තිස්ස සාමණේරයන් වහන්සේ තම උපාධ්‍යායන් වහන්සේ සමඟ තිස්ස මහා විහාරයෙහි වාසය කළේය. සාමණේරයන් වහන්සේ ශාසනය කෙරෙහි තමන් කළකිරී ඇති බවත් උපැවිදි වීමට කැමති බවත් උපාධ්‍යායන් වහන්සේට දැන්වූවේය. උපාධ්‍යායන් වහන්සේ සාමණේරයන් වහන්සේ ශාසනයේ රඳවා ගැනීමට උපායක් කල්පනා කොට මෙම ස්ථානයේ පැන් පහසුවීමට ජලය දුලභ බව පවසා දෙදෙනාම චිත්තලපබ්බත විහාරයට වැඩියහ. එහිදී තෙරුන් වහන්සේ ශිෂ්‍ය නමට මෙසේ පැවසීය “මේ විහාරය සංඝික ය, මා හට පෞද්ගලික වාසස්ථානයක්  කරව”.  උපැවිදි වීම ගැන සිතමින් සිටියද ගුරුවරයාගේ ඉල්ලීම ඉවත නොදැමූ සාමණේරයන් වහන්සේ එහි වාසය කිරීම සඳහා පර්වතගුහාවක් පිරිසුදු කිරීමට අමතරව ගුරු උපදෙස් අනුව තවත් කාර්යයන් දෙකක් කළේය. එනම් මුල පටන් සංයුක්ත නිකාය පාඩම් කිරීමත්, තේජෝධාතු කසිණ ධ්‍යානය සඳහා පරිකර්ම කිරීමත් ය.  මෙම තුනම එකවර ආරම්භ කළ අතර උන්වහන්සේ කසිණ භාවනාවෙන් ධ්‍යානයක් ලැබුවේය. වෙහෙස මහන්සි වී වාසස්ථානය සකස් කළ බැවින් පළමුකොට එහි වාසය කරව යැයි තෙරුන් වහන්සේ උපදෙස් දුන්නේය.

සාමණේරයන් වහන්සේ රාත්‍රියෙහි එහි ගතකරනුයේ උතු සප්පාය ලැබී විපස්සනා වඩා සව්කෙළෙසුන් නසා එහිම පිරිනිවන් පෑ ‍ සේක. උන්වහන්සේගේ ධාතූන්වහන්සේලා ගෙන කළ චෛත්‍යය තිස්ස ථේර චෛත්‍යය වශයෙන් අද ද ප්‍රකට වේ.

වර්තමානයේ වසරකට සැලකිය යුතු ප්‍රමාණයක භික්ෂූන් වහන්සේලා උපැවිදි වේ. එය සිදුවන්නේ ශාසනයේ තිබෙන වරදක් නිසා නොව තම තමාගේ කෙළෙස් දෝෂ නිසාවෙනි. නමුත් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා නවක භික්ෂූන් වහන්සේලාගේ කෙළෙස් දෝෂ පැහැදිලිව හඳුනන බැවින් ඒ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ පිහිට නවක පැවිද්දන්  මනාව හික්මවා ශාසනයේත් තමාගේත් උන්නතිය උදෙසාත් පිහිට වන්නේය.

විතක්ක සණ්ඨාන සුත්ත වණ්ණනා ඇසුරිනි.

 

සම්පාදක

පූජ්‍ය පූජාපිටියේ සූරියරතන හිමි

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය