සම්බුදු පහස තෙවරක් ලැබ සුපරිසුද්ධත්වයට පත්වූ අප දේශය බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් විසිපහකට වඩා ඉක්මගොස් ඇති නමුදු නිරන්තරයෙන්ම බුදු බණ ඇසෙන වාසනාවන්ත භූමියකි. රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා කිහිපයකින් මෙන්ම පුවත්පත්, අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය වලින් ජනතාවට දවස පුරා ධර්මලාභය නොඅඩුව ම ලැබේ. එසේ වුවද මේ පිලිබඳව කතාබහ කරන උදවිය “අවුරුද්දට දින 365ක් බණ කියන රටේ ඇයි ධර්මය පිළිපදින්නේ නැත්තේ ? ඇයි මේතරම් අපරාධ ? ”  යන චෝදනාව නිතරම ඉදිරිපත් වේ. මේ සඳහා හේතුවන කරුණු රාශියක් ඇත. ධර්මය අසන පුද්ගලයන් එම ධර්මය අසන ආකාරය සහ එම ධර්මය ශ්‍රවණයෙන් අනතුරුව කටයුතු කරන ආකාරයන්හි විවිධත්වය මීට බලපාන එක කරුණකි. පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණයෙහි ත්‍රික නිර්දේශයේ මේ පිළබඳව දේශනාවක් බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළහ. එහි එන පුද්ගලයන් තිදෙනෙකු නම්,

  • අවකුජ්ජ පඤ්ඤෝ – යටිකුරු කළ නුවණ ඇති පුද්ගලයා.
  • උච්ජඬ්ග පඤ්ඤෝ – ඇකයකට බඳු නුවණක් ඇති පුද්ගලයා.
  • පුථු පඤ්ඤෝ – පුළුල් නුවණක් ඇති පුද්ගලයා

අවකුජ්ජ පඤ්ඤෝ – යටිකුරු කළ නුවණ ඇති පුද්ගලයා

මෙලොව එක් පුද්ගලයෙක් දහම් ඇසීම පිණිස නිතරම විහාරයට යයි. භික්ෂූන් වහන්සේ  උපාසකයා ධර්මය ඇසීම පිණිස පැමිණියේය යැයි තමන්වහන්සේගේ කටයුතු පසෙක තබා ඔහුට ධර්මය දේශනා කරයි. මුල යහපත් වු (ආදි කල්‍යාණං) මැද යහපත් වු (මජ්ඣේ කල්‍යාණං) අවසානය යහපත්  වු (පරියෝසාන කල්‍යාණං) අර්ථ සහිත වු (සාත්ථං) ව්‍යඤ්ජන සහිත වු (සබ්‍යඤ්ජනං) පිරිපුන් වු (කේවල පරිපුණ්ණං) පිරිසිදු වු, සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව සංග්‍රහ වුණු ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරයි. මෙහිදී දේශකයාගේ පාර්ශවයෙන් දේශනා වන  ධර්මයෙහි ස්වභාවය පහත දැක්වෙන පරිදි තේරුම් ගත යුතුය.

  • අර්ථ සහිත වු (සාත්ථං) – දේශකයන් වහන්සේ විසින් අර්ථ සහිත වු ධර්මයක් ම දේශනා කරයි. කෑම-බීම,රථ-වාහන,ස්ත්‍රී-පුරුෂයන් ආදී ප්‍රයෝජනයක් නැති පිළිබඳව දේශනාවක් කරයිද එය නිරර්ථකය. එබඳු දේශනාවක් හැරපියා කුසල-අකුසල, සතර සතිපට්ඨාන ආදී බුද්ධ භාෂිතය ඇතුලත් වු දේශනාවක් වේද එය අර්ථ සම්පන්න වූවකි.
  • ව්‍යඤ්ජන සහිත වු (සබ්‍යඤ්ජනං) – අක්ෂර පිරිපුන් බැවින් යුතුව කරන දේශනාවකි. සිථිල ධනිත ආදී දසවිධ ව්‍යඤ්ජන කෞශල්‍යයක් දේශනාවක් පැවතිය යුතුය

විහාරය සඳහා ධර්මය ඇසීමට පැමිණෙන මෙම පුද්ගලයාට දේශකයා විසින් නිවැරදිව ධර්මය දේශනා කරන නමුදු ඔහු ආසනයේ හිඳිමින් ධර්මයේ මුල මනසිකාර නොකරයි. මැද මනසිකාර නොකරයි. අවසානය මනසිකාර නොකරයි. ධර්මය ඇසීමෙන් පසුව ආසනයෙන් නැඟිට ඇසූ ධර්මයෙහි මුල, මැද, අවසානය මෙනෙහි කිරීම නොකරයි. යටිකුරුව තබන ලද කළයකට දමන ජලය එහි නොරැඳී වැටෙන්නා සේ මෙම පුද්ගලයා පිළිබඳව උපමානුසාරයෙන් දත යුතුය. යටිකුරුව නවා තබන ලද කළය මෙන් අවකුජ්ජ පඤ්ඤ පුද්ගලයා දත යුතුය. ජලය වත් කරන කාලය මෙන් ධර්මදේශනාව අසන කාලය දත යුතුය. කළය මතට හෙළන ජලය නොරැඳී වැටෙන්නාසේ ආසනයෙහි හිඳ ධර්මය ඉගෙන ගැනීමට අසමත් වන කාලය දත යුතුය. ජලය නොරැඳෙන කාලය මෙන් ආසනයෙන් නැඟිට ධර්මය මනසිකාරය නොකරන කාලය දත යුතුය.

උච්ජඬ්ග පඤ්ඤෝ  :-

උච්ජඞ්ග යන පාලි වචනයෙහි අර්ථය ඇකය යන්නයි. මෙලොව ඇතැම් පුද්ගලයක් දහම් ඇසීම පිණිස නිතරම විහාරයට යයි. භික්ෂුන්වහන්සේ උපාසකයා ධර්මය ඇසීම පිණිස පැමිණියේ යැයි තමන්වහන්සේගේ කටයුතු පසෙක තබා ඔහුට ධර්මය දේශනා කරයි. මුල යහපත් වූ (ආදි කල්‍යාණං), මැද යහපත් වු (මජ්ඣේ කල්‍යාණං), අවසානය යහපත් වු (පරියෝසාන කල්‍යාණං), අර්ථ සහිත වු (සාත්ථං), ව්‍යඤ්ජන සහිත වු (සබ්‍යඤ්ජනං) පිරිපුන් වු (කේවල පරිපුණ්ණං) පිරිසිදු වු සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාව සංග්‍රහ වුණු ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරයි. පෙර පුද්ගලයා මෙන් නොව මෙම පුද්ගලයා ආසනයේ හිඳිමින් ධර්මයෙහි මුල ද මනසිකාර කරයි, මැද ද මනසිකාර කරයි, අවසානය ද මනසිකාර කරයි. එසේ වුවත් ආසනයෙන් නැගිට ඇසු ධර්මයේ මුල මෙනෙහි නොකරයි, මැද මෙනෙහි නොකරයි, අවසානය මෙනෙහි නොකරයි. හිඳගෙන සිටින පුරුෂයකුගේ ඇකයෙහි තබන ලද සහල්, තල, අග්ගලා, ඩෙබර ආදී කෑ යුතු යමක් තබන ලද්දේ ද සිහිමුලා බවින් නැගිටින විට එම තල ආදී දෑ යම්සේ විසුරුවන්නේ ද ධර්මය අසා එතැනින් ඉවත්වූ පසු මුල, මැද, අවසානය යන තුන් අවස්ථාවලදී මෙනෙහි කිරීමක් සිදු නොකරයි. මෙම උපමාවෙහි ඇකය  මෙන් උච්ඡඬ්ග පුද්ගලයා දත යුතුය. නොයෙක් කෑ යුතු දෑ මෙන් බුද්ධ වචනය දත යුතුය. ඇකයෙහි වු නොයෙක් දෑ අනුභව කරන කාලය මෙන් ආසනයෙහි හිඳිමින් ධර්මය ඉගෙනගන්නා කාලය දත යුතුය. අසුනෙන් නැගිටින පුද්ගලයාගේ සිහිමුලා බවින් ඇකයෙහි වු කෑ යුතු දෑ විසිරෙන අවස්ථාව මෙන් අසුනෙන් නැගිට ධර්මයෙහි මුල, මැද, අග මෙනෙහි නොකරන කාලය දත යුතුය.

පුථු පඤ්ඤෝ  –  පුළුල් නුවණක් ඇති පුද්ගලයා 

මෙලොව එක් පුද්ගලයෙක් දහම් ඇසීම පිණිස නිතරම විහාරයට යයි. භික්ෂූන්වහන්සේ  උපාසකයා ධර්මය ඇසීම පිණිස පැමිණියේය යැයි තමන්වහන්සේගේ කටයුතු පසෙක තබා ඔහුට ධර්මය දේශනා කරයි. මුල යහපත් වු (ආදි කල්‍යාණං) මැද යහපත් වු (මජ්ඣේ කල්‍යාණං) අවසානය යහපත්  වු (පරියෝසාන කල්‍යාණං) අර්ථ සහිත වු (සාත්ථං) ව්‍යඤ්ජන සහිත වු (සබ්‍යඤ්ජනං) පිරිපුන් වු (කේවල පරිපුණ්ණං) පිරිසිදු වු සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව සංග්‍රහ වුණු ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරයි.

පුළුල් නුවණක් ඇති පුද්ගලයා පෙර පුද්ගලයන් දෙදෙනා මෙන් නොව ධර්මය අසා ආසනයෙන් නැගී සිට ධර්මයෙහි  මුල මෙනෙහි කරයි, මැද මෙනෙහි කරයි, අවසානයද මෙනෙහි කරයි. උඩුකුරුව තබන ලද කළයකට දමන ලද ජලය කලයෙන් නොවැටී රැඳී සිටින්නා සේ ධර්මය ඇසීමෙන් පසු ධර්මයෙහි මුලද, මැද මෙන්ම අවසානයද  මෙම පුද්ගලයා මෙනෙහි කරයි. මෙම පුද්ගලයා පුථු පඤ්ඤ (පුළුල් නුවණක් ඇති පුද්ගලයා) යැයි කියනු ලැබේ. උඩුකුරුව තබන ලද කළය මෙන් පුථුපඤ්ඤ පුද්ගලයා දත යුතුය. ජලය කළයට වත් කරන අවස්ථාව මෙන් ධර්මය ලැබෙන කාලය දත යුතුය. ජලය රැඳෙන කාලය මෙන් හිඳිමින් ධර්මය ඉගෙනගන්න කාලය දත යුතුය. ජලය නොවැටී සිටින කාලය මෙන් ආසනයෙන් නැගිට ගොස් ධර්මයෙහි මුල, මැද, අග මෙනෙහි කරන කාලය දත යුතුය.

ඇතැම් පුද්ගලයෙකු ධර්මය අසන වෙලාවේදී එහි එහි මුල මැද අග මනසිකාර කිරීමට කොතරම් උත්සහ කළ ද එම කරුණු වටහාගැනීමට අසමත් වේ.  එබඳු පුද්ගලයන් විසින් නැවත නැවතත් ධර්මය දන්නා පුද්ගලයන් වෙත එළඹ තවදුරටත් තමා හට දුරවබෝධ තැන් සාකච්ඡාව මඟින් පිරිසුදු කරගත යුතුය. ධර්මය ගම්භීරය. දේශකයා නිවැරදිව ධර්මය දේශනා කරන්නේ නම් ධර්මය නොවැටහීම ශ්‍රාවකයාගේ ප්‍රඥාවේ අඩුවක් මිස ධර්මයෙහි අඩුවක් නොවේ.  බුද්ධත්වයෙන් පසු භාග්‍යවතුන් වහන්සේට මෙබඳු කල්පනාවෙක් පහළ වි ය:– “මා විසින් අවබොධ කළ මේ චතුරාර්‍ය්‍ය සත්‍යධර්‍මය ගැඹුරු ය. දැකීමට දුෂ්කර ය. අවබෝධයට දූෂ්කර ය. ශාන්ත ය. ප්‍රණීත ය. අතර්කාවචර ය, සියුම් ය. පණ්ඩිතවේදනීය ය ” .  මෙහි සඳහන් අතර්කාවචර  බව නම් තර්කයෙන් මෙම ධර්මයෙහි හැසිරිය නොහැකි බවය, ඥානයෙන්ම හැසිරිය යුතු බවය. පණ්ඩිතවේදනීය බව නම්  සම්‍යයක් ප්‍රතිපදාවට බැස ගත් නුවණැත්තවුන් විසින් ම අවබෝධ කරගත යුතු බවය. වර්තමානයේ දී ඤාණය යැයි තර්කයට මුලාවන ධර්මකාමීහු දුලභ නොවෙත්. ධර්ම කරුණක්  තමාගේ තර්කයෙහි විෂය පථයට ගෝචර නොවූ විට තමාගේ අනවබෝධය වටහා නොගෙන ‘ ත්‍රිපිටකයෙහි අසුවල් ග්‍රන්ථයට වැරදිලා ය, අටුවාවට වැරදිලා ය’  යැයි  ස්වමතය ඉදිරිපත් කිරීමට නොපසුබට වෙත්. බොහෝ දෙනෙක් ඒ හේතුවෙන් දිට්ඨානුගතියට පැමිණේ.  ඉන්පසු බොහෝ දෙනා එක් ව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරා බුදු පියාණන් වහන්සේ විසින් අවබෝධ කරගත් සුපිරිසිදු  ධර්මස්කන්ධ  ප්‍රතිභාහනය කරත්. එම නිසා දහම පිළිබඳව යම් මනසිකාරයක් පවත්වන්නේ නම් එය සිදු කළ යුත්තේ දහම් නයෙහි  පිහිටා මිස අන් කිසිවක පිහිටාගෙන නොවේ. එවිට බුද්ධ වචනය නිවැරදිව වටහා ගත හැකිවනු ඇත.

ඉහත පුද්ගලයන් තිදෙනාගේම විද්‍යාමාන යහපත් ගුණාංගයක් ඇත.එනම් දහම් ඇසීම සඳහා නිතරම විහාරයට පැමිණීමයි. අවකුජ්ජ පඤ්ඤ සහ උච්ඡඬ්ග පඤ්ඤ පුද්ගලයන් දෙදෙනාගේ දහම් ඇසීම හා දහම් මනසිකාරය පිළිබද දුර්වලතා දක්නට ලැබුනත් විහාරයට පැමිණ ධර්මය ශ්‍රවණය කිරීම නිවන් දැකීම පිණිස බලවත් ලෙස උපනිශ්‍රය වන්නකි. දහම් මගෙහි යෙදෙන පුද්ගලයන් තිදෙනා අතුරින් අප අයත් වනුයේ කවරෙකුටද යන්න විමසිය යුතුය. අද කාලයේ බණ අසන බොහෝ දෙනෙක් අයිති වන්නේ අවකුජ්ජ පඤ්ඤ සහ උච්ඡඬ්ග පඤ්ඤ යන දෙකොටසටයි. බණ ඇසීම පමණක් නොව දහම් සාකච්ඡා, දහම් පතපොත කියවීමේදී ද අප උත්සාහවත් විය යුත්තේ පුථුපඤ්ඤ පුද්ගලයින් වීමටයි. ඒ දහම් ශ්‍රවණය මෙන්ම මනසිකාරයද නිවන් දැකීම සඳහා දොරටුවක් වන බැවිනි.

සම්පාදක
පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි


DOWNLOAD AS PDF

පරිගණක අකුරු සැකසුම
ඉසුරු චාමිකර
නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk