හැඳින්වීම

සර්වඥ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසරක් මුළුල්ලේ ලෝක සත්වයාගේ නිර්වාණ විමුක්තිය උදෙසා ධර්ම දේශනා කරමින් ලොවට දායාද කළ අති උත්තම දායාදය පරියත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ සංඛ්‍යාත බුද්ධශාසනයයි. එහිලා ත්‍රිපිටක බුද්ධවචනය පරියත්ති ශාසනය ලෙස හැදින්වේ. ශීල-සමාධි-විපස්සනාවෝ, තෙලෙස් ධුතාංග, තුදුස් කඳුවත් යනාදිය ප්‍රතිපත්ති ශාසනය වන අතර සතර මගඵල නිවන ප්‍රතිවේධ ශාසනයයි. මෙහිලා සම්බුදු සසුනේ චිර පැවැත්ම සඳහා පර්යාප්තියම මූලික වන බව පැරණි ඇදුරෝ පැවසූහ. ‘පඤ්ඤවා භික්ඛු පරියත්තිං සුත්වා ද්වෙපි පූරෙති. තස්මා පරියත්තියා ඨිතාය සාසනං ඨිතං හොති’ යනුවෙන් ‘යම් කලෙක නැණවත් භික්ෂුවක් වෙයිද හෙතෙමේ පරියත්තිය උගෙන ප්‍රතිපත්ති-ප්‍රතිවේධයන් ද සාක්ෂාත් කරගන්නා බව’ පැවසේ. එබැවින් පර්යාප්තිය හෙවත් ත්‍රිපිටක බුද්ධ වචනය නිසි පරිදි උගෙන, ශීල-සමාධි සංඛ්‍යාත ප්‍රතිපත්තිය පුරා සතර මගඵල නිවන් සාක්ෂාත් කරගැනීමෙන් සම්බුදු සසුනේ චිර පැවැත්ම තහවුරු වේ.

“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ඡිකරණත්ථාය….” යනුවෙන් සියලු දුකින් මිදීම පිණිස, නිවන් සාක්ෂාත් කරගනු පිණිස උතුම් පැවිදි බිමට පැමිණෙන කුලපුත්‍රයන් වහන්සේලා විශේෂයෙන්ම ත්‍රිපිටක බුද්ධවචනය නිවැරදි ක්‍රමවේදයට මැනවින් උගෙන සිය නිවන් ගමන සරි කරගැනීමට උත්සුක විය යුතුය. අංගුත්තර දුක නිපාතයේ බුදුපියාණන් වහන්සේ ‘මැනවින් උගත් පෙළ දහමත්, මැනවින් උගත් අටුවාවත් ඇති කල්හි සද්ධර්මයාගේ චිර පැවැත්ම සිදුවන බව’ පවසන බැවින් සද්ධර්මයේ චිර පැවැත්ම උදෙසා ත්‍රිපිටක බුද්ධවචනය පෙළ අර්ථකථා ඇසුරෙන්ම උගත යුතුය. එයද පෙළ අර්ථකථා සහිත ත්‍රිපිටකයෙහි මනා පරිචයක් ඇති, මාගධී(පාළි) භාෂාව පිළිබඳ හසල දැනුමක් ඇති ගුරු උතුමකු වෙතින් පෞරාණික අධ්‍යාපන ක්‍රමවේදය ඔස්සේම විය යුතුය. මෙසේ ත්‍රිපිටක ධර්මය උගෙනීමෙන් ලැබෙන ආනිසංස හතරක් (04) ඇතිබව අංගුත්තර චතුෂ්ක නිපාතයේ සෝතානුගත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එබැවින් නිර්වාණය පිණිස කටයුතු කරන සියලු දෙනාම පාහේ නිවැරදිව පෙළ, අර්ථකථා සහිතව ත්‍රිපිටක ධර්මය හදාරා ශීලාදී ප්‍රතිපත්තිය මැනවින් පූරණය කර, විදසුන් වඩා දුර්ලභව ලද බුද්ධ ශාසනයේ අග්‍රම ඵලය වන අති උත්තම නිර්වාණය සාක්ෂාත් කරගැනීමට වෙර දැරිය යුතුය.

නිවැරදිව ධර්මය අර්ථ වටහාගැනීමේ ක්‍රමවේදය

“ද්වෙමෙ, භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති. කතමෙ ද්වෙ? දුන්නික්ඛිත්තඤ්ච පදබ්‍යඤ්ජනං අත්ථො ච දුන්නීතො” යනුවෙන් අංගුත්තර දුක නිපාතයේ දී බුදුරජාණන් වහන්සේ වදාරණ පරිදි සද්ධර්මයේ විනාශය පිණිස, අතුරුදන් වීම පිණිස පවත්නා හේතු දෙකකි. එනම් උපිළිවෙලින් වරදවා ගත් පෙළ සහ වරදවා පෙරළා ගත් අටුවාද යන දෙකයි. ඒ අනුව බුදු පියාණන් වහන්සේ සිය ශ්‍රී මුඛයෙන්ම දේශනා කරන ආකාරයට යමෙක් ත්‍රිපිටක පෙළ ධර්මය පද පිළිවෙල මාරු කොට තෙරුම් ගන්නේ නම් හෝ අර්ථකථාව වරදවා පරිවර්තනය කරගෙන වැරදි ලෙස අර්ථ වටහා ගන්නේ නම් එය සද්ධර්මය අතුරුදන් වීමටද බලපාන හේතුවක් වේ. තවද “ඉධාවුසො සාරිපුත්ත, භික්ඛු අත්ථකුසලො ච හොති, ධම්මකුසලො ච, බ්‍යඤ්ජනකුසලොච, නිරුත්තිකුසලො ච, පුබ්බාපරකුසලො ච. එත්තාවතා ඛො, ආවුසො සාරිපුත්ත, භික්ඛු ඛිප්පනිසන්ති ච හොති කුසලෙසු ධම්මෙසු, සුග්ගහිතග්ගාහී ච, බහුඤ්ච ගණ්හාති, ගහිතඤ්චස්ස නප්පමුස්සතී ු ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, මේ සසුනෙහි භික්ෂුවක් අර්ථයෙහි හෙවත් අටුවාවෙහි දක්ෂ වෙයිද, පෙළ ධර්මයෙහි දක්ෂ වෙයිද, අක්ෂර ප්‍රභේදයෙහි දක්ෂ වෙයිද, නිරුක්ති වචනයන්හි දක්ෂ වෙයිද, පූර්ව-අපරය ගැලපීමෙහි දක්ෂ වෙයිද, ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, මෙපමණකින්ම භික්ෂුවක් කුසල ධර්මයන්හි ඉක්මනින් අසා නිවැරදිව දරන්නේද, මනාව ඉගෙන ගන්නේද, බොහෝ කොට ඉගෙන ගන්නේද, ඉගෙන ගත් දෙය නොනැසී පවත්නේ ද වන්නේය” යනුවෙන් අංගුත්තර පඤ්චක නිපාතයේ ආනන්ද මහ තෙරුන් වහන්සේ වදාරණ බැවින් භික්ෂුව විශේෂයෙන්ම අර්ථකථා සහිත ත්‍රිපිටක ධර්මය මැනවින් උගෙන එහිලා මනා පරිචයක් ඇති අයකු විය යුතුය.

මෙසේ ත්‍රිපිටක ධර්මය නිවැරදිව අර්ථ වටහාගැනීමේ පෞරාණික අධ්‍යයන ක්‍රමවේදයක් තිබූ බව ත්‍රිපිටකාගත මූලාශ්‍ර වලින් හෙළිවේ. බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩසිටි අවධියේ පවා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සංක්ෂිප්තව උගත් අභිධර්ම පිටකය සිය පන්සියයක් අතවැසි භික්ෂූන්ට වඩාත් සංක්ෂිප්තත් නොවූ විස්තාරත් නොවූ ආකාරයකට උගැන්වූ බව සඳහන් වේ. තවද උපාලි මහරහතන් වහන්සේ වෙතින් බොහෝ නවක, මධ්‍යම සහ ස්ථවිර භික්ෂූන් විනය පිටකය හැදෑරූ බව විනය පිටකයේ පාචිත්තිය පාළි විලේඛන සිකපද නිදානයෙහි සඳහන් වේ. එසේම සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්බිති ත්‍රිපිටකයේ එකිනෙක නිකායයන් කටපාඩමින් දරාගෙන පවත්වා ගැනීමට ඇදුරු පරපුර වශයෙන් නියම කරගෙන පවරා දෙන ලදී. එදා පටන් භාණක පරම්පරාවලින් පැවතගෙන ආ මෙම ධර්මය හැදෑරීමේ ක්‍රමවේදය වන්නේ බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනය වන පෙළ දේශනය, එහි අර්ථ විග්‍රහ කෙරෙන අර්ථකථාව ඇසුරෙන් ඇදුරුවරයකු හමුවේ අසා දැනගැනීමයි. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේම භික්ෂූන් උදෙසා ආචරිය-උපාධ්‍යාය වත් පිළිවෙත් පැනවීමේ දී “සචෙ උද්දිසාපෙතුකාමො හොති, උද්දිසිතබ්බො. සචෙ පරිපුච්ඡිතුකාමො හොති, පරිපුච්ඡිතබ්බො” යනුවෙන් දේශනා කර ඇත්තේය. මෙහි ‘උද්දිසිතබ්බො’ යන්නෙන් පෙළ කියවා ගැනීමද, ‘පරිපුච්ඡිතබ්බො’ යන්නෙන් අර්ථකථාව අසා දැනගැනීමද අදහස් වේ. එබැවින් සම්බුද්ධ ශාසනයෙහි අනාගත චිරපැවැත්ම අපේක්ෂා කරන අය මෙන්ම සිය හුදු නිස්සරණය අපේක්ෂා කරන අයද ගුරුන් වෙතින් පෙළ-අටුවා සහිත ත්‍රිපිටක ධර්මය උගත යුතු වේ. එපමණක්ද නොව අටුවා වලින් තොරව ධර්මයෙහි අර්ථ වටහාගත හැකි යැයි පවසමින්, ත්‍රිපිටක සිංහල පරිවර්තන පිහිට කොටගෙන තම තමාට හිතු මනාප ලෙස ධර්මයට අර්ථ දැක්වීම් ඉදිරිපත් කරමින්, ගිහි පැවිදි බොහෝ පිරිස් මුලාවට පත් කරමින් උපායයෙන් බුදු දහම විනාශ කිරීමට වෑයම් කරන්නවුන් ගෙන් ද ප්‍රවේසම් විය යුතුය.

අර්ථකථාව යනු කුමක්ද?

“ද්වෙමා, භික්ඛවෙ, තථාගතස්ස ධම්මදෙසනා. කතමා ද්වෙ? සංඛිත්තෙන ච විත්ථාරෙන ච. ඉමා ඛො, භික්ඛවෙ, ද්වෙ තථාගතස්ස ධම්මදෙසනා” යනුවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනය සංක්ෂිප්ත හා විස්තාරික වශයෙන් දෙයාකාර බව අංගුත්තර දුක නිපාතයේ සඳහන් වේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ඒ ඒ අවස්ථාවෙහි ධර්ම දේශනයට නිමිති වන නිදාන පුද්ගලාදිය අනුව ඒ ඒ ශ්‍රාවකයන්ගේ අවබෝධ කරගැනීමේ ශක්තිය මත විටෙක සංක්ෂිප්තවද, විටෙක විස්තරාත්මකවද ධර්මය දේශනා කළ සේක. ධර්ම ශ්‍රවණය කරන අයගේ ආසය-අනුසය සහ ඉන්ද්‍රිය ධර්මයන් වැඩී ඇති අන්දම දැනගෙනම ධර්ම දේශනා කරන බැවින් මෙකී ඇතැම් විස්තරාත්මක දේශනයක් අතිශය දීර්ඝ වේ. අත්ථසාලිනී ධම්මසංගණී අටුවාවේ දැක්වෙන අන්දමට බුදුරජාණන් වහන්සේලාගේ දාන අනුමෝදනා ධර්මදේශනය මඳක් වැඩි කොට දේශනා කරන කල්හි දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය තරම් දීර්ඝ දේශනයක් වේ. පසුබතෙහි ධර්ම ශ්‍රවණයට පැමිණි පිරිස උදෙසා කරනු ලබන දේශනය සංයුත්තනිකාය, අංගුත්තරනිකාය යන මහා නිකාය දෙකම තරම් ප්‍රමාණයක් වේ. එසේම සිකපද පැනවීමේ දී ද ශික්ෂාකාමී වූ සංවරයෙහි පිහිටි ඇතැම් භික්ෂූන් සෝතාපත්ති-සකදාගාමී-අනාගාමී-අරිහත් ඵලයන්හි පිහිටුවමින් ද දීඝනිකාය ප්‍රමාණවූද, මජ්ක්‍ධිමනිකාය ප්‍රමාණවූද ධර්මදේශනයක් කරන බව සමන්තපාසාදිකා විනය අර්ථකථාවේ සඳහන්වේ. මෙසේ විස්තරාත්මක දේශනය වුවද තවදුරටත් අනන්ත අපරිමාණ නය ලෙස දැක්විය හැකි බැවින්ම මජ්ධිමනිකායට්ඨකථාවෙහි ‘බුද්ධානං කිර සබ්බාපි ධම්මදෙසනා සංඛිත්තාව, විත්ථාරදෙසනා නාම නත්ථි, සමන්ත පට්ඨානකථාපි සංඛිත්තායෙව’ යැයි කියන ලදී. මෙසේ ශ්‍රාවකයන් හට ආර්ය සත්‍යාවබෝධය දක්වා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සමස්ථ ධර්මදේශනය තථාගත වචනයයි. එතකුදු වුවත් ඒ සමස්ථ බුද්ධ වචනය ත්‍රිපිටක පාළියෙහි ඇතුළත් නොවන බව පැහැදිලි වේ.

මෙසේ සංක්ෂිප්ත හා විස්තාර යන ද්විප්‍රකාර බුද්ධ දේශනය අතරින් සංක්ෂිප්ත දේශනය වන මූලික න්‍යායාත්මක ධර්ම කොට්ඨාසයන්ගෙන් සමන්වාගත සූත්‍ර දේශනය පෙළ වශයෙන් සංග්‍රහ වූ අතර එහිලා බුදුන්වහන්සේගේම විස්තරාත්මක අර්ථ විවරණය හෙවත් ප්‍රකීර්ණක ධර්ම දේශනය අර්ථකථාව ලෙස පෙළෙන් වෙන්ව සංග්‍රහ විය. එබැවින් මහා ප්‍රාඥ පුරාණ ටීකා ඇදුරුවරු පවා “තත්ථ තත්ථ භගවතා පවත්තිතා පකිණ්ණකදේසනායෙව හි අට්ඨකථා ුභාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ඒ තැනදී දේශනා කරන ලද විස්තාර දේශනය ම අර්ථකථාව නම් වේ” යැයි කීහ. ප්‍රථම ධර්මසංග්‍රාහක ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා මෙම අර්ථකථාව පෙළෙන් වෙන් කොට සමස්ථ ත්‍රිපිටකයටම සාධාරණ අර්ථ විග්‍රහයක් ලෙස සංග්‍රහ කළ බැවින් එය පෙළෙන් මිදුණු ඔක්කන්තික ධර්ම දේශනය ලෙසද හැඳින්වේ.

“යා යත්ථං අභිවණ්ණෙන්ති බ්‍යඤ්ජනත්ථං පදානුගං
නිදානවත්ථුසම්බන්ධං එසා අට්ඨකථා මතා” යැයි පැරණි ඇදුරෝ සඳහන් කළ බැවින් බ්‍යඤ්ජනාර්ථය, පදගතාර්ථය, නිදානය, වස්තුව, පූර්වාපර සම්බන්ධය යන පසෙන් යමෙක්, යමක අර්ථ වර්ණනය කෙරෙත්ද, එය අර්ථකථා යැයි දන්නේය. මෙය නිරුක්ති නයානුසාරයෙන් “අත්ථො කථීයති එතායාති අත්ථකථා. ත්ථකාරස්ස ට්ඨකාරං කත්වා අට්ඨකථා” යනුවෙන් ‘එය කරණ කොටගෙන අර්ථය කියන්නේනුයි අත්ථකථා (අර්ථකථා) නම් වේ, ත්ථ කාරයට ට්ඨ කාරය කොට එයම අට්ඨකථා වේ’ යැයි ද පවසන ලදී. මේ අනුව පැහැදිලි වන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද අති ගාම්භීර ධර්ම කොට්ඨාශයන්හි අර්ථ විග්‍රහ කිරීම අර්ථකථාව මගින් සිදුවන බවයි. මෙය වනාහී ත්‍රිපිටක ධර්මයෙහිම කොටසක් බවට පත් වන්නේ එකී අර්ථ විවරණයෙන් තොරව ඒ පරම ගාම්භීර ධර්මය තත්වූ පරිද්දෙන් වටහා ගත නොහැකි බැවිනි.

අර්ථකථාව කාගේ දේශනයක්ද?
බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැනදී දේශනා කරන ලද ප්‍රකීර්ණක ධර්ම දේශනය මුල් කරගෙන ඇති අර්ථකථාව ශාරිපුත්‍රාදී සමීපචාරී මහරහතන් වහන්සේලාගේ ඇතැම් දේශනාවන්ද සංග්‍රහ කරමින් ප්‍රථම ධර්ම සංගායනාවේදී සංගායනාවට බඳුන් විය. ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශිත මධුපිණ්ඩික සූත්‍රය ආදී සූත්‍ර දේශනා බුද්ධ භාෂිතයන් වූවා මෙන්ම අර්ථකථාවද බුද්ධ භාෂිතයක් වේ. මන්ද බුදුරජාණන් වහන්සේගේ ධර්ම න්‍යායයන්හි පිහිටා මිස අන් ලෙසකින් ශ්‍රාවකයන් වහන්සේ නමකට හෝ ධර්මයට අර්ථ විවරණ සැපයිය නොහැකි බැවිනි. ඒ බව පුරාණ ටීකා ඇදුරුතුමන් “න හි භගවතො වචනං වචනානුලොමඤ්ච අනිස්සාය අග්ගසාවකාදයොපි අත්තනො ඤාණබලෙන සුත්තාභිධම්මවිනයෙසු කඤ්චි සම්මුතිපරමත්ථභෙදං අත්ථං වත්තුං සක්කොන්ති යනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඇසුරු කොට නොගෙන අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට පවා ත්‍රිපිටකයේ අර්ථ විවරණයක් කළ නොහැකි බව” පැවසූහ.

බුදුරජාණන් වහන්සේ විසින්ම මෙම අර්ථකථාවද බුද්ධභාෂිත ත්‍රිපිටක ධර්මයෙහිමලා සැලකූ බව ‘ධම්මො නාම බුද්ධභාසිතො, සාවකභාසිතො, ඉසිභාසිතො, දෙවතාභාසිතො, අත්ථූපසංහිතො, ධම්මූපසංහිතො’ යන බුදුවදනින් පැහැදිලි වේ. බුද්ධ වචනයෙහි අර්ථ විග්‍රහය හෙවත් අර්ථකථා නිශ්‍රිත වූව මෙහිලා අත්ථූපසංහිත යැයි හැඳින්වේ.

අටුවා පරිවර්තනය හා වර්තමානයේ ඇති අටුවා සංග්‍රහ
බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මාහිමියන් විසින් ලක්දිවට බුදු දහම රැගෙන ඒමේදී ත්‍රිපිටක පාළියත්, එහි අර්ථ විග්‍රහ කෙරෙන අර්ථකථාවත් රැගෙන පැමිණි අතර පසුකාලීනව වැඩසිටි සිංහල මහරහතන් වහන්සේලා අටුවාව සිංහල බසින් පවත්වාගෙන ආහ. එය හෙළ අටුවාව යැයිද හැඳින්වේ. වළගම්බා රජ දවස මෙම අර්ථකථාව සහිත සමස්ථ ත්‍රිපිටකය මහ රහතන් වහන්සෙලා විසින් ග්‍රන්ථාරූඪ කරන ලද අතර බුද්ධ වර්ෂ 953 දී පමණ ලක්දිවට වැඩම කළ මහා ප්‍රාඥ අනුබුද්ධ බුද්ධඝෝෂ මහ ඇදුරුපාණන් විසින් නැවතත් එම සිංහල අටුවා විදේශීය ධර්මකාමීන්ගේ ප්‍රයෝජනය පිණිසත්, නිකායාන්තර මත හා මිශ්‍රවීම වළක්වනු පිණිසත් මාගධී(පාළි) භාෂාවට නගන ලදී. එහිදී තවදුරටත් එවකට වැඩසිටි මහා ප්‍රාඥ වූ ත්‍රිපිටකධර මහරහතන් වහන්සේලාගේ ධර්ම විනය විනිශ්චයන්ද ඇතුළත් කර ඇති අතර ඒවා අටුවාව ලෙස නොව ආචරියවාද ලෙස පැහැදිලිව වෙන්ව දක්වා ඇත. ඊට අමතරව සන්සන්දනය සඳහා වෙනත් මතවාදයන්ද, කරුණු පැහැදිලි කිරීම සඳහා යම් යම් කථාවස්තූන්ද, ඉතිහාසගත තොරතුරුද දක්වා ඇත. එහෙත් ඒ සියල්ල පැරණි අටුවාවෙන් පැහැදිලිව වෙන්කොට දක්වා ඇත. ඒ අනුව වර්තමානයේ ඇති අර්ථකථාව නම් එසේ බුද්ධ කාලයේ පටන්ම පැවත එන, ධර්ම විනය විනිශ්චයන් පැහැදිලි කිරීම සඳහා ථෙරවාද හා කථාවස්තූන්ද ඇතුළත් කරන ලද අර්ථකථාවම වේ. එබැවින් ඇතැම් කරුණු හරිහැටි නොදත් අයෙක් වර්තමානයේ ඇති අටුවා තුළ සංග්‍රහ කොට ඇති එබදු ථෙරවාද හෝ කථාවස්තු සලකාගෙන අටුවාව පිටුදකින්නේ නම් හෝ එය අබුද්ධ භාෂිතයක් යැයි සඳහන් කරන්නේ නම් එය ඔවුන්ගේ අනවබෝධයම වේ. මන්ද ඉහත දැක්වූ පරිදි ගුරුවරුන් ඇසුරේ නිසි පරිදි අර්ථකථා සහිත ත්‍රිපිටකය හදාළ අයකුට අටුවාව කුමක්ද? ථෙරවාදය හා කථාවස්තුව කුමක්ද? පිළිගත යුතු විනිශ්චය කුමක්ද? යන්න තෝරා බේරා ගැනීම අපහසු නොවන බැවිනි.

ත්‍රිපිටකයේ නිවැරදි අර්ථ වටහාගැනීම සඳහා අර්ථකථාවේ ඇති වැදගත්කම
බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැනදී කරන ලද විස්තරාත්මක ධර්ම දේශනය අර්ථකථාව බව ඉහත දක්වන ලදී. ඒ අනුව කෙටියෙන් මාතෘකා පමණක් දේශනා කරන ලද පෙළ දේශනයේ අර්ථ වටහා ගැනීම සඳහා එම විස්තරාත්මක දේශනා සංඛ්‍යාත අර්ථකථාව පරිශීලනය කළ යුතුම වේ. එසේ භාග්‍යවතුන් වහන්සේගේම වචනය ඇසුරු නොකර ශාරිපුත්‍රාදී අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට වුවද ධර්මයෙහි එන සම්මුති-පරමාර්ථ භේදයන් පැවසීමට නොහැකි නම්, වර්තමානයේ සිටින අය පිළිබඳ කවර කථාද? අර්ථකථාව බැහැර කොට හුදු පෙළ දේශනය පමණක් ඇසුරු කොට ගෙන අර්ථ දැක්වීම් ඉදිරිපත් කරන අය විසින් සම්මුති-පරමාර්ථ භේදය පටලවාගෙන විකෘති අර්ථ දැක්වීම් වර්තමානයේ දක්නට ලැබීමෙන් මෙය මනාව ප්‍රකට වේ.
අර්ථකථාව බැහැර කොට ධර්මයේ අර්ථ වටහා ගත නොහැකි බව ත්‍රිපිටකය තුළින්ම විද්‍යාමාන වන අවස්ථා ඇත. එබඳු අවස්ථා කිහිපයක් පමණක් මෙම කෙටි පැහැදිලි කිරීමෙන් ඉදිරිපත් කරන්නෙමු.

(1) බද්ධසීමා අනුදැනීම
සීමාව යනු සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වන උපසම්පදාව කෙරෙහි ඍජුවම බලපාන්නා වූ සාධකයක් වේ. බුදුරජාණන් වහන්සේ විනය පිටකයේ මහාවග්ගපාළි උපෝසථක්ඛන්ධකයේ සීමා සම්මුතිය පිළිබඳව “අනුජානාමි, භික්ඛවෙ, සීමං සම්මන්නිතුං. එවඤ්ච පන, භික්ඛවෙ, සම්මන්නිතබ්බා – පඨමං නිමිත්තා කිත්තෙතබ්බා – පබ්බතනිමිත්තං, පාසාණනිමිත්තං, වනනිමිත්තං, රුක්ඛනිමිත්තං, මග්ගනිමිත්තං, වම්මිකනිමිත්තං, නදීනිමිත්තං, උදකනිමිත්තං. නිමිත්තෙ කිත්තෙත්වා බ්‍යත්තෙන භික්ඛුනා පටිබලෙන සඩ්ඝො ඤාපෙතබ්බො -‘සුණාතු මෙ, භන්තෙ, සඩ්ඝො…. ” යනාදී ලෙසින් අනුදත් සේක. එහෙත් මෙම බද්ධසීමාවක් පිළිබඳව නිමිති කීර්තනය කරන ආකාරයන්, ඒ නිමිති පිළිබඳ විනිශ්චයන්, සීමා සංකර දෝෂයන් පිළිබඳව පෙළෙහි විස්තරාත්මක පැහැදිලි කිරීමක් නොම පැමිණේ. එබැවින් උපෝසථක්ඛන්ධක අර්ථකථා පරිශීලනයෙන් තොරව සීමා සම්මුතියක් නිවැරදිව, විනයානුකූලව සිදු කිරීම කළ නොහැක්කකි.
අර්ථකථාව බැහැරකොට පෙළ දේශනය මත පමණක් යැපෙන අයට නිවැරදිව බද්ධසීමා සම්මුතියක් හෝ උදකුක්ෂේප සීමාවක් ඇතිකර ගත නොහැකි බැවින් එයින් සම්බුදු සසුනේ පැවැත්ම තීරණය වන උපසම්පදාව පවා ලොවෙන් අතුරුදන් වීමේ අවදානමක් පවතින බව නුවණැතියන්ට වැටහේවා.

(2) ධුතාංග පිළිබඳ සඳහන් කිරීම්
පරියාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසනයෙහි ප්‍රතිපත්ති ශාසනය තුළ වැදගත් අංගයක් වන ධුතාංග පිළිබඳව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ආරඤ්ඤික සූත්‍ර ආදී සූත්‍රාන්ත දේශනා ගණනාවක වදාළ සේක. එහෙත් කිසිදු පෙළ දේශනයක එකී ධුතාංග සමාදන් වන ආකාරය, ආරක්ෂා කරන ආකාරය, බිඳෙන ආකාරය ආදිය සඳහන් නොවේ. ඒ පිළිබඳව තොරතුරු විශුද්ධිමාර්ගය ඇතුළු අර්ථකථාවන්ගෙන්ම ගතයුතු වේ. එබැවින්ද අර්ථකථාවන්ගෙන් තොරව ධර්ම අර්ථ වටහාගත නොහැකි වේ.

(3) කසිණසමාපත්ති පිළිබඳව
දීඝ නිකායේ සංගීති සූත්‍රය, දසුත්තර සූත්‍රය යනාදී සූත්‍ර වලත්, මජ්ක්‍ධිමනිකායේ මහා සකුළුදායී සූත්‍රය ආදී සූත්‍රදේශනා ගණනාවකද, අභිධර්ම පිටකයේද බුදුරජාණන් වහන්සේ පඨවි ආදී කසිණ භාවනා පිළිබඳව දේශනා කරන සේක. එහෙත් ඒ කිසිදු පෙළ දේශනයක කසිණභාවනා වඩන ආකාරයක් සඳහන් නොවේ. ඒ පිළිබඳව විස්තරාත්මක පැහැදිලි කිරීම විශුද්ධිමාර්ගය ඇතුළු අර්ථකථාවන්ගෙන්ම දතයුතුය. ඒ නිසාම ඇතමුන් මෙම කසිණ භාවනා අබුද්ධ දේශනා ලෙස හඳුන්වන බවද අසන්නට ලැබේ. එමගින් ත්‍රිපිටක පෙළ දේශනයද අභියෝගයට ලක් වන බව පැවසිය යුතු වේ. එබැවින්ද අර්ථකථාවන්ගෙන් තොරව ධර්ම අර්ථ වටහාගත නොහැකි වේ.

(4) සත්සතිය
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව බෝ මැඩ සමීපයේ සත්සති ගෙවූ බව කවුරුත් පාහේ පිළිගන්නා සත්‍යයකි. එබැවින් පැරණි ඇදුරෝ “පඨමං බෝධි පල්ලංකං ….” ආදී ගාථාවන්ද භාවිතා කළහ. එහෙත් ත්‍රිපිටක පෙළෙහි සත්සති ගෙවූ ස්ථාන පිළිබඳව සඳහන් නොවේ. විනය පිටකයේ මහාවග්ගපාළි බෝධිකථාවෙහි “අථ ඛො භගවා සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා බොධිරුක්ඛමූලා යෙන අජපාලනිග්‍රොධො තෙනුපසඩ්කමි” යනුවෙන් බෝමැඩ සත්දිනක් සමවත් සුවයෙන් වැඩ හිඳින තථාගතයන් වහන්සේ ඉක්බිති අජපාල නුගරුක වෙත වැඩම කළ බව දැක්වේ. ඒ අනුව තථාගතයන් වහන්සේ දෙවැනි සතියෙහි අජපල් නුගරුක වෙත වැඩම කළ බවක් හැඟෙන අතර බුද්ධත්වයෙන් සත් සතියක් නොව සිව් සතියක් විවේක සුවයෙන් වැඩසිටි බව හැඟේ. සමන්තපාසාදිකා විනය අර්ථකථාවෙහි මෙය නිරවුල් කරමින් අජපල් නුගරුක වෙත වැඩම කිරීමට පෙර තවත් සති තුනක් අනිමිසලෝචන පූජාවෙන්, රුවන් සක්මනෙන් සහ රතනාඝරයෙහි අභිධර්මය සම්මර්ශණය කරමින් ද වැඩ සිටි බව දැක්වේ. එබැවින්ද අර්ථකථාවන්ගෙන් තොරව ධර්ම අර්ථ වටහාගත නොහැකි වේ.

(5) අප්පිච්ඡ ආදී ඇතැම් පද
1. රථවිනීත සූත්‍රයෙහි දී භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ අබියස පවසනුයේ පුණ්ණමන්තානිපුත්ත තෙරුන් වහන්සේ තමා අල්පේච්ඡව (අප්පිච්ඡො) භික්ෂූන්ටද අල්පේච්ඡ බව පිළිබඳ කථා කරන බවයි. මෙහි එන අප්පිච්ඡ යන වචනය අප්ප+ඉච්ඡ කියා විසන්ධි කළවිටිතෘෂ්ණාව මඳක් ඇති’ යන අර්ථයක් ලැබේ. එහෙත් උන්වහන්සේ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් බැවින් එබඳු අර්ථයක් ගතහොත් එය මිථ්‍යා දෘෂ්ටියකි. එබැවින් තත් අර්ථකථාවෙහි මෙය නිරවුල් කොට තිබේ.

2. ධම්මපදපාළි, දණ්ඩවග්ගයෙහිද මෙවැනිම අර්ථකථනයක් වේ. එහි “සබ්බෙ තසන්ති දණ්ඩස්ස, සබ්බෙ භායන්ති මච්චුනො” යන ගාථාවෙහි සියලු සත්වයෝ දණ්ඩනයෙන් තැතිගන්නා බවත්, මරණයට බිය වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇති නමුත් ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා කිසිලෙසකින් බියට පත්නොවෙත්. එබැවින් එහි පෙළ දේශනයෙහි එන ‘සබ්බෙ’ යන පදයේ අර්ථය ගැනීමේදී රහතන්වහන්සේ අතහැර අර්ථ ගතයුතු බව අර්ථකථාවේ දැක්වේ.

3. විනය පිටකයෙහි පාචිත්තියපාළි, ආවසථ පිණ්ඩ සිකපදයෙහි දැක්වෙන පරිදි දොර දන් හලකින් දන් වැළදූ සවග භික්ෂූන් හට එහිම නැවතී දන් වැළදීමේ අදහසක් වී “කිං මයං කරිස්සාම ආරාමං ගන්ත්වා හීය්‍යොපි ඉධෙව ආගන්තබ්බං භවිස්සති” යනුවෙන් සිතා එහිම නැවතී දන් වැළදූහ. මෙහි ‘හීය්‍යො’ යන අතීතකාලවාචී නිපාතයෙන් අදහස් වන්නේ ‘හෙටදින’ යන්න බව අර්ථකථාවෙහි දැක්වේ. ඒ අනුව ‘අපි කුමක් කරම්ද? ආරාමයට ගොස් හෙටදිනද මෙහිම පැමිණියයුතු වන්නේය’ යනුවෙන් අර්ථ ගතයුතු වේ. එසේ නොවුවහොත් ‘ඊයේ දිනයේ ද මෙහිම පැමිණිය යුතු වන්නේය’ යන විසුළු අර්ථයක් ලැබේ.

(6) ජාතක දේශනා, ධම්මපද නිදාන කථා, එතදග්‍රපාළියේ එන චරිත පිළිබඳ අතීත කථා
ජාතක පාළියෙහි එන ඒකක-දුක ආදී නිපාත වශයෙන් සංගෘහිත ගාථා පමණක් ත්‍රිපිටක පාළියෙහි සංග්‍රහ වී ඇත. ඊට අදාළ අතීත කථා ප්‍රවෘත්තිය කිසිදු ලෙසකින් ඒ ගාථා තුළින් පමණක් ප්‍රකට නොවේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් පූර්වාපර සන්ධි ගලපමින් එම අතීත කථා ප්‍රවෘත්තීන් දේශනා කරන ලද බව පිළිගතයුතු අතර ඒවා ජාතක අර්ථකථාවෙන් විස්තර වශයෙන් දතයුතු වේ.
එසේම ධම්මපද පාළියෙහි එන ‘මනොපුබ්බඩ්ගමා ධම්මා’ ආදී වූ ගාථා 423 පමණක් ඛුද්දක නිකායෙහි එන ධම්මපද පෙළෙහි සඳහන් වන අතර තවත් තැන් වල තදනුබද්ධ ඇතැම් සිදුවීම් පමණක් සඳහන් වේ. එතකුදු වුවත් එකී ගාථා දේශනා කිරීම හා සම්බන්ධ ඇතැම් කථා ප්‍රවෘත්තීන් කිසිදු පෙළ දේශනයක සඳහන් නොවේ. ඒ සඳහා එහි අර්ථකථාව පරිශීලනය කළයුතු වේ.
අංගුත්තර ඒකක නිපාතයෙහි ඒතදග්‍රපාළියෙහි භාග්‍යවතුන් වහන්සේ එකිනෙක භික්ෂු-භික්ෂුණී-උපාසක-උපාසිකා යන අයට ඒතදග්‍රස්ථාන පිරිනැමූ බව සඳහන් වේ. උන්වහන්සේලාගේ අතීත කථාප්‍රවෘත්තීන් එකී පෙළ දේශනාවෙහි නොම පැමිණෙන අතර එහි අර්ථකථාවෙන් බලාගත යුතු වේ. එබැවින්ද අර්ථකථාවන්ගෙන් තොරව ධර්ම අර්ථ වටහාගත නොහැකි වේ.

(7) ගෝතමී සූත්‍රය
අංගුත්තර අට්ඨක නිපාතයෙහි ගෝතමී සූත්‍රයෙහි සහ විනය පිටකයේ චුල්ලවග්ග පාළි භික්ඛුණී ඛන්ධකයේ මහා ප්‍රජාපතී ගෝතමියගේ යාචනය අනුව මාගමට පැවිද්ද අනුදැන වදාළ අවස්ථාවේ බුදුන්වහන්සේ ආනන්ද මාහිමියන් අමතා දේශනා කරන්නේ “සචෙ, ආනන්ද, නාලභිස්ස මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජං, චිරට්ඨිතිකං, ආනන්ද, බ්‍රහ්මචරියං අභවිස්ස, වස්සසහස්සමෙව සද්ධම්මො තිට්ඨෙය්‍ය. යතො ච ඛො, ආනන්ද, මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො, න දානි, ආනන්ද, බ්‍රහ්මචරියං චිරට්ඨිතිකං භවිස්සති. පඤ්චෙවදානි, ආනන්ද, වස්සසතානි සද්ධම්මො ඨස්සති….” යනුවෙන් මාගමට පැවිද්ද නොම අනුදැන වදාළේ නම් සද්ධර්මය වසර දහසක් කල් පවතින බවත් මාගමට පැවිද්ද අනුදැනීම හේතුවෙන් එය හරි අඩක් අඩුවන බවත්, අෂ්ට ගරුධර්ම පැනවීම හේතුවෙන් එය යළිත් වසර දහස දක්වා වන බවත්ය. මේ අනුව පෙළ දේශනයෙන් ගම්‍ය වන්නේ සද්ධර්මයේ ආයුෂ වසර දහසක් පමණක් බවයි. එහෙත් තත් අර්ථකථාවෙහි “වස්සසහස්සන්ති චෙතං පටිසම්භිදාපභෙදප්පත්ත ඛීණාසවානං වසෙනෙව වුත්තං, තතො පන උත්තරිපි සුක්ඛවිපස්සක ඛීණාසවවසෙන වස්සසහස්සං, අනාගාමිවසෙන වස්සසහස්සං, සකදාගාමිවසෙන වස්සසහස්සං, සොතාපන්නවසෙන වස්සසහස්සන්ති එවං පඤ්චවස්සසහස්සානි පටිවෙධසද්ධම්මො ඨස්සති = තෙළ වසර දහසක් යන්න ප්‍රතිසම්භිදාප්‍රභේදප්‍රාප්ත ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාගේ වශයෙන් වදාරන ලදී. ඉන් මත්තෙහිදු ශුෂ්කවිපස්සක ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාගේ වශයෙන් වසර දහසකි. අනාගාමී ආර්යයන් වහන්සේලාගේ වශයෙන් වසර දහසකි. සකදාගාමි ආර්යයන් වහන්සේලාගේ වශයෙන් වසර දහසකි. සෝතාපන්න ආර්යයන් වහන්සේලාගේ වශයෙන් වසර දහසකි යැයි මෙසේ වසර පන්දහසක් ප්‍රතිවේධ සද්ධර්මය පවතී” යනුවෙන් සඳහන් වන බැවින් වසර පන්දහසක් පරියත්ති-ප්‍රතිවේධ සද්ධර්මයට ආයු ඇති බවත් සලකා ගතයුතු වේ. ඒ අනුව අර්ථකථාගත විවරණය ඉවත් කළහොත් වර්තමානයේ බුදුසසුනක් නොමැතිය යන අඳුරු දෘෂ්ටියට පත්වනු ඇත.
මෙවැනි තවත් බොහෝ ස්ථාන ත්‍රිපිටකය පරිශීලයෙන් දතහැකි අතර ඒ පිළිබඳව වෙනම ම ග්‍රන්ථයක් වුවද සම්පාදනය කළහැකි තරම් වේ. එහෙත් මෙහිලා දීර්ඝ වන බැවින් මෙපමණකින්ම අර්ථකථාවෙන් තොරව ත්‍රිපිටකයෙහි අර්ථගැනීම තබා සසුනෙහි පැවිදි උපසම්පදාවක් හෝ කළ නොහැකි බව පැවසිය යුතු වේ.

අර්ථකථා පිළිබඳව ඇති දුර්මත
සංයුක්ත නිකායෙහි කස්සප සංයුක්තයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ ලෝකයේ රත්රන් අතුරුදහන් වන ආකාරයට ලොවෙන් සද්ධර්මයද අතුරුදහන් වන බවයි. ඒ අනුව රත්රන් වලට ප්‍රතිරූපක බිහිවන්නාසේ සද්ධර්මයට ප්‍රතිරූපක බිහිවෙමින්, චිරාත් කාලයක් ථේරවාදී බෞද්ධයන්ගේ අත්‍යාදරයට පත් අර්ථකථා සහිත ත්‍රිපිටකය වර්තමානයේ අභියෝගයට ලක්ව තිබේ. එකී අර්ථකථාවෙහි ඇති සප්‍රයෝජනත්වය ඉහත දැක්වූ අතර ඒ පිළිබඳව ඇති දුර්මත කිහිපයක් මෙසේ ඉදිරිපත් කරමු.

1. බුදුගොස් ඇදුරුපාණෝ අටුවා පරිවර්තනයේදී එවකට පැවති හෙළ අටුවාව වෙනස් කළ බව.
මෙය අර්ථකථා පිළිබඳ නොදැනුවත්කම මත ඉදිරිපත් කරන අදහසකි. බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේ අර්ථකථා කරණයේදී සිදුකළ කාර්යභාරය පිළිබඳව සෑම අර්ථකථාවකම පාහේ ආරම්භක ගාථා වලින් දැක්වේ. ඒ අනුව දීඝ-මජ්ක්‍ධිම-අංගුත්තර-සංයුක්ත නිකාය අට්ඨකථාවන්හි
“අපනෙත්වාන තතෝහං – සීහලභාසං මනෝරමං භාසං: තන්තිනයානුච්ඡවිකං – ආරෝපෙන්තෝ විගතදෝසං”යනුවෙන් එතෙක් පැවති මහා අට්ඨකථාවෙහි වූ සිංහල භාෂාව පමණක් ඉවත් කොට එය මාගධී(පාළි) භාෂාවට නැගූ බව දැක්වේ. එසේම සමන්තපාසාදිකා විනයාර්ථකථාවෙහි
“සංවණ්ණනං තඤ්ච සමාරභන්තො – තස්සා මහාඅට්ඨකථං සරීරං
කත්වා මහාපච්චරියං තථෙව – කුරුන්දිනාමාදිසු විස්සුතාසු.
විනිච්ඡයො අට්ඨකථාසු වුත්තො – යො යුත්තමත්ථං අපරිච්චජන්තො
තතොපි අන්තොගධථෙරවාදං-සංවණ්ණනං සම්ම සමාරභිස්සං”යනුවෙන් මහා අර්ථකථාව ශරීරය කොටගෙන කුරුන්දි, මහාපච්චරි ආදී ප්‍රසිද්ධ අර්ථකථාවන්හිද එන යුතු අර්ථයන් අත් නොහැර මෙම විනය සංවර්ණනාව සිදු කරන බව පවසත්. එසේම එම විනය වර්ණනයේදී “තස්මා හි යං අට්ඨකථාසු වුත්තං – තං වජ්ජයිත්වාන පමාදලෙඛං” යනුවෙන් යම් ප්‍රමාද ලේඛනයක් පුරාණ අටුවාවේ වුයේ නම් එයද ඉවත් කොට සංස්කරණය කළ බව පැවසේ. බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ ඉහත සඳහන් කළ සංස්කරණ හැරෙන්නට හුදු අර්ථකථාව පරිවර්තනයක් පමණක් සිදු කළ බව අටුවා පරිශීලනය කර බලන්නකුට මැනවින් ප්‍රකට වේ. තවද එහිලා ඇතුළත් කළ ථේරවාද සහ කථාවස්තු පවා බොහෝමයක් පුරාණ මහා අර්ථකථාවෙහි තිබූ ඒවා බව හෙළිවේ.

2. බුදුගොස් ඇදුරුපාණෝ සිය අත්තනෝමති ඇතුළත් කළ බව.
ඇතමෙක් ඉදිරිපත් කරන චෝදනාවක් වන්නේ බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ අටුවා පරිවර්තනයේදී සිය පෞද්ගලික මතවාද මිශ්‍රකර ඇතිබවයි. මෙය අමූලික චෝදනාවක් වන්නේ උන්වහන්සේ සිය පෞද්ගලික මත සඳහන් කළ තැන්වල එය අටුවාව සමග මිශ්‍ර නොකර “අයං අම්හාකං ඛන්ති” යනාදී ලෙස සඳහන් කර ඇති බැවිනි. සුපතල අර්ථකථා ග්‍රන්ථ රාශියක් මගධ බසට පරිවර්තනය කිරීමේදී අතිශය දුර්ලබව ස්ථාන කිහිපයක පමණක් සිය මතය දක්වන බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේට පහසුවෙන්ම එයද අර්ථකථාව සේම දැක්වීමට තිබිණි. එහෙත් අතිශය ධර්ම ගරුත්වයකින් යුතුව මෙම සත්කාර්යය සිදු කළ බැවින් උන්වහන්සේ එබඳු දෙයක් නොකොට පුරාණ අටුවාවෙහි නොපැමිණි තැන් පිළිබඳව “වීමංසිත්වා ගහෙතබ්බා”යනාදී ලෙසට සඳහන් කළහ.

3. අර්ථ විකල්ප සහ මතවාද ගණනාවක් ඇති බව
අර්ථකථාව පිළිබඳව චෝදනා කරනු ලබන ඇතැම් අයෙක් පවසනුයේ අටුවාවෙහි එක මතයක් නොමැති බවයි. මෙහිදී විනය අර්ථකථාවේ එන “එවං සබ්බත්ථ යො යො අට්ඨකථාවාදො වා ථෙරවාදො වා පච්ඡා වුච්චති සො පමාණතො දට්ඨබ්බො” යන පාඨය දැක නැති බව හෙලිවේ. එයින් පවසනුයේ යම් තැනක අටුවාවෙහි ථේරවාද කිහිපයක් ඇතිවිටක අවසන් ථේරවාදය නිවැරදි ලෙස සලකා ගත යුතු බවයි. එසේම ඇතැම් පදයක් පැහැදිලි කිරීම පිළිබඳ විකල්ප කිහිපයක් ඉදිරිපත් කිරීම විවේචනය කරනුයේ ත්‍රිපිටක පෙල පවා හරිහැටි කියවා නොමැති අය විසිනි. මන්ද බුදුරජාණන් වහන්සේ ද බොහෝ අවස්ථාවල පෙළෙහි පවා අර්ථ විකල්ප ගණනාවක් දක්වා ඇති බැවිනි. උදාහරණයක් ලෙස විනය පිටකයේ පාරාජිකපාළියෙහි භික්ඛු පදයේ අර්ථවිකල්ප ගණනාවක් දක්වා ඇත.
තවද මෙසේ විකල්ප අර්ථ සහ විවිධ මතවාද ඉදිරිපත් කිරීම උසස් ශාස්ත්‍රීය ලක්ෂණයක් වේ. බුදුගොස් ඇදුරුපාණෝ සිය අර්ථකථාවන් සංස්කරණයේදී මහා අට්ඨකථාවෙහි පැමිණි ඒ අර්ථ විකල්ප හා මතවාද ඉදිරිපත් කිරීමෙන් වර්තමානයේ ලෞකික සමාජය පවා පිළිගන්නා උසස් ශාස්ත්‍රීය ගුණාංග සිය අර්ථකථා තුළින් ඉස්මතු කළහ.

4. අටුවා අතර නොගැළපීම් දක්නට ලැබෙන බව
ඇතැම් ගිහි පැවදි විද්වතුන් ත්‍රිපිටක ධර්මය පෞරාණික ක්‍රම වේදයක් අනුව යන නිස්සරණ ආධ්‍යාශයකින් තොරව හැදෑරීමේ ප්‍රතිඵලයක් ලෙස එකිනෙක අර්ථකථා අතර එකම කරුණ සම්බන්ධව ඇති නොගැළපීම් ඉදිරිපත් කර ඇත. ඇතැම් ග්‍රන්ථයන්හි මෙසේ නොගැලපෙන තැන් ඉදිරිපත් කරමින් ඔවුන් දක්වන අදහස වන්නේ එකම කතුවරයෙකුගේ විවිධ ග්‍රන්ථ අතර අසමානකම් පැවතීම ඒ කතුවරයාගේ දෝෂයක් ලෙසිනි.

මෙය බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ ඇතුළු අටුවා පරිවර්තනය කළ තෙරුන් වහන්සේලාගේ ධර්ම ගරුත්වය පිළිබිඹුවන මනා නිදසුනක් වේ. උන්වහන්සේලා නොගැළපෙන තැන් ලෙස ඉදිරිපත් කළ දෑ නොදැන කලා නොව ඉන් ශාසන පරිහානියට හේතුවක් නොවන බැවින්ද නිවැරදි කිරීමේ ක්‍රමයක් නොමැති බැවින්ද පුරාණ අටුවාවෙහි පරිද්දෙන්ම කළ ඉදිරිපත් කිරීම් වේ. එහෙත් ශාසනික වශයෙන් බලපෑමක් ඇති සම්මුති-පරමාර්ථ භේදයක් පිළිබඳව ඔවුහු කිසි විටෙකත් නොගැළපීම් ඉතිරි නොකළහ. ඒ සියල්ල ධර්ම-විනය නයක්‍රම ඔස්සේ නිවැරදිව ඉදිරිපත් කළහ. එහෙත් ‘එක් තැනක සඳහන් වන පුද්ගලයන් ගණන තවත් තැනක වෙනස්ව සඳහන් වීම’ වැනි ශාසනික චිර පැවැත්මට හේතු නොවන දෑ පිළිබඳව එබඳු අවධානයක් යොමු නොකළහ. එබැවින් ත්‍රිපිටකයෙහි කුශාග්‍ර බුද්ධියක් ඇති ටීකා ඇදුරුවරු පවා “තං සබ්බං අඤ්ඤමඤ්ඤවිරුද්ධම්පි තංතංභාණකානං මතෙන ලිඛිතසීහළට්ඨකථාසු ආගතනයමෙව ගහෙත්වා ආචරියෙන ලිඛිතං ඊදිසෙ කථාවිරොධෙ සාසනපරිහානියා අභාවතො, සොධනුපායාභාවා ච. පරමත්ථවිරොධො එව හි සුත්තාදිනයෙන සොධනීයො, න කථාමග්ගවිරොධොති ු ඒ සියල්ල එකිනෙකට විරුද්ධ වූයේ වුවද, ඒ ඒ භාණකයන්ගේ මතයෙන් සීහළ අර්ථකථාවන්හි පැමිණි ක්‍රමයම ගෙන ඇදුරු තුමන් විසින් ලියන ලදී. මෙබඳු කථා විරෝධයන්හි සසුන් පරිහානියක් සිදු නොවන බැවින් මෙන්ම එම වැරදි නිවැරදි කිරීමේ ක්‍රමෝපායක්ද නැති බැවිනි. කථා විරෝධයන් නොව පරමාර්ථ විරුද්ධතාවයන්ම සූත්‍රාදී නයෙන් පිරිසිදු කළයුතු වේ” යැයි සඳහන් කළහ. තවද අටුවා පරිවර්තනය වූ කාලයෙන් මතු පුස්කොල පොත් වලින් පිටපත් කිරීමේ ක්‍රමයට පැවත ගෙන ආ අර්ථකථාවෙහි ඇතැම් තැනක ප්‍රමාද දෝෂයක් සිදුවී නොගැළපීමක් සිදුවූවක් වීමටද ඉඩ ඇත. එබැවින් වර්තමානයේ අටුවා ග්‍රන්ථ දෙකක් අතර කිසියම් නොගැළපීමක් දක්නට ලැබීමෙන්ම අටුවා ඇදුරුතුමන්ලාට ඒ පිළිබඳ දොස් නැගීම අයුතු වේ.

5. අර්ථකථාව යනු හුදෙක් ත්‍රිපිටක පෙළ පිළිබඳව ඇති ශබ්දකෝෂයක් පමණක් බව
අර්ථකථාව යනු හුදෙක් ත්‍රිපිටක පෙළ පිළිබඳව ඇති ශබ්දකෝෂයක් පමණක් බවත්, පෙළ කියවීමේදී යම් දුරවබෝධ ස්ථානයකදී පමණක් අර්ථකථාව පරිශීලනය කළයුතු බවටද ඇතැමෙක් අදහස් පළකරන අතර එයද ත්‍රිපිටකයේ අර්ථ වටහා ගැනීම පිළිබඳ නොදැනුවත්කමින් පළකරන අදහසක් වේ. මන්ද අර්ථකථාවෙන් තොරව පෙළ දහම කියවන අය පෙළෙහි එන පාළි පද වලට පාළි-සිංහල ශබ්දකෝෂයක පිහිටෙන් හෝ සිංහල පරිවර්තනයක පිහිටෙන් අර්ථ තෝරා බේරාගනිති. එහෙත් ශබ්දකෝෂ සැකසී ඇත්තේද අටුවා, ටීකා වල ඇති පැහැදිලි කිරීම් ඇසුරෙන් බවත්, සිංහල පරිවර්තනය සිදුකර ඇත්තේද අටුවා, ටීකා ඇසුරෙන් බවත් ඔවුහු නොදනති. පෙළ දේශනය පිළිබඳ ඇති විස්තරාත්මක පැහැදිලි කිරීම වන අර්ථකථාව හා ටීකාව ඇසුරෙන් ශබ්දකෝෂ ආදිය සැකසුනද ඒවායේ එක් පදයක් පිළිබදව ඇති බහුල වශයෙන් යෙදෙන අර්ථය තෝරා දක්වා ඇති බැවින් ඒ ඒ අවස්ථානුකූල අර්ථය එයින් නොලැබිය හැකි වේ. ඉහත දක්වන ලද විනය පාළියෙහි ආවසථ පිණ්ඩ සිකපදය ඊට නිදසුනකි. එබැවින් නිවැරදි අර්ථ වටහාගනු කැමැත්තෝ අර්ථකථාවම ඇසුරු කරත්වා.

දුර්මත ඇති වීමට හේතු
ත්‍රිපිටක බුද්ධ වචනයෙහි අරුත් විවරණය කෙරෙන අර්ථකථා පිළිබඳව ඉහත දැක්වූ ආකාරයේ දුර්මත පළවීමට ප්‍රධානතම හේතුව වන්නේ නිවැරදි ආකාරයේ ධර්ම අධ්‍යාපනයක් නොමැති වීමයි. ධර්ම-විනය පිළිබඳ මහා පරිචයක් සහ මාගධී භාෂාව පිළිබඳව අවබෝධයක් ඇති ආචාර්ය උතුමන් වෙතින් ඉගෙන නොගෙන, හුදෙක් සිංහල පරිවර්තනය කියවීමෙන් ත්‍රිපිටකය තේරුම් ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ මිථ්‍යා මත වලට බැසගනී.

තවද නිස්සරණය උදෙසා ත්‍රිපිටකය හැදෑරීමෙන් තොරව හුදෙක් ශාස්ත්‍රීය කටයුත්තකට, උපාධි නිබන්ධනයක් සැකසීමකට ආදී ලෞකික කටයුත්තක් උදෙසා ත්‍රිපිටකය එහෙන් මෙහෙන් කියවා අර්ථ වටහා ගැනීම දරණ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසද බොහෝ දෙනෙක් විවිධ දුර්මතවල අතරමං වෙති. එමෙන්ම අතර්කාවචර යැයි බුදුරජාණන් වහන්සේ විසින්ම වදාළ ත්‍රිපිටක ධර්මය දෙස තාර්කිකව බලන්නා වූ බටහිර අධ්‍යාපන ආකෘතීන්ට වහල් වූ ඇතැම් විද්වතුන් සර්වඥ දේශිත ත්‍රිපිටකය තම තම තර්කයේ පමණින්ම මැන බැලූහ. ඔවුන් පලකරන ලද අදහස් පරිශීලනය කරන නවක පරපුරද ඒ විද්වතුන්ගේ තර්කයන් හා නොසැසඳුන ධර්ම කොටස් පිළිබඳව සැක පහළ කරන වැරදි මත වාද වලට එල්බ ගත්හ. සරසවියෙන් ලත් ලෞකික උපාධීන්ගෙන් හා නම්බුනාමයන්ගෙන් සැරසුණු එබඳු දුර්මත දරන ගිහියන් සහ පැවිද්දන් බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රාමාණික උගතුන් ලෙස සමාජය විසින් සැලකීම එම මත ප්‍රචලිත වීමට හේතු විය.

බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා….
සියළු දුක් කෙළවර කරන නිවන් සාක්ෂාත් කර ගැනීම උදෙසා සසුන් බට කුළ පුත්‍රයන් මෙන්ම බුදු සසුනේ චිර පැවැත්ම අපේක්ෂා කරන අයවලුන් විසින් කළ යුතු වැදගත්ම කටයුත්ත වන්නේ ත්‍රිපිටකය නිසි පරිදි පෙළ අර්ථකථා ඇසුරෙන් මනා අවබෝධයක් ඇති ගුරුන් වෙතින් උගෙන ගැනීම වේ. එහිදී ධර්මය පිළිබදව නවීන අදහස් පළ කරන සද්ධර්ම ප්‍රතිරූපක ඉදිරිපත් කරන අයට නොම රැවටී ඉපැරණි මහා විහාරීය ප්‍රවේණිය අනුව ත්‍රිපිටකය හැදෑරිය යුතුවේ. ඒ සදහා පළමුව මාගධී භාෂා ඥානය ඇති, පරියත්ති දැනුම සහිත ඇදුරුවරයෙකු වෙත ගොස්, පෞරාණික අධ්‍යාපන ක්‍රමවේදය අනුව හැදෑරිය යුතුවේ.

පළමුව තම මාගධී භාෂා දැනුම වර්ධනය කරගත යුතු අතර ඉක්බිති හැකිනම් පෙළ දහම කට පාඩම් කරමින් ඇදුරන් වෙතින් අර්ථකථාව අසා දැන ගත යුතුවේ. මෙසේ ත්‍රිපිටක ධර්මය මැනවින් ඉගෙන ගන්නා නුවණැති භික්ෂූ තෙම ඉහත සඳහන් කළ ආකාරයට පරියප්තිය ද ප්‍රතිපත්තියද පූරණය කර සතර මග ඵල නිවන් සංඛ්‍යාත ප්‍රතිවේධය ද පුරාලන්නේය. බුදු සසුන යළි මගඵල ලාභීන්ගෙන් අලංකෘත යුගයක් උදාවෙනු දක්නා කැමති සූධීහු නිවැරදිව ත්‍රිපිටක අධ්‍යාපනය ලබමින් පරියාප්තිය පරිපූරණය කරත්වා.

සාධක පාඨ සහිතව මෙම ලිපිය කියවීම සඳහා බාගත කරගන්න

-මහාවිහාරය වෙබ් අඩවිය වෙනුවෙනි-

DOWNLOAD AS PDF

නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk