ඒ මනුෂ්‍යයන්ගේ ආයුෂ අවුරුදු අසූදහසක් පැවතුණු යුගයයි. ප්‍රාණඝාතය, අදත්තාදානය ආදී අකුසල කර්ම එකල මනුෂ්‍යයන් තුළ විද්‍යමාන නො වී ය. එකල සිටි රජතුමා පෙර සිටි පැරණි චක්‍රවර්තී රජවරු මෙන් දිළින්දන්ට ධනය නො දුන්නේය. දිළින්දන්ට ධනය නො දෙනු ලබන කල්හි දිළිඳු බව විපුලත්වයට පැමිණියේ ය. දිළිඳු බව මහත් වැ ගිය කල්හි එක්තරා මිනිසෙක් අනුන් සතු නොදුන් දැයක් සොර සිතින් ගත්තේ ය. මනුෂ්‍යයෝ ද සොරා අල්ලා ගෙන රජුට භාර දුන් පසු කවර හේතුවක් නිසා නුඹ සොරකම් කළේදැයි රජු සොරා ගෙන් ඇසුවේය. දිළිඳුකම නිසා තමා එසේ කළ බව පැවසූ විට රජු ඔහුට ධනය දී අඹුදරුවන් පෝෂණය කොට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් පැන් පූජා කොට සුගති පරායන වන ලෙස ඔහුට උපදෙස් දුන්නේය. රජු සොරුන්ට ධනය දෙන්නේය යන මෙම පුවත සැළවීම නිසා බොහෝ දෙනා සොරකම් කිරීමට පටන් ගත්තේය. මෙනිසා සොරකම, වැළැක්වීමට හිස් සිඳලීම් ආදී දඩුවම් දීම ඇරඹුණි. රජු මෙසේ කරන නිසා තියුණු ආයුධ කරවා ගම්, නියම්ගම් නගර කොල්ලකන්නට විය. මං පැහැරීම කරන්නට ද පටන්ගත්හ. දිළින්දන්ට ධනය නොදුන් විට දිළිඳු බව බහුල විය. දිළිඳු බව බහුල වීම නිසා සොරකම බහුල විය. සොරකම බහුල වීම නිසා අවි දැරීම බහුල විය. අවි දැරීම බහුල වීම නිසා ප්‍රාණඝාත බහුල විය. ප්‍රාණඝාතය වැඩීමට ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂ ද වර්ණය ද පිරිහිණ. අසූදහසක් අවුරුදු ආයුෂ ඇති, ආයුෂයෙන්  වර්ණයෙන් ද පිරිහෙන මිනිසුන්ගේ දරුවෝ අවුරුදු සතළිස් දහසක් ආයුෂ ඇත්තෝ වූහ.

සතළිස් දහසක් අවුරුදු ආයු ඇති මිනිසුන් අතරින් එක්තරා පුරුෂයෙක් අනුන් සතු නොදුන් දැයක් සොරා ගත්තේ ය. මිනිස්සු ඔහු අල්ලා ගත්හ. අල්ලා  රජු හට භාර දුන් පසු නුඹ සොරකම් කළේදැයි ඇසූ විට දේවයන් වහන්ස නැත’ යි හේ දැන බොරු කීයේ ය. එම නිසා ප්‍රාණඝාතය වැඩීමට ගිය කලැ බොරුකීම වැඩීමට ගියේ ය. බොරුකීම වැඩීම නිසා ඒ සත්වයන්ගේ ආයුෂ ද වර්ණය ද පිරිහිණ. සතලිස්දහසක්  අවුරුදු ආයුෂ ඇති, ආයුෂයෙන් ද වර්ණයෙන් ද පිරිහෙන මිනිසුන්ගේ දරුවෝ අවුරුදු විසි දහසක් ආයුෂ ඇත්තෝ වූහ. චක්‍රවර්තී සීහනාද සූත්‍රයේ එන ඉහත විස්තරය අනුව මනුෂ්‍යයාගේ ආයුෂය සැළකිය යුතු පමණකින් අඩුවීමට මුසාවාදය හේතු වීය.

මුසාවාදය සිදුවන ආකාරය

අනුන් රවටවන කරවන අදහසින් ඇති දෙය නැත යයි ද, නැති දෙය ඇත යයි ද, වූ දෙය නො වූයේය යි ද, නො වූ දෙය වූයේය යි ද වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන් හෝ අනුන්ට පැවසීම මුසාවාදය නම් වේ. මුසාවාද කර්මය සිදුවන්නේ අංග සතරක් සම්පූර්ණ වීමෙනි. එනම්,

  1. කියන කරුණ බොරුවක් වීම ය.
  2. අනුන් රවටන අදහස ය
  3. ඇඟවීමේ උත්සාහය ය
  4. අනෙකා කී දෙය තේරුම් ගැනීම ය

නො දෙනු කැමැත්තෙන් ඇති දෙය සඟවනු පිණිස, දරුවන් නැලවීම පිණිස ද, කළ වරද සඟවනු පිණිස ද බොරු කීම අල්ප සාවද්‍ය වේ. අන්‍යයන් හට අනර්ථවන ලෙසට සාක්ෂ්‍ය වශයෙන් බොරු කීම එයට ද වඩා මහා සාවද්‍ය වේ. අනර්ථය පිණිස කියන්නා වූ බොරුවලින් සිදුවන්නා වූ අනර්ථයේ අලාභයේ ප්‍ර‍මාණයට ද අල්ප සාවද්‍ය මහා සාවද්‍යතාව කිය යුතු ය. රවටනු ලබන පුද්ගලයාගේ ගුණවල සැටියට ද අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය කිය යුතුය. බොරු කීමේ දී ඇතිවූ ක්ලේශයන් ප්‍ර‍මාණයෙන් ද අල්ප සාවද්‍ය මහා සාවද්‍යතාව කිය යුතුය.

විහිළුවේ බරපතලකම……..

පෙර එක් මනුෂ්‍යයෙක් තොටුපොලෙහි නාමින් සිටින මිතුරන්ගේ ඇඳුම් සඟවා තැබුවේය. එය ද ඔහු සිදු කරනුයේ සොරකම් කරන සිතකින් හෝ විනාශ කරන අදහසින් නොව කෙළි පිණිස ය. එම විහිළුවේ බරපතලකම කෙසේ වී ද යත් පසුකළෙක ඔහු ප්‍රේතාත්මයක් ලැබ ඒ අකුසලය නිසා නග්න වීය. ඔහුගේ දිවිපැවැත්ම ද දුක් සහිත වීය. මේ පුවත දැක්වෙනුයේ ප්‍රේත වස්තුවෙහි ය. මෙම කරුණ සඳහන් ගාථාවට පසුව ඇති ගාථාව විහිළුව පිළිබඳව ඉතා වැදගත් පණිවිඩයක් ලබා දෙයි.

‘‘යො කීළමානො පකරොති පාපං, තස්‌සෙදිසං කම්‌මවිපාකමාහු;
අකීළමානො පන යො කරොති, කිං තස්‌ස කම්‌මස්‌ස විපාකමාහූති.

“යමෙක් කෙළි අදහස් පෙරදැරි ව පවක් කෙරේ නම් ඔහුට මෙබඳු කර්මවිපාකයක් වේ ය යි පණ්ඩිතයෝ කියති. යමෙක් කෙළි අදහසක් නොමැති ව දුෂිත සිතින් පව් කෙරේ නම් ඒ පාපකර්මයාගේ විපාකය කොපමණ කටුක වේ දැ යි පණ්ඩිතයෝ කීහු ”

මේ අනුව බලන විට විහිළුව පිණිස කියන්නා වූ මුසාබස් ඒකාන්තයෙන් ම අනිෂ්ට ප්‍රතිඵල ගෙන දෙන බව වටහා ගත යුතු වේ. ඇතැම් පුද්ගලයන් විහිළුවට කියන බොරුවෙහි වරදක් නැති බව සිතත්. ඒ බව අන්‍යයන් හට ද ප්‍රකාශ කොට ඔවුන් ද මුසාවාදයෙහි යොදවත්. විහිළුවට කියන බොරුව කියන වරද නැති බව සිතා බොරු කීම බරපතල වේ. ඊට හේතුව නම් එසේ සිතන විට සිතෙහි දිට්ඨිය යෙදීමයි.  

ඉතා සියුම් ආකාරයෙන් වුව ද මුසාවාද කර්මය සිදුවන ආකාරය විනය අටුවාවෙහි මුසාවාද සිල්පදයෙහි එන පහත උදාහරණය ඇසුරෙන් දත යුතුය. සාමණේර හිමි නමක් විසින් “ස්වාමින් වහන්ස, මගේ උපාධ්‍යායන් වහන්සේ දුටුවෙහි ද?” යැයි ඇසූවිට කවටකමින් යුතුව “නුඹගේ උපාධ්‍යායන් වහන්සේ දර ගැලක් යොදා ගියේය” යැයි ප්‍රකාශ කරයි. සිවලෙකු කෑගසන ශබ්දයක් ඇසී “”ස්වාමින් වහන්ස, ඒ ශබ්දය කුමක් ද?” යැයි ඇසූ විට කෙළි පිණිස ” ඒ නුඹේ මව යානයකින් යන විට මඩෙහි එරුණු කරත්ත රෝදය ගොඩට අදින ශබ්දය ය” යැයි ප්‍රකාශ කරයි. එක් භික්ෂුවක් ගමට ගොස් තෙල් ස්වල්පයක් ලබා විහාරයට පැමිණ විට සාමණේරයෙකු  “නුඹ අද කොතනට වැඩියෙහි ද ?” යැයි ඇසූ විට “ගම එකම තෙලක් වීය (තෙලින් පිරී තිබුණි) “යැයි ප්‍රකාශ කරයි. නැතහොත් පැසක තබා තිබූ කැවුම් කැබැල්ලක් ලැබී “අද ගමෙහි පැස්වලින් කැවුම් එළවූහ” යැයි ප්‍රකාශ කරයි. ඉහත දැක්වෙන සියළු අවස්ථාවල දී මුසාවාදය සිදු වේ.

මහාසාවද්‍ය වූ මුසාවාද කර්මයක්.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි කිමිලා නම් නුවර සෝවාන් ඵලයට පත්වූ උපාසකයෙක් වීය. ඔහුගේ බිරිද ද එම උපාසකයා සමග නොයෙක් ආකාරයේ පුණ්‍ය කර්ම සිදු කරමින් හැසිරුණාය. පසු කළෙක ඇය එක්තරා ධූර්තයෙකු සමග  කාමයෙහි වරදවා හැසිර ස්වාමියා විසින් මෙය සත්‍යයක් ද ‍යැයි ඇසූ විට අසළ සිටි සුනඛයෙක් පෙන්වා “ඉදින් මම කාමයෙහි වරදවා හැසිරුණි නම්, මේ දිරා ගිය කන් ඇති කළු සුනඛයා, මා උපදින උපදින භවයෙහි කත්වා”යැයි ප්‍රකාශ කළාය. ඇයට මිතුරියන් පන්සියයක් වූහ. ඈලා ගෙන් ද මෙය දන්නේ ද යැයි විමසු විට “ඉදින් අපි මෙය දන්නේ වී නම්, අප ද මැගේ දාසියන් වේවා” යැයි මුසා බස් කීහ. වරදෙහි හැසුරුණු ඒ ස්ත්‍රිය සිතේ හට ගත් පසුතැවිල්ල නිසා ටික කලකින් මිය ගොස් හිමාලයේ මහවිල් සතෙන් එකක් වු “කණ්ණමුණ්ඩ” නම් විල් ඉවුර සමීපයෙහි විමාන ප්‍රේ‍තියක්ව උපත ලැබීය. ඇගේ විමානය සමීපයේ ඇයගේ කර්ම විපාක විඳීමට සුදුසු එක් පොකුණක්ද පහළ වීය. ඇගේ මිතුරියන් වූ ස්ත්‍රීන් කළ බොරු දිව්රීම නිසා ඇගේ දාසියන්ව උපත ලැබූහ.

ප්‍රේ‍තිය පෙර කරන ලද පුණ්‍ය කර්මවල විපාක හේතුවෙන් දවල් කාලයේ දිව්‍ය සම්පත් අනුභව කොට රාත්‍රි කාලයේ පාප කර්ම බලයෙන් යහනෙන් නැගිට පොකුණ අසලට යන්නීය. එවිට ඇත් නාම්බෙක් පමණ විශාල කාළ වර්ණ සුනඛයෙක් පොකුණෙන් පිටතට පැමිණේ.  කන් සිඳුණු තියුණු වූත් දැඩි වූත් දිලිසෙන අඟුරු මෙන් ඇස් ඇති, තියුණු නියපොතු ඇති රළු දිග දුර්වර්ණ ලෝම ඇති ඒ සුනඛයා එම ප්‍රේ‍තිය බිම දමා මස් කා ඇටසැකිල්ල පමණක් ඉතිරි කොට දත් වලින් ඇදගෙන ඇවිත් පොකුණට දමා අතුරුදන් වේ. ඒ ප්‍රේ‍තිය පොකුණට වැටුණ පසු නැවත ප්‍රකෘති රූපය ලබා විමානයට පැමිණේ. මේ ආකාරයට ඇය දීර්ඝ කාලයක් දුක් වින්දාය. ඇය කාමය වරදවා හැසිර එය පිළිගත්තේ වී නම් මෙබඳු දරුණු විපාකයක් අත් නොවන්නට තිබුණි. එවිට ඇයට අනිෂ්ට විපාක ගෙන දෙනුයේ එම කර්මයෙන් පමණි.

‘‘එකං ධම්‌මං අතීතස්‌ස, මුසාවාදිස්‌ස ජන්‌තුනො;

විතිණ්‌ණපරලොකස්‌ස, නත්‌ථි පාපං අකාරි යං

“සත්‍යය නමැති එක ධර්මය අත් හළ බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තා හට නොකළ හැකි පවක් නැත ය” යන්න ඉහත කථා ප්‍රවෘත්තියෙන් පැහැදිළි වේ. ඒ මුසාවාදය නිසා සෙසු අකුසල් සැවීමට හැකි බැවිනි.

ගූථභාණී පුද්ගලයා – අසූචි බදු කථා ඇති පුද්ගලයා

මුසා බස් කියන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දක්වනුයේ ගූථභාණී පුද්ගලයා ලෙසය. මුසා බස් කියන පුද්ගලයා ගේ වචන අසූචියට සමාන බැවින් මෙසේ වදාරන සේක. එම පුද්ගලයා පිළිබදව දැක්වෙනුයේ මෙසේය.

“ මහණෙනි, ගුථභාණී පුද්ගලයා කවරේද යත්: මහණෙනි, මෙලොව කිසි පුද්ගලයෙක් සභාවට ගියේ හෝ ගම්පිරිසට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේණි මැදට ගියේ හෝ රජකුලන් මැදට ගියේ හෝ “එම්බා, පුරුෂය, එව, යමක් දනිහි නම් එය කියව” යි පිළිවිසීමට කැඳවන ලද්දේ සාක්‍ෂි කොට විමසන ලද කල්හි නොදන්නේ හෝ ‘දනිමි’යි කියයි. දන්නේ හෝ ‘නො දනිමි’ යි කියයි. නො දක්නේ හෝ ‘දුටුවෙමි’ යි කියයි. දක්නේ හෝ ‘නො දුටුවෙමි’යි කියයි. මෙසේ තමා හේතු කොට ගෙණ හෝ අන්‍යයා හේතු කොට ගෙන හෝ මඳ ආමිෂයක් හේතු කොට ගෙන හෝ දැන දැන මුසා බස් කියයි ද, මහණෙනි, මේ ගුථභාණී පුද්ගලයා යී කියනු ලැබේ.

මුසාවෙහි ආදීනව

බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති.

මුසාබසින් වැළකීමේ ආනිසංස

  •         පැහැපත් ඉඳුරන් ලැබීම
  •         මිහිරි කටහඬක් ලැබීම
  •         මනාව පිහිටි දත් ඇති බව,
  •         අතිශයින් මහත් නොවූ ශරීරයක් ලැබීම
  •         අතිශයින් සිහින් නොවූ ශරීරයක් ලැබීම
  •         අතිශයින් මිටි නොවීම
  •         අතිශයින් උස නොවීම
  •         මහනෙල් මල් සුවද හමන මුවක් ලැබීම
  •         මනාව ඇහුම්කන් දෙන පිරිවර ලැබීම
  •         විශ්වාස කටයුතු වචන ඇත්තෙකු වීම
  •         පියුමක් බඳු සුමුදු රත් පැහැ සිහින් දිවක් ලැබීම

සත්පුරුෂයෙකු වන්නේ කෙසේද?

සෑම වසරක ම අප්‍රේල් මස පළමු දිනය ලොව පුරා මුසාවාද කර්මය බහුලව සිදු කෙරෙන  දවසකි. එය බටහිර ලෝකයෙන් පෙරදිගට පැමිණියක් වන අතර එම දවසෙහි දී දැන හෝ නොදැන කෙරෙන මුසාවාදය සත්තවයා දුගතියට ඇද දමන්නකි. මුසාවාදය සිදු කරන පුද්ගලයා අසත්පුරුෂයෙක් බවත් මුසාවාදයෙහි අන්‍යයන් සමාදන් කරන තැනැත්තා අසත්පුරුෂයාට වඩා අතිශයෙන් අසත්පුරුෂ යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. එමෙන්ම මුසාවාදයෙන් වෙන් වන පුද්ගලයා සත්පුරුෂයෙක් බවත් මුසාවාදයෙන් වෙන් වීමට  අන්‍යයන් සමාදන් කරන තැනැත්තා සත්පුරුෂයාට වඩා අතිශයෙන් සත්පුරුෂ යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. එම නිසා මෙබඳු දවසක දී සත්පුරුෂ ධර්මයෙහි පිහිටා ස්වකීය සන්තානයත්, අන්‍යයන්ගේ සන්තානයන් ද රැක බලා ගැන්මට සියළු නුවණැත්තෝ කටයුතු කරත්වා.

ආශ්‍රිත ග්‍රන්ථ සහ උපුටා ගැනීම්

  1. චක්‍රවර්ති සිංහනාද සූත්‍රය – දීඝ නිකාය  
  2. පෙතවත්‌ථු-අට්‌ඨකථා
  3. ධම්‌මසඞ්‌ගණී-අට්‌ඨකථා
  4. සමන්තපාසාදිකා විනයාට්ඨකථා
  5. පුද්ගලප්‍රඥප්ති
  6. ඉතිවුත්‌තක-අට්‌ඨකථා

බෞද්ධයාගේ අත්පොත – රේරුකානේ චන්දවිමල මහානායක හිමි

 

සම්පාදක
පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි
නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk