දාන, සීල, භාවනා ආදී දස කුසල ක්‍රියා සිදු කිරීම මගින් කුසල් රැස් වන බවත් පරපණ නැසීම, සොරකම් කිරීම ආදිය මගින් අකුසල් රැස් වන බවත් අන්ධ බාල පෘතග්ජනයෝ නොදනිත්. එසේ ධනයෙන්, බලයෙන් සවිමත් තරුණ වියේදී ඒවා අනිසි ලෙස පරිහරණය කරමින් නිරයගාමී වන්නෝ බහුලය. නමුත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා එවැන්නන්ගේ සසර ගමන සැපවත් කිරීමට අවසාන මොහොතේ හෝ පිහිට වෙත්.

මෙවැනි දුසිල්වත් දමිළ දොරටු පාලකයෙක් මධු අංගණ නම් ගමෙහි ජීවත් වූයේය. ඔහුගේ ජීවිතයේ අවසාන මොහොත භයංකර වූයේය. හෙතෙම දුබලව තම නිවසේ ඇ‍ඳෙහි අසිහියෙන් යුතුව දුක සේ කල් ගෙවීය. තරුණ වියේදී සෑම දිනකම උදෑසන මසුන් මරා කොටසක් ලබා දී සහල් ද, තව කොටසකින් දී කිරි ද, තවත් කොටසක් තම පරිභෝජනයට කළේය. මෙලෙස වසර 50 ක් මෙම අකුසල ක්‍රියාව සිදු කළේය.

ගිරි විහාරවාසී චූලපිණ්ඩපාතිකතිස්ස තෙරුන් වහන්සේ මොහුගේ ජීවිත අවසාන කාලයේදී පිහිටවීමේ අභිප්‍රායෙන් නිවස බලා වැඩම කළ සේක. එහිදී ද දොරටු පාලකයාගේ බිරිඳ කිසිවක් පූජා කීරීමට නොමැති බව තෙරුන් වහන්සේට දැන්වූවාය. පුරා වසර 50ක් කිසිවක් තෙරුන් වහන්සේට පූජා නොකර තිබියදීත් උන්වහන්සේගේ කරුණා මහිමය නිසාවෙන්ම අවසාන මොහොතේ හෝ පිහිටවීමට තෙරුන් වහන්සේ එළඹුණු සේක.

මෙම මහලු පුද්ගලයාගේ ශරීරය දුබලව පැවතුණේය. එමෙන්ම නිසි පරිදි සිහිය පිහිටුවා ගැනීමට ද අපොහොසත්ය. ඉතා අපහසුවෙන් නමුත් මේ පුද්ගලයා  තිසරණයෙහි පිහිටුවා පඤ්චසීලය සමාදන් කරවා සිල්වත් පුද්ගලයෙක් බවට පත් කළේය. නොබෝ කලකින් ම  හෙතෙම කාලක්‍රියා කළේය.

දිනක් තෙරුන් වහන්සේ වන්දනා කිරීමට දේවතාවෙක් පැමිණියේ ය. චාතුර්මහාරාජිකයේ සිට පැමිණ සිටි මොහු තෙරුන් වහන්සේ වන්දනා කොට එකත් පසෙක සිටියේ ය. තෙරුන් වහන්සේ මේ දේවතාවා හඳුනා නොගෙන “ඔබ කවරෙක්ද’යි” විමසූ සේක. පෙර දිනකදී ජීවිත අවසාන මොහොතේදී තෙරුන් වහන්සේ පිහිට වූ ආකාරය සිහිපත් කළේ ය.

මෙලෙස තම ජීවිත කාලය පුරා අකුසලය වඩමින් තම ජිවිතය විනාශ ගෙන යන මනුෂ්‍යයෝ බහුලය. දමිල දොරටුපාලකයාට උපකාර කළ ආකරයට ජීවිතයේ අවසාන මොහොතේ දී වත් උපකාර කරන් කළ්‍යාණ මිත්‍රයන් අද දුලබ ය. හුදෙක් පන්සිල් සමාදන් වීම් මාත්‍රයෙන්ම ඒ කුසලය තම මරණාසන්න සිතට අරමුණු වීම නිසා  සුගතිගාමී වීමේ භාග්‍යය මේ දමිළ දොරටු පාලකයාට උදා වූයේය. යම් ආකාරයකින් මෙවැනි දස පුණ්‍යක්‍රියා තම ජීවිත කාලයටම සිදු කළේ නම් එහි විපාක මීටත් වඩා මහත්ඵල වන්නට තිබිණි. එතකුදු වුවත් ධර්මයේ තිබෙන සාන්දෘෂ්ටික බව මින් ප්‍රත්‍යක්ෂ වන්නේය. එනිසා බුද්ධ වචනය අනුව සියලු පව්වලින් වෙන් වී, කුසල් උපදවමින් තම සිත දමනය කර කෙසේ හෝ නිවන් සාක්ෂාත් කර ගැනීමට සැප කැමැත්තෝ උත්සාහ වෙත්වා….!!!

(​​අඞ්‌ගුත්‌තරනිකායට්‌ඨකථාව ඇසුරිණි)

සම්පාදකපූජ්‍ය පූජාපිටියේ සූරියරතනහිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය
නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk