ගිණිව දිලිසෙන වාලුකායෙන් ගහණ, උදක බිඳකුදු නුදුටු, දුටු පමණ හද මඬුලු රුහිරු වගුරන නොමිනිසුන් රැඳි, භව කතරක අතරමං වූ පිළිසරණක් නැති, සංසාර සාගරයට හුණුව පීඩිත සත්ත්වයන් ක්ෂේමයට පමුණුවනු පිණිස, මනෝ ප්‍රණිධි සත් අසංඛයක් ද, වාග් ප්‍රණිධි නව අසංඛයක්ද, සිව්සංඛ කප් සිය
දහසක් මහා ප්‍රණිධිද පාරමී, උපපාරමී පරමත්ථ පාරමී ලෙස, අහස් ගැබ තරු මහාමේරු සිව් මහ සමුදුරු පරයා ඇස්, හිස්, මස්,ලේ දන් දී, විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි මූලේ වජ්‍රාසනප්ප්‍රාප්ත වී, සත්‍යක්‍රියා කොට මහපොළව ගුගුරුවා දසමාර රුපුසෙන් මැඩ තෙද බිඳුවා අනන්තාපරිමාණ ලෝකධාතුවට අධීශ්වර වූ සර්වඥතාභාවයට පැමිණි තථාගත සම්මාසම්බුදුරජාණන්වහන්සේ සැවතට නුදුරු රම්‍යභාවයෙන් දිව්‍ය වූ, දිව්‍යරම්‍ය දෙව්රම යයි ප්‍රකට වූ ද ජේතකුමරුගේ වනයෙහි හුන් හෙයින් ජේතවන නම් වූ ද ඒවෙහෙරෙහි සිව් දිවයිනට තේජස් පතුරන චක්‍රවර්තී රජ සේ ද දෙදෙව්ලොවට ආඥා පතුරන සක්දෙව් සේ ද බඹලොව වසඟ කළ මහබඹු සේ ද විරාජමානව වැඩ වාසය කරන සේක.

එකල්හි මතු බුදු සසුන්හි වස්ත්‍ර දාන සයන බෙහෙදින් ලෙහි හොවා වඩන දරුවන් ඇකයෙහි තබා සිඹ සනහාලන්නා වූ පියෙක් මෙන්ද, දීපේශ්වරයන්ගේ සර්වකෘතයෙහි මනා සිහි ඇති රාජමහාමාත්‍යයෙක් ලෙසින් ද, ස්වාමිහුගේ අල්පානල්ප කාරියෙහි අනලස් වූ දාසයෙක් මෙන් ද, සනරාමරයන් ප්‍රමුඛ බික් සඟන
සන්තර්පණය කරනු පිණිස ගිහි අග්‍රෝපස්ථායක තානාන්තරයට කප් සුවහසක් පුරන ලද පාරමී සම්භාර මස්තකප්ප්‍රාප්ත කොට සංඝදාස බවට පැමිණි අනාථ වූවන්ට නිති පිඬු දුන් බැවින් අනේපිඬු වූ ද, දතුවන් අතුරින් මනාව දතුවෙක් යයි ද, දැමුණුන් අතුරින් මනාව දැමුණෙක් යයි ද, මව්පියන් දැරූ හෙයින් සුදත්ත නම් වූ ද, දෙව්රම කරවන ලද මහසිටාණෝ, දුමග ගිය සජාතීහු සුමගලන සෙනෙහෙබර පියෙක් මෙන් ද අපා මඟ වැටී සිටින මිතුරන් සුවග මග තබන කළණ මිතුරෙක් සේ ද, අන්තොටු සරණ ගොස් සිටි පන්සියයක් පමණ වූ තමන්ගේ සහායකයන් සමඟ ලෝකේශ්වරයන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවන පුදනු රිසිව බො‍හෝ මල් ගඳ විලවුන් ද, තෙල් මී ගී උක්සකුරු ආදී බෙහෙත් ද ගෙන වෙහෙරට ගොස් බුදුන් වැඳ බික් සඟන සතපවා එකත්පස්ව හුන්නේය. ඒ අන්තොටු සහායකයෝද බුදුන් වැඳ දෙතිසක් වූ මහපුරිස් ලකුණින් ද අට එක්සියයක් මඟුල් ලකුණින් ද උපලක්ෂිත වූ ද නා නා විරාග වර්ණයෙන් ප්‍රතිමණ්ඩිත සැඳෑ නුබ නිශ්‍රය කොට ගත් ඝන කසුන් පව්වක් සේ ෂඩ් වර්ණ රශ්මි මාලා බ්‍යාමප්‍රභා නිශ්‍රයව ඍජු බ්‍රහ්ම කයින් යුතුව වැඩ හුන් කාංචන වර්ණ ශ්‍රී සුගත තථාගත බ්‍රහ්මකාය බලමින් මහසිටාණන්ට නුදුරුවම හුන්නාහු.

ඉක්බිති මහාකාරුණිකයාණෝ අනවරාග්‍ර සංසාරයෙහි ප්‍රියවදනින් සත්‍යයක්ම තෙපලූ හෙයින් ලද මහනෙල් පුෂ්ප සුගන්ධය විහිදුවන විකසිත සියපතක් බඳු වූ ශ්‍රී මුඛ පද්මය විවර කොට පිරිස් මැද ගර්ජනා කරන්නා වූ කේශර සිංහයෙක් බඳුව අෂ්ඨාංග සමන්වාගත බ්‍රහ්ම ස්වරයෙන්, මෙ පිරිස නිවන්පුර ලනු පිණිස කල් දකිනුයේ මතු උපනිශ්‍රය තකා අනේක නයින් විචිත්‍ර වූ බණ වදාළ සේක. ඒ මිසදිටු ගත්හුද සැදෑවෙන් පැහැදුණු සිතැත්තාහු දිටු හැර පියා දශබලයෙන් වහන්සේ ශරණ ගියාහු. එතැන් පටන් මොවුහු මල් සුවඳ ගතුවෝ මහසිටාණන් සමඟ නිති වෙහෙර යනුවෝ බණ අසත්. දන් පවත්වන්නාහු ශිල් රකිත්. උපෝෂථයන්හි පෙහෙවස් සමාදන් වෙත්.

භගවත්හු ඒ නුවර කල් හැර රජගහපුර වැඩියාහු. යම් සේ ගොපලු නොදනුයේ ගොන් මුළා වේද, එසේම සම්දුටු ගතුවෝ නැවත අන්තොටු සෙවණටම ගියාහුය. හත් අට මසක් කල් යවා ඔවුන්ගේ ඥාන මේරූ නියා දත් මහාකාරුණිකයෝ නැවත සැවතට වැඩමවා වදාළෝය. මහ සිටාණෝ ළය හුණු වූවාහු නැවත ස්වකීය
ප්‍රියයන් මෘදු තෙපුලින් පොළඹවා දෙව්රමට කැඳවාගෙන විත් තිලෝගුරුන් පා කමල් වඳුවා එකත්පසව හිඳ භාග්‍යවතුනට පුවත සැල කළෝය.

මහාකාරුණිකයාණෝ, ඉදින් මා මින් සිව්සංඛ කප් සුවහසකට පෙර අධිගත කළ හැකිව තුබූ උතුම් අරිහත් පදවි හැර පියා, මිනීමරු සොරුන් සැඟව සිටි මහ වනයන්ට ප්‍රීතියෙන් බැස කිරෙහි ආලය කෙරූ දරු හඬනුයේ මව්තොමෝ තන පුඩු මුවලන්නා සේ ඔටුනු පලන් හිස් සිඳ පියාදී බුදු පදවි පැතූයේ මේ නොදරු සසර කතරින් තෙර කිරීමට නොවේ දැ යි සිතනුයේ මෙතින් හුණු වූ ළයින් පිරිස බණවා, “දරුවෙනි, තුන් ශරණ බිඳ පියා තීර්ථ ශරණ ගතුයේ සැබෑ වේ දැ”යි විමසා වදාළ සේක. “හිමියෙනි, සැබෑ යි කීහු. “දරුවෙනි, යට අවීචියෙහි පටන් මතු භවාග්‍රය තෙක් ද, සරස අනන්තාපරිමාණ ලෝක ධාතූන්හි ද ශීලාදී ගුණින් බුදුහු හා සමෙක් නැත. යම් තාක් ලොව දහමුන් අතුරින් සතර මගඵල නිර්වාණ සංඛ්‍යාත නව ලොව්තුරු දහමට අධිකතර දහමක් නැත. යම් තාක් ගුණ අතුරින් සුපටිපන්නාදී ගුණින් යුත් මහ සඟ ගණ දෙවැනි කරලනු සමර්ථ ගණෙක් නම් නැත.” යනාදීන් තිශරණයෙහි ගුණ වනා “එබඳු වූ ශරණයක් හැර පී නුඹලා විසින් කරන ලද්ද යුක්ති යුක්ත නොවේ. දරුවෙනි, පෙරත්

මනුෂ්‍යයෝ භාවිත ඥානයෙන් යුක්ත නොවූවාහු අනීය්‍යාණික ප්‍රතිපදාව ගෙන නොතැන්හි ශරණ ගොස් අමනුෂ්‍ය පරිගෘහිත කතරේ මාරමුඛයට පැමිණියේ නොවේද? නීය්‍යාණික අපණ්ණක ප්‍රතිපදාව ගත්තාහු නිරුපද්‍රිතව පාරගත වූවාහු නොවේදැ”යි අසා වදාළ සේක.

ඉනික්බිති මහසිටාණෝ සනරාමරයන් වැඳ සිරසාඤ්ජලී කොට, “හිමියෙනි, මොවුනගේ දැන් තිශරණය බිඳීම ප්‍රකටය. භවයෙන් වැසී ගිය හෙයින් පෙර නියා නොදනුම්හ. වළා ගැබින් සඳ මුදවා දක්වා ලන්නාක් මෙන් ඒ පුවත පළකෙරෙත්වා”යි කීහු. තථාගතයෝ “හෙම්බා දරුවෙනි, අසව්, මනා කොට සවන් යොමු
කරහු. තෙල දක්වමි”යි මෙසේ වදාළ සේක.

පෙර කාශි රට බරණැස බ්‍රහ්මදත්ත රජ තෙමේ ආඥා කරවීය. එකල මහාසත්වයාණෝ බුද්ධ රාජ්‍ය පිණිස පැරුම්දම් පුරනුයේ ගැල් කුලයක ඉපිද වෘද්ධප්ප්‍රාප්තව පඤ්ච ශත ගැල් බඳවා පුරින් පුර ගොස් ධන උපයන සේක. හේ කලෙක පෑළගිරින් අවරගිරටද, කලෙක අවර දිගින් පෑළදිගටද යේ. ඒ පුර අන්‍ය අව්‍යක්ත වූ මූඪ වූ ගැල් වාහක පුත්‍රයෙක්ද විය. වරෙක් මහාසත්වයාණෝ මහර්ඝ බඩු මිලදී ගෙන ගැල් පුරවා සකසා තැබී. මූඪ ගැල්වාහක පුත්‍රයාද එසේම සකසා තැබී. මහාසත්වයාණෝ සිතනුයේ “මේ දරුතෙමේ, සාංසාරික දොසින් මූඪ වූයේ අවියත්ය. මම් වනාහි සර්වඥතා ඥාන ප්‍රතිලාභයම සසර පුරා සෙවූයේ නැණවත්ය. මේ තෙමේ මා සමඟ මග ගෙවාලන්නට සැරසෙන්නේය. ඉදින් එක්ව ගිය කල මග ද නොපොහොනේය. දර පැන් ද ගොනුට තණ ද හිඟවන්නාහ. මා සිටියදී මේ දෙපිරිසම වැනසීම නොමනාය. කුමන හෝ සැතක් පළමුව යා යුතුය”යි සිතා අවියත් සාත්තු පුත්‍රයා කැඳවා “ඉදින් දෙපිරිසම එක්ව යනුයේ ගමන සුකර නොවන්නේය. කිමෙක්ද ප්‍රියය, පළමු කොට තොප හෝ මා යේ දැ”යි විමසීය. සසර දොස හරස් වූ කල කරුමයම බලවත් වනුයේ බාල උහුගේ මෝහයම පැණ වෙසින් අවුත්, “මා විසින් පළමුව  යෙනුයේ අළුත් මගින් යෙමි. නො කෑ තණ ගොන්නු කත්. මිනිසුනට ද නො කෑ පලා වන්නාහ. ප්‍රසන්න වූ උදකයෝ වෙත්. රුචි මිලකට බඩු අගය කළ හැකැ”යි නුණුවනින් සිතා “මිතුර, පෙරටුව යෙමි”යි කීය. මහසතාණෝ ජාතිප්‍රාඥ වූයේ, පෙර යන්නවුන් විෂම මග සම කෙරේ. උනුගේ ගොනු මේරූ තණ කෑ කල, නැවත දළු ලෑ ලා තණ මා ගොනුන් කන්නාහ. එපරිදිම පිරිසට සූපය පිණිස මිහිරි පලා ලැබෙන්නාහ, උදක රහිතයෙහි කැණ පැන උපදවන්නේය. බඩුවලට මිල කීම නම් මිනිසුන්ගේ ගෙල සිඳීම සදිසය. එහෙයින් “උන් තුබූ මිලයෙහි බඩු විකුණන්නෙමි” යනාදීන් පසු ගමනෙහි සාර දැක “ප්‍රියය, එසේ ඇති කල තෙපිම පෙර යවු”යි කීහ. කිම? පැරුම් දම් පුරන මහසතාණන්ට පසු ගමනෙහි ලාභය දැක ඒ ලාභය අනෙකාට නොදීමට තරම් සිත කුහක වීද? නැත. අඥානයා හට කෙතරම් බස් බිණුවේද ගත් දිට්ඨිය නොහරිනුයේම ය. පසුව යවු යි කීවද හේ තෙමේ කෝප උපදවනුයේය. එහෙයින් අවැසි තැන මහසතාණෝ උපේක්ෂා ඇත්තේ වූහ යි දත යුතු. “මිත්‍රය, මැනවි”යි පවසා අඥාන ගැල්වාහක තෙමේ ගැල් යොදා නික්ම පිළිවෙලින් මිනිස් වාසය ඉක්මවා කාන්තාර මුවදොරට පැමිණියේය.

මේ කතර තෙමේ අමනුෂ්‍ය අධිගෘහිත වූයේ දිය නැත්තේනුයි නිරුදක කතර නම් වීය. එහෙයින් ගැල්වාහක තෙමේ ගැල්වල විශාල පැන් කල තබා දිය පුරවා සැට යොදුන් මග කතරට පිළිපන්නේය. ඔවුන් අඩ ගමන් ගෙවා ආ කල කතරට අධිගෘහිත යක් තෙමේ “මුන්ගේ දිය හැරදම්වා පියා සා පිපාසයෙන් හැකිලී ගිය කල මරා බුදින්නෙමි”යි සිතා පිරිවරුන් සමග මිනිස්වේශ ගෙන උපුල් නෙළුම් පැළඳ නෙලඹු දඬු සපමින් රූරා වැටෙන දිය සහිත තෙත් කෙසින් තෙත්වතින් යුතුව මඩ වැකුණු සක් ඇති රථ මවා දුහුලියෙන් වැකුණු ගැල් සාත්තුව එන මගට පිළිපන්නේය.

යක් තෙමේ එන්නවුන් දැක රථ නවතා මගින් බැස පිළිසඳර රිසි දක්වා “කොහි යන්නාහුදැ”යි විමසීය.

ගැල් නායක තෙමේද රථ නවතා මගින් බැස “යහළුව, අපි බරණැසින් ආවෝ වෙමු”යි පවසා, අඥාන බවම නැසෙන්න‍ට කාරණා බව ස්ඵුට කරමින් මිරිඟු දැක දිය ඇතැයි සිතන්නා සේ, ගිණියම් වූ වාලුකා කතරේ ගති නොසිතාම තවදුරටත් “නුඹලා උපුල් නෙළුම් පැළඳ මිටි බැඳ අතිනුදු ගෙන, නෙලඹු දඬු සපමින් තෙත් හිසින් තෙත් වතින් මඩ වැකුණු රිය සකින් කොහි සිට එන්නාහුද? කිම,තොප ආ මගෙහි වැසි වැටෙන්නාහුද? උපුල් නෙළුමින් ගැවසීගත් විල් ඇත්තාහුදැ”යි පිළිවිසි. යක්තෙමේ “කන්ට ආ ගොයි අතට ආ කල කුමට තෙල් සාත්තුදැ”යි සිතා “මිතුර, නුඹ කුමක් කියන්නෙහිද? ඒ දෙසෙහි නිල් වනරොද පැනෙයි. සකල අරණ මැඩ නිබඳ වැසි වැටෙත්. දිය කඳුරු සෑදී රැඳි දියෙන් සැදි විල් පස්පියුමින් ගැවසීගත්තාහු වෙත්” යයි මුසා බැණ “මේ ගැල් ගෙන කොහි යහු” දැයි විමසීය. “අසවල් පුර යෙමි”යි කීය. “මේ මේ ගැල් වල කුමන කුමන බඩු දැ”යි, “අසුවල් අසුවල් බඩු ය”යි. “පසුව එන්නාවූ බර වූ ගැල්හි කුමක් දැ”යි, “දිය සැලියි” ය. “යහළුව, මෙතෙක්දුර දිය රැගෙන ආ තොප විසින් මනාවක්ම කරන ලදී. ඉදිරියෙහි දිය පැනෙයි. මේ දිය හළුවා සැලි බිඳුවා ගැල් බර අඩු කොට පහසුවෙන් යහු. අපට ප්‍රමාද වන්නාහ”යි පවසා ගැල් නොපෙනෙන මානගොස් අන්තර්ධාන වීය. වීමංසා ප්‍රඥායෙක් නැති ගැල්වාහ පුතු තෙමේ දිය හළුවා සැලි බිඳුවා සැහැල්ලු ගැලින් ඉදිරියට ගියේය. ඉදිරියෙහි අඩපතකුදු දිය නොලැබ කිලමථයට පත් මිනිස්සු ගැල් නවතා ගොනුන් මුදා උන් රිය සක්හි බැඳ කැඳක් බතක් නොලබනුයේ දුර්වලව තන් තන්හි වැටී නිදන්ට වන්හ. රාත්‍රී භාගයෙහි යක්ෂයෝ යක් පුරින් අවුත් සියළු ගොනුන් මිනිසුන් කා දමා ඇට පමණක් ඉතිරි කොට ගියාහුය. ගැල් බඩුත් සමග තිබූ අයුරින්ම වූහ.

මහාසත්වයෝ ද පෙර ගැල් සාත්තුව නික්ම එකඩ මසක් ඇවෑමෙන් සිය ගැල් බඳුවා භාණ්ඩ ගෙන පිළිවෙළින් අවුත් කාන්තාර මුඛයට පැමිණ කඳවුරු බැඳ ගත්හ. හේ දුරදක්නා සුළු වූයේ දිය සැලිවල බොහෝ දිය පුරවා ගැල් නංවා කඳවුරෙහි බෙර හසුරුවා ජනයන් රැස්කොට කුළුණු ඇත්තේ, “දරුවෙනි මා නොවිමසා පතකුදු දිය නොවළඳුව. කතරෙහි බොහෝ විෂ රුක් ඇත්තාහ. පෙර නො කෑ විරූ කොළයක් මලක් ගෙඩියක් නොවිමසා නොවළඳුව” යනාදීන් දරුනට ඔවා දෙන සෙනෙහෙබර පියෙක් මෙන් ඔවා දී කතර මගට පිළිපන්නේය. ගැල්සාත්තු ඒ කතර මැදට ආ කල ඒ යක් තෙමේ පෙර මෙන් අවුත් මුසා බස් දෙඩීය.

මතු ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත්ව සූවිසි අසංඛ සැට ලක්ෂයක් ලෝ දනා සතර මගඵල ප්‍රඥාවෙහි තබනු පිණිස උතුම් සර්වඥතාඥාන පතා සසරට බට මා ස්වාමී වූ මහාසත්ත්වයාණෝ ජාති ප්‍රඥා ජවන ප්‍රඥා ඇතියේ සතිමන්ත වූයේ කතරෙහි සභාව දනුයේ යක් දුටු ඛණෙහිම යකුගේ මල් දිය මඩ සහිත ස්වභාවය ඊට උචිත නොවන බව මනා කොට වටහා ගත්හ. මතුද පරීක්ෂා කරනුයේ යකුගේ රක්ත නයනත් නොපැණෙන ඡායාවත් දැක මතු දිව්‍යචක්ෂුරාභිඥා ඥානයට පෙර මං පෙත් ලකුණු කරමින් එකැතින්ම මේ තෙමේ අමනුෂ්‍යයෙකු බව තීරණය කළේය. ඒකාන්තයෙන්ම මොහු පෙර ආ බාල අවියත් ගැල්වාහක පුත්‍රයා රවටා සියළු දිය දම්මවා දුර්වල කොට

පිරිසම මරා කෑවා විය යුතුය. ඉදින් මාහට මාගේ මේ පිරිස මොහුගෙන් ආරක්ෂා කොට එතෙර කරනු නොහැකිව සකල ලෝකවාසී සියලු සත්ත්වයා කෙසේ නම් සසර දුකින් එතෙර කරනු හැකි වේද? මොහු මාගේ පාණ්ඩිත්‍යයත් උපාය කෞෂල්‍යයත් නොදනී. එසේ සිතූ මහාසත්ත්වයාණෝ යකු අමතා “නුඹලා යහු. වෙළෙන්දෝ වූ අපි නම් අන් දියක් නොදැක ගත් දියෙන් නොපිරිහෙන්නෙමු. දුටු තන්හි හැර පියා ගැල් ඉහිල් කොට ගෙන යන්නෙමු”යි කීවේය. පිරිස් සහිත යක් තෙමේ ටික දුරක් ගොස් ගැල් නොපෙනෙන කල යක්පුරයටම ගියේය.

යක්පිරිස නොපෙනී ගොස් නොබෝ වේලාවකින් ගැල් පිරිස මහසතාණන් හමුව, “මහතාණෙනි, ඒ මනුෂ්‍යයෝ නිල් වනරොදක තතු පවසත්. උපුල් නෙළුම් පළඳා අතිනුදු ගෙන නෙලඹු අල කමින් තෙත් හිසින් තෙත් වතින් මඩතැවරුණු රිය සකින් පැමිණියාහු ඉදිරියෙහි නිබඳ වැසි ඇති බව පවසත්. අපිදු දිය හෙලා ගැල් ලහුක කොට සුවසේ යාම මනා නොවේ දැ”යි විමසූහ.

යම් සේ තිරශ්චාන ගත වුවත් සීහ තෙමේ වනයට අධිපතිකම් කරනුයේ සියලු වන සතුන්ගේ දිවි රක්ෂණය පිණිස කටයුතු කෙරේ ද, එමෙන් බුදුහු ලොව නැති කල මහා සත්වයෝම සියලු ලෝ සතුන් කුශලාදී ධර්මයන්හි සමාදන් කරවත්. කෙලෙස් මලින් මිදී නිවන්පුර වදිනු පිණිස මග දක්වත්. සතුන් සසර දුකින් එතෙර වීමට උත්සාහ කරවත්. මෙසේ වූ අප මහතාණෝ නොදත් කිරි දරුවනගේ අවියත් බසට මෙත් උපදවා කටයුතු කරන පියෙක් සේ ගැල් නවතා සියලු මිනිසුන් රැස් කොට මෙබස් කීහ. “දරුවෙනි, මේ කතරෙහි විලක් හෝ පොකුණක් හෝ ඇති බවක් නුඹලා අතුරින් කිසිවෙකු හෝ මින් පෙර අසා තිබේද?” “මහතාණෙනි, නොවේමය”, “මේ කතර නමිනුදු නිරුදකම වේය. දැන් ඇතැම් මනුෂ්‍යයෝ මෙහි විත් එහි නිල් වනරොදය නිබඳ වැසි වටනේය ය යි කියත්. දරුවෙනි, වැහි සුළං කොපමණ දුරකට හමන්නේද?” “මහතාණෙනි, යොදුනක් පමණය.” “කිමෙද, නුඹලා අතුරින් කිසිවකුගේ හෝ කයෙහි වැහි හුළං හැපුණේද?” “මහතාණෙනි, නැත්මය.” “මේඝවලාවෝ කොපමණකින් පැණෙත්ද?” “මහතාණෙනි, යොදුනක් පමණය.” “ඉදින් මෙහි මේඝවළාවක් දුටුවෙකු සිටින්නේද?” “මහතාණෙනි, නැත්මය.” “විජ්ජුලතාවෝ කොපමණකින් පැණෙත්ද?” “මහතාණෙනි, සතර පස් යොදුනකිනි.” “කිමෙද විජ්ජුලතා ඕභාෂ‍යෙක් දුටුවෙකු මෙහි වේද?” “මහතාණෙනි, නැත්මය.” “මේඝ ශබ්දය කොපමණකින් වේද?” “මහතාණෙනි, යොදුනක් දෙකක් පමණය.” “කිමෙද, මේඝ ශබ්දයක් ඇසූවෙකු මෙහි වේද?” “මහතාණෙනි නැත්මය.” “දරුවෙනි දනිවු, ඔවුහු මනුෂ්‍යයෝ නොවෙත්. යක්ෂයෝය. ඔවුහු අපගේ දිය දම්වා දුබල කොට අප මරා කෑමට තැත් කළහ. පෙර ආ ගැල්වාහක තෙමේ අඥානය. එතකින්ම පිරිස සහිත හේ මොවුන් අතින් මරුමුවට පත් වූවේමය. බඩු පිරවූ පන්සියයක් ගැල් කතරෙහි තිබූ පරිදිම ති‍බෙනු අපට දැකගත හැකි වන්නාහ.” යනුවෙනි. අනාගතංශ ඥාන නැතිමුදු කරුණු සලකා යමක් දත හැකි තියුණු ණැනින් යුතු මහාසත්වයාණෝ බිණූ බසෙහි සැබෑ නොබෝ දුර ගෙවන පිරිසට මනාව වැටහුණහ.

තුබූ තන්හිම නවතා තුබූ ගැල් ද දස අත විසිරී තිබූ මිනිස් හා සත්ත්ව ඇට ද දැක මහාසත්ත්වයාණෝ සංවේග උපදවා ගත්හ. එකතින්ම සාංසාරික දෝෂයෙන් සත්ත්වයෝ ජාති පැණ සහිතව ද රහිතව ද උපදිත්. පැණ රහිතව උපනවුන් මෙසේ පුරාකෘතාකුශල කර්මයන් දුක සේ ගෙවන්නාහ ය යි සිතා අනතුරුව සිතනුයේ මෙ බැව්හි තොප රකුස්ගෙන් ගලවා ගැනීම මා හට කළ නොහැකි වුවත් මතු දිනෙක සසර භව කතරෙහි කෙලෙස් රකුසන්ගෙන් මුදවා නිවන්පුර හැරලන්නෙමි”යි මහා කරුණාවෙන් අධිෂ්ඨාන පිහිටුවා ගත් සේක.

පසුව ගැල් නවතා ගොණුන් මුදා කඳවුරු බැඳ ගොණුන්ට ද මනුෂ්‍යයන්ට ද සවසම බත දී මනුෂ්‍යයන් කවාකාරව සතප්පවා ඒ මැද ගොණුන් බැඳ තමන්ම කඩුගත් අතින් තුන්යම සිටිවනම රැකවල් ලෑවේය. පසුදින පෙරයම්හි සකල කටයුතු නිමවා ගොණුන් කවා, හිමියන් නැති හෙයින් හැර දැමුවක් වූ නිසාද අව් වැසි සුළඟින් නැසෙනවාට වඩා කවරකුට හෝ ප්‍රයෝජනයක් ගැනීම මනා හෙයින්ද තමන්ගේ දුබල ගැල් හැරපියා බලැති ගැල් ගෙන නො අගින බඩු හැරපියා අගින බඩු ගෙන ඉටූ තැනට ගොස් බඩු විකුණා සියලු පිරිස සමග නිරුපද්‍රිතවම නැවත බරණැසටම පැමිණියේ ය යි බුදුහු ජාතක දේශනාව වදාළ සේක.

ජාතක දේශනාවසානේ මිසදිටු ගත් පන්සියයක් පිරිසගේ සිත් හාන ලද බිමක් සේ කලල් වූහ යි ද, රත් වූ වෙඬරු පිඬක් සේ මෘදු වූහ යි ද වලා ගැබින් මිදුණු සුපුන් සඳක් සේ විනීවරණ වූහ යි ද ආශයානුශය දක්නා වූ බුද්ධ චක්ෂුවට පෙනී ගිය සේක. වපුලන්ට සුදුසු හාන ලද බිම් කඩ යම් සේ ගොවි තෙමේ දකී ද එසේම තථාගතයාණෝ යම් දේශනාවක් පිණිසම අනන්ත සසර පැරුම් දම් පිරී ද ඒ චතුසත්‍ය දේශනාව දේශනා කොට වදාළ සේක. දිය වට ලෝහ බරු යම් සේ වේ ද, මඩට වට පාෂාණය යම් සේ වේ ද එසේ සියලු සංඛත ධර්මයන්ගේ තිලකුණු දක්වමින් සියලු දුකින් අතමිදුණු සදාතනික ශාන්තිය ඇති අමා මහ නිවන අරමුණු කරවමින් කලල් වූ මෘදු වූ විනීවරණ වූ ඒ පිරිසගේ සිත්පතුලට චතු සත්‍ය ධර්මයෝ කිඳා බැසගත්හ. පිරිස දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටියාහු ය.

භාග්‍යවතුන් වහන්සේ දේශනාව වදාරා, “ගෘහපතිය, පෙරත් අනීය්‍යාණික වූ ප්‍රතිපදාව ගෙන නොතැන්හි ශරණ ගියාහු නෂ්ඨ වූවාහුය. නීය්‍යාණික අපණ්ණක ප්‍රතිපදාව ගත්තහු නිරුපද්‍රිත වූවාහු යයි වදාරා පෙරාපර ගටනුයේ ඒ බාල ගැල්වාහක තෙමේ දෙව්දත්ය. එකල බාල ගැල්වාහකගේ පිරිස මේ දෙව්දතුගේ පිරිසමය. පණ්ඩිත ගැල්වාහක පුත්‍රයාගේ පිරිස මේ බුදුපිරිසය. පණ්ඩිත ගැල්වාහක පුත්‍රයා නම් ලොව්තුරා බුදුබවට පැමිණි මම් වේ දැ” යි දේශනාව නිමවා වදාළ සේක.

පරිගණක අකුරු සැකසුම
උපේක්ෂා ප්‍රියරංගිකා

නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk