තුන් ලොවම එළිය කරන්නා වූ ශ්‍රේෂ්ඨතම හිරු මඬල නම් වූ අපගේ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි දඹදිව අමරාවතී නම් නුවර උභය කුල පාරිශුද්ධව බමුණු මහසාල් කුලයෙහි ‘සුමේධ’ නමින් උපත ලැබීය. එතුමන් මහත් ධනයකට හිමිකම් ඇති හෙයින් දර්ශනීය පොකුණු ආදියෙන් සමන්විත වූ ප්‍රාසාදයක කල් ගෙවීය. අන්‍ය කර්මාන්තයක් නොකොට බමුණු ශිල්පයම හැදෑරූ එතුමන් වහන්සේ ත්‍රිවේදය, ලක්ෂණ ශාස්ත්‍රය, ඉතිහාසය ආදී බොහෝ ශාස්ත්‍රයන්හි පරතෙරට ම ඉගෙන ගත්තේය. තරුණ කාලයේදීම මෙම කුමාරයාගේ මව්පියන් කළුරිය කළාහුය. එහෙයින් දිනක් ධනය රැස් කරන අයකැමි ඇමති තෙම අයපොත ගෙන ගබඩාව හැර රන්, රිදී, මුතු, මැණික් ආදී මහාධනස්කන්ධය පෙන්වා මෙය නුඹගේ මවගේ ධනය, මේ පියාගේ ධනය, මෙය සීයාගේ ධනය ආදී වශයෙන් සත්මුතු පරම්පරාවක ධනය පෙන්වීය. එහෙයින් සුමේධ තෙමේ සිතනුයේ මාගේ සත්මුතු පරම්පරාවෙහි කිසිවෙක් එක කහවණුවකුදු රැගෙන නොගියේය. එනිසා මේ සියලු ධනයෙන් මටද කම් නැත. දන් දීමටම සුදුසු යැයි සිතා රජුට දන්වා නගරයෙහි අණබෙර හසුරුවා මහජනතාවට ධනය දන් දී තාපස පැවිද්දෙන් පැවිදි වීය. ශක්‍රදේවේන්ද්‍රයා විශ්වකර්ම දිව්‍යපුත්‍රයා අමතා සුමේධ තාපසතුමාට තවුස් පිරිකර හා පන්සලක් සක්මනක් හිමාලයෙහි ‘ධම්මික’ පර්වත පාමුල මවන්නට සිහි කිරීමෙන් විස්කම්දෙව් එය එසේම මැවීය. මහා සැප ඇති මාලිගා අතහැර ඇවිත් නැවත පන්සලක වාසය කිරීම දෙවන ගිහිගෙයක විසීමක් වන්නේය යැයි සිතා එහි විසීමෙන් වෙන පළිබෝධ අටක් හා එය හැර දමා රුක්මුලට යෑමෙන් ලැබෙන ලාභ දහයක් දැක හොඳින් සෙවන ඇති ගස්මුලක බවුන් වඩා, සක්මන් කොට සත් දිනකින් පඤ්ච අභිඤ්ඤා, අෂ්ටසමාපත්ති ඉපද වූ සේක.

මෙසේ සුමේධ තාපසතුමා සමාපත්  සුවෙන් කල් ගෙවන කාලයෙහි දීපංකර බුදුරජාණන්වහන්සේ ලොව පහළ වූ සේක. දසදහසක් සක්වලට ඇසෙන සේ දම්සක් දේශනා කොට ගම් නියම්ගම් නගර සිසාරා ලෝක  සත්ත්වයාට අමාදම් රස පොවමින් සාරලක්ෂයක් රහතුන් පිරිවරා වඩින්නා වූ ලෝකනාථයන්වහන්සේ රම්ම නගරයෙහි සුදර්ශන මහාවිහාරයට වැඩම කළ සේක. රම්ම නගරවාසීන් ගිතෙල්වෙඬරු ආදී ගිලන්පස සුවඳ මල් ආදිය ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මල් පුදා බුදුන් වැඳ එකත්පසෙක හිඳ බණ අසා හෙට දින පිණිස දානයට වැඩම කරත්වායි ආරාධනා කොට එයින් නික්ම ගියහ. පසුදින මහා දානයක් පිළියෙළ කොට බුදුන් හා සාරලක්ෂයක් මහරහතුන් වඩිනා මඟ සරසන්නා වූ මේ පිරිස මඬ ගොහොරු සමතලා කොට රිදී පටක් වන් සුදුවැලි අතුරා ධජපතාක ඔසවා කෙසෙල් තොරණ් නංවා පුන්කලස් තබා සරසන්නාහ.

එකල්හි සුමේධ තාපසතුමා තමාගේ තාපසාරාමයෙන් අහසට පැන නැඟී වඩින කල්හි සතුටු සිතින් මාර්ගය සරසන්නා වූ මිනිසුන් දැක කුමන කරුණක් දැයි බලමින් අහසින් බැස ඔවුන්ගෙන් “පින්වත්නි, කුමන කරුණක් නිසා මේ මාර්ගය සරසන්නාහු” දැයි ඇසීය.

ඒ මිනිසුන් “ස්වාමීනි, සුමේධ තාපසතුමනි, නුඹ වහන්සේ නොදන්නේ ද? දසබලධාරී දීපංකර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වී දම්සක් පවත්වා චාරිකාවෙහි වඩිනුයේ අපගේ නගරයටද වැඩම කොට සුදර්ශන මහා විහාරයෙහි වැඩවාසය කරන සේක. අපි ඒ බුදුරජාණන් වහන්සේට දානයට ආරාධනා කොට ඒ බුදුන් වඩිනා මඟ සරසන්නෙමු’යි කීහ.

සුමේධ තාපසතුමා සිතනුයේ “බුද්ධ යන වචනය පවා ලෝකයෙහි දුර්ලභයි. ඉදින් බුද්ධෝත්පාද කාලයක් ගැන කියනුම කිම. මම ද මේ මිනිසුන් සමඟ බුදුන් වඩිනා මඟ සැරසීමට වටනේ” යැයි සිතා හෙතෙමේ ඒ මිනිසුන් අමතා “පින්වත්නි, ඉදින් බුදුන් උදෙසා සරසන මේ මාර්ගයෙන් කොටසක් මටත් දෙව්. මම ද නුඹලා සමඟ මාර්ගය සරසන්නෙමි” යැයි කීවේය. ඔවුන්ද සතුටු වී සුමේධ තාපසතුමා ඍධිමත් යැයි දැන මඩ පිරුණු අැළ කඳුරක් දුන්නේය. එයින් බුද්ධාලම්භන ප්‍රීතියට පත් තාපසතුමා “මම මේ කොටස ඍධියෙන් සැරසීමට තරම් සමත් වෙමි. නමුත් එසේ සැරසීමට මම සතුටු නොවෙමි. අද මා විසින් බුදුන්ට කයින් වතාවතක් කිරීමට වටී”ය යැයි සිතා කූඩයෙන් පස් ගෙන ඒ ප්‍රදේශයෙහි දමමින් වගුර පුරවන සේක. එම භූමියෙහි වැඩ නොනිමි කල්හිම දීපංකර දසබලධාරීන් වහන්සේ මහානුභාව සම්පන්න ෂඩ් අභිඤ්ඤ‍ා සහිත සාරලක්ෂයක් රහතුන් පිරිවරාගෙන දෙවියන්ගේ දිව්‍යමල් සුවඳ ආදියෙන් පූජා ලබමින් දිව්‍ය සංගීත මධ්‍යයෙහි පිරිවරනු ලදුයේ මිනිසුන්ගේ මල් ආදියෙන් පූජා ලබමින් අනන්ත බුද්ධ ලීලාවෙන් රත් සිරියල් තලාවෙහි විරාජමානව සිටින්නා වූ කේශර සිංහයෙකු මෙන් ඒ අලංකාරව පිළියෙළ කළ මාර්ගයෙහි වඩිනා සේක. සුමේධ තාපසතුමා ඇස් හැර බලන කල්හි දෙතිස් මහා පුරුෂ ලකුණින් අසූවක් අනුව්‍යංජනයෙන් බ්‍යාමප්‍රභාවෙන් කේතුමාලාලංකාරයාදී බුදු සිරියෙන් බබළමින් වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දැක ලොව්තුරා බුදුන් හට අද මාගේ ප්‍රිය ජීවිතය පූජා කරමි”යි සිතා කළු පැහැ මඩ වගුර වැසෙන සේ අඳුන් දිවිසම අතුරා කෙස් වැටිය මුදා බුදුන් දෙසට හිස ලා වැඳගෙන සිතනුයේ කෙළෙස් මල සෝදා හැර ලොව්තුරා බුදු වූ දසබලධාරීන් වහන්සේ අද මාව හෙයක් කොට වඩිත්වා. මම ද නුඹවහන්සේ මෙන් මතු ලොව්තුරා බුදු බවට පත්වී ලෝ සතුන් සසර සයුරින් එතෙර කරවන්නෙමි’යි දීපංකර බුදුරදුන්ගේ සිරිපාමුල වැතිර ජීවිත පරිත්‍යාගයෙන් බුදු බව පැතුවේය.

මිනිසත් බව ලබා සිටීම, පුරුෂ ආත්මයක් ලබා සිටීම, රහත් වීමට තරම් හේතු සම්පත් තිබීම, ජීවමාන බුදුකෙනෙකුන් පාමුල බුදු බව පැතීම, ඍෂි පැවිද්දෙන් හෝ පැවිදි වී තිබීම, පඤ්ච අභිඤ්ඤා අෂ්ඨ සමාපත්ති ලබා සිටීම, තමාගේ ප්‍රිය ජීවිතය බුදුන්ට පූජාකරන්නට තරම් ශ්‍රද්ධ‍ාවෙන් යුක්ත වීම, මේ සක්වල එකම ජල සාගරයක් කොට එහි මෙහා කෙළවරේ සිට එහා කෙළවර දක්වා පීනා එතෙර වීමට තරම් වීරියක් ඇති බවය යන මේ අෂ්ඨ ධර්මයන්ගෙන් සමන්විතවූවෙකුටම මිස අන් අයෙකුට ප්‍රථමාභිනීහාරය හෙවත් පළමුවරට නියත විවරණ නොලැබෙන්නේය.

මේ අෂ්ඨ ධර්මයන්ගෙන් යුක්ත සුමේධ තාපසතුමා අනාගතයෙහි ලොව්තුරා බුදු වන බව දුටු දීපංකර බුදුරජාණන් වහන්සේ

“පස්සථ ඉමං තාපසං – ජටිලං උග්ගතාපනං

අපරිමෙය්‍ය ඉතෝ කප්ප – බුද්ධෝ ලොකේ භවිස්සති”

යනුවෙන් දීපංකර බුදුරජාණන් වහන්සේ සාරලක්ෂයක් රහතුන් අමතා දේශනා කරනුයේ, මේ මා ඉදිරියෙහි වැඳහුන්නා වූ මහාපුරුෂයා මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මත්තේ “ගෞතම” නමින් බුදු වන්නේය. එකල්හි කපිල වස්තු පුරය රාජධානිය වන්නේය. මහාමායා දේවිය මව්තුමියත්, සුද්ධෝදන මහරජු පියතුමාත් වන්නේය. උපතිස්ස කෝලිත දෙනම අගසව් දෙනමත්, ආනන්ද නම් තෙරුන්වහන්සේ බුද්ධ උපස්ථායකත් වන අතර ඛේමා උප්පලවණ්ණා දෙනම අග්‍රශ්‍රාවිකාවන් වන්නේය. කිරිපලු නුගරුක මුල කිරිපිඬු පිළිගෙන, නේරඤ්ජනා නදී තීරයෙහි වළඳා බෝ මැඩට ගොස් ඇසතු බෝ රුක්මුල ලොව්තුරා බුදුවන්නේය යැයි නියත විවරණ ලබා දුන් සේක.

රැස්ව සිටි මහජනතාව දීපංකර බුදුරජාණන් වහන්සේගේ වචනය අසා සුමේධ තාපසතුමා නම් බුද්ධ අංකුරයක යැයි සතුටු වී දීපංකර බුදුරජාණන්වහන්සේගේ බුද්ධ ශාසනයෙහි මාර්ගඵල නොලැබුවහොත් නුඹවහන්සේගේ ශාසනයේදී හෝ අපට අමා නිවන අවබෝධ කරත්වා යි ප්‍රාර්ථනා කළහ. දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසතුමන් පසසා සමන් මල් මිටි අටක් ගෙන ප්‍රදක්ෂිණාග්‍රහයෙන් පූජා කොට වැඩම කළ සේක. සාරලක්ෂයක් රහතුන්ද බෝධිසත්ත්වයන් වහන්සේව සුවඳ මලින් පුදා ප්‍රදක්ෂිණා කොට වැඩියහ. දෙව්මිනිසුන්ද පූජා පවත්වා ගිය කල්හි තාපසතෙමේ එයින් නැගිට මල්ගොඩ මත්තෙහි පළක් බැඳ හුන්නේය. එවිට දසදහසක් සක්වල දෙවිවරු එක් වී සාධුකාර දී “ආර්යය, සුමේධ තාපසතුමනි, පෙර බෝධිසත්ත්වවරු පළක් බැඳ වැඩ හිඳ පාරමිතා සිහි කරන්න‍ේය.” ආදී වශයෙන් අතීත බෝසත් චාරිත්‍රය කියා සිටියාහුය.

එම මල්ගොඩ මතම වැඩ හුන් බෝධිසත්ත්වයන් වහන්සේ “පඨමං දානපාරමී” ආදී වශයෙන් මහපොළොව කම්පා කරවමින් දසපාරමිතා ආවර්ජනය කොට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතු ලොව්තුරා බුදු වන්නේ යැයි වීර්යය දැඩි කොට අහසට පැන නැඟී හිමාලයටම වැඩි සේක.

රම්ම නගරවාසීන් නගරයට පිවිස බුදුන් ප්‍රධාන සාරලක්ෂයක් රහතුන්ට දන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට ධර්මය දේශනා කොට සරණ ශීලයෙහි පිහිටුවා රම්ම නගරයෙන් වැඩම කොට අනුපිළිවෙළින් ධර්ම චාරිකාවෙහි හැසිර සියලු බුදු කිස නිමවා අනුපදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවුණු සේක.

(ජාතකට්ඨකථාව ඇසුරෙන්)

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා!

සම්පාදක

පූජ්‍ය පුවක්පිටියේ සුමංගලරතන හිමි

 

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය