සසර දුකින් එතර වීමට කැමති පුත්‍රයෝ ඒ සදහා තෝරා ගනු ලබන්නේ දසබලධාරී සර්වඥයන් වහන්සේ විසින් පිහිටුවා ඇති බුද්ධ ශාසනයයි. සාමණේර හෝ උපසම්පදා භික්ෂුවක් හෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ප්‍රතිපත්ති මාර්ගයේ සිට සිල් ගුණ දම් පිරිය යුතු වේ. හැමදීමේ වත බුදුවරයන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද්දකි. එහෙයින් හමදින තැනැත්තා ශාස්තෘන් වහන්සේගේ අනුශාසනය ලද පුද්ගලයෙකි.

දිනක් ආයුෂ්මන් ශාරිපුත්‍ර තෙරුන් වහන්සේ හිමවතේ එක් පබ්භාරයකට වැඩ එම ස්ථානය නොහැමද නිරෝධ සමාපත්තියට සමවැදි සිටි සේක. භාග්‍යවතුන් වහන්සේ තමාගේ දකුණත් අගසව් ආයුෂ්මත් සාරිපුත්‍ර තෙරුන් වහන්සේ තමන් වැඩ සිටින ස්ථානය නොහැමද සමාපත්ති සුවයෙන් සිටන බව දැනගත් සේක. තථාගතයන් වහන්සේ මේ බව දැන්වීම පිණිස ආකාශයෙන් එම ස්ථානයට වැඩමවා ශ්‍රී පාද ලාංඡනය සාරිපුත්‍ර තෙරුන් වහන්සේගේ අභිමුඛව තබා ආපසු වැඩි සේක. තෙරුන් වහන්සේ ද නිරෝධ සමාපත්තියෙන් නැගිට ශ්‍රී පාද ලාංඡනය දැක බලවත් ලෙස හිරි ඔතප් උපදවාගෙන දණින් වැටී “මා වැඩ සිටි ස්ථානය නොහැමද සිටි බව භාග්‍යවතුන් වහන්සේ දැන ගත්තේ ය. මේ බව මහා සංඝයා මධ්‍යයේ දී භාග්‍යවතුන් වහන්සේට සැල කර මා හට ම චෝදනා කර ගනිමි” යැයි සිතා භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් එකත් පසක වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ “සාරිපුත්තය, නුඹ කොතැනට ගියෙහි ද?” යැයි විමසා තමන් වහන්සේගේ අසළම ස්ථානයෙහි හැසිරෙන සැරියුත් තෙරුන් වහන්සේ වැනි උත්තමයෙකුට එවැනි ක්‍රියාවක් නුසුදුසු යැයි තාථාගතයන් වහන්සේ අවවාද කළ සේක. එතැන් පටන් සැරියුත් තෙරුන් වහන්සේ දිනපතා පිණ්ඩපාතය වඩින විට සිවුර පොරවන පෙරවන ස්ථානයේ දී පවා තම අවට වැටී තිබෙන කොළ රොඩු පාදයෙන් ඉවත් කිරීමට කටයුතු කළ සේක.

මෙවැනි ප්‍රඥාවෙන් අගතැන්පත් කල්ප අසංඛ්‍යයකට අධික කාලයක් අපමණ පාරමිතා පූර්ණය කළ උතුමන් වහන්සේ පවා ලද සුළු අස්වැසිල්ලෙන් වත් පිළිවෙත් කරමින් ආදර්ශ සම්පන්නව කටයුතු කලේය. මේ ආකාරයෙන් තම සිත තුල අකුසල මූලයන්ගෙන් වෙන්වී කුසලය තුල හික්මවීමට වත් පිළිවෙත් කිරීම උපකාරි වේ.

සම්පාදක
පූජ්‍ය පූජාපිටියේ සූරියරතන හිමි

පරිගණක අකුරු සැකසුම
සනත් ඉන්දික

නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk