කොළඹ දිස්ති‍්‍රක්කයේ හේවාගම් කෝරලයේ පල්ලේ පත්තුවට අයත් කඩුවෙල කොතලාවල ග‍්‍රාමයේ චමත්කාරජනක වූ භුමි භාගයක සංඛපිට්ඨි විහාරස්ථානය පිහිටා ඇත. හක්පිටිය යන්න පාලි අදහස ඇතිව ‘හක් ’ යන්නට ‘සංඛ’ යන පාලි පදයත් ‘පිටිය’ යන්නට ‘පිට්ඨි’ යන පාලි පදයත් යෙදීමෙන් ‘සංඛපිට්ඨි’ යන නම යෙදී ඇතැයි ජනප‍්‍රවාදයේ කියවෙයි. 19 වෙනි සියවස මැද භාගයේ එනම් කෝට්ටේ යුගය අගභාගයේදි හෝ මහනුවර යුගයේ මුල් භාගයේ ආරම්භවී ඇතැයි සැළකෙන මෙම විහාරස්ථානයේ මුල් යුගය පිළිබඳ තොරතුරු හෙලිවී නොමැත. ඒ අනුව හක්පිටියේ අත්ථදස්සී හිමියන්ගේ කාලයේ සිට මෙහි ඉතිහාසය දිග හැරෙයි.

මහනුවර යුගය අග භාගයේදි ලංකාව රාජ්‍ය පාලනය කල ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ රාජ සභාවේදී මහ අධිකාරම් වූ ඇහැලේපොල තමාට විරුද්ධව ගෙන යන කුමන්ත‍්‍රණයක් ගැන සැලවීමෙන් පසු ඇහැලේපොල පරපුරම සංහාරය කිරීමට රාජ නියෝගයක් නිකුත් කර ඇත. එයින් දිවි ගලවා ගැනීමට හා ආරක්‍ෂාව පතා එම ප‍්‍රභූන් රටේ සතර දිග්භාගයටම පලාගොස් ඇත. එසේ පලාගිය ප‍්‍රභූන් දෙදෙනෙක් දකුණට පැමිණ බොල්ලෑගල පිහිටි ගල් ගුහාවක සැඟවී ඇත. එම තර්ජනවලින් පසු එක් අයෙක් හක්පිටියේ අත්ථදස්සී නමින් පැවිදි බිමට පැමිණ ඇත. පැවිදි බිමට පැමිණි අත්ථදස්සී හිමියන් බියගම ග‍්‍රාමයේ වැඩවසන අතර කැලණි නදියෙන් වෙන්ව තිබු පැරණි විහාරස්ථාන සමඟද මනා සම්බන්‍ධතාවක් පැවැත්වු අතර එම කාලය තුල සිටි නාහිමියන්ගේ ඇවෑමෙන් අනතුරුව මෙම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය හක්පිටියේ අත්තදස්සී හිමියන්ට පැවරී ඇත.

ඒ සමග සංඛපිට්ඨි යන නම කඩුවෙල විහාරයට  ව්‍යවහාර වන්නට පටන්ගෙන ඇත. උන්වහන්සේගේ කාල වකවානුව තුළ බෞද්ධ විහාරස්ථානයක බෞද්ධයන් වෙනුවෙන්  තිබිය යුතු අවශ්‍යතාවන්ගෙන් බොහෝ දේ නිර්මාණය වී ඇති අතර ඒ අතුරින් ධාතුන් වහන්සේලා ආරක්‍ෂිතව තැන්පත් කිරිමට නිර්මාණය කරන ලද ආරක්‍ෂිත මණ්ඩපය, ඇම්බැක්කේ ලී  කැටයම් හා සමකල හැකි තත්‍ථවයක පවතී. එසේම එහි ඇති ඉතා සියුම් ලී කැටයම් හා ලියකම් මෙම විහාරස්ථානය පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන බව කියාපායි.

මීට අමතරව මෙම පින් බිමේ ඇති පැරණි බුදු මැදුර තුළ ඇති සිතුවම් හා ප‍්‍රතිමා කෝට්ටේ යුගයට අයත් යැයි පුරාවිද්‍යාඥයින් විසින් සහතික කර ගෙන ඇත.ඒ අනුව පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව යටතේ වර්තමානය වන විට සංරක්‍ෂණය කර ඇත.

තවද 1823 දී විහාරස්ථානයේ අධිපතිත්වය අත්ථදස්සී හිමියන් විසින් බටුගෙදර ඥානාලංකාර හිමියන්ට පැවරීමට අදාලව පවතින ලිපිය දැනට මෙම විහාරස්ථානයේ ඵෙතිහාසික බව තහවුරු කළ හැකි එකම ලිඛිත සාක්‍ෂිය වන්නේය. බටුගෙදර ඥානාලංකාර හිමියන් විහාරාධිපතිත්වය දරන සමයේ මෙම විහාරස්ථානය බටුගෙදර පන්සල නමින්ද ව්‍යවහාරවී ඇත.

පාදුක්කේ ජිනවංශ සහ බටුගෙදර ජිනානන්ද යන ස්වාමින් වහන්සේලා දෙනම බටුගෙදර ඥානාලංකාර හිමියන්ගේ ශිෂ්‍යයන්වු අතර ඔවුන් 1886 දී උපසම්පදා වී ක‍්‍රි .ව.1888 දි බටුගෙදර ඥානාලංකාර හිමියන්ගේ ඇවෑමෙන් පසු පාදුක්කේ ජිනවංශ හිමියන් විහාරාධිපති ධුරයට පත්වී ඇත. මේ අතර විහාරස්ථානයේ වැඩ විසු බටුගෙදර ජිනානන්ද හිමි ක‍්‍රි .ව. 1900 අපවත්වු බව සඳහන්ය.

පාදුක්කේ ජිනවංශ හිමියන්ට පෝරේගෙදර ධර්මපාල, කඩුවෙල ධම්මානන්ද, කඩුවෙල බුද්ධානන්ද, මුල්ලේරියාවේ ඤානාලංකාර, කොතලාවල සංකිච්ච සහ හේවාගම අත්ථදස්සී නමින් ශිෂ්‍ය හිමිවරු 6 නමක් සිට ඇත.මින් පෝරේගෙදර ධර්මපාල හිමි විද්‍යෝදය පිරිවෙණෙන් විනයාචාර්ය උපාධියක් ලබා ජිනවංශ හිමියන්ගේ අවෑමෙන් විහාරාධිපති වී ඇත. පෝරේගෙදර ධර්මපාල හිමියන්ට කඳුබොඩ අමරඤාණ සහ කනංගම නාරද නමින් ශිෂ්‍ය හිමිවරු දෙනමක් සිටියහ.

1986 පෙබරවාරි 27 දින පෝරේගෙදර ධර්මපාල හිමියන්ගේ අපවත්වීමෙන් පසු කඩුවෙල සංඛපිට්ඨි විහාරාධිපති ධුරය වර්තමාන විහාරාධිපති හේවාගම් සියනෑ දෙකෝරලයේ ප‍්‍රධාන සංඝනායක සංඛපිට්ඨි විහාරය ශ‍්‍රී ඥානවිමලාරාමය යන උභය විහාරාධිපති සහ ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසැලේ ප‍්‍රධානාචාර්ය ශ‍්‍රාස්ත‍්‍රවේදි පුජ්‍ය කඳුබොඩ අමරඤාණ හිමියන් විසින් උසුලනු ලබයි.

තක්‍ෂිලා පරිවේණාධිපති විස්ඩම් ඉංග‍්‍රිසි දහම් පාසැලේ ප‍්‍රධානාචාර්යය සහ ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසැලේ උප ප‍්‍රධානාචාර්යය ශ‍්‍රාස්ත‍්‍රවේදි, සද්ධර්ම කිර්ති පුජ්‍ය කනංගම නාරද හිමියන් ප‍්‍රදේශයේ ශාසනික, ආගමික මෙන්ම ජාතික කටයුතුවලදි නායකත්වය දෙමින් උන්වහන්සේට ශක්තියක් වී ඇත.

ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල තුල සිසුන් දහසකට ආසන්නව දහම් අධ්‍යාපනය ලබන අතර ඔවුන්ගේ නැන පහන් ආලෝකවත් කරන්නට ගිහි පැවිදි ස්වෙච්ඡා ගුරු මණ්ඩලය 50කට ආසන්නවේ. දැනට මෙහි අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් බහුතරයක් වාර්ෂිකව පවත්වනු ලබන ශාසනාරක්‍ෂක බල මණ්ඩලය තුල ඉහලම දස්කම් පාන බව ඉතා නිහතමානිව සඳහන් කරනු කැමැත්තෙමු. තවද ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් දහම් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් විස්ඩම් ඉංග‍්‍රීසි දහම් පාසල ප‍්‍රදේශයේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් අගනා සේවයක් ඉටුකරනු ලබයි.

www.kaduwelasankapittiviharaya.org

ඡායාරූප සඳහා අනුග්‍රහය
දුල්මිණි ගුණරත්න