කෝටිය වාසී මහාදත්ත තෙරුන් වහන්සේ ගමනක් වැඩීම සදහා මාර්ගයට පිළිපන්නේ සිත් පහදවන සුළු වන ආරණ්‍යයක් දැක අද මෙහි නැවතී ශ්‍රමණ ධර්ම පුරා යන්නෙමි යැයි තීරණය කළහ. ඉන්පසු මාර්ගයෙන් ඉවතට බැස එක්තරා රුක් මුළක තමන් වහන්සේගේ සඟල සිවුර පනවාගෙන පළගක් බැද වැඩ සිටියේය. එම වෘක්ෂයට අධිගෘහිත වෘක්ෂ දේවතාවියගේ දරුවෝ තෙරුන් වහන්සේගේ සීල තේජස නිසා සුවසේ සිටීමට නොහැකි වූ බැවින් උන්වහන්සේ බිය ගැන්වීමට නොයෙක් ප්‍රකාර භයානක ශබ්ද ඇති කළහ. මුළු ගස ම සෙලවූහ. තෙරුන් වහන්සේ නොසෙල් වී වැඩ හුන්හ. දේවතාවිය තම ශරීරයෙන් ගිනි දැල් ද දුම් ද නිකුත් කරමින් තෙරුන් වහන්සේ බිය ගැන්වීමට උත්සාහ කළාය. ඉන්පසු උපාසක වේශයක් මවා ගෙන පැමිණ තෙරුන් වහන්සේට වැඳසිටියාය.“නුඹ කවරෙක් ද?” යැයි තෙරුන් වහන්සේ ඇසූ විට “ස්වාමීනි, මම මෙම ගසට අධිගෘහිත වූ දේවතාවිය වෙමි” යැයි කීවාය. “මෙම විප්‍රකාරයන් කළේ නුඹ ද?” යැයි ඇසූ විට දේවතාවිය එය පිළිගත්තාය. “කුමක් නිසා මෙම විප්‍රකාරයන් කළෙහි ද?” යැයි ඇසූ විට “ඔබ වහන්සේගේ ශීල තේජස නිසා දරුවන්ට සුවසේ සිටීමට නොහැකි විය. ඔබ වහන්සේ එළවා දැමීමට එසේ කළහ” යැයි පිළිතුරු දුන්නාය. ඉන්පසු තෙරුන් වහන්සේ දේවතාවා හට මෙසේ ප්‍රකාශ කළහ “ස්වාමීනි, මෙහි නොවසනු මැන, මට ඔබවහන්සේ නිසා අපහසුය යැයි කළින් නොකීවේ ඇයි? දැන් මට කිසිවක් නොකියව, මහාදත්ත තෙරුන් වහන්සේ අමනුෂ්‍ය බයෙන් පළා ගියේය යන වචනයට ලැජ්ජා වෙමි. එනිසා මම අද මෙහි ම වාසය කරමි. නුඹ අද එක් දවසක් කොතැනක හෝ වාසය කරව” මෙසේ සීලාදී ගුණ සම්පන්න යුක්ත වූවෝ භය භේරවයන් ඉවසන සුළුය.

එම නිසා මෙබඳු ආනිසංස මාත්‍රයක් අපේක්ෂා කරන්නවුන් විසින් සීලාදී ගුණ මනා ලෙස සම්පූර්ණ කළ යුතුය.

“මහණෙනි, මහණ තෙම භයානක අරමුණු ඉවසන්නෙමි. සිත තැතිගැන්ම හා භයානක අරමුණු මා මැඩනොපවත්නේද එසේ උපන් භයජනක අරමුණු මැඩ මැඩ වාසය කරන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්තවූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.” – ආකඩ්ඛෙය්‍ය සූත්‍රය

(මජ්ඣිම නිකාය ආකඩ්ඛෙය්‍ය සූත්‍ර අටුවාව ඇසුරෙනි)

සම්පාදක
පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි

නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk