ත්‍රෛලෝක්‍ය තිලක වූ අනුත්තර ධර්ම රාජී වූ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ අනවරාග්‍ර සංසාරයේ ඉපදෙමින්මැරෙමින් අනේකවිධ දුක්ඛස්කන්ධයකට උරුමකම් කියන සකල ලෝකවාසී සත්ව ප්‍රජාව සංසාර සාගරයෙන් එතෙරට පමුණුවාලනු පිණිස මහනෙල් මල් සුවඳ විහිදෙන ශ්‍රී මුඛ පද්මයෙන්, සුදු බුදුරැස් විහිදෙන දළදා ස්පර්ශයෙන් සුවාසූ දහසක් ධර්මස්කන්ධය දේශනා කර වදාළ සේක්, නිස්සරණාධ්‍යාශයෙන් සසුන්වන් භික්ෂු භික්ෂුණීන්ට සුවසේ ත්‍රි ශික්ෂා පූරණය කරගෙන නිවන් මග යාගතහැකි වනු පිණිස විනය පිටකය දේශනාකර වදාළ සේක. එහිලා සසුන් ගුණ පුරන සුපේෂල බුද්ධපුත්‍රයන් වහන්සේලාට සුවසේ ගුණදහම් පිරිය හැකි පරිද්දෙන් උපසපන් භික්ෂුවක උදෙසා ප්‍රධාන සිකපද 227ක්ද කුඩා අනුකුඩා සිකපද නවදහස් එකසිය අසූ කෝටියකට අධික ප්‍රමාණයක් ද ඒ ඒ අවස්ථානුරූපීව පනවා වදාළහ.

තවද ඒ භාග්‍යවතුන් වහන්සේ ස්වකීය ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ශික්ෂා ගරුත්වය මොනවට ප්‍රකට කරමින් “සෙය්‍යථාපි භික්ඛවෙ මහා සමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති, එවමෙව ඛො භික්ඛවෙ යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිත හේතූපි නාතික්කමන්ති=මහණෙනි, යම්සේ මහා සමුද්‍රය වෙරළ නොඉක්මවයිද, එසේම මහණෙනි, මාවිසින් මගේ ශ්‍රාවකයන්ට යම් සිකපදයක් පනවන ලද්දේ ද, මගේ ශ්‍රාවකයෝ ඒ සිකපද ජීවිත හේතුවෙනුදු නොඉක්මවත්”[i] යනුවෙන් වදාළ සේක. එබැවින් කුදු මහත් දේ අතහැර නිස්සරණය පිණිස සසුන් වන් බුද්ධ පුත්‍රයන් වහන්සේලා තම දිවි දෙවැනි කොට ශාස්තෘන් වහන්සේ පනවා වදාළ සිකපද ආරක්ෂා කළයුත්තාහ.

ඒ කෙසේ වෙතත් පන්දහසක් කල් ආයු ඇති බුදු සසුනේ මුළු ආයු කාලයෙන් හරි අඩක්ම ඉක්ම ගොස් ඇති මෙකල ධර්මය – අධර්මය හරි හැටි නොදැන විනය – අවිනය හරිහැටි නොදැන ශාස්තෘ ශාසනයේ නිසි ප්‍රථිඵල ලබාගත නොහැකිව අසරණ වන ගිහි පැවිදි දෙපිරිසම අඩුවක් නොවේ. ධර්මය විනය නොදන්නාකම නිසා හෝ කලාතුරකින් ධර්ම අගෞරවය නිසා හෝ ඇතමෙක් ධර්මස්වාමීන් වහන්සේ වදාළ කුදුමහත් සිකපද ගණනකට නොගන්නා යුගයක් ඇරඹී තිබීම පිළිබඳ ශාසන මාමක කවුරුත් පාහේ සංවේගයෙන් සිහිපත් කළයුතු වේ. එසේම කාලයාගේ ඇවෑමෙන් පසුකාලීන පරපුර එකී සිකපද ඇති බවක්වත් නොදැන දිට්ඨානුගතියට පැමිණ සර්වඥ දේශිත ධර්මය-විනය හෑල්ලුවට ලක් කරති. එහෙයින් ප්‍රායෝගිකව බහුලව යෙදෙන සිකපද පිළිබඳව විනයානුකූල පැවැත්ම නිවැරදිව දැනුවත්ව එහිලා හික්මෙන්නේ නම් නිවන් උදෙසා සසුන් ගුණ පුරන බුද්ධපුත්‍රයන් වහන්සේලාට තම උත්තම ශීලස්කන්ධය පරිපූරණය කරගත හැකි වනවා පමණක් නොව සැදැහැවත් උවැසි උවැසියන්ටද සුසිල්වත් භික්ෂූන් වෙත කැපසරුප් ලෙස සිවුපසයෙන් උවටැන් කරගෙන උදාර කුසල සම්පත්තියක් රැස්කරගතහැකි වන්නේය.

වර්තමානයේ ගිහි පැවිදි බොහෝ දෙනා සම්බුද්ධ ප්‍රඥප්තිය හරිහැටි නොදැනීම නිසා විවිධ මත පළ කරන “විකාල භෝජනය” පිළිබඳව ධර්මානුකූල විනයානුකූල විග්‍රහයක් ඉදිරිපත් කිරීමට දරන මේ උත්සාහයේ අරමුණ වනුයේ නිවන් මග නිසැකව ගමන් කිරීමට වෙරදරන සුපේශල බුද්ධපුත්‍රයන් වහන්සේලාට ඒ සඳහා උපකාරයක් වීම මෙන්ම සිල්වත් ගුණවත් භික්ෂූන්ට දැහැමි සිව්පසයෙන් උවටැන් කරන සැදැහැවත් දායක දායිකාවන්ට තම කුශලය මහත්ඵල මහානිසංස කරගෙන දෙලොව සුභසිද්ධිය උදාකරගෙන සසරදුකින් එතෙර වීමට උපකාර කිරීමය. එහිලා අනවබෝධය නිසාවෙන් හෝ ධර්ම අගෞරවයෙන් හෝ සිකපද මැඩලන කිසිදු භික්ෂුවකට සුළුවෙන් හෝ නිග්‍රහ කිරීමක් අදහස් නොකරම්හ. හුදෙක් ධර්මය ධර්මය හැටියටත්, විනය විනය හැටියටත් ගෙනහැර දක්වමින් ධර්මකාමී ගිහි පැවිදි දෙපිරිසට ස්වකීය නිවන් මග සපුරාගැනීමට උපකාරයක් වීමම මෙහිලා අදහස් කරමි.

විකාල භෝජනය පිළිබඳව වර්තමානයේ ගිහි පැවිදි දෙපිරිසම අතර නානාවිධ මතිමතාන්තර පවතින අතර ඒ අතර මෙවන් සිකපදයක් භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද්දේද යන්න පිළිබඳව සැක පහළ කරන පිරිස්ද නැත්තේ නොවේ. එසේම භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ වැඩ සිටි නික්ලේෂී උතුමන් වහන්සේලා විකාල භෝජනයෙන් වැළකුනේද?, භාග්‍යවතුන් වහන්සේ කෙසේ විකාල භෝජනයේ ගුණ වර්ණනා කරන ලද්දේද?,  විකාලභෝජන ඇවතට පත්වන සීමාවන් මොනවාද? යනාදිය පිළිබඳව නිවැරදි මතයක පිහිටාගත නොහැකිව මංමුලා වන පිරිස් ඇති බව අපගේ අත්දැකීමය. එබැවින් එකී කරුණු පිළිබඳව ධර්මානුකූල විනයානුකූල විවරණයක් මෙසේ පෙළ ගසන්නෙමු.

 

විකාල භෝජනයෙන් වැළකීමේ අනුසස් දැක්වීම (කීටාගිරි සූත්‍රය, මජ්ඣිමනිකාය)

වරෙක භාග්‍යවතුන් වහන්සේ කාසි ජනපදයෙහි මහත් බික් සඟන පිරිවරා චාරිකාවේ හැසිරෙන සේක් ඒ භික්ෂූන් අමතා “මහණෙනි, මම වනාහී රාත්‍රී භෝජනය හැරපියා අහර වළඳමි. එසේ රාත්‍රී හැරපියා බොජුන් වැළඳීමෙන් අල්පාබාධ ඇත්තෙමි. නිදුක් වෙමි, සිරුරේ සැහැල්ලු බවද, කාය බලයද, පහසු විහරණයද ලබමි. මහණෙනි, එවු, නුඹලාද රාත්‍රී භෝජනය හැරපියාම වළඳවු. රාත්‍රී හැරපියා බොජුන් වැළඳීමෙන් අල්පාබාධ බවද, නිදුක් බවද, සිරුරේ සැහැල්ලු බවද, කාය බලයද, පහසු විහරණයද දැනගනිවු[ii]” යැයි වදාළ සේක. ඒ භික්ෂූහුද “එසේය ස්වාමීනි” යැයි පිළිවදන් දී එය පිළිගත්තෝ රාත්‍රී භෝජනයෙන් වැළකුණහ.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී ආහාර වැළඳීමෙන් වැළකීමේ අනුසස් දක්වමින් භික්ෂූන් හට රාත්‍රී ආහාර වැළඳීමෙන් වැළකීමට උපදෙස් දුන්නෝය. ඒ අවවාදයෙහි පිහිටි සුපේෂල භික්ෂූහු රාත්‍රී භෝජනයෙන් වැළකුණ අතර ඇතැම් දුසිල්වත් පාප භික්ෂූන් එම අවවාදයෙහි නොපිහිටි බවත් කීටාගිරි සූත්‍රයේ දැක්වේ. එහෙයින් බුදුසසුනේ ආයු කාලයෙන් හරි අඩකටත් වඩා ගෙවී ඇති මෙකළ දුසිල්වතුන් විසින් විකල් බොජුනෙන් වැළකීම බුදු දහමෙහි අනිවාර්ය අංගයක් නොවේ යැයි දුර්මත පළකරමින් සිකපද බිඳ හෙළීම තවදුරටත් අමුත්තක් නොවේමය.

[i] විනය පිටකය, චුල්ලවග්ගපාළි 2, පාතිමොක්ඛට්ඨපනක්ඛන්ධකය, බු.ජ.මු.(බු.ව.2549), පි. 430

[ii] මජ්ඣිමනිකාය 2, කීටාගිරි සූත්‍රය, බු.ජ.මු.(බු.ව.2549), පි. 236

සම්පාදක
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

සම්පූර්ණ ලිපිය පහතින් ලබාගත හැක.

Download as PDF