කැලණි මහසෑය වැඳ කැලෑ මාර්ගයකින් මහමඟට බසින්නාහු තිස්නමක් පමණ භික්ෂූන් වහන්සේලා අතරමග දැවීගිය කුඹුරක වැඩකොට පැමිණෙන එක් මිනිසෙකු දුටුවාහ. ඔහුගේ සිරුර සෑම තැනම දැලි තැවරී තිබුණි. පිළිස්සුණු කණුවක් වැනි ඔහු දහවල වැඩ කොට අඩක් දැවී ගිය දරමිටියක් බැඳ ඔසවාගෙන පිටෙහි විසිරී ගිය කෙස් ඇතිව අතුරු මාර්ගයකින් අවුත් භික්ෂූන් වහන්සේලා සම්මුඛ විය. සාමණේර හිමිවරු මෙය දැක එකිනෙකා දෙස බලා මේ ඔබේ තාත්තා, මේ ඔබේ බාප්පා, මේ ඔබේ මහප්පා යනාදිය කියමින් උසුළු විසුළු කළහ. උපාසකය, ඔබේ නම කුමක්දැයි ඇසූහ. එවිට හෙතෙම නම විමසීමෙන් විපිලිසර වී දරමිටිය විසි කොට මහතෙරුන්වහන්සේලා වැඳ ස්වාමීනි, වැඩ හිඳිනු මැනවැයි කීවේය. තෙරුන්වහන්සේ වැඩ සිටි කල්හි සාමණේර හිමිවරු උන්වහන්සේලා ඉදිරියේ මේ මිනිසාට කවටකම් කළහ. ඒ අවස්ථාවේ මේ මිනිසා මහ පුදුම කතාවක් කීවේය. ඔබ වහන්සේලා මට දැන් විහිළු කරයි. ඔබ වහන්සේලාත් තවම නිවන්මඟ සම්පූර්ණ කොට නැත. මමත් ඔබවහන්සේලා වාගේම මහණ වී සිටි කෙනෙකි. ඔබවහන්සේලාට මාත්‍රයකුදු සිතේ එකඟබවක් නැත. මම වනාහි මහත් වූ ඍද්ධි ඇත්තෙක්ව සිටියෙමි. අහසට පැන නැඟී අහස පොළොව කළෙමි. සක්වල දහසක් ක්ෂණයකින් විනිවිද ගියෙමි. දැන් මේ දැවී ගිය කණුවක් වැනි මාගේ මේ වඳුරන්ගේ අත් වැනි අත්වලින් හිරු සඳු පිරිමැද්දෙමි. මේ ආදී නොයෙක් ඍද්ධි බල තිබූ මාහට මාගේ ප්‍රමාදය නිසා අද මෙවන් තැනට පත්වන්නට සිදු විය. එනිසා නුඹවහන්සේලා මාව අරමුණක් කොට අප්‍රමාදී බව ඇතිකරගෙන ජාති, ජරා, මරණ කෙළවර කරත්වා!… උතුම් නිර්වාණය සාක්ෂාත් කරන්නට උත්සාහ වෙත්වා!.. යි මේ මිනිසා කී පසු භික්ෂූන් වහන්සේලා තිස්නම ම අප්‍රමාදී වී විදසුන් වඩා අර්හත්වයට පත් වූ සේක.

ඍද්ධි බලයක් උපදවා ගැනීම පහසු කටයුත්තක් නොවේ. සිතෙහි අතිශය වූ එකඟබවක් ඒ සඳහා අවශ්‍ය වේ. යමෙක් අභිඤ්ඤා පාදක ධ්‍යානයෙන් නැඟී සිට මෙවන් පෙළහර සිදු කළත් විදසුන් නුවණක් නොතිබුණහොත්, මාර්ගඵල නොලැබුවහොත් ඒ ධ්‍යාන ආදිය පිරිහී යාමට අවකාශ ඇත. කෙළෙස්වලට බහුලව ගොදුරු වුවහොත් නැවත සිත එකඟ කිරීමටද නොහැකි වේ. ඉහත කතා පුවතින් වැටහෙන්නේද එවැනි සිද්ධියකි. වත්මන් පැවිදි උතුමන් සඳහාද වටිනා ඔවදනක් ඉන් ලබා දේ. අප රකින සීලයත්, පරිහරණය කරන සමාධියත් යනාදී අප සතු ගුණාංග කෙළෙස්වලට හසුවීමෙන් බොහෝ ඉක්මනින් ඒවා අප අතින් ගිලිහී යා හැක. එනිසා ඉතා ප්‍රවේශමෙන් ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා අනුවම මනා නුවණකින් යුතුව අතරමඟ නොනැවතී සම්බුදු සසුන් කෙළවර වූ උතුම් නිවන දක්වාම පිළිවෙත් පුරන්නට උත්සාහ ගනිත්වා!….

(සම්මෝහවිනෝදනී නම් වූ විභඞ්ග අටුවා – සම්මප්පධාන විභඞ්ගය)

සම්පාදක
මේධානන්ද හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය