සිකපදය පිළිබඳව ඇවැත් නොවන විශේෂ අවස්ථා දැක්වෙන්නාහ. එසේම ප්‍රධාන සිකපදයන්හි වෙනමම අනාපත්ති වාරයක් දක්වමින් විශේෂයෙන් උමතු භික්ෂුවට, වික්ෂිප්ත සිත් ඇති භික්ෂුවට, වේදනාවෙන් පෙලෙන භික්ෂුවට, ආදිකර්මික හෙවත් පළමුවෙන්ම ව්‍යතික්‍රමණය කළ භික්ෂුවට යනාදී ලෙස සිකපදයෙන් ඇවැත් නොවන බව වදාළ සේක.

මෙසේ ලෝක සත්වයා පිළිබඳ පතල මහා කරුණාවෙන් ධර්මය, විනය දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ සසර කතරින් එතෙර වනු කැමතිව සසුන් බිමට වන් කුළපුතුන්ගේ නිවන් ගමනට අන්තරායකර නොවන බැව්, සියල්ල දන්නා සියල්ල දක්නා නුවණින් දැක අනාපත්ති ව්‍යතිරේක වදාළ සේක. ඒ අනුව එකී ව්‍යතිරේකයන්හි දී අදාළ සිකපදයෙන් ඇවතින් මිදීම භික්ෂුවකට අපහසුවකින් තොරව තම නිවන් මග යා ගැනීමට ලද විශේෂ පරිහාරයකි.

 

ගිලානස්ස අනාපත්ති

සකල ලෝකසත්වයා භව කතරින් එතෙර කරනු වස් භාග්‍යවතුන් වහන්සේ ගිහි පුද්ගලයකුට වේවා, පැවිද්දකුට වේවා, පැවිද්දන් අතරද සාමණේර හිමිනමකට වේවා, උපසපන් භික්ෂුවකට හෝ වේවා පහසුවෙන් වැඩිය හැකි නිර්වාණගාමිනී ප්‍රතිපදාවක් ලෙස ශීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත ආර්ය අෂ්ඨාංගික මාර්ගය වදාළ සේක. එබැවින් එම අරි අට මගෙහි ගමන් කරන භික්ෂුවගේ පහසුව පිණිසම කුදු මහත් සිකපද වදාළ සේක. එසේ වදාරණ ලද සීමාව තුළම හිඳ ශීලයෙන් පරිපූර්ණ වන භික්ෂු තෙම පහසුවෙන් මැදුම් පිළිවෙත පුරා සසරින් එතෙර වනු ඇත.

මෙසේ ඕනෑම පුද්ගලයකුට පහසු නිර්වාණගාමිනී ප්‍රතිපදාවක් ලෙස ශීලය වදාළ මහා කාරුණිකයන් වහන්සේ යම් කිසි කරුණකින් ගිලන් වූ භික්ෂුවගේ පහසුව තකා, එම ගිලන් භික්ෂුවටද නිවන් මග දොරටු විවර කරනු වස් “ගිලානසස අනාපතති’’ යන ව්‍යතිරේකය වදාළහ. යම් සිකපදයක් රැකීම අපහසු ගිලන් භික්ෂුවට එය ව්‍යතික්‍රමණය කිරීමෙන් වන ශීලයේ අපිරිසිදු බව වළකාලමින් තව දුරටත් ගිලන් භික්ෂුවගේ ශීල පාරිශුද්ධිය තබාගෙන නිවන් මග ගමන් කිරීමට පහසුව ඇති කිරීමට මහා කරුණාවෙන්ම මෙසේ ගිලන් භික්ෂුවට වන අනාපත්ති වාර දේශනා කළ සේක. මෙහිදී ගිලන් භික්ෂුවට රැකිය නොහැකි එහෙත් එසේ නොරැකීමෙන් ස්වර්ග මෝක්ෂ ආවරණය නොවන සිකපද සර්වඥතාඥාණයෙන්ම දැන පැනවීම් කළ බැවින් සියලු සිකපද කෙරෙහි ගිලනාට ඇවැත් නොවේ යැයි කිසි සේත් ගත නොහැකිය. එතෙකුදු වුවද වර්තමානයේ ධර්මය විනය අභාවයට යාමේ පෙර නිමිති ලෙස ඇතැම් භික්ෂූන් තම නොදැනුවත්කම නිසාවෙන් හෝ අලජ්ජී බැව් නිසාවෙන් හෝ තමාට රැකිය නොහැකි සෑම තැනකදීම ‘ගිලානසස අනාපතති’ යනුවෙන් සඳහන් කරමින් සිකපද මැඩීම සිදු කරත්. එපමණකිනුදු නොනැවතී එය පුනපුනා ප්‍රසිද්ධ කරමින් අන් සුපේශල භික්ෂූන්ගේද නිවන් මග අවුරා දැමීමට කටයුතු කරත්. එබැවින් සකල විනය පිටකය තුළම ගිලන් භික්ෂුවට ඇවැත් නොවන විශේෂ අවස්ථාවන් ගැන කරනු ලබන ගවේශණය හුදෙක් නිස්සරණ අධ්‍යාෂයෙන් යුත් හැමගේ හිතසුව පිණිස වේවා!

 

ගිලන් භික්ෂුව

යම් සිකපදයක ගිලන් භික්ෂුවට ඇවැත් නොවන බව දක්වා ඇත්නම් එහිදී ගිලන් යන්නෙන් අදහස් වන්නේ කෙබඳු ආබාධයක්ද යන්න අවධානය යොමු කළ යුත්තකි. එය සිකපදයෙන් සිකපදයට වෙනස් විය හැකි වන අතර බොහෝ සිකපද වල නොගිලන් තත්වය කුමක් ද යන්න නිර්වචනය කර ඇත. ඒ අනුව පොදුවේ ගත් කළ යම් සිකපදයක දක්වා ඇති වාරණයට අනුගත වීම මගින් යම් භික්ෂුවකට පහසුවෙන් විසිය හැකි වේ නම් හෙවත් වළක්වා ඇති දෙයින් තොරව යැපිය හැකි නම් හෙතෙමේ නොගිලන් භික්ෂුවකි.

මෙසේ බොහෝ සික පද වල ගිලන් භික්ෂුව නිර්වචනය කිරීමට මත්තෙන් නොගිලන් භික්ෂුව නිර්වචනය කිරීම සම්බුද්ධ දේශනාවේ අසිරියයි. එමඟින් නොගිලන් භික්ෂූන්ට ලේෂමාත්‍රයෙන් සිකපද මැඩීමට ඇති ඉඩ මුළුමනින්ම ඇහිරී යයි. උදාහරණයක් ලෙස ප්‍රණීතභෝජන සිකපදයේ ‘අගිලානො නාම යස්ස විනා පණීතභොජනා ඵාසු හොති[iv]’ යි දැක්වූ බැවින් පිණිබොජුනින් තොරව යැපිය හැකි භික්ෂුවකට තමන් උදෙසා විනවීමේ සුළු හෝ ඉඩක් නොලැබේ. තවද ජෝති සිකපදයේ ‘අගිලානො නාම යස්ස විනා අගගිනා ඵාසු හොති[v]’ යනුවෙන් දැක්වෙන බැවින් ගිණි තැපීමෙන් තොරව යැපිය හැකි නම් වෙනත් ගිලන් තත්වයකදී වුවද තපිනු කැමතිව ගිණි දැල්වීමේ ඇවැත් වේ.

කෙසේ වෙතත් ගිලන් භික්ෂුවගේ නිර්වචනය එකිනෙක සිකපදයේ දක්වා ඇති අයුරින්ම සලකා ගත යුතු අතර අනාපත්ති දක්වා ඇති සෑම තැන්හිම එකම ආකාරයකින් ගිලනා නිර්වචනය කිරීම යුක්ති නොවේ. එබැවින් සසරේ දුක දැක සියලු දුකින් මිදෙනු කැමතිව සසුන් වන් නිස්තරණ අධ්‍යාශයෙන් යුක්තහු ලේෂමාත්‍රයෙන් සිකපද අභිබවනය නොකොට සීල ස්කන්ධය සපුරා නිවන් මඟ පාරමී දම් පුරත්වා!

 

සිකපද වීතික්‍රමණ චිත්තය

චිත්ත වශයෙන් සිකපද සචිත්තක හා අචිත්තක වශයෙන් දෙවැදෑරුම් වේ. යම් ව්‍යතික්‍රමණයක් සිත යෙදීමෙන් ම හටගනී නම්, එම සිකපද සචිත්තක සිකපද වන අතර සිත නොයෙදීමෙන් වුවද ව්‍යතික්‍රමණය හටගනී නම් එම සිකපද අචිත්තක පක්ෂය නියෝජනය කරත්. ඒ අනුව ඇතැම් අචිත්තක සිකපද සිත යෙදීමෙන් හා නොයෙදීමෙන් යන දෙයාකාරයටම ඇවතට පත් කරයි. ඒ බැව් ‘යා සචිත්තකසමුට්ඨානවසෙනෙව සමුට්ඨාති, අයං සචිත්තකා. යා අචිත්තකෙන වා සචිත්තමිස්සකෙන වා සමුට්ඨාති, අයං අචිත්තකා’[vi] යි කියන ලදී.

සචිත්තක පක්ෂයේ සිකපදයකයක ව්‍යතික්‍රමණ සිත කුසල් සිතක්, අකුසල් සිතක් හෝ අව්‍යකෘත සිතක් යනුවෙන් ත්‍රිවිධාකාර විය හැකිය. අටවැදෑරුම් කාමාවචර කුසල් සිත්, දොළොස් වැදෑරුම් අකුසල් සිත්, දස ආකාර කාමාවචර ක්‍රියා සිත් සහ කුසල්- ක්‍රියා අභිඤඤා දෙසිත වශයෙන් සියල්ල සිත් දෙතිසකින් ඇවැත් සිදුවනු ලැබේ [vii]. ඒ අතරිනුදු ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා අතින් සිදුවිය හැකි සිකපද බිඳීම් අව්‍යකෘත සිතකින්ම සිදු වේ.

යම් වස්තු වීතික්‍රමණයක් අරබයා අකුසල් සිතක් හටගනී නම්, එබඳු තැනක ඇවතින් මිදීමක් අපේක්ෂා කළ නොහැකිය. එබැවින් ගිලන් භික්ෂුවට යම් මුක්තියක් දී ඇත්ද එය අකුසල් සිතකින් තොරව සිදුවන වස්තු වීතික්‍රමණයක් උදෙසාම විය යුතුය. ‘තත්ථ යස්ස සචිත්තකපක්ඛෙ චිත්තං අකුසලමෙව හොති, තං ලොකවජජ්ජං නාම. සෙසං පණ්ණත්තිවජ්ජං’[viii] යි කියූ බැවින් යම් සිකපදයක වස්තු වීතික්‍රමණ විජානන සිත අකුසල් සිතක් නම්, එය ලෝකවද්‍ය සිකපදයකි. සෙසු සියල්ල ප්‍රඥප්තිවද්‍ය සිකපද වේ. මේ අනුව ඇතැම් ප්‍රඥප්තිවද්‍ය සිකපද සඳහා ගිලනාට පරිහාර හිමි වන අතර ලෝකවද්‍ය සිකපදයක වුවද අකුසල් සිතකින් නොවන වීතික්‍රමණයකදී පමණක් ගිලන් භික්ෂුවට අනාපත්ති වන බැව් දතයුත්තාහ.

විනය පිටකය පාරාජිකපාළි, පාචිත්තියපාළි යනාදී ලෙස කොටස් පසක් යටතේ වන බැවින් එකිනෙක කොටස වෙන වෙනම ගෙන ගිලන් භික්ෂුවගේ අනාපත්ති පරිහාරය පිළිබඳ කරනු ලබන විග්‍රහය පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත. එබැවින් ඒ එකිනෙක කොටස වෙන වෙනම ගෙන මෙතැන් පටන් විග්‍රහය ඉදිරිපත් කරම්හ.

 

පාරාජික පාළි

උපසපන් භික්ෂුවක් සම්බන්ධ සතර පාරාජික සිකපද, තෙළෙස් සඟවෙසෙස් සිකපද, අනියත සහ තිසක් වූ නිස්සග්ගිය පාචිත්තිය  සිකපද ඇතුළත් වන්නාවූ පාරාජිකපාළියෙහි ගිලන් භික්ෂුවට අනාපත්ති දැක්වෙන්නේ නිස්සග්ගිය පාචිත්තිය සිකපද වල පමණි. සතර පාරාජික, තෙළෙස් සඟවෙසෙස් සහ දෙඅනියත සිකපද වල කිසිදු තැනෙක ගිලන් භික්ෂුවට ඇවැත් නොවන පරිහාරයක් නොදැක්වේමය.

ඒ අනුව ගිලානස්ස අනාපත්ති වන ප්‍රධාන සිකපද වන්නේ නිස්සග්ගිය කාණ්ඩයේ චීවර වර්ගයේ දෙවන උද්දෝසිත සිකපදය, කෝසිය වර්ගයේ සිව්වන ඡබ්බස්ස සිකපදය සහ පත්ත වර්ගයේ නව වන සාසඞ්ක සිකපදයයි. මෙහිදී හුදු ගිලන් භික්ෂුවට ස්වභාවයෙන් ම ලැබෙන පරිහාරයක් නොමැති අතර සිකපදයේ අනාපත්ති භාවය උදෙසා සංඝසම්මුතියක් ලබාගත යුතුවේ. සම්මුතිය ලද භික්ෂුවද ගිලන්ව සිටියදී පමණක් ඇවතින් මිදෙන අතර නොගිලන් අවස්ථාවක සම්මුතිය ලබා තිබුණද ඇවතින් නොමිදේ. එම එකිනෙක සිකපදයන්හි ගිලන් භික්ෂුවට ලැබෙන පරිහාරය පිළිබඳ විග්‍රහයක් මතු දක්වම්හ.

    1. උද්දෝසිත ශික්ෂාපදය

මෙම සිකපදයේ පරිදි භික්ෂුවක් විසින් ‘සිවුර නිමි කළ, කඨිනය උදුරා ඇති කළ සංඝ සම්මුතියකින් හැර එක් රැයකුදු තුන්සිවුරෙන් වෙන්ව වසන්නේ නම් නිසඟි පචිති වේ[ix]’. එහෙත් යම් භික්ෂුවක් තුන් සිවුරු රැගෙන ඒ ඒ තැන යාමට නොහැකි තරම් ගිලන් තත්වයකින් පසු වේ නම්, එම භික්ෂුවට තුන් සිවුරෙන් වෙන්ව විසීම සඳහා සංඝයා වෙතින් සම්මුතියක් ලබාගත හැකි වේ.

මේ අනුව යම් ගිලන් භික්ෂූවකට සංඝ සම්මුතියක් ඇත්නම් පමණක් තුන්සිවුරෙන් වෙන්ව රැය ඉක්මවීමේ ඇවැත් නැති. යම් ආබාධයක් කරණකොට ගෙන සම්මුතිය ලැබුවේද එම ආබාධය සංසිඳි කල්හි නැවතත් තුන්සිවුරු වෙත යායුතු වේ. එසේ නැතිනම් පච්චුද්ධරණය කළයුතු වේ. එම භික්ෂුවට නැවත වරක් එකී ආබාධයම හෝ වෙනත් ආබාධයක් ඇති වූයේ නම්, සිවුරු රැගෙන යාමට අසමත් නම් ලැබුණු කැප බව ඇති බැවින් වෙන් ව විසීමේ ඇවැත් නොවේ[x].

    1. ඡබ්බස්ස ශික්ෂාපදය

යම් භික්ෂුවක් නව ඇතිරියක් (සන්තථයක්) කරවූ දින පටන් සවසරක් තුළ නව සන්තථයක් කරවන්නේ නම් නිසගි පචිති වේ[xi]. කෙසේ වුවද මෙහිදීද යම් භික්ෂුවකට තම සන්තථය ගෙන වෙනත් තැනකට යා නොහැකි ගිලන් තත්වයක් ඇති විටක සංඝයා වෙතින් සන්තථ සම්මුතියක් ගතහැකි වේ. එසේ සන්තථ සම්මුතියක් ලද ගිලන් භික්ෂුවකට තම රෝගය සුව වන තාක් යම් යම් තැනකට යයි ද ඒ ඒ තැන නව සන්තථ කරවීමට ලබයි[xii]. රෝගය සන්සිඳුනු පසු නැවතත් පසු අවස්ථාවක රෝගී වුවද යළි සන්තථ සම්මුති දීමක් අවශ්‍ය නොවේ. රෝගය සන්සිදෙනතාක් ගිය ගිය තැන වර්ෂයක් පාසා වුවද සන්තථ කරවීමට සුදුසු වේ[xiii].

  1. සාසඞ්ක ශික්ෂාපදය

සැක සහිත යැයි සම්මත වූ, බිය සහිත වූ වන සෙනසුන්හි වසන භික්ෂුවකට කැමැති නම් වස් වැස ඉල් මස පුර පසලොස්වක පොහොය තෙක් තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළු ගම තැබියහැකි අතර එම භික්ෂුවට ඒ සිවුරෙන් වෙන්ව විසීමේ හේතුවක් ඇත්තේ නම් රාත්‍රී සයක් දක්වා ඒ සිවුරෙන් වෙන්ව විසිය හැකිය. ඉදින් භික්ෂු සම්මුතියකින් තොරව ඉන් මත්තෙහි වෙන්ව වසන්නේ නම් නිසඟි පචිති වේ[xiv]. මෙම සිකපදයේ දී ද භික්ෂු සම්මුතිය යන්න උද්දෝසිත සිකපදයේ අනුදන්නා ලද සම්මුතියම වේ. එනම් සිවුරු රැගෙන එහෙ මෙහෙ යා නොහැකි අනුදමේ ගිලන් බවක් ඇති භික්ෂුවට සංඝයා වෙතින් ලැබෙන්නකි. මෙම සම්මුතිය ලද ගිලන් භික්ෂුවට සය රැයකට වඩා වුවද තුන් සිවුරෙන් එක්තරා සිවුරකින් වෙන්ව සිටීමේ ඇවැත් නැති[xv].

 

පාචිත්තිය පාළි

භික්ෂු ප්‍රාතිමෝක්ෂයේ එන දෙඅනූ පාචිත්තිය සිකපද, සතර පාටිදේසනීය, සේඛියා පන්සැත්තෑව සහ භික්ෂුණී ප්‍රාතිමෝක්ෂයේ සිකපද සියල්ල සංග්‍රහ කෙරෙනුයේ පාචිත්තිය පාළියෙහිය. වර්තමානයේ අදාළත්වය සලකා භික්ෂුණී විභඞ්ගය හැර පාචිත්තියපාළි කොටසෙහි එන සෙසු සිකපද වල ගිලන් භික්ෂුවගේ අනාපත්තිභාවය සැලැකීම කාලෝචිත බැවින් ඒ එකිනෙකක් මෙසේ ගෙනහැර දක්වම්හ.

    1. අඤ්ඤවාදක ශික්ෂාපදය

යම් භික්ෂුවකගෙන් සඟමැද වස්තුවකින් හෝ ඇවැතකින් විචාරණු ලබන කල්හි එය නොකියනු කැමතිව අනෙකකින් අනෙකක් වසාලන්නේ නම් හෝ නිහඬව සිට සංඝයා වෙහෙසට පත් කරන්නේ නම් හෝ පචිති ඇවතට පැමිණේ[xvi].

එහෙත් යම් භික්ෂුවක් මෙසේ සඟමැද විචාරණ කළ ගිලන් භාවයක් හේතුවෙන් පිළිතුරු නොදී නිහඬව සිටී නම් ඇවත් නොවන බව අනාපත්ති වාරය යටතේ ‘ගිලානො වා න කථෙති[xvii]’ යනුවෙන් දක්වා ඇත. මෙහිදී පිළිතුරු නොදී නිහඬව සිටිය හැකි ගිලන් බව නම් කථා කිරීමට නොහැකි අන්දමේ මුඛ ආබාධයක් යැයි සමන්තපාසාදිකා විනය අටුවාවේ දැක්වේ[xviii]. එබඳු ආබාධයක් හැර සෙසු ආබාධයක් ඇති කළ නිහඬව සිටීමෙන් ඇවැත්වේ.

    1. අනුපඛජ්ජ ශික්ෂාපදය

යම් භික්ෂුවක් අනුට්ඨාපනීය බව දැන දැන, වෙනත් භික්ෂුවක් එම භික්ෂුවට බාධා වන පරිදි ‘ස්වාමීනි නුඹ වහන්සේට එක් මඤ්චට්ඨානයක් (ඇඳක ඉඩක්) පමණක් පැමිණේ, සියලු විහාරයම නොවේ. දැන් මෙම ස්ථානය අපට පැමිණ ඇත්තේ යැ’යි කියා පිවිස ඇඳ පුටු පනවා හිඳීම කරත් ද, හොවීම කරත් ද, සජ්ඣායනා කරත් ද පචිති ඇවැතට පැමිණේ[xix].

එහෙත් යම් භික්ෂුවක් ගිලන් වී ගිලන් බව හේතුවෙන් පිවිසෙන්නේ නම් හෝ ශීතලෙන් උණුසුමෙන් පීඩිත වූයේ පිවිසෙයි ද ඇවැත් නොවේ[xx]. මෙහි දී ගිලන් බව විශේෂයෙන් නිර්වචනය කර නොමැති අතර අනුටඨාපනීය භික්ෂුව සිටින විහාරයට ඇතුළු නොවී සිටිය නොහැකි තරමේ ගිලන් තත්වයක් හේතුවෙන් ඇතුළු විය හැකි බව පෙනේ.

    1. ආවසථපිණ්ඩ ශික්ෂාපදය

උදෙසීමකින් තොරව පස්බොජුන් අතුරෙන් එක්තරා බොජුනක් ශාලාවක හෝ මඩුවක හෝ රුක්මුලක හෝ එළිමහනෙහි හෝ කැමැති තාක් වැළැඳීමට තබන ලද්දේ නම් එය ‘ආවසථ පිඬුවක්’ නම් වේ. වර්තමානයේ ඇතැම් සමයන්හි මහජනයා විසින් පවත්වනු ලබන දන්සැල් මෙම ආවසථයන් සේ සැලකිය හැකිය. එවැනි එක් තැනෙක ඇති ආවසථ පිඬුවක් නොගිලන් භික්ෂුවක් විසින් වැළැඳිය යුත්තේ එක් වරක් පමණි. වරකට වඩා වළඳන්නේ නම් පචිති වන අතර ගිලන් භික්ෂුවට වරකට වඩා වැළැඳීමෙන් ඇවැත් නැති[xxi].

මෙම සිකපදයේ දී නොගිලන් භික්ෂුව නම් එම ආවසථයෙන් (දොරදන් හලින්) බැහැර යාමට හැකි පුද්ගලයෙකි. එනම් යමකුට එතැනින් බැහැර යාමේ හැකියාව තිබියදී දෙවන දින පටන් එම ස්ථානයේ හෝ වෙනත් තැනක දන්හල් හිමි සතුවූවක් වැළඳීමේ පචිති වේ. දොරදන්හලින් බැහැර යා හැකි තත්වය සමන්තපාසාදිකාව දක්වනුයේ, ‘සක්කොති තම්හා ආවසථා පක්කමිතුන්ති අද්‌ධයොජනං වා යොජනං වා ගන්තුං සක්කොති. න සක්කොතීති එත්තකමෙව න සක්කොති[xxii]’ යනුවෙනි. ඒ අනුව යම් භික්ෂුවකට දොරදන්හලින් නික්ම අඩයොදුනක් හෝ යොදුනක් යාමට හැකි වේ නම් හෙතෙමේ නොගිලන් අයෙකි. ‘ගිලානො නාම න සක්කොති තම්හා ආවසථා පක්කමිතුං[xxiii]’ යි කී බැවින් යම් දොරදන් හලකට පැමිණි භික්ෂුවක් එතැනින් බැහැර නික්ම යාමට නොහැකි හෙවත් අඩයොදුනක් හෝ යොදුනක් හෝ යාමට අසමත් අන්දමේ ගිලන් තත්වයකින් පසු වේ නම් එහි නිබඳව සිට වැළඳීමෙන් ඇවැත් නැති.

කෙසේ වුවද නොගිලන් භික්ෂුවක් ගිලන් සංඥාවෙන් හෝ ගිලන්දෝ හෝ යි විමතියෙන් යම් ආවසථ පිඬුවක් වරකට වඩා වළඳන්නේ නම් පචිති ඇවැත් වේ. එසේම ගිලන් භික්ෂුවක් වුවද නොගිලන්සංඥාවෙන් හෝ විමතියෙන් වළඳතහොත් දුකුලා ඇවැත් වේමය.

    1. ගණභොජන ශික්ෂාපදය

කිසියම් දායකයෙක් භික්ෂූන් වෙත එළඹ ‘හෙට දිනට මාගේ බත ඉවසනු මැනව’ යනාදී ක්‍රමයකට පස් බොජුන්[xxiv] අතරින් එකක නමින් නිමන්ත්‍රණය කරන ලදුයේ භික්ෂූන් සිවු දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එකට එම භික්ෂාව ගණියි ද එය ගණබොජුනක් නම් වේ. මෙය පිළිගැනීමේ දී දුකුලා ඇවැත් වන අතර වැළඳීමේ පරගලායෙහි පරගලායෙහි පචිති වේ[xxv].

ගිලන්සමයෙහි ගණභෝජනය අනුදැන වදාරා ඇති බැවින් යම් භික්ෂුවක් ගිලන් වූයේ නම් වැළඳීමෙහි ඇවැත් නොවේ. මෙහි ගිලන්සමය යන්න සිකපදයේ පදභාජනීයෙහි දැක්වෙන්නේ ‘අන්තමසො පාදාපි ඵාලිතා හොන්ති ගිලානසමයොති භුඥ්ජිතබ්බං=යටත් පිරිසෙයින් පාදයෝ පැළුණහු වෙත් නම් ගිලන් සමය යැයි වැළඳිය යුතුය[xxvi]’ යනුවෙනි. මෙම පා පැළුණු තත්වය සමන්තපාසාදිකාවේ තවදුරටත් පාදයන්හි සම ඇතුළතින් වූ මාංශ දිස්වන තරමට පැළීතිබීමක් යැයි දැක්වේ. මෙසේ පැළී ඇති විට එහි වැලි හෝ ගල් කැට වැදුනු මාත්‍රයෙහි වේදනා ගෙන දෙන බැවින් ඇතුළුගමෙහි පිඬු පිණිස හැසිරිය නොහැකි බැවින් ගිලන්සමය යැයි ගණබොජුන වැළඳීමේ ඇවැත් නැති. එහෙත් ලේෂමාත්‍රයක් ගෙන සුළු ගිලන් තත්වයක් සලකා ගණබොජුන් වැළඳීම වළක්වා ඇති බැවින් ඇවැත් වන බැව් දතයුතු.

තවද ගිලන් භික්ෂූවට පමණක් ඇවැත් නොවන අතර නොගිලන් භික්ෂූන් ඇවතින් නොමිදේ. එනම් ගිලන් භික්ෂුවක් සතරවැනි කොට යම් ගණභෝජනයක් පිළිගත්තේ වී නම් ගිලන් භික්ෂුව ගණයා නොබිඳින බැවින් නොගිලන් භික්ෂූන්ට ඇවැත් වන බැව් දතයුතු[xxvii].

    1. පරම්පරභොජන ශික්ෂාපදය

පස් බොජුන් අතරින් එකක නමින් නිමන්ත්‍රණ ලද භික්ෂුවක් පළමු නිමන්ත්‍රණ ලද භෝජනය සම්මුඛයේ හෝ පරම්මුඛයේ හෝ අන් භික්ෂුවකට විකල්පනය නොකර පසුව නිමන්ත්‍රණ කරන ලද කුලයක බොජුනෙන් එක් පිඩකුදු වළඳන්නේ නම් පචිති ඇවැත් වේ[xxviii]. මෙම සිකපදයේ දී ද ගණභෝජන සිකපදයේ දී මෙන්ම ගිලන් භික්ෂුවට ඇවැත් නැති. මෙහිදී ගිලන් සමය යන්න ‘න සක්කොති ඒකාසනෙ නිසින්නො යාවදත්ථං භුඤ්ජිතුං ගිලාන සමයොති භුඤ්ජිතබ්බං’=එක් අසුනෙහි හුන්නේ කැමති තාක් වළඳන්නට නොහැකි වේ ද, ගිලන් සමය යැයි වැළඳිය යුතුය[xxix] යි කියූ ලෙස ගතයුතු වේ.

    1. පණීතභොජන ශික්ෂාපදය

ගිතෙල්, වෙඬරු, තෙල්, මී, උක් සකුරු, දියමස්, ගොඩමස්, කිරි, දී යන ප්‍රණීතභෝජන (පිණිබොජුන්) යම් භික්ෂුවක් නොගිලන්ව තමා පිණිස විනවා වළඳන්නේ නම් පචිති වේ[xxx]. මෙහි පිණිබොජුන් නම් කියන ලද ගිතෙල් ආදිය මිශ්‍ර කරන ලද භෝජන වේ. යම් නොගිලන් භික්ෂුවක් හුදෙක් ගිතෙල් ආදී පස්බෙහෙත් අතුරින් යමක් බෙහෙත් පිණිස විනවන්නේ නම් මහානාම සිකපදයේ පරිදි සැලකිය යුතුවේ. දියමස් ආදී සතර විනවා නම් සූපොදනවිඤ්ඤත්ති සිකපදයට අනුව සැලකිය යුතු වේ. ගිතෙල් ආදිය සමඟ මිශ්‍ර කරන ලද බොජුනක් විනවා නම් මෙම සිකපදයේ පරිදි සැලකිය යුතු වේ[xxxi].

යම් භික්ෂුවක් ගිලන් වූයේ එකී පිණිබොජුන් තමන් පිණිස විනවා වැළඳිය හැකි වේ. යමකුට පිණිබොජුනෙන් වෙන්ව පහසු වේ නම් හෙවත් ඒවායෙන් තොරව යැපිය හැකි නම් හෙතෙමේ නොගිලන් සේ සැලකේ. එබන්දෙකුට තමන් පිණිස විනවා වැළඳීමෙන් පචිති වේ. යමකුට පණීතභෝජනයෙන් වෙනව පහසු නොවේ නම් එවැනි භික්ෂුවකට තමන් උදෙසා විනවා පිණිබොජුන් වැළඳීමෙන් ඇවැත් නැති. මෙම සිකපදයේ දී යම් භික්ෂුවක් නොගිලන්ව හිඳ ගිලන්සංඥාවෙන් හෝ ගිලන්දෝ හෝ යි විමතියෙන් තමා පිණිස විනවා වළඳා නම් පචිති ඇවැත් වේ. එසේම කියන ලද අයුරින් ගිලන් භික්ෂුවකට වුවද නොගිලන් සංඥාවෙන් හෝ විමතියෙන් වැළඳීමන් දුකුලා වේ. කෙසේ වෙතත් ගිලන්ව හිඳ විනවන ලද භෝජනයක් නොගිලන්ව හිඳ වැළඳීමෙන් ඇවැත් නොවේමය.

    1. සෙනාවාස ශික්ෂාපදය

යම් ඒ භික්ෂුවක් හට යුධ සේනාවක් වෙත යාම පිණිස කිසියම් කරුණක් වන්නේ නම් ඒ භික්ෂුව විසින් උපරිම දෙතුන් රැයක් සේනාවෙහි විසිය යුතුය. යම් කරුණක් ඇති කළ්හි සේනාවට යන භික්ෂුවක් සතරවැනි දින හිරු බැස ගිය කළ්හිදු එහිම වසයි නම් පචිති ඇවැත් වේ[xxxii]. එහෙත් එසේ සතරවැනි දින හිරු බැසගිය කළ්හිදු සේනාවෙහි වසනුයේ යම් ගිලන් කරුණක් හේතුවෙන් නම් ඇවැත් නොවන බැව් සිකපදයේ අනාපත්ති වාරයේ ‘අනාපත්ති; ගිලානො වසති[xxxiii]’ යනුවෙන් දැක්වේ. ඒ අනුව මෙම සිකපදයේ ද ගිලන් භික්ෂුවට ඇවැත් නොවන බැව් දතයුතුය.

    1. ජොති ශික්ෂාපදය

යම් භික්ෂුවක් නොගිලන්ව කරුණක් නොමැතිව තපිනු කැමතිව ගිණි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති ඇවැත් වේ[xxxiv]. මෙහිදී පහන් දැල්වීම, පාත්‍ර පිසීම ඈ කරුණු වලදී ගිණි දැල්වීමේ ඇවැත් නැති. කෙසේ වුවද ගිලන් භික්ෂූවකට එම ගිලන් කරුණ හේතුවෙන් තපිනු කැමතිව ගිණි දැල්විය හැකි වේ[xxxv].

මෙහි දී ‘අගිලානො නාම යස්ස විනා අග්ගිනා ඵාසු හොති[xxxvi]’ යැයි වදාළ බැවින් යම් භික්ෂුවකට ගිණි තැපීමෙන් තොරව යැපිය හැකි වේ නම් එබඳු භික්ෂුවක් නොගිලන් අයෙකි. ඒ අනුව යම් ගිලන් කරුණකදී ගිණි තැපීමේ අවශ්‍යතාවයක් නොවේ නම් එවිට තපිනු කැමතිව  ගිණි දැල්වීමේ ඇවැත් වේ. තවද යම් භික්ෂුවක් ගිණි තැපීමෙන් තොරව තමාට පහසු නොවේ යැයි ලේෂමාත්‍රයක් ගෙන තපින්නේ වුවද, ගිණි තැපීමෙන් තොරව යැපීමේ හැකියාව ඇත්නම් ඇවැතින් නොමිදේ. එසේම නොගිලන් භික්ෂුවක් තමා ගිලන් යැයි විමතියෙන් හෝ ගිලන් යන සංඥාවෙන් හෝ තපිනු කැමතිව ගිණි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති ඇවතින් නොමිදේ. ගිලන් භික්ෂුවක් වුවද නොගිලන් සංඥාවෙන් හෝ ගිලන් බව පිළිබඳව විමතියෙන් හෝ තපිනු කැමතිව ගිණි දල්වා නම් හෝ දල්වවා නම් හෝ දුකුලා ඇවැත් වනබැව් දතයුතු.

    1. නහාන ශික්ෂාපදය

යම් මධ්‍යම දේශයෙහි භික්ෂුවක් කියන ලද සමයන් හැර පළමුව නහන ලද දිනයේ පටන් අඩමසක් පිරීමට මත්තෙන් නෑමෙන් පචිති ඇවැත් වේ. එහි සුදුසු සමය නම්, උණ්හසමය වන ගිම්හානයේ ඉතිරි එක්මස් අඩමස සහ වස්සානයේ පළමු මස යන දෙමස් අඩමස ය, පරිදාහසමය ය, ගිලානසමය ය, කම්මසමය ය, අද්ධාන ගමන සමය ය, වාතවුට්ඨි සමය ය යන කාලයන් වේ.[xxxvii]

ඒ අනුව භික්ෂුව ගිලන් නම් සුදුසු සමයක් බැවින් අඩමසකට මෙපිට නෑමෙන් ඇවැත් නැති. කෙසේ වුවද මෙම සිකපදය විශේෂයෙන් මධ්‍යම ජනපදයේ භික්ෂූන් වෙනුවෙන් වන බැවින් සියලු ප්‍රත්‍යන්ත ජනපදයන් හි අදාළ නොවේ. එහෙයින් ශ්‍රී ලංකාව වැනි රටවල භික්ෂූහු සුවසේ ස්නානය කිරීමට ලබත්.

    1. ඡන්දංඅදත්වා ගමන ශික්ෂාපදය

යම් භික්ෂුවක් සඟ මැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්දය නොදී හුනස්නෙන් නැඟිට බැහැර යන්නේ නම් පචිති වේ[xxxviii]. මෙහි නංවන ලද වස්තුව විනිශ්චය නොකරන ලදුයේ ඤත්තිය තබා කර්ම වාක්‍ය  නොනිමියේ ද විනිශ්චය කථාව පවත්නේ ම වෙයි. යම් භික්ෂුවක් ඒ අතරතුර කර්මය කෝප්‍ය කිරීම පිණිස පිරිසෙහි අත්පසින් බැහැර වේ ද ඇවැත් වේ.

යම් භික්ෂුවක් ගිලන් කරුණක් හේතුවෙන් අත්පසින් බැහැර වෙයිද ඇවතින් මිදෙන බැව් ‘අනාපත්ති: ගිලානො ගච්ඡති[xxxix]’ යනුවෙන් දැක්විණි. එහෙයින් සඟ මැද විනිශ්චය කථාව අවසන් වන තෙක් සිටිය නොහැකි ගිලන් තත්වයක් මත අත්පසින් බැහිර වන්නහුට ඇවැත් නැති. එහි දී එම භික්ෂුවට කර්මය කොප්‍ය කිරීමේ අදහස නොමැති බැවිනි.

    1. සතරමහා විකට පිළිබඳ අනුදැනීම

යම් භික්ෂුවකට සර්ප දෂ්ඨයක් සිදු වුවහොත් එහිදී ඖෂධය ලෙස ‘අනුජානාමි, භික්ඛවෙ, චත්තාරි මහාවිකටානි දාතුං ගූථං, මුත්තං, ඡාරිකං, මත්තිකන්‌ති’යැයි සතරමහා විකට අනුදන්නා ලදහ. ඒ අනුව අසුචි, මුත්‍ර, අළු සහ මැටි යන මෙම සතරමහා විකට පිළිබඳව විශේෂයෙන් සිකපද තුනකින් නිදහස් කිරීම් සර්ප දෂ්ඨයකදී පමණක් ලබාදී ඇති.

‘අනුජානාමි, භික්ඛවෙ, සති කප්පියකාරකෙ පටිග්‌ගහාපෙතුං, අසති කප්පියකාරකෙ සාමං ගහෙත්‌වා පරිභුඤ්ජිතුන්‌ති’[xl] යනුවෙන් මහාවග්ගපාළි භේසජ්ජක්ඛන්ධකයේ ද, ‘චත්තාරි මහා විකටානි සති පච්චයෙ අසති කප්පියකාරකෙ සාමං ගහෙත්වා පරිභුඤ්ජති[xli]’ යනුවෙන් පාචිත්තියපාළි දන්තපොන සිකපදයේ අනාපත්ති වාරයේ ද දක්වා ඇති බැවින් පිළිගන්වා ගැනීමට කැපකරුවකු නොමැති නම් සතරමහා විකට නොපිළිගෙන වැළැඳිය හැකි වේ. එහිදී දන්තපොන සිකපදයෙන් ඇවැත් නැති. තවද ඒ සඳහා අළු නොමැති කළ වියළි දර දවා අළු ලබා ගැනීමට ද වියළි දර නොමැති කළ අමුදර ගසකින් කඩාගැනීමට වුවද සුදුසුය. කැපකරුවකු නොමැති අවස්ථාවක, වියළි දර ද නොමැති නම් අමුදර ගසකින් කඩා දැවීමේ භූතගාම පාතව්‍යතා ඇවත ද නොවේ. එපමණක් නොව මැටි නොමැති නම් ඒ සඳහා පොළොව කැණීමට වුවද සුදුසු වන බැව් දැක්වෙන අතර ඉන් පඨවි ඛණන ඇවතද නොවේමැයි[xlii]. මෙම සතර මහා විකට ‘කාලොදිස්ස’ නම් වේ. එනම් සර්ප දෂ්ඨයකදී පමණක්ම මෙම විශේෂ නිදහස් කිරීම් ලැබෙන අතර[xliii] වෙනත් ගිලන් තත්වයන් හි දී මෙම පරිහාරය නොලැබේ.

    1. පාටිදේසනීය කාණ්ඩය

පාටිදේසනීය සිකපද සතරක් ඇති අතර ඉන් තෙවන සහ හතරවන පාටිදේසනීය සිකපදයන්හි ගිලන් භික්ෂුවට ඇවැත් නොවේ. ඒ අතරින් තෙවන සිකපදයේ සේඛසම්මත කුලයකින් පෙර නිමන්ත්‍රණ නොමැතිව ආමිස පිළිගෙන වැළැඳීම පිළිබඳව වන අතර සතරවැනි සිකපදයේ සැක සහිත යැයි සම්මත වූ, භය සහිත වූ වනසෙනසුනක පළමු නොදන්වා ගෙනෙන ලද කෑයුතු හෝ බිදිය යුතු දෙයක් ඇතුළු ආරාමයේ දී සියතින් පිළිගෙන වැළැඳීම සම්බන්ධව වේ. මේ දෙතැනිහිදී ම ‘ගිලානො නාම: න සක්කොති පිණ්ඩාය චරිතුං[xliv]’යැයි සඳහන් වන බැවින් ගමෙහි පිඬු පිණිස හැසිරිය නොහැකි ගිලන් භික්ෂුවකටම අනාපත්ති දක්වන ලදහ. කෙසේ වුවද මෙකළ සෙඛසම්මත කුලයන් නොමැති බැවින් මෙම තෙවන සිකපදයේ අදාළත්වයක් නැත්තේමය යන්න අපගේ මතය වේ.

  1. සේඛියා කාණ්ඩය

සේඛියා කාණ්ඩයේ සිකපද පන්සැත්තෑවක් ඇති අතර ‘සබ්බසෙඛියෙසු ආබාධපච්‌චයා අනාපත්‌ති, ථූපීකතපිණ්ඩපාතෙ සූපබ්‍යඤ්‌ජනෙන පටිච්‌ඡාදනෙ උජ්‌ඣානසඤ්‌ඤිම්‌හීති තීසු සික්‌ඛාපදෙසු ගිලානො නත්ථීති[xlv]’ යි කී බැවින් ඛම්භකත වග්ගයේ දසවන සමතිත්තික පිණ්ඩපාත පටිග්ගහණ සිකපදයේ දැක්වෙන ථූපීකතපිණ්ඩපාතයෙහි ද, සක්කච්ච වග්ගයේ සය වන සූපබ්‍යඤ්ජන පටිච්ඡාදන සිකපදයේ සහ සක්කච්ච වග්ගයේම අටවන උජ්‌ඣානසඤ්‌ඤි සිකපදයේ යන තුන් සිකපදයන්හි හැර ඉතිරි දෙසැත්තෑ සේඛියා සිකපදයන්හිම ගිලනාට අනාපත්ති බැවි දතයුතු වේ.

 

මහාවග්ග පාළි

විනය පිටකයෙහි උභතො විභඞ්ගය සිකපද, නිදාන, පුද්ගල, වස්තු ආදී විස්තර වශයෙන් විභාග කොට දක්වන ලද අතර ‘අනුජානාමි භික්ඛවෙ…’ යන ආදීන් අනුඤ්ඤාත සිකපදයන්ට අයත් ආභිසමාචාරික ශීලය ඛන්ධක විනයයි. එහි දෙවිසි කඳුවත් සංගෘහිත වේ. ඒ අතරිනුදු විෂය මහත්ත්වයෙන් මහත් බවට ගිය හෙයින් මහාවග්ග නම් වූ මෙහි මහාඛන්ධකයෙහි පටන් කොසම්බක්ඛන්ධකය අවසන් කොට ඇති ඛන්ධක දසය දැක්වේ. සර්වඥයන් වහන්සේගේ අභිසම්බෝධියෙන් ඇරඹෙන මෙහි එක් එක් තැනදී වදාරන ලද අනුදැනීම් අතර ගිලන් භික්ෂුවට හිමිවන අනාපත්ති වාරයන් මෙසේ ගෙනහැර දක්වම්හ.

    1. උපාධ්‍යාය වත්

සද්ධිවිහාරික භික්ෂුවක් විසින් ස්වකීය උපාධ්‍යයන් වහන්සේට කළ යුතු වත්පිළිවෙත් දැක්වීම් අතර ‘‘යස්මිං විහාරෙ උපජ්‌ඣායො විහරති, සචෙ සො විහාරො උක්ලාපො හොති, සචෙ උස්සහති, සොධෙතබ්බො.’’[xlvi] යැයි උපාධ්‍යයන් වහන්සේ වසන කුටිය කසලින් හැඩි වී ඇත්නම් සහ සද්ධිවිහාරිකයාට එය පිරිසිදු කිරීමට හැකි නම් (සචෙ උස්සහති) පිරිසිදු කළයුතු බැව් දැක්වේ.

මෙහි ‘උස්සහති’ යන්නෙන් නොගිලන්බව දැක්වෙන බැව් සමන්තපාසාදිකා විනය අටුවාව දක්වයි. ඒ අනුව උපාධ්‍යයන් වහන්සේගේ වත් පිළිවෙත් කිරීමට නොහැකි අන්දමේ ගිලන් බවක් නැති භික්ෂුව සැටවස් වුවද සියලු වත් පිළිවෙත් කළයුතු වේ. අනාදරියෙන් නොකර සිටින සද්ධිවිහාරික භික්ෂුවට දුකුලා ඇවැත් වේ. ඒ අනුව මෙහි යම් ගිලන් බවක් නිසාවෙන් ඉඩක් ලැබේ නම් එම ගිලන් බව වත් කිරීමට අපොහොසත් මට්ටමක් විය යුතුය. ලේෂමාත්‍රයෙන් වත් නොකර සිටින භික්ෂුවට ඇවැත් වන බව දතයුතු.

    1. නිස සමාදන් වීම

යම් භික්ෂුවක් උණු පස්වස් ඇත්තේ නම් හෝ, යම් භික්ෂුවක් පිරිපුණු පස්වස් ඇත්තේ නමුදු ආපත්තානාපත්ති නොදනීද, ගරු ලහු ඇවැත් නොදනීද, උභය ප්‍රාතිමෝක්ෂය මනාසේ ප්‍රගුණ නොවන්නේ වේද නිස රහිතව විසීමේ දුකුලා ඇවැත් වන බව වදාළහ. ඒ අනුව එබඳු භික්ෂුවක් දසවස් ඇති හෝ අයිරා දසවස් ඇති ව්‍යක්ත ප්‍රතිබල භික්ෂුවක් හමුවේ නිස සමාදන්ව විසිය යුතු වේ. එසේ නොවුවහොත් අරුණක් පාසා දුකුලා ඇවැත් වේ.

එසේ වුවද, ‘අනුජානාමි භික්ඛවෙ, ගිලානෙන භික්ඛුනා නිස්‌සයං අලභමානෙන අනිස්‌සිතෙන වත්ථුන්‌ති’[xlvii] යනුවෙන් වදාළ බැවින් ගිලන් භික්ෂුවට ඇවැත් නොවන අවස්ථාවක් දක්නට ලැබේ. එහෙත් මෙහි ‘නිස්සයං අලභමානෙන’ යැයි දක්වා ඇති බැවින් ගිලන් භික්ෂුවට  නිස සමාදන් වීම සඳහා සුදුසු භික්ෂුවක් වෙත ළඟා විය නොහැකි අන්දමේ රෝගී තත්වයක් ඇත්නම්, එම රෝගී තත්වය සන්සිදෙනතෙක් පමණක් නිස නොමැතිව විසීමේ ඇවැත් නැති. යම් අවස්ථාවක රෝගී තත්වය සන්සිඳී නිස සමාදන් වීමට සුදුසු භික්ෂුවක් වෙත එළඹීමේ හැකියාව ඇති වේද එම අවස්ථාවේම සුදුසු භික්ෂුවක් වෙත එළඹ නිස සමාදන් විය යුතුය. එසේ නොවන්නේ නම් අරුණක් පාසා දුකුලා ඇවැත් වේමැයි.

    1. ඡන්ද පාරිශුද්ධිය දීම

යම් භික්ෂුවක් පක්ෂයකට වරක් තුදුස්වක්හි හෝ පසලොස්වක්හි පාමොක් නොම උදෙසන්නේ නම් දුකුලා ඇවැත් වේ. කෙසේ වුවද යම් භික්ෂුවක් උපෝසථයට සහභාගි වීමට යා නොහැකි අන්දමේ ගිලන් බවෙකින් පසු වේ නම්, ‘අනුජානාමි භික්ඛවෙ,ගිලානෙන භික්ඛුනා පාරිසුද්‌ධිං දාතුං’[xlviii] යැයි වදාළ පරිදි පාරිශුද්ධිය දීමට අනුදැන වදාළහ. ඒ අනුව ගිලන් භික්ෂුවට තම පාරිශුද්ධිය යම් උපෝසථයට සහභාගි වන භික්ෂුවක් වෙත ලබාදී ඊට සහභාගි නොවී සිටීමේ ඉඩක් ලැබේ. එසේම ‘අනුජානාමි භික්ඛවෙ, ගිලානෙන භික්ඛුනා ඡන්දං දාතුං’[xlix] යනුවෙන් වදාළ බැවින් ගිලන් භික්ෂුව තම ඡන්දයද උපෝසථයට සහභාගී වන වෙනත් භික්ෂුවක් වෙත ලබාදීමට ලබයි.

මේ අනුව ගිලන් භික්ෂුවක් තම පාරිසුද්ධිය සහ ඡන්දය ලබා නොදී උපෝසථයට සහභාගිද නොවී සිටීමට නොලබයි. එසේ ඡන්ද පාරිශුද්ධිය ලබා නොදී උපෝසථයට සහභාගි නොවී සිටියහොත් දුකුලා ඇවැත් වේ. යම් ගිලන් භික්ෂුවක් හට ඡන්ද-පාරිශුද්ධිය ලබා දීමටද නොහැකි නම්, හෙතෙම ඇඳ හෝ පුටුව සමඟ හෝ සඟ මැදට ගෙනවුත් උපෝසථය කළයුතු වේ. යම් හෙයකින් එසේ ගෙනයා නොහැකි තරම් රෝගී බව උත්සන්න වේ නම්, සංඝයා විසින් ගිලන් භික්ෂුව වෙත ගොස් හෝ උපෝසථය කළ යුතු බවත්, වර්ගව ගිලන් භික්ෂුව අතහැර නොකළ යුතු බවත් දැක්වේ.[l]

    1. පුබ්බකරණ අනුදැනීම

භික්ෂූන්ගේ උපෝසථය ඇරඹීමට පෙර සිදු කළ යුතු පොහොයගෙයි හැමදීම, පහන් දැල්වීම, බොන පැන්, පරිභෝජනීය පැන් එළවීම, අසුන් පැනවීම යන කටයුතු පුබ්බකරණ නම් වේ. මෙම පූර්වකරණයන් කවුරුන් විසින් කළයුතුද යන්නේදී භාග්‍යවතුන් වහන්සේ ඒවා කිරීමට ස්ථවිර භික්ෂුව විසින් නවක භික්ෂුවකට නියම කිරීමට ‘අනුජානාමි, භික්‌ඛවෙ, ථෙරෙන භික්‌ඛුනා නවං භික්‌ඛුං ආණාපෙතුං’[li] යැයි අනුදැන වදාළහ. එසේ නියම කරන ලදුව යම් නොගිලන් නවක භික්ෂුවක් විසින් හැමදීම් ඈ පූර්වකරණයන් නොකරන්නේ නම් දුකුලා ඇවැත් වේ. ‘න, භික්‌ඛවෙ, ථෙරෙන ආණත්‌තෙන අගිලානෙන න සම්‌මජ්‌ජිතබ්‌බං -පෙ- න පඤ්‌ඤපෙතබ්‌බං -පෙ- න පදීපෙතබ්‌බො -පෙ- න උපට්‌ඨාපෙතබ්‌බං. යො න උපට්‌ඨාපෙය්‍ය, ආපත්‌ති දුක්‌කටස්‌සාති’[lii].

ඒ අනුව යම් භික්ෂුවක් පූර්වකරණයන් සිදු කළ නොහැකි තරමට ගිලන් වේ නම් පමණක් ස්ථවිර භික්ෂුව විසින් නියම කරන ලද්දේ වුවද ඒවා නොකිරීමෙන් ඇවැත් නොවේ.

    1. පවාරණාදාන අනුදැනීම

භාග්‍යවතුන් වහන්සේ විසින් පවාරණය අනුදැන වදාරා ඇති බැවින් පෙර වස් විසූ භික්ෂුවක් විසින් වප් මස පුර පසලොස්වක දින පවාරණය කළයුතු වේ. එහෙත් පවාරණයට සහභාගි විය නොහැකි සේ ගිලන් අවස්ථාවක ‘අනුජානාමි භික්ඛවෙ, ගිලානෙන භික්ඛුනා පවාරණං දාතුං’[liii] යි කියූ බැවින් වෙනත් උපසපන් භික්ෂුවක් වෙත පවාරණය දීමට ලබයි. එම භික්ෂුව කයින් හෝ වචනයෙන් හෝ කය වචන දෙකෙන්ම තම පවාරණය හඟවයි නම්, පවාරණය දුන්නේ වෙයි.

ඒ අනුව යම් භික්ෂුවක් ගිලන් වුවද තම පවාරණය අන් භික්ෂුවකට නොදී හෝ පවාරණයට සහභාගි නොවී සිටීමට නොලබයි. යම් හෙයකින් පවාරණය දීමට නොහැකි තරමට ගිලන් වේ නම් ඇඳ හෝ පුටුව සමඟ සඟ මැදට ගෙනවුත් හෝ සංඝයා ගිලන් භික්ෂුව වෙත ගොස් පවාරණය සිදු කළ යුතු බවත් වර්ගව සිදු නොකළයුතු බවත් දැක්වේ.[liv]

    1. යාන ප්‍රතික්ෂේපය

‘න භික්ඛවෙ, යානෙන යායිතබ්බං. යො යායෙය්‍ය, ආපත්ති දුක්කටස්‌ස’[lv] යැයි පනවා ඇති බැවින් යානයෙන් යන භික්ෂුවට දුකුලා ඇවැත් වේ. එහෙත් ‘අනුජානාමි භික්ඛවෙ, ගිලානස්ස යානං’[lvi] යනුවෙන් ගිලන් භික්ෂුවට යානය අනුදැන වදාළ බැවින් ඇවැත් නැති. මෙහිදී ගිලන් භික්ෂුවට පිරිමි සතුන් යෙදූ අතින් අදින යානයෙහි ගමන් කිරීමේ ඇවැත් නැති[lvii]. එකී පිරිමි සතුන් යෙදූ යානය රියැදුරු ස්ත්‍රියක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා ගමන් කිරීම සුදුසු ය. අතින් අදින යානය ද ස්ත්‍රීන් හෝ වේවා පුරුෂයන් හෝ වේවා අදිනු ලබන්න සුදුසු ය[lviii].

කෙසේ නමුත් මෙහි යාන යන්නෙන් දෙනුන් හෝ පිරිමි සතුන් යෙදූවක් අදහස් කරන බැවින් මෙකල භාවිතා වන රථ වාහන යාන සංඛ්‍යාවට නොයන බැව් අපගේ මතය වේ. එබැවින් ගිලන් හෝ නොගිලන් භික්ෂුවට මෙකල භාවිතා වන රථවාහන වලින් යෑමෙහි ඇවැත් නොවිය යුතු වේ.

    1. උපාහනා ප්‍රතික්ෂේපය

වහන් සහිතව ගම් වැදීම නොකළයුතු වන අතර එසේ ගම් වදින්නහුට දුකුලා ඇවැත් වේ. එහෙත් ‘අනුජානාමි, භික්ඛවෙ, ගිලානෙන භික්ඛුනා සඋපාහනෙන ගාමං පවිසිතුන්ති’ යැයි ගිලන් භික්ෂුවට වහන් පය ලා ගම් වැදීමට අනුදන්නා ලද බැවින් ඇවැත් නැති. මෙහිදී වහන් වලින් තොරව ගම් වැදීමට නොහැකි තරමේ යම් ගිලන් බවක් ඇති භික්ෂුවට වහන් සහිතව ගම් වැදියහැකි වේ. ‘ගිලානො නාම යො න සක්කොති අනුපාහනො ගාමං පවිසිතුං’[lix] යනුවෙන් දැක්වූයේ එබැවිනි. තෙත් පොළොව පෑගීමෙන් හෝ රත් වූ පොළොව පෑගීමෙන් හෝ නඟින රෝගයක් ඇතියහුට වහන් පයලා ගම් වැදීමෙන් ඇවැත් නොවන බැව් රේරුකානේ මහනාහිමියෝ පවසත්[lx]. එහෙත් වහන් නොමැතිව ගමට යාමේ හැකියාව ඇති භික්ෂුවට වෙනත් ගිලන් බවක් හේතුවෙන් වහන් පය ලා ගමට යෑමේ ඇවැත් වේ.

    1. අමනුෂ්‍ය ආබාධයකදී අමු මස් අනුදැනීම

‘අනුජානාමි, භික්ඛවෙ, අමනුස්‌සිකාබාධෙ ආමකමංසං ආමකලොහිතං’[lxi] යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් අමනුෂ්‍ය ආබාධයක දී අමු මස් හා අමු ලේ අනුදැන වදාළ සේක. එහිදී මෙම මස් ලේ අනුභවය එකී අමනුෂ්‍යයා විසින් සිදු කරන්නක් බැවි දතයුතුය.

    1. මද්‍ය සහිත බෙහෙත් තෙල් පිසීම

යම් ගිලන් බවක් හේතුවෙන් බෙහෙත් තෙලක් පිසියයුතු වේ නම්, සහ එය පිසීමේ දී මද්‍ය මිශ්‍ර කළයුතු වේ නම්, ඉතා සුළු වශයෙන් මද්‍ය මිශ්‍ර කළහැකි වේ. එහෙත් බොහෝ මද්‍ය මුසු කරමින් පිසූ බෙහෙත් තෙල් වැළඳීම නොකළයුතු. යම් පිසූ තෙලක මද්‍යයෙහි පැහැය නොපෙනේ ද, ගන්ධය ප්‍රකට නොවේ ද, රසය ප්‍රකට නොවේ ද එබඳු වූ මද්‍ය මුසුකර පිසන ලද තෙල් වැළඳීමේ ඇවැත් නොවේ.

කෙසේ වුවත් මෙම මද්‍ය මුසු තෙල් වැළඳීම අදාළ ආබාධ තත්වයටම පමණක් වන අතර එසේ ආබාධ තත්වයක් නොමැති විට හෝ ආබාධය සුව වූ විට නුසුදුසුය. එබැවින් මද්‍ය මුසු තෙල් වර්ග කරුණක් නොමැතිව වැළඳීමට හෝ බොහෝ මද්‍ය මුසු තෙල් කරුණක් ඇති කල්හි වුවද වැළඳීමෙන් සුරාපාන සිකපදයෙන් ඇවැත් වන බැව් සැලකිය යුතු.

  1. සිවුරු බහා තැබීම

යම් භික්ෂුවක් තම සංඝාටිය විහාරයේ බහා තබා උතුරුසඟල සහ අන්තරාවාසකය පමණක් ඇතිව ගම් වැදීමෙන් දුකුලා ඇවැත් වේ. එහෙත් යම් සිවුරක් විහාරයේ බහා තබා යාහැකි අවස්ථා පහක් “පඤ්චිමෙ භික්‌ඛවෙ, පච්චයා සඞ්ඝාටියා – පෙ- උත්තරාසඞ්ගස්ස – පෙ- අන්තරාවාසකස්ස නික්‌ඛෙපාය ගිලානො වා හොති, වස්සිකසඞ්කෙතං වා හොති, නදීපාරං ගන්තුං වා හොති, අග්ගළගුත්තිවිහාරො වා හොති, අත්ථතකථිනං වා හොති[lxii]’’යනුවෙන් වදාළ සේක. ඒ අනුව යම් භික්ෂුවක් ගිලන් වූයේ නම් ඒ හේතුවෙන් කැමති සිවුරක් විහාරයේ බහා තබා ගමට පිවිසිය හැකි වේ.

මෙහිදී ගිලන් බව නම් එකී සිවුර රැගෙන යාමට අසමත් බව යැයි සමන්තපාසාදිකා විනය අටුවාවේ දැක්වේ[lxiii]. මේ අනුව යම් භික්ෂුවක් තම සිවුර රැගෙන ගමට යාමට අසමත් තරමේ ගිලන් බවෙකින් පෙළේ නම්, එම භික්ෂුවට කැමති සිවුරක් විහාරයේ බහා තබා ගමට පිවිසීමේ ඇවැත් නොවේ.

 

චුල්ලවග්ග පාළි

ආභිසමාචාරික ශීලය ප්‍රකාශ කරන අනුඥාත ශික්ෂාපදයන්ගෙන් යුත් ඛන්ධක විනයෙහි කම්මක්ඛන්ධකයේ පටන් සත්තසතිකක්ඛන්ධකය අවසන් කොට ඇති දොළොස් ඛන්ධක චුල්ලවග්ගපාළියෙහි ඇතුළත්වේ. එයිනුදු පළමු ඛන්ධක සතර විශේෂ විනයකර්ම පිළිබඳ කරුණු රැසක් සම්පිණ්ඩනය කරන බැවින් ගිලන් භික්ෂුවගේ අනාපත්ති දැක්වීම් හා අදාළත්වයක් නැති තරම්ය. කුඩා වස්තු රැසක් රාශිභූත වූ ඛුද්දකවත්ථුක්ඛන්ධකය, විහාර සෙනසුන් පිළිබඳ කරුණු පිඬු කරන සේනාසනක්ඛන්ධකය යනාදී ඛන්ධකයන්හි ගිලන් භික්ෂුවට අනාපත්ති දැක්වූ අතර ඒවා මෙසේ ගෙනහැර දක්වම්හ.

    1. නෑම පිළිබඳව

යම් භික්ෂුවක් ජලස්නානය කිරීමේ දී ‘මල්ලක’ නම් උපකරණයකින් ඇඟ උලා නෑමෙන් දුකුලා ඇවැත් වේ[lxiv]. මෙම මල්ලක නම් උපකරණය මකරදත් වැනි දැති සිඳින ලද පියුම් කෙමියක ආකාර ඇති උපකරණයක් බව[lxv] දැක්වෙන අතර මෙකල දක්නට නොලැබෙන්නකි. එහෙත් ඇඟ කසන ආබාධ ඇති භික්ෂුවට දැති නොසිඳි මල්ලකයෙන් අතුල්ලා නෑමෙහි ඇවැත් නොවේ. කෙසේ වුවද වර්තමානයේ මෙම උපකරණය භාවිතයේ නැති බැවින් මෙහි යෙදීමක් දක්නට නොලැබේ.

තවද ස්නානය කිරීමේ දී ගස්වල, කණුවල, බිත්තිවල ආදියෙහි කය ඇතිල්ලීම නොකළයුතු. එසේම එකිනෙකා කය ගටා කුණු ඉලීමෙන් ද ඇවැත් වේ. රෙදි වැටියකින් හෝ අතින් ඇඟ ඉලීම සුදුසු අතර ගල්කැට ආදියක පා ඉලීම සුදුසු වේ. යට කියන ලද තැනෙහි හැර අන් කිසි තැනෙක ගිලන් භික්ෂුවට අනාපත්ති නොදැක්වෙන බැවින් ගිලන් කරුණක් හේතුවෙනුදු නෑමේදී ගස් ආදියෙහි ඇඟ ඉලීම නොකළ යුතු.

    1. මුහුණු බැලීම

කැටපතකින් හෝ දියබඳුනකින් හෝ එවැනි මුව නිමිත්ත ප්‍රකට වන යමකින් මුහුණු නොබැලිය යුතු වේ. එසේ බැලීමෙන් දුකුලා ඇවැත් වේ. එහෙත් යම් ආබාධයක් කරණකොටගෙන මුහුණ බැලීමේ ඇවැත් නොවේ[lxvi]. ඒ අනුව මුහුණේ ඇති තුවාලයක් සුව වී ඇත්දැයි දැනගැනීමට හෝ බෙහෙත් ගැල්වීමට හෝ මුහුණ බැලීමෙන් ඇවැත් නොවේ. එසේම මා දැන් දිරා ඇත්දැයි ආයුසංස්කාර දැනගැනීම පිණිසද මුහුණ බැලීම සුදුසුය[lxvii]. තවද මුහුණ නොබලා රැවුල බෑමේදී වියහැකි ආබාධයක් වළක්වාගැනීමේ අදහසින් කැටපතින් මුහුණ බලා රැවුල බෑමේ දී ඇවැත් නොවියහැකි බවට රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ අදහස වේ[lxviii].

    1. මුහුණු ආලේප කිරීම

මුහුණ පැහැපත් කරන දෑ මුහුණේ නොගැල්විය යුතු. යමෙක් ගල්වන්නේ නම් දුකුලා ඇවැත් වේ[lxix]. එහෙත් ඇස් රෝගයක් වැනි ආබාධයක් හේතුවෙන් මුහුණෙහි බෙහෙත් ගැල්වීමෙහි ඇවැත් නොවන බැව් ‘අනුජානාමි, භිකඛවෙ, ආබාධපපච්‌චයා මුඛං ආලම්පිතුං[lxx]’යැයි වදාළ සේක. කෙසේ නමුත් මෙහි දී ලේෂමාත්‍රයක් ගෙන මුහුණ පැහැපත් කරන දෑ මුහුණේ ගැල්වීම, වත්සුණු ගැල්වීම ආදිය ඇවැත්කර බැව් දතයුතු.

    1. තම සිරුරට හානි කරගැනීම

යම් භික්ෂුවක් තමාගේ අංගජාතය සිඳින්නේ නම් ථුලැසි ඇවැත් වන අතර[lxxi] අනෙක් කන් නාසා ආදියක් සිඳින්නේ නම් හෝ එබඳු දුකක් උපදවන්නේ නම් දුකුලා ඇවැත් වේ[lxxii]. යටත් පිරිසෙයින් තම සිරුරට ගසාගන්නේ නමුදු දුකුලා ඇවැත් වේ[lxxiii]. එතෙකුදු වුවත් යම් කිසි සර්පදෂ්ඨයක් ආදියකදී හෝ වෙනත් ආබාධයකදී ලේ මුදවන්නහුට හෝ යම් සිඳීමක් කරන්නහුට ඇවැත් නොවේ[lxxiv]. ගිලනකුට රුධිරය පරිත්‍යාග කිරීමෙහිදු ඇවැත් නැති බව අපගේ මතය වේ.

    1. ඡත්‍ර දැරීම

නොගිලන් භික්ෂුවක් ආරාමයේ හෝ ආරාම උපචාරයේ හැර ඉන් පිටතදී ඡත්‍ර (කුඩ) දැරීමෙන් දුකුලා ඇවැත් වේ. ගිලන් නොගිලන් කවරකුට වුවද ආරාමය හා ආරාම උපචාරය තුළ කුඩ දැරීමේ ඇවැත් නැති[lxxv].

මේ අනුව ගිලන් භික්ෂුවට ගමෙහි හෝ ආරණ්‍යයේ වුවද කුඩ දැරියහැකි වේ. මෙහි ගිලන් භික්ෂුව පිළිබඳව, ‘යස්ස කායඩාහො වා පිත්‌තකොපො වා හොති, චක්ඛු වා දුබ්‌බලං, අඤ්ඤො වා කොචි ආබාධො විනා ඡත්තෙන උප්පජ්‌ජති, තස්ස ගාමෙ වා අරඤ්‌ඤෙ වා ඡත්‌තං වට්‌ටති’ යැයි දැක්වූ බැවින් යමකුට ඡත්‍රයකින් තොරවූ කල්හි කය දැවිල්ලක් හෝ පිත් කෝපයක් හෝ ඇත්තේ වේද, ඇස හෝ දුබ්බල වේද, අන්කිසි හෝ ආබාධයක් වේද එම භික්ෂුවට ගමෙහි හෝ ආරණ්‍යයෙහි හෝ වුවද කුඩ දැරිය හැකි වේ. තවද වර්ෂාව ඇති කල්හි සිවුරු ආරක්ෂා කරගැනීමට ද, නපුරු සතුන්ගෙන් සොරු ආදීන්ගෙන් බිය ඇති කල්හි ආත්මාරක්ෂාව උදෙසාද කුඩ දැරියහැකි වේ[lxxvi]. දැරියහැකි කැපසරුප් කුඩ පිළිබඳව සමන්තපාසාදිකා විනය අටුවාවේ මහාවග්ගපාළි භේසජ්ජක්ඛන්ධක වර්ණනාවේ දැක්වේ.

    1. දණ්ඩසික්කා දැරීම

භික්ෂුවක් දණ්ඩ සික්කාව නොදැරිය යුතුය[lxxvii]. මෙහි දණ්ඩ සික්කාව නම් දණ්ඩක් කෙළෙවර බඳින ලද පසුම්බියක් වැනි උපකරණයකි. එහි පාත්‍රය ආදිය දමාගෙන ගොස් ඇත. භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂුවට මෙම දණ්ඩ සික්කාව ප්‍රතික්ෂේප කළ පසු ගිලන් භික්ෂුව උදෙසා භික්ෂු සම්මුතියෙන් දණ්ඩද, සික්කාවද, දණ්ඩසික්කාවද දැරීම වෙන වෙනම අනුදැන වදාරා ඇත.

එබැවින් යම් ගිලන් භික්ෂුවක් රියන් හතරක් වූ දණ්ඩක් දරන්නේ නම් භික්ෂු සම්මුතියකින්ම දැරිය යුතු වේ. ඉන් අඩු වැඩි වූව සම්මුතියකින් තොරව සියල්ලන්ටම කැප වේ. සික්කාව වනාහි නොගිලන් භික්ෂුවට නොවටින අතර ගිලන් භික්ෂුවට ද සම්මත කර දිය යුතුය[lxxviii].

    1. සම්බාධ ස්ථානයන්හි ලොම් ඉවත් කිරීම

සම්බාධ ස්ථානයන්හි ලොම් ඉවත් නොකළයුතු අතර ඉවත් කළහොත් දුකුලා ඇවැත් වේ[lxxix]. ඒ අනුව කිසිලි, නිමිති ප්‍රදේශ, ඇහිබැම ආදියෙහි ලොම් ඉවත් නොකළයුතු. එහෙත් එකී සම්බාධ ස්ථානයන්හි ගඩු, වණ ඈ යම් කිසි ආබාධයක් වේ නම් ලොම් ඉවත් කිරීමේ ඇවැත් නොවේ.

නාස් ලොම් පිටතට පෙනෙන සේ ඇත්නම් ඉවත් කළයුතු වේ. දිගු නාස් ලොම් දැරීමෙන් ඇවැත් වන බැවිනි. තවද ඇහි බැමෙහි, නළලෙහි හෝ උඩු රැවුලෙහි උස්ව නැගී ඇති දකින්නවුන්ට බිය උපදවන විරූපී වූ ලොම් ඇත්නම් එවැනි ලොම් ඉවත් කිරීම සුදුසු වේ[lxxx].

    1. කතුරෙන් කෙස් කැපීම

කතුරෙන් කෙස් කැපීම නොකළයුතු[lxxxi] අතර කෙස් රැවුළු බෑම සඳහා දැළිපිහිය හෝ වර්තමානයේ භාවිතා වන රැවුළබෑමේ උපකරණ ආදියක් භාවිත කිරීමේ ඇවැත් නැති. එහෙත් හිසෙහි ගඩුවක් හෝ වණයක් ආදියක් වේ නම් ‘අනුජානාමි භික්ඛවෙ ආබාධප්පච්චයා කත්තරිකාය කෙසා ඡෙදාපෙතුං’ යැයි වදාළ බැවින් කතුරෙන් කෙස් බෑමේ ඇවැත් නොවේ.

    1. අඳනය හැඳීම

‘‘න භික්ඛවෙ,  සංවෙල්ලියං නිවාසෙතබ්‌බං. යො නිවාසෙය්‍ය, ආපත්ති දුක්‌කටස්‌ස[lxxxii]’’යැයි වදාළ බැවින් යම් භික්ෂුවක් මල්ලවපොර කරුවන් මෙන් කැසපට බැඳ අඳනය හැඳීම නොකළයුතු. සේඛියාවන්හි කී පරිදි පිරිමඬුළු කොට හැඳිය යුතු. තැන් තැන් වලින් උස් පහත් නොවන සේ එක මට්ටමකට, උඩින් නාභියත් යටින් දෙ  දණමඩලත් වැසෙන සේ දණමඩලට යටින් ඇති කෙණ්ඩා ඇටයේ මුල පටන් අටඟුල් පහළට බස්වා හැඳීම පිරිමඬුළු කොට හැඳීම නම් වේ[lxxxiii].

යම් භික්ෂුවකගේ දණහිසෙහි හෝ පාදයේ වණයක් වැනි ආබාධයක් ඇති කළ කියූ පරිදි හැඳීමට නොහැකි නම් හඳනය ඉහළට ඔසවා හෝ පහළට බස්වා හැඳීමෙන් ඇවැත් නැති[lxxxiv]. එහෙත් ගිලන් භික්ෂුවට වුව යට කියන ලද ආකාර කැසපට බැඳීම සුදුසු නොවේ. ගිලන් භික්ෂුවකට එක් හඳනයක් රැළි නංවා හැඳ ඒ මත්තෙහි තවත් හඳනයක් හැඳීම සුදුසු වේ. නොගිලන් භික්ෂුවක් හඳන දෙකක් හඳින්නේ නම් එකට කොට හැඳිය යුතු[lxxxv].

    1. ලුහුණු වැළඳීම

‘න භික්ඛවෙ, ලසුණං ඛාදිතබ්බං. යො ඛාදෙය්‍ය ආපත්ති දුක්කටස්ස[lxxxvi]’ යන පෙළට අනුව ලුහුණු වැළඳීමෙහි දුකුලා ඇවැත් වේ. එහෙත් යම් ආබාධයකට ප්‍රතිකාර වශයෙන් ලුහුණු වළඳන්නේ නම් ඇවැත් නොවන අතර ලුහුණු එකී ආබාධයට ඖෂධයක් වේ නම් පමණක් වැළඳීමෙහි ඇවැත් නොවේ[lxxxvii]. මෙහි දී ලුහුණු නම් මගධ දේශයෙහි හටගත් විශේෂයක් බවත් පොකුර ලෙස පවතින බවත් දැක්වේ[lxxxviii]. සුදු ලූණු බවටද මතයක් පවතී[lxxxix].

    1. බිම්බෝහන දැරීම

අඩකයක් පමණ දික් වූ කොට්ට (බිම්බෝහන) දැරීමෙන් භික්ෂුවට දුකුලා ඇවැත් වේ[xc]. හිසට සුදුසු පමණ කොට්ටයක් දැරිය යුතු වේ. නොගිලන් භික්ෂුවට හිස තැබීමට සහ පා තැබීමට පමණක් කොට්ට භාවිතා කළ හැකි අතර ගිලන් භික්ෂුවට කොට්ට අතුරා ඒ මත්තෙහි පසතුරුණක් අතුරා හොවීමට වුවද සුදුසු බව දැක්වේ.

  1. ආසන පටිබාහනය

සඟ සතු සෙනසුන් පරිහරණය කිරීමේ දී අග්‍ර ආසනය, අග්‍ර උදකය, අග්‍ර පිණ්ඩය ආදිය හිමි විය යුත්තේ වැඩිහිටි පිළිවෙලට වේ. යම් භික්ෂුවක් ඒ වැඩිහිටි පිළිවෙලින් පරිභෝගය වළක්වන්නේ නම් (ප්‍රතිබාහනය කරන්නේ නම්) දුකුලා ඇවැත් වේ[xci]. ඒ අනුව යම් නවක භික්ෂුවක් උතුම් සෙනසුනක් පරිහරණය කරන කළ වෘද්ධතර භික්ෂුවක් පැමිණි කළ එම සෙනසුන ලබාදිය යුතු වේ. එසේ නොදුනහොත් ඇවැත් වේ.

මෙහිදී ගිලන් භික්ෂුවට විශේෂ වරප්‍රසාදයක් හිමි වන අතර තම සෙනසුන වෘද්ධතර භික්ෂුවට ලබා නොදීමෙන් ඇවැත් නැති. ගිලනා නැගිටුවීමෙන් දුකුලා ඇවැත් වන බැවිනි. එතකුදු වුවත් ලේෂමාත්‍රයෙන් සෙනසුන් ප්‍රතිබාහනය නොකළයුතු වේ. හිස රුදාවක් වැනි ආබාධයක් මෙහි ලේෂමාත්‍රය යන්නෙන් අදහස් වේ. එබඳු තත්වයකදී වැඩිහිටි භික්ෂුවගේ සෙනසුන් පටිබාහනයෙන් ඇවතින් නොමිදේ[xcii].

ගිලානස්ස අනාපත්ති පිළිබඳ දුර්මත ඛන්ඩනය

    1. විකාල භෝජනය

‘‘යො පන භික්ඛු විකාලෙ ඛාදනීයං වා භෝජනීයං වා ඛාදෙය්‍ය වා භොජෙය්‍ය වා පාචිත්තියං[xciii]’’ යන පාචිත්තියපාළියෙහි එන විකාලභෝජන සිකපදය වරදවා ගෙන ගිලන් භික්ෂුවට විකාල භෝජනයෙන් ඇවැත් නොවන බවට වත්මනෙහි දුර්මතයක් ඇති බැව් බොහෝ විට අසන්නට ලැබෙන්නකි. එහෙත් විකාල භෝජන සිකපදයට අනුව යම් භික්ෂුවක් කෑයුතු දෙයක් හෝ බිදිය යුතු දෙයක් විකාලයේ විකාලය යන සඤ්ඤා ඇතිව හෝ විමතියෙන් හෝ කාලය යන සඤ්ඤාවෙන් හෝ වළඳන්නේ නම් පචිති ඇවැතට පැමිණේ.

මෙම සිකපදයේ පෙළෙහි හෝ අටුවාවන්හි කිසිදු තැනෙක ගිලන් භික්ෂුවට අනාපත්ති බවක් සඳහන් නොවේ. එබැවින් ඕනෑම ගිලන් හෝ නොගිලන් භික්ෂුවක් මධ්‍යාහ්නයෙන් පසු යම් කිසි යාවකාලික ආහාරයක් ආහාර පිණිස වළඳයි නම් පචිති ඇවැත් වේ. යාවකාලික නොවන ගිලන් පස බෙහෙත් ආදියක් හෝ යටත් පිරිසෙයින් වළඳන පැන් නමුදු ආහාර පිණිස වැළඳීමෙන් දුකුලා ඇවැත් වේ. එබැවින් ගිලන් භාවයක් හේතුවෙන් විකාලභෝජනයෙහි ඇවැතින් නොමිදේ. සියලු දුක් කෙළවර කරනු වස් සසුන් කිස සපුරාලන්නවුන් මේ පිළිබඳ සැලකිලිමත් වී විකාලභෝජනයෙන් වැළකී පිරිසිදු ශීලස්කන්ධය සපුරත්වා!

    1. සුරාමෙරය පානය

“සුරාමෙරය පානෙ පාචිත්තියං[xciv]” යැයි සියලු ආකාරයේ සුරා සහ මේරය ප්‍රතික්ෂේප කළ බැවින් භික්ෂුවක් යටත් පිරිසෙයින් කුසතණ පත් අගකිනුදු සුරාමේරය බිඳුවකුදු පානය කළහොත් පචිති ඇවැත් වේ. මෙහිදී මද්‍යයක මද්‍ය යන සංඥාවෙන් හෝ විමතියෙන් හෝ අමද්‍ය යන සංඥාවෙන් හෝ වැළඳීමෙහි පචිති වේමැයි.

මෙහිදී ද කිසිදු ආකාරයකට ගිලන් භික්ෂුවට හිමිවන අනාපත්තිවාරයක් නොදැක්වෙන බැවින් ගිලනාට ඖෂධයක් ලෙස හෝ මද්‍යපානයෙහි ඇවැත් වේ. කෙසේ නමුදු යම් ඖෂධයක් අමද්‍ය වේද, එහි මද්‍ය වර්ණය, මද්‍ය ගන්ධය මද්‍ය රසය ප්‍රකට වේද එබඳු ඔෂධයක් වැළැඳීමෙහි ඇවැත් නැති. ලෝණසෝවීරකය මෙබඳු ඔෂධයක් වන අතර එය මද්‍යයක් නොවන බැවින් ඇවැත් නොවේ. අරිෂ්ඨ සම්බන්ධයෙනුදු මෙපරිද්දෙන්ම දතයුතු.

ඇතැම් ඖෂධ තෙල්, ඇතැම් සූප ආදියක් පිසීමෙහි මද්‍ය ඉතා සුළුවෙන් මුසු කරන විටක දී එම පිසූ තෙල් ආදියෙහි මද්‍ය වර්ණයක්, ගන්ධයක් හෝ රසයක් ප්‍රකට නොවේ නම් වැළඳීමෙහි ඇවැත් නොවේ[xcv]. එහෙත් මද්‍ය වර්ණය, ගන්ධය හෝ රසය ප්‍රකට වේ නම් එම තෙල් ආදියක් ඖෂධ පිණිස නමුදු වැළඳීමේ ඇවැත් වේ.

    1. මුදල් භාවිතය

භික්ෂුවකට සියලු ආකාරයේ මුදල් පිළිගැනීම්, ඉවසීම්, ගනුදෙණු ආදියෙහි ඇවැත් වේ. එබැවින් යම් භික්ෂූවක් ගිලන් අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම පිණිස නමුදු මුදල් පිළිගනීනම් හෝ ඉවසයි නම් නිසගි පචිති වේ. එසේම ගිලන් අවස්ථාවක ප්‍රතිකාර පිණිස නමුදු මුදල් ගනුදෙණු කරයි නම් ඇවැතින් නොමිදේ.

එහෙත් විනයෙහි දක්ෂ භික්ෂුව කැපකරුවන් හරහා විනයානුකූල ක්‍රම වලට තමාගේ සියලු මුදල් අවශ්‍යතා සපුරාගෙන සිල්වත්ව සසුනෙහි මහණදම් පුරන්නේය. එබැවින් නිස්සරණාධ්‍යාශයෙන් යුතු වූවාහු සියලු ආකාරයේ මුදල් ගනුදෙණු වලින් වැළකී සසුන් ගුණ පුරත්වා!

    1. සහසෙය්‍ය ඇවැත

උපසපන් භික්ෂුවක් අනුපසම්පන්නයකු සමඟ දෙතුන් රැයකට වැඩියෙන් එක වහළක් යට නිදීම කළහොත් සහ මාගමක් සමඟ එක්රැයක් නමුදු එක වහළක් යට නිදීම කළහොත් පචිති ඇවැත් වේ[xcvi]. මෙහිදී ගිලන් භික්ෂුවට ඇවැතින් මිදීමක් නොවන බැවින් ගිලන් කරුණකදී වුවද නිදාගැනීමෙන් ඇවැත් වේ. එබැවින් වර්තමානයේ රෝගී තත්වයන්හිදී රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ගන්නා භික්ෂූන් සැලකිය යුතු කරුණකි.

    1. නොපිළිගෙන වැළැඳීම

පාචිත්තියපාළියෙහි එන දන්තපොන සිකපදයට අනුව යම් භික්ෂුවක් ජලය හා දැහැටි හැර ආහාර පිණිස ගන්නා ඕනෑම දෙයක් පිළිගෙන වැළැඳිය යුතු වේ[xcvii]. නොපිළිගෙන වළඳනා ඕනෑම දෙයක පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ. සර්ප දෂ්ඨයකදී සතරමහා විකට කැපකරුවකු නොමැති විටක දී නොපිළිගෙන වැළඳීමෙහි ඇවැත් නොවන බව විශෞෂයෙන් අනුදන්නාලද අතර ඒ හැර වෙනත් කිසිදු ආකාරයකට ගිලන් භික්ෂුවගේ අනාපත්ති දැක්වීමක් නොමැති බැවින් ගිලන් කරුණකදී වුවද නොපිළිගෙන වැළැඳීමෙහි ඇවැත් වේ.

    1. සන්නිධිකරණය

සත්තාහකාලික, යාවජීවික බෙහෙත් ද්‍රව්‍ය හැර අනිකුත් සියලු ආකාරයේ ආහාර ද්‍රව්‍ය උපසපන් භික්ෂුවකට පිළිගෙන දින කිහිපයක් ළඟ තබාගෙන වැළැඳිය නොහැකි වේ. ඒ අනුව යම් භික්ෂුවක් ගිලන් වූයේ නමුදු පිළිගත් ආහාරයක් පසු දිනක් දක්වා ළඟ තබාගැනීමෙන් මෙන්ම එසේ තබාගෙන වැළැඳීමෙන් ද ඇවැත් වනබැව් දතයුතු. එහෙයින් සියලු ආකාරයේ ආහාර සන්නිධිකරණයන්ගෙන් මිදෙත්වා!

  1. උස් අසුන් භාවිතය

භික්ෂූන් හට සුගත අඟුල් අටකට වඩා උස් වූ අසුන් භාවිතයේ ඇවැත් වේ. එහෙයින් ගිලන් භික්ෂුවකට වුවද උස් වූ ඇඳපුටු භාවිතය ඇවැත්කර වේ. වර්තමානයේ රෝහල් ඇඳන් උස්ව සකස් කර ඇති බැවින් රෝහල් ගතවන භික්ෂූන් ඒ පිළිබඳ අවධානය යොමු කරත්වා.

 

සමාප්තිය

මෙතෙකින් විනය පිටකයේ පාරාජිකපාළි, පාචිත්තියපාළි, මහාවග්ගපාළි, චුල්ලවග්ගපාළි යන ප්‍රකරණයන් ආවරණය කරමින් ප්‍රධානවශයෙන් ගිලන් භික්ෂුවට තම ශීල පාරිශුද්ධිය සඳහා ලබාදී ඇති අනාපත්තිවාරයන් පිළිබඳ ගෙනහැර දැක්වීමු. එහෙත් අපගේ මෙම වෑයම ‘ගිලානස්ස අනාපත්ති’ පිළිබඳව ඇති සියලු අනුදැනීම් ආවරණය නොවන සප්පදේශයක් විය හැකිය. එසේ ඇතුළත් නොවූ යම් පැනැවීමක් වේ නම් ඒවා ද යමකු සොයා බලා එකතු කරන්නේ නම් එය සසුන බබුළුවීමට මහඟු රුකුලක් වනු නොඅනුමානය. මෙතෙකින් දැක්වූ සියලු තොරතුරු සියලු දුකින් මිදෙන නිර්වාණය සාක්ෂාත් කරනු වස් සසුන් බිමට වන් කුලපුතුනට පිරිසිදු ශීල සංවරයෙන් යුතුව අරි අට මගේ යා ගැන්මට ශීලය පිළිබඳ හාත්පස අවබෝධය ඇතිකර ගැනීමට මෙය හේතු වේවා. පූර්වාචරියන් වහන්සේලා දැක්වූ පරිදි,

‘‘යො ගවං න විජානාති, න සො රක්ඛති ගොගණං

එවං සීලං අජානන්තො, කිං සො රක්ඛෙය්‍ය සංවරං = යමෙක් තමාගේ ගවරැළ මෙතෙකැයි නොදනීද, හෙතෙමේ ගව සමූහයා නොරකී. එපරිද්දෙන් සීලය නොදන්නාවූ ඒ පුද්ගල තෙමේ කිනම් සංවරයක් රකින්නේ ද?[xcviii]’’ එබැවින් භව නිස්සරණය පිණිස ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් යුක්ත වන්නේ නම් හෙතෙමේ තම සිකපද පිළිබඳව මනා දැනීමකින් හා අවබෝධයකින් හෙබි වීම යුතුමැයි. සිකපද මාතිකා පමණක් නොව මූලික පැනවීම, අනුප්‍රඥප්ති, ව්‍යතික්‍රමණ අංග, අනාපත්ති වාර ආදිය පිළිබඳවද මොනොවට අවබෝධයක් පැවතීම භික්ෂුවකට පිරිසිදු ශීල සංවරයෙන් සංවෘත වීමට මහඟු උපකාරයක් වන්නේය.

එබැවින් සැදැහැයෙන් සසුන් කිස සපුරාලන නුවණැති සබ්‍රහ්මචාරීහු මෙහි දැක්වෙන්න ධර්මය විනය පිළිබඳ සැදැහැයෙන් ගෙන ජීවිත හේතුවටවත් තම ශීලය නොබිඳ නිවන් මඟ යාගනීවා. වදාළේමැයි, “යං මයා සාවකානං සික්ඛාපදං පඤ්‌ඤත්‌තං තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්කමන්‌ති[xcix]=ම විසින් යම් සිකපදයක් පනවන ලද්දේ ද, මගේ ශ්‍රාවකයෝ ජීවිත හේතුවෙන්වත් එම සිකපද නොඉක්මවත්”. එසේ හෙයින් භව නිස්සරණාධ්‍යාශය ඇත්තාහු ශීලය පිළිබඳ මොනවට අවබෝධයෙන් යුතුව, ශීල සංවරයෙන් යුතුව, සමාධි වඩා විදසුන් නුවන දියුණු කර සව් කෙලෙසුන් නසා දුලබව ලද බුදු සසුනේ අග්‍ර ඵලය නෙලාගැන්මට උත්සුක වෙත්වා!

[i] මජ්ඣිම නිකාය, මූලපරියායවග්ගො, ආකඞ්ඛෙය්‍ය සුත්තං

[ii] දීඝනිකාය, මහා පරිනිබ්බාන සුත්තං

[iii] විසුද්ධිමගග, හෙවාවිතාරණ. පි. 35

[iv] පාචිත්තියපාළි, භෝජනවග්ගො, පණීතභෝජනසික්ඛාපදං, බු.ජ. පි. 246

[v] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, ජොතිසික්ඛාපදං, බු.ජ.පි. 314

[vi] කඞ්කාවිතරණී, හෙ.වි. පි. 23

[vii] සමන්තපාසාදිකා, හෙ.වි. පි.195

[viii] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 159, කඞ්කාවිතරණී, හෙ.වි. පි. 23

[ix] පාරාජිකපාළි, නිස්සග්‌ගියකණ්‌ඩං, චීවර වග්ගො, උද්දොසිතසික්ඛාපදං, බු.ජ. පි. 504

[x] කඞ්කාවිතරණී, හෙ.වි. පි. 58

[xi] පාරාජිකපාළි, නිස්සග්‌ගියකණ්‌ඩං, කොසියවග්ගො, ඡබ්බස්‌සසික්‌ඛාපදං, බු.ජ. පි. 564

[xii] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 495

[xiii] කඞ්කාවිතරණී, හෙ.වි. පි. 70

[xiv] පාරාජිකපාළි, නිස්සග්‌ගියකණ්‌ඩං, පත්තවග්‌ගො, සාසඞ්කසික්ඛාපදං, බු.ජ. පි. 635

[xv] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 532

[xvi] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, අඤ්ඤවාදකසික්‌ඛාපදං, බු.ජ. පි. 112

[xvii] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, අඤ්ඤවාදකසික්‌ඛාපදං, බු.ජ. පි. 116

[xviii] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 562

[xix] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 570

[xx] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, අනුපඛජ්ජසික්ඛාපදං, බු.ජ. පි. 130

[xxi] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, ආවසථපිණ්ඩසික්ඛාපදං, බු.ජ. පි. 202

[xxii] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 595

[xxiii] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, ආවසථපිණ්ඩසික්ඛාපදං, බු.ජ. පි. 202

[xxiv] පස් බොජුන්; ඔදන (බත්), කුම්මාස (පිට්ටු), සත්තු (අග්ගලා වැනි ධාන්‍ය බැද, පිටි බවට පත් කර සකස් කළ කැවිලි), මච්ඡ (දිය මස්), මංස (ගොඩ මස්) යන පසයි. සමන්තපාසාදිකා, හෙ.වි. පි.

[xxv] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, ගණභෝජනසික්ඛාපදං, බු.ජ. පි. 210

[xxvi] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, ගණභෝජනසික්ඛාපදං, බු.ජ. පි.  210

[xxvii] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 598

[xxviii] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, පරම්පරභෝජනසික්ඛාපදං, බු.ජ. පි. 218

[xxix] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, පරම්පරභෝජනසික්ඛාපදං, බු.ජ. පි. 218

[xxx] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, පණීතභෝජනසික්ඛාපදං, බු.ජ. පි. 246

[xxxi] කඞ්කාවිතරණී, හෙ.වි. පි. 112

[xxxii] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, සෙනාවාසසික්ඛාපදං, බු.ජ. පි. 288

[xxxiii] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, සෙනාවාසසික්ඛාපදං, බු.ජ. පි. 290

[xxxiv] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, ජොතිසික්ඛාපදං, බු.ජ. පි. 314

[xxxv] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, ජොතිසික්ඛාපදං, බු.ජ. පි. 314

[xxxvi] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, ජොතිසික්ඛාපදං, බු.ජ. පි. 314

[xxxvii] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, නහානසික්ඛාපදං, බු.ජ. පි. 322

[xxxviii] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, ඡන්දංඅදත්වාගමනසික්ඛාපදං, බු.ජ. පි. 410

[xxxix] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, ඡන්දංඅදත්වාගමනසික්ඛාපදං, බු.ජ. පි. 412

[xl] මහාවග්ගපාළි, භේසජ්ජක්ඛන්ධකො, බු.ජ. පි. 534

[xli] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, දන්තපොනසික්ඛාපදං, බු.ජ. පි. 250

[xlii] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 630, කඞ්කාවිතරණී, හෙ.වි. පි. 115

[xliii] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 630

[xliv] පාචිත්තියපාළි, භික්ඛු විභඞ්ගය, තතියපාටිදෙසනීයං, බු.ජ. පි. 476

[xlv] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 669

[xlvi] මහාවග්ගපාළි, මහාඛන්ධකො, බු.ජ. පි. 108

[xlvii] මහාවග්ගපාළි, මහාඛන්ධකො, බු.ජ. පි. 228

[xlviii] මහාවග්ගපාළි, උපොසථක්ඛන්ධකො, බු.ජ. පි. 288

[xlix] මහාවග්ගපාළි, උපොසථක්ඛන්ධකො, බු.ජ. පි. 290

[l] මහාවග්ගපාළි, උපොසථක්ඛන්ධකො, බු.ජ. පි. 288, 290

[li] මහාවග්ගපාළි, උපොසථක්ඛන්ධකො, බු.ජ. පි. 284

[lii] මහාවග්ගපාළි, උපොසථක්ඛන්ධකො, බු.ජ. පි. 284, 286

[liii] මහාවග්ගපාළි, පවාරණක්ඛන්ධකො, බු.ජ. පි. 402

[liv] මහාවග්ගපාළි, පවාරණක්ඛන්ධකො, බු.ජ. පි. 404

[lv] මහාවග්ගපාළි, චම්මක්ඛන්ධකො, බු.ජ. පි. 500

[lvi] මහාවග්ගපාළි, චම්මක්ඛන්ධකො, බු.ජ. පි. 500

[lvii] මහාවග්ගපාළි, චම්මක්ඛන්ධකො, බු.ජ. පි. 500

[lviii] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 807

[lix] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 808

[lx] චන්දවිමල හිමි, රේරුකානේ, උපසම්පදා ශීලය, චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය, පොකුණුවිට. 2011,පි.141

[lxi] මහාවග්ගපාළි, භේසජ්ජක්ඛන්ධකො, බු.ජ. පි. 528

[lxii] මහාවග්ගපාළි, චීවරක්ඛන්ධකො, බු.ජ. පි. 728

[lxiii] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 837

[lxiv] චුල්ලවග්ගපාළි, ඛුද්දකවත්ථුක්ඛන්ධකො, බු.ජ. පි. 06

[lxv] සිරි ඤාණෝභාසතිස්ස හිමි, මොරගල්ලේ, කුදුසික පුරාණ සන්නය, 1954, පි. 101

[lxvi] චුල්ලවග්ගපාළි, ඛුද්දකවත්ථුක්ඛන්ධකො, බු.ජ. පි. 10

[lxvii] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 888

[lxviii] චන්දවිමල හිමි, රේරුකානේ, උපසම්පදා ශීලය, චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය, පොකුණුවිට. 2011, පි. 152

[lxix] චුල්ලවග්ගපාළි, ඛුද්දකවත්ථුක්ඛන්ධකො, බු.ජ. පි. 10

[lxx] චුල්ලවග්ගපාළි, ඛුද්දකවත්ථුක්ඛන්ධකො, බු.ජ. පි. 10

[lxxi] චුල්ලවග්ගපාළි, ඛුද්දකවත්ථුක්ඛන්ධකො, බු.ජ. පි. 16

[lxxii] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 890

[lxxiii] විමතිවිනෝදනී ටීකා

[lxxiv] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 890

[lxxv] චුල්ලවග්ගපාළි, ඛුද්දකවත්ථුක්ඛන්ධකො, බු.ජ. පි. 76

[lxxvi] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 894

[lxxvii] චුල්ලවග්ගපාළි, ඛුද්දකවත්ථුක්ඛන්ධකො, බු.ජ. පි. 78

[lxxviii] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 894

[lxxix] චුල්ලවග්ගපාළි, ඛුද්දකවත්ථුක්ඛන්ධකො, බු.ජ. පි. 86

[lxxx] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 895

[lxxxi] චුල්ලවග්ගපාළි, ඛුද්දකවත්ථුක්ඛන්ධකො, බු.ජ. පි. 88

[lxxxii] චුල්ලවග්ගපාළි, ඛුද්දකවත්ථුක්ඛන්ධකො, බු.ජ. පි. 96

[lxxxiii] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 660

[lxxxiv] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 661

[lxxxv] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 896

[lxxxvi] චුල්ලවග්ගපාළි, ඛුද්දකවත්ථුක්ඛන්ධකො, බු.ජ. පි. 104

[lxxxvii] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 897

[lxxxviii] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 686

[lxxxix] සිරි ඤාණරතන හිමි, වැලිගම, කුදුසික විවරණය,ඥාණරතන ග්‍රන්ථ සංරක්ෂණ මණ්ඩලය, රත්මලාන. 2015, පි. 232

[xc] චුල්ලවග්ගපාළි, සේනාසනක්ඛන්ධකො, බු.ජ. පි. 140

[xci] චුල්ලවග්ගපාළි, සේනාසනක්ඛන්ධකො, බු.ජ. පි. 178

[xcii] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 903

[xciii] පාචිත්තියපාළි, භෝජනවග්ගො, බු.ජ. පි. 238

[xciv] පාචිත්තියපාළි, සුරාපානවග්ගො, බු.ජ. පි. 300

[xcv] සමන්තපාසාදිකා, හෙ.වි. පි. 635

[xcvi] පාචිත්තියපාළි, මුසාවාදවග්ගො, බු.ජ. පි. 58, 64

[xcvii] පාචිත්තියපාළි, භෝජනවග්ගො, බු.ජ. පි. 250

[xcviii] මහාවග්ගපාළි, මහාඛන්ධකො, තස්සුද්දානං, බු.ජ. පි. 244

[xcix] අඞගුත්තරනිකාය 5, අට්ඨකනිපාතපාළි, මහාවග්ගො, පහාරාදසුත්තං, බු.ජ. පි. 86

 

චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං !

 

සම්පාදකපූජ්‍ය මහව ඤාණාලෝක හිමි

 

Download as PDF