කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් ගැමුණු කුමරු තම සොහොයුරා වූ සද්ධාතිස්ස කුමරු සමග චූලංගනී නම් ස්ථානයේ දී රාජ්‍ය බලය පිණිස යුද්ධ කළේය. එම යුද්ධයෙන් ගැමුණු කුමරු පරාජයට පත්විය. තිස්ස නැමැති අමාත්‍යවරයෙක් සමග රජු වෙළඹකගේ පිට නැගී පලා යන්නට විය. දෙදෙනාම වන ලැහැබකට පිවිසි අතර බලවත් කුසගින්නක් දැනෙන්නට විය. තිස්ස ඇමති තමා සතුව තිබූ බත් පතක් ගෙන රජුට දුන්නේය. බත්පත සතරකට බෙදන ලෙස රජු අණ කළේය. “මෙහි සිටින්නේ අපි තිදෙනෙක් පමණකි. කොටස් හතරකට බත්පත බෙදන්නෙ ඇයි ” දැයි ඇමති තුමා රජුගෙන් ඇසුවේය . “තිස්සය, මට මතක ඇති කාලයේ පටන් භික්ෂූන් වහන්සේලාට දන් නොදී ආහාර ගැනීමක් සිදුකර නැත. මම අද ද භික්ෂූන් වහන්සේලාට දන් දී ම ආහාර ගනිමි” යැයි කුමරු

කීවේය. ඇමති තුමා බත්පත හතරකට බෙදුවේය. කුමරු “කාලඝෝෂා කරව” යැයි ඇමැති හට අණ කළේය . “දේවයන් වහන්ස, මේ ඉතා දුෂ්කර වන ලැහැබකි. මෙතන භික්ෂූන් වහන්සේලා සොයා ගත නො නොහැක” යැයි ඇමැති ප්‍රකාශ කළේය. “එය නුඹගේ බරක් නොවේ ඉදින් මට ශ්‍රද්ධාව ඇත් නම් භික්ෂූන් වහන්සේලා ලබමි. මා කෙරෙහි විශ්වාසය කර කාල ඝෝෂා කරව” යැයි රජතුමා ප්‍රකාශ කළේය.

වර්තමානයේදී ‘ධම්මස්සවණ කාලෝ අයං භදන්තා ‘ (ධර්මය ශ්‍රවණය පිණිස මේ කාලයයි) යනුවෙන් සිදුකර කරනුයේ ද කාල ඝෝෂාවකි. මෙහිදී අමාත්‍යවරයා සිදුකළේ දානය සඳහා කාලය දැන්වීමයි.

ඉක්බිති බෝධි මාතු මහා තිස්ස තෙරුන් වහන්සේ මෙම ශබ්දය දිව කනින් අසා මේ ශබ්දය කාගේදැයි ආවර්ජනය කරනුයේ ” දුටුගැමුණු රජු යුද්ධයෙන් පැරදී වනයට පිවිස හිඳිමින් බත් පතක් සතරකට බෙදා තනිවම අනුභව නොකරන්නෙමියි ඇයි කාලඝෝෂා කරවීය.අද ම විසින් රජු හට සංග්‍රහ කළ යුතුය” යැයි අහසින් වැඩ රජුගේ ඉදිරියෙහි වැඩ සිටි සේක.

රජතුමා පැහැදුණු සිත් ඇත්තේ වී ” තිස්සය බලව” යැයි පවසා තෙරුන් වහන්සේට වැඳ  “වහන්ස, පාත්‍රය දෙනු මැනවැ ” යි කීවේය. තෙරුන් වහන්සේ පාත්‍රය දුන් සේක. රජතුමා තමාගේ කොටස සමග තෙරුන් වහන්සේගේ කොටස ද පාත්‍රයෙහි බහා “වහන්ස, කිසි කලෙකත් මට ආහාරයෙන් අඩුපාඩුවක් නොවේවා යැයි” වන්දනා කරමින් සිටියේය. තිස්ස ඇමති ද මගේ ස්වාමියා බලා සිටියදී මට ආහාර ගත නොහැකි යැයි තමාගේ කොටස ද තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි තැන්පත් කළේය. වෙළඹ ද මෙසේ සිතුවාය “මගේ කොටස ද තෙරුන් වහන්සේට දීමට සුදුසුය”. රජතුමා වෙළඹ දෙස බලා වෙළඹ ද තමාගේ කොටස ද තෙරුන්වහන්සේ හට දීමට කැමතිය යැයි දැන එම කොටස්ද පාත්‍රයෙහි බහා තෙරුන් වහන්සේට වන්දනා කොට පිටත් කර හැරියේය. තෙරුන් වහන්සේ එම බත පිඬක් පිඬක් බැගින් වැඩිමහල් පිළිවෙලින් භික්ෂු සංඝයාට පූජා කළේය.

මට අතිශයින් කුසගිනි ය. ඉදින් බතේ ඉතිරි කොටසක් වේ නම් තෙරුන් වහන්සේ එය මට එවන්නේ නම් මැනවි යැයි රජු කල්පනා කළේය. තෙරුන්වහන්සවහන්සේ රජතුමාගේ සිත දැන අතිරේක වූ දානය ඔවුන් හට ඉතිරිකොට පාත්‍රය අහසින් රජතුමා වෙත එව්වේය. එහි වූ බත තිදෙනාටම ඇතිතාක් වැළඳීම සඳහා ප්‍රමාණවත් විය. ඉන්පසු රජතුමා පාත්‍රය දෝවනය කර ‘තෙරුන් වහන්සේට හිස් පාත්‍රය නොයවමි යයි’ තමාගේ උතුරු සළුව ගලවා පාත්‍රය එහි තබා ‘ පාත්‍රය අහසින් ගොස් ස්වාමීන් වහන්සේගේ දෑතේ පිහිටා වා’ යැයි අහසට නැංවූයේය. පාත්‍රය අහසින් ගොස් තෙරුන් වහන්සේගේ දෑතෙහි පිහිටියේය.

පසුකලක රජතුමා භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතූන් ගෙන් ද්‍රෝණයක් තැන්පත් කොට රුවන්වැලි මහා සෑය කරමින් සිටින අවදියේ දී එම සෑය නොනිමි කළ මරණාසන්න සමය එළඹුණේය. මහසෑයට දකුණු දෙසින් සැතපී පඤ්ච නිකායික භික්ෂූන් වහන්සේලා ධර්මය සජ්ඣායනා කරනු අසමින් සිටි කළ දිව්‍ය ලෝක සයෙන් ම දිව්‍ය රථ පැමිණ ඉදිරියෙහි අහසේ සිටියේය.

රජු  තමාගේ පින් පොත ගෙන්වාගෙන මුල පටන් කියවා ගත්තේ ය. කිසිදු කර්මයක් රජතුමාව සතුටට පත් නොකළේය. “ඉදිරියටත් කියවාගෙන යව” යැයි කීවේය. පොත කියවන්නා ” දෙවයන් වහන්ස, චූලංගනී යුද්ධයෙන් පැරදී වනයට පිවිස සිටි කල බතක් සතර කොටසක් කොට බෝධි මහා තිස්ස තෙරුන් වහන්සේට පූජා කළේය යැයි” කීවේය. “නවතිනු” යැයි පවසා ” වහන්ස, කවර දිව්‍යලෝකයක් නම් සිත්කලුද? ” යැයි භික්ෂු සංඝයාගෙන් ඇසුවේය. “සියලු බෝධි සත්ත්වයන් වාසය කරන්නා වූ තුසිත භවන සිත්කලු ය”යි සංඝයා පිළිතුරු දුන් සේක. රජතුමා කලුරිය කොට තුසිත භවනෙහි ඉපදුණේය.

සම්පාදක
පූජ්‍ය පූජාපිටියේ සූරියරතන හිමි


Download as PDF

නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk