පැවිද්දාගේ උතුම් ම ධනය වන්නේ අන් කවරක් නොව තම ජීවිතය බඳු ශීලයයි. වත පිළිවෙත සීලයේ ම කොටසකි. දිනපතා වත්පිළිවෙත් සම්පූර්ණ කිරීම  අන් අයගේ සිත් පැහැදීමට හේතුවක් වේ.

තිස්ස නම් තරුණ භික්ෂූන් වහන්සේ නමක් දඹකොළ පටුනේ සෑ මලුව ඇමද කසළ ඉවත දමන භාජනය තම අතෙහි තබාගෙන සිටියේය. ඒ මොහොතේ ම තිස්සදත්ත නම් රහතන් වහන්සේ නමක් නැවෙන් බැස මනාලෙස ඇමද තිබූ සෑ මළුව දැක “මෙය සිත වැඩූ පුද්ගලයෙකු විසින් ඇමදූ තැනකි” ‍යැයි සිත පහදවා ගත්තේය.  තිස්ස දත්ත තෙරුන් වහන්සේ සමථ විපස්සනා භාවනා වලට අදාල ප්‍රශ්න දහසක් මේ තරුණ භික්ෂුන් වහන්සේගෙන් විමසීය. තරුණ භික්ෂූන් වහන්සේ  භික්ෂූන් වහන්සේ ද භාවනා මාර්ගය මනාකොට වඩා  රහත් බවට පත්ව සිටි බැවින් ඒ සියලු ප්‍රශ්න මනාව විසදිය.

තවත් භික්ෂූන් වහන්සේ නමක් සෑමළුව මනාලෙස  හැමද තම වත නිම කර සිටි සේක. චෛත්‍ය  වන්දනාවේ වඩින යෝනක දේශයෙන් පැමිණි භික්ෂූන් වහන්සේලා හතර නමක් මනා ලෙස ඇමද තිබූ සෑ මළුව දැක තම සිත් පහදා ගත්හ.  පැහැදුණු සිතින් යුතුව මේ භික්ෂූන් වහන්සේලාගෙන් එක් නමක් කල්ප අටක්  පෙර විසූ කඳ පිළිවෙළ සිහි කළේය.  ඒ ආකාරයෙන් අනෙක් භික්ෂූන් වහන්සේලා  තිදෙනා ද  පිලිවෙලින් කල්ප  දහසයක්, විස්සක්, තිහක් ආදී වශයෙන් අතීතය ආවර්ජනය කළහ. තමා දිනපතා කරන වත් පිළිවෙත් අන් අයගේ සිත් පැහැදීමට හේතුවේ.

භික්ෂුවකට අයත් වත් දහහතර අතරෙන් තිස්ස තෙරුන් වහන්සේ සේනාසන වත පමණක් සිදුකළ බව දත යුතුය. පන්සලක, ආවාසයක සිටින භික්ෂුව විසින් ආවාසය ඇමද පිරිසුදු කොට, විහාරය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම සේනාසන වතට අයත් කාර්යයන් අතරින්  කිහිපයකි. ධර්මයේ සඳහන් වන්නේ වත් සම්පූර්ණ  නොකරන තැනැත්තා ගේ සීලය අසම්පූර්ණ බවය.  සීලය සම්පූර්ණ නොකරන සිතක සමාධිය නොවැඩේ.  වික්ෂිප්ත වූ සිතින් ධර්මය විනිවිද දැකිය නොහැක. ධර්මය නොදකින්නා හට සසරින් එතෙර වීමේ භාග්‍යය ද  කිසිදා නො ලැබේ.

(සමන්තපාසාදිකා නම් විනයට්ඨකථා පරිවාර වණ්ණනා ඇසුරිනි)

සම්පාදක
පූජ්‍ය පූජාපිටියේ සූරියරතන හිමි

Download as PDF

නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk