ලෝකය තුළ සැරිසරන සත්ත්ව ප්‍රජාව අතිමහත්ය. ඔවුන් අතරින් නිර්වාණය අවබෝධ කර ගනු ලබන්නේ ඉතාම සුළු පිරිසකි. ඒ පිරිස බුදු, පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට ම පැමිණ නිවන් දකින්නේය. එසේ නිවන් අවබෝධය උදෙසා පාරමී පුරන ඒ උතුම් පිරිස ‘බෝධිසත්ත්ව’ නමින් හැඳින්වේ. ඒ බෝධිසත්ත්වයින් තුළ පවතින නුවණ අනුව උද්ඝටිතඥ, විපචිතඥ, ඥෙය්‍ය, පදපරම යැයි චතුර්විධ වන අතර ‘උද්ඝටිතඥ’ බෝධිසත්වයන් හට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගේ අභිමුඛයෙහි සතරපද ගාථාවක් අසා, එය දේශනා කොට නිමවෙන්නටත් ප්‍රථමයෙන් ෂඩ් අභිඥා සහිත සිව්පිළිසිඹියාපත් ව මහරහත් බවට පැමිණීමට සමර්ථ වූ උපනිශ්‍රය සම්පත්තියක් ඇත්තේය. ඒ බෝධිසත්ත්වයින් වහන්සේ ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරන්නේ නම් එදවස් ම සියලු කෙළෙස් මල සෝදා හැර නිවන් පුරට පැමිණෙන්නේය. එමෙන්ම විපචිතඥ බෝධිසත්ත්ව තෙම, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පාමුල සතරපද ගාථාවක් හා එහි අර්ථ දේශනා කොට නිම නොවෙන්නට පෙරම ෂඩ් අභිඥා ඇතිව සිව්පිළිසිඹියාපත් ව මහරහත් බවට පැමිණීම‍ට සමත් උපනිශ්‍රය සම්පත් ඇත්තේය. ඒ විපචිතඥ වූ බෝධිසත්ත්වයින් ද ශ්‍රාවක බෝධිය පතන්නේ නම් එදවස්ම නිවන් දකින්නේය. ඥෙය්‍ය බෝධිසත්ත්ව තෙම සම්මාසම්බුදුරජාණන් වහන්සේ නමකගේ පාමුල සතරපද ගාථාවක් හා එහි අර්ථ විස්තර වශයෙන් විභාග කොට සිදු කරන දේශනාවක් ශ්‍රවණය කරයි ද එය අවසන් වන විට ෂඩ් අභිඥාවෙන් සමන්නාගත ව සිව්පිළිසිඹියාපත් මහරහත් බවට පැමිණීමට නිසි උපනිශ්‍රය සම්පත්තිය ඇත්තේය. ඒ බෝධිසත්ත්ව තෙම ශ්‍රාවක බෝධියෙහි පිහිටා සිටින්නේ නම් එදවස් ම සිව්පිළිසිඹියාපත් රහත්ව, සෝපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවෙන්නේය.

සම්‍යක් සම්බෝධිය උදෙසා නියත වූ බෝධිසත්වයන් වහන්සේ නමක් වී නම් එදවසම රහත් බවට නොපැමිණෙන්නේය. ඒ කිනම් කරුණක් නිසාද යත්, මාස තුනකින් හෝ හතරකින් හෝ කිරිවැද පැසෙන්නා වූ කුඹුරක් ඇත්තේ වී නම්, එහි ඇති ගොයමට කොපමණ සාත්තු කළ ද ඒ ගොයම මාසයකින් හෝ දෙකකින් නොපැසෙන්නේය. එපරිද්දෙන්ම සම්මාසම්බෝධිය උදෙසා පිරූ පාරමී ඇති බෝධිසත්ත්වයන් ශ්‍රාවක බෝධියට නොපැමිණ සම්මාසම්බෝධියෙන්ම ලොව්තුරා බුදුබවට පත්ව, සූවිසි අසංඛ්‍යයක් සත්වයන් නිවන්පුර පමුණුවන්නේය.

බුදුබව පතාගෙන පාරමී පුරන බෝධිසත්ත්වයින් වහන්සේලා ‘ප්‍රඥාධික, ශ්‍රද්ධාධික හා වීර්යයාධික’ වශයෙන් ත්‍රිප්‍රකාර වන්නේය. එයින් ප්‍රඥාධික බෝධිසත්ත්වයන් වහන්සේලා තුළ ශ්‍රද්ධාව මද වී ප්‍රඥාවම තියුණුව ඇත. එතුමන් වහන්සේලා බුදුබව පතාගෙන සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පිරිය යුතු වන්නේය. ශ්‍රද්ධාධික බෝධිසත්ත්වයන් වහන්සේලා තුළ ප්‍රඥාව මඳ වී ශ්‍රද්ධාවම තියුණුව ඇත. එතුමන් වහන්සේලා අටාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බුදුබව පතා පාරමී පිරිය යුතු වන්නේය. විර්‍ය්‍යායධික බෝධිසත්ත්වයන් වහන්සේලා තුළ ප්‍රඥාව මඳ වී වීර්යය තියුණුව ඇත. එතුමන් වහන්සේලා බුදුබව පතා සොළොසාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පාරමී පිරිය යුතු වන්නේය.

සාරාසංඛ්‍යකල්ප ලක්ෂයක්, අටාසංඛ්‍යකල්ප ලක්ෂයක් හා සොළොසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වශයෙන් සඳහන් වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පාමුල නියත විවරණ ලැබූ පසු පූරණය කරන ලද කායප්‍රණිධාන කාලයයි. නමුත් එයටත් ප්‍රථමයෙන් මනෝප්‍රණිධානය, වාග්ප්‍රණිධානය වශයෙන් පාරමී පිරිය යුතු කාල දෙකකි.

මනෝප්‍රණිධානය යනු බුදුබව පතා මනසින් පාරමී පුරන කාලයයි. ඒ කෙසේද යත්, මීට විසිඅසංඛ්‍යකල්ප ලක්ෂයකට පෙර නන්ද නම් අසංඛයෙහි අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ වෙළඳ කණ්ඩායමක් සමඟ නැව් නැඟ සමුද්‍රය තරණය කරන විට කුණාටුවකට හසු වී නැව මුහුදුබත් වූ මොහොතේ, තම මව්තුමිය සයුරේ ගිලෙන්නට නොදී දින හතක් මුළුල්ලේ පිට මත තබා මහා සයුර තරණය කොට සත්වැනි දිනයේ ගොඩට පැමිණි මොහොතේ තම මව්තුමියගෙන් මුලින්ම බුදුබවට වරම් ලැබුණේය. එතැන් පටන් මනසින් පාරමී පූරණය ආරම්භ කළ අතර ‘පුරාණ දීපංකර’ බුදුරජාණන් වහන්සේට පහන් දැල්වීම පිණිස සිද්ධාර්ථ තෛලය (අබ තෙල්) පූජා කොට බුදුබවට සිත් යොමු කළහ. මෙසේ ‘නන්ද’ නම් වූ අසංඛ්‍යයෙහි පටන් ‘පුණ්ඩරික’ නම් අසංඛ්‍යය දක්වා වූ සත්
අසංඛ්‍යය කල්පය පුරා එක්ලක්ෂ විසි පන්දහසක් (125,000) බුදුවරුන් දකිමින් බොහෝ කුසල් කරමින් මනෝ ප්‍රණිධානය පූරණය කළ සේක.

වාග් ප්‍රණිධානය සම්පූර්ණ කරනුයේ කෙසේද යත්, අප මහා බෝසතාණෝ මේ මහා භද්‍රකල්පයට අසංඛ්‍ය කල්ප දහතුනකට පෙර වාග් ප්‍රණිධානයට පෙර ආරම්භ වූ සර්වභද්‍ර නම් අසංඛ්‍යයෙහි සාරමණ්ඩ නම් කල්පයෙහි දඹදිව මධ්‍ය දේශයෙහි ධඤ්ඤවතී නුවර සාගර නමින් චක්‍රවර්තී රජව සිටි කාලයෙහි පුරාණ ගෞතම නම් බුදුරජ සිරිනිවාස නුවර යසනිවාස රජුට දාව විමලා නම් බිසවගේ කුසින් බිහිව වැඩිවිය පැමිණි පසු අභිනික්මන් කොට ලොව්තුරා බුදුබවට පත් වූ සේක. එම පුරාණ ගෞතම නම් වූ ඥෙය්‍ය බුදුරජාණන් වහන්සේ ලෝ වැඩ පිණිස මිගාචිත නම් වනයට වැඩි සේක. එකල්හි සාගර නම් සක්විති රජ වූ අප මහාබෝසතාණන් වහන්සේ එම පුරාණ ගෞතම බුදුරදුන් දැක පැහැදී, “මම ද මෙබඳු ශාක්‍ය වංශයෙහි ඉපිද ගෞතම නමින් බුදු වන්නෙමි” යැයි වාග් භේදයෙන් ප්‍රාර්ථනා කළහ. එතැන් පටන් දානාදී කුසල් කරමින් බුදුවරුන් දකිමින් එම බුදුරජාණන් වහන්සේලාගෙන් අනියත විවරණ ලබමින් බොහෝ කුසල් සිදු කරගත් අතර එම කාලය තුළ බුදුවරු තුන්ලක්ෂ අසූ හත් දහසක් (387,000) දුටු සේක.

මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙන් සේල නම් අසංඛයෙහි සාරමණ්ඩ නම් කල්පයෙහි දඹදිව පුෂ්පවතී නම් නුවර සුනන්ද නම් රජුට දාව සුනන්දා නම් බිසවගේ කුසින් බිහිව වැඩිවිය පැමිණි පසු මහාභිනික්මන් කොට ලොව්තුරා බුදුබවට පත් වූ ‘තණ්හංකර’ නම් ඥෙය්‍ය බුදුරජාණන් වහන්සේ දැක, අනියත විවරණ ලබමින් බුදුබව ප්‍රාර්ථනා කළහ. එම කල්පයෙහිම දඹදිව මේඛලා නම් නුවර සුදේව නම් රජුට දාව යශෝදරා නම් අගබිසවගේ කුසින් බිහිව වැඩිවිය පැමිණි පසු අභිනික්මන් කොට ලොව්තුරා බුදුබවට පත් වූ “මේධංකර” නම් විපචිතඥ බුදුරජුන් දැක අනියත විවරණ ලබමින් බුදුබව පැතූහ. එම සාරමණ්ඩ නම් කල්පයෙහිම මැද්ද දේශයෙහි විපුල නම් නුවර සුමංගල නම් රජු නිසා යසවතී නම් බිසව කුසින් බිහිව වැඩිවිය පැමිණි පසු අභිනික්මන් කොට ලොව්තුරා බුදුබවට පත් වූ සරණංකර නම් බුදුරජාණන් වහන්සේ දැක අනියත විවරණ ලබමින් බුදුබව පැතූ සේක.

මෙසේ සර්වභද්‍ර නම් අසංඛ්‍යයෙහි පටන් සේල නම් අසංඛ්‍යයෙහි සාරමණ්ඩ නම් කල්පය දක්වා වූ කාලය නවාසංඛ්‍යකල්පයක් වන අතර එම කාලය තුළ බොහෝ කුසල් සිදුකරමින් වාග්ප්‍රණිධානය පූරණය කළ සේක.

මෙසේ මනෝ-වාග්ප්‍රණිධානයන් පූරණය කරන ලද බෝධිසත්ත්වයන් වහන්සේලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පාමුල නියත විවරණ ලබමින් කායප්‍රණිධානය ආරම්භ කරන්නේය. මුලින්ම නියත විවරණ ලබන දිනයේ සම්පූර්ණ විය යුතු ධර්මතා අටක් ඇත. එම අෂ්ඨධර්මයන් සම්පූර්ණ වූ උත්තම පුරුෂයෙකුට මිස අන් කෙනෙකුට නියත විවරණ නොලැබෙන්නේය. ඒ කිනම් ධර්ම අටක් ද යත් :

“මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති හේතු සත්ථාර දස්සනං
පබ්බජ්ජා ගුණ සම්පත්ති අධිකාරෝ ච ඡන්දතා
අට්ඨධම්ම සමෝධානා අභිනීහාරෝ සමිජ්ඣති”

යනුවෙන් සඳහන් පරිදි ප්‍රථම විවරණය ලබන දවසේ මනුෂ්‍ය ආත්මභාවය ලැබීම, පුරුෂලිංග සම්පත්තියෙන් යුක්ත වීම හේතු ය (අර්හත්වයට පත්වීමට අවශ්‍ය නිසි උපනිශ්‍රය සම්පත්තියෙන් යුක්ත වීමය), ශාස්තෘන්දැකීමය, පැවිදී වී සිටීමය, ගුණ සම්පත්තිය, අධිකාර වූ පරිත්‍යාගයෙන් යුක්ත වීම යන ධර්මතා සපිරූ උතුමන්ටම ප්‍රථමාභිනීහාර නම් වූ නියත විවරණය ලැබෙන්නේය.

  • මෙහි “මනුස්සත්තං” යන්නෙන් මනුෂ්‍ය ආත්මභාවය අර්ථවත් වන්නේය. මනුෂ්‍යයෙකුටම මිස දිව්‍ය බ්‍රහ්මාදී අන්‍ය කෙනෙකු ප්‍රථම විවරණය නොලබන්නේය.
  • “ලිංගසම්පත්ති” යන්නෙන් අදහස් කෙරෙන්නේ පුරුෂ ආත්මභාවයකි. මනුෂ්‍යයෙක් වී නමුත් ස්ත්‍රියක් හට නියත විවරණ නොලැබේ. බෝධිසත්ත්වයන් වහන්සේ නමක් සසර සැරිසරන විට කළ අකුසලයකින් ස්ත්‍රී ආත්මයක් ලැබුවහොත් පින් කොට පුරුෂ ආත්මභාවයක් ලබා ගත යුතුය. එසේ හෙයින් පුරුෂ ආත්මයක් ඇති උත්තම බෝධිසත්ත්වයන් වහන්සේ නමකටම නියත විවරණ ලැබෙන්නේය.
  • “හේතු” යනු ඒ ආත්මභාවයෙහි ධ්‍යාන භාවනාදිය සිදු කරමින් සියලු කෙළෙස් ප්‍රහාණය කොට අර්හත්වයට පත්වීමට අවශ්‍ය නිසි උපනිශ්‍රය සම්පත්තියෙන් යුක්ත වීමය.
  • “සත්ථාරදස්සනං” යනු බුදුරජාණන් වහන්සේ නමක් දැකීමය. එසේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියෙහි ජීවිතය පිදීමට තරම් මහත් වූ ශ්‍රද්ධාවෙන් යුක්ත වූ බෝධිසත්ත්ව උතුමන්ට නියත විවරණ ලබන්නේය.
  • “පබ්බජ්ජා” නම් පැවිදිවීමය. ගිහිගෙය අතහැර යටත් පිරිසෙන් තාපස පැවිද්ද හෝ ලබා සිටීම මෙයින් අදහස් වේ.
  • “ගුණ සම්පත්ති” යැයි සඳහන් කෙරෙන්නේ ධ්‍යානාදී ගුණයන්ගෙන් යුක්ත වීමය. ඒ හැරෙන්නට සටකපටි, කෛරාටික වූවන්ට නොව ධ්‍යානාදී ගුණයන්ගෙන් යුක්ත වූ බෝධිසත්ත්ව උතුමන්ටම ප්‍රථමාභිනීහාරය සිද්ධ වන්නේය.
  • “අධිකාරෝ” නම් පරිත්‍යාගයය. එනම් බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියෙහි ජීවිත පරිත්‍යාගයෙන් යුක්ත වී නව අරහාදී ගුණයන්ට පැහැද එම ජීවිත පරිග්‍යාගයෙන්ම බුදුබව ප්‍රාර්ථනය කරන උතුමන්ටම නියත විවරණ ලැබෙන්නේය.
  • “ඡන්දතා” යනු මහත් වූ වීර්යයයි. වීර්යය කොපමණද කිවහොත් අප වාසය කරන සක්වල යොදුන් ලක්ෂ ගණනාවක් විශාලය. එම සක්වල සයුරක් සේ සලකා එහි මෙහා කෙළවර සිට එහා කෙළවර දක්වා පීනා එතෙරවන්නා හට බුදුබව ලැබිය හැකි යැයි යමෙකු කිවහොත් “මම එය පීනා එතෙර වන්නෙමි” යැයි මහත් වූ වීර්යයයෙන් යුක්ත වීම ඡන්දතා යැයි හැඳින්වේ. මෙසේ ඉහතින් දක්වා ඇති අෂ්ඨ ධර්මයෙන් සමන්විත වූ උතුමන් වහන්සේලාම ප්‍රථමාභිනීහාර නම් ප්‍රථම නියත විවරණ ලබන්නේය.

අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ සත් අසංඛ්‍යකල්පයක් මනෝප්‍රණිධානය පුරා අනතුරුව නවාසංඛ්‍ය කල්පයක් වාග්ප්‍රණිධානය සපිරූ සේක. මෙසේ වාග් ප්‍රණිධාන පිරූ කාලය සොළොසා සංඛ්‍ය කල්පයකි. මෙසේ සොළොසාසංඛ්‍ය කල්පයක් පාරමී පිරූ අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ සුමේධ තාපසව උපන් ආත්මභාවයෙහි පෙර සඳහන් කළ ප්‍රථමාභිනීහාරය සිදු වන විට සපිරී තිබිය යුතු ධර්මතා අට ලබා තිබුණු හෙයින් දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ශ්‍රී ලබමින් කාය ප්‍රණිධානය පිරීමට ආරම්භ කළහ. ඒ කාලය සාරාසංඛ්‍යකල්ප ලක්ෂයක් වන අතර බුදුබව පතා පාරමී පිරූ මුළු කාලය විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයකි. ප්‍රථමාභිනීහාරය දීපංකර බුදුරදුන්ගෙන් ලබමින් කාය ප්‍රණිධානය සම්පූර්ණ කළ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය තුළ බුදුරජාණන් වහන්සේලා විසිහතර නමකගෙන් නියත විවරණ ලැබූ සේක.

ඒ “සූවිසි විවරණය” ඉදිරි ලිපිවලින් දැක්වෙන අතර එය කියවා ශ්‍රද්ධාදී ගුණයන් දියුණු කොට මගඵල නිවන් සැප සාදා ගනිත්වා….!!!

චිරං තිට්ඨතු ලෝකස්මිං – සම්මා සම්බුද්ධ සාසනං!

සම්පාදක
පූජ්‍ය පුවක්පිටියේ සුමංගලරතන හිමි

පරිගණක අකුරු සැකසුම
උපේක්ෂා ප්‍රියරංගිකා

නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk