ව්‍යවහාර වර්ෂ 2017 තව දින කිහිපයකින් අවසන් වේ. 2018 වර්ෂය උදාවේ. 2017 වර්ෂය කවර ආකාරයකින් ගත කළ ද 2018 වර්ෂයෙහි උදාව උත්කර්ෂවත් අන්දමින් සමරා නව වසරේ වැඩ කටයුතු ඇරඹීමට බොහෝ දෙනා උනන්දු වෙත්. එළඹෙන සති කිහිපය තුළදී ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත්, සඟරා මෙන්ම අන්තර්ජාලය ඇතුළු මාධ්‍ය මඟින් ගතවුණු 2017 වර්ෂය පිළිබඳව හැරී බැලීමක් සිදු කරනු ඇත. ගතවුණු වර්ෂයේදී ලංකාවේ මෙන්ම ලෝකයේ සිදුවුණු සුවිශේෂී දේශපාලනික, ආගමික, ආර්ථික, සාමාජීය, භූගෝලීය ඇතුළු සෑම අංශයකම වැදගත් සිදුවීම් මෙමඟින් ඉදිරිපත් වනු ඇත. එම අංශයන්වල සිදුවුණු ප්‍රගමනයන්, ජයග්‍රහණයන් පිළිබඳව සිතා සතුටුවීමත්, පරාජයන් පිළිබඳව සලකා දුක්වීමත්, ඇතැම් අරමුණු කෙරෙහි මධ්‍යස්ථවීමත් සිදු වේ. ඇතැම් මාධ්‍යයන් මඟින් එම තොරතුරු පදනම් කරගෙන එළඹෙන නව වර්ෂය පිළිබඳව නොයෙක් අනාවැකි පළකිරීමද සිදු කෙරෙනු ඇත. වැඩසටහන් නරඹා හෝ පුවත්පත් ආදිය කියවා අවසන් වන විට අප තවත් තොරතුරු රැසකින් සන්නද්ධ වූ ‘දැනුවත් පුද්ගලයන්’ වන්නෙමු.

එම ‘දැනුවත් පුද්ගලයන්’ මීළඟ වර්ෂයට පිවිසීම සිදු කරන ආකාර කිහිපයකි. ඇතැම් පිරිසක් පන්සිල්පද එකක් හෝ වැඩි ගණනක් කඩකරමින් අකුසලයට නැඹුරුව නව වර්ෂයේ උදාව සමරත්. ඇතැමෙක් ශික්ෂාපද ආරක්ෂා කරමින් විහාරස්ථානයට ගොස් පිරිත් සජ්ඣායනා කිරීම් ආදී ආගමානුකූල ක්‍රමයකට නව වර්ෂයේ උදාව සමරත්. ඇතමෙකුට නව වර්ෂය උදාවීමෙහි කිසිදු විශේෂත්වයක් නැත. සාමාන්‍ය පරිදි තමාගේ කටයුතු පවත්වාගෙන යත්. මෙම ආකාරයන්හි ඇති සාවද්‍ය නිරවද්‍ය බව පරීක්ෂා කිරීම කුසලය සහ අකුසලය පිළිබඳව දන්නා පාඨකයාට අයිති කාර්යයකි. පසුගිය වසරේදී ලෝකයෙහි වූ වැදගත් සිදුවීම් පිළිබඳව ලබන දැනුම අපගේ ආධ්‍යාත්මික සංවර්ධනයට කොතරම් උපකාරදැයි විමසිය යුතුයි. සාමාන්‍යයෙන් එබඳු දැනුවත් බවක් ලැබීමේදී සත්‍යවශයෙන්ම සිදු වී ඇත්තේ ලෝකයාට අයිතිව තිබූ ‘කසල බඳුනක්’ තමාගේ හිස මත හලා ගැනීමකි.

රූපවාහිනී ආදී මාධ්‍යයන් මඟින් කොතරම් විචිත්‍රවත් ආකාරයකින් ගතවුණු වර්ෂයේ තොරතුරු ඉදිරිපත් කරත්, විශ්ලේෂණය කළත් අප චිත්ත සන්තානයන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමක් සහ විශ්ලේෂණයක් ඒවාට සිදු කළ නොහැක. අප චිත්ත සන්තානය පිළිබඳව ගවේෂණය කිරීම අපටම අයිති කාර්යයකි. ගතවුණු වර්ෂය සම්බන්ධව බාහිර ලෝකය දකිනු වෙනුවට ආධ්‍යාත්මික ලෝකය දැකීම පිණිස දොරටුවක් විවර කිරීම මෙහිලා අපේක්ෂිතය.

ගතවුණු වර්ෂය අප ගත කළ ආකරය පිළිබඳව නුවණින් විමසීම තරමක් බැරෑරුම් කටයුත්තකි. සාමාන්‍යයෙන් අතීතය පිළිබඳව කල්පනා කොට බොහෝදෙනා දියුණු කර ගනුයේ කෙලෙස්ය. අතීතයේදී තමා කළ කී දෑ සිහිපත් කරමින් ලෝභ සහගත සිතිවිලිවලින්ද කළ නොහොඳ සහ නොකළ හොඳ ගැන සිහිකරමින් ද්වේශ සහගත සිතිවිලිවලින්ද සිත් පුරවා ගැනීම සාමාන්‍ය ස්වාභාවයයි. අතීතය පිළිබඳව ශෝක කරමින් තැවෙන්නන් රත් වූ පාෂාණයක් මත දමන ලද හරිතවන් බටදඬු වියළී යන්නාක් මෙන් මැලවී යන බව තථාගත දේශනාවෙහි සඳහන් වේ. ඒ ශෝක කිරීම ද්වේශයෙහි ස්වභාවයක් වන බැවිනි. එසේ වුවද අතීතය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම නිවන්මග ගමන් කරන පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මික සංවර්ධනයට මහෝපකාරීය.

ප්‍රත්‍යවේක්ෂණය යන්නෙහි පාලි වචනය ‘පච්චවෙක්ඛණ’ යන්නයි. අටුවාවෙහි එහි අර්ථය පැහැදිලි කරනුයේ ‘බැලීම, දැකීම, කල්පනා කිරීම’ යනුවෙනි. අතීතය, වර්තමානය මෙන්ම අනාගතය පිළිබඳව නුවණින් විමසා බැලීමක් මෙයින් අදහස් වුවද මෙතැනදී අප නුවණින් විමසිය යුත්තේ ගතවුණු 2017 වර්ෂය පිළිබඳව වූ අතීතයයි.

ප්‍රත්‍යවේක්ෂා කළ යුත්තේ කවරක්ද?
ලෝකීය ධර්මතා පදනම් කරගෙන සිත ප්‍රත්‍යවේක්ෂා කිරීම කෙළෙස් වැඩෙන ක්‍රියාවලියක් වීමට ඉඩකඩ වැඩිය. පදයක් පදයක් පාසා අමෘත රසය කෙළවර කොට ඇති සුවාසූ දහසක් ධර්මයන්හි බහා එම ප්‍රත්‍යවේක්ෂණය සිදුකළහොත් එයින් අර්ථයක් සිදු වේ. වැරදීමට ඉඩක් නැත. “ඉදින් තමා තමාට ප්‍රිය යැයි දනී නම් ඒ තමා සුරක්ෂිත කොට රකින්නේය. නුවණැති පුරුෂ තෙම ජීවිතයේ ප්‍රථම වයස හෝ මධ්‍යම වයස ‍හෝ පශ්චිම වයස යන තුන් වයසින් එක් වයසකදී තමන්ව රකින්නේය” යැයි ධම්මපදයෙහි ආත්ම වර්ගයෙහි සඳහන් වේ. ගිහියෙකු ප්‍රථම වයසේදී කෙළිදෙළෙන් පසු වී ප්‍රමාදී බවට පත්වුවහොත් මධ්‍යම වයසේදී තමාව රැකිය යුතුය. මධ්‍යම වයසේදී දරුවන් පෝෂණය කිරීම් ආදී කටයුතු නිසා ප්‍රමාදී වුවහොත් පශ්චිම වයසේදීවත් තමාව රැකිය යුතුය. තමා හට තමාට වඩා ප්‍රිය පුද්ග‍ලයෙකු නැත. ශීලය ආරක්ෂා කරන පුද්ගලයාව ශීලය විසින් රකිනු ලැබෙන බැවින් තමා හට අතිශයින්ම ප්‍රිය වූ තමා විසින් පසුගිය වර්ෂයේදී ශීලය ආරක්ෂා කර ගත් ආකාරය නුවණින් විමසිය යුතු වේ.

ඒ සඳහා පහත ප්‍රශ්නාවලිය උපකාර කර ගත හැක.

2017 වර්ෂයේදී……..

  • තමා කොතරම් සිල්වත් අන්දමින් ගත කළේද යන ප්‍රශ්නය ප්‍රථමයෙන් ඉදිරිපත් කර ගත යුතුය. සත්‍යය වූ පිළිතුරක් තමාගේ සිත විසින් තමාට ලබා දෙනු ඇත. එම සත්‍යය මිහිරි වුවත් අමිහිරි වුවත් ප්‍රථමයෙන් එය භාර ගත යුතුය.
  • පසුගිය වසරේදී කොපමණ අවස්ථා ගණනක් සිකපද කඩකළේද යැයි ප්‍රශ්නයක් තමාගෙන් ඇසිය යුතුය.

දිනපතා, දින කිහිපයකට වරක්, සතිපතා, මාස්පතා, ඉතා කලාතුරකින්, සිකපද කඩකළේම නැත යනාදී වශයෙන් සිත විසින් පිළිතුරු ලබා දෙනු ඇත.

  • කඩකළ සික පදයන් මොනවාද?

ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමයෙහි වරදවා හැසිරීම, මුසාවාදය, සුරාමේරය පානය කිරීම ආදී සිකපද අතුරෙන් එකක් හෝ වැඩිගණනක් ව්‍යතික්‍රමණය වූ බව වැටහෙනු ඇත.

  • සිකපද කඩකිරීමට අවස්ථාවක් එළඹෙන විට එය සිදු කළේ දැන දැනද?

බොහෝදෙනා සිකපද කඩ කරනුයේ දැන දැන ය. පඤ්ච දුශ්චරිතයන් ව්‍යතික්‍රමණයට අවස්ථාවක් යෙදුණ විට එය වරදක් බව දනී. එනමුත් කෙළෙසුන්ගේ වසඟයට පත් වී ඒවා බිඳ ගැනීම සිදු කරයි. ප්‍රාණඝාතාදියෙන් අකුසල් වන බව නොදන්නා වූ පුද්ගලයෙකුට වුව ද කර්මයෙන් ගැලවීමක් නැත. අතැම් විටකදී අසුවල් සිකපදය මවිසින් ව්‍යතික්‍රමණය කරනුයේ අසුවල් හේතුව නිසා යැයි (නිද : දරුවන් නිසා, බිරිඳ නිසා, මව්පියන් නිසා, මිතුරන් නිසා, සේවායෝජකයා නිසා) සිකපද කඩකිරීම සාධාරණීයකරණය කරමින් හේතු ඉදිරිපත් කිරීමක්ද සිත විසින් කරනු ඇත. මනා අවධානයකින් සිටියහොත් මේ තත්ත්වයද නිරීක්ෂණය කළ හැක.

  • සිකපද කඩකරන අවස්ථාවලදී සිතේ හා සිකපද ආරක්ෂා කරන අවස්ථාවලදී සිතෙහි පැවතුණු ස්වභාවය කුමක්ද? පඤ්ච දුශ්චරිතයන් සිදු කරන අවස්ථාවලදී සිතෙහි ඇතිවනුයේ අකුසලයන්ය. අකුසලයක් හට ගත් විට සිත දූෂ්‍ය කරන, කිලුටු කරන ස්වභාවයක් තිබූ බව වැටහෙනු ඇත. යම් මොහොතකදී සිකපදයක් ව්‍යතික්‍රමණයට එළඹියද වීර්යයෙන් යුතුව සිකපදය ආරක්ෂා කිරීම නිසා සිතෙහි තිබූ පිරිසිදු බවද වැටහෙනු ඇත. වරද නොකිරීම නිසා විඳි අනවද්‍ය සුඛයද සිහිපත් වනු ඇත.
  • සිකපද ව්‍යතික්‍රමණයට බල පෑ හේතු මොනවාද? සිකපද ආරක්ෂා කළේ නම් ඊට බල පෑ හේතු මොනවාද? පහතින් දක්වා ඇත්තේ එබඳු හේතූන් කිහිපයකි.
    • ඇතැම් පුද්ගලයන්ගේ සිත නිරන්තරයෙන්ම සිකපද ව්‍යතික්‍රමණයට නැඹුරුව පවතී. ඇතැම් පුද්ගලයන්ගේ සිත නිරන්තරයෙන්ම සිකපද ආරක්ෂා කිරීම සඳහා යොමු වේ. තමාගේ සිතෙහි ස්වභාවය කෙසේ වී දැයි විමසිය යුතුය.
    • තමා ඇසුරු කරන පුද්ගලයන් තමාගේ ආධ්‍යාත්මික දියුණුවට හෝ පරිහානියට බලවත් ලෙස උපනිශ්‍රය වේ. ඇසුරු කරනුයේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් නම් සිකපද ආරක්ෂා කිරීමටත් ඇසුරු කරනුයේ දුස්සීල පාප මිත්‍රයන් නම් එය සිකපද ව්‍යතික්‍රමණයටද බලපායි.
    • ඇතැම් පුද්ගලයන් කුසලය සහ අකුසලය පිළිබව අවබෝධයක් ඇත. එනමුත් සිකපදයක් ව්‍යතික්‍රමණයට අවස්ථාවක් එළඹි විට ශික්ෂාපද කඩකිරීමේ ආදීනව සහ ශීලය ආරක්ෂා කිරීමේ ආනිසංස නොවැටහේ.
      • දුසිල්වත් පුද්ගලයා හට දුස්සීල බව නිසා ඇතිවන ආදීනව පසකි.
        • ශීලය බිඳීම නිසා සිදුවන ප්‍රමාදී බව හේතුවෙන් මහත් වූ භෝග හානියකට පැමිණේ.
        • දුසිල්වතා පිළිබඳ අයහපත් අපවාද කථා පැතිරේ.
        • ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති පිරිසක් මැදට එළඹෙයිද බිය සැක ඇතිව මකු බවට පත්වී එළඹෙයි.
        • සිහිමුලා බවින් යුතුව මරණයට පත් වේ.
        • මරණින් මතු නිරයෙහි උපදී.
      • සිල්වත් පුද්ගලයා හට සීල සම්පදාව නිසා ලැබෙන ආනිසංස පසකි.
        • සිල්වත් පුද්ගලයා ශීලය ආරක්ෂා කිරීම නිසාවෙන් වන අප්‍රමාදී බව හේතුවෙන් මහත් වූ භෝග ස්කන්ධයක් ලබයි.
        • සීලවන්තයා පිළිබඳ කළ්‍යාණ කීර්තිරාවයක් පැතිරේ.
        • ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති පිරිසක් මැදට එළඹෙයිද නොබියව විශාරදව එළඹෙයි.
        • සිහිමුලා නොවී මරණයට පත් වේ.
        • මරණින් මතු සුගතියෙහි උපදී.
  • ඇතැම් පුද්ගලයන්ට සිකපද ව්‍යතික්‍රමණයට අවස්ථාවක් යෙදුණු විට සීලයෙහි ආනිසංස සහ දුසිල්වත් බවෙහි ආදීනව පිළිබඳව සිහි වේ. එසේ සිහිපත් වුවත් අකුසලය යටපත් කොට සීලයෙහි පිහිටා සිටීමට ශ්‍රද්ධාව බලවත් නොවේ.

2018 වර්ෂයේදී හේතු සකස්කිරීම……
2018 වර්ෂයේදී ශීලය හොඳින් ආරක්ෂා කර ගැනීමට අධිෂ්ඨාන කර ගත යුතුය. හුදෙක් අධිෂ්ඨාන මාත්‍රයම සිද්ධියට පැමිණෙන්නේ නැත. ඒ සඳහා හේතු සකස් කර ගත යුතුය. සාමාන්‍යයෙන් බොහෝ දෙනා සිදු කරන්නේ තමන්ගේ අතීත කර්මයන් නිසා වර්තමානය සකස් වී ඇති බව කල්පනා කරමින් වර්තමානය වෙනස් කළ නොහැකි බවට මැසිවිලි නැඟිමයි. එය එසේ නොවේ. වර්තමාන හේතු සකස් කිරීම මඟින් අතීත කර්මවලින් ජනිත වීමට ඉඩකඩ ඇති විපාක වෙනස් කළ හැක. තමාගේ පුණ්‍ය ශක්තිය මඳ නිසා ශීලය ආරක්ෂා කර ගැනීමට උපකාර කරන කළ්‍යාණ මිත්‍ර ඇසුර නිරායාසයෙන් නොලැබෙන්නේ නම් තමන් විසින් කළ්‍යාණ මිත්‍රයන් ගවේෂණය කළ යුතුය. පවිටු මිතුරන්ගෙන් ඈත් විය යුතුය. නිරන්තරයෙන්ම ධර්මය ඇසීමට හේතු සකස් කර ගත යුතුය. අසන ධර්මය මනසිකාර කිරීමට වීර්යය කළ යුතුය. ශීලය ආරක්ෂා කර ගැනීමට අනුපිළිවෙළින් හේතු සකස් කරන විට තමා හට අතිශයින්ම ප්‍රිය වූ තමාව ශීලය මඟින් සුරක්ෂිත කර ගැනීමට හැකි වනු ඇත.

මෙම ලිපියෙන් ඉදිරිපත් කර ඇත්තේ ප්‍රත්‍යවේක්ෂණයක් සඳහා කෙටි මඟ පෙන්වීමක් පමණි. පුද්ගලයන්ගේ චිත්ත ප්‍රවෘත්තිය නානාප්‍රකාරය. එකම දෙයක් පිළිබඳව පුද්ගලයන් දහසක්දෙනා කල්පනා කරනුයේ දහසක් ක්‍රමවලිනි. ඉහතින් දක්වා ඇති මඟපෙන්වීමට අනුව තමන්ට ගැළපෙන ආකාරයට ප්‍රත්‍ය‍වේක්ෂණය සකසාගත යුතුය.

සීලය නිවන් ගමනෙහි ආරම්භයයි. සීලය පිළිබඳව මෙනෙහි කර ඉන් ඇති වූ සමාධිය පදනම් කරගෙන විදර්ශනා වඩා මගඵල නිවන් දුටු භික්ෂූන් වහන්සේලා පෙර වාසය කළහ. ලෞකික අර්ථයන් සාධනය කර ගත් ගිහියන් ද වීය. වර්තමානයේදීද සීලයෙහි පිහිටා ගුණපුරන නුවණැතියන්ට ඉන් මෙලොව පරලොව යහපත සලසාගත හැක.ඒ සඳහා කෙරෙන කාරුණික ආරාධනාවකි මෙම සටහන.

සම්පාදකපූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය