එක් ඉරකින් එක් සඳකින් අලෝකමත් වන එක් මනුෂ්‍ය ලෝකයක් වටා තිබෙන සුගතිය හා දුගතිය එක් ලෝක ධාතුවක් වශයෙන් හැදින්වේ. මෙහිලා සුගතිය තුල මනුෂ්‍ය ලෝකය ද ඇතුලත් ව දිව්‍ය ලෝක සය ද බ්‍රහ්ම ලෝක විස්ස ද ඇතුලත් වේ. දුගතිය යනු ප්‍රේත, තිරිසන්, අසුර නිකාය හා නිරය යන සතර අපාය වේ. එලෙස ම මෙම දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකයේ සිට පිළිවෙලින් යොදුන් 1500 බැගින් ඉහලට පිහිටා තිබේ. චාතුර්මහාරාජිකය, තව්තිසාව, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය යනුයෙන් ඒවා පිළිබද විස්තර ධර්මයේ සඳහන් වේ.

අපට ආසන්නම දිව්‍ය ලෝකය වන්නේ චාතුර්මහාරාජික දෙව් ලොවයි. එහි දිනක ආයුෂ මනුෂ්‍ය වර්ෂ වලින් වසර 50 කි. එවැනි දින 50 ක් මාසයකි. එවැනි මාස 12 ක් වර්ෂයකි. එහි සම්පූර්ණ ආයුෂ දිව්‍ය වර්ෂ 500 කි. එබැවින් මිනිස් වර්ෂ වලින් සම්පූර්ණ ආයුෂ 9,00,000 වේ (50 x 30 x 12 x 500). මිනිසෙකු අවම වශයෙන් වර්ෂ 100 ජීවත් වුවහොත් චාතුර්මහාරාජිකයට එය දින 2 ක් පමණ වේ. දිව්‍ය ආයුෂ පමණක් මහානුභාව වේ. අනෙකුත් දිව්‍ය සම්පත් වන ආහාර පාන, ඇදුම් පැළදුම්, වාසස්ථාන ආදිය පිළබද උපමා මිනිස් ලොවෙහි නැති තරම්ය. මිනිස් ලොව සුබෝපභෝගි ජීවිත ගත කර සැප විඳීම දිව්‍ය ලෝකය ය දුක් විඳීම අපාය ය බව මිත්‍යා මතයකි. සියල්ල අප ඉන්ද්‍රියන්වලට ගොචර නොවන නිසා ශ්‍රද්ධාවෙන්යු තුව ධර්මය සරණ ගොස් මේ පිළිබද දැන ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැත.

චාතුර්මහාරාජිකයට අයත් ඇතැම් දිව්‍ය කොට්ඨාශ ගස් වැල්, පර්වත, ගංගා, ඇළ දොල තම වාසස්ථාන බවට පත් කරගෙන ජීවත් වේ. මේ දිව්‍ය කොට්ඨාශ මනුෂ්‍යයන්ගේ කටයුතුවලට සමීප බවක්දක්වයි. ඇතැම් විටක කුසලයෙහි හැසිරෙන උතුම් වහන්සේලාට උදව් උපකාර කරමින් එවැනි කාරණාවලට දිරි දෙන බව ධර්මයේ බොහෝ තැන්වල ප්‍රකටව දක්නට ඇත.

එක් විහාරයක විසූ භික්ෂුන් වහන්සේ නමක් සෑ මළුව හා බෝ මළුව ඇමද පැන් පහස වීමට (ස්නානය කිරීමට) වැඩි සේක. ඒ විහාරයේ සිටි දෙවිවරු මෙම විහාරයේ ආරම්භ කළ කාලයේ පටන් මෙසේ සියලුම ස්ථාන අමදන ලද පෙර කිසිදු භික්ෂුන් වහන්සේ නමක් නොමැති බව දැන භික්ෂුන් වහන්සේ පිදීමට මල් සියතින් ගෙන පැමිණියහ. තෙරුන් වහන්සේ

මොවුන් කවුරුන්දැයි හරි හැටි නොදැන මේ පුද්ගලන්කු මන දිසාවෙන් පැමිණියේදැ යි විචාලේය. තමන් මේ ස්ථානයට අධිගෘහිතව වාසය කරන බවත් භික්ෂුන්වහන්සේ සිදුකළ සෑ මළු බෝ මළු ඇමදිමේ කටයුතු වලට පැහැදී විචිත්‍ර පුෂ්පයන්ගෙන් පිදීමට පැමිණි බවත් දෙවිවරු පැවසූහ. මෙසේ වත් පිළිවෙත් කිරිම පැවිද්දන්ගේ ශිලයේ කොටසකි. උපාධ්‍යායන් වහන්සේ, ආචාර්යයන්වහන්සේ, සද්ධි විහාරික ඇතුලු සියලු දෙනා හට බුදුරජාණන් වහන්සේ විසින් වත් පනවා ඇත. එදින පැවදී වූ සාමණේර නමගේ පටන් මහා තෙරුණ් වහන්සේ දක්වා සියල්ලන්ම තම තමන්ට අයත් වත් සම්පූර්ණ කළ යුතුය. එමගින් තමාටත් අනුන්ටත් සෙත සැලසේ. ඊට අමතරව දෙවි දේවතාවන් පවා පැහැදීමට හේතුවේ. නමුත් බෞද්ධයන් බහුලව සිදුකරනුයේ පළතුරු වට්ටි, පුද පුජා, බලි පුජා මගින් දෙවියන් සතුටු කර එය සරණ කර ගනිමින්ම මිත්‍යා මාර්ගයේ ගමන් කිරිමයි. ඇතැම් විට එබඳු දෑ නිසා අකුසල පක්ෂට ලැදි යක්ෂ, ප්‍රේත, භූත කොටස් ස්වරූපයෙන් මනුෂ්‍යයන්ට ලං වේ. ඒ කෙසේ වුව ද නිති කුසලය තුළ හැසිරීමෙන් වත්පි ළිවෙත් සමග සිල් ගුණදම් පුරන සත්පුරුෂන්ට දෙවියන්ගේ උදව් උපකාර නිරන්තරයෙන් ම ලැබෙන බව මේ කථා පුවතින් පැහැදිළි වේ.

(සමන්තපාසාදිකා නම් විනයටඨකථාව – පරිවාර වණ්ණනා ඇසුරිණි)

සම්පාදක
පූජ්‍ය පූජාපිටියේ සූරියරතන හිමි

පරිගණක අකුරු සැකසුම
සනත් ඉන්දික