සංස්කාර ‍ලෝකයෙහි තණ්හා දෘෂ්ටි වශයෙන් බැසගත් සත්වයෝ සංස්කාරයන්ගේ යථා ස්වභාවය වටහා ගත නොහී තෙර නොපෙනෙන සසරෙහි සතර අපාදුක් විඳිමින් අනේක සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගෙන් පෙළෙමින් සැරිසරන්නාහ. ස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ අනිත්‍ය දුක්ඛභාවය දක්නා වූ අන් තොටුවෝද ඉන් මිදෙනු රිසිව නොයෙක් මාර්ග දක්වන්නාහ. නමුදු ඒ කිසිවක් පරම නිෂ්ඨාව වූ නිර්වාණය නොවීය. පුරන ලද පාරමීදම් ඇති මහා බෝධිසත්ත්වයෝ ම මාරවිජය කොට උතුම් ලොව්තුරා බුද්ධත්වයට පැමිණ එකී පරම නිර්වාණයත් නිර්වාණගාමී ප්‍රතිපදාවත් දේශනා කොට ලෝ සතුන් නිවන් පුර හැරලන්නාහ.

ඒ නිර්වාණගාමී ආර්ය අෂ්ඨාංගික මාර්ග ප්‍රතිපදාවෙහි ප්‍රඥා ස්කන්ධය පූරණය කරමින් වඩන්නාවූ විපස්සනා භාවනාවේදී සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ වන්නේය. සියලු සංස්කාරයන්ගේ පොදු ලක්ෂණත්‍රය වන්නේ “අනිච්ච දුක්ඛ අනත්ත”යන ලක්ෂණයෝය. මෙකල මේ ත්‍රිලක්ෂණයෙහි දක්වන “අනත්ත” යන බුද්ධ වචනයට “සාම්ප්‍රදායික අර්ථය හා නූතන අර්ථය” යනුවෙන් අර්ථ දෙකක් විග්‍රහ වන්නාහ. ඒ පද ද්වය පිළිවෙළින් “අනත්ත” හා “අනත්ථ” යනුවෙන් විග්‍රහ කරන්නේය. මේ පද ද්වයෙන් කුමක් නම් බුද්ධ වචනයට අනුකූල වන්නේදැයි පරීක්ෂා කිරීම මේ ලිපියෙහි අරමුණ වන්නේය. එයිනුත් නූතන මතවාදීන්ගේ මතවාදයන් පළමුව පෙළ ගස්වමු.

අනාත්මය පිළිබඳව නූතන මතවාදීන්ගේ අදහස්

  1. මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රයෙහි අයෝනිසෝ මනසිකාරයෙන් උපදින සවැදෑරුම් දෘෂ්ටීන් පිළිබඳව මෙසේ දේශනා කොට ඇත. 

තස්‌ස එවං අයොනිසො මනසිකරොතො ඡන්‌නං දිට්‌ඨීනං අඤ්‌ඤතරා දිට්‌ඨි උප්‌පජ්‌ජති. ‘අත්‌ථි මෙ අත්‌තා’ති වා අස්‌ස සච්‌චතො ථෙතතො දිට්‌ඨි උප්‌පජ්‌ජති; ‘නත්‌ථි මෙ අත්‌තා’ති වා අස්‌ස සච්‌චතො ථෙතතො දිට්‌ඨි උප්‌පජ්‌ජති; ‘අත්‌තනාව අත්‌තානං සඤ්‌ජානාමී’ති වා අස්‌ස සච්‌චතො ථෙතතො දිට්‌ඨි උප්‌පජ්‌ජති;අත්‌තනාව අනත්‌තානං සඤ්‌ජානාමී ’ති වා අස්‌ස සච්‌චතො ථෙතතො දිට්‌ඨි උප්‌පජ්‌ජති; ‘අනත්‌තනාව අත්‌තානං සඤ්‌ජානාමී’ති වා අස්‌ස සච්‌චතො ථෙතතො දිට්‌ඨි උප්‌පජ්‌ජති;” (මජ්ඣිම නිකාය 01, සබ්බාසව සූත්‍රය-පි.22)

“මෙසේ නුනුවණින් මෙනෙහි කරණ ඔහුට සවැදෑරුම් දෘෂ්ටීන් අතුරෙන් එක්තරා දෘෂ්ටියෙක් උපදී: මාගේ ආත්මය ඇතැයි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට (ශාශ්වත) දෘෂ්ටිය උපදී. මාගේ ආත්මය නැතැයි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට (උච්ඡේද) දෘෂ්ටිය උපදී. (සංඥාස්කන්ධසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඞක්‍යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. (සංඥාස්කන්ධසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඞක්‍යාත) අනාත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී.අනාත්ම වූ (සංඥාසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඞක්‍යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී.”  

මෙහි “අනාත්මය හැඳිනගනිමියි සත්‍යය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී” යනාදී වශයෙන් දේශනා කළ බැවින් ඉදින් කිසිවෙකු සංස්කාර “අනාත්ම වේ” යි කියන්නේ නම් හෙතෙමේ මිථ්‍යාදෘෂ්ටියක් වැළඳගත් අයෙක් වේ යන්න නූතන මතවාදීන්ගේ අදහසකි.

(2) තවද මහා පුණ්ණම සූත්‍රයෙහි  ද භාග්‍යවතුන් වහන්සේ අනාත්ම දෘෂ්ටිය වැළඳගත් භික්ෂුවකට මෙසේ දේශනා කොට ඇත.

“අථ ඛො අඤ්‌ඤතරස්‌ස භික්‌ඛුනො එවං චෙතසො පරිවිතක්‌කො උදපාදි – ‘‘ඉති කිර, භො, රූපං අනත්‌තා, වෙදනා අනත්‌තා, සඤ්‌ඤා අනත්‌තා, සඞ්‌ඛාරා අනත්‌තා, විඤ්‌ඤාණං අනත්‌තා; අනත්‌තකතානි කම්‌මානි කමත්‌තානං ඵුසිස්‌සන්‌තී’’ති? අථ ඛො භගවා තස්‌ස භික්‌ඛුනො චෙතසා චෙතොපරිවිතක්‌කමඤ්‌ඤාය භික්‌ඛූ ආමන්‌තෙසි – ‘‘ඨානං ඛො පනෙතං, භික්‌ඛවෙ, විජ්‌ජති යං ඉධෙකච්‌චො මොඝපුරිසො අවිද්‌වා අවිජ්‌ජාගතො තණ්‌හාධිපතෙය්‍යෙන චෙතසා සත්‌ථු සාසනං අතිධාවිතබ්‌බං මඤ්‌ඤෙය්‍ය – ‘ඉති කිර, භො, රූපං අනත්‌තා, වෙදනා අනත්‌තා, සඤ්‌ඤා අනත්‌තා, සඞ්‌ඛාරා අනත්‌තා, විඤ්‌ඤාණං අනත්‌තා; අනත්‌තකතානි කම්‌මානි කමත්‌තානං ඵුසිස්‌සන්‌තී’ති. පටිච්‌ච විනීතා ඛො මෙ තුම්‌හෙ, භික්‌ඛවෙ, තත්‍ර තත්‍ර ධම්‌මෙසු තං. කිං මඤ්‌ඤථ, භික්‌ඛවෙ, රූපං නිච්‌චං වා අනිච්‌චං වාති?” (මජ්ඣිම නිකාය 03, මහාපුණ්ණම සූත්‍රය-පි.122)

එකල්හි එක්තරා මහණක්හට මෙබඳු චිත්තපරිවිතර්කයෙක් උපන: ‘භවත්නි, මෙසේ කලි රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාරයෝ අනාත්මයෝ යැ, විඥානය අනාත්ම යැ, අනාත්මයෙහි සිට කළ කර්මයෝ කවර ආත්මයෙකැ සිට විපාක දෙන්නාහුදැ’යි.එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහුගේ චිත්තපරිවිතර්කය තමන් වහන්සේගේ සිතින් දැන භික්ෂූන් ඇමැතූ සේක: ‘මහණෙනි, තෙල කරුණ වැලිත් විද්‍යමාන වෙයි, යම් කරුණෙකින් මෙලොවැ ඇතැම් මෝඝපුරුෂයෙක් අවිද්වද් වූයේ අවිද්‍යාවට පැමිණියේ තෘෂ්ණාව අධිපති කොට ඇති සිතින් යුක්ත වැ ශාස්තෘශාසනය ඉක්මැයායුතු කොට සිතන්නේ ය: ‘භවත්නි, මෙසේ කලි රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාරයෝ අනාත්මයෝ යැ, විඥානය අනාත්ම යැ, අනාත්මයෙහි සිට කළ කර්මයෝ කවර ආත්මයෙකැ සිට විපාක දෙන්නාහුදැ’යි. මහණෙනි, මා විසින් තෙපි ඒ ඒ දහම්හි (දහම්) පිණිස විනීතයහ. මහණෙනි, ඒ කිමැයි සිතවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ’යි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ “මෙලොවැ ඇතැම් මෝඝපුරුෂයෙක් අවිද්වද් වූයේ අවිද්‍යාවට පැමිණියේ තෘෂ්ණාව අධිපති කොට ඇති සිතින් යුක්ත වැ ශාස්තෘශාසනය ඉක්මැයායුතු කොට සිතන්නේ ය ” යැයි දේශනා කොට වදාළ බැවින් යමෙක් සංස්කාරයන් අනාත්මය යි කියන්නේ නම් හෙතෙමේ අවිද්‍යාවට පැමිණියෙකි යන්න නූතන මතවාදීන්ගේ අදහසකි.

(3) ඒ පංචඋපාදානස්කන්ධයෝ දුක් උපදවන බැවින් සාරසහිත දෙයක් නොවෙයි. එනම් අර්ථ සහිත දෙයක් නොවේ.  ‘අර්ථ’ යන්නෙහි පාලි පදය ‘අත්ථ’ බැවින් පංචඋපාදානස්කන්ධය අර්ථ සාරයක් නැති හෙයින් “අත්ථ” සහිත නොවේ. එබැවින්,

         න + අත්ථ = අන + අත්ථ = අනත්ථ ලෙස විය යුතුය යන්න නූතන මතවාදීන්ගේ අදහසකි.

(4)  භාග්‍යවතුන් වහන්සේ විසින් පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය අතර වෙනස මහාපුණ්ණම සූත්‍රයෙහි මෙසේ දේශනා කොට වදාළ සේක.

‘‘ඉමෙ ඛො, භික්‌ඛු, පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා, සෙය්‍යථිදං – රූපූපාදානක්‌ඛන්‌ධො, වේදනූපාදානක්‌ඛන්‌ධො, සඤ්‌ඤූපාදානක්‌ඛන්‌ධො, සඞ්‌ඛාරූපාදානක්‌ඛන්‌ධො, විඤ්‌ඤාණූපාදානක්‌ඛන්‌ධො’’ති. ‘‘සාධු, භන්‌තෙ’’ති ඛො සො භික්‌ඛු භගවතො භාසිතං අභිනන්‌දිත්‌වා අනුමොදිත්‌වා භගවන්‌තං උත්‌තරිං පඤ්‌හං පුච්‌ඡි –‘‘ඉමෙ පන, භන්‌තෙ, පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා කිංමූලකා’’ති?‘‘ඉමෙ ඛො, භික්‌ඛු, පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා ඡන්‌දමූලකා’’ති.‘‘තංයෙව නු ඛො, භන්‌තෙ, උපාදානං තෙ පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා, උදාහු අඤ්‌ඤත්‍ර පඤ්‌චහුපාදානක්‌ඛන්‌ධෙහි උපාදාන’’න්‌ති?‘‘න ඛො, භික්‌ඛු, තංයෙව උපාදානං තෙ පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා, නාපි අඤ්‌ඤත්‍ර පඤ්‌චහුපාදානක්‌ඛන්‌ධෙහි උපාදානං. යො ඛො, භික්‌ඛු, පඤ්‌චසු උපාදානක්‌ඛන්‌ධෙසු ඡන්‌දරාගො තං තත්‌ථ උපාදාන’’න්‌ති. (මජ්ඣිම නිකාය 03, මහාපුණ්ණම සූත්‍රය-පි.116)

මහණ පඤ්චොපාදානස්කන්ධයෝ මොහු යැ, ඒ මෙසේ යැ: රූපොපාදානස්කන්ධ වේදනොපාදානස්කන්ධ සංඥොපාදානස්කන්ධ සංස්කාරොපාදානස්කන්ධ විඥානොපාදානස්කන්ධ යි. ‘මැනැවැ වහන්සැ’ යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කොට අනුමොදන් වැ බුදුරදුන් මත්තෙහි පැන පිළිවිත්: යළි වහන්සැ, මේ පඤ්චොපාදානස්කන්ධයෝ කුමක් මුල් කොට ඇත්තාහු දැ’යි. මහණ, මේ පඤ්චොපාදානස්කන්ධයෝ තෘෂ්ණාව මුල් කොට ඇත්තාහ’යි. වහන්ස, එ මැ උපාදාන ඒ පඤ්චස්කන්ධයෝ වෙත් ද, නොහොත් පඤ්චොපාදානස්කන්ධයෙන් වෙන් වැ උපාදාන වේ දැ’යි. ‘මහණ, එ මැ උපාදානය ඒ පඤ්චොපාදානස්කන්ධයෝ නො වෙති, පඤ්චොපාදානස්කන්ධයෙන් වෙන් වැ නො ද උපාදාන වෙයි. මහණ පඤ්චොපාදානස්කන්ධයෙහි යම් ඡන්‍දරාගයෙක් ඇද්ද, ඒ එහි උපාදාන යි.

මේ අනුව පංචස්කන්ධ යනු රූප වේදනා සංඥා සංඛාර විඥානයි. ඒ ඒ ස්කන්ධ කෙරෙහි ඇති වන ඡන්දරාගය උපාදානස්කන්ධයෝය. රූපය කෙරෙහි උපදින ඡන්දරාගය රූපූපාදානස්කන්ධයයි. වේදනාව කෙරෙහි උපදින ඡන්දරාගය වේදනූපාදානස්කන්ධයයි. සංඥාව කෙරෙහි උපදින ඡන්දරාගය සඤ්ඤූපාදානස්කන්ධයයි. සංඛාර කෙරෙහි උපදින ඡන්දරාගය සංඛාරූපාදානස්කන්ධයයි. විඥානය කෙරෙහි උපදින ඡන්දරාගය විඥානූපාදානස්කන්ධයයි  යන්න නූතන මතවාදීන්ගේ අදහසකි.

(5) සත්කායත් සත්කාය දිට්ඨියත් අතර වෙනස චුල්ල වේදල්ල සූත්‍රයෙහි මෙසේ දේශනා කොට ඇත.

‘‘සක්‌කායො සක්‌කායො’ති, අය්‍යෙ, වුච්‌චති. කතමො නු ඛො, අය්‍යෙ, සක්‌කායො වුත්‌තො භගවතා’’ති?‘‘පඤ්‌ච ඛො ඉමෙ, ආවුසො විසාඛ, උපාදානක්‌ඛන්‌ධා සක්‌කායො වුත්‌තො භගවතා, සෙය්‍යථිදං – රූපුපාදානක්‌ඛන්‌ධො, වෙදනුපාදානක්‌ඛන්‌ධො, සඤ්‌ඤුපාදානක්‌ඛන්‌ධො, සඞ්‌ඛාරුපාදානක්‌ඛන්‌ධො, විඤ්‌ඤාණුපාදානක්‌ඛන්‌ධො. ඉමෙ ඛො, ආවුසො විසාඛ, පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා සක්‌කායො වුත්‌තො භගවතා’’ති.  (මජ්ඣිම නිකාය 03, චූළවෙදල්ල සූත්‍රය- පි.702)

ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය, සත්කාය’ යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් කවර දහමෙක් ‘සත්කාය’ යි වදාරන ලද්දේ ද? ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයනට ප්‍රත්‍යය වූ ස්කන්‍ධ පස ‘සත්කාය’යි වදාරන ලද්දේය. හෙ කෙසේය යත්: රූපොපාදානස්කන්‍ධය, වෙදනොපාදානස්කන්‍ධය, සංඥොපාදානස්කන්‍ධය, සංස්කාරොපාදානස්කන්‍ධය, විඥානොපාදානස්කන්‍ධයි. ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤෙචාපාදානස්කන්‍ධ ‘සත්කාය’ යි වදාරන ලදී.

එකමන්‌තං නිසින්‌නො ඛො සො භික්‌ඛු භගවන්‌තං එතදවොච – ‘‘කථං නු ඛො, භන්‌තෙ, ජානතො කථං පස්‌සතො සක්‌කායදිට්‌ඨි පහීයතී’’ති? ‘‘චක්‌ඛුං ඛො, භික්‌ඛු, දුක්‌ඛතො ජානතො පස්‌සතො සක්‌කායදිට්‌ඨි පහීයති. රූපෙ දුක්‌ඛතො ජානතො පස්‌සතො සක්‌කායදිට්‌ඨි පහීයති. චක්‌ඛුවිඤ්‌ඤාණං දුක්‌ඛතො ජානතො පස්‌සතො සක්‌කායදිට්‌ඨි පහීයති. චක්‌ඛුසම්‌ඵස්‌සං දුක්‌ඛතො ජානතො පස්‌සතො සක්‌කායදිට්‌ඨි පහීයති, යම්‌පිදං චක්‌ඛුසම්‌ඵස්‌සපච්‌චයා උප්‌පජ්‌ජති වෙදයිතං සුඛං වා දුක්‌ඛං වා අදුක්‌ඛමසුඛං වා තම්‌පි දුක්‌ඛතො ජානතො පස්‌සතො සක්‌කායදිට්‌ඨි පහීයති. (සංයුක්ත නිකාය 04, සක්‌කායදිට්‌ඨිප්පහාන සූත්‍රය- පි.292)

එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ දැ? යි. මහණ, ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වෙදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ.

මේ අනුව පංචස්කන්ධයන් කෙරෙහි  උපදින ඡන්දරාගයන්ටම; එනම් රූපූපාදානස්කන්ධය, වේදනූපාදානස්කන්ධය, සඤ්ඤූපාදානස්කන්ධය, සංඛාරූපාදානස්කන්ධය, විඥානූපාදානස්කන්ධය හෙවත් පංචඋපාදානස්කන්ධයටම ‘සත්කාය, කාමය, අස්සාද’ යයි හඳුන්වමු. ඒ ආශ්වාද කාය හෙවත්  පංචඋපාදානස්කන්ධ කාය වටින එකක් නැතිනම් ‘සත්’ කියල සලකනවානම් ‘කාය සත්’ යැයි දරන දිට්ඨිය ‘සත්කාය දිට්ඨිය’ වේ. ඒ ආශ්වාද කාය ‘සත්’ යැයි නොගෙන දුක් යයි අවබෝධ කර ගත්විට ‘සත්කාය දිට්ඨිය’ ප්‍රහාණය වේ යන්න නූතන මතවාදීන්ගේ අදහසකි.   

ඉහතින් සඳහන් කරන ලද සාධක සූත්‍ර පාඨ හා කරුණුවලට අනුව නූතන මතවාදීන් පවසනුයේ අනාත්මවාදය මිථ්‍යා දෘෂ්ටියක් බවත් එය ත්‍රිපිටකයට අනුකූල නොවන බවත්ය. මේ පිළිබඳව සාම්ප්‍රදායික මතය මෙසේය.

අනාත්මවාදය පිළිබඳව සාම්ප්‍රදායික මතවාදය

නූතන මතවාදීන් ඉහත අංක එක කරුණ යටතේ “අනාත්මවාදය මිත්‍යාදෘෂ්ටියක්ය” යැයි දක්වන ලද මතයට පිළිතුර මෙසේය. 

සබ්බාස්‍රව සූත්‍රය දේශනා කරන තථාගතයන් වහන්සේ සුභාෂිතයක් ම දේශනා කොට වදාළ සේක. එහි අනාත්මවාදය පමණක් නොව ආත්මවාදයද මිත්‍යාදෘෂ්ටියක් බව දේශනා කොට ඇත. එම නිසා සත්ත්වයින් තුළ ආත්මදෘෂ්ටියක් ඇති බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ බව පිළිගත යුතුය. ‘සත්කාය දිට්ඨිය’ යනුද මේ ආත්ම දිට්ඨියටම සමාන වචනයකි. නමුත් නූතන මතවාදීන් ඉහත සතරවන සත්කායදිට්ඨි වාදයෙන්ද කියනුයේ ඡන්දරාගය යහපත්දෙයක් ලෙස ගැනීම ‘සත්කාය දිට්ඨිය’ බවයි. මෙයින් ඔවුහු “සත්කාය දිට්ඨි” පදයට සාම්ප්‍රදායික මතයෙහි දෙන “ආත්ම දෘෂ්ටිය” යන අරුත ප්‍රතික්ෂේප කොට ඇත. මෙයින් පෙනෙනුයේ නූතන මතවාදීන් රෝගයට ප්‍රතිකාර දීම තබා රෝගයද හඳුනාගෙන නොමැති බවයි. මොවුන් ඡන්දරාගය දුරු කිරීම පිණිස දහම් කරුණු දක්වයි. නමුත් “ආත්ම දිට්ඨිය” පිළිගන්නේ නැත. ඡන්දරාගය ප්‍රහාණය වනුයේ අරිහත් මාර්ගයෙනි. “සක්කාය දිට්ඨිය” හෙවත් ‘ආත්ම දිට්ඨිය’ ප්‍රහාණය වනුයේ සෝවාන් මාර්ගයෙනි. ඉදින් යමෙක් “ආත්ම දිට්ඨි” කථාව ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් දක්වන මාර්ග ප්‍රතිපදාව නිවැරදි ද යන්න ගැටළුවකි.

කරුණු මෙසේ හෙයින් නූතන මතවාදීන් සබ්බාස්‍රව සූත්‍ර පාඨයට දුන් අර්ථකථනය පිළිබඳව පරීක්ෂා කළ යුතුය.

භාග්‍යවතුන්වහන්සේ එහි දේශනා කොට තිබෙන්නේ “අත්තනාව අනත්තානං සඤ්ජානාමීති වාස්ස සච්චතෝ ථේතතෝ දිට්ඨි උප්පජ්ජති” යනුවෙනි. එහි සිංහල තේරුම “අනාත්ම වූ (සංඥාසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඞක්‍යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. ” යන්නයි. මෙහි “අත්තනාව – මම ම කියන පදයෙන් මේ තෙමේ අනාත්මයි කියනුයේ ආත්ම දෘෂ්ටියෙහි පිහිටා සිටම, ආත්ම දෘෂ්ටියෙහි බැසගෙනම බව මැනවින් තේරුම් ගත යුතුය. මෙලෙස ආත්ම දෘෂ්ටිය දැඩිව ගෙන ආත්ම දෘෂ්ටියෙහි පිහිටා යමෙක් අනාත්මයි කියා නම් සැබවින්ම එය ශාස්වතවාදී මිථ්‍යා දෘෂ්ටියෙකි. “අත්තනාව අනත්තානං සඤ්ජානාමීති” යන මෙහි මේ අනුවණ තෙමේ සඤ්ඤාස්කන්ධය ආත්මය වශයෙන් හෙවත් රූප කය තුල ජීවත්වන සත්වයා ලෙස සළකා ගෙන ඉතිරි ස්කන්ධ සතර සත්ව පුද්ගල නොවන අනාත්ම ලෙස සළකා ගෙන ඇත.එයින් මේ තෙමේ ආත්ම දෘෂ්ටිය වඩාත් දැඩිව ගෙන ශාස්වත දෘෂ්ටියට පැමිණ ඇත.

නමුදු සාම්ප්‍රදායික විපස්සනා මාර්ගය තුළ අනාත්මය දක්වන්නේ එසේ නොවේ. එහි විපස්සනා මාර්ගය ලෙස සප්තවිශුද්ධියක් දක්වයි. එහිදී පිරිපුන් ශීලයක් ඇති කල්හි සීල විශුද්ධිය සම්පාදනය වේ.උපචාර අර්පණා වශයෙන් හෝ ඛණික වශයෙන්හෝ සමාධියක් උපදවා ගැනීමෙන් චිත්ත විශුද්ධිය සම්පාදනය වේ. ඉන් අනතුරුව තමන් හැටියට සලකන රූප වේදනාදී උපාදානස්කන්ධ පංචකය නාමරූප දෙකක් පමණක් බව අවබෝධ කිරීමෙන් දෘෂ්ටි විශුද්ධියට පැමිණෙයි. ඉන් අනතුරුව ඒ නාම රූපයෝ අවිද්‍යාදී ප්‍රත්‍යයන්ගේ වශයෙන් පටිච්චසමුප්පාද ක්‍රමයෙන් හේතුඵල වශයෙන් පවතින බව වටහා ගැනීමෙන් කංඛාවිතරණවිශුද්ධිය සම්පාදනය වේ. ඉන් අනතුරුව සම්පාදනය කර ගත යුතු මග්ගාමග්ග ඥාණ දස්සනවිශුද්ධිය උදෙසා භාවනා කරන යෝගාවචරයාටම තරුණ උදයව්‍යය ඥානය උපදවා ගැනීම සඳහා පංචඋපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමට උපදෙස් දෙති. මේ කංඛාවිතරණ විශුද්ධිය දක්වා පැමිණි යෝගාවචරයාට ආත්ම දෘෂ්ටිය ප්‍රහාණ නොවූවත් සැබවින් ආත්මය කියා දෙයක් නැතැයි බෙහෙවින් ආත්ම දෘෂ්ටිය යටපත් වී ඇත.

මෙහිදී පංචඋපාදානස්කන්ධය අනාත්මයි කියනුයේ කංඛාවිතරණ විශුද්ධිය වැනි මහා ඥානයකින් හෙබි අයෙක් බැවින් ඒ යෝගාවචර තෙමේ, සබ්බාස්‍රව සූත්‍ර පාඨයෙහි කියන ලද ආත්ම දිට්ඨියට බැසගත් අන්ධපෘථග්ජනයා අනාත්මයි කියා ශාස්වත දාෂ්ටියක් ප්‍රකාශ කළා මෙන් අනාත්මය ප්‍රකාශ නොකරන්න‍ේය. සැබැවින් පංචඋපාදානස්කන්ධය තුළ ආත්මයක් නැත හේතුඵල අනුව පවතින නාමරූප ධර්ම පරම්පරාවක් පමණක් ඇත යන මහා සම්‍යක් දෘෂ්ටියක පිහිටන ලද යෝගාවචරයෙකුම මෙහිදී “අනාත්මය” ප්‍රකාශ කරනු ලබන බැවින් ඒ ප්‍රකාශය මිථ්‍යාදෘෂ්ටියක් නොවේ.

තවද සූත්‍රයෙහි කී පරිදි වූ අන්ධපෘථග්ජන තෙමේ එලෙස “මම ම අනාත්මය හැඳින ගන්නනෙමි”යි ශාස්වත මිථ්‍යාදෘෂ්ටියකට පැමිණ මරණින් මතු අපාගත විය හැක.

නමුදු පෙර කී ලෙසින් කංඛාවිතරණ විශුද්ධියක් සම්පාදනය කර ගත් යෝගාවචර තෙමේ මනාව සංසාර ප්‍රවෘත්තිය හැඳිනගෙන කුසලාකුසල කර්මයන්ගේ විපාක දැන දැඩි කර්මඵල විශ්වාසයකින් යුතුව පංචඋපාදානස්කන්ධයෙහි අනාත්මය හැඳින ඒ කෙරෙහි ඡන්දරාග වශයෙන් ඇළුම් නොක‍ොට ඉදිරි විපස්සනා ඥාන පූරණය කොට සෝවාන් මගඵල නිවන් සාක්ෂාත් කරන්නේය.

මෙහිදී කංඛාවිතරණ විශුද්ධිය සම්පාදනය කරගත් යෝගාවචර තෙමේ මේ පංචඋපාදානස්කන්ධය අවිද්‍යා, තෘෂ්ණා, කර්ම ආදී හේතූන්ගෙන් උපදින දෙයක් බව අවබෝධ කරගැනීමෙන් පංචඋපාදානස්කන්ධය කැමති කැමති පිරිදි පවත්වන සසරින් සසරට යන සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව වටහාගෙන උපාදානස්කන්ධ පංචකය අනාත්ම බව අවබෝධ කොට ගනී. එයින් ඒ යෝගාවචරයාගේ ශාස්වත දෘෂ්ඨිය බිඳී යන්නේය. තවද අවිද්‍යා, තෘෂ්ණා, කර්ම ආදී හේතු ඇතිතාක් මේ පංචඋපාදානස්කන්ධ පරම්පරාව පවතින බව අවබෝධ කර ගැනීමෙන් මතු භවයක් නැත, භවයෙහි පැවැත්ම නැත, කුසලාකුසල ධර්මයන්ගේ විපාක නැතැයි යනාදී වශයෙන් උපදින උච්ඡේදවත දෘෂ්ටියද බිඳී යන්න‍ේය. එයින් ඒ යෝගාවචර තෙමේ අවිද්‍යා, තෘෂ්ණා, කර්ම ආදී ප්‍රත්‍යයන් ක්ෂය කිරීමෙන්, නිරවශේෂව නිරුද්ධ කිරීමෙන් පංචඋපාදානස්කන්ධ පරම්පරාව නවතා මතු ඉපදීම වළක්වා සියලු ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් මිදිය හැකි බව අව‍බෝධ කර ගන්න‍ේය. ත්‍රිපිටක පාළියෙහිද පංචඋපාදානස්කන්ධයේ අනාත්මය මේ අයුරින් දක්වා ඇත.

ත්‍රිපිටක පාලියෙහි ස්කන්ධයන්ගේ අනාත්මය දක්වා ඇති අයුරු

(1)” අපි ච ද්වාදසහාකාරේහි සුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛති: රූපං න සත්තෝ න ජීවෝ න නරෝ න මානවෝ න ඉත්ථි න පුරිසෝ න අත්තා න අත්තනියං. නාහං න මම න කෝචි න කස්සවි. වේදනා – සඤ්ඤා- සඞ්ඛාරා – විඤ්ඤාණං න සත්තෝ න ජීවෝ න නරෝ න මානවෝ න ඉත්ථි න පුරිසෝ න අත්තා න අත්තනියං නාහං න මම න කෝචි න කස්සවි. ඒවං ද්වාදසහාකාරේහි සුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛති. වුත්තං හේතං භගවතා: “ නායං භික්ඛවේ, කායෝ තුම්හාකං, නපි අ‍ඤ්ඤේසං, පුරාණමිදං භික්ඛවේ, කම්මං අභිසඞ්ඛතං අභිසඤ්ඤේතයිතං වේදනීයං දට්ඨබ්බං තත්‍ර භික්ඛවේ සුතවා අරියසාව‍කෝ පටිච්චසමුප්පාදං යේව සාධුකං යෝනිසෝ මනසිකරෝති: ‘ඉති ඉමස්මිං සති ඉදං හෝති,ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජාපච්චයා සංඛාරා, සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං -පෙ- ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති. අවිජ්ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාරනිරෝධෝ සංඛාරනිරෝධා විඤ්ඤාණනිරෝධෝ -පෙ- ඒවමේතස්ස කේවලස්ස දුක්ඛකන්ධස්ස නිරෝධෝ හෝතී” ති. ඒවම්පි සුඤ්ඤ‍තෝ ලෝකං අවෙක්ඛති”(චුල්ල නිද්දේස පාලිය , මොඝරාජ සූත්‍ර නිර්දේශය- පි. 388)

තවද දොළොස් අයුරෙකින් ශූන්‍ය හෙයින් ලෝකය බලයි: රූපය සත්ත්ව නොවෙයි, ජීව නොවෙයි, නර නොවෙයි, මානව නොවෙයි, ස්ත්‍රී නොවෙයි, පුරුෂ නොවෙයි, ආත්ම නොවෙයි, ආත්මනීය නොවෙයි, මම් නොවෙමි, මාගේ නොවෙයි, කිසිවෙක් නොවෙයි, කිසිවෙකුගේ නොවේ. මෙසේ දොළොස් අයුරින් ශූන්‍ය හෙයින් ලොව බලයි. තෙල වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, මේ කය තොපගේ නොවෙයි. අනුන්ගේ නො මැ වෙයි, මහණෙනි, මේ රූපය පුරාණ කර්මයෙන් උපන, ප්‍රත්‍යයෙන් සකස් කරන ලද, චේතනා වස්තුක යැ වේදනාවට වස්තු යැ යි දත යුතු යැ. මහණෙනි, එහිලා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙම ප්‍රතිත්‍යසමුත්පාදය මැ මොනොවට නුවණින් මෙනෙහි කෙරෙයි: ‘මෙසේ මෙය ඇති කල්හි මේ වෙයි. මොහුගේ උපැත්මෙන් මේ උපදී. මෙය නැති කල්හි මේ නොවෙයි. මොහුගේ නිරෝධයෙන් මේ නිරුද්ධ වෙයි.’ “මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වෙයි…… දුක්ඛස්කන්ධයාගේ සමුදය වේ. අවිද්‍යාවගේ මැ අශේශ විරාග සංඛ්‍යාත නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි…. මෙසෙයින් මේ අමිශ්‍ර දුක්ඛස්කන්ධයාගේ නිරෝධය වේ” යයි මෙසේත් ශූන්‍ය හෙයින් ලෝකය බලා….

(2)‘‘කිං නු සත්තොති පච්චෙසි, මාර දිට්ඨිගතං නු තෙ;සුද්ධසඞ්ඛාරපුඤ්ජොයං, නයිධ සත්තුපලබ්භති.”

‘‘යථා හි අඞ්ගසම්භාරා, හොති සද්දො රථො ඉති;එවං ඛන්ධෙසු සන්තෙසු, හොති සත්තොති සම්මුති”  (සංයුක්ත නිකාය 04, වජිරා සූත්‍රය- පි.246)

මරුව, කිම සත්වයෙකැ යි අදහන්නේහි ද? තාගේ මාරදෘෂ්ටියෙක් නො වේ ද? මේ හුදු සංස්කාර පිණ්ඩයෙකි. මෙහි සතෙක් නො ලැබේ. අවයව සමූහය හේතු කොට ගෙණ යම්සේ රථය යන ශබ්දයෙක් වේ ද? එසේ ම පඤ්චස්කන්ධයන් ඇති කල්හි සත්වයා ය යන ලොකව්‍යවහාරය වේ.

ඉහත දක්වන ලද මෝඝරාජ සූත්‍ර නිර්දේශයෙහි පාඨයෙන් ද කියවෙනුයේ පංචස්කන්ධ ධර්මයෝ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර බවයි. එහි පැහැදිළිවම රූපය සත්වයෙක් නොවේය, ජීවියෙක් නොවේ, මනුෂ්‍යයෙක් නොවේ, මානවයෙක් නොවේ, ස්ත්‍රියක නොවේ, පුරුෂයෙක් නොවේ යනාදී වශයෙන් රූපයෙහි කිසිදු සත්ව පුද්ගල ආත්ම භාවයක් නැති බව දේශනා කරයි. වේදනා, සංඥා, සංඛාර. විඥාන කෙරෙහි ද එසේම දක්වා ඇත. එබැවින් එම සූත්‍ර පාඨයෙන් පංචස්කන්ධයේ අනාත්ම බව මනාව පැහැදිලි වේ. එසේම දෙවන වජිරා සූත්‍ර පාඨයෙහි ද පුද්ගලයා යනු හුදු සංස්කාර පිණ්ඩයක් බවත් එහි සත්වයෙක් නොලැබෙන බවත් දේශනා කොට ඇත. එබැවින් එම සූත්‍ර පාඨයෙන් ද පංචස්කන්ධයේ අනාත්ම බව මනාව පැහැදිලි වේ.

(3) අභිධර්මපිටකයෙහි කථාවත්ථුප්පකරණයෙහි “පුග්ගලකථා – පුග්ගලෝ උපලබ්භති සච්ඡිකට්ඨ පරමත්ථේනා ති” ආදී වශයෙන් පළමුවන පුද්ගලකථාවෙහි පරමාර්ථ වශයෙන් සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බවත් එබඳු සම්මුති ඇති බවත් විස්තර කරමින් කරුණු දක්වා ඇත. අර්ථ සොයන්නවුන් විසින් එහි බලා අර්ථ දත යුතු.

ඉහත සියලු කරුණු සලකා බැලීමෙන් සබ්බාස්‍රව සූත්‍රයෙහි දේශනා කොට වදාළේ ශාස්වත දෘෂ්ටියට පැමිණි අන්ධ පෘථග්ජනයෙකුගේ අනාත්මය හැඳින ගැනීමක් බව මැනවින් අවබෝධ කොට ගත යුතුය. එබැවින් කල්‍යාණ පෘථග්ජන සුධීහු සාම්ප්‍රදායික ක්‍රමයෙන් විපස්සනාව වඩා පංචඋපාදානස්කන්ධයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කොට සප්ත විශුද්ධි පූරණයෙන් ආත්ම දෘෂ්ටිය ඡේදනය කොට සෝවාන් මගඵල නිවන් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කටයුත්තාහ. මේ අනුව නූතන මතවාදීන්ගේ “අනාත්මය මිථ්‍යාදෘෂ්ටියක්” යන පළමු වාදය මොනවට බිඳී යන්නේය.

සංස්කාරයන් අනාත්ම යැයි කියනුයේ අවිද්‍යාවට පැමිණියෙක් ද?

ඉහත දෙවන මතවාදයෙහිද භාග්‍යවතුන් වහන්සේ “මෙහි ඇතැම් මෝඝ පුරිෂයෝ…….. රූපය අනාත්මය, වේදනාව අනාත්මය …….” යනාදීන් මෝඝපුරිෂයෝ යැයි ආමන්ත්‍රණය කළේ ද  ඉහත පළමු වාදයෙහි කී ආකාර ඇති අන්ධපෘථග්ජනයන්ට මිස කංඛාවිතරණ විශුද්ධි ආදිය සම්පාදනය කොට සංස්කාරයන් අනාත්මාදී වශයෙන් දුටු කල්‍යාණ පෘථග්ජනයා හට නොවන බව ඉහත වාදය සඳහා දැක්වූ කාරණයන්ගෙන් ස්ඵුට වන්නේය. මෙම සූත්‍රයෙහි මේ භික්ෂුව පඤ්චස්කන්ධය අනාත්ම නම් එකී ස්කන්ධයන් විසින් රැස් කළ කර්මයෝ කවර ආත්මයක් විපාක වශයෙන් විඳින්නේද යනුවෙන් ශාස්වත වාදය ප්‍රතික්ෂේප කොට උච්ඡේද වාදයෙහි පිහිටා ප්‍රශ්න කරයි. හෙතෙමේ මනාව නුවණින් පටිච්ච සමුප්පාදය නොදැක කඬ්ඛාවිතරණ විශුද්ධියක් නොම සම්පාදනය කොට ගෙන උච්ඡේද වාදයෙහි පිහිටියේය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවට මෝඝපුරිස වාදයෙන් ඇමතූ සේක. එතකුදු වුවත් කඬ්ඛාවිතරණ විශුද්ධියක් නොම සම්පාදනය කරගත් කළ්‍යාණ පෘථග්ජනයෙක් වුවද ශාස්තෘන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් සද්ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවෙන් , මහසඟරුවන කෙරෙහි ශ්‍රද්ධාවෙන් පඤචස්කන්ධයේ අනාත්මය ප්‍රකාශ කරයි නම් හෙතෙමේ ද මෙකී මෝඝ පුරුෂ වාදයට අයත් නොවන බව ද වටහාගත යුතුය. මක් නිසාද යත් ඒ තැනැත්තා ශ්‍රද්ධාවෙහි පිහිටා ඉහළ විපස්සනා ඥාන මුහුකුරවා ගැනීමට වෙර දරන්නෙක් බැවිනි.

තවද නූතන මතවාදීහු මෙම සූත්‍ර පාඨය තමන්ගේ වාසිය පිණිසම යොදා අර්ථ සළකා ගත් බව මැනවින් පෙනේ. ඒ කෙසේද යත් සෑම විටම “අනත්ත” පදයට “අනත්ථ” යැයි අර්ථ ගතයුතු යැයි කියන මොවුහු මෙම සූත්‍ර පාඨයෙහි දී ‘අනත්ත’ පදය ‘අනත්ත’ ලෙසම තබාගෙන අර්ථ කියති. එබැවින් මෙම සූත්‍රයට පැමිණ නව මතවාදීහු ස්වකීය වාදයෙහිම සිරවී ඇති බව මනාව පෙනේ. එබැවින් නව මතවාදයට අනුව මෙම සූත්‍ර පාඨයෙහි අර්ථ ගතහොත් සූත්‍රාර්ථය විපරීත වන බැවින් එකී වැරදි අර්ථකථනය හැර පියා මෙම සූත්‍රය පුරාවට ම ‘අනත්ත’ පදය සඳහා ‘අනාත්ම’ ලෙසටම අර්ථ ගත යුතුය. මේ අනුව නූතන මතවාදීන්ගේ දෙවන වාදයද මැනවින් බිඳී යන්නේය.

“අනත්ත” ද “අනත්ථ” ද ?

ඉහත තුන්වන “අනත්ත” ද “අනත්ථ” ද යන පදයන් පිළිබඳ මතවාදයෙහි ලා කිවයුත්තේ මෙසේය.

භාග්‍යවතුන් වහන්සේ අනත්තලක්ඛණ, මහාපුණ්ණම, මහාරාහුලෝවාදාදී සූත්‍ර පිටකයෙහි පුරාවටම විවධ සූත්‍රවල මෙසේ දේශනා කොට වදාළ සේක.

‘‘තස්මාතිහ, භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං – ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.” (සංයුක්ත නිකාය 03, අනත්තලක්ඛණ සූත්‍රය- පි.116)

මහණෙනි, එහෙයින් මෙහි ලා අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ, අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි රූපයක් ඇත් ද, දුර හෝ ළඟ හෝ යම් රූපයකුත් ඇත් ද, එ සියලු රූපය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙල තතු සේ සම්‍යක් ප්‍රඥායෙන් (විදර්ශනාඥානයෙන්) දැක්ක යුතු යි.

මෙහිදී භාග්‍යවතුන් වහන්සේ පංචඋපාදානස්කන්ධය “නේතං මම ” යනාදී වශයෙන් යථාභූතය සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතු බව දේශනා කරන සේක. මෙහි “නේතං මම = ඒතං මම න = තෙල ස්කන්ධයෝ මාගේ නොවේ” එසේම, “නේසෝ හමස්මි = ඒසෝ අහං අස්මි න = තෙල ස්කන්ධයෝ මම නොවෙමි” එසේම, “න මේ සෝ අත්තා = ඒසෝ මේ අත්තා න = තෙල ස්කන්ධයෝ මාගේ ආත්මය නොවේ.” යන අර්ථ ලබා දෙයි.

මෙහි මුල්පදයෙන් කියැවෙනුයේ මම යයි දරන ආත්ම දිට්ඨිය මුල්කොට ගෙන පංචඋපාදානස්කන්ධය මගේය කියා තණ්හා වශයෙන් උපාදානය කර නොගන්නා ලෙසයි. දෙවැනි පදයෙන් කියැවෙනුයේ මම යයි දරන ආත්ම දිට්ඨිය මුල්කොටගෙන පංචඋපාදානස්කන්ධය “මම ය” කියා දිට්ඨි වශයෙන් උපාදානය කර නොගන්නා ලෙසයි. තුන්වන පදයෙන් කියැවෙනුයේ මම යයි දරන ආත්ම මානය මුල්කරගෙන පංචඋපාදානස්කන්ධය  සත්වයෙක් ය පුද්ගලයෙක් ය ඉතා වටිනා උසස් දෙයක් යැයි මානයෙන් යුතුව මේ පංචඋපාදානස්කන්ධය මාගේ ආත්මය යයි කියා නොගන්නා ලෙසය. මේ පද වාර තුනෙහිම කියැවෙනුයේ පුද්ගලභාවයට, සත්ත්වභාවයට, ආත්මභාවයට ප්‍රතිලක්ෂණ අර්ථය. එමනිසා ඒ තුන්වන අර්ථය සලකා, ආත්ම නොවන හෙයින් න + අත්ත = අන + අත්ත = අනත්ත

යන පදය මෙහි අර්ථ වශයෙන් යොදා ගත යුතු බව මැනවින් පෙනේ. මේ අනුව “ආත්ම නොවන හෙයින් අනත්ත” යයි ගැනීම භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය බවද මැනවින් පෙනේ. මේ සූත්‍රපාඨය ත්‍රිපිටකය පුරාවටම දැකිය හැකි බැවින් ගම්‍ය වන්නේ ආත්ම නොවන අරුතින් “අනත්තය” යයි ගැනීම ආත්ම දිට්ඨියත් ආත්ම මානයත් යන ක්ලේශ ප්‍රහාණය කිරීමට අනිවාර්යයෙන් අවශ්‍ය බවය.

ත්‍රිපිටකයෙහි අනත්ත පදය සඳහා දක්වා ඇති අර්ථ

තවද පේටකොපදේශයෙහි අනත්ත පදය සඳහා අර්ථ දක්වා ඇත්තේ මෙසේය. “තත්ථ කතමො අනත්තට්ඨො. අනිස්සරියට්ඨො අනත්තට්ඨො, අවසවත්තනට්ඨො, අකාමකාරිට්ඨො පරිවිදට්ඨො, අයං අනත්තට්ඨොති.” (පේටකෝපදේසය, සුත්තත්ථසමුච්චයභූමිපි.178)

“එහි අනාත්මාර්ථ කවරෙ යත් : ඓශ්චර්‍ය්‍ය රහිතාර්ථය අනාත්මාර්ථ යැ වශයෙහි නො පවත්නා ස්වභාව, කැමැතිසේ නො කළහැකි බව, පරිවිදාර්ථය අනාත්මාර්ථ යැ. මේ අනාත්මාර්ථ වේ යයි.”

මෙහි අනිස්සරිය, අවසවත්තන, අකාමකාරිය, පරිවිදර්ථ යන සියලු අර්ථයන් දක්වා ඇත්තේ “අනත්ත” පදය තුළය. මෙහි වසඟයෙහි නොපවතින හෙයින් “අවසවත්තන” යන පදයෙනුත් කැමති ලෙස කැමති දෙයක් කළ නොහැකි හෙයින් “අකාමකාරිත” යන පද ද්වයෙන් ඍජුවම සත්ත්ව පුද්ගල ආත්මභාවයට ප්‍රතිපක්ෂ වූ ආත්මනොවන “අනාත්ම” අර්ථය හඟවයි. එබැවින් ඉහත සියළු අර්ථ ද පටිසම්භිදාවෙහි ” සත්ව පුද්ගල ආත්ම සාරයක් නැති හෙයින් අසාරකය “යැයි දේශනා කළ ” අනත්තා අසාරකට්ඨේන” යන අසාරක අර්ථය ද  “අනත්ත” පදය තුළටම ගැබ් කොට දේශනා කළ බව අවබෝධ කොට ගත යුතුය. එබැවින් ශ්‍රී මුඛ බුද්ධ දේශනාවට අනුව “අසාරකට්ඨේන අනත්ථා” යයි නොගෙන “අසාරකට්ඨේන අනත්ත” යයි ගැනීම ශාසනස්ථිතිකාමීහු කළ යුත්තාහ. මේ අනුව නූතන මතවාදීන්ගේ තුන්වන මතයද මොනවට බිඳී යන්නේය.

පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය අතර වෙනස

ඉහත සතරවන පංචස්කන්ධ පංචඋපාදානස්කන්ධ පිළිබඳ නූතන මතවාදය පිළිබඳව කිවයුත්තේ මෙසේය. අභිධර්ම පිටකයෙහි විභංගප්‍රකරණයෙහි පංචස්කන්ධය දක්වා ඇත්තේ ‍ මෙසේය.

  • පඤ්‌චක්‌ඛන්‌ධා – රූපක්‌ඛන්‌ධො, වෙදනාක්‌ඛන්‌ධො, සඤ්‌ඤාක්‌ඛන්‌ධො, සඞ්‌ඛාරක්‌ඛන්‌ධො, විඤ්‌ඤාණක්‌ඛන්‌ධො.

තත්‌ථ කතමො රූපක්‌ඛන්‌ධො? එකවිධෙන රූපක්‌ඛන්‌ධො – සබ්‌බං රූපං……………උපාදානියං…(විභඞ්ග ප්‍රකරණය – ස්කන්ධ විභඞ්ගය– පි.22)

ස්කන්ධයෝ පස්දෙනෙකි: රූපස්කන්ධ යැ, වේදනාස්කන්ධ යැ, සංඥාස්කන්ධ යැ, සංස්කාරස්කන්ධ යැ, විඥානස්කන්ධ යි. එහි රූපස්කන්ධය කවරේ යත්:එක් අයුරෙකින් රූපස්කන්ධය වෙයි. හැම රූපය ………. උපාදානයන්ට හිත ය,

  • තත්‌ථ කතමො වෙදනාක්‌ඛන්‌ධො? දුවිධෙන වෙදනාක්‌ඛන්‌ධො – ……..අත්‌ථි උපාදානියො, අත්‌ථි අනුපාදානියො

එහි වේදනාස්කන්ධය කවරේ යත්: ද්විප්‍රකාරයෙකින් වේදනාස්කන්ධය වෙයි:……….උපාදානයන්ට හිත වූයෙක් ඇත, උපාදානයන්ට හිත නො වූයෙක් ඇති.(විභඞ්ග ප්‍රකරණය – ස්කන්ධ විභඞ්ගය– පි.26,30)

  • තත්‌ථ කතමො සඤ්‌ඤාක්‌ඛන්‌ධො? දුවිධෙන සඤ්‌ඤාක්‌ඛන්‌ධො– ……..අත්‌ථි උපාදානියො, අත්‌ථි අනුපාදානියො

එහි සංඥාස්කන්ධය කවරේ යත්: ද්විප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි:……….උපාදානයන්ට හිත වූයෙක් ඇත, උපාදානයන්ට හිත නො වූයෙක් ඇති.(විභඞ්ග ප්‍රකරණය – ස්කන්ධ විභඞ්ගය– පි.46,50,52)

  • තත්‌ථ කතමො සඞ්‌ඛාරක්‌ඛන්‌ධො? දුවිධෙන සඞ්‌ඛාරක්‌ඛන්‌ධො……..අත්‌ථි උපාදානියො, අත්‌ථි අනුපාදානියො

එහි සංස්කාරස්කන්ධ කවරේ යත්: ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්ධ වෙයි:……….උපාදානයන්ට හිත වූයෙක් ඇත, උපාදානයන්ට හිත නො වූයෙක් ඇති.(විභඞ්ග ප්‍රකරණය – ස්කන්ධ විභඞ්ගය– පි.66,68,72)

  • තත්‌ථ කතමො විඤ්‌ඤාණක්‌ඛන්‌ධො? දුවිධෙන විඤ්‌ඤාණක්‌ඛන්‌ධො……...අත්‌ථි උපාදානියො, අත්‌ථි අනුපාදානියො

එහි විඥානස්කන්ධ කවරේ යත්: ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්ධ වෙයි:……….උපාදානයන්ට හිත වූයෙක් ඇත, උපාදානයන්ට හිත නො වූයෙක් ඇති.(විභඞ්ග ප්‍රකරණය – ස්කන්ධ විභඞ්ගය– පි. 86,88,92 )

ඉහතින් දක්වන ලද්දේ ස්කන්ධයන් ප්‍රධාන වශයෙන් කොටස් පහක් බවත් එයින් රූපස්කන්ධය උපාදානීය බවත් ඉතිරි ස්කන්ධ සතර උපාදානීය වූවකුත් අනුපාදානීය වූවකුත් ඇති බව විභංගප්‍රකරණයෙහි දක්වා ඇති අන්දමය. මෙහි උපාදානීයා යනු තණ්හා දිට්ඨි යන උපාදාන ධර්මයන්ට අරමුණුවීම් වශයෙන් හිතෛෂී වනුයි උපාදානීයා වේ. එසේ තණ්හා දිට්ඨි ධර්මයන්ට අරමුණු නොවුණුයි අනුපාදානීයා වේ.

මේ අනුව සියලුම රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණයෝ පංචස්කන්ධ බවත් ඒවා අතුරින් තණ්හා දිට්ඨි යන කෙලෙස් උපාදාන ධර්මයන්ට අරමුණු වන ස්කන්ධ උපාදානීය ස්කන්ධ හෙවත් උපාදානාස්කන්ධ බව වටහා ගත යුතුය. එසේ උපාදානයට හිතවන ස්කන්ධ පංචකයට “පංචුපාදානස්කන්ධා” යයි කියනු ලැබේ.

මේ පංචස්කන්ධයන් අතුරිනුත් උපාදානයන්ට හිතවන්නේ මොනවාද, හිත නොවන්නේ මොනවාදැයි ධම්මසංගණීප්‍රකරණයෙහි දක්වා ඇත්තේ මෙසේය. එහි  නික්ෂෙපකාණ්ඩයේ දුක මාතිකාවන්හි උපාදාන ගොච්ඡකයෙහි මෙසේ සඳහන්ව ඇත.

  • කතමෙ ධම්‌මා උපාදානියා? සාසවා කුසලාකුසලාබ්‍යාකතා ධම්‌මා කාමාවචරා, රූපාවචරා, අරූපාවචරා; රූපක්‌ඛන්‌ධො…පෙ.… විඤ්‌ඤාණක්‌ඛන්‌ධො – ඉමෙ ධම්‌මා උපාදානියා.  (ධම්මසඞ්ගණී ප්‍රකරණය – නික්ෂෙපකාණ්ඩය – පි.454)

කවර ධර්මයෝ උපාදානීය වෙති යත්:කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්මයෝ යැ රූපස්කන්ධ යැ … විඥානස්කන්ධ යැ යන මේ ධර්මයෝ උපාදානීය වෙත්.

මෙය අට්ඨකථා කාණ්ඩයේ දී තවදුරටත් පැහැදිළි කරනුයේ මෙසේය.

  • කතමෙ ධම්‌මා උපාදානියා? තීසු භූමීසු කුසලං, අකුසලං, තීසු භූමීසු විපාකො, තීසු භූමීසු කිරියාබ්‍යාකතං, සබ්‌බඤ්‌ච රූපං – ඉමෙ ධම්‌මා උපාදානියා.( ධම්මසඞ්ගණී ප්‍රකරණය – අට්ඨකථාකාණ්ඩය – පි.544)

උපාදානීය (උපාදනයන්ට හිත) ධර්‍මයෝ කවරහ යත්:

ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මෙහු උපදානීය ධර්‍මයෝ යි.

(සැ.යු. :-බුද්ධ ජයන්ති මුද්‍රණයෙහි මේ පාඨයෙහි අවසානයට “ඉමෙ ධම්මා අනුපාදානීයා” යනුවෙන් දක්වා ඇත්තේ මුද්‍රණ දෝෂයකිනි. එය “ඉමෙ ධම්මා උපාදානීයා” යනුවෙන් නිවැරදි විය යුතුය. )

  • කතමෙ ධම්‌මා අනුපාදානියා? අපරියාපන්‌නා මග්‌ගා ච, මග්‌ගඵලානි ච, අසඞ්‌ඛතා ච ධාතු – ඉමෙ ධම්‌මා අනුපාදානියා. ( ධම්මසඞ්ගණී ප්‍රකරණය – නික්ෂෙපකාණ්ඩය – පි.454)

කවර ධර්මයෝ අනුපාදානීය වෙති යත්: අපර්‍ය්‍යාපන්න වූ මාර්ගයෝ ද මාර්ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මොහු අනුපාදානීය ධර්මයෝ වෙත්.

මෙය අට්ඨකථා කාණ්ඩයේ දී තවදුරටත් පැහැදිළි කරනුයේ මෙසේය.

  • කතමෙ ධම්‌මා අනුපාදානියා? චත්‌තාරො මග්‌ගා අපරියාපන්‌නා, චත්‌තාරි ච සාමඤ්‌ඤඵලානි, නිබ්‌බානඤ්‌ච – ඉමෙ ධම්‌මා අනුපාදානියා.. ( ධම්මසඞ්ගණී ප්‍රකරණය – අට්ඨකථාකාණ්ඩය – පි.544)

අනුපාදනීය ධර්‍මයෝ කවරහ යත්:අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අනුපාදනීය ධර්‍මයෝ යි.

මේ අනුව පංචස්කන්ධය අතුරින්,

(1)සියලු රූපස්කන්ධය උපාදානීය වේ. එමනිසා සියලු රූපය “රූපූපාදානස්කන්ධය” වේ.

(2) වේදනාස්කන්ධයෙන් සියලු කාමාවචර රූපාවචර අරූපාවචර සිත්වල උපදින වේදනාව උපාදානීය වේ. එම නිසා ඒ තුන් භුමියෙහිම සියලු වේදනා “වේදනූපාදානස්කන්ධය” වේ.ලෝකෝත්තර සිත්වල උපදින වේදනාව උපාදානීය නොවන හෙයින් එම සිත්වල වේදනාව වේදනූපාදානස්කන්ධය නොවේ.

(3) සංඥාස්කන්ධයෙන් සියලු කාමාවචර රූපාවචර අරූපාවචර සිත්වල සඤ්ඤාව උපාදානීය වේ. එමනිසා ඒ තුන් භූමියෙහිම සියලු සඤ්ඤා “සඤ්ඤූපාදානස්කන්ධය” වේ.ලෝකෝත්තර සිත්වල උපදින සඤ්ඤාව උපාදානීය නොවන හෙයින් එම සිත්වල සඤ්ඤාව සඤ්ඤූපාදානස්කන්ධය නොවේ.

(4) සංඛාරස්කන්ධයෙන් සියලු කාමාවචර රූපාවචර අරූපාවචර සිත්වල සංඛාර උපාදානීය වේ. එමනිසා ඒ තුන් භූමියෙහිම සියලු සංඛාර “සංඛාරූපාදානස්කන්ධය” වේ. ලෝකෝත්තර සිත්වල උපදින සංඛාරය උපාදානීය නොවන හෙයින් එම සිත්වල සංඛාරය සංඛාරූපාදානස්කන්ධය නොවේ.

(5) විඤ්ඤාණස්කන්ධයෙන් සියලු කාමාවචර රූපාවචර අරූපාවචර සිත් උපාදානීය වේ. එමනිසා ඒ තුන්භූමියෙහි සියලුම සිත් “විඤ්ඤාණූපාදානස්කන්ධය” වේ. ලෝකෝත්තර සිත් උපාදානීය නොවන හෙයින් සියලු ලෝකෝත්තර සිත් විඤ්ඤාණූපාදානස්කන්ධය නොවේ.

අසංඛත ධාතු නිර්වාණයද තණ්හා දිට්ඨිවලට අරමුණු නොවන හෙයින් අනුපාදානීය වේ.

පංචඋපාදානස්කන්ධයන්ගේ බෙදීම ශ්‍රී මුඛ බුද්ධ දේශනාවට අනුව ඉහත පරිද්දෙන් දත යුතුය. තවද බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ ඇතුළු සියලු ආර්යයන් වහන්සේලාගේද රූපය උපාදානයන්ට හිත බැවින් “රූපූපාදානස්කන්ධය” ටම අයත් බව වටහා ගත යුතුය. සියලු ආර්යයන් වහන්සේලාගේ මාර්ගඵල සිතුත් එහි යෙදෙන චෛතසික ධර්මත් නිර්වාණයත් කිසිදු උපාදානස්කන්ධයකට අයත් නොවන බව වටහා ගත යුතුය.

චුල්ල වේදල්ල සූත්‍රයෙහි උපාදාන ස්කන්ධ බෙදීම.

ඒ පිළිබඳ චූලවේදල්ල සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත.

‘‘තඤ්‌ඤෙව නු ඛො, අය්‍යෙ, උපාදානං තෙව පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා උදාහු අඤ්ඤං නු ඛො පඤ්‌චහුපාදානක්‌ඛන්‌ධෙහි උපාදාන’’න්‌ති?‘‘න ඛො, ආවුසො විසාඛ, තඤ්‌ඤෙව උපාදානං තෙව පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා, නපි අඤ්‌ඤත්‍ර පඤ්‌චහුපාදානක්‌ඛන්‌ධෙහි උපාදානං. යො ඛො, ආවුසො විසාඛ, පඤ්‌චසු උපාදානක්‌ඛන්‌ධෙසු ඡන්‌දරාගො තං තත්‌ථ උපාදාන’’න්‌ති.(මජ්ඣිම නිකාය 03, චූළවෙදල්ල සූත්‍රය- පි.704)

ආර්‍ය්‍යාවෙනි, ඒ උපාදාන හා ඒ පඤචෝපාදානස්කන්ධහා එක් ම වේ ද? නොහොත් පඤචෝපාදානස්කන්ධපියා උපාදාන අනෙකෙක් වේ ද?ඇවැත විශාඛයෙනි, ඒ උපාදාන හා ඒ පඤචෝපාදානස්කන්ධ එකෙක් ම නොවේ. පඤචෝපාදානස්කන්ධ පියා උපාදාන නො ද අනෙකෙක් වෙයි. පඤචෝපාදානස්කන්ධ කෙරෙහි යම් ඡන්‍දරාගයෙක් ඇද්ද, ඒ එහි උපාදාන නම් වෙයි.

මෙහි විසාඛ උපාසක විමසනුයේ, “ආර්යාවෙනි, ඒ උපාදානය හා ඒ පඤ්චඋපාදානස්කන්ධය එකක්ම ද නැතහොත් උපාදානය, පංචඋපාදානස්කන්ධයන්ගෙන් අනෙකක්ද යනුවෙනි.එයට පිළිතුරු දෙන ධම්මදින්නා තෙරණිය පවසනුයේ විසාඛයෙනි, ඒ උපාදානයම ඒ උපාදානස්කන්ධයෝ නොවෙත්. පංචඋපාදානස්කධයන්ම හැර හෙවත් තොරව හෙවත් වෙන්ව උපාදානය නොවෙයි. ඒ පංචඋපාදානස්කන්ධය කෙරෙහි යම් ඡන්දරාගයක් වේද ඒ ඡන්දරාගය එහි උපාදානය යි යනුවෙනි.

මේ අනුව පංචඋපාදානස්කන්ධය යනු අනෙකක් බවත් උපාදාන සංඛ්‍යාත ඡන්දරාගය යනු අනෙකක් බවත් මනාව වැටහේ.

වරදවා ගත් මහා පුණ්ණම සූත්‍ර පාඨය

නව මතවාදීන් විසින් මහාපුණ්ණම සූත්‍රයෙහි මේ ආකාරයටම දක්වා ඇති දහම් පාඨය වරදවා ගැනීමෙන් මේ දෘෂ්ටි විපරීතයට පැමිණ ඇත. ඒ සූත්‍ර පාඨය ඉහත සතරවන මතවාදය යටතේ දක්වා ඇත. එහි “යෝ ඛෝ භික්ඛූ, පඤ්චුපාදානස්කන්ධේසු ඡන්දරාගෝ, තං තත්ථ උපාදානන්ති” යන පාඨය වරදවා ගත් නව මතධාරීහු රූපය කෙරෙහි ඇති ඡන්ද රාගය රූපූපාදානස්ඛන්ධයයි යනාදී වශයෙන් වැරදි ආකාරයට පංචඋපාදානස්කන්ධයට අර්ථ පවසත්. නමුත් භාග්‍යවතුන් වහන්සේ මෙහි පංචඋපාදානස්කන්ධ පදය වදාරා ඇත්තේ “පඤ්චුපාදානකන්ධේසු” යනුවෙන් සත්තමි විභක්ති අර්ථයෙනි. එයින් කියැවෙනුයේ “පංචඋපාදානස්කන්ධයන් කෙරෙහි” යන අර්ථයයි. ඒ අනුව “රූපූපාදානස්කන්ධය කෙරෙහි උපදින ඡන්දරාගය එහි උපාදානයයි, වේදනූපාදානස්කන්ධය කෙරෙහි උපදින ඡන්දරාගය එහි උපාදානයයි යනාදී වශයෙන් අර්ථ ගත යුතුය. මේ අනුව නවමතධාරීන් දක්වන එක් එක් උපාදානස්කන්ධයක් අරබයා උපදින එකම ඡන්දරාගයට නම් පහක් දීමේ අර්ථකථනය සාවද්‍ය බව මොනවට තහවුරු වේ. එබැවින් නුවණැත්තෝ එකම ඡන්දරාගයට නම් පසක් වශයෙන් දක්වන නවමතධාරීන්ගේ අර්ථක්‍රමය හැරපියා පෙර දක්වන ලද නයින් වෙන් වෙන් ලක්ෂණ පසක් ඇති උපාදානස්කන්ධයන් පසක් දක්වන අර්ථක්‍රමය ගෙන විපස්සනා වඩා නිවන් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ විය යුත්තාහ. මේ අනුව නවමතධාරීන්ගේ ඉහත දක්වන ලද සතරවන මතයද මැනවින් බිඳී යන්නේය.

සත්කායත් සත්කාය දිට්ඨියත් අතර වෙනස

ඉහත පස්වන සක්කාය දිට්ඨි කථාව සම්බන්ධයෙන් කිවයුත්තේ මෙසේය. එහිදී නවමතධාරීන් ඔවුන්ගේ ක්‍රමයෙන් පංචඋපාදානස්කන්ධ පසටම හෙවත් ඡන්දරාග පසටම “සත්කාය” යන පදය යොදන බව කීමෙන් සාම්ප්‍රදායික මතයෙහි එන “සක්කාය දිට්ඨිය යනු ආත්ම දිට්ඨිය” ය යන අර්ථය ප්‍රතික්ෂේප කරනු ලබයි. සාම්ප්‍රදායික මතයේ සක්කාය දිට්ඨියට අර්ථකථනය ඉදිරිපත් කරන්නේ මෙසේය.

  • තත්‌ථ කතමා සක්‌කායදිට්‌ඨි? ඉධ අස්‌සුතවා පුථුජ්‌ජනො අරියානං අදස්‌සාවී අරියධම්‌මස්‌ස අකොවිදො අරියධම්‌මෙ අවිනීතො සප්‌පුරිසානං අදස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස අකොවිදො සප්‌පුරිසධම්‌මෙ අවිනීතො රූපං අත්‌තතො සමනුපස්‌සති, රූපවන්‌තං වා අත්‌තානං, අත්‌තනි වා රූපං, රූපස්‌මිං වා අත්‌තානං. වෙදනං අත්‌තතො සමනුපස්‌සති, වෙදනාවන්‌තං වා අත්‌තානං, අත්‌තනි වා වෙදනං, වෙදනාය වා අත්‌තානං. සඤ්‌ඤං අත්‌තතො සමනුපස්‌සති, සඤ්‌ඤාවන්‌තං වා අත්‌තානං, අත්‌තනි වා සඤ්‌ඤං, සඤ්‌ඤාය වා අත්‌තානං. සඞ්‌ඛාරෙ අත්‌තතො සමනුපස්‌සති, සඞ්‌ඛාරවන්‌තං වා අත්‌තානං, අත්‌තනි වා සඞ්‌ඛාරෙ, සඞ්‌ඛාරෙසු වා අත්‌තානං. විඤ්‌ඤාණං අත්‌තතො සමනුපස්‌සති, විඤ්‌ඤාණවන්‌තං වා අත්‌තානං, අත්‌තනි වා විඤ්‌ඤාණං, විඤ්‌ඤාණස්‌මිං වා අත්‌තානං. යා එවරූපා දිට්‌ඨි දිට්‌ඨිගතං දිට්‌ඨිගහනං දිට්‌ඨිකන්‌තාරො දිට්‌ඨිවිසූකායිකං දිට්‌ඨිවිප්‌ඵන්‌දිතං දිට්‌ඨිසංයොජනං ගාහො පටිග්‌ගාහො අභිනිවෙසො පරාමාසො කුම්‌මග්‌ගො මිච්‌ඡාපථො මිච්‌ඡත්‌තං තිත්‌ථායතනං විපරියෙසග්‌ගාහො – අයං වුච්‌චති සක්‌කායදිට්‌ඨි. ( ධම්මසඞ්ගණී ප්‍රකරණය – නික්ෂෙපකාණ්ඩය – පි.386)

එහි සත්කායදෘෂ්ටි කවරෙ යත්:

මෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ ආර්‍ය්‍යයන් නො දක්නාසුලු වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අකොවිද (අදක්ෂ) වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූයේ, සත්පුරුෂයන් නො දක්නාසුලු වූයේ සත්පුරුෂධර්‍මයෙහි අකොවිද වූයේ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූයේ රූපය ආත්මයයි (ද්‍රෂ්ටිවශයෙන්) දකී. (සෙවණ ඇති රුකක් මෙන්) ආත්මය රූපවත් කොට හෝ, (මලෙහි සුවඳ මෙන්) ආත්මයෙහි රූපය හෝ, (කරඬුයෙහි මැණික මෙන්) රූපයෙහි ආත්මය හෝ දකී. වේදනාව ආත්මීය යි (ද්‍රෂ්ටිදර්‍ශනයෙන්) දකී. ආත්මය වේදනාවත් කොට හෝ, ආත්මයෙහි වේදනාව හෝ, වේදනායෙහි ආත්මය හෝ දකී. සංඥාව ආත්මයයි දකී. ආත්මය සංඥාවත් කොට හෝ, ආත්මයෙහි සංඥාව හෝ, සංඥයෙහි ආත්මය හෝ දකී. සංස්කාරයන් ආත්මය යි දකී. ආත්මය සංස්කාරවත් කොට හෝ, ආත්මයෙහි සංස්කාරයන් හෝ, සංස්කාරයන්හි ආත්මය හෝ දකී. විඥානය ආත්මය යි දකී. ආත්මය විඥනවත් කොට හෝ, ආත්මයෙහි විඥානය හෝ, විඥානයෙහි ආත්මය හෝ දකී. මෙබඳු වූ යම් ද්‍රෂ්ටියක ද්‍රෂ්ටිගතයෙක් ද්‍රෂ්ටිගහනයෙක් ද්‍රෂ්ටිකාන්තාරයෙක් ද්‍රෂ්ටිවිසූකායිකයෙක් ද්‍රෂ්ටිවිෂ්පන්දිතයෙක් ද්‍රෂ්ටිසංයොජනයෙක්, (දැඩිව) ගැනීමෙක් පිහිටාගැනීමෙක් (නිත්‍යාදි විසින්) අභිනිවෙශයෙක් පරාමර්‍ෂයෙක් කුත්සිතමාර්‍ගියෙක් මිත්ථ්‍යාපථයෙක්, මිත්ථ්‍යාස්වභාවයෙක් තීත්ථ්‍යායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ සත්කායදෘෂ්ටි යයි කියනු ලැබේ.

මෙහි කියන ලද “අත්ත” කියන පාලි පදයට “ආත්ම” යන අර්ථය යොදා ගත යුතුය යන්න සාම්ප්‍රදායික මතයයි. එම අර්ථය යොදා ගැනීමේ සාධාරණභාවය නවමතධාරීන්ගේ පළමු මතය බිඳිමින් දක්වන ලද පිළිතුරෙන් සාධනය වන්නේය. එසේම මොවුන්ගේ උපාදානස්කන්ධ කථාවද පෙර සතරවන මතයට දක්වන ලද පිළිතුරෙන් ප්‍රතික්ෂේපව ගිය හෙයින්, ඔවුන්ගේ ක්‍රමයෙන් කී පංචඋපාදානස්කන්ධය “සත්” හෙවත් යහපත් යැයි ගැනීම “සක්කාය දිට්ඨිය” යැයි කියන ඔවුන්ගේ , සත්කාය දිට්ඨි කථාවද එයින්ම බිඳී යන්නේය. එම නිසා “සක්කාය දිට්ඨිය” යනු “ආත්ම දිට්ඨිය” බවට නිවැරදි අර්ථය සපයන සාම්ප්‍රදායික මතයම බව නුවණැත්තෝ දරා ගත යුත්තාහ. මේ අනුව නවමතධාරීන්ගේ පස්වන මතයද මැනවින් බිඳී යන්න‍ේය.

මෙකල මේ ආකාරයට ත්‍රිපිටක ගත සූත්‍රවලට නානා අර්ථ සැපයීම නිසා සිදුව ඇති ශාසනිකහානිය සුළු පටු නොවේ. එසේම ඒ හරහා සමාජයේ අනෙක් පුද්ගලයෝද වැරදි දහම් අර්ථ ගෙන කටයුතු කිරීමෙන් ස්වර්ග මෝක්ෂ ආවරණය කර ගන්නාහ. මෙසේ මේ ආකාරයට උපදින සියලු මතවලට පිළිතුරු සැපයීම කාලයද අපතේ යන වෙහෙසකර ක්‍රියාවකි. එබැවින් ස්ථවිරවාදීහු මෙවැනි ගැටළු ඉදිරියේ බොහෝවිට නිහඬ වන්නාහ. අර්ථකථා ටීකා ආදියෙහි එන දහම් මත විකෘති කරමින් දක්වන මෙවැනි අදහස්වලට ඇතැම් විට ථෙරවාදීන් පිළිතුරු නොසැපයීම නිසා සාම්ප්‍රදායික දහම් අර්ථ වැරදි බවට ඇතැම්හු නිගමනය කරන්නාහ. එය එසේ නොවේ. ඉහත හේතුව නිසාම නිහඬ වන්නාහ.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනු ලැබූයේ “සද්ධාය තරති ඕඝං සද්ධාය තරති අණ්ණවං”, “සද්ධා බීජං තපෝ වුට්ඨි” යනාදී ලෙසින් මේ නිර්වාණගමනේදී ශ්‍රද්ධාවම පූර්වාංගම වන බවයි. ධර්ම සංගායක ක්ෂීණාස්‍රවයන් වහන්සේලාගේ පටන් ථෙරවාදී ඇදුරු පරපුර මේ නිර්මල ධර්මය ආරක්ෂා කරගෙන පැමිණියේ, වසර ගණන් පැවති මහා සාගත නියං කාලවලදී වැටකෙයියා පත්‍ර යුෂවළඳමින්, නෙළුම් දඬු වළඳමින්, අප්‍රාණික කයින් සයුරු තෙර එකිනෙකා හිසින් හිස තබා ගෙන වැතිරී සූත්‍ර සජ්ඣායනා කරමින්, මිනී කන්නන්ගෙන් ජීවිත ආරක්ෂා කර ගනිමින්, ආක්‍රමණ කාලවලදී සිවුරු හැඳියවුන් මරණ හෙයින් ගිහි වස්ත්‍ර පවා හැඳගෙන ආදී අප්‍රමාණ දුක් කම්කටළු දරාගෙන දිවි පරදුවට තබාගෙනය.

සිංහතෙල නම් ඉතා සිනිඳුය. ඉතා සියුම් සිදුරෙනුදු කාන්දු වන්නේය. තවද යම් ද්‍රව්‍යයන් අතුරින් මැණික් හා ස්වර්ණ වලින් තැනූ බඳුන්වල දැමූ තෙලක්ම කිසිවිටෙක කාන්දු නොවන්නේය. යම් සේ එබඳු මිණි බඳුනෙහි කනක බඳුනෙහි බහාළු එබඳු වූ සිංහ තෙල පවා කාන්දු නොවන්නේද, ආරක්ෂා වන්නේද, එසේම මේ ථෙරවාදී ආචාර්යන් වහන්සේලා මේ දහම් අර්ථ මඳකිනිදු වෙනස් නොකොටම රැගෙන ආහ. එබැවින් ශ්‍රද්ධාසම්පන්න කුලපුත්‍රයෝ මෙබඳු ලෙසින් ඇදුරු පරපුරෙන් පරපුරට රැගෙන ආ ඒ ත්‍රිපිටක අර්ථකථා ටීකා ටිප්පණි සන්න ගැටපද සංග්‍රහ ග්‍රන්ථ ආදියෙහි ග්‍රන්ථාරූඪ වූ දහම් අර්ථයම ගෙන එනයින් සමථ විපස්සනා වඩා “ඛීණා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්ථායාති අබ්භඤ්ඤාසිං” යනුවෙන් සිහිකොට අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවී සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන පිහිටුවා ගත යුත්තාහ.

-මහාවිහාරය වෙබ් අඩවිය වෙනුවෙනි-

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය

DOWNLOAD AS PDF

නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk