මෙය වර්තමානයේදී බෞද්ධයන් අතර නිතර කතාබහට ලක්වන මාතෘකාවකි. සෝවාන් වනුයේ බණ  ඇසීමෙනි, භාවනා කිරීමෙන් නොවේ යැයි එක් මතයකි. සෝවාන් වීමට බණ ඇසීමට අමතරව භාවනා කළ යුතු යැයි තවත් මතයකි. මෙම මත දරන පාර්ශව දෙක නොයෙක් විට දී තමාගේ මතය නිවැරදි යැයි සනාථ කිරීම්ට උත්සාහ දරති.  බණ අසා හෝ භාවනා කර සෝවාන් වූ පුද්ගලයන් පිළිබඳව ධර්මයේ සඳහන් වන උදාහරණ මොනවාද? මෙබඳු මතවාදයක් ඇති වූයේ කවර හේතු නිසාද? සෝවාන් වනුයේ භාවනා කිරීමෙන් ද බණ ඇසීමෙන් ද යන ප්‍රශ්නයට ධර්මානුකූල පිළිතුරක් සැපයීමට මෙම ලිපියෙන් අපේක්ෂා කෙරේ.

අනන්ත සංසාරයේ කල්ප කෝටි ගණනක් ඒ මේ අත සැරිසරමින් දුක් විඳි පෘථග්ජන පුද්ගලයා පළමුවරට චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්නේ සෝවාන් මාර්ගයෙනි. මහා සමුද්‍රයට නොනැවතී වේගයෙන් ගලා බසින ඇල දොල ගංගාවන්ට ශ්‍රෝතය හෙවත් සැඩපහර යන නම ලැබේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයම ‘සෝතය’ නමි.  නොනැවතී නිවනට පැමිණෙන තත්වයකට පළමුවරට බැස ගැනීම සෝවාන් මාර්ගයෙන් සිදුවන එයට බැවින් සෝතාපන්න යන නම ලැබේ. එම නිසා සෝවාන් වීම නිවන් දැකීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙන පුද්ගලයාගේ වැදගත් අවස්ථාවකි.

භාවනා  කර සෝවාන් වූ පුද්ගලයන් පිලිබඳ ත්‍රිපිටකයේ උදාහරණ

පස්වග මහණුන් –  අප බුද්ධ ශාසනයෙහි පළමුවරට සෝවාන් ඵලයට පත් වූයේ කොණ්ඩඤ්ඤ තාපසතුමා ය. ඒ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ඇසීමෙනි. වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන සෙසු තාපසවරු සෝවාන් ඵලයට පත් වූයේ කෙසේදැයි විමසුවහොත් බොහෝ දෙනා පිළිතුර  නම්  උන්වහන්සේලා ද  බණ ඇසීමෙන්ම සෝවාන් වූ බවයි.  නමුත් උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් උපදෙස් ලබමින් භාවනා කරමින් සෝවාන් වූ බවට විනය පිටකයේ මහාවග්ග පාලියෙහි එන විස්තරයෙන් මනාව පැහැදිලි වේ. “ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගෙන් අවශේෂ වූ භික්‍ෂූන්ට දැහැමි කතාවෙන් අවවාද කළ සේක. අනුසාසනා කළ සේක…….” මෙහි  අවවාද කිරීම “ඔවදියමානානං” යන්නෙන් ද  අනුශාසනා කිරීම “අනුසාසියමානානං”  යන්නෙන් ද  දැක්වේ.  ‘මෙසේ විතර්ක නොකරවු,  මෙසේ මනසිකාර නොකරවු’ යනාදී වශයෙන් වැලැක්වීම අවවාද  කිරීමේදී  සිදුවේ. ‘මෙසේ විතර්ක  කරවු,මෙසේ මනසිකාර කරවු, මෙය දුරු කරවු, කුසල් වූ මෙයට පැමිණ වාසය කරවු (ඉදං උපසම්‌පජ්‌ජ විහරථ)’යි  අනුශාසනා කිරීමේදී  සිදුවේ. (පාරාජිකපාළිය-වේරඤ්ජකාණ්ඩය)   බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස නොවැඩ සෝවාන් වූ භික්ෂූන් වහන්සේලා රැගෙන ආ පිණ්ඩපාතය වළඳමින් ඒ ඒ  මොහොතේදී උපදින උපදින ගැටලු නිරාකරණය කරමින් සෙස්සන්ගේ භාවනා මාර්ගය පිරිසිදු  කළ සේක. මෙතැනදී බුදුරජාණන් වහන්සේ සෙසු  පිරිසට භාවනා උපදෙස් නොදී ධර්මය දේශනා කළේ යැයි තර්කයක් ඉදිරිපත් කළ හැක. නමුත් බුදුරජාණන් වහන්සේ පිඬු පිණිසවත් නොවැඩ දවස පුරාම ධර්මය දේශනා කළේ  යැයි ප්‍රකාශ කිරීම අනුචිතය. මේ අයුරින් උපදෙස් ලබා සෙසු තාපසවරු සතර නම  සෝවාන් ඵලයට පත්වූහ.

සෝණ මහරහතන් වහන්සේ – බුද්ධ ශාසනයෙහි වීර්යයාධික භික්ෂූන් වහන්සේලා අතරින් අග තනතුරට පත්වූ සෝණ මහරහතන් වහන්සේගේ කතා ප්‍රවෘත්තිය හුදෙකලාව භාවනා වඩා රහත් බවට පැමිණි  ආකාරය දැක්වෙන කථා  ප්‍රවෘත්තියකි.  ඉතා ධනවත් සිටු පුත්‍රයකු වූ සෝණ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා පැවිද්ද ලබා ගත්තේය. අධික වීර්යයක් යොදා සෝණ නිවන් දැකීමට උත්සාහ කළේය. බොහෝ වේලාවක් සක්මන් කිරීමෙන් උන්වහන්සේ ගේ යටි පතුල් පැලී ලේ ගලන්නට විය. දෙපාවලින් ලේ  ගැලීම නිසා සක්මන ගව ඝාතනය කරන තැනක් මෙන් විය. ඉන් පසු උන්වහන්සේට මෙසේ සිතක් පහළ වීය. “භාග්‍යවතුන් වහන්සේගේ යම්කිසි ශ්‍රාවක කෙනෙක් අරඹන ලද වීර්යය ඇතිව වාසය කරන්නේ වේද මම ද ඔවුන් අතරෙන් එක්තරා කෙනෙක් වෙමි. එහෙත් මාගේ සිත උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් නොමිදේ. මාගේ නිවසෙහි බොහෝ ධන සම්පත් ඇත. ගිහි බවට පැමිණි එම ධන සම්පත් අනුභව කිරීමටත් පින්කම් කිරීමටත් හැකිය. එම නිසා ගිහි බවට පත්වන්නේ නම් මැනවි” යැයි සිත් වීය. මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ සෝණ ස්වාමීන් වහන්සේගේ සමීපයට පැමිණ  වීණාවේ උපමාවක් යොදා ගෙන අධික වීර්යයත් මද වීර්යයත් යන අන්ත දෙක හැර දමා වීර්යය සම භාවයට පත්කරගෙන භාවනා කරන ලෙස උපදෙස් දුන්හ. එම උපදෙස් වලට අනුව එකලාව භාවනාව වඩා සියලු කෙලෙසුන් නසා රහත් බවට පත් විය. (සෝණ සූත්‍රය)

එය සූත්‍රයේ විස්තර කරනුයේ මේ ආකාරයෙනි. “ ඉක්බිති ආයුෂ්මත් සෝණ ස්ථවිරයන් වහන්සේ හුදෙකලාව වූයේ, වෙන් වූයේ, නිරතුරු සතිය ඇත්තේ, කෙලෙස් තවන වීර්ය ඇත්තේ කාය ජීවිත අපේක්ෂාව නැත්තේ, යමක් පිණිස  කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, ඒ අනුත්තර වූ  බ්‍රහ්ම චරියාව කෙළවර කොට ඇති ඒ රහත් බව නොබෝ දිනකින්ම තෙමේ විශිෂ්ටඥානය ඥානයෙන් යුතුව අවබෝධ කොට ගෙන වාසය කළහ” යනුවෙනි. පාලි පාඨයෙහි “එකො වූපකට්‌ඨො” යැයි පදයක් සඳහන් වේ. එම පාඨයෙහි “වූපකට්‌ඨො” යන්නෙහි අර්ථය නම් ‘වෙන් වූ, හුදෙකලා වූ’ යන්නයි.  සීල සූත්‍රයෙහිදී බුදුරජාණන් වහන්සේ “වූපකට්‌ඨො” යන වචනයට අර්ථ දෙකක් ලබාදේ. එනම් කාය සහ චිත්ත හුදෙකලා බවයි ( ද්‌වයෙන වූපකාසෙන වූපකට්‌ඨො විහරති – කායවූපකාසෙන ච චිත්‌තවූපකාසෙන ච). කාය වූපකට්‌ඨ භාවය නම් හුදෙකලා ස්ථානයක වාසය කිරීමයි.  මින්  හුදෙකලා ස්ථානයකට වී භාවනා කිරීම අදහස් වේ.

මෙම කථා ප්‍රවෘත්තියේදී සෝණ තෙරුන් වහන්සේ අරහත්වය සාක්ෂාත් කර ගැනීමේ දී  ඊට පෙර සෙසු මාර්ග ඵල වලට පත් වීම සඳහා බණ ඇසූ බවත් මෙහිදී සඳහන් නොවේ. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගෙන් හෝ වෙනත් ශ්‍රාවකයකුගෙන් බණ අසා සෝවාන් මාර්ගය සාක්ෂාත් කර කර ගන්නා තැන්වල “විරජං වීතමලං ධම්‌මචක්‌ඛුං උදපාදි ” වැනි  වචනවලින් විස්තර කෙරේ. ඉදින් සෝණ තෙරුන් වහන්සේ  සෝවාන් ඵලයට පත් වූයේ බණ අසා නම් ඉහත ආකාර අතරින් එකකින් ඒ බව සඳහන් විය යුතුයි.

මේ ක්‍රමයෙන් සලකා බැලූ විට හුදෙකලාව භාවනා කොට රහත් බවට පැමිණි භික්ෂූන් වහන්සේලා පිළිබඳ සූත්‍ර ගණනාවක සඳහන් වේ. ඒ එකම තැනකදී වත් උන්වහන්සේලා සෝවාන් ඵලය සාක්ෂාත් කර ගනුයේ බණ ඇසීමෙන් යැයි  නොදැක්වේ.

බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබාගෙන භික්ෂූන් වහන්සේලා භාවනා කළ බවට ත්‍රිපිටකයේ උදාහරණ 

ඛන්‌ධ සංයුක්තයේ අඤ්‌ඤතරභික්‌ඛු සූත්‍රය, උපාදියමාන සූත්‍රය, මඤ්‌ඤමාන සූත්‍රය, අනිච්‌ච සූත්‍රය, දුක්‌ඛ සූත්‍රය, අනත්‌ත සූත්‍රය ඇතුළු සූත්‍ර ගණනාවක දී භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ සමීපයට පැමිණ භාවනා කර්මස්ථාන ඉගෙන භාවනා වඩා මග-ඵල නිවන් දුටු බව දැක්වේ. එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන්වහන්සේ වැඩ සිටි තැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන්වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් ධර්මයක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වීර්යය ඇති ව නිවන් කරා මෙහෙය වූ සිත් ඇති ව වාස කෙරෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් දේශනා කරන සේක්වා” යනුවෙනි. මෙහිදී බුදුරජාණන් වහන්සේ එම භික්ෂුව හට සුදුසු කර්මස්ථානයක් දේශනා කරන අතර ඉහතින් දක්වා ඇති කාය සහ චිත්ත හුදෙකලාව ඇසුරු කරමින් නිවන් දකී.

ධර්මය මෙනෙහි කිරීමෙන් සෝවාන් වන බවට උදාහරණයක්

මේ පිළිබඳව අංගුත්තර නිකායේ සෝතානුධත සූත්‍රයෙහි සඳහන් වේ.  භික්ෂුවක් ධර්මය පුරුදු පුහුණු කරයි. ඇසූ ධර්මය හොඳින් දරාගෙන නැවත නැවතත් වචනයෙන් පුරුදු කර සිතින් විමසා ප්‍රඥාවෙන් අවබෝධ කර කරගනියි.  ඉන්පසුව සිහි මුළා වී කළුරිය කර දිව්‍ය ලෝකයෙහි උපදියි.  එහිදී තමා සමග එකට බ්‍රහ්ම චරියාවෙහි හැසිරුණු තවත් භික්ෂුවක්, දෙවියෙක්ව ඉපිද සිට පෙර ජීවිතයේ දී තමා ගතකළ පැවිද්ද පිළිබඳව සිහිපත් කරයි. එම සිහිපත් කිරීම් මාත්‍රයෙන් ම සිහිය උපදවා ගෙන තමා කලින් පුරුදු පුහුණු කළ ධර්මය සම්මර්ශනය කොට  මාර්ග ඵල ලබයි.

බණ අසා සෝවාන් වූ  පුද්ගලයෝ
බුද්ධ කාලයේදී බණ අසා සෝවාන් වූ පුද්ගලයෝ බොහෝ  දෙනෙකි. ධර්ම සේනාධිපති වූ සාරිපුත්ත  මහරහතන් වහන්සේ බුදු සසුනේ පැවිදිවීමට පෙර සත්‍යය සොයමින් දඹදිව පුරාම හැසිරෙණුයේ උපතිස්ස නමින් පරිබ්‍රාජකයෙක් ව සිටි අවධියේය. අස්සජි මහ රහතන් වහන්සේගෙන් සතර පද ගාථාවක් අසා පරිබ්‍රාජක තුමා සෝවාන් ඵලයට පැමිණියේය. සතර පද ගාථාවෙන් ද දෙවන පදය අසන විට දී එම ඵලය සාක්ෂාත් කරගත්තේය.උපතිස්ස පරිබ්‍රාජක තුමා තමා සමග සත්‍යය සොයා ගිය කෝලිත පරිබ්‍රාජකතුමාට, එනම් අප බුද්ධ ශාසනයේ දෙවැනි ශ්‍රාවකයන් වහන්සේ  වූ, පසුකලෙක ඍධිමතුන් අතර අග්‍රස්ථානයට පැමිණි මුගලන් මහ මහරහතන් වහන්සේට එම ගාථාව  දේශනා කළේ ය. ගාථාව අවසානයේ කෝලිත පරිබ්‍රාජකතුමා ද සෝවාන් ඵලයට පත්වීය. මේ අනුව පැහැදිලි වන්නේ  බුදු සසුනේ පළමු සහ දෙවැනි ශ්‍රාවකයෝ දෙදෙනා සෝවාන් වූයේ බණ ඇසීමෙන් බවයි. එමෙන්ම උපාලි ගෘහපතිතුමා සෝවාන් බවට පැමිණියේ බණ ඇසීමෙන් ය. කොණ්ඩඤ්ඤ  තාපසතුමා, යසකුල පුත්‍රයා, ඔහුගේ බිරිඳ, මව, පියා, විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති ඇතුළු යසකුල පුත්‍රයාගේ මිතුරන් පනස් දෙනා ද සෝවාන් වූයේ බණ  ඇසීමෙනි. යමෙක් ත්‍රිපිටකය සහ අටුවාව පුරා විමර්ශනය කළහොත් බණ ඇසීමෙන් සෝවාන් ඵලයට පත්වූ  පුද්ගලයන් සිය ගණනකගේ, ඇතැම් විට දහස් ගණනක්ගේ නම් සොයා ගත හැක.

බුද්ධ කාලයේ  විසූ බොහෝ දෙනා බණ ඇසීමෙන් සෝවාන් ඵලයට පත් වූයේ කවර හේතුවක් නිසාද?

ඉහත කරුණ විමසීමේදී ධර්මය කරන ආකාරාය පිළිබඳව බුද්ධ දේශනාවේ එන  පුද්ගල භේදයක් දත යුතුය.

  1. උද්ඝටිතඥ – සතරපද ගාථාවක් ඇසූ පමණින් නිවන් සාක්ෂාත් කර ගත හැකි පුද්ගලයෝ.
  2. විපඤ්චිතඥ – දීර්ඝ වශයෙන් ධර්ම ශ්‍රවණයෙන් නිවන් සාක්ෂාත් කරගන්නා පුද්ගලයෝ.
  3. නෙය්‍ය – ධර්ම ශ්‍රවණය කර ඒ ධර්මය අනුව පිළිපදිමින් බොහෝ කලක් භාවනා ආදී ගුණාංග පූරණය කර නිවන් සාක්ෂාත් කරගන්නා පුද්ගලයෝ.
  4. පදපරම – ධර්ම ශ්‍රවණ ආදී කිසිදු ලෙසකින් මෙම භවයේ නිවන් සාක්ෂාත් කර නොගන්නා පුද්ගලයෝ.

ත්‍රිපිටකයෙහි සඳහන් වන උදාහරණ සළකා බලන විට   බුද්ධ කාලයේ දී උද්ඝටිතඥ සහ විපඤ්චිතඥ  පුද්ගලයෝ බොහෝ සෙයින් සිටි බව පැහැදිලිය. බුද්ධ කාලයේ සිටි උද්ඝටිතඥ සහ විපඤ්චිතඥ පුද්ගලයෝ බොහෝ දෙනෙක් එම තත්ත්වයට පත්වූයේ පෙර ජීවිතවල දී ඉතා වීර්යයෙන් බණ භාවනා කළ නිසාය. වර්තමානයේ දී ඉහත කී කොටස් දෙකට අයත් වන පුද්ගලයන් කොපමණ සංඛ්‍යාවක් සිටී ද යන්න විමසිය යුතු කරුණකි. වර්තමානයේ උද්ඝටිතඥ සහ විපඤ්චිතඥ පුද්ගලයන් නැත යන නිගමනයට එළඹීම නොහැකි වුවත් මෙකල නිවන් අවබෝධ කර ගන්නා බොහෝ දෙනෙක් නෙය්‍ය පුද්ගලයන් බව වටහාගත යුතුවේ.

බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ පවතින සුවිශේෂීත්වය ද මීට බලපාන වැදගත් සාධකයකි.  බුදුරජාණන් වහන්සේ වෙනත් ශ්‍රාවකයන්ට අසාධාරණ වූ ඥානයන්ගෙන් පුද්ගලයන්ගේ චිත්ත සන්තාන දෙස බලමින් ඊට අනුරූපීව ධර්ම දේශනා කරන  සේක. එමෙන්ම ශ්‍රාවකයන්ගේ නීවරණ ධර්මයන් යටපත් වෙන ආකාරයට පිළිවෙළ කථාව ද උන්වහන්සේ සිදුකරන සේක. දාන කතාව සීල කතාව, ස්වර්ග කතාව,  කාමයන්ගේ දෝෂය, ලාමක බව කෙලෙසීම, පැවිද්දේ ආනිසංස ආදිය ප්‍රකාශ කොට චතුරාර්ය සත්‍යය සත්‍යය දේශනා කරයි. බුද්ධ කාලයේ වාසය කළ බොහෝ දෙනා  සසර පාරමිතා සම්පූර්ණ කරන ලද සත්වයන්  බැවින් ඉතා පහසුවෙන් ධර්මය  අවබෝධ කරත්.

භාවනා කිරීමෙන් සෝවාන් බවට පත්වීම ගැන ත්‍රිපිටකයේ සහ අටුවාවේ උදාහරණ ගණනාවක් තිබියදීත් ‘සෝවාන් වනුයේ බණ ඇසීමෙන් ය භාවනා කිරීමෙන් නොවේ ය’ යැයි මතයක් බෞද්ධයන් අතර පවතින්නේ ඇයි? ඒ ධර්ම දේශකයන් කිහිපදෙනෙක් විසින් ත්‍රිපිටකයෙහි එන සූත්‍ර වරදවා වටහා ගැනීමෙනි.

වරදවා වටහා ගත් සූත්‍ර
1. දස්සනේන පහාතබ්බා පදය

අභිධර්ම පිටකයේ දස්සනේන  පහාතබ්බා ධම්මා, භාවනාය පහාතබ්බා ධම්මා යැයි මාතෘකා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. ‘ දස්සනේන පහාතබ්බා ධම්මා ‘  යනු  සෝවාන්  මාර්ගයෙන් ප්‍රහාණය කළයුතු සක්කාය දිට්ඨි,විචිකිච්ඡා,සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්මයෝ ය. ‘ භාවනාය පහාතබ්බා’ යනු  සකදාගාමී, අනාගාමී,  අරහත් යන මාර්ග තුනෙන්  ප්‍රහාණය කළයුතු අවශේෂ සංයෝජන ධර්මයෝ ය ( කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච්, අවිජ්ජා). ත්‍රිපිටකයෙහි ඇතැම්  තැනක ‘දස්සනා පහාතබ්බා’ යනුවෙන් ද මෙම පදය දැක්වේ. දස්සනේන  පහාතබ්බා ධම්මා යන පදයෙහි  වචනාර්ථය නම්   ‘දර්ශනයෙන් ප්‍රහානය කළ යුතු ධර්මයෝ’ යන්නයි. ‘දස්සනේන’  යන පාලි පදයට ‘දර්ශනයෙන්- දැකීමෙන්’ යයි වචනාර්ථයෙහි පිහිටා ප්‍රකාශ කිරීම් නිවැරදිය. එනමුත් සෝවාන් මාර්ගයේ ප්‍රහාණ කටයුතු සංයෝජන සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ‘දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයෝ’ ( දස්සනේන පහාතබ්බා ධම්මා)  යැයි දේශනා කරන ලද්දේ සෝවාන් මාර්ග චිත්තය පහළ වන මොහොතේදී, සෝවාන් මාර්ගය මගින් අති දීර්ඝ කාලයක් සසර සැරිසැරූ සත්වයා ප්‍රථම වතාවට නිර්වාණය දකින බැවිනි. ‍ සාමාන්‍යයෙන් ‘  භාවනා’  යයි කී  විට  සිතට නැගෙනුයේ  පර්යංකයක  හිඳ ගෙන හෝ සක්මන් කරමින් කරන භාවනාවක් පිළිබඳවයි. සකදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ග තුනෙන් ප්‍රහාණය කළයුතු සංයෝජන ධර්මයන් ට භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයන් ( භාවනාය පහාතබ්බා ධම්මා)  යැයි  දේශනා කොට වදාළේ එම් මාර්ග සිත් තුනෙන් ප්‍රථම මාර්ගය වූ සෝවාන් මාර්ගයෙන් දුටු චතුරාර්ය සත්‍ය ධර්මයම  වැඩීම්  වශයෙන් හෙවත් දියුණු කිරීම් වශයෙන් උපදනා බැවිනි. එම  මාර්ගත්‍රයෙන්  නොදුටු නොවිරූ කිසිවක් නො දකී. එබැවින් ‘ භාවනා’ යැයි කියනු ලැබේ. භාවනා යන පදය උපදවන සහ වඩන යන අර්ථයන්හි යෙදෙයි. (උප්‌පාදනවඩ්‌ඪනට්‌ඨෙන භාවනා නාම)

‘දස්සනේන’ යන පදයෙහිත් ‘භාවනාව’ යනු පදයෙහිත්  මේ ආකාරයෙන් අර්ථය විස්තර කරනුයේ අට්ඨකතාවෙහි ය.  අට්ඨකතාව බුද්ධඝෝෂ හිමි විසින් විකෘති කරන ලදැයි උන්වහන්සේට ‘බමුණා’ යැයි නින්දා කරමින් අට්ඨකථාව ප්‍රතික්ෂේප කරමින්  ධර්මය  දේශනා කරන භික්ෂූන් වහන්සේලා මෙම  පදවල අර්ථ වැරදියට වටහා ගත්හ. එමනිසා  “සෝවාන් වනුයේ බණ ඇසීමෙනි, භාවනා  කිරීමෙන් නොවේ”  යැයි වැරදි නිගමනයට එළඹී ඇත. ඔවුහු එම වැරදි නිගමනයට  බැස ගත්තේ මේ ආකාරයෙනි. ‘භාවනාය පහාතබ්බා ධම්මා’ යැයි ත්‍රිපිටක පාලියේ දැක්වෙන ඉහතින් සඳහන් කර ඇති අවශේෂ සංයෝජන ධර්මයෝ ය. ‘දස්සනේන පහාතබ්බා ධම්මා’ යැයි ත්‍රිපිටක පාලියේ එහි දැක්වෙන්නේ සක්කාය දිට්ඨි,විචිකිච්ඡා,සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්මයෝ ය. භාවනාවෙන් ප්‍රහාණ කටයුතු ධර්මයන් ප්‍රහාණය කිරීමට නම් භාවනා කළ යුතුය. එසේනම් දර්ශනයෙන් ප්‍රහාණය  කළ යුතු ධර්මයන් ප්‍රහාණය කිරීමට භාවනාවෙන් අන්‍ය වූ බණ ඇසීම කළ යුතුය. එම නිසා සෝවාන් වීමට නම් බණ ඇසිය යුතුය. භාවනා කිරීම අවශ්‍ය වනුයේ  සකදාගාමී අනාගාමී අරහත් යන මාර්ග ඉපදවීම් සඳහා  පමණි යැයි වැරදි දෘෂ්ටියකට පැමිණියහ.  ඉන් නොනැවතී අන් අය ද එම වැරදි දෘෂ්ටියෙහි සමාදන් කරවත්. ඒ අට්ඨකතාව බැහැර කර තමන්ට වැටහෙන වචන ඔස්සේ තමාගේ හිතුමතේ ධර්මයෙහි අර්ථ මතු කර ගැනීමට යෑම නිසාය.

2. සෝතාපත්ති අංග සූත්‍රය

සෝවාන් ඵලය සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය අංග සතරක් දැක්වෙන සූත්‍රයක් සංයුක්ත නිකායේ සඳහන් වේ. එහි සඳහන් සෝතාපත්ති  අංග සතර නම් කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය, ධර්මය ශ්‍රවණය කිරීම, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුර්මානුධර්ම ප්‍රතිපදාවයි. සෝතාපත්ති අංග නම් සෝවාන් ඵලයට පූර්ව භාගයේ දී  පැවතිය යුතු අංගයෝ ය.  මෙහි ඇති ‘ධර්මය ශ්‍රවණය කිරීම’ යන අංගය වැරදි ලෙස අර්ථකතනය  කොට සෝවාන් වනුයේ  ඇසීමෙන්ම ය, භාවනාව අවශ්‍ය නොවේ යැයි ඇතැමෙක් ප්‍රකාශ කරයි.. මෙම සූත්‍රයේ සඳහන් වන ‘ධර්මය ශ්‍රවණය කිරීම නම්’  බුදු රජාණන් වහන්සේගෙන්  හෝ වෙනත් ශ්‍රාවකයකුගෙන් ධර්මය නො අසා තනිවම මාර්ගඵල  ලබාගත  නොහැකි බවය. වෙනත් කෙනෙකුගේ උපකාර නැතිව තනිවම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත හැක්කේ බුදු වරුන්ට සහ  පසේ බුදුවරුන්ට පමණි. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ධර්මය අසමින් යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පූර්ව භාගයේ දී හැසිරෙන  පුද්ගලයා  සෝවාන් බවට  පැමිණේ ය යන්න මින් අදහස් වනු විනා සෝවාන් වනුයේ බණ ඇසීමෙන් මය යන්න මින් අදහස් නොවේ. නිවන් අවබෝධය පිණිස පවතින විමුක්ත ආයතන හෙවත් නිවන් දොරටු පසක් බුදුරජාණන් වහන්සේ වදාළ සේක (විමුක්තායතන සූත්‍රය – අංගුත්තර නිකාය). එම පස නම් ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සජ්ඣායනය, ධර්ම මනසිකාරය සහ භාවනාවයි.   මෙම පස අතරින් ඕනෑම  විමුක්තායතනයක යෙදී සිටින විටදී සෝවාන් ඵලයට පත් වීමට හැක.

ඉහතින් දක්වා ඇති කරුණු වලට අනුව සෝවාන් වීම බණ ඇසීමෙන් පමණක් නොව භාවනාවෙන් ද සිදු වන බව පැහැදිලිය. එසේ වුවත් ‘සෝවාන් වනුයේ බණ ඇසීමෙනි, භාවනා කිරීමෙන් නොවේ’ යන වැරදි මතය සමාජගත වී ඇති නිසා  එම මතයේ සිටින සැලකිය යුතු පිරිසක් භාවනාවෙන් ඈත්ව  සිටින බව පෙනේ. නුවණැති බෞද්ධයන් විසින් සිදු කළ යුත්තේ  අතීතයේ පටන් මහරහතන් වහන්සේලා සුපිරිසිදුව ආරක්ෂා කරගෙන පැමිණි ධර්මය  නිවැරදි ලෙස අනුගමනය කරමින් තම තමන්ගේ නිවන් මග සම්පූර්ණ කරගැනීමයි. ඒ සඳහා මෙම සටහන  සියලු දෙනාට උපකාර පිණිස පවතීවා.

සම්පාදක
පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි

DOWNLOAD AS PDF

නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk