ආනාපානසති භාවනාව වැඩීම පිළිබඳ බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වන අතර මහාසතිපට්ඨාන සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ.

“ඉධ භික්ඛවෝ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා, නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සෝ සතෝව අස්සසති. සතෝව පස්සසති. දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති. රස්සංවා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකාය -පෙ- පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං -පෙ- පස්සසිස්සාමීති සික්ඛති”

ආනාපානසති භාවනාවෙහි කායානුපස්සනා සතිපට්ඨානයට අයත් භාවනා කර්මස්ථාන සතර (04) මෙයින් සඳහන් වේ. සමථ භාවනාවක් වශයෙන් ආනාපානසති භාවනාව වැඩීමේදී මෙකී භාවනා කමටහන් සතර (04) අනුපිළිවෙළින් වඩා පිළිවෙළින් උපචාර අර්පණා සමාධි උත්පාදනය කළ යුතු වේ. එකී කර්මස්ථානයන් දේශනා කිරීමට ප්‍රථමයෙන් භාවනාවට පූර්ව සූදානම පළමුකොට දේශනා කරන ලදී. එහෙයින් “ඉධ භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝවා…….” යනාදිය වදාළ සේක.

මෙහිදී ‘අරඤ්ඤගතෝවා…..’ යනාදියෙන් භාවනාවට සුදුසු පරිසරය දේශනා කරන ලද ‍සේක. හුදෙක් ආරණ්‍යගතවීම එහිලා වදාරන ලද නමුත් ඉන් අදහස් කරනු ලබන්නේ පළිබෝධයන්ගෙන් තොර විවේකී පරිසරයකි. ජනසම්බාධස්ථාන, නිතර ඝෝෂාව ඇති පරිසරය භාවනාවට අයෝග්‍ය වේ. එහෙයින් එවන් බාධක සහිත පරිසරයකින් වෙන්ව කාය විවේකය සපයා ගත යුතු බව පළමු කොටම දැක්වේ. එම කාය විවේක සහිත කවර ස්ථානයක් වුවද ආනාපානසති භාවනාව වැඩීම සඳහා යෝග්‍ය වේ.

ඉක්බිති භාවනාවට සුදුසු ඉරියව්ව ප්‍රකාශ කරමින් “නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා…..” යනාදිය වදාළ සේක. සෙසු භාවනා කමටහන් වැඩීම සඳහා නිශ්චිත ඉරියව්වක් නියමිතව නැති නමුදු ආනාපානසති භාවනාව සඳහා විශේෂයෙන් පළඟක් බැඳගෙන, කය ඍජුව තබා වාඩිවීමට අනුදැන වදාරා ඇත්තේය. මෙහිදී බද්ධපර්යංකයෙන් වාඩිවීම වඩාත් ප්‍රශස්ත වේ. එසේ නොහැකි අය පහසු ආකාරයට, වැඩි වේලාවක් එක් ඉරියව්වකින් සිටිය හැකි පරිදි වාඩි විය යුතු වේ. බිම හිඳ ගැනීම අපහසු අය වඩා උස නැති අසුනක කය ඍජුව තබාගෙන වාඩි වීමේද වරද නැති. පිට කොන්ද යමකට හේත්තු කර ගැනීම එතරම් සුදුසු නොවේ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ උපරිම කය ඍජුව තබා ගැනීම වේ. ඕනෑම පුද්ගලයකුගේ පිට කොන්දේ කොඳු ඇට 18ක් ඇති අතර ඒ එකිනෙකක් එකක් මත පිහිටන ලෙස කොන්ද කෙළින් තබා ගත් විට බොහෝ වේලාවක් එක් ඉරියව්වකින් සිටිය හැකි බැවින් එසේ සිටීම යෝග්‍ය වේ. තවද ආනාපානසතිය අරඹන ආධුනික යෝගාවචරයාගේ හුස්මරැල්ල ගැටෙන තැන හසුකර ගැනීමටද මෙය වැදගත් වේ. එතකුදු වුවත් භාවනාව හොඳින් වර්ධනය වූ පසු ඕනෑම ඉරියවුවකින් මෙම ආනාපානසති භාවනාව කළ හැකි වේ. ආරම්භයේදී කියන ලද ආකාරයෙන් පළඟක් බැඳගෙන උඩුකය ඍජුව තබා ගෙන ඇරඹිය යුතු වේ.

මෙසේ වාඩි වූ යෝගාවචරයා ඉක්බිති තම සිහිය හුස්මරැල්ල කෙරෙහි යොමු කළ යුතු බව ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්වා’ යැයි වදාරන ලද සේක. එසේ කර්මස්ථානාභිමුඛව සිහිය පිහිටුවාගෙන ඉනික්බිති ආනාපානසති භාවනාවේ පළමු කර්මස්ථානය වැඩීම “සෝ සතෝව අස්සසති, සතෝ පස්සසති” යැයි වදාළ සේක.

පියවර 01 – සතෝව අස්සසති, සතෝ පස්සසති
මෙය ආනාපානසති භාවනාවේ පළමු පියවරයි. ඒ අනුව හුස්ම රැල්ල ගැටෙන නාසිකාග්‍ර කෙළවර හෝ උඩු තොලග සිහිය එළවා තබාගෙන සිහියෙන්ම ආශ්වාස ප්‍රශ්වාස කළ යුතු වේ. මෙහිදී සිහිය තබා ගැනීම පහසුව පිණිස ආශ්වාස රැල්ල නාසිකාග්‍රයේ ගැටීමේදී ‘ගනිමි’ යැයි ද ප්‍රශ්වාස රැල්ල නාසිකාග්‍රයේ ගැටීමේදී ‘හෙළමි’ යැයි ද මෙනෙහි කිරීම යෝග්‍ය වේ.

වැදගත් – ආශ්වාස – ප්‍රශ්වාස මෙනෙහි කිරීමේදී හුස්මරැල්ල ගැටෙන තැන පමණක් සිහිය තබා ගත යුතු වේ. ශරීරාභ්‍යන්තරයට සිත ගෙන නොයා යුතුය. එසේ ශරීරාභ්‍යන්තරයට සිත ගෙන යාමෙන් සිත විසිරේ. සමාධියක් ඇති නොවේ.

ආරම්භයේදී නාසිකාග්‍ර දෙකෙන්ම දැනෙන හුස්මරැල්ල සිත සමාධිමත් වීමත් සමඟ එක් නාසිකාග්‍රයට බර වේ. එවිට එසේ එක් නාසිකාග්‍රයක පමණක් දැනෙන හුස්මරැල්ල සිත එතැනම තබාගෙන මෙනෙහි කළයුතු වේ.

කකචූපම උපමාව (හරස් කියතේ උපමාව)
හරස් කියතකින් හෝ මහකියතකින් දැව කඳක් ඉරීමේදී පළමුව ඒ දැව ක‍ඳේ දැලි නූලකින් කෙළින් ඉරක් ඇඳ ගනී. ඉක්බිති ඒ දැවකඳ ඉරන වඩු මහතා කියත් දැතිවලින් කැපෙමින් පවතින තැනම බලාගෙන ඉරීම සිදු කරයි. දැලි නූල් ඉර ඔස්සේ කැපෙන දැවකඳ එසේ කැපෙන තැනම බලාගෙන ඒ ඉර ඔස්සේ කැපීමේදී කෙලින්ම කැපිය හැකි වේ. යම් හෙයකින් ඒ වඩු මහතා අන් තැනක් බලන්නේද, නිසි පරිදි කෙලින් කැපීමට නොහැකි වේ.

මෙසේම ආනාපානසතිය වඩන යෝගාවචරයාද හරියට දැවකඳක් දැලි නූල් ඉර ඔස්සේ කියතෙන් කපන වඩුමහතා ඒ කියත් දැති ඉහළ පහළ යන තැනම බලාගෙන දැවකඳ ඉරන්නාක් මෙන් හුස්මරැල්ල ඉහළ පහළ යන නාසිකාග්‍රයෙහි හෝ උඩුතොලගම සිත තබාගෙන ඉහළ පහළ යන හුස්මරැල්ල මෙනෙහි කළ යුතු වේ. මෙසේ ඉහළ පහළ යන හුස්මරැල්ල මෙනෙහි කිරීමේදී එය හොඳින් ප්‍රකට වේ. එසේ හොඳින් ප්‍රකට වූ කර්මස්ථාන ඇති යෝගාවචරයා දෙවන කර්මස්ථානය ඇරඹිය යුතු වේ.

පියවර 02 – දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තෝ -පෙ- රස්සංවා      -පෙ-
යථෝක්ත පළමු කමටහන වඩන ලද යෝගාවචරයාහට එය වඩාත් මැනවින් ප්‍රගුණ වූ පසු දෙවන කමටහනට යොමු විය යුතු වේ. එහිදී හුස්මරැල්ල කෙරෙහි වන සිහිය තවත් තීව්‍ර කරමින් හුස්මරැල්ලේ පරතරය හෙවත් දිග කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.

මෙහිදී හුස්මරැල්ලේ දිග යනු නාසිකාග්‍රයෙහි ගැටෙමින් පවතින කාලයයි. ඉහළට ගන්නා ආශ්වාස රැල්ල යම් කාලයක් නාසිකාග්‍රයේ ගැටෙමින් ඉහළට ගනීද එම කාලය ආශ්වාස රැල්ලේ දිගයි. එසේම ප්‍රශ්වාසයේ දිගද දත යුතු.

පළමුව යෝගාවචරයා විසින් හුස්මරැල්ලේ සාමාන්‍ය දිග කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. එසේ සාමාන්‍යයෙන් හුස්මරැල්ලක දිග මැනගන්නා යෝගාවචරයා ඉක්බිති ඊට වඩා වැඩි දිගකින් හෝ අඩු දිගකින් යුතු හුස්මරැලි කෙරෙහි අවධානයෙන් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි සිහියෙන් සිටිය යුතු වේ.

මෙහිදී සාමාන්‍ය ආශ්වාස ප්‍රශ්වාස රැල්ලකට වඩා වැඩි දිගකින් යුතු හුස්මරැල්ලකදී ‘දිග හුස්මක්’ යන අවබෝධයට පැමිණිය යුතු වේ. සාමාන්‍ය හුස්ම රැල්ලකට වඩා කෙටි පරතරයක් ඇති හුස්මරැල්ලකදී ‘කෙටි හුස්මක්’ යන අවබෝධයට පැමිණිය යුතු වේ.

වැදගත් :- මෙහිදී වචනයෙන් ‘දිග – කෙටි’ යනුවෙන් මෙනෙහි කිරීමක් නොකළ යුතු වේ. එය හුදෙක් දිග කෙටි යන අවබෝධය ඇති කර ගැනීම පමණකි. දිග ආශ්වාස රැල්ලකදී තමා දිගු ආශ්වාසයක් කළ බව තේරුම් ගනී. දිගු ප්‍රශ්වාසයකදී ඒ බව තේරුම් ගනී. වචනයෙන් මෙනෙහි කිරීමට යාම සිතෙහි විසිරීමට හේතු වේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ “දීඝං වා…..රස්සං වා…..අස්සසිස්සාමීති සික්ඛති, …. පස්සසිස්සාමීති සික්ඛති” යැයි වදාළ සේක.

මෙසේ ආශ්වාස ප්‍රාශ්වාසයේ කාලය හෙවත් දිග කෙරෙහි අවධානය තබාගෙන ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි සිහිය පිහිටුවීමෙන් සිත වඩාත් සමාධිමත් වේ. අවධානය තීව්‍ර වේ. එවිට ක්‍රමක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස සන්සි‍ඳෙන්නට පටන් ගනී. එසේම සන්සිඳුණු සිතින් යුතුව කුසලාරම්මණයක පිහිටුවීමෙන් පිරිසිදු වන ශරීරයේ රුධිරය මුළු ශරීරය පුරා ගමන් කිරීමෙන් කය ද සැහැල්ලු වී පුදුමාකාර සන්සිඳීමකට පත් වේ. එහෙයින්ම යෝගාවචරයා හට තව තවත් භාවනාවෙහි යෙදීමට කැමැත්ත ඇති කරවන කත්තුකම්‍යතා කුසලච්ඡන්දය ඇති වේ.

තවදුරටත් ඡන්දයෙන් යුතුව ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි සිත පිහිටුවාගෙන ඉදිරියටත් කමටහන වඩන යෝගාවචරයාගේ ආශ්වාස ප්‍රශ්වාසාරම්මණය සූක්ෂම මෙන්ම ශාන්ත වීම හේතුවෙන් ප්‍රමෝද්‍ය හෙවත් තරුණ ප්‍රීතිය උපදී. ඒ ප්‍රීතියෙන් යුතුව තවදුරටත් ආශ්වාස ප්‍රශ්වාසයෙහි දිග කෙරෙහි අවධානය තබාගෙන කමටහන වැඩීමෙන් ආශ්වාස ප්‍රශ්වාස තවදුරටත් සියුම් බවට පත්ව සෙවිය යුතු ආකාරයට පැමිණේ. මෙහිදී යෝගාවචරයා තම කමටහන අතනොහැර වඩමින් ඊළඟ පියවරටද යොමු විය යුතු වේ.

පියවර 03 – සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති -පෙ- පස්සසිස්සාමීති සික්ඛති
සකල ආශ්වාස ප්‍රශ්වාස කායයාගේ මුල, මැද, අග ප්‍රකට කරගෙන සිහියෙන්, නුමුළාව, නුවණින් යුතුව ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි සතිය පිහිටුවීම මෙහිදී කළ යුතු වේ. මෙහිදී ‘කාය’ යන වචනයෙන් අදහස් වන්නේ ‘ආශ්වාස ප්‍රශ්වාස කය’ හෙවත් හුස්මරැල්ලයි. එය යෝගාවචරයාගේ ශරීරය හෙවත් රූපකාය ලෙස වරදවා ගත යුතු නොවේ. ඒ අනුව මෙම පියවරේදී හුස්මරැල්ලේ මුල සිට අග දක්වා සිත පිහිටුවා ගැනීම විනා යෝගාවචරයාගේ සකල කය කෙරෙහි බැලීමක් අදහස් නොවන්නේමය.

වැදගත් – ආශ්වාස ප්‍රශ්වාසයාගේ මුල,මැද, අග ප්‍රකට කර ගැනීම යන්නේ ආශ්වාස ප්‍රශ්වාස හටගන්නා නාසිකාග්‍රය, හදවත, නාභිය යන මුල, මැද, අග ස්ථාන බැලීමක් අදහස් නොවේ. එසේ සිත රැගෙන යාමෙන් සිත විසිරී කයත් සිතත් දරථ වන බව ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් පටිසම්භිදාමග්ගපාළියෙහි මෙසේ වදාරා ඇත්තේය.

“අස්සාසාදිමජ්ඣපරියෝසානං සතියා අනුගච්ඡතෝ අජ්ඣත්තං වික්ඛේපගතෝ චිත්තේන කායෝපි චිත්තෝපි සාරද්ධා ච හොන්ති. ඉඤ්ඡිතා ව. ඵන්දිතා ච.පස්සාසාදිමජ්ඣපරියෝසානං -පෙ-”

එබැවින් ‘සබ්බකාය පටිසංවේදී’ යන මෙම පියව‍රේදී යෝගාවචරයා තම ශරීර කය මෙනෙහි කිරීමක් හෝ ආශ්වාස ප්‍රශ්වාස හටගන්නා ස්ථාන මුල මැද, අග වශයෙන් නාසිකාග්‍රය, හදවත, නාභිය මෙනෙහි කිරීමක් හෝ නොකළ යුත්තේමය. එයින් සිත විසිරීමට පත් වන අතර සමාධිය ඇති නොවේ.

මෙහිදී යට කියන ලද කියතේ උපමාව මතක් කර ගත යුතු වේ. රුක් කඳක් ඉරන වඩු මහතකු කියතේ දැතිවලින් දැවකඳ ඉරමින් පවතින තැන පමණක්ම බලා සිටී. එලෙසින් ආනාපානසතිය වඩන යෝගාවචරයා ද අන් තැනක් නොබලා හුස්මරැල්ල ගැටෙන නාසිකාග්‍රයම බලා සිටිය යුතු වේ. එසේ බලා සිටිමින් හුස්මරැල්ල හෙවත් ආශ්වාස ප්‍රශ්වාස කයෙහි මුල මැද අග කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.

ආශ්වාස ප්‍රශ්වාස කයෙහි මුල මැද අග මෙනෙහි කිරීම යනු කුමක්ද? එනම් නාසිකාග්‍රයේ හෝ උඩු තොලගේ ගැටෙන හුස්මරැල්ල එහි ගැටීම ඇරඹීම, ගැටෙමින් පැවතීම හා ගැටී අවසන් වීමයි. ආශ්වාස හුස්මරැල්ල ඉහළට ගැනීමේදී නාසිකාග්‍රයේ ගැටීම ඇරඹීම එහි මුලයි. ගැටෙමින් ඉහළට ගැනීම මැදයි. ඉහළට ගෙන අවසන් වීම හෙවත් ගැටී අවසන්වීම අගයි. ප්‍රශ්වාස හුස්මරැල්ලද පහළට හෙළීමේදී නාසිකාග්‍රයේ ගැටීම ඇරඹීම මුලයි. ගැටෙමින් පැවතීම මැදයි. ගැටී අවසන් වීම අගයි. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස රැල්ලේ මුල මැද අග යන තුන් තැනම අවධානය තබාගෙන ආනාපානසතිය වැඩීමෙන් මුළු ආශ්වාස ප්‍රශ්වාසයම සිහිනුවණින් යුතුව බලා සිටියා වෙයි.

ඉහත කියත් උපමාවෙහි වඩු මහතා දැවකඳ ඉරීමේදී කියතේ මුල් කොටසේ දැතිවලින් කැපෙන විට මුල් කොටස බව දැන ගනී. මැදදී ඒ බවද අග දැතිවලදී ඒ බවද දැන ගනී. එහෙත් ඔහු බලා සිටින්නේ කියත් දැතිවලින් දැවකඳ ඉරෙන තැන පමණි. එලෙසින් යෝගාවචරයාද නාසිකාග්‍රයේ පමණක් සිත තබා ගෙන ආශ්වාස ප්‍රශ්වාස හුස්මරැල්ලේ මුල මැද අග කෙරෙහි අවධානයෙන් සිහිනුවණින් කමටහන වැඩිය යුතු වේ.

පියවර 04 – පස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්ඛති. -පෙ- පස්සසිස්සාමීති සික්ඛති
ආශ්වාස ප්‍රශ්වාස කායයාගේ මුල මැද අග යන සියලු තැන්හි අවධානය තබා ගත් යෝගාවචරයාගේ සිතත් කයත් වඩාත් සන්සිඳීමට පත් වේ. කර්මස්ථානය ආරම්භ නොකළ කල්හි සිතත් කයත් දරථ  සහිත වේ. එහෙත් භාවනාව කරන්නට කරන්න‍ට සිත කය දෙකම සන්සි‍ඳේ. ශාන්ත වේ. එහෙයින් හුස්මරැල්ල වඩාත් සන්සිඳීමට පත් වේ.

උදාහරණයක් ලෙස වෙහෙස වී දිව ආ පුද්ගලයකුගේ ආශ්වාස ප්‍රශ්වාසය ඕළාරික වේ. නාසය ප්‍රමාණවත් නොවී මුවිනුදු ආශ්වාස ප්‍රශ්වාස කළ යුතු වේ. එහෙත් ඔහු විවේක ගත් විට ඒ හුස්මරැල්ල සන්සිඳීමට පත්ව නොදැනෙන තත්ත්වයක් ඇති වේ. එසේම කර්මස්ථානය වැඩීමත් සමඟ සිහිය වැඩි දියුණුවීමේදී ආශ්වාස ප්‍රශ්වාස හුස්මරැල්ල වඩ වඩාත් සන්සිඳීමට පත් වේ. තමාගේ හුස්මරැල්ල නොපවතින මට්ටමකට සියුම්ව නොදැනී ගියාක් මෙන් වේ.

වැදගත් – ආශ්වාස ප්‍රශ්වාස සන්සිඳී නැතිව ගියාක් මෙන් දැනුණද භාවනාව නොනැවැත්විය යුතු. අඩු තරමේ කය එහා මෙහා කිරීමක්, ඉරියව් වෙනස් කිරීමක් හෝ නොකර වඩාත් අවධානය යොමුකරමින් බලා සිටිය යුතු වේ.

මෙහිදී යෝගාවචරයා ආශ්වාස ප්‍රශ්වාසය ඇති තැන, නැති තැන කොතනද, කවරකු වෙතද යන්න ප්‍රත්‍යවේක්ෂා කළ යුතු වේ. ඒ අනුව පුද්ගලයන් සත් දෙනෙක් වෙත ආශ්වාස ප්‍රශ්වාස නොපවතී. මව්කුස තුළ, දියේ ගිලුණු කළ, සිහිසුන් අයට, මළ අයට, චතුර්ථධ්‍යානයට සමවැදුන අයට, රූපාරූප බඹලොව උපන් අයට, නිරෝධ සමාපත්තියට සම වැදුන අයට යන සත්දෙනාට ආශ්වාස ප්‍රශ්වාස නොමැති අතර තමන් එවැන්නකු නොවන බැවින් තම ආශ්වාස ප්‍රශ්වාස ඒකාන්තයෙන්ම පැවතිය යුතු බව මෙනෙහි කළ යුතු වේ. තමාගේ සිහිය තියුණු නොවීම නිසාම ආශ්වාස ප්‍රශ්වාසය ප්‍රකට නොවන බව සිහි කරගෙන එය කෙරෙහි සිහිය පැවැත්විය යුතු වේ.

එබැවින් භාග්‍යවතුන් වහන්සේ
“නාහං භික්ඛවේ මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ආනාපානසති භාවනං වදාමි” යැයි වදාළ සේක.

සෙසු සියලු කර්මස්ථාන වඩත් වඩත්ම අරමුණ ප්‍රකට වේ. එහෙත් මෙම ආනාපානසති කර්මස්ථානය බුදු,පසේබුදු බුද්ධපුත්‍ර මහාපුරුෂයන්ගේම මනසිකාර භූමිය බැවින් ගරුකය. ළාමක නොවේ. ළාමක සත්ත්වයන් විසින් සේවනය කළ නොහැකි වේ. එහෙයින් මනසිකාර කරත් කරත්ම සියුම් වේ. ශාන්ත වේ. බලවත් සතියද, ප්‍රඥාවද ඇති කළ පමණක්ම ප්‍රකට වේ.

වැදගත් – තම හුස්මරැල්ල සන්සිඳුණු කළ යෝගාවචරයා එය සෙවීමට වෙනත් තැන්වලට සිත ගෙන යා යුතු නොවේ. ප්‍රකෘතියෙන් හුස්ම ගැටෙන නාසිකාග්‍රයේම සිත තබාගෙන කමටහන වැඩිය යුතු වේ.

 

මෙසේ ප්‍රකෘතියෙන් ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන නාසිකාග්‍රයේ හෝ මුඛ නිමිත්තේ සිත තබාගෙන සන්සිඳුණු ආශ්වාසය ප්‍රශ්වාසය හෙවත් කාය සංස්කාරය කෙරෙහි අවධානය තබාගෙන ආශ්වාස ප්‍රශ්වාස කිරීම “පස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සාමීති” යන අදියරේදී කළ යුතු වේ. මෙසේ ප්‍රකාතියෙන් ආශ්වාස ප්‍රශ්වාසය පවතින නාසිකාග්‍රයේ අවධානයෙන් සිටීම පිළිබඳව වඩාත් අවබෝධය පිණිස ගොපල්ලාගේ උපමාව සිහි කර ගත යුතු වේ.

නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ හැරි ගවයන්ගෙන් එකතු නැති වූ කළ නුවණැති ගොපල්ලා රැහැන් කෙවිටි ගෙන වල් වැදීම නොකරයි. හෙතෙම සෑම දිනම ගවයන් පැන් බීමට පැමිණෙන දිය කඩිත්ත ළඟ රැකවල්ලා සිටී. එසේ සෑම දිනම ගවයන් පැමිණෙන පැන්තොටෙහි රැකවල්ලා සිටින ගොපල්ලා මෙන් ආනාපානසති භාවනාව වඩන යෝගාවචරයාද, ප්‍රකෘතියෙන් හුස්මරැල්ල ගැටෙන තැනම සිත තබාගෙන සන්සිඳුණු හුස්මරැල්ල බලාගෙන තම සිහිය තවත් ද්විගුණ තෙගුණ කරනවිට නැවතත් හුස්මරැල්ල ප්‍රකට වේ.

මෙසේ වැටහෙන ආශ්වාස ප්‍රශ්වාසය නුවණින් නැවත නැවත මෙනෙහි කිරීමෙන් යෝගාවචරයාට ආනාපානසති භාවනාවෙහි උද්ග්‍රහ නිමිති, ප්‍රතිභාග නිමිති ප්‍රකට වේ.

මෙම උද්ග්‍රහ නිමිති සහ ප්‍රතිභාග නිමිති එකිනෙක යෝගාවචරයාගේ සංඥා නානාත්වය මත වෙනස්ව වැටහේ. ඇතමෙකුට උද්ග්‍රහ නිමිත්ත කපු පුළුන්රොදක් මෙන්ද ඇතමෙකුට හිඹුල් පුළුන්රොදක් මෙන්ද, මීදුම් පටලයක් මෙන්ද, වාත ධාරාවක් මෙන්ද වැටහේ. ප්‍රතිභාග නිමිත්ත ද ඇතමෙකුට මැණිකක්, මුතු ඇටයක්, කපු ඇටයක්, මල් දමක්, වළාපටලයක්, නෙළුම් මලක්, රථ චක්‍රයක්, සඳමඩලක්, හිරුමඬලක් යනාදී ලෙස විවිධාකාරයෙන් වැටහේ. මෙසේ උද්ග්‍රහ, ප්‍රතිභාග නිමිති පහළවීම යෝගාවචරයාගේ අපූර්වතම අත්දැකීම බවට පත් වේ.එතැන් පටන් එකී නිමිත්තෙහි සිත තබා භාවනාව කළ යුතු වේ.

මෙහිදී පළමුව උද්ග්‍රහ නිමිත්ත ප්‍රකට වන අතර ඉන් ඉක්බිති ප්‍රතිභාග නිමිත්ත ප්‍රකට වේ. මෙම නිමිත්ත සහ ආශ්වාසය ප්‍රශ්වාසය යන තුන් ධර්මයන් නැති යෝගාවචරයා හට අර්පණා සමාධි, උපචාර සමාධි ඉපදවිය නොහැකි බව මෙසේ පැවසේ.

“නිමිත්තං අස්සාස පස්සාසා අනාරම්මණමේක චිත්තස්ස
අජානතෝච තයෝ ධම්මේ භාවනා නූපලබ්භති”

මෙතැන් පටන් එකී ප්‍රතිභාග නිමිත්තෙහි සිත තබාගෙන ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සතියෙන් යුතුව භාවනා කිරීමෙන් යෝගාවචරයා එතෙක් විඳි අපූර්වතම අත්දැකීම වන අර්පණා සමාධියට සිත පත් වේ. අධ්‍යාත්මික සන්තානයෙහි නීවරණ විෂ්කම්භනය වීම හේතුවෙන් මෙසේ සිත අර්පණාගත වේ. එනම් ප්‍රථමධ්‍යානයට සිත පත් වේ.

නිමිත්ත රැකගැනීම
ආනාපානසතිය වැඩීම හේතුවෙන් සන්තානයෙහි නීවරණ ධර්ම විෂ්කම්භනය වී නිමිත්ත පහළවීමෙන් පසු යෝගාවචරයා ඒ නිමිත්ත වඩාත් හොඳින් රැකබලා ගත යුතු වේ. ඒ අනුව එය වර්ණ වශයෙන් හෝ ලක්ෂණ වශයෙන් හෝ මෙනෙහි නොකොට සක්විති දරුගැබක් රකින්නා වූ සක්විති රාජදේවියක් සේ රැකගත යුතු වේ. ඒ සඳහා අසත්ප්‍රාය සෙනසුන් ආහාර ආදිය දුරු කොට සත්ප්‍රාය සෙනසුන් ආදිය සේවනය කළ යුතු වේ. හුදු නිමිත්තෙහි සිත තබාගෙන කමටහන වැඩීම හැර ඒ නිමිත්ත පිළිබඳ පරීක්ෂා කිරීම් නොකළ යුතු වේ. එසේ කමටහන වැඩීමෙන් නිමිත්ත ශක්තිමත් වේ.

අර්පණාගත වීම
මෙසේ ප්‍රතිභාග නිමිත්තෙහි සිත තබාගෙන ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කිරීමෙන් ශක්තිමත් වන නිමිත්තත් සමඟ සිත එක්වීම් වශයෙන් යෝගාවචරයාගේ සන්තානයෙහි විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්ගතා යන ධ්‍යානාංගයන්ගෙන් යුත් ප්‍රථමධ්‍යාන චිත්තය එක්වරක් ඉපිද නිරුද්ධ වේ. එය යෝගාවචරයාගේ සිත අර්පණාගත වීමයි. ඉක්බිති යළි යළිත් පරිකර්ම වශයෙන් කමටහන වැඩීම මඟින් ඒ අර්පණා චිත්තය පුරුදු පුහුණු කරගෙන ආවජ්ජන, සමාපජ්ජන, අධිට්ඨාන, වුට්ඨාන, පච්චවෙක්ඛණ යන පංච වශීතාවයන්ගෙන් වශී බවට පත් කරගෙන සෙසු දුතිය, තතිය, චතුර්ථධ්‍යානයන් ද ඉපදවිය යුතු වේ. ඒ සඳහා කල්‍යාණමිත්‍රයන් වහන්සේලාගේ උපදෙස් පැතීම වඩාත් යෝග්‍ය වේ.

මෙසේ ආනාපානසති භාවනාවෙහි කායානුපස්සනා සතිපට්ඨානයට අයත් කර්මස්ථාන සතර(04) විග්‍රහ කරන ලදී. ඒඅනුව අර්පණා සමාධි උත්පාදනය කරන යෝගාවචරයා ඉතිරි සතිපට්ඨාන වැඩිය යුතු ආකාරය ‘ආනාපානසති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය’ ආදී සූත්‍ර දේශනාවල “පීති පටිසංවේදී අස්සසිස්සාමීති” යනාදී ලෙස වදාරණ ලදී.

මෙලෙසින් ආනාපානසති භාවනාවෙන් සතර සතිපට්ඨානයම වැඩිය හැකි වේ. එයින් සප්ත බෝජ්ඣංගධර්ම පරිපූරණය කරගෙන විද්‍යා විමුක්තිය හෙවත් උතුම් නිර්වාණධාතුව සාක්ෂාත් කර ගත හැකි වේ. එසේම ආනාපානසති භාවනාවෙන් අර්පණාසමාධි උපදවන යෝගාවචරයා හට ඒ සමාහිත සිතින් නාම රූප පරිග්‍රහණය කොට නවමහාවිදර්ශනා ඤාණ උත්පාදනය කොට උතුම් නිර්වාණය සාක්ෂාත් කරගත හැකි වේ.

එබැවින්

“ආනාපානසති යස්ස පරිපුණ්ණා සුභාවිතා
අනුපුබ්බං පරිචිතා යථා බුද්ධේන දේසිතා
සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝව චන්දිමා”

යැයි වදාරණ ලද ආකාරයට බුද්ධදේශනාවේ පරිදි අනුපිළිවෙළින් පිරිපුන්ව ආනාපානසති භාවනාව වඩන යෝගාවචරයා උතුම් නිවන් සාක්ෂාත් කරගෙන තමනුත් බැබළී සෙසු ලෝකසත්ත්වයාටද හිත වැඩ සලසමින් වළා ගැබින් මිදුණු පුන්සඳමඬලක් සේ මුළු ලොවම බබුළුවන්නේය. ‍එහෙයින් නිර්වාණලාභිලාශී සැවොම විසින් ආනාපානසති භාවනාව නොපිරිහෙළා වැඩිය යුතු වේ. යළි යළිත් වැඩිය යුතු වේ. භාවිත බහුලීකෘත කළ යුතු වේ.

“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං”

සම්පාදක
මහව ඤාණාලෝක හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය
නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk