භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව පුරා සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග    ඵල වලට පැමිණි උතුමන් වහන්සේලා ආර්යයෝ වෙත්. උන් වහන්සේලාගේ ඇති ගුණ මහන්තභාවය නිසා බොහෝ විට මෙම මාර්ග ඵල ලොවට ප්‍රකට නොකරත්. මේ එබඳු උතුමන් වහන්සේ නමක් පිළිබද කථා ප්‍රවෘත්තියකි.

පෙර සිතුල් පව්වෙහි රහතන් වහන්සේ නමක් වාසය කළේ ය. උන්වහන්සේගේ උපස්ථායකයා වුයේ මහළු වියේ දී පැවිදි බවට පත්වූ නවක භික්ෂුවකි. එක් දිනක් මෙම උපස්ථායක භික්ෂුව තෙරුන් වන්සේගේ පාත්‍ර සිවුරු ගෙන උන්වහන්සේගේ පසු පසින් වැඩම කළේ ය. ගමන් කරන අතරතුර තෙරුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය ඇසුවේය‍.“ආර්යයන් වහන්සේලා නම් කෙබඳු  වේ ද?”  එවිට රහතන් වහන්සේ ප්‍රකාශ කළේ “ඇතමෙක් මහළු වියේ දී පැවිදි වී ආර්යයන් වහන්සේලාගේ පාත්‍ර සිවුරු ගෙන වත් පිළිවෙත් කරමින් එක් ව වාසය කලද ආර්යයන් වහන්සේලා හඳුනා නො ගනී” යනුවෙනි. තෙරුන් වහන්සේ මෙසේ පැවසුවද උපස්ථායක භික්ෂුවට කාරණය වටහා ගැනීමට නොහැකි විය.

මින් පැහැදිලි වන්නේ ඇසින් දුටු මාත්‍රයෙන් ආර්යයන් වහන්සේලා හදුනාගත නොහැකි බවයි. ආර්යයන් වහන්සේලා හදුනාගත හැක්කේ ප්‍රඥා ඇසින් පමණි. ආර්යයන් වහන්සේලා බොහෝ විට තම ගුණ ප්‍රකට නොකිරීමට බලපාන එක් කරුණක් නම් ධ්‍යාන, මාර්ගඵල ආදී උතුම් මිනිස් දම් ප්‍රකාශකිරිම සම්බන්ධව බුදුරජාණන් වහන්සේ පැනවූ සික්ෂා පද ඒ ආර්යයන් වහන්සේලා මනාව පිළිපැදීමයි.

යම් උපසම්පදා භික්ෂුවක් තමා සතු ධ්‍යාන, මාර්ග ඵල ආදි උත්තරි මනුෂ්‍ය ධර්මයක් අනුපසම්පන්නයෙකුට (උපසම්පදා නොවූ පුද්ගලයෙකුට) ප්‍රකාශ කළහොත් පාචිත්තිය නැමැති ඇවතකට පත්වේ යනු බුදුරජාණන් වහන්සේගේ විනය ප්‍රඥප්තියයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති ආර්යයන් වහන්සේලා කිසිවිටෙකත් දැන දැන ශික්ෂාපද කඩ නොකරන්නාහ.

එසේ වුවද වර්තමානයේ ඇතැම් භික්ෂුන් වහන්සේලා ධ්‍යාන, මාර්ගඵල ආදිය තමා සාක්ෂාත් කරගත් බව ලෝකයාට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරත්. ඒ ඒ නොලැබූ ධ්‍යාන මාර්ගඵල තමා සාක්ෂාත් කර ගත්තේය යන වැරදි වැටහීම හෝ ලාභ, සත්කාර, කීර්ති ප්‍රසංශා සඳහා ඇති ලාමක ආශා නිසා සිදුවන්නක් බව අප වටහා ගත යුතුය.

(සබ්බාසව සුත්‍ර අටුවාව ඇසුරිණි)

සම්පාදක
පූජ්‍ය පූජාපිටියේ සූරියරතන හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
සනත් ඉන්දික 

නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk