මනුෂ්‍යයන් වන අපි අන් පුද්ගලයන් මැනීමෙහි නිරතවීමට අතිශයින්ම කැමැත්තෝ වෙමු. අන් පුද්ගලයින් ගේ උස, මහත, වර්ණය, අඳින පළඳින ආකාරය, ගමන්කිරීම් ආදී ඉරියවු පවත්වන ආකාරය ඇතුළු නිර්ණායක සිය දහස් ගණනක් පදනම් කරගෙන අපි මෙම කටයුත්ත කරන්නෙමු. එම මිනුම් පදනම් කරගෙන අන් පුද්ගලයන් පිළිබඳව නිගමන සහ තීන්දු තීරණවලට බැසගැනීම ද අප අතින් සිදු වේ. ඉන් නොනැවතී ඒවා මත පිහිටා අන් පුද්ගලයන් සමඟ ඕපාදූප කතාකිරීමට ද අපි පෙළැඹෙන්නෙමු. ලෝකයෙහි වාසය කරන පුද්ගලයන් තේරුම් ගෙන ලෝකය සමඟ කටයුතු කිරීමේ දී මෙන් ම තමන් ගේ කෙළෙස් ප්‍රත්‍යවේක්ෂණයේ දී ද පුද්ගල නානත්වය පිළිබඳව ධර්මයෙහි එන දේශනා පිළිබඳව ඇති අවබෝධය මහත් සේ උපකාරී වේ. සත්ත්වයන් විසින් අන් සත්ත්වයන් මනින ආකාරයත් එයින් පහදින ආකාර සතරක් පිළිබඳවත් පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණයේ චතුෂ්ක නිර්දේශයෙහි සඳහන් වේ.

1. රූපප්පමාණෝ රූපප්පසන්නෝ – ‘රූප ප්‍රමාණ වූ රූප ප්‍රසන්න වූ’
2. ඝෝසප්පමාණෝ ඝෝසප්පසන්නෝ – ‘ඝෝෂප්‍රමාණ වූයේ ඝෝෂ ප්‍රසන්න වූයේ’
3. ලූඛප්පමාණෝ ලූඛප්පසන්නෝ – ‘රූක්ෂවූයෙහි ප්‍රමාණ වූ රූක්ෂවූයෙහි ප්‍රසන්න වූ’
4. ධම්මප්පමාණෝ ධම්මප්පසන්නෝ – ‘ධර්ම ප්‍රමාණ වූයේ ධර්ම ප්‍රසන්න වූයේ’

1. රූපප්පමාණෝ රූපප්පසන්නෝ – ‘රූප ප්‍රමාණ වූ රූප ප්‍රසන්න වූ’
මෙ ලොව වාසය කරන ඇතැම් පුද්ගලයෙක් තවත් පුද්ගලයකු ගේ ශරීරයේ උස බව, සිහින් හෝ මහත් බව, අඟපසඟවල සටහන අනුව හෝ ඉහත කී දෑ වල අනූන බව, ලක්ෂණ, පිරිපුන් බව දැක රූපයෙහි පමණ ගෙන ප්‍රසාදය ඇති කර ගනී. මේ පුද්ගලයා රූප ප්‍රමාණ වූ රූප ප්‍රසන්න වූ ප්‍රද්ගලයාය.

බුද්ධ කාලයේ දී සැවැත්නුවර වක්කලී නම් බ්‍රාහ්මණ තරුණයෙක් විය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුතුව සැවැත්නුවර පිඬු සිඟා වඩින්නා වූ තථාගතයන්වහන්සේ දුටු හෙතෙම උන්වහන්සේ ගේ ශරීර දර්ශනයෙන් තෘප්තියට පත් නොවීය. බුදුරජාණන්වහන්සේ ගේ සමීපයෙහි පැවිදි වුවහොත් නිරන්තරයෙන් උන්වහන්සේව දකිමින් වාසය කළ හැකි යැයි සිතා පැවිදි බිමට ඇතුළත් විය. බණ භාවනා නොකරමින් නිරන්තරයෙන් ම බුදුරජාණන්වහන්සේ දකිමින් හැසිරුණේය. මගඵල ලැබීම සඳහා වක්කලී හිමියන්ගේ නුවණ මුහුකුරා ඇති බව දුටු තථාගතයන්වහන්සේ “වක්කලී, මේ පිළිකුල් ශරීරය දැකීමෙන් කිම? යමෙක් ධර්මය දකින්නේ ද හෙතෙම මා දකින්නේය” යැයි අවවාද කළහ. මෙසේ අවවාද ලැබුණත් වක්කලී හිමියන් ධර්මය දැකීමට උත්සාහවත් නොවී පෙර පරිදි ම බුදුරජාණන්වහන්සේව දකිමින් කාලය ගත කළේය. පසුව බුදුරජාණන්වහන්සේ වක්කලී හිමියන් පණාමනය (නෙරපා දැමීම) කළේය. ඉන් සංවේගයට පත් වූ හෙතෙම සියදිවි හානි කරගැනීමේ අරමුණින් ගිජුකුළු පව්වෙන් පැනීමට තීරණය කළේය. එම අවස්ථාවේ දී බුදුරජාණන්වහන්සේ දුන් ධර්ම අවවාදයක පිහිටා පටිසම්භිදා සහිතව අරිහත්වයට පත් වීය. පසුකලෙක බුදුරජාණන්වහන්සේ වක්කලී හිමියන් ශ්‍රද්ධාධිමුත්ත භික්ෂූන් අතර අග්‍රස්ථානයෙහි තැබීය. තථාගතයන්වහන්සේ කෙරෙහි රූප ප්‍රසන්න වීම උන්වහන්සේට නිවන් දැකීම පිණිස උපකාරී විය.
රූප ප්‍රමාණවත්ව රූප ප්‍රසන්න වීම ඇතැම් විටෙක දී අනර්ථය පිණිස ද පවතී. බාහිරින් පුද්ගලයකු දැක ඒ ඔස්සේ බැසගන්නා නිගමන වැරදි වීමට ඉඩ කඩ ඇත. සිල්වතකු වශයෙන් පෙනුණ ද දුසිල්වතකු වීමට ද, ගුණවතකු වශයෙන් පෙනුණ ද ගුණ හීනයකු වීමට ද ඉඩ ඇත. ඇතැම් විටෙක බාහිරින් සුරාසො‍ඬකු ලෙස පෙනෙන පුද්ගලයෙක් සත්‍ය වශයෙන්ම සුරාමේරය පානයෙන් වළකින්නෙක් විය හැකිය.

2. ඝෝසප්පමාණෝ ඝෝසප්පසන්නෝ – ‘ඝෝෂප්‍රමාණවූයේ ඝෝෂප්‍රසන්නවූයේ’
මෙ ලොව වාසය කරන ඇතැම් පුද්ගලයෙක් අනුන් විසින් කරන ලද ගුණ වර්ණනාවක් හෝ, අනුන් විසින් ගාථා බන්ධන ආදියෙන් කරන ලද වර්ණනාවකින් හෝ අනුන් විසින් කරන ලද ප්‍රශංසාවකින් හෝ කටින් කට පැතිරෙන ගුණ කථනයකින් තවත් පුද්ගලයකු පිළිබඳව ප්‍රමාණ කොට ප්‍රසාදය උපදවා ගනී. බුද්ධ කාලයේ දී බුදුරජාණන්වහන්සේ ගේ ගුණ ජනතාව අතර ප්‍රකට විය. එම ගුණ ඇසීමෙන් පැහැදුණු බොහෝ දෙනා තථාගතයන්වහන්සේ ගේ සමීපයට පැමිණ දහම් අසා මගඵල නිවන් සාක්ෂාත් කර ගත්හ.
එකල තම රැස්වීම් ශාලාවේ රැස්වන ලිච්ඡවීහු බුදුරජාණන්වහන්සේ ගේ ගුණ පිළිබඳව නොයෙක් ආකාරයෙන් වර්ණනා කළහ. එම පිරිසෙහි සිටි නිගණ්ඨනාථපුත්‍ර ගේ ශ්‍රාවකයකු වූ සීහ සේනාධිපතිතුමා මෙ සේ වනන බුදුගුණ අසා “නිසැකවම භාග්‍යවතුන්වහන්සේට අරහං ගුණය ඇත. උන්වහන්සේ සම්මා සම්බුද්ධ ය. එ නිසා රැස්වීම් ශාලාවේ සිටින ලිච්ඡවීහූ උන්වහන්සේ ගේ ගුණ වර්ණනා කරත්” යැයි සිතන්නට විය. ඉන්පසු තමා ගේ ශාස්තෲන්වහන්සේ වූ නිගන්ඨනාථපුත්‍ර වෙත එළඹ භාග්‍යවතුන්වහන්සේ මුණගැසීමට තමා තුළ ඇති කැමැත්ත ප්‍රකාශ කර සිටියේය. භාග්‍යවතුන්වහන්සේ ගේ නුගුණ ප්‍රකාශ කළ නිගණ්ඨනාථපුත්‍ර සීහ සේනාධිපති ගේ ගමන වැළැක්වීය. රැස්වීම් ශාලාවේ දී නැවත නැවතත් ලිච්ඡවීන් වෙතින් බුදුගුණ ඇසූ සීහ සේනාධිපති නිගණ්ඨනාථපුත්‍රයන් නොවිචාරා ම තථාගතයන්වහන්සේ දැකීමට ගියේය. එසේ ගොස් දහම් ඇසූ ඔහු උතුම් සොවාන් ඵලයට පත් වීය.
ඝෝෂප්‍රමාණ ඝෝෂප්‍රසන්නවීම නිසා ඇතැම් පුද්ගලයන් ධර්ම ප්‍රතිරූපක වූ දේශනා පවත්වන දේශකයන් පසු පස හඹා යනු අද කාලයේ දී ද දක්නට ලැබේ. හුදෙක් දේශකයාගේ වචන හැසිරවීමේ හැකියාව පාදක කොට ගෙන ධර්මය මෙන් මතුපිටින් පෙනෙන එහෙත් ධර්මය නොවන දේශනා අද ජනප්‍රිය වෙමින් පවතී. තථාගත ධර්මය වැරදි ලෙස ග්‍රහණය කර ගෙන තමා ගේ වැරදි අවබෝධය පාදක කරගෙන ධර්මය ඇසුරෙන් තමා නවෝත්පාදනයක් කළා මෙන් හඟවමින් කෙරෙන මෙම දේශනා පහසුවෙන් සමාජගත වේ. නවොත්පාදනය අගය කරන වර්තමාන සමාජය මෙ බඳු ඉගැන්වීම් හිස් මුදුනින් පිළිගැනෙයි. ඒ, එම ඉගැන්වීම් අනෙකුත් දේශනාවලට වඩා වෙනස් නිසාය. මෙ බඳු දේශනා පිළිබඳව කටින් කට පැතිර යන වර්ණනා නිසා ද ඒ දේශකයන් පසු පස හඹාගොස් උපචාර සමාධියක් තරම් දෙයක්වත් නොලබා මාර්ගඵල ලබාගතිමු යැයි මුලාවට පැමිණි පින්වතුන් සිටී. ඉන් නොනැවතී මාර්ගඵල පිළිබඳ සහතික පත්‍ර ද ලබා ගනී.

3. ලූඛප්පමාණෝ ලූඛප්පසන්නෝ – ‘රූක්ෂවූවෙහි ප්‍රමාණ වූ රූක්ෂවූවෙහි ප්‍රසන්න වූ’
මෙ ලොව වාසය කරන ඇතැම් පුද්ගලයෙක් පාත්‍ර සිවුරු ආදියෙහි හෝ සේනාසනවල හෝ විවිධ වූ දුෂ්කර ක්‍රියා දෙස බලා එම රූක්ෂ බවෙහි ප්‍රමාණ ගෙන ප්‍රසාදය ඇති කර ගනී. රූක්ෂ වූ පාත්‍ර ආදී පිරිකර මෙන්ම රූක්ෂ ලෙස සකස් කරන ලද සේනාසනවලට ඇතැමුන් පහදිනුයේ රූක්ෂ බව පිළිබඳ ප්‍රමාණකිරීම නිසාය. තිචීවරිකාංගය ආදි දහතුනක් ධුතාඞ්ගයන් සමාදන්ව ගුණ පිරූ මහාකාශ්‍යප මහරහතන්වහන්සේ වැනි උතුමන්වහන්සේලා කෙරෙහි පැහැදී ඉන් මෙලොව පරලොව වැඩ සලසා ගත් පිරිස අතිමහත්ය. ඒ බොහෝවිට රූක්ෂ බවින් අල්පේච්ඡතා සන්තුට්ඨිතා ආදී ගුණ ප්‍රකට වන හෙයිනි.
පරසම්පත්තීන් නො ඉවසීම ඊර්ෂ්‍යාවේ ලක්ෂණයයි. ඊර්ෂ්‍යාව නිසා අන් අයගේ භෞතික මෙන් ම අධ්‍යාත්මික සම්පත්තීන් ගේ පරිහානියක් සිදුවන විට සතුටු වේ. සාමාන්‍යයෙන් ඊර්ෂ්‍යාව බහුල පුද්ගලයා විපතට පැමිණි අයට හා සැප අත්හළ පුද්ගලයන්ට කැමතිය. රූක්ෂ ප්‍රතිපත්තියෙහි ඇතැමුන් පහදිනුයේ මෙම නිසාය.
මනුෂ්‍යයන් ගේ ලූඛප්‍රසන්නභාවය වාසියට හරවාගෙන තමන්ට ලාභසත්කාර උපදවාගැනීමට උත්සාහ කළ භික්ෂූහු අද මෙන් ම බුද්ධ කාලයේ ද වාසය කළහ. සංඝභේදය සඳහා දෙව්දත් හිමියන් උපයෝගී කර ගත්තේ ද මේ කාරණයයි. සඟ පිරිසෙහි නායකත්වය තමාට පවරන ලෙස දෙව්දත් හිමියන් බුදුරජාණන්වහන්සේගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ පසු කෝකාලික කටමෝරකතිස්ස වැනි පාපී භික්ෂූන් සමඟ එක්වී බුදුරජාණන්වහන්සේ ගේ ආණාචක්‍රය බිඳීමට සැලසුම් සකස් කළේය. දෙව්දත් හිමි සෙසු පාපී භික්ෂූන්ට සංඝභේදය කිරීමට යෝජනා කළ විට කෝකාලික භික්ෂුව මෙ සේ කීවේය. “ඇවැත්නි, අපි කෙසේ නම් සංඝභේදය කරන්නෙමු ද? ශ්‍රමණ ගෞතමයන් මහා ඍද්ධි සම්පන්න මහානුභාව සම්පන්න වූවෙකි.” එවිට දෙව්දත් හිමි “දිවි ඇති තාක් භික්ෂූහු ආරණ්‍යවාසික විය යුතුය, පාංශුකූලික සිවුරු දැරිය යුතුය, පිණ්ඩපාතික විය යුතුය, රුක්ෂමූලික විය යුතුය, මස් මාළු නොවැළඳිය යුතුය යැයි කරුණු පසකින් අනුදැනීම ගෞතමයන්ගෙන් ඉල්වමු. ඒවා අනුදැනීමට ශ්‍රමණ ගෞතමයන් ඉඩ නොදෙන්නේය. එවිට ආණාචක්‍රය බිඳීමට හැක. ඇවැත්නි මනුෂ්‍යයෝ රූක්ෂ ප්‍රතිපත්තියෙහි ප්‍රසන්න වෙත්” යනුවෙන් කීවේය. දෙව්දත් හිමි එම කරුණු පසකින් ඉල්ලීම කළ පසු එයට පැහැදුණු භික්ෂූන් වහන්සේලා ද ගිහියෝ ද එම පක්ෂය ගත්හ. වර්තමානයේ දී ද මස් මාළු අනුභව නොකරන ගිහියන් සහ භික්ෂූන් වහන්සේලා කෙරෙහි විශේෂයෙන් පහදින්නේ ලූඛප්‍රසන්නභාවය නිසාය. මෙ බඳු තැන්වල දී උත්සාහවත් විය යුත්තේ සිතේ අභ්‍යන්තරයෙහි ක්‍රියාත්මක වන්නා වූ කෙළෙස් තේරුම් ගැනීමටයි.

4. ධම්මප්පමාණෝ ධම්මප්පසන්නෝ – ‘ධර්ම ප්‍රමාණ වූයේ ධර්ම ප්‍රසන්න වූයේ’
මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් සීලය දෙස බලා හෝ සමාධිය දෙස බලා හෝ ප්‍රඥාව දෙස බලා හෝ එහි ප්‍රමාණ ගෙන පැහැදීම ඇති කර ගනී. මෙම පුදගලයන් පැහැදීම ඇති කර ගනුයේ අන් පුද්ගලයන්ගේ ගුණ විමසීමෙන් අනතුරුවය. මනුෂ්‍යන් ගේ සීලය, සමාධිය, ප්‍රඥාව පිළිබඳව කෙටි විමර්ශනයකින් අවබෝධ කර ගත නොහැක. තවත් පුද්ගලයකු ඇසුරු කිරීමෙන් සීලය පිළිබඳ දැන ගත යුතුය. එය ද දීර්ඝ කාලයක් වාසය කිරීමෙනි යැයි ඨාන සූත්‍රයේ එයි.
චතුෂ්ප්‍රමාණික වූ ලෝක සත්ත්වයන් පිළිබඳව සංඛ්‍යාත්මක විස්තරයක් ධර්මයෙහි සඳහන් වේ. සියලු සත්ත්වයන් කොටස් තුනකට බෙදූ විට තුනෙන් දෙකක් රූප ප්‍රමාණිකය. ඉතිරි එක් කොටස රූප ප්‍රමාණික නොවේ. සියලු සත්ත්වයන් කොටස් පසකට බෙදූ විට ඉන් සතර කොටසක් ඝෝෂප්‍රමාණිකය. ඉතිරි එක් කොටස ඝෝෂප්‍රමාණික නොවේ. සියලු සත්ත්වයන් කොටස් දසයකට බෙදූ විට ඉන් නව කොටසක් ලූඛප්‍රමාණිකය. ඉතිරි එක් කොටස ලූඛප්‍රමාණික නොවේ. සියලු සත්ත්වයන් කොටස් ලක්ෂයකට බෙදූ විට ඉන් එක් කොටසක් ධර්මප්‍රමාණිකය. ඉතිරි අනූනවදහස් නවසිය අනූනව කොටසම ධර්ම ප්‍රසන්න නොවේ. මේ ආකාරයෙන් ලෝක සත්ත්වයන් චතුෂ්ප්‍රමාණිකය.
චතුෂ්ප්‍රමාණික වූ ලෝක සන්නිවාසයේ බුදුරජාණන්වහන්සේ කෙරෙහි නොපැහැදුණු වූ පිරිස ස්වල්පයකි. පැහැදුණු සත්ත්වයන් බහුල වෙත්. රූප ප්‍රමාණික වූ පුද්ගලයකුට බුදුරජාණන් වහන්සේ ගේ රූපයට වඩා ප්‍රසාදය එළවන සුළු රූපයක් නැත. ඝෝෂප්‍රමාණික වූ පුද්ගලයකුට බුදුරජාණන්වහන්සේ ගේ කීර්ති ඝෝෂාවට වඩා ප්‍රසාදය එළවන කීර්ති ඝෝෂාවක් නැත. ලූඛසම්පන්න වූ පුද්ගලයකුට සියලු රාජ්‍ය සම්පත් හැර දමා පංසුකූල චීවර ශෛලමය පාත්‍ර දරමින් රුක්මුල් ආදී සේනාසන සේවනය කරන්නා වූ භාග්‍යවත් බුදුරාණන්වහන්සේට වඩා ප්‍රසාදය එළවන සුළු අන් රූක්ෂ බවක් නැත. ධර්මප්‍රමාණික පුද්ගලයකුට දෙවියන් සහිත වූ ලෝකයෙහි අන්‍යයන්ට අසාධාරණ වූ සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් සමන්වාගත වූ තථාගතයන්වහන්සේට වඩා ප්‍රසාදය එළවන්නා වූ සීල සමාධි ගුණයක් නැත්තේය. චතුෂ්ප්‍රමාණික වූ ලෝක සන්නිවාසය මිටින් ගත්තාක් මෙන් තථාගතයන්වහන්සේ වැඩ සිටින සේක.
පුද්ගලයන් පිළිබඳව ධර්මයෙහි එන ඉගැන්වීම් ලෝකය දෙස බැලීමට කවුළුවක් විවර කරන්නා සේ ම තමන් ගේ හැසිරීම් සහ චිත්ත සන්තානය පිළිබඳව විමසා බැලීමට ද කැඩපතකි. ඇතැම් විට තමාට නොදැනුවත්ව ම ඉතා සියුම් ලෙස අන් පුද්ගලයන් ගේ වැරදි අඩුපාඩු දකින ස්වභාවයේ මනසිකාරයක් මේ තුළින් ඇතිවිය හැක. ඒ තමන් ගේ අඩුපාඩු දැකීමට වඩා අන් අය ගේ වැරැදි දැකීම පහසු බැවිනි. තමන්ගේ වරද වරදක් ලෙස දැක එයට නිසි පරිදි පිළියම් යොදා මතු එම වරද නොකරන ආකාරයට ආයති සංවරයෙහි පිහිටා කටයුතුකිරීම බුදුරජාණන්වහන්සේ විසින් වර්ණනා කොට ඇත. මෙම දේශනාවේ අර්ථය නිවැරදි ‍ලෙස වටහා ගෙන එය මෙ ලොව පරලොව යහපත පිණිස ද නිවන් දැකීම පිණිස ද උපකාර කර ගනිත්වා යන්න අපගේ ආරාධනාවයි.

සම්පාදකපූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි

DOWNLOAD AS PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය
නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk