ලෝක සත්ත්වයා කෙරෙහි පතළ මහා කරුණා මෛත්‍රී ඇති මහා පුරුෂයෝ කල්ප අනන්ත අපරිමාණ කාලයක් පෙරුම් දම් පුරා ලොව්තුරා සම්මා සම්බෝධියට පැමිණ ලෝ සතුන් සසර දුකින් එතෙර කොට නිවන්හි සතප්පවනු පිණිස අමා දම් බෙර වයත්. භගවතුන් ධරමාන කලදී කල්ප වෘක්ෂයක් සෙයින් විරාජමානව වැඩ වාසය කරන සසුන් තොමෝ භගවතුන් පිරිනිවි කල්හි වෘක්ෂයක පිළිල හටගනුයේ යම් සේද, එසේම නොයෙක් දෘෂ්ටි මතවාද ජාලයන්ගෙන් අනුපටිපාටියෙන් පිරිහී යන්නීය. එසේ පහළ වන්නාවූ ඒ ශාසන විරෝධී මතවාද ශාසන වෘක්ෂය පිරිහෙලන්නාහ. මෙසේ සසුන් තොමෝ ක්ෂීණව පන්දහසක් කල් ලෝ සතුනට දෙලෝ වැඩ සාදා අන්තර්ධාන වන්නීය. මෙකලද විවිධ වූ ශාසන මතවාද මතුව ඇත්තාහ. මේ එබඳු වූ මතවාද කිහිපයක ශාසන අනුකූල අනනුකූලතාව විමසනු සඳහා ලියන සටහනකි.
ඒ සම්ප්‍රදායික මතවාදයනට විරෝධීව නැගුණු නව මතවාද කිහිපයකි.

  1. අනිච්ච ද? අනිච්ඡද?

සංස්කාරයන්ගේ පොදු ලක්ෂණත්‍රය අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙත්, පාලියෙන් අනිච්ච දුක්ඛ අනත්ත වෙත් යන මෙය සාම්ප්‍රදායිකව පැමිණි දහම් මතයයි.
මෙහි අනිච්ච පදය,
න + ඉච්ඡ = අන + ඉච්ඡ = අනිච්ඡ
යයි විය යුතුය. ඉච්ඡා නම් කැමැත්තයි. කාමයන් කෙරෙහි ඇලීම් වශයෙන් උපදින ලෝභ සහගත සිත් සමූහය හෙවත් සංකල්ප සමූහය “අස්සාද” (ආශ්වාද) වෙත්. ඒ අස්සාදයෝ කැමති ලෙස නොපවත්නා හෙයින් “න ඉච්ඡාය”. ‘න’ යන්න‍ට ‘අන’ විරුද්ධාර්ථයෙහි පදය යෙදුණු විට,

න + ඉච්ඡා = අන + ඉච්ඡා = අනිච්ඡා යයි විය යුතුය යනු එබඳු එක් නව මතයකි

  1. ත්‍රිපිටක පාලියෙහි ”සබ්බං භික්ඛවේ අනිච්ච්ං”- ‘මහණෙනි, සියල්ල අනිත්‍යය’ ( සංයුක්ත නිකාය 04 -පි.62 – අනිච්ච සූත්‍රය ) යැයි දේශනා කොට තවත් තැනෙක ” ‘‘චත්‌තාරිමානි, භික්‌ඛවෙ, තථානි අවිතථානි අනඤ්‌ඤථානි. කතමානි චත්‌තාරි? ‘ඉදං දුක්‌ඛන්‌ති……….. ‘අයං දුක්‌ඛසමුදයො’ති……….‘අයං දුක්‌ඛනිරොධො’ති ………….. ‘අයං දුක්‌ඛනිරොධගාමිනී පටිපදාති ..……….” – ” මහණෙනි, මේ සතරක් සත්‍යය,නොවෙනස්වන සුළුය,අන් පරිද්දකින් නොවන සුළුය, කවර සතරෙක්ද යත්, මේ දුකය……මේ දුක් හේතුය…..මේ දුක් නැවැත්මය…….මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැයි…..” ( සංයුක්ත නිකාය 05-02 -පි.284 තථ සූත්‍රය) දේශනා කොට ඇතැයි දැක්වීමෙන් දහම් පරස්පරයක් මතුවෙන බවද තව මතයකි.
  2. “සබ්බං භික්ඛවේ අනිච්චං” යැයි දේශනා කොට තවත් තැනෙක “නාම ගොත්තං න ජීරති” -නාම ගෝත්‍ර නොදිරන්නේය ( සංයුක්ත නිකාය 01 -පි.80 – න ජීරති සුත්‍රය) යැයි දැක්වීම දහම් පරස්පරයකි. මක් නිසාද යත් සියල්ල අනිත්‍යය යැයි කියා පසුව නාම ගොත්‍ර නොදිරන බව කියන නිසාය.මෙයද නව මතයකි. “යදනිච්චං තං දුක්ඛං” (යමක් අනිත්‍ය නම් එය දුකය – අජ්ඣත්තානිච්ච සූත්‍රය – සංයුක්තනිකාය 04 – 02 පිටුව) යයි කියා “දුක්ඛාය වේදනාය විපරිණාමං සුඛං” (දුක් වේදනාව අනිත්‍යවීම සුවයකි – චූලවේදල්ල සූත්‍රය – මජ්ඣිමනිකාය 01 – 712 පිටුව) යයි කීම පරස්පරයකි.
  3. “ජරා මරණ අනිත්‍යය”යි කියා (සංයුක්තනිකාය 02 – පච්චය සූත්‍රය – 42 පිටුව) “ජීවිතං අනියතං මරණං නියතං” යයි කීම පරස්පරයකි.
  4. ඉහත 1, 2, 3, 4 යන කරුණු අනුව සියල්ල අනිත්‍යය යයි හෙවත් සියල්ල අස්ථිරය යයි යන අර්ථය ගත්‍ කල ධර්ම පරස්පරතා ඇති වන බැවින් “අනිච්ච” යන පදය නොව “අනිච්ඡ” යන පදය යොදා ගත යුතුය.

ඉහත දක්වන ලද නව මතවාද හා සම්ප්‍රදායික පෙල දහමෙහි එන කරුණු අතර ඇති මේ විවාදය පිළිබඳව මෙසේ විමසා බැලිය යුතුය.

සාම්ප්‍රදායික මතය තුළ අනිච්ච පදය සඳහා නිරුක්තිය
“නිච්චං නාම ධුවං. රූපං පන ඛණභංගිතාය යේන භංගේන න නිච්චන්ති අනිච්චං”.
නිච්චං නම් ධ්‍රැවය (ස්ථිරය). රූපය වනාහි ක්ෂණභංග බැවින් (ක්ෂණයක් පාසා බි‍ඳෙන බැවින්) යම් ඒ භංගයක් කරණය කොට නිත්‍ය නොවේද එහෙයින් “අනිච්චං” වේ.
(අර්ථය – පැරකුම්බා සන්නය සහිත විශුද්ධි මාර්ගය – බෙන්තර සද්ධාතිස්ස හිමිගේ සංස්කරණය – 1069 පිටුව)
මෙහි නිච්චං = ධුවං යන්න බක බ්‍රහ්ම සූත්‍රයෙහි (සංයුක්ත නිකාය 1 – 258 පිටුව) දැක්වේ. රූපය ක්ෂණභංග බව “අනිච්චං ඛයට්ඨේන” (පටිසම්භිදාමග්ග 1 – 68 පිටුව) යන සූත්‍රයෙහි දැක්වේ.දක්වන ලද සාධක සූත්‍රපාඨ අනුව ඉහත නිරුක්තිය  නිරවද්‍ය බව පැහැදිලිය. ඊට අමතරව අනිච්ච පදය සඳහා ත්‍රිපිටක පාලියෙහි එන අර්ථ විමසීම වැදගත්ය.

ත්‍රිපිටක පාලියෙහි අනිච්ච යන පදයෙහි අර්ථ

  • අනිච්චා වත සංඛාරා – උප්පාද වය ධම්මිනෝ
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති – තේසං වූපසමෝ සුඛෝ (සංයුක්තනිකාය 1 – පරිනිබ්බාණ සූත්‍රය – 284 පිටුව)සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සන්සිඳීම සුවය.මෙහි අනිච්ච පදය ඉපිද බි‍ඳෙන අර්ථයෙහි (උදයව්‍යාර්ථයෙහි) යෙදේ.
  • “රූපං අනිච්චං ඛයට්ඨේන” (පටිසම්භිදාමාර්ගය – මහාවග්ග – ඤාණකථා – 68 පිටුව) රූපය ක්ෂය වන බැවින් අනිත්‍යය. මෙහි ක්ෂය අර්ථයෙහි යෙදේ.
  • “සංඛතානං ධම්මානං විනාසග්ගහණ ලක්ඛණා අනිච්ච සඤ්ඤා. තස්සා උදයබ්බයෝ පදට්ඨානං” (පේටකෝපදේසය – ඡට්ඨ භූමි සුත්තත්ථ සමුච්චය – 164 පිටුව)

අනිත්‍ය සංඥාව සංඛත ධර්මයන්ගේ විනාශ ග්‍රහණ ලක්ෂණය. (විනාශ වීම දැකීම ලක්ෂණය.) ඊට උදයවය පදට්ඨාන (ආසන්න කාරණය) යි. මෙහි විනාශ අර්ථයෙහි යෙදේ.

  • “තත්ථ කතමා අනිච්ච සඤ්ඤා. සබ්බේ සංඛාරා උප්පාද වය ධම්මිනෝ’ති යා සඤ්ඤා සඤ්ජානනා වවත්ථපනා උග්ගහෝ අයං අනිච්ච සඤ්ඤා” (පේටකෝපදේසය – ඡට්ඨ භූමි සුත්තත්ථ සමුච්චය – 162 පිටුව) එහි අනිත්‍ය සංඥා කවරයත්, ‘සියලු සංස්කාරයෝ උත්පාදනය හා විනාශය ස්වභාව කොට ඇත්තාහ’. යයි යම් සංඥාවක් සංජානතා ආකාරයෙක් නිශ්චය කිරීමෙක් ගැනීමෙක් වේද මේ අනිච්ච සංඥාවයි. මෙහි උත්පාදන විනාශ අර්ථයෙහි දැක්වේ.
  • “රූපා අනිච්චා සංඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා, වයධම්මා, විරාගධම්මා, නිරෝධධම්මා’ති වවත්ථෙති” (පටිසම්භිදාමග්ග 1 – ගෝචරනානත්තඤාණං – 148 පිටුව) රූපයෝ අනිත්‍යයහ. ප්‍රත්‍යයෝත්පන්නයහ. ප්‍රතීත්‍යසමුප්පන්නයහ. ක්ෂය ස්වභාවයහ. ව්‍යය ස්වභාවයහ. විරාග ස්වභාවයහ. නිරෝධ ස්වභාවයහයි නිශ්චය කෙරේ.මෙහි ගෙවිගෙවී යන අරුතින් ක්ෂය ධර්මයහ. බිඳි බිඳී යන අරුතින් වැය ධර්මයහ. වෙන්වෙවී යන අරුතින් විරාග ධර්මයහ. නිරුද්ධ වෙවී යන අරුතින් නිරෝධ ධර්මයහ යනාදී වශයෙන් අනිච්ච පදය සඳහා අර්ථ සතරකි.

මේ කිසිදු තැනෙක “අනිච්ඡයට්ඨේන අනිච්ඡං”, එනම් කැමති ලෙස නොපවතින අර්ථයෙන් අනිච්ඡං යනුවෙන් දක්වා නැත. ඒ සෑම තැනකම දක්වා ඇත්තේ ක්ෂය වන අර්ථයෙන්, විනාශ වන අර්ථයෙන්, ඉපදීම් බිඳීම් අර්ථයෙන්, නිරුද්ධවීම් යනාදී අර්ථවලිනි.
“අනිච්ඡ” පදය තුළ ක්ෂය අර්ථය යනාදී අරුත් නොදැක්වෙන බැවින් ත්‍රිලක්ෂණය දැක්වීමේදී “අනිච්ඡ” යන්න සුදුසු නොවේ. එබැවින් ත්‍රිලක්ෂණය දැක්වීමට සුදුසුම හා නිවැරදිම පදය වන්නේ “අනිච්ච” යන්නයි.

චත්තාළීසාකාර මහා විපස්සනාව තුලට අනිච්ච අනිච්ඡ බහාලීම
නිවන් සාක්ෂාත් කරන ප්‍රතිපදාවේ ඉතාම වැදගත් පියවර වනුයේ විපස්සනා භාවනාවයි.එම නිසා පටිසම්භිදා මාර්ගයෙහි චත්තාලීසාකාර විපස්සනාවේදී අනිච්චානුපස්සනාව සඳහා  දක්වා ඇති පද භාවිතා කරමින් අර්ථ විමසිය යුතුය.
පටිසම්භිදාමාර්ගයෙහි අනිච්චානුපස්සනාව සඳහා පද නවයක් දක්වා ඇත. (පටිසම්භිදාමග්ග II – පි 236- 237) අර්ථකථාවන්හි පරියාය වශයෙන් දැක්වූ “අසාරක” පදය සමඟ පද දසයකි. ඒවා මෙසේය.

  • අනිච්චතෝ – ස්කන්ධ අනිත්‍ය වශයෙන්
  • පලෝක ධම්මතෝ – ස්කන්ධ ජරා ව්‍යාධි මරණයන්ගෙන් බි‍ඳෙන හෙයින්
  • චලතෝ – ස්කන්ධ ජරා ව්‍යාධි මරණයන්ගෙන් ද අෂ්ට ලෝක ධර්මයන්ගෙන්ද චලනය වන හෙයින්
  • පභංගු‍තෝ – ස්කන්ධ උපක්‍රමයෙන්ද ස්වභාවයෙන්ද භංගයට පැමිණෙන හෙයින්
  • විපරිනාම ධම්ම‍තෝ – ස්කන්ධ ජරා මරණ දෙකින් පෙළෙන හෙයින්
  • අසාරකතෝ – දුබලතාවයෙන් ගසක එළය මෙන් සුවයෙන් බිඳෙන බැවින්
  • විභව‍තෝ – ස්කන්ධ නිත්‍ය සුඛ සුභ ආත්ම සංඛ්‍යාත වැඩීම් නැති හෙයින්
  • සංඛතතෝ – ස්කන්ධ හේතු ප්‍රත්‍යයන්ගෙන් අභිසංස්කරණය වන හෙයින්
  • මරණ ධම්මතෝ – ස්කන්ධ මරණය ස්වභාව කොට ඇති හෙයින්
  • අද්ධුවතෝ – ස්කන්ධ ස්ථිර භාවයක් නැති හෙයින්

(පද සඳහා අර්ථ සපයාගැනීම – “විසුද්ධි මාර්ගය – මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි නිද්දේසය – 459 පිටුව)

මේ පද දසයම තුළ “කැමති ලෙස නොපවතින අරුතින් අනිච්ඡය යන අර්ථයක්නැත. තිබෙනුයේ කැඩෙන, බි‍ඳෙන, ගෙවෙන, අස්ථිර යනාදී අනිච්ච පදය හඟවන අරුත්ය.
ඉදින් පළමු පදය “අනිච්ඡතෝ” යයි යම් අයෙක් කිවහොත් එයට පිළිතුර මෙසේය. සමාන අර්ථ ඇති වචන සමූහයක් තුළ විෂම අර්ථයක් ඇති වචනයක් යොදන්නේ නැත. එය සිවුපා සතුන් ගොඩක් සිටින තැනකට දෙපා සත්ත්වයෙක් දමා, “මේ සියලුම සතුන් සිව්පා ලක්ෂණයෙන් සමානය” යයි කියන්නාක් මෙන් නොගැළපෙන දෙයකි. එමනිසා “අනිච්ඡ‍තෝ” යනුවෙන් පදයක් මෙහි නැතැයි දත යුතුය.

‘අනිච්ච’ යන්නට ‘අනිච්ඡ’ යෙදීමෙන් ධර්මාර්ථවලට වන බලපෑම
බක බ්‍රහ්ම සූත්‍රයෙහි (සංයුක්ත නිකාය 1 – 258 පිටුව) මෙසේ සඳහන් වේ. “ඉදං හි මාරිස නිච්චං, ඉදං ධුවං, ඉදං සස්සතං, ඉදං කේවලං, ඉදං අචවන ධම්මං, ඉදං හි න ජායාති, න ජීයති, න මීයති, න චවති, න උප්පජ්ජති”
“නිදුකාණෙනි, මෙය නිත්‍යය, මෙය ස්ථිරය, මෙය ශාස්වතය, මෙය කේවලය, මෙය චුත නොවන ස්වභාවය ඇත්තේය, මෙය නූපදී, නොදිරයි, නොමියේ, චුත නොවේ, නො හටගනී”
මෙහි ‘නිච්චං’ යන පදය ‘නිච්ඡං’ වුවහොත් එහි පද සන්ධිය මෙසේ දැක්විය යුතුය.

න + ඉච්ඡං = නිච්ඡං
එවිට බක බ්‍රහ්ම තෙමේ ඔහුගේ ලෝකය කැමති ලෙස පවතින්නක් නොවේ. (ඉදං නිච්ඡං) යයි කියා ඇත. එම අරුත මීළඟට කියන “මෙය ස්ථිරය, මෙය ශාස්වතය යනාදී පද අරුත් සමඟ නොගැළපේ. එසේම එයින් බක බ්‍රහ්මයාහට ලෝකය කැමති ලෙස නොපවතින බවට අවබෝධයක් තිබුණේය යන සාවද්‍ය කාරණය ද මතු වන්නේය. එමනිසා මෙතැන පදය “නිච්ඡං” ලෙස නොව “නිච්චං” ලෙස ගත යුතු යයි දත යුතුය.
එසේම “අනිච්ඡං” පදය හා “නිච්ඡං” පදය අතර ඇත්තේ සමාන අරුත් බව මෙසේ දත යුතුය.

‘න’ කාරයට ‘අන්’ ආදේශය භාෂා රීතිය බැවින්,
අන = න බැවින්,
අන + ඉච්ඡං = න + ඉච්ඡං

මන්ද යත් “අන” හා “න”පදයන් ගැනෙනුයේ විරුද්ධාර්ථය හඟවනු පිණිසය. එම නිසා ‘නිච්ඡ අනිච්ඡ’පද දෙකින්ම හඟවනුයේ “කැමති ලෙස නොපවතින” යන අරුත වේ.
එම සූත්‍රයෙහිම බක බ්‍රහ්මයාගේ ප්‍රකාශයට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පිළිතුර මෙසේය.

“අවිජ්ජා ගතෝ භෝ බ‍කෝ බ්‍රහ්මා, යත්‍රහි නාම අනිච්චඤ්ඤේව සමානං නිච්චන්ති වක්ඛති. අද්ධුවඤ්ඤේව සමානං ධුවන්ති වක්ඛති. අසස්සතඤ්ඤේව සස්සතන්ති වක්ඛති. අකේවලඤ්ඤේව සමානං කේවලන්ති වක්ඛති. චවනධම්මඤ්ඤේව සමානං අචවනධම්මන්ති වක්ඛති…….”

“පින්වත්නි, බක බ්‍රහ්මතෙමේ අවිද්‍යාවෙන් අන්ධ වූයේය. යමෙක් නම් අනිත්‍ය වූවක්ම නිත්‍ය යයි කියාද, අස්ථිර වූවක්ම ස්ථිර යයි කියාද, අශාස්වත වූවක්ම ශාස්වත යයි කියාද, කේවල නොවූවක්ම කේවල යයි කියාද, චුත වන ස්වභාව ඇත්තක්ම චුත නොවන ස්වභාවය ඇත්තේ යයි කියාද…….”

ඉදින් මෙහි “අනිච්චඤ්ඤේව සමානං නිච්චන්ති වක්ඛති” යන්නට “අනිච්ඡඤ්ඤේව සමානං නිච්ඡන්ති වක්ඛති” යනුවෙන් යෙදුවහොත් අනිච්ඡං = නිච්ඡං නිසා බුදුන් දේශනා කළ අර්ථය හා බක බඹු කියූ අර්ථය සමාන වන්නේය. එසේම බුදුහු වදාළ කරුණද අරුත් රහිත වන්නාහ. එබැවින් බඹු කියූ පදය නිත්‍ය අර්ථය දෙන “නිච්ච” පදය ලෙසත්, තථාගතයෝ දේශනා කළ පදය අනිත්‍ය අස්ථිර අර්ථය ගෙන දෙන “අනිච්ච” පදය ලෙසද ගත යුතුය.

නව මතවාදයන්හි වෙසෙසින් පුන පුනා කියන මේ  ‘අනිච්ඡ’ පදයෙහි සැබෑ අරුත් මොනවදැයි පෙළ දහමෙහි එන අවස්ථා කිහිපයක් පහත දක්වා ඇත.

අනිච්ඡ පදය පෙලෙහි යෙදී ඇති අර්ථ

  • “සෝ අනත්තන්ත‍පෝ අපරන්තපෝ දිට්ඨේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීතිභූ‍තෝ සුඛපටිසංවේදී බ්‍රහ්ම භූතේන අත්තනා විහරති.” (අංගුත්තරනිකාය – චතුක්කනිපාතය – තපසූත්‍රය – පිටුව 392)

හේ ආත්ම තාපන නොවූයේ පරතාපන නොවූයේ ඉහාත්මයෙහිම නිෂ්තෘෂ්ණා වූයේ (ඉච්ඡා රහිත වූයේ) කෙලෙස් පිරිනිවියේ සිහිල් වූයේ සුව විඳිනා සුළු වූයේ ශ්‍රේෂ්ඨ සිතින් වෙසෙයි.
මෙහි තෘෂ්ණා දුරු කිරීම් හෙවත් නිර්වාණ අර්ථයෙහි වේ.

  • “යං ධාතුකෝ අලෝභෝ අලුබ්භනා, අලුබ්භිතත්තං අනිච්ඡා අපත්ථනා අකන්තා අනජ්ඣෝසානං අයං අලෝභෝ” (පේටකෝපදේසය – සුත්තත්ථ සමුච්චය – 160 පිටුව)

යම් ස්වභාව වූ අලෝභයෙක් අලෝභකාරයෙක් අලුබ්ධ බවෙක් ආශා රහිත බවෙක් නොපැතීමෙක් නොකැමැත්තෙක් බැසගෙන නොසිටීමෙක් වේද මේ අලෝභයයි.
මෙහි ආශා රහිත බවෙහි හෙවත් අ‍ලෝභාර්ථයෙහි යෙදෙයි.

  • රථෝ සීලපරික්ඛාරෝ ඣානක්ඛෝ චක්ක වීරියෝ
    උපෙක්ඛා ධුර සමායි අනිච්ඡා පරිවාරණං

(සංයුක්ත නිකාය 5 – 1 – බ්‍රාහ්මණ සූත්‍රය – 10 පිටුව)

ආර්ය අෂ්ඨාංගික මාර්ගය නමැති රථය ශීලය අලංකාර කොට ඇත්තේද, ධ්‍යානය අකුර කොට ඇත්තේද, වීර්යය චක්‍ර කොට ඇත්තේද, උපේක්ෂාව ධුර සමත්වය කොට ඇත්තේද, අලෝභය ආවරණය කොට ඇත්තේද…….,
මෙහි අලෝභය යන අරුතෙහි යෙදේ.

‘අනිච්ච අනිච්ඡ’ පද දෙක පෙලෙහි එකට යෙදෙන තැනක්
සුඛ ජීවිනෝ පුරේ ආසුං භික්ඛු ගෝතම සාවකා
අනිච්ඡා  පිණ්ඩමේසනා අනිච්ඡා සයනාසනං
ලෝකේ අනිච්චතං ඤත්වා දුක්ඛස්සන්තං අකංසු තේ

(සංයුක්තනිකාය 1 – දේවපුත්ත සංයුක්තය – ජන්තු සූත්‍රය – 116 පිටුව)

පෙර ආශා රහිතව පිඬු සොයන ආශා රහිතව සෙනසුන් සොයන ගොයම් සව් වූ මහණහු සුඛ ජීවි වූහ. ඔවුහු ලොව අනිස් බැව් (අනිත්‍ය බව) දැන දුක් කෙළවර කළහ.
එකිනෙකට හාත්පසින්ම වෙනස් අර්ථ දෙකක යෙදෙන “අනිච්ච” සහ “අනිච්ඡ” යන පද දෙකක් ත්‍රිපිටක පාලියෙහි ඇති බව මෙයින් මනාව තහවුරු වේ.

මතවාද බිඳ හෙලීම

  • මේ දක්වන ලද සියලු කාරණා අනුව ත්‍රිපිටක අටුවා ටීකා සහිත වූ පෙල දහමට අනුව ත්‍රිලක්ෂණය දැක්වීමේදී යොදා ගත යුත්තේ “අනිච්ඡ” පදය නොව “අනිච්ච” පදය යන්න මොනවට පැහැදිලිය. එබැවින් ඉහත අංක 1 යන කරුණට අදාලව කිව යුත්තේ ත්‍රිලක්ෂණය දැක්වීමේදී අනිච්ච දුක්ඛ අනත්ත යනුවෙන් නිවැරදි ක්‍රමය යොදාගෙන දැක්විය යුතු බවයි.
  • ඉහත අංක 2 හි ත්‍රිපිටක පාලියෙහි ”සබ්බං භික්ඛ්වේ අනිච්ච්ං”- ‘මහණෙනි, සියල්ල අනිත්‍යය’ යැයි දේශනා කොට තවත් තැනෙක ” මහණෙනි, මේ සතරක් සත්‍යය,නොවෙනස්වන සුළුය,අන් පරිද්දකින් නොවන සුළුය, කවර සතරෙක්ද යත්, මේ දුකය……මේ දුක් හේතුය…..මේ දුක් නැවැත්මය…….මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැයි…..” ( සංයුක්ත නිකාය 05-02 -පි.284 තථ සූත්‍රය) දේශනා කොට ඇතැයි දැක්වීමෙන් දහම් පරස්පරයක් මතුවේය යන කරුණට අදාල පැහැදිලි කිරීම මෙසේය.

“සබ්බේ තසන්ති දණ්ඩස්ස (ධම්මපදය – දණ්ඩවග්ග – 56 පිටුව) යනු සියලු සත්ත්වයෝ දඬුවමට බයයි යන්නය. එසේ කී කල අනාගාමී අරිහත් උතුමන් දඩුවමට බියයි යන්න මෙයින් ගම්‍ය නොවේ.
එබැවින් සර්වඥයන් වහන්සේ ‘සබ්බේ’ යනපදය මෙහි යොදා ගත්තද, සබ්බේ යන පදයට සියල්ලන්ම ඇතුළත් වී නොමැත. එබැවින් මෙය සර්වඥ දේශනා විලාසය බව නුවණැත්තෝ දත යුත්තාහ.
එමෙන් “සබ්බං හික්ඛවේ අනිච්ච්ං.” යයි කී කල සියලු ධර්මයන්ම අනිත්‍ය යයි නොගනිත්. මෙහි නිර්වාණය ඇතුළත් නොවේ. නිවන නිත්‍යය. මේ දෙතැන්හිම ‘සබ්බේ’ යන පදයෙන් ඒ අදාළ කොට්ඨාසයෝ පමණක් ගැනෙත්.

ලෝකයෙහි දුකක් ඇති බව සදාතනික සත්‍යයකි. ඒ දුක හටගන්නා හේතුවක් ඇති බවද සදාතනික සත්‍යයකි. ඒ දුකින් මිදීමක් ඇති බවද සදාතනික සත්‍යයකි. ඒ දුකින් මිදීමට මගක් ඇති බවද සදාතනික සත්‍යයකි. මෙම සත්‍යයෝ සදාතනික වන්නාහ. මේ සම්මුතිය හෙවත් ප්‍රඥප්තිය පිළිබඳ කථාවකි.

පරමාර්ථ ව‍ශයෙන් දුක්ඛ ආර්ය සත්‍යය යනු ලෝභ චෛතසිකයත් ලෝකෝත්තර මාර්ගඵල සිත් හා තත් සම්ප්‍රයුක්ත චෛතසික ධර්මත් නිර්වාණයත් හැර ඉතිරි සියලු කුශලාකුශලව්‍යාකෘත ධර්මයෝය. ඒ සියලු ධර්මයෝ අනිත්‍යයහ. දුක්ඛයහ. අනාත්මයහ. පරමාර්ථ වශයෙන් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යනු ලෝභ චෛතසිකයයි. එය අනිත්‍යය. දුක්ඛය. අනාත්මය.පරමාර්ථ වශයෙන් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යනු අසංඛත ධාතු නිර්වාණයයි. එය නිත්‍යය. සුඛය. අනාත්මය.පරමාර්ථ වශයෙන් දුක්ඛනිරෝධගාමීනී පටිපදාව යනු ලෝකෝත්තර මාර්ග සිත් සතරෙහි යෙදෙන මාර්ගාංග අට දෙනය. එම මාර්ගාංගයෝ අනිත්‍යයහ. සුඛයහ. අනාත්මයහ. මෙහි සුඛය යැයි කියනුයේ කෙලෙසුන් ප්‍රහාණය කරවා ලොකෝත්තර සුඛය ලබා දෙන බැවිනි.

මේ ආර්යසත්‍යයන් අතුරින් නිරෝධ මාර්ග යන සත්‍යයෝ දෙදෙන අනිත්‍ය දුක්ඛ අනාත්මාදී වශයෙන් විපස්සනා කිරීමක් නැත්තාහ. මේ පරමාර්ථ කථාවය. පළමු කොට දැක්වූ ආර්ය සත්‍යයන්ගේ සදාතනික සම්මුති සත්‍යතාව සලකා බුදුහු “චත්තාරිමානි භික්ඛවේ තථානි අවිතථානි අනඤ්ඤථානි” යනාදීන් ආර්ය සත්‍යයන් “සත්‍යය, නොවෙනස් වන සුළුය. අන් පරිදි නොවන සුළුය” යයි දේශනා කොට වදාළාහු. සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය භාවය සළකා ““සබ්බං භික්ඛවේ අනිච්චං”  ‍යැයි දේශනා කොට වදාළාහු.  මෙකල මේ පරමාර්ථ ප්‍රඥප්ති කථාව වරදවාගත් ඇතැම්හු ඉහත 2 කරුණෙහි සඳහන් කළ පරිදි තර්ක කෙරෙත්. දක්වන ලද ක්‍රමයෙන් ඒ තර්කයෝ සාවද්‍ය යයි දත යුත්තාහ. මෙහි කිසිදු දහම් පරස්පරතාවයක් නැති බවද දත යුතුය.

  • ඉහත අංක 3 හි “සබ්බං භික්ඛවේ අනිච්චං” යි කියා නාම ගෝත්‍ර නොදිරන බව දැක්වීම (න ජීරති සූත්‍රය – සංයුක්ත නිකාය 01 – 80 පිටුව) පරස්පරයකි යන කරුණ පිළිබඳවද කිවයුත්තේද ඉහත කරුණ සඳහා දුන් පිළිතුරමය. නාම ගෝත්‍ර යනු නාම රූප ධර්ම සෙයින් විද්‍යමාන වන්නාවූ ධර්මයෝ නොවෙත්. ඒවා සම්මුති මාත්‍ර පමණි. ලොව තුළ විද්‍යමාන නොවන්නක් කෙසේ නම් අනිත්‍ය වේද? මේ සම්මුති මාත්‍රයෝ කෙතෙක් කල් ගියද නැවත නැවත පැනවිය හැකි බැවින් අනිත්‍යයෝය යි නොකියත්.

බුදුහු ද ජාතක දේශනාවන්හිදී “මම දීපංකර බුදුන් සමයේ සුමේධ වීම්” ආදී වශයෙන් අතීතයේ ඉපිද නිරුද්ධ වූ ඒ නාම රූප ධර්මයන් අරබයා සම්මුතිය සලකා පැමිණි පිරිසට දහම් දෙසන්නාහ. මේ නිසා ඒ අතීත වූ පුද්ගල සම්මුතිවලින් හඳුන්වන ලද නාම රූපයන් අතීතයේ නිරුද්ධ වී ගියත් නැවත නැවත ඒ නම් ගොත් ගෙන ඒ පුද්ගලයින් සිහි කොට මේ අසවලාය ආදී ලෙස ඒ නම් ගොත් නැවත නැවත භාවිතා කරන්නාහ. එබැවින් බුදුහු “නාම ගොත්තං න ජීරති” යනුවෙන් දෙසා වදාළහ.

එමනිසා ආර්ය සත්‍යයෝ වෙනස් නොවන සුළු යයිද, “නාම ගෝත්‍ර නොදිරයි”යි ද වශයෙන් කළ දේශනාවෝ සම්මුතිය සලකා කළාහු යයිද “සබ්බං හික්ඛවේ අනිච්ච්ං” යයි කළ දේශනාව පරමාර්ථය සලකා කළාහු යයිද දත යුත්තාහ. එබැවින් මෙහිද කිසිදු දහම් පරස්පරතාවක් නැති බවද දත යුතුය.

“යදනිච්චං තං දුක්ඛං” – යමක් අනිත්‍ය නම් එය දුකය  යයි කියා “දුක්ඛාය වේදනාය විපරිණාමං සුඛං” (දුක් වේදනාව අනිත්‍යවීම සුවයකි යයි කීම පරස්පරයකි යන කරුණට කිව යුත්තේ මෙසේය. “යදනිච්චං තං දුක්ඛං” (යමක් අනිත්‍ය නම් එය දුකය) යයි දේශනා කළේ සංස්කාරයෝ උදය ව්‍යය දෙකින් හෙවත් ඉපදීම් බිඳීම් දෙකින් පෙළෙන නිසාය. එමනිසා සංස්කාරයෝ පීළනාර්ථයෙන් දුක යයි දත යුත්තාහ.

“දුක්ඛාය වේදනාය විපරිණාමං සුඛං” (දුක් වේදනාවගේ වෙනස් වීම සුවය) යයි දේශනා කළේ වේදයිත ලක්ෂණයෙන් හෙවත් විඳීම් ලක්ෂණයෙන්ය. දුක්ඛ වේදනාවක් දිගින් දිගටම උපදියි නම් එය විඳීම අතිශයින් කටුකය. අසාතය. අමිහිරිය. එමනිසා එම දුක්ඛ වේදනාවගේ අභාවය “විඳීම් අරුතෙන්”සුවයකි. නමුත් සුඛ වේදනාව ද අනිත්‍ය හෙයින් දහම් පරියායෙන් සුඛවේදනාවද දුක්ඛය. අනාත්මය. මෙතැන “දුක්ඛ වේදනාවගේ විපරිණාමය සුවයි” කීවේ අභාවය සලකා යයි “යමක් අනිත්‍ය නම් එය දුකයි” කීවේ. පීලනාර්ථය සලකා යයිද දත යුත්තාහ. එමනිසා මේ තැන් දෙක්හි කිසිදු පරස්පරභාවයක් නැතැයි දත යුතුය.

  • ඉහත අංක 4 හි “ජරා මරණ අනිත්‍යය”යි කියා (සංයුක්තනිකාය 02 – පච්චය සූත්‍රය – 42 පිටුව) “ජීවිතං අනියතං මරණං නියතං” යයි කීම පරස්පරයකි යන කරුණ පිළිබඳව මෙසේ දත යුතුය.මහා සතිපට්ඨාන සූත්‍රයෙහි දේශනා කළ පරිදි ජරා යනු “ඉන්ද්‍රියානං පරිපාකෝ” යයිද මරණ යනු “ඛන්ධානං භේදෝ ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ” යයිද වෙත්. ඉන්ද්‍රිය පරිපාකය නම් චක්ඛු සෝත ආදී ඉන්ද්‍රියන්ගේ දුර්වලවීමයි. ඛන්ධානං භේදෝ යයි දේශනා කළේ පංචස්කන්ධ නිරෝධයයි. ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ යයි දේශනා කළේ ඒ භවයට අදාළ රූප ජීවිතේන්ද්‍රිය නාම ජීවිතේන්ද්‍රියන්ගේ සන්තතියෙහි නිරෝධයටය. මේ අනුව ජරා මරණ යයි කීවේ පරමාර්ථ වූ ලෞකික නාම රූප ධර්ම සමූහයකටය. ඒ නාම රූප ධර්මයෝ අනිත්‍ය හෙයින් පරියායෙන් ජරා මරණද අනිත්‍ය යයි කීම යුක්ති යුක්ත වේ.සෑම සත්ත්වයෙකුටම මරණය උරුමය. එබැවින් සෑම සත්ත්වයෙකුටම මරණය උරුම බව සදාතනික සත්‍යයකි. මේ මරණයේ උරුම බව නම් සම්මුති සත්‍යයකි. මරණය උරුම වනුයේ පරමාර්ථ  ධර්ම සමූහයක් වූද නාමරූප සංඛ්‍යාත වූද සම්මුති සත්තවයෙකුටය. එමනිසා “සියලු සත්ත්වයනට මරණයේ ඇති උරුම බව”නම් සදාතනික සත්‍ය සලකා තථාගතයෝ “ජීවිතං අනියතං මරණං නියතං” යයි දේශනා කොට වදාළහ. ඒ සම්මුති සත්‍යය සලකාය. මෙබඳු කරුණුවල ඇති සම්මුති පරමාර්ථ කතාව වරදවා නොගෙන ධර්මාර්ථ මතු කර ගැනීමට නුවණැත්තෝ සමත් විය යුත්තාහ.
  • ඉහත අංක 5 පිළිබඳව මෙසේය. ඉහතින් සාධනය කොට දැක්වූ පරිදි ත්‍රිලක්ෂණය දැක්වීමේදී “අනිච්ඡ” යන පදය යොදාගතහොත් ධර්ම පරස්පරතා ඇතිවන්නාහ. එමනිසා එහිදී “අනිච්ච” පදය යොදා ගත යුතුය යන්න ත්‍රිපිටක අටුවා ටීකා සංඛ්‍යාත නිර්වද්‍ය බුද්ධ මතයට අනුකූලව “සාධු සුට්ඨු” වන්නාහ, යහපත් නිවරදි වන්නාහ.

මේ ආකාරයෙන් දහම් අර්ථ මතු කර ගැනීමේදී ත්‍රිපිටක අර්ථකථා ටීකා ටිප්පණි සන්න ගැටපද සංග්‍රහ ග්‍රන්ථ සංඛ්‍යාත ස්ථවිරවාදය උපකාර කරගැනීමට අගතිගාමී නොවූ සත්පුරුෂයෝ වගබලා ගත යුත්තාහ. එසේ නොවූ කල දහම් අරුත් විනාශ වී නිර්වාණගාමී ප්‍රතිපදාව වැසී යන්නේය. “නස්සති වත භෝ ලෝකෝ විනස්සති වත භෝ ලෝකෝ” වන්නේය. බොහෝ සත්ත්වයන්ගේ ස්වර්ග මෝක්ෂ ආවරණය වන්නේය. එමනිසා සද්ධර්මස්ථිතිකාමී සුධීහු පෙල අටුවා බලා දහම් අරුත් ගෙන ආචාර්ය පරම්පරානුයාත නයින් සමථ විපස්සනා වඩා සියලු දුක් කෙළවර කොට සදාතනික සැප ඇති නිවනින් නිවී සැනසෙත්වා යයි මෛත්‍රී පූර්වාංගමව ආශිංසනය කරම්හ.

 -මහාවිහාරය වෙබ් අඩවිය වෙනුවෙනි –


DOWNLOAD AS PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය
නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk