භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර එක්තරා කුළගෙයක්හි ස්වාමි කුලයට පැමිණි, එක්තරා කෙළඹියක් පෙරබත් කාලයෙහි තමාගේ නිවසට පිඬු පිණිස වැඩියා වූ පහ කරන ලද කෙළෙස් ඇති එක්තරා රහතන් වහන්සේ නමක් දැක හට ගන්නා ලද බලවත් ප්‍රීතියකින් යුතුව ‘මට මේ උත්තම වූ පින් කෙතක් පහළ වූයේ යැයි’ අනුභව කිරීම පිණිස තබා ගත් ආහාරයෙන් කොටසක් බලවත් ශ්‍රද්ධාවෙන් යුතුව පිඬු පිණිස වැඩියා වූ ඒ රහතන් වහන්සේට පිළිගැන්වූවාය. උන්වහන්සේද එය පිළිගෙන අනුමෝදනා කර ආපසු වැඩි සේක.

ඉක්බිති ඒ ගෘහපතිනිය ඒ උතුම් කුසල කර්මය පමණක්ම කොට නොබෝ කලකින්ම ආයුෂ කෙළවර මරණින් මත්තෙහි නිදා පිබිදියාක් මෙන් තව්තිසා දිව්‍ය භවනෙහි රන් විමානයක උපන්නීය. ඒ දිව්‍යාංගනාව මහත් වූ දිව්‍යානුභාවයෙන් බබළමින් උදාර වූ දිව්‍ය සම්පත් විඳිමින් නන්දන නම් උද්‍යානයෙහි හැසිරුණාය.

එසමයෙහි මුගලන් මහ තෙරුන්වහන්සේ දිව්‍යලෝකයට වඩින අතරතුර ඒ දිව්‍යාංගනාව දැක ඇය විසින් පෙර කරන ලද කුසල කර්මය ලෝකයා හමුවේ ප්‍රකාශ කරනු වස් තෙරුන්වහන්සේ විසින්,

එම්බා දෙව්දුව, යම් සේ ඕසධී තාරකාව සෙසු තාරකාවන් අබිභවමින් දස දිසා ඒකාලෝක කෙරේද, එමෙන්ම සෙසු දේවතාවන් අබිභවනය කොට නුඹගේ මහත් වූ රූප ශ්‍රී ශෝභාවෙන් ද ඡවි වර්ණයෙන් ද දස දිසා ඒකාලෝක කරමින් ජෝතිමත්ව බබළන්නාවූ ශරීර වර්ණයක් හා වස්ත්‍රාභරණ ආදී මෙබඳු සම්පත්තියක් පෙර මිනිස්ලොවදී කවර නම් කුසල කර්මයක් කොට ලබන ලද්දේ දැයි විචාරා වදාළ සේක.

ඉක්බිති ඒ දෙව්දුව, ‘ස්වාමීනි, මම පෙර ජාතියෙහි මෙම බුද්ධෝත්පාද කාලයෙහි මනුලොව ඉපිද එක්තරා කුළ ගෙදරක වාසය කරන ක‍ලෙක ක්ෂය කරණ ලද කෙළෙස් ඇති එක්තරා තෙරුන් වහන්සේ නමක් පිඬු පිණිස හැසිරෙන කල්හි (අනුභව කිරීම පිණිස තබා ගත් ආහාරයෙන් කොටසක්) දන් කොටසක් පූජා කළෙමි. ඒ පූජා කළා වූ ස්වල්ප දානමය කුසල කර්මය හේතුවෙන් මෙබඳු දිව්‍ය සම්පත්තියක් ලැබුවෙමි’ යැයි ප්‍රකාශ කළාය.

මේ ලෝකයෙහි කෙලෙස් සහිතව උපදනා පෘථග්ජන මිනිසා ස්වල්ප වූ ද, මහත් වූ ද දන් දෙන්නේය. ඒ දුන් ස්වල්ප දෙය හෝ මහත් දෙය හෝ යමක් දෙන ලද්දේ ද එය ගැන ආපසු හැරී ලෝභ සිතක් ඇති නොකර ගනීද, එයම දුෂ්කර කරුණක් වෙයි. යමෙක් ඒ දුෂ්කර කරුණ ඉටු කරයිද ඔහු දාන පාරමිතාව සම්පූර්ණ කර එය නිවනට යොමු වන ප්‍රධානම මාර්ගය බවට පත් කර ගනියි.

මේ අනුව පැහැදිලි වනුයේ දානය මේ ආත්ම භාවයේ සුරක්ෂිත භාවයටද මතු ආත්මභවයන්හි සුරක්ෂිත භාවයටත් සෘජුවම උපකාරි වන බවයි. නිවන් දැකීම පිණිස යන ගමනෙහි නිවන් දොරටුවෙහි ප්‍රධාන යතුර දානය බවයි.

සම්පාදකපූජ්යව පිටබැද්දර නිරෝධානන්ද හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය
නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk