විකාල භෝජනයෙහි ආදීනව දැක්වීම (ලටුකිකොපම සූත්‍රය, මජ්ඣිම නිකාය)

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ අංගුත්තරාපයෙහි ආපණ නම් නියම් ගමෙහි එක්තරා වන ලැහැබක දිවා විහරණය කරන කළ ආයුෂ්මත් උදායි ස්ථවිරයන් වහන්සේ ද එම වන ලැහැබටම දිවා විහරණය පිණිස වැඩම කළේය. එහිදී දිවා විහරණය කරන උදායි ස්ථවිරයන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ දුක්  දුරුකරන සේක්, බොහෝ සුව එළවන සේක. බොහෝ අකුසල දහම් දුරුකරන සේක්, බොහෝ කුසල දහම් ගෙන දෙන සේක” යැයි පරිවිතර්කයක් පහළ විය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ඒ පිළිබඳව සැල කළේය.

“භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ දුක්  දුරුකරන සේක්, බොහෝ සුව එළවන සේක. බොහෝ අකුසල දහම් දුරුකරන සේක්, බොහෝ කුසල දහම් ගෙන දෙන සේක. ස්වාමීනි අපි වනාහී පෙර සවස, උදේ, දවල්,  විකාලයේ ද වැළඳුවෙමු.

යම් කළෙක භාග්‍යවතුන් වහන්සේ අපට දිවා විකාල භෝජනයෙන් වෙන් වීමට වදාළේද එකල මට, ‘ශ්‍රද්ධාවත් ගෘහපතියෝ අපට දවල් විකාලයේ ප්‍රණීත කෑයුතු බිදිය යුතු දේ දෙති. භාග්‍යවතුන් වහන්සේ අපට එම භෝජනයාගේ ප්‍රහාණය වදාළ සේක’ යැයි සිතේ දොම්නසක් විය. ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමයෙන්, ගෞරවයෙන්, ලජ්ජාවෙන්, බියෙන් මෙසේ දිවා විකාල භෝජනය දුරු කළෙමු. සවසද උදෑසනද වැළඳුවෙමු.

යම් කළෙක භාග්‍යවතුන් වහන්සේ අපට රාත්‍රී විකාල භෝජනයෙන් වෙන් වීමට වදාළේද එකල්හි මගේ සිතේ ‘මේ දෙවැදෑරුම් බත් අතරින් යමක් අතිශයින් ප්‍රණීත යැයි කියන ලදද භාග්‍යවතුන් වහන්සේ අපට එම භෝජනයාගේ ප්‍රහාණය වදාළ සේක’ යැයි දොම්නසක් විය. ස්වාමීනි, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමයෙන්, ගෞරවයෙන්, ලජ්ජාවෙන්, බියෙන් මෙසේ රාත්‍රී විකාල භෝජනයද දුරු කළෙමු” යනුවෙනි.

මෙසේ පැවසූ උදායී ස්ථවිරයන් වහන්සේ ඉක්බිති රාත්‍රී විකල් භෝජනයේ ආදීනව දක්වමින්, “ස්වාමීනි, පෙර භික්ෂූහු රාත්‍රියේ පිඬු පිණිස හැසිරෙන්නාහු ඉඳුල් දිය විසිකරන තැනටද පිවිසෙත්, ගමෙහි ගවර වළවලද වැටෙත්, කටු වැටටද නගිත්, නිදන ගවයන් පිටද නගිත්. සොරකම් කළ සොරුන්ටද, සොරකමේ යන සොරුන්ටද හසුවෙත්. කාන්තාවන්ද උන්වහන්සේලාට මෙවුන්දමින් ඇරයුම් කරත්” යැයි පැවසුවේය.

තවද “ස්වාමීනි, පෙර මම රැය ගණ අඳුරෙහි පිඬු සිගා ගියෙමි. ස්වාමීනි, එක්තරා බඳුන් සොදන ස්ත්‍රියක් විදුලි එළියෙන් මා දුටුවා, බියට පත්ව ‘පිශාචයෙක්’ යැයි කියා කෑගැසුවාය. මම ඒ ස්ත්‍රියට ‘නැගණිය මම පිශාචයෙක් නොවෙමි. පිඬු පිණිස සිටින භික්ෂුවක්මි’ යැයි කීවිට ඈ නුගුණ කීවාය” යනුවෙන් තමන් වහන්සේගේ අත්දැකීමක්ද විස්තර කරමින් කියා සිටියේය.

“ස්වාමීනි එය සිහි කරන මට ‘ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ දුක්  දුරුකරන සේක්, බොහෝ සුව එළවන සේක. බොහෝ අකුසල දහම් දුරුකරන සේක්, බොහෝ කුසල දහම් ගෙන දෙන සේක’ යැයි මෙසේ සිත් විය”[i]

ඇතැම් අව්‍යක්ත භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම නිදානයෙහි විකාල භෝජන සිකපදය පනවන ලද බව දක්වති. ඒ අනුව වර්තමානයේ ගමෙහි පිඬු පිණිස හැසිරීමක් නැති විටක එහි සඳහන් පළිබෝධයන් නොමැති බැවින් විකාල භෝජනයෙන් ශීලය අපිරිසිදු නොවන බවට මතයක්ද ප්‍රකාශ කරත්. එහෙත් විකාල භෝජන සිකපදය පැනවීමට නිදාන වූයේ අනෙකක් බවත්, මෙම සූත්‍ර දේශනාවෙන් හුදු විකාල භෝජනයේ ආදීනව ප්‍රකට වන බවත් සැලකිය යුතු.

කෙසේ නමුත් මෙවැනි සූත්‍ර දේශනා තුළින් හෙළි වන්නේ විකාල භෝජනයෙන් වැළකීම භාග්‍යවතුන් වහන්සේ පසස්නා ලද උතුම් වාරිත්‍ර ශීලයක් බවයි. ආයුෂ්මත් උදායි ස්ථවිරයන් වහන්සේ ගෙනහැර දක්වන ලද ආකාරයට රාත්‍රී විකාල භෝජනයෙන් පළිබෝධ රැසක් හටගන්නවා පමණක් නොව භාවනානුයෝගී භික්ෂූන්ගේ පහසු විහරණයටද ඉන් පළිබෝධයක් වේ. එහෙයින් නිර්මල සසුනේ පැවැදි බව ලැබගත්තෝ සර්වඥයන් වහන්සේ පනවා වදාළ ආකාරයට විකල් බොජුනෙන් වැළකී සුවසේ ගුණදම් පිරිය යුත්තාහ.

[i] මජ්ඣිම නිකාය 2, ලටුකිකොපම සූත්‍රය, බු.ජ.මු.(බු.ව.2549), පි.192

සම්පාදක
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

සම්පූර්ණ ලිපිය පහතින් ලබාගත හැක.

Download as PDF