සසර ගමන යනු වචනයෙන් කිව නොහැකි තරම් දීර්ඝ වූ උපමානුසාරයෙන්ම පමණක් තේරුම් කර ගත යුතු අතිදීර්ඝ වූවකි. අවිද්‍යාව සහ තණ්හාවෙන් ගැවසීගෙන කාමයන් පසු පස හඹාගෙන යන සත්ත්වයන‍්ට ධර්මය තේරුම් කර දීම අතිදුෂ්කර කටයුත්තකි. තමන්ගේ කටයුතු මඳ වේලාවකට හෝ පසෙක තබා බණ පදයකට ඇහුම්කන්දීමට සිත නැමෙන්නේ කිහිපදෙනෙකුට පමණි. එසේ සිත නැමුණද ධර්ම ගරුත්වය උපදවාගෙන පාරමිතා වැඩෙන අයුරින් දහමට ඇහුම්කන්දෙනුයේ ස්වල්ප පිරිසකි. දහම් ඇසීමට තබා දහම් දෙසන තැනක් අසල රැඳී සිටීම පවා ඇතැම් පුද්ගලයන්ට ප්‍රිය නොවේ. අභාවිත සිත් පැවතීම අන් කිසිවක් නිසා නොව සසර දෝෂය නිසාම සිදුවන්නකි. අභාවිත සිත් ඇති පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට ධර්මය උගන්වන ගිහි-පැවිදි පින්වතුන්ට සිදු වේ. එවැනි අවස්ථාවලදී නුවණ මෙහෙයවා එම පුද්ගලයන්ගේ ස්වභාවය නිවැරදිව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවම උපදෙස් දීම අත්‍යවශ්‍යය. මේ පිළිබඳව ආදර්ශවත් දහම් පණිවිඩයක් සංයුක්තනිකායේ දේවතා සංයුක්තයෙහි සඳහන් වේ.

කස්සපගොත්ත ස්ථවිරයන් වහන්සේ කෝසල ජනපදයෙහි එක් වනලැහැබක භාවනාව වඩමින් වාසය කළහ. එකල දිවා විහරණයට වැඩම කළ උන්වහන්සේ එක්තරා මුවවැද්දෙකු දුටු සේක. මුවවැද්දා උදෑසනම ආහාර අනුභව කොට මුවන් මරන්නෙමි යැයි සිතා වනයට පිවිසියේය. එක් රතු පැහැති කුඩා මුවෙකු දැක ඒ මුවා මරන්නෙමි යැයි සැතක් ගෙන ලුහු බැන්දේය. දිවා විහරණය කරමින් වැඩහුන්නා වූ තෙරුන්වහන්සේ ඉදිරිපසින් මුවකු පසුපස ලුහුබඳින්නා වූ වැද්දා දැක වැද්දාට මෙසේ අවවාද කළහ.

“උපාසකය, ප්‍රාණඝාත අකුසල කර්මය අපායට පමුණුවන්නකි. අල්පායුෂ්ක වීමටද හේතු වන්නකි. අන්‍ය වූ ගොවිතැන්-බත් කොට, වෙළහෙළදාම් කර්මාන්ත කොට අඹුදරුවන් පෝෂණය කළ හැක. මෙබඳු දරුණු කර්ම නොකරව.”

පාංශුකූල චීවර දරන්නාවූ ස්ථවිරයන් වහන්සේ තමාට ආමන්ත්‍රණය කරන්නේ යැයි මුවා ලුහුබැඳීම නතර කළ වැද්දා ස්ථවිරයන් වහන්සේගේ සමීපයට පැමිණ උන්වහන්සේගේ වචනයට ඇහුම්කන්දීමට පටන් ගත්තේය. කස්සපගොත්ත ස්ථවිරයන් වහන්සේ පඤ්චඅභිඥා උපදවා විපස්සනා වඩමින් නිවන් දැකීමට වීර්යය වඩමින් සිටි උතුමෙකි. වැද්දාට උන්වහන්සේගෙන් බණපදය ඇසීමට කැමැත්තක් උපදවන්නෙමි යන අදහසින් අභිඥා බලයෙන් තමන් වහන්සේගේ අතෙහි මහපටැඟිල්ලෙන් ගිනිදැල්ලක් නිකුත් කිරීමට අධිෂ්ඨාන කළේය. මේ දෙස නෙත් යොමාගෙන ස්වාමීන්වහන්සේගේ බණපදයට ඇහුම්කන්දීගෙන සිටියද වැද්දාගේ සිත වික්ෂිප්තව තිබුණි. ඔහු කල්පනා කරමින් සිටියේ පැන ගිය මුවා පිළිබඳවය. “මුවා අසුවල් තැනට පැන යන්නට ඇත. එතැනට ගොස් මුවා දඩයම් කොට කැමතිතාක් මස් කා ඉතිරි කොටස කදක් බැඳගෙන නිවෙසට ගෙන ගොස් දරුවන්ට දී සතුටු කරන්නෙමි” යැයි මුවා පිළිබඳව විතර්ක කරමින් තෙරුන්වහන්සේ අසලට වී සිටියේය. මෙය දුටු ආරණ්‍යයේ වාසය කරන දෙවියෙක් කස්සපගොත්ත ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය.

“පර්වත දුර්ගයෙහි හැසිරෙන, නුවණ නැති, කරුණු නොකරුණු දැනීමෙහි සිතක් නැති මුවවැද්දෙකුට අකාලයේ අවවාද කරන භික්ෂුව අන්ධබාලයෙකු ලෙස මට වැටහේ. ඔහු නුඹවහන්සේගෙන් බණ අසයි. නමුත් එහි අර්ථය නොදනියි. නුඹවහන්සේගේ පෘථග්ජන ඍද්ධියෙන් බබළන්නාවූ මහපටැඟිල්ල බලයි. නමුත් එය දිලෙන්නේ තෙරුන්වහන්සේගේ ආනුභාවයෙන් යැයි නොදකී. බණ කියන කල්හි අඥානයා එහි අර්ථය අවබෝධ නොකරයි. කස්සපගොත්ත ස්ථවිරයෙනි, ඉදින් නුඹවහන්සේ ඇඟිලි දසයම දැල්වුවද ඒවායේ ස්වභාව කාරණා නොදකියි. ප්‍රඥාව ඔහු තුළ දක්නට නොලැබෙන නිසාය.”

දෙවියාගේ මෙම ප්‍රකාශය ඇසූ කස්සපගොත්ත ස්ථවිරයන් වහන්සේ සංවේගයට පත් විය. මෙය ප්‍රමාදයට හේතු වූ ක්ලේෂයක් යැයි දැක වීර්යය උපදවා සියලු කෙළෙසුන් නසා උතුම් අරිහත්වයට පත් විය.

සත්ත්වයන්ගේ අධ්‍යාශ අනේකවිධය. මුවන් පසු පස හඹායන මුවවැද්දන් තබා ධර්මය සොයා ගෙන ඇතැමුන් ධර්මයෙහි ආනිසංස දක්වමින් එයින් තමාට වන යහපත ගැන ප්‍රශංසා කරත්. ඇතැම්විට තමන්ට ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමට අතිශයින්ම අවශ්‍ය බව සපථ කරත්. එසේ වුවද සත්‍ය වශයෙන් එම පුද්ගලයාට ඒ පිළිබඳව නියම ඕනෑකමක් නැත. ඇතැම්විට එම පුද්ගලයාද එය දන්නේ නැත. සත්ත්වයන්ගේ අධ්‍යාශ පිළිබඳව පැහැදිලි ලෙසම දනුයේ සර්වඥයන්වහන්සේ පමණකි. එය උන්වහන්සේ කෙරෙහි පවතින විශේෂ ඤාණයකි. පෘථග්ජන වූ ගිහි-පැවිදි උදවිය අන් අයට උපදෙස් දීමේදී විචක්ෂණ විය යුතුය. ඉහත සිදුවීමේදී දේවතාවා විසින් කස්සපගොත්ත ස්ථවිරයන්ගේ සිතෙහි සංවේගය උපදවන තුරුම එය පිළිබඳව අවධානයක් නොවීය.

අද ලෝකය දෙස බලන කලද පෙනීයන්නේ බොහෝදෙනෙක් පැන යන මුවන් ගැනම සිතන බවකි. ඔවුනට සසරෙහි බිය හෝ අන්තරායකර බව පිළිබඳව හැඟීමක් නොමැති සේය. පිරිසිදු බුදුදහම තමන් කෙරෙහි එළවාගෙන ඉන් සැනසුමක් ලබා ගැනීමට උත්සාහයක් දරනුයේද නැත. එසේ වුවත් සත්ත්වයන් කෙරෙහි කරුණාව මෛත්‍රිය පෙරටුගාමී කරගෙන ධර්ම අවවාද දීමෙන් ඈත්වීමක් මෙයින් අපේක්ෂා නොකෙරේ. ඒ දුසිල්වතුන් සිල්වතුන් බවට පත්වූයේද, සීලයෙහි පිහිටා ගුණ පුරා නිවන් අවබෝධ කරගත්තේද කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් ලද පිරිසිදු ධර්මයට අහුම්කන්දීම නිසාවෙනි.

සම්පාදක
ධම්මික හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය