යම් පුරුෂයෙක්ගේ සිරුරෙහි පච්ච සලකුණු ඇති විට ඔහුව පැවිදි කළ හැකිද? උපසම්පදා කළ හැකිද? යනුවෙන් ඉදිරිපත් වී ඇති පැනයට ධර්ම-විනයානුකූලව විග්‍රහයක් ඉදිරිපත් කිරීම මෙහිලා අපේක්ෂිත වේ.

“න භික්ඛවේ ලක්ඛණාහතෝ කතදණ්ඩකම්මෝ පබ්බාජේතබ්බෝ. යෝ පබ්බාජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” = “මහණෙනි, සලකුණු තැබූ, කරන ලද දඬුවම් ඇත්තේ පැවිදි නොකළ යුතුය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුලා ඇවැත් වේ.” යැයි භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ විනය ප්‍රඥප්තියක් විනයපිටකයෙහි, මහාවග්ගපාළි මහාඛන්ධකයෙහි එන්නේය. ඒ අනුව අතීතයේ රාජ අපරාධකරුවන් වූ ඇතැමුන්ට දඬුවම් ලෙස හංවඩු ගැසීම හෙවත් සලකුණක් තැබීම කරන ලදී. එවැනි වරදකට දඬුවමක් ලෙස හංවඩු ගසන ලද පුද්ගලයෙකු පැවිදි නොකළ යුතු වේ. එබඳු අයෙක් පැවිදි කරන්නේ නම් ඒ පැවිදි කරන උපාධ්‍යායන් වහන්සේට දුකුලා ඇවැතක් වේ. උපසම්පදාවෙහිද එසේම වේ. එතකුදු වුවත් එබඳු අයෙකු පැවිදි උපසපන් කළහොත් එම පැවිද්ද සහ උපසම්පදාව පිහිටනු ලබයි. එනම් හෙතෙම බුදුසසුනේ පැවිදි උපසපන් භික්ෂුවක් බවට පත් වේ.

මෙම ලක්ඛණාහතභාවය පිළිබඳව සලකා සිරුරෙහි පච්ච සලකුණු ඇති පුද්ගලයන්ද පැවිදි උපසම්පදා නොකළ යුතු යැයි මතයක් පවතී. එතකුදු වුවත් එය වරදක් හේතුවෙන් කරන ලද හංවඩු ගැසීමක් නොවන බැවින් එබන්දකු පැවිදි උපසම්පදා කිරීමේ වරද නැති. එහෙත් පැවිද්දට සාරුප්‍ය නොවන ආකාරයේ පරිසදූසකයන් පැවිදි කිරීම  නොයෙක් ආකාරයෙන් වළක්වා ඇත.පරිස දූසකයන් නම් තමාගේ ශරීරයේ විරූපිභාවය නිසා පිරිස කිළිටි කරන්නවුන් යන්නයි. සඟ පිරිසක් මැද විරූපී වූ පැවිද්දෙක් සිටි විට ඉන් එම සඟ පිරිස කෙරෙහි අන්‍යන්ගේ ප්‍රසාදය හීනවේ. ඒ භික්ෂුව දෙස බලා අකුසල් සිත් උපදවා ගනී. ඇතැම් විට ඒ පිළිබද ව වැඩිදුරටත් අදහස් උදහස් දැක්වීමට යාමෙන් වචනයෙන් ද අකුසල් සිදු කර ගනි. පැවිද්දට සාරුප්‍ය නොවන ආකාරයට සිරුර පුරා පච්ච සලකුණු ආදිය ඇති පුද්ගලයෙකු පැවිදි කිරීම සුදුසු නොවන බව කිව හැකි වේ. එසේ වුවත් එබන්දකු පැවිදි කරන ලද්දේ නම්, පැවිද්ද පිහිටනු ලබයි.

පැවිදි නොකළ යුතු යැයි භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද පුද්ගලයන් දෙතිසක් වන අතර ඔවුන් පැවිදි කළහොත් පැවිදි කරන උපාධ්‍යායන් වහන්සේට ඇවැත් වන අතර පැවිද්ද පිහිටනු ලබයි. ඔවුහු පැවිද්දට භව්‍ය පුද්ගලයෝය.

එතකුදු වුවත් මාතුඝාතක (මව මැරූ පුද්ගලයන්), පිතුඝාතක (පියා මැරූ පුද්ගලයන්), අරහන්තඝාතක (රහතුන් මැරූ පුද්ගලයන්), සංඝභේදක (සංඝභේද කර්මය කළ භික්ෂූන්), ලෝහිතුප්පාදක (බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවූ පුද්ගලයන්) යන පංච ආනන්තර්ය කර්ම කළ අය ඇතුලු පුද්ගලයන් එකොලොස් දෙනෙක්  උපසම්පදාවට අභව්‍ය පුද්ගලයන් බැවින් උපසම්පදා කරන ලද්දේ වුවද උපසම්පදාව නොපිහිටයි. සෙසු සියල්ලන් හට විසි වස් සපුරා ඇත්නම් බුදුසසුනේපැවිදි උපසම්පදාව ලැබ ත්‍රිශික්ෂා පූරණය කොට නිර්වාණය සාක්ෂාත් කර ගත හැකි වේ.

“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං”

සම්පාදකපූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය