සංඛාර (සංස්කාර) ගැන පහත විග්‍රහයට සවන්දෙන්න

———————————————————————–

තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනය වූ කලී වේනෙය්‍ය සත්වයන් නිවනට පමුණුවාලන පරිද්දෙන් නොයෙක් නොයෙක් ධර්ම කොට්ඨාසයන් නොයෙක් අයුරින් බෙද බෙදා, නානා නය ක්‍රමයන්ගෙන් විසිතුරුව දේශනා කරන ලද්දකි. එහි දී ඇතැම් ධර්ම පර්යායක් එක් සන්දර්භයක් තුළ කියවෙන අර්ථය තවත් සන්දර්භයක දී වෙනස් විය හැකිය. එසේ අවස්ථානුරූපීව ධර්මයෙහි අර්ථ විමසීමේ දී ඒ ඒ සන්දර්භය පිළිබඳව ඇති තත්වාවබෝධය වැදගත් වේ. තථාගත භාෂිතයෙහි එන ඉතා වැදගත් ඉගැන්වීම් දෙකක් වන පටිච්චසමුප්පාදය සහ පඤ්චස්කන්ධ විභාගයෙහි දැක්වෙන “සංඛාර ” යන්න එසේ ඒ ඒ අවස්ථානුරූපීව අර්ථය වටහාගතයුතු වැදගත් ධර්ම කොට්ඨාසයක් වේ. “සංඛාර” පදයෙන් “අවිජ්ජා පච්ච්යා සංඛාරා” යන තැනදී කුසලාකුසල කර්මයන් අදහස් වන අතර “අනිච්චා වත සංඛාරා” යන තැනදී චතුර්භූමික වූ සප්‍රත්‍යය ධර්මයන් අදහස් වේ. ඒ ” සංඛාර ” පදයෙහි අර්ථය යෙදෙන අවස්ථාව සැළකීමෙන් තොරව සියලු තැන්හි ඒකාකාරීව ගතහොත් ඇතැම් අර්ථ විග්‍රහයක් ව්‍යාකූල ස්වභාවයකට පත් වේ. එබැවින් ධර්මයෙහි එන “සංඛාර” පදයේ ඒ ඒ අවස්ථානුකූලව අර්ථය වටහාගතයුතු ආකාරය පිළිබඳව කෙරෙන මෙම විවරණය ධර්ම අර්ථ උද්ධරණයෙහි ලා ධර්මකාමී බොහෝදෙනාගේ පහසුව පිණිස පවතිනු ඇතැයි අපගේ අභිප්‍රාය වේ.

ව්‍යාකරණානුකූලව ‘ සංඛාර ’ යන්න භාවාර්ථයෙහි කිතක පදයකි. ක්‍රියා පදයක සහ කිතක නාමයක  මූල ස්වභාවය ධාතුව ලෙස හැඳින්වේ. සංඛාර යන පදය සැකසෙනුයේ ‘කිරීම්’ අර්ථයෙහි යෙදෙන √කර ධාතුවෙනි. එම √කර ධාතුවෙන් පර ව  සැකසෙන “සංඛාර” පදයෙන් ‘සකස් කිරීමක්’ වාච්‍ය වේ.  විභංග අටුවාව ඇතුළු අටුවා කිහිපයකදී මෙම පදය ප්‍රධාන අර්ථ සතරක් යටතේ විග්‍රහ කෙරේ. එනම්, (1) සඞ්‌ඛතසඞ්‌ඛාර – හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්  හටගත් ධර්ම  (2) අභිසඞ්‌ඛතසඞ්‌ඛාර – කර්මයෙන් හටගත් කාම, රූප, අරූප භව වලට අයත් නාම රූප ධර්ම (3) අභිසඞ්‌ඛරණසඞ්‌ඛාර – කාම, රූප, අරූප භව වලට අයත් කුසලාකුසල චේතනා (4) ප්‍රයොගාභිසඞ්‌ඛාර – කායික චෛතසික වූ වීර්යය යි. එම අර්ථ චතුෂ්කය “සංස්කාර ශබ්දයෙන් පැමිණි සංස්කාර” (ශබ්ද ග්‍රහණයෙන් පැමිණි) යැයි සම්මෝහ විනෝදනී නම්  විභංගප්‍රකරණ අටුවාව දක්වයි. (සඞ්‌ඛතසඞ්‌ඛාරො, අභිසඞ්‌ඛතසඞ්‌ඛාරො, අභිසඞ්‌ඛරණසඞ්‌ඛාරො, පයොගාභිසඞ්‌ඛාරොති ඉමෙ පන චත්‌තාරො සඞ්‌ඛාරසද්‌දෙන ආගතසඞ්‌ඛාරා. විභංගට්ඨ කථා, පි.94- හේ.මු.)

සංස්කාර ශබ්දයෙන් පැමිණි (ශබ්ද ග්‍රහණයෙන් පැමිණි)  සංස්කාර

  1. සඞ්‌ඛතසඞ්‌ඛාර  –  ‘ප්‍රත්‍යයන්ගේ සමවායෙන් (එක්වීමෙන්) සකස් කරන ලද්දේනු’යි සඞ්‌ඛත නමි.(පච්‌චයෙහි සඞ්‌ගම්‌ම කරීයිත්‌ථාති සඞ්‌ඛතො ) සඞ්‌ඛතසඞ්‌ඛාර නම් සියලු සප්‍රත්‍යය, එනම් අවිද්‍යාව, තණ්හාව, උපාදාන, කර්ම, චිත්ත, ඍතු, ආහාර ආදී හේතූන් නිසා හටගන්නා ලද ධර්මයෝය. පරමාර්ථ වශයෙන් නිවන හැර සියලු ධර්මතා මෙයට ඇතුලත් වේ. (සිත් 89, චෛතසික 52,රූප 28 ) “අනිච්චා වත සංඛාරා ”  යන තැන ඊට උදාහරණයි.“අනිච්චා වත සඞ්ඛාරා – උප්පාදවයධම්මිනො
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති  – තෙසං වූපසමො සුඛො” (මහා පරිනිර්වාණ සූත්‍රය , දීඝ නිකාය2, පි.246, බු.ජ.මු.)එහි අර්ථය නම්, “ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියලු‍ දෑ ඒකාන්තයෙන් ඉපැදෙන වැනැසෙන සුලු‍ ය. ඔහු ඉපැද නැසෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ගෙන දෙයි.”‍ ශක්‍ර දේවේන්ද්‍රයා විසින් බුදු රජාණන් වහන්සේ පිරිනිවි අවස්ථාවේ දී මෙම ගාථාව දේශනා කරනු ලදී.
  2. අභිසඞ්‌ඛතසඞ්‌ඛාර ‘විශේෂයෙන් සකස් කරන ලද්දේ’නුයි අභිසඞ්‌ඛත නමි (අභිසඞ්‌ඛරීයිත්‌ථාති අභිසඞ්‌ඛතො). කර්ම ප්‍රත්‍යයයෙන් හටගත් කාම රූප අරූප භව වලට අයත් ධර්මයෝ මීට ඇතුළත් වේ. මෙම අභිසඞ්‌ඛතසඞ්‌ඛාර ඉහතින් දක්වා ඇති සඞ්‌ඛතසඞ්‌ඛාර යටතේ සංග්‍රහ කළ හැක.  ‘ අභි ‘ උපසර්ගය  අධිකාර්ථ වාචක වන අතර ඉන් සෙසු සංස්කාර  අතරින් කර්මය හේතුවෙන් සංස්කරණය වූ  බව විශේෂ කොට දක්වයි. ( පරමාර්ථ වශයෙන් කර්මජ රූප 20, ලෞකික විපාක සිත් 32 – තත් සම්ප්‍රයුක්ත චෛතසික 35 )
  3. අභිසඞ්‌ඛරණසඞ්‌ඛාර කාම රූප අරූප භව වලට අයත් කුසලාකුසල චේතනාවෝ අභිසඞ්‌ඛරණසඞ්‌ඛාර නම් වේ. ඒ එම කුසලාකුසල චේතනා මගින්  නැවත විපාකයක් ගෙන දීමට සමර්ථ වන ‘අභිසඞ්‌ඛරණයක්’ (සකස් කිරීමක්)  සිදු කරන බැවිනි. පරමාර්ථ වශයෙන් කාමාවචර කුසල චේතනා 8 , අකුසල චේතනා 12 , රූපාවචර කුසල චේතනා 5, අරූපාවචර කුසල  චේතනා 4 යන චේතනා 19 මීට ඇතුලත් වේ.
  4. ප්‍රයෝගාභිසඞ්‌ඛාර කායික චෛතසික වූ වීර්යය ප්‍රයෝගාභිසංස්කාරය ය. වීර්යය කායික වීර්යය, චෛතසික වීර්ය ය වශයෙන් දෙවදෑරුම් ය. කායික ප්‍රයෝගය සමුට්ඨාපනය කරන වීර්යය කායිකවීර්යය වේ. “මේ බුදු සසුනෙහි භික්ෂුව දහවල්හි සක්මනින් ද හිඳීමෙන් ද නීවරණධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි පෙරයම  සක්මනින් ද හිඳීමෙන් ද නීවරණධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි.” යැයි මෙසේ දවස කොටස් පසකට බෙදා කායිකව සිදු කරන වීර්යය කායික වීර්යය වේ.“රහත් වනතුරු මෙම ලෙනෙන් බැහැරට නොයමි,” යැයි අවකාශය පිරිසිඳීමෙන් හෝ “රහත් වනතුරු මගේ පර්යංකය නොබිඳින්නෙමි” යැයි හිඳීම් ආදී ඉරියව් පිරිසිඳීමෙන් හෝ චෛතසිකමය සිදු කරන වීර්යය චෛතසික වීර්යය වේ. (තත්‌ථ ‘‘ඉධ භික්‌ඛු දිවසං චඞ්‌කමෙන නිසජ්‌ජාය ආවරණීයෙහි ධම්‌මෙහි චිත්‌තං පරිසොධෙතී’’ති. එවං රත්‌තිදිවසස්‌ස පඤ්‌ච කොට්‌ඨාසෙ කායෙන ඝටෙන්‌තස්‌ස වායමන්‌තස්‌ස කායිකවීරියං වෙදිතබ්‌බං. ‘‘න තාවාහං ඉතො ලෙණා නික්‌ඛමිස්‌සාමි, යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත්‌තං විමුච්‌චතී’’ති එවං ඔකාසපරිච්‌ඡෙදෙන වා, ‘‘න තාවාහං ඉමං පල්‌ලඞ්‌කං භින්‌දිස්‌සාමී’’ති එවං නිසජ්‌ජාදිපරිච්‌ඡෙදෙන වා මානසං බන්‌ධිත්‌වා ඝටෙන්‌තස්‌ස වායමන්‌තස්‌ස චෙතසිකවීරියං වෙදිතබ්‌බං. – විභංගට්ඨ කථා, පි. 94- හේ.මු.)

මෙම ප්‍රයෝගාභිසංස්කාරය සඳහා අටුවාවෙහි දක්වන උදාහරණය නම් ඉහත කායික ප්‍රයෝගය වාච්‍ය වන සචෙතන සූත්‍රයෙහි සඳහන් යාවතිකා අභිසඞ්‌ඛාරස්‌ස ගති තාවතිකං ගන්‌ත්‌වා අක්‌ඛාහතං මඤ්‌ඤෙ අට්‌ඨාසියන්න යි. (අඞ්‌ගුත්‌තරනිකාය 1, පි. 213, බු.ජ.මු.)  එහි අර්ථය නම් කායික වීර්යයෙන් තබන ලද ප්‍රයෝගයාගේ ගමන යම්තාක්  වේ ද, එපමණ තෙක් ගොස් ඉද්ද ගැසුවාක් මෙන් සිටියේයයන්නයි.

කර්මයක් සිදු කෙරෙන අවස්ථාව – “අවිජ්ජා පච්ච්යා සංඛාරා

බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයෙහි “අවිජ්ජා පච්ච්යා සංඛාරා”( අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති ) යන්න සූත්‍රාන්තයේ දී විවිධ නය ක්‍රමවලින් දේශනා කළ සේක. පටිච්ච සමුප්පාද  විභංගයට පැමිණ නිෂ්පරියාය වශයෙන් එම පදය ක්‍රම දෙකකින් වදාළහ.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් (උපාදාන) සංස්කාරයෝ කවරේ ද යත්:

  1. පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනෙඤ්ජාභි සංස්කාර ය
  2. කායසංස්කාර ය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර යි(තත්‌ථ කතමෙ අවිජ්‌ජාපච්‌චයා සඞ්‌ඛාරා? පුඤ්‌ඤාභිසඞ්‌ඛාරො, අපුඤ්‌ඤාභිසඞ්‌ඛාරො, ආනෙඤ්‌ජාභිසඞ්‌ඛාරො; කායසඞ්‌ඛාරො, වචීසඞ්‌ඛාරො, චිත්‌තසඞ්‌ඛාරො. – විභංගප්‍රකරණය 1, පි. 245, බු.ජ.මු.)

පලමුවෙනි ක්‍රමය – පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනෙඤ්ජාභි සංස්කාර ය වශයෙන් දැක්වේ.

  • එහි පුණ්‍යාභිසංස්කාර කවරේ ද යත් : දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූ ද කාමාවචර වූ රූපාවචර වූ කුශලචේතනා යි. මේ පුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ. (තත්‌ථ කතමො පුඤ්‌ඤාභිසඞ්‌ඛාරො? කුසලා චෙතනා කාමාවචරා රූපාවචරා දානමයා සීලමයා භාවනාමයා.–අයං වුච්‌චති ‘‘පුඤ්‌ඤාභිසඞ්‌ඛාරො’’)

විපාක වූ වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය , විඤ්ඤාණ ස්කන්ධය සහ කර්මජ රූප සකස් කෙරේද එය අභිසංඛාර නම් වේ. යම් කුසල කර්මයක් එම කුසලය කරන්නාවූ පුද්ගලයා පිරිසිදු කෙරේද, පූජ්‍ය වූ භවයත් උපදවයි ද, එහෙයින් එම ධර්මය පුඤ්ඤ (පුණ්‍ය) නම් වේ. එම පුණ්‍යයම සකස් කිරිම   පුණ්‍යාභිසංස්කාර වේ. කාමාවචර  දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූ ද කුසලයෝ රැස්කරන අවස්ථාවල දී පහළ වන චේතනා ද (කාමාවචර කුසල් සිත් වල  පහල වෙන  චේතනා 8 ), රූපාවචර වූ භාවනාමය කුසලයෝ රැස්කරන අවස්ථාවල දී පහළ වන චේතනා ද  (රූපාවචර කුසල් සිත් වල  පහල වෙන  චේතනා 5) මීට ඇතුලත් වේ.
(තත්‌ථ පුනාති අත්‌තනො කාරකං, පූරෙති චස්‌ස අජ්‌ඣාසයං, පුජ්‌ජඤ්‌ච භවං නිබ්‌බත්‌තෙතීති පුඤ්‌ඤො. අභිසඩ්‌ඛරොති විපාකං කටත්‌තාරූපඤ්‌චාති අභිසඩ්‌ඛාරො. පුඤ්‌ඤොව අභිසඩ්‌ඛාරො පුඤ්‌ඤාභිසඩ්‌ඛාරො. විභංගට්ඨ කථා, පි. 98- හේ.මු.)

  • එහි අපුණ්‍යාභිසංස්කාර කවරේ ද යත්: කාමාවචර අකුශලචේතනා යි, මේ අපුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ. (තත්‌ථ කතමො අපුඤ්‌ඤාභිසඞ්‌ඛාරො? අකුසලා චෙතනා කාමාවචරා,අයං වුච්‌චති ‘‘අපුඤ්‌ඤාභිසඞ්‌ඛාරො’’)

පුණ්‍යන්ට ප්‍රතිපක්ෂ බැවින් අපුඤ්ඤ නමි. එම අපුණ්‍යයම සකස් කිරිම අපුණ්‍යාභිසංස්කාර වේ. අකුසල්  රැස්කරන අවස්ථාවල දී පහළ වන චේතනා මීට ඇතුලත් වේ. (අකුසල් සිත් වල  පහල වන චේතනා 12) (පුඤ්‌ඤපටිපක්‌ඛතො අපුඤ්‌ඤො. අපුඤ්‌ඤොව අභිසඩ්‌ඛාරො අපුඤ්‌ඤාභිසඩ්‌ඛාරො විභංගට්ඨ කථා, පි. 98- හේ.මු.)

  • එහි ආනෙඤ්ජාභිසංස්කාර  කවරේ ද යත්: අරූපාවචර කුශලචේතනා යි. මේ ආනෙඤ්ජාභිසංස්කාර යි කියනු ලැබේ. (තත්‌ථ කතමො ආනෙඤ්‌ජාභිසඞ්‌ඛාරො? කුසලා චෙතනා අරූපාවචරා – අයං වුච්‌චති ‘‘ආනෙඤ්‌ජාභිසඞ්‌ඛාරො’’)

කම්පා නොවෙයි ද අනිඤ්ජන නම් වේ. කම්පා නොවන්නා වූ කුසල ධර්මය සකස්කෙරෙයි ද, කම්පා නොවන්නා වූ භවය සකස් කෙරෙයිද එහෙයින් ආනෙඤ්‌ජාභිසඞ්‌ඛාර නම් වේ. අරූපාවචර වූ භාවනාමය කුසලයෝ රැස්කරන අවස්ථාවල දී පහළ වන චේතනා   ( අරූපාවචර කුසල් සිත් වල  පහල වෙන  චේතනා 4 ) මීට ඇතුලත් වේ. (න ඉඤ්‌ජතීති ආනෙඤ්‌ජං.ආනෙඤ්‌ජමෙව අභිසඩ්‌ඛාරො, ආනෙඤ්‌ජඤ්‌ච භවං අභිසඩ්‌ඛරොතීති ආනෙඤ්‌ජාභිසඩ්‌ඛාරො විභංගට්ඨ කථා, පි. 98- හේ.මු.)

දෙවෙනි  ක්‍රමය –  කායසංස්කාර ය, වාක්සංස්කාර ය, චිත්තසංස්කාර ය වශයෙන් දැක්වේ.

  • එහි කායසංස්කාර කවරේ ද: කායසඤ්චේතනාව කායසංස්කාර ය, වාක්සඤ්චේතනාව වාක්සංස්කාර ය, මනොසඤ්චේතනාව චිත්තසංස්කාර යි. (තත්‌ථ කතමො කායසඞ්‌ඛාරො? කායසඤ්‌චෙතනා කායසඞ්‌ඛාරො, වචීසඤ්‌චෙතනා වචීසඞ්‌ඛාරො, මනොසඤ්‌චෙතනා චිත්‌තසඞ්‌ඛාරො.)

බුදුරජාණන් වහන්සේ දෙවෙනි ක්‍රමයේ දී සංස්කාර දේශනා කොට වදාළේ කුසලාකුසල කර්ම රැස් කරන ද්වාර වශයෙනි.   කායසඤ්‌චෙතනා නම්  කාය විඤ්ඤත්ති රූප හට ගන්වා කායද්වාරයෙන් කර්මයක් සිදු කරන අවස්ථාවේ දී ඇතිවන චේතනාවයි. ( කාය ද්වාරය කරණකොට ගෙන කුසල් රැස්කරන විට සිතෙහි පහළ වන කාමාවචර කුසල චේතනා 8 ද, කාය ද්වාරය කරණකොට ගෙන අකුසල් රැස්කරන විට සිතෙහි පහළ වන අකුසල චේතනා 12 ද මීට ඇතුලත් වේ. )  (කායසඤ්‌චෙතනාති කායවිඤ්‌ඤත්‌තිං සමුට්‌ඨාපෙත්‌වා කායද්‌වාරතො පවත්‌තා අට්‌ඨ කාමාවචරකුසලචෙතනා ද්‌වාදස අකුසලචෙතනාති සමවීසති චෙතනා; – විභංගට්ඨ කථා, පි. 100- හේ.මු.)

වචීසඤ්‌චෙතනා නම්  වාග් විඤ්ඤත්ති රූප හට ගන්වා වාග්ද්වාරය හේතු කොටගෙන කර්මයක් සිදු කරන අවස්ථාවේ දී ඇතිවන චේතනාවයි. ( වාග් ද්වාරය කරණකොට ගෙන කුසල් රැස්කරන විට සිතෙහි පහළ වන කුසල කාමාවචර චේතනා 8 ද, වාග් ද්වාරය කරණකොට ගෙන අකුසල් රැස්කරන විට සිතෙහි පහළ වන අකුසල චේතනා 12 ද මීට ඇතුලත් වේ )  (වචීසඤ්‌චෙතනාති වචීවිඤ්‌ඤත්‌තිං සමුට්‌ඨාපෙත්‌වා වචීද්‌වාරතො පවත්‌තා තායෙව වීසති චෙතනා; විභංගට්ඨ කථා, පි. 94- හේ.මු.)

මනොසඤ්‌චෙතනා නම්  කාය විඤ්ඤත්ති හෝ වාග් විඤ්ඤත්ති රූප හට නොගන්වා මනෝ ද්වාරය හේතු කොටගෙන  ඇතිවන චේතනාවයි. ( මනො ද්වාරය කරණකොට ගෙන කුසල් රැස්කරන විට සිතෙහි පහළ වන කාමාවචර කුසල චේතනා 8 ද, රූපාවචර කුසල් සිත් වල  පහල වෙන  චේතනා 5 ද, අරූපාවචර කුසල් සිත් වල පහල වෙන චේතනා 4 ද, මනෝ ද්වාරය කරණකොට ගෙන අකුසල් රැස්කරන විට සිතෙහි පහළ වන අකුසල චේතනා 12 ද මීට ඇතුලත් වේ)  (මනොසඤ්‌චෙතනාති උභොපි විඤ්‌ඤත්‌තියො අසමුට්‌ඨාපෙත්‌වා මනොද්‌වාරෙ උප්‌පන්‌නා සබ්‌බාපි එකූනතිංස චෙතනා. විභංගට්ඨ කථා, පි. 94- හේ.මු.)

“පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනෙඤ්ජාභි සංස්කාර ය” යන්නට උදාහරණ වශයෙන් පරිවීමංසන සූත්‍රය දැක්වේ.

“අවිජ්‌ජාගතො යං, භික්‌ඛවෙ, පුරිසපුග්‌ගලො පුඤ්‌ඤං චෙ සඩ්‌ඛාරං අභිසඩ්‌ඛරොති, පුඤ්‌ඤූපගං හොති විඤ්‌ඤාණං. අපුඤ්‌ඤං චෙ සඩ්‌ඛාරං අභිසඩ්‌ඛරොති, අපුඤ්‌ඤූපගං හොති විඤ්‌ඤාණං. ආනෙඤ්‌ජං චෙ සඩ්‌ඛාරං අභිසඩ්‌ඛරොති ආනෙඤ්‌ජූපගං හොති විඤ්‌ඤාණං.” (සංයුත්‌ත නිකාය 2, පි. 130 -, බු.ජ.මු. )

“මහණෙනි, අවිද්‍යාවෙන් යුක්ත මේ පුද්ගල තෙමේ ඉදින් පුණ්‍යාභිසංස්කාර  රැස් කෙරේ නම් ඵල සංඛ්‍යාත භව සම්පත්තිය කරා එළඹ සිටියා වූ ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විඤ්ඤාණය වේ. ඉදින් අපුණ්‍යාභිසංස්කාර රැස් කෙරේ නම්  ඵල සංඛ්‍යාත විපත්ති භවය කරා එළඹ සිටියා වූ ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විඤ්ඤාණය වේ. ඉදින් ආනෙඤ්ජාභි රැස් කෙරේ නම් නම් ආනෙඤ්ජ භව සම්පත්තිය කරා එළඹ සිටියා වූ ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විඤ්ඤාණය වේ.”

“කායසංස්කාර ය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර ය” යන්නට උදාහරණ වශයෙන් විභඞ්‌ග සූත්‍රය දැක්වේ.

“කතමෙ ච, භික්‌ඛවෙ, සඞ්‌ඛාරා? තයොමෙ, භික්‌ඛවෙ, සඞ්‌ඛාරා – කායසඞ්‌ඛාරො, වචීසඞ්‌ඛාරො, චිත්‌තසඞ්‌ඛාරො. ඉමෙ වුච්‌චන්‌ති, භික්‌ඛවෙ, සඞ්‌ඛාරා.”(සංයුත්‌ත නිකාය 2, පි. 07 -, බු.ජ.මු.)

“මහණෙනි, මෙහි සංස්කාරයෝ කවරහු ද? මහණෙනි, කායසංස්කාර ය, වාක්සංස්කාර ය, චිත්තසංස්කාර ය යි මේ සංස්කාර තුනෙකි. මහණෙනි, මොහු සංස්කාරයෝ ය යි කියනු ලැබෙත්.” සම්මා දිට්ඨි සූත්‍රයෙහි ද දැක්වෙන්නේ මෙම ක්‍රමයෙනි.

ඉහත ක්‍රම දෙක සංක්ෂිප්තව පහතින් දැක්වේ

ඉහත ක්‍රම දෙක අතර ඇති සම්බන්ධය

ඉහතින් දක්වා ඇති ක්‍රම දෙක එකිනෙකට හාත්පසින් ම වෙනස් වූ ක්‍රම දෙකක් නොව කර්මය රැස්කරන චේතනාව වර්ගීකරණය කළ ආකාර දෙකකි. එම ක්‍රම දෙකෙහි ( ත්‍රික දෙකෙහි ) සම්ප්‍රයෝගය පහත පරිදි දත යුතුය.

  • පුණ්‍යාභිසංස්කාරය කාය දුෂ්චරිතයෙන් වෙන් වන පුද්ගලයා හට කාය සංස්කාර ද, වචී දුෂ්චරිතයෙන් වෙන් වන පුද්ගලයා හට වචී සංස්කාර ද වේ. මෙම ක්‍රමයෙන් අටක් වූ කාමාවචර කුසලයෝ (කාමාවචර කුසල චේතනා 8) පුණ්‍යාභිසංස්ඛාරය ද කාය සහ වචී සංස්කාර ද වේ. මනෝ ද්වාරයෙහි උපන් දහතුනක් වූ චේතනාවෝ (කාමාවචර කුසල චේතනා 8 සහ, රූපවාචර කුසල චේතනා 5 ) පුණ්‍යාභිසංස්කාර ද චිත්ත සංස්කාර ද වේ.
  • අපුණ්‍යාභිසංස්කාරය කාය දුෂ්චරිත වශයෙන් පවතින විට ඇතැම් විටක දී කාය සංස්කාර වේ. වාග් දුෂ්චරිත වශයෙන් පවතින විට වචී සංස්කාර වේ. කාය සහ වාග් ද්වාර හැරපියා මනෝ ද්වාරයෙහි  පවතින විට චිත්ත සංස්කාර වේ. මෙසේ අපුණ්‍යාභිසංස්ඛාරය කාය සංස්කාර ද , වචී සංස්කාර ද චිත්ත සංස්කාර ද වේ.
  • කාය සංස්කාරය ඇතැම් විටක දී පුණ්‍යභිසංස්කාර ද, ඇතැම් විටක දී අපුණ්‍යාභි සංස්කාර ද වේ. ආනෙඤ්ජාභි සංස්කාරය නොවේ. (අරූප ධ්‍යාන කාය ද්වාරයෙහි සමුට්ඨාපනය නොවන බැවිනි) වචී සංස්කාරය ද එසේම ය.  චිත්ත සංස්කාරය ඇතැම් විටක දී පුණ්‍යාභිසංස්කාරය ද, ඇතැම් විටක දී අපුණ්‍යාභි සංස්කාර ද වේ, ඇතැම් විටක දී ආනෙඤ්ජාභි සංස්කාරය ද වේ.

(ඉමෙසං පන ද්‌වින්‌නම්‌පි තිකානං අඤ්‌ඤමඤ්‌ඤං සම්‌පයොගො වෙදිතබ්‌බො. කථං? පුඤ්‌ඤාභිසඩ්‌ඛාරො හි කායදුච්‌චරිතා විරමන්‌තස්‌ස සියා කායසඩ්‌ඛාරො, වචීදුච්‌චරිතා විරමන්‌තස්‌ස සියා වචීසඩ්‌ඛාරො. එවං අට්‌ඨ කුසලචෙතනා කාමාවචරා පුඤ්‌ඤාභිසඩ්‌ඛාරො ච හොති කායසඩ්‌ඛාරො ච වචීසඩ්‌ඛාරො ච. මනොද්‌වාරෙ උප්‌පන්‌නා පන තෙරස චෙතනා පුඤ්‌ඤාභිසඩ්‌ඛාරො ච හොති චිත්‌තසඩ්‌ඛාරො ච. අපුඤ්‌ඤාභිසඩ්‌ඛාරොපි කායදුච්‌චරිතවසෙන පවත්‌තියං සියා කායසඩ්‌ඛාරො, වචීදුච්‌චරිතවසෙන පවත්‌තියං සියා වචීසඩ්‌ඛාරො, ද්‌වෙ ද්‌වාරානි මුඤ්‌චිත්‌වා මනොද්‌වාරෙ පවත්‌තියං සියා චිත්‌තසඩ්‌ඛාරොති. එවං අපුඤ්‌ඤාභිසඩ්‌ඛාරො කායසඩ්‌ඛාරොපි හොති වචීසඩ්‌ඛාරොපි චිත්‌තසඩ්‌ඛාරොපි. කායසඩ්‌ඛාරො පන සියා පුඤ්‌ඤාභිසඩ්‌ඛාරො, සියා අපුඤ්‌ඤාභිසඩ්‌ඛාරො, න ආනෙඤ්‌ජාභිසඩ්‌ඛාරො. තථා වචීසඩ්‌ඛාරො. චිත්‌තසඩ්‌ඛාරො පන සියා පුඤ්‌ඤාභිසඩ්‌ඛාරො, සියා අපුඤ්‌ඤාභිසඩ්‌ඛාරො, සියා ආනෙඤ්‌ජාභිසඩ්‌ඛාරොති. විභංගට්ඨ කථා, පි. 101- හේ.මු.)
මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ යන තැන සංස්කාර පදයට අදාල පැහැදිලි කිරීමයි.

චූල වෙදල්ල සූත්‍රයෙහි සහ යමක ප්‍රකරණයෙහි එන සංස්කාර

මීට අමතරව චූල වෙදල්ල සූත්‍රයෙහි එන ක්‍රමය ද අටුවාවෙහි දැක්වේ. එහි කාය ආශ්වාස-ප්‍රාශ්වාස කාය සංස්කාර ලෙස ද, විතර්ක-විචාර වචී සංස්කාර ලෙස ද, වේදනා – සංඥා චිත්ත සංස්කාර යනුවෙන් ද දැක්වේ.

‘‘සඤ්‌ඤාවෙදයිතනිරොධං සමාපජ්‌ජන්‌තස්‌ස ඛො, ආවුසො විසාඛ, භික්‌ඛුනො පඨමං නිරුජ්‌ඣති වචීසඞ්‌ඛාරො, තතො කායසඞ්‌ඛාරො, තතො චිත්‌තසඞ්‌ඛාරො’’ති. (මජ්ඣිම නිකාය 1, පි. 709, බු.ජ.මු.)
“ ඇවැත් විසාඛයෙනි, සංඥා වෙදයිත නිරෝධයට සමවදනා මහණහට පළමු ව වාක් සංස්කාර නිරුද්ධ වෙයි. ඉන් පසු කාය සංස්කාර නිරුද්ධ වෙයි. ඉන්පසු චිත්ත සංස්කාර නිරුද්ධ වෙයි.” මෙහි විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යානයේ සිට ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත දුතිය ධ්‍යානයට සමවැදීමෙන් පසු  සිදුවන විතර්ක විචාරයන්ගේ නිරුද්ධ වීම වචී සංස්කාරයන්ගේ නිරුද්ධ වීමයි. චතුර්ථ ධ්‍යානයට සමවැදීමෙන් පසු  ආශ්වාස-ප්‍රාශ්වාස  නිරුද්ධ වීම කාය සංස්කාරයාගේ නිරුද්ධ වීමයි. නිරෝධ සමාපත්තියට සමවැදීමෙන් පසු  සිත් ඉපදීම නතර වීම චිත්ත සංස්කාර නිරුද්ධ වීමයි.

යමක ප්‍රකරණයෙහි කාය සංස්කාර සහ වචී සංස්කාර වෙදල්ල සූත්‍රයෙහි එන ක්‍රමයෙන් දක්වා චිත්ත සංස්කාර පර්යාය දෙකකින් දක්වයි.

  • සංඥා – වේදනා චිත්ත සංස්කාර ය (සඤ්‌ඤා ච වෙදනා ච චිත්‌තසඞ්‌ඛාරො)
  • විතර්ක-විචාර හැර සෙසු චිත්ත සම්ප්‍රයුක්තක ධර්මයෝ චිත්ත සංස්කාර ය ( ඨපෙත්‌වා විතක්‌කවිචාරෙ සබ්‌බෙපි චිත්‌තසම්‌පයුත්‌තකා ධම්‌මා චිත්‌තසඞ්‌ඛාරො – යමක ප්‍රකරණය 2, පි. 02, බු.ජ.මු.)

අභිධර්මය සහ අටුවා ප්‍රතික්ෂේප කරන  ඇතැම් දේශකයන් මෙහි සඳහන් ක්‍රමය “අවිද්‍යා පච්චයා සංඛාරා” යන තැනට බහා පැහැදිලි කරත්. එය සාවද්‍ය වන අතර ඉන් අවිද්‍යාව ප්‍රහාණය කළ රහතන් වහන්සේලා ආශ්වාස-ප්‍රාශ්වාස නොකරන බව ගම්‍ය වේ. “රහතන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස කරන නමුදු අවිද්‍යාව ප්‍රහාණය කළ බැවින් අවිද්‍යාසහගත කාය සංස්කාරයක් නැත” යැයි ප්‍රති පිළිතුරු සැපයුව ද එය මෙම ක්‍රම දෙක පිලිබඳ ඇති අනවබෝධය නිසා තමා බැස ගත් අදහස සාධාරණීකරණය කිරීම සඳහා කරන නිෂ්ඵල උත්සාහයක් ය.

සංඛාර පදය අටුවාවේ ඉදිරිපත් කරන ආකාරය

ඉහතින් දක්වා ඇති කරුණු අටුවාවෙහි පෙළගස්වා ඇත්තේ පහත පරිදිය. “අවිජ්ජා පච්ච්යා සංඛාරා” සහ  “සංස්කාර ශබ්දයෙන් පැමිණි සංස්කාර” යනුවෙන් සංස්කාර දෙවැදෑරුම් බව දක්වා ඉන් “අවිජ්ජා පච්ච්යා සංඛාරා” යටතට යන පුණ්‍යාභිසංස්කාරය, අපුණ්‍යාභිසංස්කාරය, ආනෙඤ්ජාභි සංස්කාරය, කායසංස්කාර,වාක්සංස්කාරය, චිත්තසංස්කාර යන සය ද, “සංස්කාර ශබ්දයෙන් පැමිණි සංස්කාර” යටතට සඞ්‌ඛතසඞ්‌ඛාර, අභිසඞ්‌ඛතසඞ්‌ඛාර, අභිසඞ්‌ඛරණසඞ්‌ඛාර, ප්‍රයොගාභිසඞ්‌ඛාර යන අර්ථ චතුෂ්කය ද දක්වයි. අනතුරුව චුල්ල වේදල්ල සූත්‍රයෙහි එන ක්‍රමය දක්වයි. (සඞ්‌ඛතමභිසඞ්‌ඛරොන්‌තීති සඞ්‌ඛාරා. අපිච අවිජ්‌ජාපච්‌චයා සඞ්‌ඛාරා, සඞ්‌ඛාරසද්‌දෙන ආගතසඞ්‌ඛාරා චාති දුවිධා සඞ්‌ඛාරා. තත්‌ථ පුඤ්‌ඤාපුඤ්‌ඤානෙඤ්‌ජාභිසඞ්‌ඛාරා තයො, කායවචීචිත්‌තසඞ්‌ඛාරා තයොති ඉමෙ ඡ අවිජ්‌ජාපච්‌චයා සඞ්‌ඛාරා. තෙ සබ්‌බෙපි ලොකියකුසලාකුසලචෙතනාමත්‌තමෙව හොන්‌ති.සඞ්‌ඛතසඞ්‌ඛාරො, අභිසඞ්‌ඛතසඞ්‌ඛාරො, අභිසඞ්‌ඛරණසඞ්‌ඛාරො, පයොගාභිසඞ්‌ඛාරොති ඉමෙ පන චත්‌තාරො සඞ්‌ඛාරසද්‌දෙන ආගතසඞ්‌ඛාරා.  විභංගට්ඨ කථා, පි. 93- හේ. මු.)

එය පහත රූප සටහනින් දැක්වේ.

එකම කාරණය අවස්ථා දෙකක දී දැක්වෙන්නේ ඇයි?

ඉහතින් දැක්වූ කරුණු සියල්ල විමසිලිවත් ලෙස කියවූ පුද්ගලයෙකුට මෙබදු ප්‍රශ්නයක් ඇති විය යුතුය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ යන තැන සංස්කාර පදයට අදාලව දක්වා ඇති පරමාර්ථ ධර්ම ද, සංස්කාර ශබ්දයෙන් පැමිණි අභිසඞ්‌ඛරණ සංස්කාර කොටසට ඇතුලත් පරමාර්ථ ධර්ම ද, සමාන වේ ( එම පරමාර්ථ ධර්ම නම් – කාමාවචර කුසල චේතනා 8, රූපාවචර කුසල චේතනා 5, අකුසල චේතනා 12, අරූපාවචර කුසල  චේතනා 4) මෙසේ ඇති කල්හි එකම කරුණ අවස්ථා දෙකක දී අටුවාචාරීන් වහන්සේ දක්වනුයේ ඇයි?

අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාරයෝ සංස්කාර ශබ්දයෙන් පැමිණි සංස්කාරයන්ට ඇතුලත් වේ නමුදු එම සංස්කාරයෝ මෙම දේශනාවෙහි ප්‍රධාන බැවින් වෙනම දක්වන ලදී……. නොහොත් ‘‘සඞ්‌ඛාරසද්‌දෙනාගතසඞ්‌ඛාරා’’ (සංඛාර ශබ්දයෙන් පැමිණි සංස්කාර) යැයි සමුදාය කියන ලද්දේ වේ. මෙහි විස්තර කටයුතු භාවයෙන් තද්ඒකදේශ වූ‘‘අවිජ්‌ජාපච්‌චයා සඞ්‌ඛාරා’’ (අවිද්‍යාව හේතුවෙන් ඇතිවන සංස්කාර වේ ) යැයි කියන ලද්දේ වේ. විග්‍රහ කළයුතු පදයාගේ සහ සර්වසග්‍රාහක පදයාගේ වශයෙන් දෙවැදෑරුම් බව දත යුතුය. ( යදිපි අවිජ්‌ජාපච්‌චයා සඞ්‌ඛාරාපි සඞ්‌ඛාර-සද්‌දෙන ආගතා, තෙ පන ඉමිස්‌සා දෙසනාය පධානාති විසුං වුත්‌තා. ………... ‘‘සඞ්‌ඛාර-සද්‌දෙනාගතසඞ්‌ඛාරා’’ති වා සමුදායො වුත්‌තො, තදෙකදෙසො ච ඉධ වණ්‌ණිතබ්‌බභාවෙන ‘‘අවිජ්‌ජාපච්‌චයා සඞ්‌ඛාරා’’ති, තස්‌මා වණ්‌ණිතබ්‌බසබ්‌බසඞ්‌ගහණවසෙන දුවිධතා වුත්‌තාති වෙදිතබ්‌බා. ඡට්ඨ සංගායනා ත්‍රිපිටක මෘදුකාංගය, විභඞ්‌ග-මූලටීකා,පටිච්‌චසමුප්‌පාදවිභඞ්‌ගො)

විභංගප්‍රකරණයයෙහි පැමිණි එකොළොස් වැදෑරුම් සංස්කාර

විභංගප්‍රකරණයයෙහි ස්කන්ධ  විභංගයේදී එකොළොස් ආකාරයකට ස්කන්ධ   බෙදා දක්වා ඇත (බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ එන පරිවර්තනය පහතින් දක්වනු ලැබේ – විභංගප්‍රකරණය, පි. 11, බු.ජ.මු.)

“එහි සංස්කාරස්කන්ධය කවරේ යත්: අධ්‍යාත්ම වේව යි බාහිර වේව යි ඖදාරික වේව යි සූක්ෂ්ම වේව යි හීන වේව යි ප්‍රණීත වේව යි අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ යම් කිසි සංස්කාර කෙනෙක් වෙත් ද, දුරැ වූ හෝ ළඟ වූ හෝ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, ඒ සියල්ල එක් අයුරෙකින් කැටි කොට හකුළුවා මේ ‘සංස්කාරස්කන්ධ’යි කියනු ලැබේ.”

  1. ආධ්‍යාත්මික සංස්කාර – ඒ ඒ සත්ත්වයන්ගේ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ස්වකීය වූ ප්‍රාතිපුද්ගලික වූ උපාදින්න වූ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, (එබඳු) චක්ඛු සම්ඵස්සජ චේතනා යැ, සෝත සම්ඵස්සජ චේතනා යැ, ඝාන සම්ඵස්සජ චේතනා යැ, ජිව්හා සම්ඵස්සජ චේතනා යැ, කාය සම්ඵස්සජ චේතනා යැ, මනෝ සම්ඵස්සජ චේතනා යි. මොහු ‘අධ්‍යාත්ම සංස්කාරහ’යි කියනු ලැබෙත්.
  2. බාහිර සංස්කාර – ඒ ඒ පර සත්ත්වයන්ගේ පර පුද්ගලයන්ගේ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ස්වකීය වූ ප්‍රාති පුද්ගලික වූ උපාදින්න වූ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, (එබඳු) චක්ඛු සම්ඵස්සජ චේතනා යැ, සෝත සම්ඵස්සජ චේතනා යැ, ඝාන සම්ඵස්සජ චේතනා යැ, ජිව්හා සම්ඵස්සජ චේතනා යැ, කාය සම්ඵස්සජ චේතනා යැ, මනෝ සම්ඵස්සජ චේතනා යි. මොහු ‘බාහිර සංස්කාරහ’යි කියනු ලැබෙත්.
  3. ඕළාරික සංස්කාර  (ඕළාරික සංස්කාර සහ  සූක්ෂම සංස්කාර නිර්දේශයේ දක්වනුයේ පහත ආකාරයෙනි)
  4. සූක්ෂම සංස්කාර – අකුශල සංස්කාරයෝ ඖදාරිකයහ, කුශලාව්‍යාකෘත සංස්කාරයෝ සූක්ෂ්මයහ. කුශලාකුශල සංස්කාරයෝ ඖදාරිකයහ, අව්‍යාකෘත සංස්කාරයෝ සූක්ෂ්මයහ. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ ඖදාරිකයහ, සුඛෝපේක්ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සූක්ෂ්මයහ. සුඛදුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ ඖදාරිකයහ, උපේක්ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සූක්ෂ්මයහ. අසමාපන්නයාගේ සංස්කාරයෝ ඖදාරිකයහ, සමාපන්නයාගේ සංස්කාරයෝ සූක්ෂ්මයහ. සාස්‍රව සංස්කාරයෝ ඖදාරිකයහ, අනාස්‍රව සංස්කාරයෝ සූක්ෂ්මයහ. ඒ ඒ සංස්කාරයන් නිසා ඖදාරික සූක්ෂ්ම සංස්කාරයෝ දත යුත්තාහ.
  5.  හීන සංස්කාර  ( හීන  සංස්කාර සහ  ප්‍රණීත සංස්කාර නිර්දේශයේ දක්වනුයේ පහත ආකාරයෙනි)
  6. ප්‍රණීත සංස්කාර – අකුශල සංස්කාරයෝ හීනයහ, කුශලාව්‍යාකෘත සංස්කාරයෝ ප්‍රණීතයහ. කුශලාකුශල සංස්කාරයෝ හීනයහ, අව්‍යාකෘත සංස්කාරයෝ ප්‍රණීතයහ. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ හීනයහ, සුඛෝපේක්ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ ප්‍රණීතයහ. සුඛදුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ හීනයහ, උපේක්ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ ප්‍රණීතයහ. අසමාපන්නයාගේ සංස්කාරයෝ හීනයහ, සමාපන්නයාගේ සංස්කාරයෝ ප්‍රණීතයහ. සාස්‍රව සංස්කාරයෝ හීනයහ, අනාස්‍රව සංස්කාරයෝ ප්‍රණීතයහ. ඒ ඒ සංස්කාරයන් නිසා හීන ප්‍රණීත සංස්කාරයෝ දත යුත්තාහ.
  7.  දූර සංස්කාර  – අකුශල සංස්කාරයෝ කුශලාව්‍යාකෘත සංස්කාරයන් කෙරෙන් දුරු වෙති. කුශලාව්‍යාකෘත සංස්කාරයෝ අකුශල සංස්කාරයන් කෙරෙන් දුරු වෙති. කුශල සංස්කාරයෝ අකුශලාව්‍යාකෘත සංස්කාරයන් කෙරෙන් දුරු වෙති. අකුශලාව්‍යාකෘත සංස්කාරයෝ කුශල සංස්කාරයන් කෙරෙන් දුරු වෙති. අව්‍යාකෘත සංස්කාරයෝ කුශලාකුශල සංස්කාරයන් කෙරෙන් දුරු වෙති. කුශලාකුශල සංස්කාරයෝ අව්‍යාකෘත සංස්කාරයන් කෙරෙන් දුරු වෙති. දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සුඛෝපේක්ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් කෙරෙන් දුරු වෙති. සුඛෝපේක්ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් කෙරෙන් දුරැ වෙති. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ දුඃඛෝපේක්ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් කෙරෙන් දුරු වෙති. දුඃඛෝපේක්ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් කෙරෙන් දුරු වෙති. උපේක්ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක් සංස්කාරයන් කෙරෙන් දුරු වෙති. සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ උපේක්ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන් කෙරෙන් දුරු වෙති. අසමාපන්නයාගේ සංස්කාරයෝ සමාපන්නයාගේ සංස්කාරයන් කෙරෙන් දුරු වෙති. සමාපන්නයාගේ සංස්කාරයෝ අසමාපන්නයාගේ සංස්කාර කෙරෙන් දුරු වෙති. සාස්‍රව සංස්කාරයෝ අනාස්‍රව සංස්කාරයන් කෙරෙන් දුරු වෙති. අනාස්‍රව සංස්කාරයෝ සාස්‍රව සංස්කාරයන් කෙරෙන් දුරු වෙති. මොහු ‘දූරේ සංස්කාරහ’යි කියනු ලැබෙත්.
  8. සන්තික සංස්කාර – අකුශල සංස්කාරයෝ අකුශල සංස්කාරයන්ට ආසන්නයෙහි (සන්තිකේ) වෙති. කුශල සංස්කාරයෝ කුශල සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. අව්‍යාකෘත සංස්කාරයෝ අව්‍යාකෘත සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන්ට ආසන්යෙහි වෙති. උපේක්ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයෝ උපේක්ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. අසමාපන්නයාගේ සංස්කාරයෝ අසමාපන්නයාගේ සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. සමාපන්නයාගේ සංස්කාරයෝ සමාපන්නයාගේ සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. සාස්‍රව සංස්කාරයෝ සාස්‍රව සංස්කාරයන්ට ආසන්නයෙහි වෙති. අනාස්‍රව සංස්කාරයෝ අනාස්‍රව සංස්කාරයන්ට ආසන්නයෙහි වෙත්. මොහු ‘සන්තිකේ සංස්කාරහ’යි කියනු ලැබෙත්. තවද ඒ ඒ සංස්කාරයන් හෝ නිසා දූරේ සන්තිකේ සංස්කාරයෝ දත යුත්තාහ.
  9. අතීත සංස්කාර – අතීත වූ නිරුද්ධ වූ පහවැ ගියා වූ විපරිණත වූ අස්තඞ්ගත වූ වෙසෙසින් අස්තඞ්ගත වූ ඉපිද පහවැ ගියා වූ අතීත වූ අතීතාංශයෙන් සඞ්ගෘහිත වූ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, (එබඳු වූ) චක්ඛු සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් චේතනා යි. මොහු ‘අතීත සංස්කාරහ’යි කියනු ලැබෙත්.
  10. අනාගත සංස්කාර – නො හටගත් නො වූ ප්‍රත්‍යය සමවායෙන් නො හටගත් නො නිපන් වෙසෙසින් නො නිපන් නො පහළ වූ නූපන් ප්‍රත්‍ය සමවායෙන් නූපන් නො නැඟුණු ප්‍රත්‍යය සමවායෙන් නො නැඟුණු අනාගත වූ අනාගතාංශයෙන් සඞ්ගෘහිත වූ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, (එබඳු වූ) චක්ඛු සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් චේතනා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් චේතනා යි. මොහු ‘අනාගත සංස්කාරහ’යි කියනු ලැබෙත්.
  11. ප්‍රත්‍යුත්පන්න සංස්කාර – හටගත් උපන් ප්‍රත්‍යය සමවායෙන් හටගත් නිපන් වෙසෙසින් නිපන් ප්‍රාදුර්භූත වූ උත්පන්න වූ සමුත්පන්න වූ උත්ථිත වූ සමුත්ථිත වූ ප්‍රත්‍යුත්පන්න වූ ප්‍රත්‍යුත්පන්නාංශයෙන් සඞ්ගෘහිත වූ යම් සංස්කාර කෙනෙක් වෙත් ද, (එබඳු) චක්ඛු සම්ඵස්සජ චේතනා යැ, සෝත සම්ඵස්සජ චේතනා යැ, ඝාන සම්ඵස්සජ චේතනා යැ, ජිව්හා සම්ඵස්සජ චේතනා යැ, කාය සම්ඵස්සජ චේතනා යැ, මනෝ සම්ඵස්සජ චේතනා යි. මොහු ‘ප්‍රත්‍යුත්පන්න සංස්කාරහ’යි කියනු ලැබෙත්.

සංඛාරපදය සූත්‍රාන්තයට බහාලීම

ඉහතින් සඞ්‌ඛතසඞ්‌ඛාර, අභිසඞ්‌ඛතසඞ්‌ඛාර, අභිසඞ්‌ඛරණසඞ්‌ඛාර, ප්‍රයොගාභිසඞ්‌ඛාර යන සංඛාර පදයෙහි අර්ථ චතුෂ්කය සඳහා අටුවාවේ පැමිණි සූත්‍ර උදාහරණ දැක්වීමු. එම විග්‍රහය උපයෝගී කරගනිමින් සූත්‍රාන්තයෙහි අර්ථ උද්ධරණය කරගැනීමට උපකාරී වන උදාහරණ කිහිපයක් ද, සංඛාර පදය සම්බන්ධව මතුවූ ගැටළු කිහිපයකට පිළිතුරු ද මෙම කොටසින් විමසුමට ලක් වේ.

  1. ‘ සංස්කාර ස්කන්ධය ’ යනුවෙන් ස්කන්ධ විභාගයේ දී දැක්වෙන්නේ කුමක්ද? එය ඉහත විග්‍රහයට සම්බන්ධ කරන්නේ කෙසේද?

ස්කන්ධ යනු රාශි (සමූහ) අර්ථයෙනි. අතීත, අනාගත, වර්තමාන,ආධ්‍යාත්මික, බාහිර, ඕළාරික, සූක්ෂම, හීන, ප්‍රණීත, දූර, සන්තික වූ එකොළොස් වැදෑරුම් රූප සමූහය , රූප ස්කන්ධයට ඇතුලත් ය. පරමාර්ථ ධර්ම වශයෙන් අටවිසි රූපය යි. අතීතාදී එකොළොස් වැදෑරුම් වේදනා සමූහය වේදනා ස්කන්ධය වේ. පරමාර්ථ ධර්ම වශයෙන් වේදනා චෛතසිකය යි. අතීතාදී එකොළොස් වැදෑරුම් සඤ්ඤා සමූහය සඤ්ඤා ස්කන්ධය වේ. පරමාර්ථ ධර්ම වශයෙන් සඤ්ඤා චෛතසිකය යි. අතීතාදී එකොළොස් වැදෑරුම් චේතනා චෛතසිකය ඇතුලු සෙසු පණසක් වූ චෛතසික සමූහය සංස්කාර ස්කන්ධය වේ. පරමාර්ථ ධර්ම වශයෙන් චේතනා චෛතසිකය ඇතුලු සෙසු පණසක් වූ චෛතසික සංඛාර ස්කන්ධයට ඇතුලත් වේ. අතීතාදී එකොළොස් වැදෑරුම් සිත් සමූහය විඤ්ඤාණ ස්කන්ධය වේ. පරමාර්ථ ධර්ම වශයෙන් සිත් අසූ නවය විඤ්ඤාණ ස්කන්ධයට ඇතුලත් වේ.

  • සඞ්‌ඛතසඞ්‌ඛාර – පඤ්චස්කන්ධයම සඞ්‌ඛතසඞ්‌ඛාර වේ.හේතු ප්‍රත්‍යයන් නිසා හටගෙන ඇති බැවිනි.
  • අභිසඞ්‌ඛතසඞ්‌ඛාර –  රූප  ස්කන්ධය  අතරෙන් විසි කර්මජ රූප ද, වේදනා ස්කන්ධය සඳහා ලෞකික විපාක සිත් දෙතිසෙහි යෙදෙන වේදනා දෙතිස ද, සඤ්ඤා  ස්කන්ධය සඳහා ලෞකික විපාක සිත් දෙතිසෙහි යෙදෙන සඤ්ඤා  දෙතිස ද, සංඛාර  ස්කන්ධය සඳහා ලෞකික විපාක සිත් දෙතිසෙහි චේතනා චෛතසිකය ඇතුලු සෙසු පණසක් වූ චෛතසික ද, විඤ්ඤාණ ස්කන්ධය අතරෙන් ලෞකික විපාක සිත් දෙතිස ද  ඇතුලත් වේ.
  • අභිසඞ්‌ඛරණසඞ්‌ඛාර – මෙහිදී ගනු ලබන්නේ කුසලා අකුසල රැස් කරන අවස්ථාවේදී පහළ වන  සංඛාර ස්කන්ධය යි. එයින් ද ප්‍රධාන වනුයේ චේතනා චෛතසිකය යි. කාමාවචර කුසල සිත් අටෙහි ද , රූපාවචර කුසල් සිත් පසෙහි ද, අරූපාවචර කුසල් සිත්  සතරෙහි ද , අකුසල් සිත් දොළොසෙහි ද සංඛාර ස්කන්ධ පරියාපන්න වූ චේතනා විසිනවය මීට ඇතුලත් ය. (“අවිජ්ජා පච්ච්යා සංඛාරා” යනු අභිසඞ්‌ඛරණ සඞ්‌ඛාර ම බැවින් මෙය ද එම ක්‍රමයෙන් දත යුතුය.)
  • ප්‍රයොගාභිසඞ්‌ඛාර- සංඛාර ස්කන්ධය ඇතුලත් වීර්යය චෛතසිකය යි. එය කායික සහ චෛතසික වීර්යය සමුට්ඨාපනය කරන බැවිනි.
  1. මනෝ පුබ්බඬගමා ගාථාවෙන් ‘සංස්කාර’ ගැන කියවේ ද?

ධම්මපදයෙහි පළමුවන ගාථාව වන ‘මනෝ පුබ්බඞ්ගමා’ බොහෝ දෙනා හොඳින් දන්නා එකකි. එහි අර්ථය පිළිබඳව විමසුවහොත් පවසනුයේ “සියල්ල සිත පෙරටුව සිදු වන බවත් දූෂ්‍ය වූ සිතකින් යමක් කියයි ද කරයි ද,  ඉන් ගැල උසුලන ගොනුගේ පියවර අනුව යන ගැල් සක මෙන් දුක් ඒ පුද්ගලයා වෙත එළඹෙයි” යනුවෙනි. එහි මනස මුල් වී සිදුවන ක්‍රියාවලිය තේරුම් ගැනීමට “ධම්මා” පදයෙහි අර්ථය නිසි ආකාරයෙන් දත යුතුය.

ධම්මා – ධර්මයෝ  ; මනෝ පුබ්බඞ්ගමා – මනස පූර්වාංගම කොට ඇත්තේය. මනෝ සෙට්ඨා – මනස අධිපති කොට ඇත්තේය ; මනෝමයා – සිතින් කරන ලද්දාහ. චේ – ඉදින් ; පදුට්ඨේන මනසා – දූෂ්‍ය වූ සිතකින් ; භාසති වා – කියයි නම් හෝ ; කරෝති වා – කරයි නම් හෝ ; තතෝ – ඒ දුශ්චරිත හේතුවෙන් ; දුක්ඛං – දුක්ඛයෝ ; නං – ඒ දුෂ්චරිතයෙන් යුත් පුද්ගලයා ; අවෙන්ති – අනුව එයි. වහතෝ පදං – ගැල උසුලන්නා වූ (ගොනු වෙහෙසට පත් කරමින්) ගොනුගේ අනුව යන්නා වූ ; චක්කං ඉව – ගැල් සක මෙනි.

මෙහි සඳහන් වන මනස පූර්වාංගම වන, අධිපති වශයෙන් මන ශ්‍රේෂ්ඨ වී මනසින් නිපදවෙන ධර්මතා මගින් අනිෂ්ට ප්‍රතිඵල ඇති වන බව පැහැදිලිය. මනෝපුබ්බඞ්ගමා, මනෝසෙට්ඨා, මනෝමයා යන පද ධම්මා යන පදයට විශේෂණයෝ වෙත්. ‘ධම්මා’ යන පදයෙන් දැක්වෙනුයේ විඤ්ඤාණස්කන්ධය පූර්වාංගම වී (මනස පූර්වාංගම වී) සකස් කෙරෙන සෙසු නාමස්කන්ධ තුන වන වේදනාස්කන්ධය, සංඥා ස්කන්ධය සහ සංඛාර ස්කන්ධයයි. එම ස්කන්ධ තුන අතරින් සංඛාර ස්කන්ධයට ඇතුළත් චේතනා චෛතසිකය මගින් කර්මය සිදුකරවන අතර ඉන් මතු විපාක ජනනය කිරීමේ හැකියාව ඇති කරයි. ඉහත විග්‍රහයෙහි ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ යන තැන පැමිණෙන අභිසංඛරණය සිදු කරන්නා වූ චේතනා 29 මීට ඇතුළත්වේ. (සො අත්‌ථතො තයො අරූපිනො ඛන්‌ධා වෙදනාක්‌ඛන්‌ධො සඤ්‌ඤාක්‌ඛන්‌ධො සඞ්‌ඛාරක්‌ඛන්‌ධොති. එතෙ හි මනො පුබ්‌බඞ්‌ගමො එතෙසන්‌ති මනොපුබ්‌බඞ්‌ගමා නාම ධම්‌මපදට්‌ඨකථා 1, පි. 12- හේ. මු. )

  1. “සබ්බේ සංඛාරා අනිච්චාති” ගාථාවේ එන අනිත්‍ය ලෙස විදර්ශනාවෙන් දැකිය යුතු සංඛාර මොනවා ද?

‘‘සබ්‌බෙ සඞ්‌ඛාරා අනිච්‌චාති, යදා පඤ්‌ඤාය පස්‌සති;
අථ නිබ්‌බින්‌දති දුක්‌ඛෙ, එස මග්‌ගො විසුද්‌ධියා’’ති. (ධම්මපද පාළි, පි.95, බු.ජ.මු.)

එහි අර්ථය නම් “ කාම රූප අරූප ආදි යන තුන් භවයන්හි ඉපදුනාවූ ස්කන්ධ ( සංස්කාරයෝ ) ඒ ඒ තැනම  නිරුද්ධවීම වශයෙන් අනිත්‍යය  යැයි යම් කළෙක විදර්ශනා ප්‍රඥාවෙන් දකී ද, ඉක්බිති මෙම ස්කන්ධ පරිහරණයෙහි කළකිරෙයි, කළකිරෙනුයේ දුක්ඛය  පිරිසිඳ දැනීම් ආදී වශයෙන් සත්‍යාවබෝධය ලබයි. එය විශුද්ධිය පිණිස, වෝදානය පිණිස මාර්ගය වේ ” යන්නයි. (තත්‌ථ සබ්‌බෙ සඞ්‌ඛාරාති කාමභවාදීසු උප්‌පන්‌නා ඛන්‌ධා තත්‌ථ තත්‌ථෙව නිරුජ්‌ඣනතො අනිච්‌චාති යදා විපස්‌සනාපඤ්‌ඤාය පස්‌සති, අථ ඉමස්‌මිං ඛන්‌ධපරිහරණදුක්‌ඛෙ නිබ්‌බින්‌දති, නිබ්‌බින්‌දන්‌තො දුක්‌ඛපරිජානනාදිවසෙන සච්‌චානි පටිවිජ්‌ඣති. එස මග්‌ගො විසුද්‌ධියාති විසුද්‌ධත්‌ථාය වොදානත්‌ථාය එස මග්‌ගොති අත්‌ථො.ධම්මපදට්ඨ කථා 2, පි. 540, හේ.මු.)

“සබ්‌බෙ සඞ්‌ඛාරා අනිච්‌චා” – ‘ සියලු සංස්කාරයෝ අනිත්‍යය ‘ යැයි විදර්ශනා ප්‍රඥාවෙන් දැකිය යුත්තේ කාම රූප අරූප ආදි යන තුන් භවයන්හි ඉපදුනාවූ ස්කන්ධයෝ ම ය. ‘සබ්‌බෙ’ (සියලු) යන මෙම පදයෙන් ලෝකෝත්තර ධර්මතා ද (මාර්ග සිත් 04, ඵල සිත් 04 සහ නිර්වාණය) සංඛාර ලෙස ගෙන විදර්ශනා කළ යුතු බවක් අදහස් නොවේ. “සබ්බෙ භායන්ති මච්චුනො – සියල්ලෝම මරණයට බියවෙති ” යන ගාථාවේ මෙනි.  සියල්ලෝම මරණයට බිය වෙති යැයි වදාළේ නමුදු ද රහතන් වහන්සේ මරණයට බිය නොවේ. (ඛීණාසවො සක්‌කායදිට්‌ඨියා පහීනත්‌තා මරණකසත්‌තං අපස්‌සන්‌තො න භායති ධම්මපදට්ඨ කථා 2, පි. 369, හේ.මු.)

  1. රූපාරම්මණයක් දැකීම තුල සකස් වෙන සංස්කාර

“චක්‌ඛුඤ්‌චාවුසො, පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති චක්‌ඛුවිඤ්‌ඤාණං, තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො, ඵස්‌සපච්‌චයා වෙදනා, යං වෙදෙති තං සඤ්‌ජානාති, යං සඤ්‌ජානාති තං විතක්‌කෙති, යං විතක්‌කෙති තං පපඤ්‌චෙති, යං පපඤ්‌චෙති තතොනිදානං පුරිසං පපඤ්‌චසඤ්‌ඤාසඞ්‌ඛා සමුදාචරන්‌ති අතීතානාගතපච්‌චුප්‌පන්‌නෙසු චක්‌ඛුවිඤ්‌ඤෙය්‍යෙසු රූපෙසු.” (මධුපිණ්ඩික සූත්‍රය, මජ්ඣිම නිකාය 1, පි.281, බු.ජ.මු.)

“ ඇවැත්නි, ඇස ද රූපයන් ද නිසා චක්ෂුර්විඥානය උපදී. මේ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය නිසා වෙදනාව වෙයි. යමක් විඳී ද එය හඳුනයි. යමක් හඳුනා ද එය විතර්කණය කෙරෙයි. යමක් විතර්කණය කෙරේ ද, එය ප්‍රපඤ්චයට පමුණුවයි. යමක් ප්‍රපඤ්චයට පමුණුවා නම් ඒ චක්ෂුරූපාදී කාරණයෙන් (තෘෂ්ණාදෘෂ්ටි) ප්‍රපඤ්චයන්ගෙන් යුක්ත සංඥාකොට්ඨාසයෝ අතීතානාගතවර්තමාන වූ ඇසින් බලා දතයුතු වූ රූපයෙහි ලා පුරුෂයා අභිභවනය කෙරෙත්. ”

  • මෙහි සියලු ධර්මතා හේතු ප්‍රත්‍යයන් නිසා හටගත් බැවින් සඞ්‌ඛතසඞ්‌ඛාර වේ.
  • ඇස කර්මය නිසා හටගත් බැවින් අභිසඞ්‌ඛතසඞ්‌ඛාර වේ.
  • ඇසට අරමුණු වන වර්ණ රූපය චතුසමුට්ඨානිකය. ඉන් කර්ම සමුට්ඨානික රූප  අභිසඞ්‌ඛතසඞ්‌ඛාර වේ.
  • ඇස සහ රූපය නිසා උපදින චක්ඛු විඤ්ඤාණය පෙර කර්මයක විපාක ලෙස උපදින බැවින් අභිසඞ්‌ඛතසඞ්‌ඛාර වේ.
  • චක්ඛු විඤ්ඤාණ සහජාත වූ (විඤ්ඤාණය සමග උපදින) ඵස්ස, වේදනා, සඤ්ඤා අභිසඞ්‌ඛතසඞ්‌ඛාර වේ.
  • විතර්කය චක්ඛු විඤ්ඤාණයට අනතුරුව උපදින සිත්වල පහළ වේ. සම්පටිච්ඡන, සන්තීරණ  සිත් විපාක වන බැවින් අභිසඞ්‌ඛතසඞ්‌ඛාර  වේ. කුසල ජවන් සිත් සහ අකුසල ජවන් සිත් පහළ වනවිට කර්ම සකස් කරන බැවින් එම සිත්වල යෙදෙන චේතනා අභිසඞ්‌ඛරණසඞ්‌ඛාර  වේ.

 (තත්‌ථ ඵස්‌සවෙදනාසඤ්‌ඤා චක්‌ඛුවිඤ්‌ඤාණෙන සහජාතා හොන්‌ති. විතක්‌කො චක්‌ඛුවිඤ්‌ඤාණානන්‌තරාදීසු සවිතක්‌කචිත්‌තෙසු දට්‌ඨබ්‌බො. පපඤ්‌චසඞ්‌ඛා ජවනෙන සහජාතා හොන්‌ති.මජ්ඣිමනිකායට්ඨකථා 02, පි. 540, හේ.මු.)

  1. ප්‍රයෝගාභිසංස්කාර ඇති වනුයේ ලෝකෝත්තර අවස්ථාවල දී පමණක් ද ?

ඉහතින් දැක්වා ඇති ක්‍රමයට අනුව කායික චෛතසික සංඛ්‍යාත වූ ප්‍රයෝගයක්  යම් සිතක උපදියි ද ප්‍රයෝගාභිසංඛාර ඇතිවෙන බව දත යුතුය.  එම නිසා ඉහත දැක්වූ ක්‍රමයට අනුව ලෞකික ලෝකෝත්තර අවස්ථා දෙකෙහි දී ම ඇතිවේ.

  1. ප්‍රයෝගාභිසංස්කාරය පුණ්‍යාභිසංස්ඛාරය එකම අවස්ථාවකදී යෙදිය හැකි ද?

යම් පුද්ගලයකු කුසල සංඛ්‍යාත වූ වීර්යයක යෙදෙන විට ප්‍රයෝගාභිසංස්කාරය සහ පුණ්‍යාභිසංස්ඛාරය දෙකම එකවිට උපදියි.

  1. “පයොගප්‌පටිප්‌පස්‌සද්‌ධි පඤ්‌ඤා ඵලෙ ඤාණං” යන්නෙහි ලෝකෝත්තර සිතෙහි යෙදෙන කවර ධර්මතාවක් ප්‍රයෝගාභිසංස්කාර වේ ද ? “පයොගප්‌පටිප්‌පස්‌සද්‌ධි පඤ්‌ඤා ඵලෙ ඤාණං” යනු ප්‍රයෝගාභිසංස්කාර ද?

“පයොගප්‌පටිප්‌පස්‌සද්‌ධි පඤ්‌ඤා ඵලෙ ඤාණං” සඳහන් වනුයේ පටිසම්භිදා මග්ගපාළියේ ය. (මහාවග්‌ග – ඤාණකථා) මෙයින් දැක්වෙන්නේ මාර්ග සිතට අනතුරුව උපදින ඵල සිතයි. එම නිසා මෙයින් අදහස් වන්නේ කුමක්දැයි නිවැරදිව වටහා ගැනීම සඳහා මාර්ග සිත පහතින් දක්වනු ලැබේ.

“කථං දුභතො වුට්‌ඨානවිවට්‌ටනෙ පඤ්‌ඤා මග්‌ගෙ ඤාණං? සොතාපත්‌තිමග්‌ගක්‌ඛණෙ දස්‌සනට්‌ඨෙන සම්‌මාදිට්‌ඨි මිච්‌ඡාදිට්‌ඨියා වුට්‌ඨාති, තදනුවත්‌තකකිලෙසෙහි ච ඛන්‌ධෙහි ච වුට්‌ඨාති, බහිද්‌ධා ච සබ්‌බනිමිත්‌තෙහි වුට්‌  ඨාති. තෙන වුච්‌චති ‘‘දුභතො වුට්‌ඨානවිවට්‌ටනෙ පඤ්‌ඤා මග්‌ගෙ ඤාණං’’. (පටිසම්භිදාමග්ග පාලි පි. 131, බු.ජ.මු.)

“කෙසේ නම් දෙයාකාරයකින් නැගිටින්නාවූත් සහ වෙන්වන්නාවූත් ප්‍රඥාව මාර්ගඥාන නම්වේද? සෝවාන් මාර්ග ක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙන් නැගිටියි. ඒ මිථ්‍යාදෘෂ්ටිය අනුව පවත්නා ක්ලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද නැගිටියි , බාහිර සියලු සංඛාර නිමිති කෙරෙන්ද නැගිටියි. එහෙයින් දෙයාකාරයකින් නැගිටින්නාවූත් වෙන්වන්නාවූත් ප්‍රඥාව මාර්ග ඥානයයි කියනු ලැබේ”.

මෙහි “දුභතො වුට්‌ඨානවිවට්‌ටන” යනු දෙයාකාරයකින් වුට්ඨානය සහ විවට්‌ටනය සිදුවන බවය. ක්ලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද , බාහිර සියලු සංඛාර නිමිති කෙරෙන්ද යන දෙයාකාරයකින් වුට්ඨානය සහ විවට්‌ටනය සිදුවේ. ක්ලේශයන් සහ ස්කන්ධයන් නම් එම මිථ්‍යා දෘෂ්ටිය අනුව පවත්නා කෙළෙස් සහ අකුසල ස්කන්ධයන්ය. බාහිර සියලු සංඛාර නිමිති  යන්නෙහි බාහිර බව දක්වනුයේ ආධ්‍යාත්මික සන්තානයෙහි අකුසල ස්කන්ධයන්ට අනුවය ( අකුසල ස්කන්ධයන් අපේක්ෂා කරමින්ය) . එම නිසා ඒ ආධ්‍යාත්මික සන්තාන පරියාපන්න වූ අකුසල ස්කන්ධයන්ට අයත් නොවන සෙසු ස්කන්ධයන් බාහිර සියලු සංඛාර නිමිති වේ. එහෙයින් බාහිර සංඛාර නිමිති කෙරෙන්ද නැඟෙයි ද පහවී මත්තෙහි පිහිටා ද එය වුට්ඨානයි. විවට වෙයිද පරාවර්ත වෙයි ද පරම්මුඛ වෙයි ද එය විවට්‌ටනයයි.  වුට්‌ඨාන ද විවට්‌ටන ද  සමාස වී වුට්‌ඨානවිවට්‌ටනං වේ. (බහිද්‌ධාති සඞ්‌ඛාරනිමිත්‌තං. තඤ්‌හි අජ්‌ඣත්‌තචිත්‌තසන්‌තානෙ අකුසලක්‌ඛන්‌ධෙ උපාදාය බහිද්‌ධාති වුත්‌තං. තස්‌මා බහිද්‌ධා සඞ්‌ඛාරනිමිත්‌තම්‌හා වුට්‌ඨාති විගතං හුත්‌වා උද්‌ධං තිට්‌ඨතීති වුට්‌ඨානං, විවට්‌ටති පරාවට්‌ටති පරම්‌මුඛං හොතීති විවට්‌ටනං, වුට්‌ඨානඤ්‌ච තං විවට්‌ටනඤ්‌චාති වුට්‌ඨානවිවට්‌ටනං. – පටිසම්‌භිදාමග්‌ගට්ඨකථා, පි. 18, හේ.මු.)

තව ද මෙහි අර්ථය සුගම කිරීමට විශුද්ධි මාර්ගයේ එන පහත පාඨය ද අටුවාචාරීන් වහන්සේ දක්වත්.

“මේ සතර මාර්ග ඥාණයෝ ම නිර්වාණාලම්බන හෙයින් සංස්කාර නිමිත්තෙන් නැඟෙති.සමුදය සමුච්ඡේද කරණ හෙයින් විපාක ප්‍රවෘත්තයෙන් නැඟෙත් නුයි දුභතෝ වුට්ඨාන වේ.” (චත්‌තාරිපි මග්‌ගඤාණානි අනිමිත්‌තාරම්‌මණත්‌තා නිමිත්‌තතො වුට්‌ඨහන්‌ති, සමුදයස්‌ස සමුච්‌ඡින්‌දනතො පවත්‌තා වුට්‌ඨහන්‌තීති දුභතො වුට්‌ඨානානි හොන්‌තී’’ තිපටිසම්‌භිදාමග්‌ගට්ඨකථා, පි.18, හේ.මු.)

මෙම ලිපිය දීර්ඝ වන බැවින් සෝවාන් මාර්ග ක්ෂණයේ සම්‌මාදිට්‌ඨිය පමණක් මෙහි දක්වා ඇත. පාලියෙහි  සෙසු  මාර්ගාංග සඳහා ද සකදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග- ඵල සඳහා ද මෙම ක්‍රමය විස්තාරිත ය. (සම්පුර්ණ විස්තරය සඳහා පටිසම්භිදා මග්ගපාළියේ , මහාවග්‌ග – ඤාණකථා කියවන්න)

මාර්ගාංග  සළකා බැලීමේ දී මාර්ග සිතෙහි පහළ වන විරිය චෛතසිකය සම්මා වායාමය යි. එහි කෘත්‍යය පහත පාලියෙන් දැක්වේ.

“පග්‌ගහට්‌ඨෙන සම්‌මාවායාමො මිච්‌ඡාවායාමා වුට්‌ඨාති, තදනුවත්‌තකකිලෙසෙහි ච ඛන්‌ධෙහි ච වුට්‌ඨාති, බහිද්‌ධා ච සබ්‌බනිමිත්‌තෙහි වුට්ඨාති තෙන වුච්චති ‘දුභතො වුට්‌ඨානවිවට්‌ටනෙ පඤ්‌ඤා මග්‌ගෙ ඤාණං’ ” ( පටිසම්භිදාමග්ග පාලි පි. 131, බු.ජ.මු. )

“පග්‌ගණ්‌හන ස්වභාවයෙන් ( එසවීම් ස්වභාවයෙන් ) සම්‍යග්ව්‍යායාමය මිථ්‍යාව්‍යායාමයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලෙශයන් කෙරෙන් ද ස්කන්ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟෙයි. එයින් කියනු ලැබෙයි : දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.”

සම්මා වායාම සඬ්ඛ්‍යාත විරිය පමණක් මෙහි ප්‍රයෝගාභිසංස්කාර වේ.  සෙසු  මාර්ගාංග ප්‍රයෝගාභිසංස්කාර නොවේ.

මාර්ග ඥානයට අනතුරුව පහල වන ඵලය  – “පයොගප්‌පටිප්‌පස්‌සද්‌ධිපඤ්‌ඤා ඵලෙ ඤාණං”

“කථං පයොගප්‌පටිප්‌පස්‌සද්‌ධිපඤ්‌ඤා ඵලෙ ඤාණං? සොතාපත්‌තිමග්‌ගක්‌ඛණෙ දස්‌සනට්‌ඨෙන සම්‌මාදිට්‌ඨි මිච්‌ඡාදිට්‌ඨියා වුට්‌ඨාති, තදනුවත්‌තකකිලෙසෙහි ච ඛන්‌ධෙහි ච වුට්‌ඨාති, බහිද්‌ධා ච සබ්‌බනිමිත්‌තෙහි වුට්‌ඨාති. තංපයොගප්‌පටිප්‌පස්‌සද්‌ධත්‌තා උප්‌පජ්‌ජති සම්‌මාදිට්‌ඨි. මග්‌ගස්‌සෙතං ඵලං.” (පටිසම්භිදාමග්ග පාලි පි. 133, බු.ජ.මු.)

“කෙසේ නම් උත්සාහය සංසිඳීමෙහි (පයොගප්‌පටිප්‌පස්‌සද්‌ධිපඤ්‌ඤා ) ප්‍රඥාව ඵල ඤාණය වන්නේද? සෝවාන් ක්ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙන් නැගිටියි. ඒ මිථ්‍යාදෘෂ්ටිය අනුව පවත්නා ක්ලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද නැගිටියි , බාහිර සියලු සංඛාර නිමිති කෙරෙන්ද නැගිටියි.  ඒ උත්සාහය සංසිඳුණු හෙයින් සම්‍යක් දෘෂ්ටිය උපදියි. එය සෝවාන් මාර්ගයාගේ ඵලය වෙයි.” මේ අනුව මාර්ග  ක්ෂණයෙහි  මාර්ග සිතෙහි දී ඒ මිථ්‍යාදෘෂ්ටිය අනුව පවත්නා ක්ලේශයන්ගෙන්ද ස්කන්ධයන්ගෙන්ද , බාහිර සියලු සංඛාර නිමිති කෙරෙන්ද නැගිටීම යන දෙයාකාරයෙන් වූ ප්‍රයෝගයෝ ඵල සිතෙහි දී සංසිඳෙයි.” පාලියෙහි  සෙසු  මාර්ගාංග සඳහා ද සකදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග – ඵල සඳහා ද මෙම ක්‍රමය විස්තාරිත ය.

මේ අනුව ඉහතින් දක්වන ලද දෙවැදෑරුම් වූ ප්‍රයෝග ඵල සිතෙහි දී සංසිඳීම නිසා “පයොගප්‌පටිප්‌පස්‌සද්‌ධිපඤ්‌ඤා ඵලෙ ඤාණං” යැයි පවසනු විනා එය ප්‍රයෝගාභිසංස්කාර බව අදහස් නොකරයි.

  1. රහතන් වහන්සේ තුල විද්‍යමාන වන සංස්කාර කවරේ ද?
  • සියල්ලෙන් සියල්ල  අවිද්‍යාව ප්‍රහාණය කරන ලද බැවින් අභිසඞ්‌ඛරණසඞ්‌ඛාර (පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනඤ්ජාභි සංස්කාර)  රහතන් වහන්සේට නැත.
  • හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ නාම – රූප ධර්ම ඇති බැවින් සඞ්‌ඛතසඞ්‌ඛාර ඇත.
  • පුරාණ කර්ම ප්‍රත්‍යයයෙන් හටගත් නාම – රූප ධර්ම ඇති බැවින් අභිසඞ්‌ඛතසඞ්‌ඛාර  ඇත.
  • රහතන් වහන්සේගේ කායික චෛතසික  වීර්යය ඇති විට ප්‍රයෝගාභිසංස්කාර යෙදේ.
  • චූල වෙදල්ල සූත්‍රයෙහි සහ යමක ප්‍රකරණයෙහි එන ක්‍රමයට සාමාන්‍ය අවස්ථාවල දී සහ ප්‍රථම ධ්‍යානයේ දී කාය කාය සංස්කාර ද (ආශ්වාස-ප්‍රාශ්වාස), වචී සංස්කාර ද (විතර්ක-විචාර) , චිත්ත සංස්කාර ද (විතර්ක-විචාර හැර සෙසු චිත්ත සම්ප්‍රයුක්තක ධර්මයෝ) ඇත. රහතන් වහන්සේ  දුතිය ධ්‍යානයට සමවැදුන විට දී වචී සංස්කාර (විතර්ක-විචාර) නැත.  චතුර්ථ  ධ්‍යානයට සමවැදුන විට දී කාය සංස්කාර (ආශ්වාස-ප්‍රාශ්වාස). නිරෝධ සමාපත්තියට සමවැදීමෙන් පසු  සිත් ඉපදීම නතර වීම නිසා චිත්ත සංස්කාර (විතර්ක-විචාර හැර සෙසු චිත්ත සම්ප්‍රයුක්තක ධර්මයෝ) නැත. නිරෝධ සමාපත්තියට සමවැදුනු පසු රූප කය ඇති බැවින් සඞ්‌ඛතසඞ්‌ඛාරවලින් කොටසක් අභිසඞ්‌ඛතසඞ්‌ඛාරවලින් කොටසක් ඇත.

ඉහත ක්‍රමවේදයෙන් වියුක්තව, අටුවාගත ධර්ම අර්ථ පසෙක ලා හුදෙක් ස්වපටිභානය මත පිහිටා ධර්මය අර්ථ දක්වන ගිහි-පැවිදි දේශකයන් හා රචකයන් මෙම පදය නිසි ලෙස අවබෝධ කර නොගැනීම නිසා සූත්‍ර වරදවා ගන්නා අවස්ථා විරළ නොවේ. හුදු තර්කයට පමණක් ගෝචර නොවන ප්‍රඥාවෙන් අවබෝධ කටයුතු බුද්ධ ශාසනය ප්‍රඥාවෙන් හැසිරිය යුත්තකි. ත්‍රිවිධ ශාසනයෙහි වෘද්ධියට පැමිණීම සඳහා අටුවාවෙන් ලැබෙනුයේ මනා උපකාරයකි.

මෙම ලිපිය සම්පාදනය කිරීමෙන් රැස් කරනා ලද යම් පුණ්‍යාභිසංස්කාර සමූහයක් වේද එය සියලු සත්වයන් හට සුවසේ නිවන් අවබෝධ කරගැනීම පිණිස හේතු වේවා….!

චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං…!!!

සම්පාදක
පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි

DOWNLOAD AS PDF

නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk