භික්ෂුවකගේ දිවිපෙවෙතෙහි වත පිළිවෙත වැදගත් අනිවාර්ය අංගයකි. එයින්ද හැමදීමට ප්‍රධාන තැනක් හිමිවේ. භාග්‍යවතුන් වහන්සේ හැමදීමේ අනුසස් පහක් දක්වා තිබේ. ඉන් පළමුවැන්න නම් තම සිත පැහැදීමයි. ඊට උදාහරණ දැක්වෙන කථා ප්‍රවෘත්තියක් විනය අටුවාවේ එයි. එක් දිනක් කටකන්දරවාසී ඵුස්සදේව තෙරුන් වහන්සේ තෙරුන් වහන්සේ සෑ මළුව ඇමද තම සිවුර එකාංශ කොට සේපාලිකා මලින් කළ ඇතිරියක් මෙන් මනාව වැලි සමතලා කොට තිබූ වැලි මළුව දෙස බලමින් බුදුගුණ මෙනෙහි කරමින් සිතෙහි  ප්‍රීතිය උපදවාගෙන සිටියේය. ක්ෂණයකින් කළු වඳුරෙක් එහි මතුවී මළුවේ අසූචි විසුරුවන්නට විය. තෙරුන්වහන්සේගේ කුසල අරමුණට බාධා ඇති විය. මළුව නැවත ඇමද පිරිසිදු කොට තෙරුන්වහන්සේ ආපසු වැඩම කළහ. දෙවන දිනයේද සෑ මළුව ඇමද ප්‍රීතියෙන් සිටින විට මහලු ගවයෙක් පැමිණ නොයෙකුත් විකාර කලේය. තෙවැනි දිනයේදී කොරගසමින් ඇවිදින විරූපී පෙනුමක් ඇති මිනිසෙක් පැමිණ ඇමද තිබූ මළුව විකෘති කලේය. තෙරුන්වහන්සේ පළමු, දෙවන හා තෙවන යන දිනවල පැමිණියේ කවුරුන්දැයි වටහා ගත් සේක. මෙවැනි භයානක පෙනුමක් ඇති පුරුෂයෙක් යොදුනක් පමණ වූ හාත්පස ගෝචර ගම්වල නැතැයි දැන මේ අන් කිසිවෙක් නොව මාරයා යැයි හඳුනා ගෙන නුඹ මාරයා දැයි විචාලේය. එසේය වහන්ස යැයි මාරයා පිළිවදන් දුන්නේය. දැන් තොපට වඤ්චා කිරීමට නොහැකිය යැයි වදාළේය .  භාග්‍යවතුන් වහන්සේ දැක තිබේදැයි මාරයාගෙන් විමසීය. මාරයා නම් නම් මහානුභව ඇත්තෙකි, හැකිනම් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය මෙන් ශරිරයක් නිර්මාණය කරව යැයි තෙරුන් වහන්සේ මාරයාට නියම කලේය. එවැනි රූපයක් නිර්මාණය කිරීමට තමා අසමත් වන්නේ යැයිද එනමුත් එවැනි ශරීර ලක්ෂණ ඇති ප්‍රතිරූපයක් මැවිය හැකි යැයි පිළිතුරු දුනේය. භාග්‍යවතුන් වහන්සේගේ  මෙන් ශරීරයක් මවා ගත්තේය. තෙරුන්වහන්සේ ඒ දෙස බලා රාග, දේශ, මෝහ සහිත මාරයා මෙසේ ශෝභමානය, භාග්‍යවතුන් වහන්සේ කොතරම් ශෝභමාන විය යුතුද, භග්‍යවතුන් වහන්සේ සියලු ආකාරයෙන් වීතරාගී, වීතදෝසී, වීතමෝහී වේ යැයි බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා විපස්සනා වඩා සියළු කෙළෙසුන් නසා රහත් බවට පැමිණියේය. මාරයා තෙරුන් වහන්සේට පරාජය විය.

ක්ලේශ මාර, ස්කන්ධ මාර, අභිසංස්කාර මාර, මච්චු මාර හා දේවපුත්ත මාර යැයි මාරයින් පස් දෙනෙක් පිළිබඳ ධර්මයේ සදහන් වේ. මේ අතුරින් කටකන්දරවාසී ඵුස්සදේව තෙරුන්වහන්සේට අවස්ථා තුනකදී බාධා කිරිමට පැමිණියේ පරනිම්මිත වසවර්තී දිව්‍ය ලෝකයේ වාසය කරන මාරයාය. ඔහු නිවන් මග ගමන් කරන පුද්ගලයන්ට විවිධ ආකාරයේ බලපෑම් ඇතිකරන බව මින් පැහැදිලි වේ.

එමෙන්ම දෛනිකව තමන් කරන සියලු වත් පිළිවෙත් නිවන සදහා උපයෝගි කර ගත යුතු අකාරය මේ කථා පුවතින් පැහැදිලිවේ. තමන් කරන කටයුත්තට කොපමණ බාධා පැමිණියත් කුසල ආරම්මණයක සිහි තබාගෙන නැවත නැවතත් යෙදිමේ ආදර්ශය ඵුස්සදේව තෙරුන් වහන්සේ අපට ලබාදේ. ගිහි පැවදි කාටත් පංච මාරයන්ගෙන් මිදී නිවන නම් වූ උතුම් ඵලය නෙලා ගැනීමට දෛනික වත පිළිවෙත උපකාර වේවා..!!!

(සමන්තපාසාදිකා නම් විනයටඨකථාව – පරිවාර වණ්ණනා ඇසුරිණි)

සම්පාදක
පූජ්‍ය පූජාපිටියේ සූරියරතන හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
සනත් ඉන්දික

නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk