මේ ලෝකය තුළ ජීවත්වන්නාවූ ගිහි පැවිදි දෙපාර්ශවයටම විවිධාකාරවූ රුචිකත්වයන් ඇත. එයින් ගෘහ වාසීන්ගේ රුචිකත්වයන් බොහෝ සෙයින් ලෝකීයභාවයටම බරවූ පඤ්චකාම සම්පත්තීන් කෙරෙහි ඇලුණු රුචිකත්වයන්ය. එසේ නමුදු ගිහිගෙයින් නික්මී ශ්‍රද්ධාවෙන් බුද්ධ ශාසනය තුල පැවිදිවූවන්ගේ ආධ්‍යාශයන්  හා රුචිකත්වයන් හාත්පසින්ම වෙනස්ය. කමයන්ගෙන් වෙන්වුන, ලෝකීයත්වය ඉක්මවා ගියාවූ නිර්වාණය නිම්නවූ, නිවනටම බරවූ අදහස්ය ඒ උත්තමයන් තුළ ඇත්තේ. එවන් භික්ෂුවකගේ සිත්සතන් තුල තැන්පතව පවත්නාවූ ඒ උතුම් අදහස් මුදුන්පමුණුවා ගැනීම උදෙසාම බුදුරජාණන් වහන්සේ විසින් දහම් දෙසන ලද සේක. මේ උතුම් සූත්‍ර දේශනාවද (භික්ෂුවකගේ මෙන්ම නිවන් මග වඩන ගෘහ වාසීන්ගේද) උත්තරීතර වූ අදහස් මුදුන් පමුණුවා ගැනීමට කරුණු රාශියක් ඇතුලත්කොට තථාගත් ලොව්තුරා බුදුර්ජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි.

දැවෙන කෙලෙස් ගිනි නිවා යන සේ අමාදම් වැසි වස්වා තුන්ලොවක් සනහා වදාළා වූ අප ගෞතම සර්වඥයන් වහන්සේ එක් කලෙක ජේතවන විහාරයෙහි වාසය කරමින් භික්ෂූන්ට දහම් දෙසීමට කැමැත්තෙන් සඟපිරිස අමතා වදාළ සේක.

“මහණෙනි, පරිපූර්ණ වූ ශීලය ඇත්තවුන්ව, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තව වාසය කරන්න. ප්‍රාතිමෝක්ෂයෙන් සංවරව, ධර්මානුකූල හැසිරීම, ගෝචරයෙන් යුක්තව වාසය කරන්න. සුලු වූ වරදෙහි වුවද භය දක්නා සුලුව වාසය කරන්න” යනුවෙනි. මෙසේ දේශනාව ආරම්භ කොට තථාගතයන් වහන්සේ විසින් භික්ෂුවකගේ සිත තුළ යම් කැමැත්තක් ඇති වේ නම් ඒ කැමැත්ත පිළිබඳවත්, එය අත්පත් කර ගැනීම පිළිබඳවත් දේශනාව වදාළ සේක. කෙසේද යත්,

යමෙක් සබ්‍රහ්මචාරීන්ට ප්‍රියමනාප සම්භාවනීය වූයෙක් වෙමි යැයි කැමති වේ නම් ඔහු විසින් සීලයම සම්පූර්ණ කොට, සමථ භාවනාවේ යෙදුන, නොනසන ලද ධ්‍යාන ඇති, විදර්ශනාවේ යෙදුන, ශුන්‍යාගාරයන්හි දැහැන් වඩන්නෙක් විය යුතුය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනාව ආරම්භ කරන ලද්දේ ශීලයේ ආනිසංස දැක්වීම උදෙසාය. බොහෝ විට භාග්‍යවතුන් වහන්සේ ශීලයම ආරක්ෂා කරන්න, පරිපූර්ණ කරන්නැයි දේශනා කරන සේක. ඇතැමුන්ට “තථාගතයන් වහන්සේ සීලය පිළිබඳවම දෙසන සේක. මෙය ආරක්ෂා කිරීමේ ආනිසංස මොනවාද? විශේෂයෙන් ලබන්නාවූ අධිගමයන් මොනවාද? වෘධියක් ඇත්තේද? යැයි” සිතෙන්නට පුළුවනි. එනිසා තථාගතයන් වහන්සේ ශීලානිසංස දාහතක් ගෙන හැර දැක්වීම උදෙසා මෙසේ දෙසුම අරඹන සේක.

යමෙක් බොහෝ සුව පහසු ප්‍රනීත චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිවුපසයන් ලැබීමට බලාපොරොත්තු වේ නම්, කැමති වේ නම් ඒ තැනැත්තා විසිනුදු සීලයම පරිපූර්ණව ආරක්ෂා කළ යුතු වේ. මෙයින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍ය උදෙසා සිල් රැකීම දේශනා කළේද යත්? නොවේ. ප්‍රත්‍ය ලාභය සීලය ආරක්ෂා කිරීමේ අතුරු ඵලයකි. නමුත් යම් පුද්ගලයෙක් සිවුපසය බලාපොරොත්තු වෙයි. ඒ පුද්ගලයන්ගේ අදහසට අනුව භාග්‍යවතුන් වහන්සේ මෙසේ සීල රක්ෂණයේ දෙවැනි ආනිසංසයක් ගෙන හැර දක්වා වදාළ සේක.

නැවත ද තථාගතයන් වහන්සේ “මහණෙනි, යම් භික්ෂුවක්  මා යම් පුද්ගල්යෙකුගේ සිවුපසය පරිභෝග කරනු ලබන්නේද ඒ ප්‍රත්‍යදායකයන් මා වැන්නවුන්ට පුදන ප්‍රත්‍ය දානය මහත්ඵල මහානිසංස වේවා’යි කැමැත්තක් ඇත්තේවේ නම් ඔහු විසිනුදු සීලයම පරිපූර්ණව ආරක්ෂා කළ යුතු යැයි වදාරණ සේක. හුදෙක් මිනිසුන් පමණක් නොව දෙවියන් පවා භික්ෂූන් වහන්සේලාට දානාදිය පුදත්. මහාකාශ්‍යප මහරහතන් වහන්සේට ශක්‍ර දේවේන්ද්‍රයාද දානය පූජා කළේය. සීලාදී ගුණයෙන් යුතු උතුමන් වහන්සේලාට හැන්දක් පමණ පිණ්ඩපාතයක් හෝ පස්රියනක පමණ බිමක කරන ලද පන්සලක් හෝ පූජා කිරීමෙන් නොයෙක් කප් සිය දහස් ගණනක් නිරයේ වැටීමෙන් වළකයි. අවසනදී උතුම් නිවනින් පිරිනිවීමටද හේතුවෙයි. මෙසේ ප්‍රත්‍යදානය මහත්ඵල මහානිසංස කිරීමේ කැමැත්ත ඇත්තවුන් විසින් සීලයම ආරක්ෂා කටයුතු යැයි දක්වන සේක.

තවද මහණෙනි, යම් භික්ෂුවක් “මගේ මළගිය ඥාතීන් පරලොවදී පැහැදුණ සිතින් මා සිහි කරත් නම් ඔවුනට ඒ සිහිකිරීම මහත්ඵල මහානිසංස වේවා”යි කැමති වේ නම් ශීලයම පරිපූර්ණ කළ යුතුය. සමථ විදසුන් වැඩිය යුතුය. නොනැසුන ධ්‍යාන ඇතිව වාසය කළ යුතුය. විදසුන් සිතින් යුක්ත වූවෙක් විය යුතු යැයි බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සේක. යම් මළගියා වූ පුද්ගලයෙක් “අපගේ තෙරුන් වහන්සේ සිල්වත් ගුණවත් උතුමෙකැ”යි පහන් සිතින් සිහි කරන සිතුවිලි මාත්‍රයකුත් නොයෙක් කල්ප සිය දහස් ගණනක අපා දුක් ගිනි නිවීමට සමර්ථය. ඒ සිතුවිල්ල ඒ පැහැදීම ඒ සත්ත්වයා නිවනට පැමිණවීමට සමත්ය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ මෙවැනි සිවුවැනි ආනිසංසයක් කැමති වන භික්ෂුවටද සීල පරිපූරණයම වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙසේද වදාරන සේක. මහණෙනි, යම් භික්ෂුවක් මාහට අධිකුසල දහම්හි හෝ විවේක සෙනසුන් භජනයෙහි හෝ උකටලී බවක්, නොඇල්මක් ඇති නොවේවා! පංචකාමයන්හි ඇල්මක් නොවේවා! උපන්නාවූ ඇල්මක්, හට ගත් අරතියක් වේ නම් එය මැඩපවත්වා, යටපත් කොට, අභිබවා වාසය කරන්නේ නම් යැයි කැමැත්තක් වේද ඒ භික්ෂුව විසිනුදු සීලය පිරිපුන් කොට දැහැන් වඩා විදසුන් නුවණින් යුතුව ගුණයන්හි දැහැන් වඩන්නෙක් විය යුතු යනුවෙනි.

එසේම භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, යම් භික්ෂුවක් “මාහට සිත තැති ගන්වන සුළු අරමුණු ආදිය නොවේවා!  සිතෙහි හටගත්තාවූ භය හෝ තැති ගැනීමක් වේනම් එය යටපත්කොට, මැඩලා වාසය කරන්නට හැකිවන්නේ නම්” යැයි කැමැත්තක් ඇති වේද ඒ භික්ෂුව විසිනුදු සීලයම ආරක්ෂා කළ යුතු යැයි වදාරණ සේක. මන්ද යත්, ශීලාදී ගුණයන්ගෙන් යුක්ත උත්තමයන්ට භය තැතිගැනීම් යටපත් කළ හැකි බැවිනි. අරියකොටිවාසී මහාදත්ත ස්වාමීන් වහන්සේ මාර්ගයේ වැඩම කරන අතරතුර එක්තරා සොඳුරු ආරණ්‍යක් දැක මෙහිම අද මම ශ්‍රමණ ධර්මයන් පුරන්නෙමි”යි එතැනට වැඩ ගසක් යට සඟල සිවුර අතුරා වැඩ හිඳි සේක. රුකට අධිගෘහිත දේවතාවියගේ දරුවන්ට තමන්ගේ ස්ථානයේ සිටීමට නොහැකිව දුක්ඛිත හඬක් නැංවූහ. දේවතාවියද මුළු ගසම සෙලවීය. තෙරුන් වහන්සේ නිසලව වැඩ සිටි සේක. පසුව ඇය ගිනිගෙන දිලිසෙමින් දුම් පිට කිරීමද කළාය. නමුත් තෙරුන් වහන්සේ නිසලය. පසුව උපාසක වේශයකින් පැමිණ වන්දනා කළේය. තෙරුන් වහන්සේ නුඹ කවරෙක්දැයි විචාළ කල “තෙරුන් වහන්ස, මම රුක්ෂයට අධිපති දේවතාවියයි. කීවාය. මේ විප්‍රකාර සියල්ල කළේ නුඹ විසින්ද?” “එසේය ස්වාමීනි. ඔබ වහන්සේගේ සීල තේජස නිසාවෙන් දරුවන් හට තම තැන්වල සිටීමට නොහැකිව දුක්ඛිත හඬක් නැගූහ. එනිසා ඔබවහන්සේ පලවා හැරීම පිණිස කළෙමි”යි කීවාය. තෙරුන් වහන්සේද “මෙය මාහට කලින් නොකීවේ කවර හේතුවකින්ද? දැන් කිසිවක් නොකියව. අරියකෝටි වාසී මහාදත්තයන් අමනුස්ස භයෙන් පලා ගියේ යැයි ඇසීමට ලැජ්ජා වෙමි. නුඹ අද දවසට වෙන තැනක් සොයා ගනුව. මා අද මෙහි වසමි” යි කීවේය.  ඉදින් මෙබඳු වූ ස්වල්ප දෙයක් හෝ කැමති වේ නම් ඒ තැනැත්තා විසිනුදු සීලාදී ගුණ ධර්මයන්ම ප්‍රගුණ කළ යුතුය.

එසේම මේ සීලාදී ගුණධර්මයන් පූර්ණයෙන් ලද හැකි සත්වැනි ආනිසංසයක් ගෙනහැර දක්වන බුදුරජාණන් වහන්සේ “  මහණෙනි  ඉදින් යමෙක් සතර ධ්‍යානයන් කැමති ලෙස ලබන්නේ නම්, සුවසේම ලබන්නේ නම්, මහත් සේ ලබන්නෙම් යැයි කැමති වේ නම් ඔහු විසිනුදු මේ සීලයම ආරක්ෂා කළ යුතුය. යනුවෙන් වදාරණ සේක. යමෙක් මේ ආත්මයේ සුවසේ වාසය කිරීමටත්, ධ්‍යානයන් තමාට කැමති කැමති සේ ලබා ගැනීමටත්, රුචිවන රුචිවන මොහොතක්හි සමවැදීමට කැමැත්තේ වේ නම්, සුවසේම ප්‍රතිවිරුද්ධ ධර්මයන් නසා දැහැන් ගතවීමට කැමති නම්, බොහෝ ධ්‍යානයන්ගේ ලැබීම කැමති වේ නම් ඒ තැනැත්තාද කළ යුත්තේ ශීලයම පිරිපුන් කරමින් සමථ විදසුනෙහි යෙදුණ සිතැතිව ශුන්‍යාගාරයන්හි දැහැන් වඩන්නෙක් වීමයි.

එසේම යමෙක් රූපී ධ්‍යාන ඉක්මවා අරූප ධ්‍යානයන්ට එලඹ ආරුප්පයන් ස්පර්ශ කරන්නට කැමති වේ නම් ඔහු විසිනුදු  ශීලාදී වූ ගුණදහම්ම වැඩිය යුතුය. තවද යමෙක් සක්කායදිට්ඨි, විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජන ක්ෂය කිරීමෙන් නිවන් ශ්‍රෝත්‍රයට පැමිණියා වූ හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සමන්වාගත වූවෙක්ව නිරයෙහි නොවැටෙන්නෙක් බවට පත්ව මතු මාර්ග තුනට ඒකාන්තයෙන්ම පමුණුවන බැවින් නියත සම්බෝධි පරායන නම් වූ සෝතාපන්න මගඵලයට පත්වීමට කැමැත්තේ නම් ඔහුද මේ ශීලයම පිරිපුන් කළ යුතුය. සමථ විදසුන් වැඩිය යුතුය. නොනසන ලද දැහැන් ඇතිව විසිය යුතුය. ශුන්‍යාගාරයේ දැහැන් වැඩීමෙහි ඇලුනෙක්ව සිටිය යුතුය.

එසේම යම් භික්ෂුවක් “රාග ද්වේෂ මෝහයන් තුනී කරන ලද බැවින් වරක් කාමලෝකයට පැමි‍ණෙන ස්වභාව ඇත්තෙක්ව සසර දුක් කෙළවර කරන්නේ නම්, පිරිසිඳීම කරන්නේ නම්, සකදාගාමී වන්නෙම්” යැයි කැමති වේ නම් ඔහු විසිනුදු මේ ශීලාදී ගුණධර්මයන් භාවිත බහුලීකෘත කළ යුතුය.

යම් භික්ෂුවක් වනාහි, සත්තවයෙකු භවාග්‍රයෙහි උපන්නේ වුවද ඒ තැනැත්තා නැවත කාමාවචර ලෝකයන්ට ඇද දැමීමට සමත් වන්නා වූ ඕරම්භාගීය සංයෝජන පස නැවත නූපදනා පරිදි නසා දමා බඹලොව ඕපපාතිකව ඉපැදී ඒ බ්‍රහ්ම ලෝකයෙහිම පිරිනිවීමට කැමැත්ත ඇතිව “අනාගාමී වන්නෙමි” යැයි කැමති වන්නේ නම් ඔහු විසිනුදු මේ ආකාර ශීලාදී ගුණධර්මම පිරිය යුතුය. භාවිත බහුලීකෘත කළ යුතුය.

තවද යමෙක් බොහෝ ඍධි ලැබීමට කැමති වේ නම්, එක් අයෙක්ව සිට බොහෝ ආකාර වීම, ප්‍රකට බවට අප්‍රකට බවට පත් වීම, බිත්ති පවුරු පර්වත විනිවිද නොගැටෙමින් ගමන් කිරීම, දියෙහි ගිලෙන්නාක් මෙන් පොළොවෙහි කිමිදීම, පොළොවෙහි ගමන් කරන්නාක් මෙන් දියෙහි ගමන් කිරීම, ආකාසයෙහි පර්යංකයෙන් හිඳීම, මහානුභාව සඳහිරු දෙදෙනා අතින් ස්පර්ශ කිරීම, බඹලොව දක්වා කයින් තම වසඟයෙහි පැවැත්වීම යනාදී ඍධි ප්‍රාතිහාර්යයන් ලැබීමට කැමැත්තේ වී නම් ඔහු විසිනුද මේ ශීලාදී ගුණ දහම් දියුණු කළ යුතුය. පරිපූර්ණ කළ යුතුය.

එමෙන්ම යමෙක් “මිනිස් කන ඉක්මවූ විසුද්ධ වූ දිව්‍යමය කණින් ළඟ හා දුර වූ දිව්‍ය මනුෂ්‍ය ශබ්ද අසන්නට හැකි වේ නම්” යැයි කැමති වේ නම් දිව්‍ය ශ්‍රෝත අභිඥා උපදවාලීමට කැමති වේ නම් ඔහු විසිනුදු ශීලාදී ගුණ දහම්මැ වැඩිය යුතුය.

මේ ලෝකයේ යම් භික්ෂුවක් “මා අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත්, සිතින් පිරිසිඳ මනාව දැනගත්තේ නම්, රාගී සිත රාගී සිත ලෙසද, විරාගී සිත විරාගී ලෙසද, ද්වේෂ සිත ද්වේෂ සිතක් ලෙසද, වීතදෝෂී සිත වීතදෝෂී ලෙසද, මෝහයෙන් මුලා වූ සිත මුලා වූ සිතක් ලෙසද, ථිනමිද්ධ‍යෙන් හැකිළුණු සිත, උද්ධච්චයෙන් විසිරුණු සිත, රූපාවචර සිත, කාමාවචර සිත, ත්‍රෛභූමක සිත, අනුත්තර සිත, සමාහිත සිත, අසමාහිත සිත, විමුක්ත වූ සිත, විමුක්ත නොවූ සිත ආදී වූ විවිධාකාර සිත් පිළිබඳ සිතින් සිත පිරිසිඳ දැන ගැනීමට හැකි වේ නම්, පරසිත් දක්නා නුවණ ලබන්නේ නම් මැනැවැයි” කැමති වේ නම් ඔහු විසිනුදු සීලාදී ගුණදහම් සපිරිය යුතුය.

නැවතත් යමෙක් නොයෙක් සංවට්ට විවට්ට ආදී වූ කල්ප ගණන් පෙර විසූ කඳ පිළිවෙළ සිහිකිරීමට කැමති වේ නම්, “මෙතැන්හීදී මෙනම් ඇත්තෙක් වීමි, මෙවැනි ග්‍රෝත්‍රයක උපන්නෙමි, මෙවැනි ශරීර වර්ණ ඇත්තෙක් වීමි, මෙවැනි ආහාර සුවදුක් ලැබුවෙමි, මෙපමණ ආයුෂයක් වින්දෙමි යන ආකාරයෙන් පූර්වේ නිවාසයන් සිහිකරන්නට හැකි වේ නම්” යැයි කැමති වේ නම් ඔහු විසිනුදු ශීලාදී උතුම් ගුණධර්ම පූර්ණය කළ යුතුය.

යම් භික්ෂුවකගේ සිතේ ” මා හට මිනිස් ඇස ඉක්මවා ගිය විශුද්ධ වූ දිව්‍යමය ඇසින් මෙලොවින් චුතවන,උපදින, හීන-ප්‍රණීත, මනා වර්ණ ඇති, දුර්වර්ණ ඇති, සුගතිගාමී වන දුගතිගාමීවන සත්තවයන් දක්නට හැකි වේ නම්, මේ මේ සත්ත්වයන් කාය වාග් මනෝ දුශ්චරිතයන්ගෙන් යුක්තව ආර්ය උපවාදාදිය කොට මිසදිටුව සිට මිසදිටු කර්ම සමාදන්ව ගෙන සිට කය බිඳී මරණින් මතු දුගතියට වැටුණේ, මේ තැනැත්තා පිරිසිදු කාය වාග් මනෝ සුචරිත ඇතිව සිට සුගතියට පැමිණියේය” යැයි චුති-උත්පත්ති වශයෙන් දැකීමට කැමති වේ නම් ඔහු විසිනුදු සීලාදී ගුණධර්මයන්ම පරිපූර්ණය කළ යුතුය.

එමෙන්ම මේ ශාසනික ප්‍රතිෂ්ඨාව බලාපොරොත්තුවන්නා වූ භික්ෂුවක විසින් “මා හට අරහත් මඟ නුවණින් සියලු කෙලෙස් නැවත නූපදනා පරිදි නසා දමා ආශ්‍රව විරහිතව අරිහත්ඵල සම්ප්‍රයුක්ත සමාධියද අරිහත්ඵල සම්ප්‍රයුක්ත ප්‍රඥාවද මෙම ආත්මභවයේදීම උපදවාගෙන තමාගේම ප්‍රඥාවෙන් ප්‍රත්‍යවේක්ෂා කොට මනාලෙසම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධකොට එම අරිහත්ඵලයට පැමිණ වාසය කිරීමට හැකි වේ නම් යැයි කැමැත්තක් ඇත්තේද ඔහු විසිනුදු මෙම සීලාදී ගුණ දහම්ම සම්පූර්ණ කළ යුතුය.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් අරිහත්වය දක්වා සීලානිසංස කථාව කොට අවසානයේදී සියලු සීලානිසංසයන්ම සම්පිණ්ඩනය කොට දක්වා වදාරමින් මෙසේද දේශනා කරන සේක. “මහණෙනි, පරිපූර්ණ සීලයෙන් යුක්තව වාසය කරව්. ප්‍රාතිමෝක්ෂ සීලයෙන් හික්මෙමින් වාසය කරව්. ආචාර ගෝචර සම්පන්නව වාසය කරව්. අනුමාත්‍ර වූ වරදෙහිද භය දක්නා සුලුව වාසය කරව්. ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙව් යනුවෙන් යමක් කියන ලද්දේවීද එය මේ ආකාර ආනිසංස දාහතක් ලැබීම හේතු කොට ගෙන දෙසන ලද්දේ වෙයි.” යනුවෙන් මේ ලෝකයේ යම් භික්ෂුවක විසින් සබ්‍රහ්මචාරීන්ගේ ප්‍රියමනාපත්වය, සම්භාවනීයත්වය, සිවුපසයලාභිත්වය, දායකයන්ගේ දානය මහත්ඵල කිරීම, මලගිය ඥාතීන්ට මහත්ඵල පිණිස, අරතිය මැඩලීම පිණිස, භය සංසිඳවීම පිණිස, රූපාවචර අරූපාවචර ධ්‍යානයන්, යට මාර්ගඵල තුන, පස්වැදෑරුම් ලෞකික අභිඥාවන්, අර්හත්වය හෙවත් ආස්‍රවක්ෂයකරඥානය ආදී වූ මේ උතුම් ධර්මතාවන් තමා විසින්ම අවබෝධයෙන් දැන ගැනීමට කැමති වේ නම් ශිලයම සම්පූර්ණ කළ යුතුය. තමා සමථ භාව‍නාවේ යෙදුනෙක් විය යුතුය. බැහැර නොකරන ලද හෝ නොනසන ලද ධ්‍යාන ඇත්තෙක් විය යුතුය. විදර්ශනා නුවණින් යුක්ත විය යුතුය. ශුන්‍යාගාරයන්ට පිවිස සමථ විදසුන් ආදී භාවනා වඩන්නෙක් විය යුතුය. එසේ පිහිටාලීමෙන් මේ ආකාර වූ ආනිසංසයන් කැමති වුවද අකමැති වුවද නිරායාසයෙන්ම ලබන්නෙක් වන්නේය.

සම්පාදකගවේසී භික්ෂුව

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය