බුදු සසුනේ ඉතිහාසය ඇරඹෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයේ පටන් වේ. පන්සාලිස් වසරක් මුළුල්ලේ ලෝක සත්වයා සසර දුකින් එතෙර කරවීම උදෙසා අමාදම් ඔසු බෙදා දුන්, ලෝක සත්වයාගේ අවිදු අඳුරු දුරු කර ප්‍රඥා ආලෝකය දසත පතුර වාලූ ඒ ලෝකනාථයන් වහන්සේගේ අනුපාදිශේෂ පරිනිර්වාණය සසුන් ඉතිහාස පොතේ පළමු පිටුව වේ. එහෙයින් එතැනින් ඒ ‘සසුන වරුණ’ අරඹන්නට තබන පළමු පියවර මෙසේ සනිටුහන් කරන්නෙමු.

සම්බුදු සසුන වසර පන්දහසක් කල් පවතින බවට බුද්ධ දේශනාවේ සඳහන් බවට ථෙරවාදි ත්‍රිපිටකය සාක්‍ෂි දරයි. ඒ පන්දහසක් වසර ශ්‍රී ලංකාද්විපයෙහි බුදු සසුද සුරැකෙන බවට බුදු මුවින්ම දෙසු බවටත්, ඒ සසුනෙහි භාරකාරිත්වය සක්දෙවිදුන් හට බුදුරජාණන් වහන්සේ විසින්ම භාරකළ බවටත් අපගේ ශ්‍රේෂඨතම ඉතිහාස වංශ කථාව වන මහාවංශයෙහි සඳහන්ව ඇත්තේය. එය ත්‍රිපිටකාගත මූලාශ්‍රයන්ගනේ සනාථ නොවුවද එදා මෙදා තුර ශ්‍රිලාංකේය ඉතිහසය නිරාකූලව ඉදිරිපත් කරන ලද අද්විතීය වංශ කථාව මහාවංශය බැවින් ථෙරවාදය අගයන සැවොම එම පුවත පිළිගතමනාය. එකී වසර පන්දහසක් කාලය ඇරඹෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයේ පටන් බැවින් සසුන් ඉතිහාසය පිළිබඳ කියවන අපි ඒ පිරිනිවීමේ පටන් ම ඉතිහාසය දතයුතු වේ. එම පුවත පිළිබඳ නිකාය සංග්‍රහය, මහාපරිනිබ්ඛාන සූත්‍රය ආදී මූලාශ්‍රයන්හි එන අන්දමට මෙසේ පෙළ ගැස්විය හැකිවේ.

ඒ අපගේ ගෞතම සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙර ලෝක සත්වයා කෙරෙහි උපන් කරුණාව පෙරටුකොටගෙන දීපංකර දසබලයන් වහන්සේගේ පා මුල නියත විවරණ ශ්‍රී ලැබ සාරාසංඛ්‍යෙ කල්ප ලක්‍ෂයක් ඇස්, ඉස්, මස්, ලේ අඹු දරුවන් දන්දෙමින් සමත්‍රිංශත් පාරමී ධර්ම ශීර්ෂ බුද්ධකාරක ධර්මයන් පුරා, අවසන් වෙසතුරු අත් බැව්හි සත්වාරයක් මහ පොළාව කම්පාකරවමින් මහා දන් දී, තුසිත පුරයේ ඉපිද, දහසහශ්‍රී ලෝක ධාතුවෙහි දෙව් බඹුන්ගේ ඇරයුමෙන් පස්මහා බැලුම් බලා දඹදිව කිඹුල්වත් පුර සුද්‍ධෝදන මහ රජුන්ට දාව මහා මායා දේවිය කුස පිළිසිඳ දසමස ඇවෑමෙන් වෙසක් පුන් පොහෝදින ලුමිබිණි සාල වනෝද්‍යානය‍ෙහි දී දසසහශ්‍රී ලෝක ධාතුවෙහි සුභ නිමිති පහළකරමින් මව් කුසින් බිහිව, අනුක්‍රමයෙන් වැඩි යෞවනප්‍රාප්තව යශෝදරා දේවිය ප්‍රමුඛ හතළිස් දහසක් පුරඟනන් පිරිවරා රම්මය, සුරම්මය, සුභය යන තුන් ප්‍රාසාදයන්හි වසමින් රාජශ්‍රී විඳ, දෙවියන් විසින් මවන ලද සතර පෙරනිමිති දැක, විසිනවවෙනි වියේදී, ඇසළ පුන් පොහෝ දින කන්ථක නම් අසු පිට නැගී මහබිනික්මන් කොට, සය වසරක් දුෂ්කර ක්‍රියා කරමින් මහා පධන් වීර්ය වඩා, ඉක්බිති සුජාතා සිටු දියණිය දුන් මිහිරි කිරිබත් දානය පිඬු සතළිස් නවයක් කොට වළඳා, දිවා විහරණය කොට සවස්භාගයේ සොත්ථිය නම් බමුණෙකු දුන් කුස තණ අටමිට ගෙන දෙවියන් විසින් මවන ලද මග දිගේ මහ බෝමැඩ කරා එළඹ, සියළු බුදුවරයන් වහන්සේලා විසින්ම සම්මාසම්බුද්ධත්වයට පත්වන ඒ මහා බෝමැඩ ඇසතු බෝ රුක මුල්හි කුස තණ අතුරා, පෙර පාරමී බලයෙන් පැනනැගි තුදුස් රියන් වජ්‍රාසනයෙහි චතුරංග සමන්වාගත වීර්ය අදිටන් කොට පළඟක් බැඳගෙන නැගෙනහිර දිශාව බලා වැඩහිඳ සපරිවාර මාර පරාජයකොට තමන් වහන්සේට තිසිපස් වැනි වියේදි, මග‍ධේශ්වර බිම්බිසාර රජුහට අභිෂේකයෙන් සොළොස්වැන්නෙහි වෙසක් පුන් පොහෝදින, අළුයම සවාසන සකල ක්ලේෂයන් විහත විද්වංසනය කරමින් සර්වඥ පද ප්‍රාප්තව, සත්සති ගෙවා බ්‍රහ්මාරාධනය පිළිගෙන, බරණැස ඉසිපතන මිගදායෙහි දම්සක් පැවතුම් පවත්වා, පන්සාලිස් වසරක් මුළුල්ලෙහි අසංඛ්‍යෙ ගණන් ලෝක සත්වයන් හට අමා නිවන් සුව බෙදා දී තමන් වහන්සේට අසු වැනි වියේදි මගධාදිපති අජාසත් රජහට අභිෂේකයෙන් අටවැන්නෙහි වෙසක් පුන් පොහෝ දිනය වු අඟහරුවාදා දින විසා නැකතින් කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනෙහි යමා සල්රුක් අතරෙහි හිස උතුරු දෙසට සිටිනා ලෙස පනවන ලද යහනෙහි වැඩහිඳ, අළුයම් රාත්‍රියෙහි, දස දහසක් ලෝක ධාතු ඒකාලෝක කල හිරු දහසක් නිවි යන්නා සේ, සඳු දහසක් නිවි යන්නා සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී වැඩිසේක.

භාග්‍යවතුන් වහන්සේගේ අවසන් වස් විසීම

පන්සාලිස් වසරක් මුළුල්ලෙහි ලෝක සත්වයාගේ නිර්වාණාවබෝධය උදෙසා දහම් දෙසූ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සහ රජගහනුවර යන නගරද්වයෙහි වැඩිම වස්සානකාල ගණනාවක් වස් එලඹුනු සේක. උන්වහන්සේගේ අවසන් වස් එළඹීම විශාලා මහ නුවර සමීපයේ බේළුව නම් ගමෙහි විය. එහිදි භාග්‍යවතුන් වහන්සේට දරුණු ආබාධයක් ඇතිවු අතර, භික්‍ෂුන්ට නොදන්වා උපස්ථායක හිමියන්ට නොදන්වා පිරිනිවීම නුසුදුසු බව සිතූ උන් වහන්සේ ඒ මරණීය වේදනාව ගෙනදෙන ආබාධය වීර්‍යයෙන් මැඩලා ඉදිරි දස මාසය තුළ වේදනාව නොම උපදීවා යැයි ජීවිත සංස්කාරය හෙවත් ජීවිතය පවත්වන්නට සමත් ඵල සමවත අදිටන්කර වේදනාව සන්සඳුවාගත් සේක.

ආයු සංස්කාරය අතහැරීම

බේළුව ගමෙහි වස් වැස නිමකල භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර කරා වැඩමකොට එහිදී වැඩසිටි සාරිපුත්‍ර මහරහත් වහන්සේගේ පිරිනිවීමෙන් පසු රජගහනුවර බලා වැඩම කල අතර, එහි වැඩ සිටියදී මුගලන් මහ රහතන් වහන්සේගේ පිරිනිවීම විය. ඉක්බිති රජගහනුවරින් නික්ම විශාලා මහනුවරට වැඩම කොට පිඬු පිණිස හැසිර පසුබතෙහි දිවා විහරණය පිණිස චාපාලචේතිය නම් විහාරයට වැඩමකල සේක. ඒහිදි තෙවරක්ම අනඳ තෙරුන් අමතා “ආනන්දය, යමකු විසින් සතර සෘධිපාදයන් මනාලෙස වඩනා ලද්දේ පුරුදු පුහුණු කරන ලද්දේ නම්, හෙතෙම කැමති ආයුෂකල්පයක් හෝ මඳක් වැඩි වූ කලක් සිටින්නේය” යනුවෙන් තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව නිමිත්තක් කළ සේක්, මාරයා විසින් මඬනා ලද සිතැති අනඳ තෙරුන්හට එය අවබෝධ නොවීය. ඉක්බිති මාරයා භාග්‍යවතුන් වහන්සේ ‍වෙත එළඹ පිරිනිවන්පෑමට යලිත් ඇරයුම් කළේය. භාග්‍යවතුන් වහන්සේ, තමන් වහන්සේ තවත් තෙමසකින් පිරිනිවන් පාන බව මාර දෙව්පුත් හට වදාරා, ඒ චාපාලචේතියෙහිදී සිහි නුවණින් යුතුවම ආයුසංස්කාරය අත්හළ සේක. එකෙනහිම මහ භූමි කම්පනයක් විය.

ආයුසංස්කාරය අත්හැරීම නම් භාග්‍යවතුන් වහන්සේ ස්වකීය ශ්‍රී හස්තයේ ඇති යමක් බිමට හෙලීම වැනි අතහැරීමක් නොව සිහිය සහ නුවණ මනාකොට පිහිටුවාගෙන, ඉදිරි තෙමස තුළ පමණක් ආයුසංස්කාරය පවත්නා සමවතකට සමවදින බවත්, ඉන් මත්තෙහි එකී සමවතට සමනොවදින බවටත් සිතක් ඉපදවූ සේක.

ඉක්බිති, භූ චලනය හේතුවෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹි අනඳ මහ හිමිපාණෝ භාග්‍යවතුන් වහන්සේ ආයුසංස්කාරය අත්හැරිබව දැනගෙන ආයුෂ්කල්පයක් වැඩසිටීමට ඇරයුම් කළ අතර, තෙවරක්ම භාග්‍යවතුන් වහන්සෙ එය ප්‍රතික්‍ෂේප කළ සේක.

භාග්‍යවතුන් වහස්සේගේ අවසන් දානය

චාපාලචේතියේදි ආයුසංස්කාර අත්හැරි භාග්‍යවතුන් වහන්සේ එතැනින් මහ වනයෙහි කූඨාගාර ශාලාවට වැඩමකොට භික්ෂූන්හට දම්දෙසා ඉක්බිති විශාලා මහනුවර දෙස අවසන් වරට බලා භණ්ඩගාමයට වැඩමකොට එතැනින් පිළිවෙලින්, හත්ථිගාමයටද, අම්බගාමයට, ජම්බුගාමයටද, භෝග නගරයටද එතැනින් පාවා නුවරටද වැඩිසේක. පවා නුවර චුන්දකර්මාරාම පුත්‍රයා විසින් බුදුපාමොක් මහ සඟරුවනට දනට ඇරයුම් කොට සූකරමාර්දව නම් ආහාරයක්ද, තවත් බොහෝ බොජුන්ද, පිළියෙල කළේය. භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීම නොමවේවා යැයි අදහසින් භාග්‍යවතුන් වහන්සේ සඳහාම පිළියෙළ කළ සූකරමාර්දවයට දෙවියන් විසින් දිව්‍ය ඕජාව බහාලන ලද බැවින්, එය දත් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ හැර අන් කිසිවෙකුට ඒ දිව්‍ය ඕජාව බහාලන ලද ආහාරය වළඳා මැනවින් දිරීමට නොහැකි බැවින්, තමන් වහන්සේට පමණක් එය පිළිගන්වන ලෙසත්, ඉතිරිය වළ දමන ලෙසත්, චුන්දකර්මාර පුත්‍රයාහට වදාළ සේක. චුන්දකර්මාර පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට පමණක් සූකරමාර්දවයන් වළඳවා සෙසු භික්ෂූන් සෙසු බොජුන්වලින් වැළඳුවේය.

ඉක්බිති භාග්‍යතුන් වහනසේට ලෝහිත පක්ඛන්දිකා නම් රෝගයක් උපන් අතර, ඇති වූ මරණය කෙළවර කොටැති දැඩි දුක්වේදනා සිහි නුවණින් ඉවසා කුසිනාරාව බලා පිටත්වූ සේක. මෙහිදි  ලෝහිත පක්ඛන්දිකා රෝගය සූකරමාර්දවය නම් ආහාරයෙන් හටගත්තක් නොවන බවත්, එම ආහාරය හේතුවෙන් වේදනාව තුනීව පාගමනින්ම කුසිනාරාව බලා වැඩම කිරීමට හැකිවූ බවත් සඳහන් වේ.

කුසිනාරාව බලා වඩින අතර මගදී කුකුත්ථා නදියෙන් පැන් පහසුවී විඩා නිවාගෙන අඹ වනය බලා වැඩමකොට එහි විවේක සුවයෙන් වැඩහිඳ සුජාතාවගේ කිරිපිඬු දානයත්, චුන්දකර්මාරාම පුත්‍රයාගේ සූකරමාර්දව දානයත් සම විපාක ඇති බවත්, අන් සියළු දානයන්ට වඩා මහත් ඵල බවත් වදාළ සේක. ඉක්බිති එතැනින් නික්ම කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සාල වනෝද්‍යානය බලා වැඩමකල සේක.

සම්පාදක
තිස්සදත්ත හිමි

පරිගණක අකුරු සැකසුම – සනත් ඉන්දික