තුන් ලොවම සනසවමින් අනෙක සත්ව ප්‍රජාව සංසාර සාගරයෙන් එතෙර කරවීමට සුවාසූ දහසක් ධර්මස්කන්ධය බෙදා දෙමින් පන්සාලිස් වසරක් මුළුල්ලේ ලෝකාර්ථ චර්යාවේ යෙදී වදාළ සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2500 කට අධික කාලයක් ඉක්ම ගොස් ඇති මෙකල ධර්මය අධර්මය, විනය අවිනය පිළිබඳ නානා මත ගිහි පැවිදි දෙපිරිසම අතර නොඅඩුව හුවමාරු වේ. තෙවළා බුදු වදන හරිහැටි නොදත් ඇතැම් ගිහියන් පමණක් නොව පැවිද්දන් පවා හරසුන් වාද දක්වමින් අධර්මය ධර්මය කරවීමටත්, අවිනය විනය බවට පෙන්වීමටත් උත්සහ කිරීම ධර්මය අනිත්‍යත්වයට පත්වීම මොනවට කියා පාන්නාවූ ප්‍රකට නිදසුනකි. ඒ අතර නිරන්තරයෙන් කථා බහට ලක් වන ජනප්‍රිය මාතෘකාවකි ‘නිර්මාංශ ප්‍රශ්නය‘. මස්මාළු අනුභව කිරීම ධර්මානුකූලද? භික්ෂුවට මස්මාළු කැපද? මාංශ අනුභව කිරීමෙන් ප්‍රාණඝාත අකුසලයට අනුබල දෙන්නේ ද? යනාදිය නිරන්තරයෙන් විවාදයට බඳුන් වන කරුණු වේ. ඒ පිළිබඳ ත්‍රිපිටකාගත කරුණු අනුසාරයෙන් විවරණයක් ගෙන එන්නට දරන මේ ප්‍රයත්නයේ අරමුණ හුදු මාංශ අනුභවයට පෙළඹවීමක් නොව නිවන් සාක්ෂාත් කරගැනීම සඳහා වෙර දරන්නවුන්ට උපදිනා වූ කුදුමහත් කාංක්ෂාවන් විනෝදනය කරමින් නිවැරදි ධර්මානුකූල විනයානුකූල විනිශ්චයක් ඉදිරිපත් කිරීමකි.

ඛුද්දක නිපාතයෙහි, සුත්තනිපාතපාළියේ, ආමගන්ධ සූත්‍රයේ[i]දැක්වෙන පරිදි වරක් එක්තරා තාපසයෙක් බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ ආමගන්ධය වළඳන්නේ දැයි විමසීය. ආමගන්ධය යනු කුමක්දැයි තාපසයාගෙන් ඇසූ විට මස් මාළු යැයි පිළිතුරු දුන් අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් මස්මාළු ආමගන්ධය නොවන බවත් සියළු පාපී කෙලෙස්ධර්ම ආමගන්ධය බවත් පැහැදිලි කරන ලද සේක. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ එම පාපී කෙලෙස් ධර්ම හෙවත් ආමගන්ධය නොවළඳන බවත් වදාළ සේක.

“පාණාතිපාතො වධඡේද බන්ධනං, ථෙය්‍යං මුසාවාදො නිකතිවඤ්‌චනානි ච;අජ්ඣෙනකුත්‌තං පරදාරසෙවනා, එසාමගන්ධො න හි මංසභොජනං”[ii] යනුවෙන් වදාළ භාග්‍යවතුන්වහන්සේගේ බුදුවදන එහි අටුවාවේ “න, බ්‍රාහ්මණ, මච්ඡමංසං ආමගන්‌ධො. අපිච ඛො ආමගන්‌ධො නාම සබ්‌බෙ කිලෙසා පාපකා අකුසලා ධමමා=බ්‍රාහ්මණය, මාළු මස් ආමගන්ධය නොවේ, එතකුදු වුවත් සියලු පාපී කෙලෙස් අකුසල ධර්මයෝ ආමගන්ධය නම් වේ”[iii] යනුවෙන් පැහැදිළි කළහ.

එසේම මෙම සිදුවීමම පෙර කසුප් බුදුසසුනේ ද සිදුවූ බව දක්වමින් කාශ්‍යප දසබලයන් වහන්සේ තිස්ස නම් බ්‍රාහ්මණයකුට මස් මාංශ ආමගන්ධය නොවන බවත් ඒවා භාග්‍යවතුන් වහන්සේ ද වළඳන බවත්, කෙලෙස් ධර්ම ආමගන්ධය බවත් ඒවා භාග්‍යවතුන් වහන්සේ නොවළඳන බවත් පැවසූ බව දක්වා අතීත සිදුවීමක් ද ගෙනහැර දැකුවූ සේක[iv].

තවද අංගුත්තර පඤ්චක නිපාතයේ මනාපදායී සූත්‍රයේ[v]දැක්වෙන පරිදි උග්ග ගෘහපති තුමා තමා අනුභව කිරීමට කැමති ඌරුමස් භෝජනයක් පිළිගන්නා ලෙස භාග්‍යවතුන් වහන්සේට ඇරයුම් කළේය. භාග්‍යවතුන් වහන්සේ උග්ග ගෘහපති තුමා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගත් සේක. එසේම විනය පිටකයේ පාරාජිකපාළි චීවර පටිග්ගහණ සිකපදයේ[vi] දැක්වෙන පරිදි උප්පලවණ්ණා රහත් මෙහෙණී තොමෝ තමා ලද මාංශයක් භාග්‍යවතුන් වහන්සේ උදෙසා පිළියෙල කර පිළිගැන්වීමේ සිදුවීමක් හමුවේ. මේ අනුව භාග්‍යවතුන් වහන්සේ ද එකල භික්ෂූන් වහන්සේලාද මස්මාංශ වැළඳූ බව ප්‍රකට වේ. එසේම මස්මාංශ වැළඳීම ධර්මානුකූල නොවේ නම් ඒ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් ත්‍රිපිටකයේ හමුවිය යුතුය. එහෙත් ඒ කිසිදු සඳහනක් හමු නොවීමෙන් ප්‍රකට වන්නේ ද මස්මාංශ වැළඳීම භාග්‍යවතුන් වහන්සේ අනුමත කළ බවකි. එහෙත් තමන් උදෙසා කළ මාංශය නොවැළඳිය යුතු බවට සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ, මජ්ඣිම පණ්ණාස පාළියේ එන ජීවක සූත්‍රයේ[vii] මෙන්ම විනය පිටකයේ, මහාවග්ගපාළි භේසජ්ජක්ඛන්ධකයේ සීහ සේනාපති වස්තුවේ ද දැක්වේ. (අඞ්ගුත්තර අට්ඨක නිපාතයේ, සීහසේනාපති සූත්‍රයෙන්ද[viii] මේ බව හෙළිවේ).

“න භික්ඛවේ ජානං උද්දිස්සකතං මංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස. =මහණෙනි, දැන දැන තමන් උදෙසා කළ මාංශය නොවැළඳිය යුතු, යම් භික්ෂුවක් වළඳන්නේ නම් දුකුලා ඇවතකට පැමිණේ.”[ix]. ඒ අනුව තමන් උදෙසා මැරූ සතකුගේ මාංශය හැර කැප සරුප් ක්‍රමයකට ලද මාංශය අනුභව කිරීම අධර්මානුකූල නොවේ.

මෙහිදී බොහෝ දෙනෙකුට ඇති වන ගැටළුව වනුයේ මාංශ අනුභවයෙන් තමා ප්‍රාණඝාතයට අනුබල දෙන්නේද යන්නයි. ඒ අනුව මාංශ අනුභවයෙන් ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ ද යන්නයි. මෙයට දිය යුතු කෙටිම පිළිතුර නම්, මාංශ අනුභවයෙන් ප්‍රාණඝාත අකුසලය සිදු නොවන බවයි. “අත්තනාච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙච සමනුඤ්ඤො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ[x]” යැයි වදාළ ආකාරයට ප්‍රාණඝාතයට අනුබල දීමක් මාංශ අනුභවයෙන් සිදු වේ නම්, සියල්ල දන්නා, සියල්ල දක්නා සර්වඥ බුදුපියාණන් වහන්සේ පළමු කොටම ඒ බව දේශනා කරන සේක. එහෙත් ප්‍රාණඝාතය වළක්වමින් ගිහියන්ට හා සාමණේර මහණුන්ට “පාණාතිපාතා වෙරමණී” යනාදී ලෙසත් උපසපන් භික්ෂූන්ට “යොපන භික්ඛු ජානං සඤ්චිච්ච පාණං ජීවිතාවොරොපෙය්‍ය පාචිත්තියං[xi]” යනුවෙන්ද සිකපද පැනවූ භාග්‍යවතුන් වහන්සේ මාංශ අනුභවය වළක්වමින් සිකපද නොපැණවූ සේක.

තවද විනය පිටකයේ චුල්ලවග්ග පාළි, සංඝභේදකක්ඛන්ධකයේ දැක්වෙන පරිදි දෙව්දත් තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හමුවේ භික්ෂූන්ට පැණවීමට නීති පසක් (05) ඉදිරිපත් කළේය. භික්ෂූන් දිවි ඇතිතාක් ආරණ්‍ය වාසී වියයුතුය, දිවි ඇතිතාක් පිණ්ඩපාතයෙන් යැපිය යුතුය, දිවි ඇතිතාක් පාංශකූලික වියයුතුය, දිවි ඇතිතාක් රුක්ඛමූලික වියයුතුය, දිවි ඇතිතාක් මස් මාංශ නොවැළඳිය යුතුය යනුවෙන් ඉදිරිපත් කරන ලද එම යෝජනා පස බැහැර කළ භාග්‍යවතුන් වහන්සේ “අලං දෙවදත්ත, යො ඉච්ඡති ආරඤ්ඤිකො හොතු; යො ඉච්ඡති, ගාමන්තෙ විහරතු. යො ඉච්ඡති, පිණ්ඩපාතිකො හොතු; යො ඉච්ඡති, නිමන්තනං සාදියතු. යො ඉච්ඡති, පංසුකූලිකො හොතු; යො ඉච්ඡති, ගහපතිචීවරං සාදියතු. අට්ඨමාසෙ ඛො මයා, දෙවදත්ත, රුක්ඛමූලසෙනාසනං අනුඤ්‌ඤාතං; තිකොටිපරිසුද්ධං මච්‌ඡමංසං–අදිට්ඨං, අස්සුතං, අපරිසඞ්කිතං[xii]” යැයි වදාළ සේක. යම් හෙයකින් මස්මාළු වැළඳීමෙන් ප්‍රාණඝාතයට අනුබල දීමක් සිදු වේ නම් සියල්ල දන්නා, සියල්ල දක්නා භාග්‍යවතුන් වහන්සේ මෙහිදී “භික්ෂූන් දිවි ඇතිතාක් මස් මාංශ නොවැළඳිය යුතුය” යන යෝජනාව පිළිගෙන සිකපද පනවනවා ඇත. එහෙත් අදිට්ඨ, අසුත, අපරිසඞ්කිත යන තුන් ආකාරයට පිරිසිදු මාංශය කැප බව දේශනා කිරීමෙන්, එබඳු මාංශ වැළඳීමෙන් ප්‍රාණඝාත අකුසලයක් හෝ ඊට අනුබලයක් හෝ නොවන බව ප්‍රකටය.

එමෙන්ම විනය පිටකයේ, පාචිත්තියපාළි පණීතභෝජන සිකපදයේ[xiii] මාළු සහ මස් භික්ෂූන්ගේ ප්‍රණීත භෝජනයක්යැයි දක්වමින් ඒවා තමන් උදෙසා ඉල්ලාගෙන වැළඳීමේ පචිති ඇවැත් වන බව වදාළ සේක. එයිනුදු භික්ෂුවක් වෙත කැප සරුප් ක්‍රමයකට ලද මස්මාළු වැළඳීම භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදත් බව ප්‍රකට වේමය.

අද මෙන් එදා ද දෙව්දත් තෙරුන් වන් අය ජනතාවගේ ප්‍රසාදය පිණිස මෙවන් හරසුන් දේ ඉදිරිපත් කරමින් තමා තුළ සත්‍යවශයෙන් නැති අල්පේච්ඡ බව, ලද දෙයින් සතුටු වන බව තමා තුළ ඇතිබව ප්‍රදර්ශනය කරමින් ප්‍රසාදයට පත්වූහ. එහෙත් නුවණැති මිනිසුන් හමුවේ එය හුදු තාවකාලික පැහැදීමක් පමණක්ම විය. අදත් එසේම හරසුන් තර්ක ඉදිරිපත් කරන භික්ෂූහු ඒවා හුදෙක් තම විරාග සංඛ්‍යාත නිවන පිණිස නොව ජනයාගේ ප්‍රසාද ලැබගෙන ලාභ සත්කාර උදෙසාම ඉදිරිපත් කරත්. මන්ද කවදත් මිනිසුන් භික්ෂූන්ගේ අපිස් බවට, සන්තුට්ඨිතාවයට පැහැදෙන බැවිනි. එහෙත් එදා දෙව්දත්ලා මෙන් අදත් මෙම මතවාද ඉදිරිපත් කරන්නෝ හොර රහසේ තම මනදොළ පුරවාගන්නෝ බවට නොරහසකි.

මස් මාළු වැළඳීම පිළිබඳව සිකපද පනවන භාග්‍යවතුන් වහන්සේ තමා උදෙසා මැරූ සතකුගේ මස් නොවැළඳිය යුතු බව වදාළ සේක. එසේම තුන් ආකාරයකට පිරිසිදු මාංශය අනුදැන වදාළ සේක. “අනුජානාමි, භික්ඛවෙ, තිකොටිපරිසුද්ධං මච්ඡමංසං–අදිට්ඨං අස්සුතං අපරිසඞ්‌කිතං=මහණෙනි, තමන් උදෙසා කළ බව නොදුටු, නොඇසූ, සැක නොකළ යන තුන් ආකාරයට පිරිසිදු මාංශය වැළඳීමට අනුදනිමි[xiv]”. ඒ අනුව තමන් උදෙසා මැරූ සතකුගේ මස් බවට නොදුටු, නොඇසූ, සැක නොකළ මාළු මස් වැළඳීමේ භික්ෂූන්ට ඇවැති නැති. එසේම ප්‍රාණඝාත අකුසලයක් හෝ ප්‍රාණඝාතය පිණිස අනුබල දීමක් හෝ නැති. යම් පුද්ගලයකු වුවද තමාගේ අණකිරීමකින් තොරව මරන ලද සතකුගේ මාංශය කැප ක්‍රමයකට ලැබගෙන අනුභව කිරීමෙන් ප්‍රාණඝාත අකුසලයක් හෝ ඊට අනුබල දීමක් සිදු නොවේ. එහෙත් යමකුගේ අණකිරීමකින් යම් සතකු මරා ද, මරණු පිණිස සතකු පෙන්වයි ද, එයින්ම ප්‍රාණඝාත අකුසලය සිදු වේ. මස් අනුභවය මෙහිදී අවශ්‍ය නොවේ.

එපමණක් නොව භික්ෂුවක් විසින් නොවැළඳිය යුතු මස් වර්ග දහයක් (10) විනය පිටකයේ මහාවග්ගපාළි භේසජ්ජක්ඛන්ධකයේ දැක්වේ. ඒ අනුව මිනිස් මස් වැළඳීමෙන් උපසපන් භික්ෂූන්ට ථුලැසි ඇවතක් පනවන ලද අතර යම් භික්ෂුවක් වෙත ලැබෙන මාංශය කුමක් ද යන්න නොවිමසා නොවැළඳිය යුතු බවටද පනවන ලදී. “න, භික්ඛවෙ, මනුස්සමංසං පරිභුඤ්‌ජිතබ්‌බං. යො පරිභුඤ්‌ජෙය්‍ය, ආපත්ති ථුල්‌ලච්‌චයස්‌ස. න ච, භික්ඛවෙ, අප්පටිවෙක්‌ඛිත්‌වා මංසං පරිභුඤ්‌ජිතබ්‌බං. යො පරිභුඤ්‌ජෙය්‍ය, ආපත්ති දුක්කටස්‌ස=මහණෙනි, මිනිස් මස් පරිභෝග නොකළයුතු, යම් භික්ෂුවක් පරිභෝග කරන්නේ නම් ථුලැසි ඇවතකට පත්වේ. තවද මහණෙනි, නොම විමසා මාංශ පරිභෝග නොකළයුතු, යම් භික්ෂුවක් පරිභෝග කරන්නේ නම් දුකුලා ඇවතකට පත්වේ[xv]” එසේම ඇත්, අස්, සුනඛ, සර්ප, සිංහ, ව්‍යාඝ්‍ර, කොටි, වළස්, කරබානාවළස් (තරච්ඡ) යන සත්වයන්ගේ මස් වැළඳීමෙන් දුකුලා ඇවැත් වන බවද වදාළ සේක[xvi]. එහෙත් අමනුෂ්‍ය ආබාධයක දී අමු මස් සහ ලේ වැළඳීමට ද “අනුජානාමි භික්ඛවෙ, අමනුස්සිකාබාධෙ ආමක මංසං ආමක ලොහිතන්ති[xvii]” යැයි අනුදත් සේක. එබැවින් කියනලද ආකාරයේ අකැප මස් හැර, තමා උදෙසා කළ බවට නොදුටු, නොඇසූ, සැක නොකළ කැපසරුප් ලෙස ලද මාංශය නොමඉල්ලා වැළඳීමෙන් භික්ෂුවට ඇවැත් නැති.

මීළඟට පැන නගින ගැටළුවක් වන්නේ “මස් මාළු දන් දීම අකුසල් සිදුවන දානයක්ද? බුද්ධ පූජාව සඳහා මස්මාළු තැබීම නුසුදුසුද” යන්නයි. විනයපිටකයේ පරිවාරපාළියේ දැක්වෙන පරිදි පින් නොවන දාන පසකි. “පඤ්ච දානානි අපුඤ්ඤානි පුඤ්ඤසම්මතානි ලොකස්ස: මජ්ජදානං, සමජ්ජදානං, ඉත්ථිදානං, උසභදානං, චිත්තකම්මදානං[xviii]” එනම්, මත්ද්‍රව්‍ය, නැටුම් නාට්‍ය, ගණිකා වෘත්තිය සඳහා ස්ත්‍රීන්, දෙනුන් ගැබ් ගැන්වීම සඳහා පුරුෂ ගොනුන්, අසභ්‍ය චිත්‍රකර්ම යන පස යමෙක් පින් අපේක්ෂාවෙන් දන්දුන්නද අකුසල් රැස්වන බව මෙහි දැක්වේ. ඒ අනුව මස්මාළු දන් දීමෙන් අකුසල් රැස්වන බවක් නොදැක්වෙන බැවින් මාංශ දන්දීමේ වරදක් නැති. එසේම ලොව දක්ෂිණාර්හ පුද්ගලයන් අතර අග්‍රස්ථානය දරන ඕනෑම පූජාවක් ලැබීමට සුදුසු අරිහත් සම්‍යක් සම්බුද්ධ ලොවුතුරා බුදුපියාණන් වහන්සේට දානයක් ලෙස ඕනෑම දෙයක් පූජා කිරීමේ ද වරද නැති.

නිර්මාංශ තර්කය ඉදිරිපත් කරන බොහෝ දෙනෙකු ගෙනහැර දක්වන තවත් තර්කයක් වනුයේ මාළු මස් ආදී මළකුණු අනුභව කිරීමෙන් එසේ අනුභව කරන්නාගේ කුස අමුසොහොනක්, මෘතශරීරාගාරයක් වන බවයි. ඒ නිසා මස්මාළු නොකන්නන් තම කුස මළකුණුවලින් තොර බවත්, අමුසොහොනක් නොවන බවත් හුවා දක්වත්. එහෙත් මෙහිදී ධර්මානුකූලව දියහැකි පැහැදිලි කිරීම නම්, නිර්මාංශ අනුභව කරන්නෙක් වූ පමණකින් ඔවුන්ගේ කුස සඳුන් සුවඳ විහිදෙන මලසුන් ගෙයක් මෙන් නොවන බවයි. අනුභව කරන දෙය කුමක් වුවද කුස ඒකාන්තයෙන් ම පිළිකුල්ය. වසර දහයක් වයස ඇත්තාගේ කුස වසර දහයකින් නොසේදූ වැසිකිළි වලක් හා සමානය. වසර පනසක් වයස ඇත්තාගේ කුස වසර පනසකින් නොසේදූ වැසිකිළි වලකි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ කායගතාසති භාවනාවේදී දෙතිස් කුණප කොටස් යටතට ‘අන්තං, අන්තගුණං, උදරියං, කරීසං’ ආදී කොටස් එක් කරමින් බඩවැල්, බඩවැල් බැඳුම්, නොපැසුණු ආහාර, පැසුණු ආහාර යනාදිය අතිශයින් පිළිකුල් බව වදාළ සේක. ඒ බව සිහි කරමින් සැවොම පිළිකුල් භාවනාව වඩත්වා!

තවද නිර්මාංශ තර්කය ඉදිරිපත් කරන්නන්ගේ තවත් තර්කයක් නම් මස්මාළු අනුභව කරන්නේ ඒ සඳහා ගිජු බවට බැවින් නුසුදුසු බවයි. එය මස්මාළු වලට පමණක් අයත් දෙයක් නොවන අතර සියලු ආහාර සඳහා පොදු බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි. ඒ අනුව යමෙක් වෙනත් ආහාරයක් වුවද ගිජු බවකින් අනුභව කළහොත් එහිදී ලෝභ මූල අකුසල් සිත් පහළවන බව සඳහන් කළයුතුමය.

එපමණක් නොව සියලු සත්වයන් කෙරෙහි මෙත් සිත් පැතිරවිය යුතු බැවින් මස් මාළු අනුභව කරමින් මෙත් වැඩිය නොහැකි බව ඇතමුන් ගෙනහැර දක්වන තවත් බොල් තර්කයකි. එම තර්කය ඉදිරිපත් කරන්නවුන් වනාහී  මියගිය සත්වයන්ට මෛත්‍රිය නොවැඩෙන බවත් ජීවත්ව සිටින සත්වයන්ට පමණක්ම මෛත්‍රිය වැඩෙන බවත්[xix] නොදන්නා කවමදාකවත් මෛත්‍රී විහරණයකින් වැස නොමැත්තන් බව කරුණාවෙන් මතක් කරනු කැමැත්තෙමි. යමකු විසින් වඩනු ලබන මෛත්‍රිය වඩන්නාගේ චිත්ත සන්තානය තුළ ඇති වන්නක් මිස මැරුණු සත්වයකු තුළ ඇතිවන්නක් නොවේය. අනුභව කරන භෝජනය තුළ සතුන් දකින්නවුන් ඒ සත්වයන් කෙරෙහි සංවේගය ඇතිකරගෙන සසර බිය ඇතිකර ගනිත්වා. ප්‍රාණඝාත කරගත්තවුන් ඒවායේ විපාක විඳි බව නුවණින් දැන හේතුඵල සම්බන්ධය අවබෝධ කරගෙන ජීවත්ව සිටින්නවුන්ට හැකි තාක් මෙත්සිත පවත්වන තෙමේ මස්මාළු එළවළු ආදී සැම කෙරෙහි මැදහත්ව දකිමින් සසර දුක නිවාලන්නේය.

මේ ආදී සියලු කරුණු දැක්වීම් ඔස්සේ එළඹිය හැකි නිගමනය වනුයේ භික්ෂුන්වහන්සේ නමකට නම්, අකැප මස් වර්ග දහය (10) හැරඅනෙක් කැප මසක් තමා උදෙසා කළ බවට (මැරූ බවට) නොදුටු, නොඇසූ, සැක නොකළ විටක, තමා උදෙසා නොම ඉල්ලා කැප ක්‍රමයකට ලැබී ඇත්නම් එය වැළඳීමෙන් ඇවතක් හෝ ප්‍රාණඝාත අකුසලයක් හෝ ප්‍රාණඝාතයට අනුබල දීමක් හෝ නොවන බවයි. තම පාත්‍රයට ලැබෙන කුමන හෝ භෝජනයක් ප්‍රත්‍යවෙක්ෂා නුවණින් යුතුව වළඳන භික්ෂුව එහි නොමඇලේ. එබැවින් උන්වහන්සේ මස් මාළු හෝ එළවළු හෝ ලැබෙන කුමක් හෝ වළඳා සියලු දුක් කෙළවර කර උතුම් නිවන් සාක්ෂාත් කරගන්නේය. එබඳු භික්ෂූන් උදෙසා කැපසරුප් ලෙස දන් පූජා කිරීමෙන් දායකයෝ ද කුසල් රැස්කරගන්නෝ ය.

එසේම ගිහි පින්වතුන්ට ද තමා විසින් අණකිරීමකින් හෝ අනුබලයකින් නොමැරූ සතකුගේ මස් වෙළෙඳපොලෙන් මිලදීගෙන අනුභව කිරීමෙන් ප්‍රාණඝාත අකුසලයක් හෝ ප්‍රාණඝාතයට අනුබල දීමක් හෝ නොමවන්නේමය. මස්මාළු පමණක් නොව එළවලුවෙහි පවා ගිජු නොවී නුවණින් සලකා බලා ආහාර අනුභවකරන තෙමේ අකුසල් දුරුකර කුසල් වඩන්නේය. එහෙත් යමෙක් මස්මාළු අතහැර එළවළුයෙන් පමණක් යැපෙන්නේ ද, එය තෘෂ්ණා දෘෂ්ඨි වශයෙන් ග්‍රහණය කර නොගන්නේ ද හෙතෙමේ ප්‍රශංසනීය වේමය.

අවසන් වශයෙන් සඳහන් කරනු කැමැත්තෙමි. මෙය කිසිවකු හටත් මස්මාළු අනුභවය පිණිස ආරාධනයක් නොවේ. හුදු ධර්මය විනය හුවා දැක්වීමක් පමණි. එබැවින් නිර්වාණ ආධ්‍යාශය ඇත්තෝ නුවණින් විමසත්වා! එකඟ නොවන්නෝ නොගැටෙත්වා! සසර දුක් නිමා කර එතෙර වනු කැමැත්තෝ අනුභව කරන බොජුන කුමක් වුවද එය කැපසරුප් නම්, නුවණින් සලකා පස්විකා, ගමන, පරියේසන, පරිභෝග යනාදී දස ආකාරයට[xx] පිළිකුල මෙනෙහි කර, ඤාත, තීරණ, පහාණ යන ත්‍රිවිධ පරිඤ්ඤාවන්ගෙන් පිරිසිඳ දැන එහි නොඇලී, නොගැටී අනුභව කර සියලු දුක් නසා සසර දුක් කෙළවර කරන අසඞ්කත ධාතු අමෘත මහා නිර්වාණයෙන් සැනසෙත්වා!

 

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා !

[i] පරමත්ථජොතිකාය, සුත්තනිපාතට්ඨකථා, ආමගන්ධසුත්තවණ්ණනා, හේ. වි. පි. 228

[ii] ඛුද්දකනිකාය, සුත්තනිපාතො, ආමගන්ධසුත්තං, බු.ජ. පි. 74

[iii] පරමත්ථජොතිකාය, සුත්තනිපාතට්ඨකථා, ආමගන්ධසුත්තවණ්ණනා, හේ. වි. පි. 229

[iv] පරමත්ථජොතිකාය, සුත්තනිපාතට්ඨකථා, ආමගන්ධසුත්තවණ්ණනා, හේ. වි. පි. 229

[v] අඞ්ගුත්තරනිකාය 3, පඤ්චකනිපාත, මනාපදායී සුත්තං, බු.ජ. පි. 76 (“සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං සම්මුඛා  පටිග්ගහිතං – ‘මනාපදායී ලභතෙ මනාප’න්ති. මනාපං මෙ, භන්තෙ, සම්පන්‌නකොලකං සූකරමංසං තං මෙ භගවා පටිග්ගණ්හාතු අනුකම්‌පං උපාදායා”ති. පටිග්ගහෙසි භගවා අනුකම්‌පං උපාදාය)

[vi] පාරාජිකපාළි, චීවරවග්ගො, චීවරපටිග්ගහණසික්ඛාපදං, බු.ජ. පි. 522

[vii] මජ්ඣිමනිකාය, මජ්ඣිමපණ්ණාසකො, ගහපතිවග්ගො, ජීවකසුත්තං, බු.ජ. පි. 54 (“තීහි ඛො අහං, ජීවක, ඨානෙහි මංසං පරිභොගන්ති වදාමි. අදිට්‌ඨං, අසුතං, අපරිසඞ්කිතං – ඉමෙහි ඛො අහං, ජීවක, තීහි ඨානෙහි මංසං පරිභොගන්ති වදාමි”)

[viii] අඞ්ගුත්තරනිකාය, අට්ඨකනිපාතො, මහාවග්ගො, සීහසේනාපති සුත්තං, බු.ජ. පි. 50

[ix] මහාවග්ගපාළි, භෙසජ්ජක්ඛන්ධකං, සීහසේනාපති වත්ථු, බු.ජ. පි. 594

[x] අඞ්ගුත්තරනිකාය, තිකනිපාතො, බු.ජ. පි. 538

[xi] පාචිත්තියපාළි, සප්පාණකවග්ගො, සඤ්චිච්චපාණ සික්ඛාපදං, බු.ජ. පි. 336

[xii] චුල්ලවග්ගපාළි, සඞ්ඝභේදකක්ඛන්ධකං, බු.ජ. පි. 300

[xiii] පාචිත්තියපාළි, භෝජනවග්ගො, පණීතභෝජනසික්ඛාපදං, බු.ජ. පි. 246 (යානි ඛො පන තානි පණීතභොජනානි, සෙය්‍යථිදං සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං මච්‌ඡො මංසං ඛීරං දධි. යො පන භික්‌ඛු එවරූපානි පණීතභොජනානි අත්‌තනො අත්‌ථාය විඤ්ඤාපෙත්‌වා භුඤ්‌ජෙය්‍ය, පාචිත්තියං)

[xiv] මහාවග්ගපාළි, භෙසජ්ජක්ඛන්ධකං, සීහසේනාපති වත්ථු, බු.ජ. පි. 594

[xv] මහාවග්ගපාළි, භෙසජ්ජක්ඛන්ධකං, මනුස්සමංසපටික්ඛෙපකථා, බු.ජ. පි. 556

[xvi] මහාවග්ගපාළි, භෙසජ්ජක්ඛන්ධකං, හත්ථිමංසාදිපටික්ඛෙපකථා, බු.ජ. පි. 558-560

[xvii] මහාවග්ගපාළි, භෙසජ්ජක්ඛන්ධකං, මූලාදිභෙසජ්ජකථා, බු.ජ. පි. 528

[xviii] පරිවාරපාළි, එකුත්තරිකං, පඤ්චකං, බු.ජ. පි. 52

[xix] විසුද්ධිමාර්ගය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, බ්‍රහ්ම විහාර නිර්දේශය, මෛත්‍රී භාවනාව, පි. 383

[xx] විසුද්ධිමාර්ගය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, සමාධි නිර්දේශය, ආහාරයෙහි ප්‍රතිකූල සංඥාව, පි. 445

 

සම්පාදකපූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Download as PDF