සල්ලේඛං අච්චජන්තේන – අප්පමත්තේන භික්ඛුනා
කප්පියේපි න කාතබ්බා   – අමිසත්ථාය ලෝලතා

සල්ලේඛ බව අත්නොහරින අප්‍රමාදි භික්ෂුව විසින් කැප දෙයෙහි වුවද ආමිස පිණිස ලොල් නොකල යුතුය.

පෙර සිතුල් පව්වේ විසු එක් භික්ෂුවක් අහෝ හෙට සංඝයාට  මෙපමණ වු කැවුම් පිසත්වා යැයි ආරාමිකයන්ට ඉඟියක් පිණිස පොළොවෙහි රවුමක් ඇන්දේය. දක්ෂ ආරාමිකයෙක් එය දැක එපරිද්දෙන්ම කැවුම් පිස ගෙනැවිත් දෙවැනි දවසෙහි සංඝයා රැස්වු කල්හි සංඝ තෙරුන් වහන්සේට  මෙසේ කිවේය. ස්වාමීනි මින් පෙර එක් ස්වාමින් වහන්සේ නමක් විසින් දානශාලා දොරටුව අසල කැවුම් පිණිස සංඥාවක් කරන ලදි.දැන් මෙයින් මතු ස්වාමින්වහන්සේලා තම තමා කැමති දේ අනුව අවශ්‍ය දේ කියත්වා. අපි ඒවා සපයන්නෙමුයි  කීවේය. එය ඇසු තෙරුන් වහන්සේ එතැනම නැවතුණි. එක් භික්ෂුවකුදු කැවුම් නොගත්තේය.අරාමය තුල වුවත් භික්ෂුවකගේ ලෝල බව නිසා ලැබුණු කැප සරුප් කැවුම් වුවද නොවැළැඳූහ.

මෙය පැවිද්දන්ට මෙන්ම ගිහි අයටත් ඉතාමත්ම වටිනා කතා වස්තුවකි පැවිද්දන්ට මවු පිය පසේ පරපුර හෝ පැවරු දායකයන් හැර අන් අයගෙන් ආමිස ආදිය ඉල්ලීමට විනයෙන් අවසර නැත. එහෙත් එදා සිතුල් පව්වෙ විසූ ඒ භික්ෂුව කැවුම් වැළදිමට ආශාවෙන් ආමිසාදිය ඉල්ලා වැළදිය හැකි ආරාමිකයන්ගෙන් වුවද දැඩි ලොල් බවින් රවුමක් ඇඳ සංඥා කොට කැවුම් ලැබුණ නිසා, අල්පේච්ඡ භික්ෂූහු එය ප්‍රතික්ෂේප කළහ. අප්‍රමාද  වන්නවුන් විසින් කැප දෙයෙහි වුවද ලොල් නොවිය යුතු බව එයින් පැහැදිලි කෙරේ. ගිහියන් වුවද සම්මා ආජිවයෙන් වුවත් ලද දෙය පමණ දැන පරිභෝග කළ යුතුව ඇත. එවැන්නන් හට බුදු සසුනකින් ලැබිය හැකි උපරිම ඵල ඉක්මනින් නෙලා ගත හැක.

(සමන්ත පාසාදිකා විනය අටුවාව.රාජ සික්ඛා පද 492 පිටු)

සම්පාදක
මේධානන්ද හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
පමත් හෙට්ටිආරච්චි