සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500ට අධික කාලයක් ගෙවී ඇති මෙකල ටිකෙන් ටික පිරිසිදු ධර්ම-විනය අතුරුදන් වන කාලයයි. මිහිඳු මහරහතන්වහන්සේ විසින් බුද්ධ වර්ෂ 236දී ලක්දිවට රැගෙන එන ලද්දේ සංගායනාවට ලක්වූ සුපිරිසිදු ථෙරවාදී සද්ධර්මයයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කරන ලද ඒ පිරිසිදු ධර්මය කාලයත් සමඟ විවිධ  මතවාද මුසුවෙමින් දූෂණය වන්නට පටන් ගත් අතර ධර්ම වැනි වූ ‘සද්ධර්ම ප්‍රතිරූපක’ බිහිවීමෙන් සැදැහැවත් මහජනයා මුලාවට ලක් වෙමින් ටිකෙන් ටික පිරිසිදු සද්ධර්මය අතුරුදහන්වීම ඇරඹී ඇත. මෙය භාග්‍යවතුන්වහන්සේ බුදුඇසින් දැක අනාගතයේ ‘සද්ධර්ම ප්‍රතිරූපක’ බිහිවීමෙන් සද්ධර්මය අතුරුදහන් වන බව මහාකාශ්‍යප මහරහතන්වහන්සේ ඇසූ පැනයකට පිළිතුරු ලෙස සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයේ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේදී වදාළ සේක.

භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර වැඩ වසන කළ දිනක් මහාකාශ්‍යප මහරහතන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ, ‘පෙර සිකපද සුළු ප්‍රමාණයක් තිබියදී බොහෝදෙනෙක් රහත් වීමත්, දැන් බොහෝ සිකපද ගණනක් තිබියදී ටිකදෙනෙක් රහත් වීමත් කවර හෙයකින් සිදුවන්නේද?’ යැයි විමසා සිටියහ. එහිදී භාග්‍යවතුන්වහන්සේ වදාරන ලද්දේ සත්ත්වයන් පිරිහෙන කල්හි, සදහම් අතුරුදහන් වන කල්හි සිකපද බොහෝ ගණනක් වන බවත්, අල්පදෙනෙක් අර්හත්වයට පත් වන බවත්ය.

එහිදී භාග්‍යවතුන්වහන්සේ බුදුසසුන අතුරුදහන්වීම ලෝකයේ රත්රන් අතුරුදහන්වීමට සමාන කරමින් මෙසේ වදාළ සේක. “යතෝ ච ඛෝ කස්සප ජාතරූපපතිරූපකං ලෝකේ උප්පජ්ජති, අථ ජාතරූපස්ස අන්තරධානං හෝති. ඒව මේව ඛෝ………යතෝ ච ඛෝ කස්සපං සද්ධම්මපතිරූපකං ලෝකේ උප්පජ්ජති, අථ සද්ධම්මස්ස අන්තරධානං හෝති” – “කාශ්‍යපයෙනි, යම් සේ වනාහී ලොව යම්තාක් රත්රන්වලට ප්‍රතිරූපක බිහි නොවේද ඒ තාක් රත්රන් අතුරුදහන් නොවේ. කාශ්‍යපයෙනි, යම් දිනෙක පටන්  රත්රන් ප්‍රතිරූපක ලොව බිහි වේද, එතැන් පටන් රත්රන් අතුරුදහන් වෙයි. කාශ්‍යපයෙනි, එසේම යම් තාක් සද්ධර්මයට ප්‍රතිරූපක ලොවෙහි බිහි නොවේද, ඒ තාක් සද්ධර්මය අතුරුදහන් නොවේ. යම් තැනක පටන් සද්ධර්මයට ප්‍රතිරූපක බිහි වේද, එතැන් පටන් සද්ධර්මය අතුරුදහන් වෙයි.” යනුවෙනි. මෙසේ භාග්‍යවතුන්වහන්සේ රත්රන් අතුරුදහන්වීමට සමකරමින් ධර්මය අතුරුදහන්වීම පිළිබඳ වදාළ සේක.

ඒ අනුව යම් දිනෙක ලොව රත්රන් වැනි වූ එනමුත් රත්රන් නොවූ, මිල අඩු යම් යම් ප්‍රතිරූපක බිහි වේද, එකල්හි මිනිස්සු රත්රන් පරිභෝගය අඩු කර අඩු මිලට ගත හැකි ප්‍රතිරූප භාවිතය අරඹති. එසේ ක්‍රම ක්‍රමයෙන් ලෝකයේ රත්රන් අතුරුදහන් වේ. එසේම තථාගතයන්වහන්සේගේ සුභාෂිත සද්ධර්මය හා බැලූ බැල්මට සමාන සද්ධර්ම ප්‍රතිරූපක බිහිවීමෙන් මිනිස්සු ගැඹුරු, නිරවද්‍ය සද්ධර්මය අතහැර පහසුවෙන් නිවන් දැකිය හැකි යැයි පවසන ප්‍රතිරූපක සද්ධර්ම කෙරෙහි  යොමු වෙති. එහි ප්‍රතිඵලයක් ලෙස කල් යත්ම ලෝකයේ නිර්මල තථාගත ශ්‍රී සද්ධර්මය ක්‍රම ක්‍රමයෙන් අතුරුදහන් වෙයි.

මෙම විපර්යාසය ඇතිවීමට බොහෝ කලක් ගත නොවනු ඇත. දැන් දැන්ම බෞද්ධ සැදැහැවතුන්ට භාවනා කර, පාරමී ගුණ-දම් දුක සේ පරිපූරණය කර නිවන් ගමන සාක්ෂාත් කර ගනු වෙනුවට පහසුවෙන් ධර්ම ශ්‍රවණයකින්, ධර්ම සජ්ඣායනයකින්, සිල් රැකීම් මාත්‍රයකින් පමණක් නිවන් අවබෝධ කර ගත හැකි පහසු ක්‍රමවේද බිහිවෙමින් පවතී. කාලයත් සමග උත්සන්න වූ කෙළෙස් ඇති දිනෙන් දින ඉහළ යන ජීවන වියදම, රැකියා කාර්යබහුලත්වය, තරඟකාරී ලෙස අවශ්‍යතා වූවමනා සපුරා ගන්නා සමාජ තත්වය, යනාදී හේතූන් මත කෙළෙස් පීඩාවෙන් පීඩිත වූ ජනයාට තාවකාලික අස්වැසිල්ලක් ගෙනදීමට මේ පහසුවෙන් නිවන් දකිනා මේ ක්‍රමවේදයන් සමත් වී තිබේ. එහෙයින් ඔවුහු ගැඹුරු ධර්මය අවබෝධ කරගෙන සදාකාලික සැප ගෙනදෙන නිවන සාක්ෂාත් කරගැනුමට වෙර දැරීම පසෙක ලා තාවකාලික සැප ගෙනදෙන පහසු ක්‍රමවේදයන් වෙත ආකර්ෂණය වෙති. එය සද්ධර්මය අතුරුදහන්වන බවට භාග්‍යවතුන්වහන්සේ බුදුඇසින් දුටු පූර්ව නිමිති බව නුවණින් කල්පනා කළ යුතු නොවේද?

පිරිසිදු රත්රන් වෙනුවට් රත්රන් ප්‍රතිරූපක ඉදිරිපත් කරන්නන් සේම වර්තමානයේ පිරිසිදු සද්ධර්මය වෙනුවට සද්ධර්ම ප්‍රතිරූපක ඉදිරිපත් කරන ඇතැමුන් බුදුරජාණන් වහන්සේගේ මෙම ‘සද්ධර්ම ප්‍රතිරූපක’ සූත්‍රයම පෙරටු කොටගෙන ගැඹුරු, පිරිසිදු ධර්මය පසෙක ලා ස්වකීය මතිමතාන්තර මුසුකොට ගත් ධර්මය වැනිම වූ, කෙලෙස්වලින් පීඩිත මිනිසුන්ට තාවකාලික අස්වැසිල්ලක් ගෙන දෙන සරල ධර්මකථා, සරලව කවි ආකාරයෙන් තාලයට ගායනා කළ හැකි ධර්ම ගායනා, සරල ධර්ම සජ්ඣායනා ආදිය පිරිසිදු ධර්මය ලෙස හුවා දක්වමින් නාම රූප ධර්ම, ස්කන්ධ, ආයතන, ධාතු, චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය වැනි ගැඹුරු ධර්ම කොටස් ඇතුළත් අභිධර්මය ආදිය සද්ධර්ම ප්‍රතිරූපක ලෙස පෙන්වමින් ඇතැම් විටෙක ඒ ගැඹුරු ධර්මයන්ට වැරදි අර්ථකථන ඉදිරිපත් කරමින් මිනිසුන් මුලා කරත්. එයට හසුවන ඇතැම් කෙලෙස් වලින් පීඩිත, ධර්මකාමී සැදැහැවතුන් ඇතමෙක් සරල ධර්ම ගායනාවක්, සජ්ඣායනයක් වැනි දෙයකට සවන් යොමු කරගෙන, ඒ සජ්ඣායනය කරන්නාගේ මිහිරි හඬට අවධානය ඒකරාශී කරගෙන ඉන් සිතෙහි යම් ලෞකික සමාධියක් ලැබ, සමාධියේ පූර්ව භාගයෙහි ඇති වන ආලෝක සංඥා ආදිය ලෝකෝත්තර අත්දැකීම් ලෙස වරදවා ගෙන තමා මගඵල ලැබුවා යැයි මුලා වෙති. එයින්ම ඔවුන් සිය ධර්ම මාර්ගය එතැනින් කඩාකප්පල් කරගන්නා අතර ටික කලකින් තමා මුලා වූ බව හැඳිනගෙන ඇතැම් විට මේ ස්වාක්ඛාත ධර්ම විනය නිවන් දැකිය නොහැකි හරසුන් දෙයක් ලෙස වැරදි දැක්මක් ඇති කර ගනිති. එයින් භාග්‍යවතුන් වහන්සේ වදාළ අයුරින්ම රත්රන් නැතිවන්නා සේ සුපිරිසිදු ධර්මය ලොවෙන් අතුරුදන් වේ. එබැවින් පිරිසිදු සද්ධර්මය ලොවෙන් අතුරුදන් කරවන, සත්වයන්ගේ නිවන් මග වසාදමන ඒ සද්ධර්ම ප්‍රතිරූපක මැනවින් හඳුනාගත යුතු වේ.

ලොව රත්රන්වලට ආදේශක ලෙස බිහි වන විට රත් රන් ප්‍රතිරූපකවල ආවේණික ගුණාංග ඔස්සේ සද්ධර්මයට ප්‍රතිරූපක ලෙස බිහිවන ධර්මය වැනි ඉගැන්වීම්වලට ආවේණික ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකි වේ.

1. රත්රන් ලෙස බොහෝ කලක් මිනිසුන් පරිහරණය කළ දෙයට වෙනස් දෙයක් ඉදිරිපත් කිරීම ප්‍රතිරූපක වලින් සිදුවේ. එසේම බොහෝ කලක් බෞද්ධයන් ධර්මය ලෙස හඳුනා ගත් කොටස් වැරදි යැයි යමෙක් පවසන්නේ නම්, එය සද්ධර්ම ප්‍රතිරූපකයක් ලෙස හඳුනා ගත යුතු වේ. ඒ අනුව වසර 2500කට අධික කාලයක් ලොව බෞද්ධයන් අත්‍යන්ත ගෞරවයෙන් පිළිගත් සංගායනාවන්ට නැගුණු ත්‍රිපිටකය පෙළ දේශනය වැරදි යැයි යමෙක් කියන්නේ නම්, එය සද්ධර්ම ප්‍රතිරූපකයකි. ඒ පෙළ දේශනයෙහි අර්ථ විවරණ සැපයූ, පළමු ධර්ම සංගායනාවේ පටන් පෙළෙන් වෙන්ව පැවතුණු, පාළි අර්ථකථාව වැරදි යැයි යමෙක් කියන්නේ නම්, එය සද්ධර්ම ප්‍රතිරූපකයකි.

‍2. ලොව රත්රන් යනු මිල අධික, ලබා ගැනීම අපහසු දෙයක් වුවද රත්රන්වලට ආදේශක ලෙස බිහිවන බොහෝ දේ මිනිසුන්ට පහසුවෙන් ලබා ගත හැකි වේ. එසේම වසර 2500ට අධික ඉතිහාසය පුරාවට අසංඛෙය්‍ය ගණන් සත්ත්වයන්ට මගඵල නිවන් සලසා දුන් ගැඹුරු ධර්ම කොටස් අත හැර පහසුවෙන් අසා සිටින අයට තේරුම් යන පරිදි සිංහල බසින් බොහෝවිට කවි ගායනා ලෙස යමෙක් ධර්ම කොටස් ඉදිරිපත් කරන්නේ නම්, එයද සද්ධර්ම ප්‍රතිරූපකයක් ලෙස හඳුනා ගත යුතු වේ.

මෙහිදී ඇතැම් අය නඟන තර්කයක් වනුයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැනි උතුමන් ගිහි කල සතරපද ගාථාවකින් පහසුවෙන් ධර්මය අවබෝධ කළ බවයි. එහෙත් එම දේශනා කළ ගාථාව පවා අතිශය ගැඹුරු පටිච්චසමුප්පාද ධර්මය අඩංගු දේශනයක් බව අමතක නොකළ යුතු අතරම, එම ධර්මය පහසුවෙන් අවබෝධ කරගැනීමට උන්වහන්සේලා සසරේ නොයෙක් ආකාරයෙන් පෙරුම් දම් පුරා ඇති බව අතීත කථා ප්‍රවෘත්තීන්ගෙන් හෙළි වන බවත් මතක තබා ගත යුතුය. එවන් අය “උග්ගටිතඤ්ඤු” ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ අතර එබඳු අය බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ අභිමුඛයේ ධර්මශ්‍රවණය කර නිවන් දුටු බවද දැන ගත යුතු වේ.

3. රත්රන් යනු ලොව අතිශය දුර්ලභ දෙයක් වන අතර ඊට ආදේශක ලෙස බිහි වන දේවල් සුලභ වේ. එසේම ගැඹුරු, පිරිසිදු ධර්මය අතිශය දුර්ලභ වේ. එය “දුල්ලභං සද්ධම්ම සවණං” යැයි බුදුරජාණන් වහන්සේම දේශනා කර වදාළ සේක. ඒ අනුව පිරිසිදු සද්ධර්මය ත්‍රිපිටකයේ හසල දැනුම ඇති, විශේෂයෙන්ම පාළි භාෂාවෙහි ගැඹුරු දැනුම ඇති උතුමන් වෙතින්ම ලැබෙන දුර්ලභ දෙයක් වන අතර දැන් දැන් ලොව සෑම තැනම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන යම් අලුත් ධර්මයක්, අලුත් සම්ප්‍රදායක් වේ නම් එය සද්ධර්ම ප්‍රතිරූපකයක් ලෙස හඳුනා ගත යුතු වේ.

4. රත්රන්වල ගුණාත්මකභාවය කාලයක් ගත වුවවද වෙනස් නොවේ. එහෙත් ඊට ආදේශක ලෙස බිහි වන දේ ටික කලකින් වෙනස් වේ. එසේම පිරිසිදු ථෙරවාදී සද්ධර්මය ගෙවුණු වසර 2500ට අධික කාලය තුළ නොවෙනස්ව ධර්මකාමී සත්ත්වයන්ට නිවන් සුව සලසා දෙන ලදී. එය ඒ ඉතිහාසය පුරාවටම විනය, සූත්‍ර, අභිධර්මය යන ත්‍රිපිටකයම පෙළ-අර්ථකථා යන දෙයාකාරයකින් පැවතුණු අතර පසුකාලීනව ධර්මය ලොවට බෙදාහරින ඇතැම් අය මුලින් මුලින් අභිධර්මය, අර්ථකථා ආදිය ප්‍රතික්ෂේප කරයි. එහෙත් කාලයත් සමඟ ඒවායේ විග්‍රහයන්ද ටිකෙන් ටික අදාළ කර ගනී. මෙසේ වෙනස් වන ගුණාංගයන්ගෙන් යුත් ධර්ම පැහැදිලි කිරීමක් වේ නම්, එය සද්ධර්ම ප්‍රතිරූපකයක් ලෙස හඳුනා ගත යුතු වේ.

5. රත්රන් යනු පුන පුනා මිනිසුන්ට ඇවිටිලි කරමින්, මිනිසුන් පසු පස ගොස් විකිණිය යුතු දෙයක් නොවන අතර එහි වටිනාකම දන්නා අය ඒ වෙත නිරායාසයෙන්ම පැමිණෙති. එසේම පිරිසිදු සද්ධර්මයද මිනිසුන් හමුවේ පුන පුනා ඇවිටිලි කරමින් දේශනා කරමින්, ආකර්ශණීය ධර්ම දේශනා ක්‍රම භාවිත කරමින් විසිතුරු සැරසිලි කරමින් දිය යුතු නොවේ. එය සිය ධර්ම ගෞරවය රැකෙන පරිදි ගෞරවාන්විතව මිනිසුන් වෙත ප්‍රදානය කළ යුත්තකි. වර්තමානයේ ඇතමුන් පරිගණක ඇසුරු කරගත් බහුමාධ්‍ය පුළුල්තිර (multimedia) ආදිය ඔස්සේ පින්තූර, වීඩියෝ දර්ශන ආදිය පෙන්වමින් කරන ආකර්ශනීය  ධර්ම දේශනා ක්‍රම, කවි ගායනා වැනි මිනිසුන් ඇද බැඳ තබා ගන්නා ක්‍රම, සිංහලයේ අර්ථ ශක්තියෙන් යුත් ගැඹුරු වචන ඉවත් කර සරල බොළඳ සිංහල බසින් ලියූ ත්‍රිපිටක පොත් බහුල කිරීම වැනි ක්‍රම ඔස්සේ ධර්ම ප්‍රචාරක කටයුතු කරන අය බහුල වෙමින් පවතින අතර ඒ සියල්ල සද්ධර්ම ප්‍රතිරූපක ලෙස හඳුනා ගත යුතු වේ.

6. කුණු කොල්ලයට විකිණෙන සෑම දෙයක්ම විකුණන්නවුන් කාලයක් තිස්සේ මිනිසුන් පරිහරණය කළ හොඳ දෙයෙහි නුගුණ කියත්. රත්රන්වලට ආදේශක ඉදිරිපත් කරන්නවුන්ද එසේමය. සද්ධර්ම ප්‍රතිරූපක ඉදිරිපත් කරන අයද කාලයක් තිස්සේ ලෝක සත්ත්වයන්ගේ කෙලෙස් පවස නිවා ලූ පිරිසිදු සද්ධර්මයේ නුගුණ කියත්. රතරන්වල නුගුණ කියන්නා එය ඍජුවම කීමට බිය වේ. මන්ද බොහෝ දෙනෙක් ඒ රත්රන් බව දන්නා බැවිනි. එසේම ධර්මයේ නුගුණ කියන අයද ඍජුවම නොකියා අටුවාවේ තියෙන දේ වැරදිය, පරිවර්තනය කර ඇති ආකාරය වැරදිය, පාළි ත්‍රිපිටකයේ සමහර කොටස් වැරදිය, ත්‍රිපිටකාගත ඉතිහාස ප්‍රවෘත්ති වැරදිය, මෙකල මගඵල ලැබිය නොහැකිය, අඛණ්ඩව පැවත එන මගඵලලාභීන් නැතිය යනාදී ලෙස වක්‍රාකාරව ධර්මයේ නුගුණ කියත්. එබඳු ප්‍රකාශ ඉදිරිපත් වන්නේද සද්ධර්ම ප්‍රතිරූපක ඉදිරිපත් කරන්නන්ගෙන් බව හඳුනා ගත යුතු වේ.

මෙසේ සද්ධර්ම ප්‍රතිරූපක ලොව බහුල වීමෙන් සිදු වන්නේ නිරවද්‍ය ධර්ම විනයට ඇති තැන අහිමි වීමයි. එයට ඇති ගෞරවය හීන වීමයි. ධර්මකාමී මිනිස්සු ඇතමෙක් මුළාවට පත්ව ධර්මය යන වැරදි දැක්මෙන් අධර්මයේ පක්ෂය ගැනීමයි. එබැවින් ධර්මයෙහි සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය කැමති වන්නවුන් විසින් ඒ සද්ධර්ම ප්‍රතිරූපක නිවැරදිව හඳුනාගත යුතු වේ. එසේ හඳුනාගෙන එය බැහැර කරමින් වසර 2500ට අධික ඉතිහාසයක් පුරාවට අසංඛෙය්‍ය ගණන් ලෝක සත්ත්වයන්ට නිවන් සාක්ෂාත් කර ගැනීමට උපකාරී වූ නිර්මල ධර්මය සුරකිමින් එය අනුගමනය කරමින් වසර 5000ක් කල් දක්වා මගඵල ලැබිය හැකි බවට වන බුදු වදන අනුව යමින් අද අදම මගඵල නිවන් සාක්ෂාත් කර ගැනීමට උත්සාහවත් විය යුතු වේ.

“ඣායථ භික්ඛවේ මා පමාදත්ථ. මා පච්‌ඡා විප්‌පටිසාරිනො අහුවත්ථ”

“මහණෙනි, පමා නොවවු. ධ්‍යාන වඩව්. පමා වී පසුව විපිළිසර නොවවු”

සම්පාදක

මහව ඤාණාලෝක හිමි

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය

නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk