ලෝකය ස්වභාවික ප්‍රභවයන් වූ හිරුසඳු මෙන්ම මිනිසා විසින් නිපදවන ලද කෘතිම ප්‍රභවයන්ගෙන්ද ආලෝකමත් වෙයි. ඒ සෑම එළියක්නිම වන බැබලීමකටම පැතිරිය හැකි සීමාවක් ඇත. ඉන් ඔබ්බෙහි වූ ප්‍රදේශය බබුළුවන්නට එම ආලෝකයන්ට නොහැක. බුදුරජාණන් වහන්සේගේ බැබලීම, ආලෝකය අනුත්තරීය වූවකි. අනුත්තරීය යන්නෙහි අදහස නම් ඊට වඩා උසස් දෙයක් නැති බවයි. තථාගතයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයක එහි පැමිණි දෙවි කෙනෙක් මේ පිළිබඳව ප්‍රශ්නයක් ඇසුවේය.

“යමෙකින් ලොව බබලයි නම් එබඳු එළි ලොව කෙතෙක්ද? අප ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේගෙන් දැනගන්නට පැමිණ කෙසේ දැන ගන්නෙමුද?”
ඊට පිළිතුරු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“චත්තාරෝ ලොකේ පජ්ජෝතෝ – පඤ්චමෙත්ථ න විජ්ජති
දිවා තපති ආදිච්චෝ – රත්තිං ආභාති චන්දිමා
අථ අග්ගි දිවාරත්තිං – තත්ථ තත්ථ පකාසති
සම්බුද්ධෝ තපතං සෙට්ඨෝ – ඒසා ආභා අනුත්තරා”

“ලෝකයෙහි ආලෝකයන් සතරකි. මෙහි පස්වෙනි ආලෝකයක් නැත. හිරු දහවල් කාලයෙහි බබලයි. සඳු රාත්‍රියෙහි බබළයි. තවද ගින්න දිවා රාත්‍රී දෙකෙහි ඒ ඒ තැන බබලයි. සම්බුදුරජාණන් වහන්සේ බබලන්නවුන් අතර ශ්‍රේෂ්ඨය. මේ සම්බුදුරජාණන් වහන්සේලාගේ ආලෝකයට වඩා උසස් ආලෝකයක් නැත.” යනු එම පිළිතුරෙහි අර්ථයයි.

හිරු දිවා කලද, සඳු රාත්‍රී කලද බබලයි. ගින්නක් දැල්වුවහොත් එහි බැබලීම සිදු වන්නේ ඊට අදාළ ප්‍රදේශයේ පමණි. තථාගතයන් වහන්සේගේ ආලෝකය ප්‍රමාණ කළ නොහැක. අනුත්තරීය වූ ඒ ආලෝකය කිහිප ආකාරයකින් තේරුම් ගත යුතුය.

ඤාණාලෝකය
බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ඥානයාගේ ආනුභාවයෙන් උපන් ආලෝකය ඤාණාලෝකයයි. පළමු බුද්ධ දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේගේ  මාර්ග ඥානයෙන් උපන් ආලෝකය “චක්ඛුං උදපාදි ඤාණං උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි” යැයි දේශිතය. එසේම බෝධි මණ්ඩලයෙහි වැඩ හිඳිමින් ත්‍රිවිද්‍යා උපදවා ගැනීමද ඤාණාලෝකයයි.

ප්‍රීති ආලෝකය
සියලු කෙළෙසුන් නසා බුද්ධත්වය ලබාගෙන බෝධි මණ්ඩලයෙහිදී හට ගත් ප්‍රීති ආලෝකයයි. විශේෂ වශයෙන් බුද්ධත්වය ලබා සතර වැනි සතියෙහිදී රතනාඝරයෙහි වැඩහිඳිමින් අභිධර්මයෙහි සත්වැනි ප්‍රකරණය සම්මර්ෂණය කිරීමේදී හටගත් ප්‍රීතිය කරණකොට ශරීරය බැබලෙන්නට විය. එය ප්‍රීති ආලෝකයයි.

ප්‍රසාද ආලෝකය
රතනාඝරයෙහිදීම ඇතිවුණු ප්‍රසාදය හේතුවෙන් පැතිරුණු ආලෝකය ප්‍රසාද ආලෝකයයි. එසේම දම්සක් පැවතුම් සූත්‍රය අවසානයේදී කොණ්ඩඤ්ඤ තාපසතුමා ධර්මාවබෝධය ලැබීය. තථාගතයන් වහන්සේ එහිදී “අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ” කොණ්ඩඤ්ඤ තෙම ධර්මාවබෝධය කළහ යැයි ප්‍රසාදය පළ කළහ. එහිදී උපන් ප්‍රසාදයද ප්‍රසාද ආලෝකයයි.

ධර්මකථා ආලෝකය
ශාස්තෲන්වහන්සේ විසින් සෑම තැනකදීම සත්ත්වයන්ට ධර්මය දේශනා කරන විට එම සත්ත්වයන්ගේ සන්තානයෙහි මෝහාන්ධකාරය දුරු කරලයි. එම නිසා එයට ධර්මකථා ආලෝකය යැයි කියනු ලැබේ. බුද්ධශ්‍රාවකයන් ධර්ම දේශනා කරනුයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මාවබෝධය නිසාය. එම නිසා බුද්ධශ්‍රාවකයන්ගේ ධර්ම කථාවලින් හටගත් ධර්මාලෝකයද බුද්ධානුභාවයකි.

අනුත්තරීය වූ බුද්ධානුභාවය සරණක් කොට ගෙන සියලු සත්ත්වයෝ සසර දුකින් එතෙරව නිවන් සැප  ලබත්වා!!!

සම්පාදකපූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය

නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk