එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා ගම නුදුරෙහි ටඞ්කිතමඤ්චයෙහි වූ සුචිලෝම යක්ෂයාගේ භවනෙහි වැඩවසන සේක. ගයාව සමීපයේ පාෂාණ සතරක් මත්තෙහි පළල් වූ පාෂාණයක් නංවා කරන ලද පාෂාණමය ඇද ටඞ්කිතමඤ්චය නම් වේ. එය ඇසුරු කොටගෙන මෙම සුචිලෝම යක්ෂයාගේ භවනයද ආලවක යක්ෂයාගේ භවන මෙන් විය.

භාග්‍යවතුන් වහන්සේ එදින මහා කරුණා සමාපත්තියෙන් නැගී සිට බුදුඇසින් ලොව බලා වදාරණ සේක් සුචිලෝම-ඛරලෝම යන යක්ෂයන් දෙදෙනාගේ සෝතාපත්ති ඵලයට ඇති උපනිශ්‍රය සම්පත් දැක පා සිවුරු ගෙන ඇතුළ් අරුණෙහිම නොයෙක් දිශාවන්ගෙන් රැස් වූවා වූ ජනයාගේ කෙල සොටු ආදී නොයෙක් අසුචියෙන් කිළිටි වූ ඒ ගයා තොටුපළ පෙදෙසට අවුත් ඒ ටඞ්කිතමඤ්චයෙහි වූ සුචිලෝම යක්ෂයාගේ භවනයෙහි වැඩ සිටි සේක.

එසමයෙහි ඛර නම් යක්ෂයා ද සුචිලෝම යක්ෂයාද සිය ගොදුරු පිණිස භවනින් නික්ම මොහොතක් ගොස් ඒ ගිය මාර්ගයෙන්ම ආපසු හැරී අනෙක් පැත්තට යනුයේ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි ඉක්මයති. ඒ යක්ෂයන් දෙදෙනා කවරහුද යත්, එකෙක් අතීතයේ සගසතු තෙලක් සංඝයා නොම විචාරා ගෙන සිය සිරුරේ ගැල්වුවේය. හෙතෙමේ ඒ කර්මයෙන් නිරයේ පැසී ගයා පොකුණු තීරයේ යක්ෂ යොනියේ උපන්නේය. එසේම ඔහුගේ කර්මයාගේ අවශේෂ විපාකයෙන් විරූප වූ අගපසග ඇති වීය. උළු ගඩොලු වල මෙන් රළු ස්පර්ෂයකින් යුතු සමක් වීය. හෙතෙමේ යම් කලෙක අනෙකෙකුට හිංසා කරනු කැමති වේ නම්, ඒ රළු සම් කබල ඔසවා එයින් හිංසා කරයි. එසේ ඒ යක්ෂ තෙමේ රළු(ඛර) ස්පර්ශයක් ඇති බැවින් ‘ඛර යක්ෂයා’ නම්විය.

අනෙකා කාශ්‍යප බුද්ධකාලයෙහි උපාසකයෙක්ව මාසයකට දින අටක් විහාරයට ගොස් ධර්මශ්‍රවණය කරයි. හෙතෙම දිනක් ධර්ම ශ්‍රවණයට ඝෝෂා කළ බැවින් සංඝාරාම දොරටුවේ සිය කෙතෙහි වැඩ කරමින් සිටියේ ඒ ධර්මඝෝෂාව අසා ‘ඉදින් නහන්නෙමි නම් ප්‍රමාද වන්නේය‘ යැයි සිතා කිළුටු වූ ගතින් යුතුව පොහොය ගෙට පිවිස මහානර්ඝ බුමුතුරුණෙහි අනාදරියෙන් වැතිර නිදාගත්තේය. සංයුත්ත භාණකයන් පවසනුයේ මොහු භික්ෂුවක් බවත් උපාසකයකු නොවන බවත්ය. හෙතෙමේ ද ඒ කර්මයෙන් නිරයේ පැසී අනතුරුව ගයා පොකුණු තීරයේ යක්ෂ යෝනියේ උපන්නේය. හේ ඒ කර්මයාගේ අවශේෂ විපාක වශයෙන් අයහපත් පෙනුමක් ඇත්තෙක් විය. තවද ඔහුගේ සිරුරේ හිදිකටු බදු ලොම් ඇති විය. හෙතෙමේ හිංසා කළයුතු සත්වයන් හට හිදිකටු වලින් විදින්නාක් මෙන් හිංසා කරයි. මෙසේ හිදිකටු(සුචි) බදු ලොම් ඇති බැවින් සුචිලෝම යක්ෂයා යන නම ලැබිණ.

මෙසේ ඒ යක්ෂයන් දෙදෙන භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි ඉක්මයනුයේ භාග්‍යවතුන් වහන්සේ දැක, ඛර යක්ෂතෙම සුචිලෝම යක්ෂයාට ”තෙල ශ්‍රමණයෙක” යැයි කීවේය. සුචිලෝම යක්ෂයා හට මෙබදු ලබ්ධියක් විය. ‘යමෙක් බිය වෙයි නම් හේ ශ්‍රමණයෙක් නොවේය. ශ්‍රමණ ප්‍රතිරූපකයෙකි‘ යනුවෙනි. එහෙයින් හෙතෙම භාග්‍යවතුන් වහන්සේද එබන්දෙකැයි සිතා “තෙල ශ්‍රමණයෙක් නොවේය. ශ්‍රමණ ප්‍රතිරූපකයෙකි” යැයි වහාම කීවේය. එසේ කියා ද යළි විමසනු කැමැත්තේ “තෙල ශ්‍රමණයෙක්ද, ශ්‍රමණ ප්‍රතිරූපකයෙක්ද” යැයි දැනගන්නා තෙක් නවතුව යැයි කියා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය.

භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ තමාගේ කය භාග්‍යවතුන් වහන්සේ දෙසට නතු කළේය. භාග්‍යවතුන් වහන්සේ ස්වකීය ශ්‍රී කය පසෙකට නැමූ සේක. එවිට සුචිලෝම යක්ෂයා භාග්‍යවතුන් වහන්සේට “මහණ, මට බිය වන්නෙහිද“යි ඇසුවේය. භාග්‍යවතුන් වහන්සේ “ඇවැත්නි, මම නුඹට බිය නොවෙමි. එහෙත් නුඹගේ පහස පවිටුය“යි වදාළ සේක.

ඉක්බිති සුචිලෝම යක්ෂයා ‘මෙම මාගේ මෙපමණ රළු වූ අමනුෂ්‍ය පහසෙනුදු මිනිසකු වූ මෙතෙමේ බිය නොවේ. එහෙයින් මම මොහුගෙන් බුද්ධ විෂයෙහි ප්‍රශ්නයක් අසන්නෙමි. ඒකාන්තයෙන්ම මොහු ඊට පිළිතුරු දීමට සමත් නොවේ. එයින් ඔහුව වෙහෙසට පත් කරන්නෙමි’යි සිතා “මහණ මම නුඹගෙන් ප්‍රශ්නයක් අසන්නෙමි. ඉදින් ඊට මට විසදුම් නොපවසන්නේ නම් නුඹගේ සිත පෙරළන්නෙමි. නුඹේ හදවත පලන්නෙමි. දෙපයින් ගෙන ගගින් එතෙරට දමා ගසන්නෙමි”යැයි පැවසුවේය.

එය ඇසූ භාග්‍යවතුන් වහන්සේ ‘යම්හෙයකින් බුදුරජාණන් වහන්සේලාට පරිත්‍යාග කරන ලද ලාභයට හෝ ජීවිතයට හෝ සර්වඥතා ඤාණයට හෝ ව්‍යාමප්‍රභාදියට හෝ කිසිවකුටත් අනතුරක් කළ නොහැකි බව සහ එබැවින් ලොව අසාධාරණ බුද්ධානුභාවය දක්වනුයේ “ඇවැත්නි, යමෙක් මාගේ සිත පෙරළන්නේ නම් හෝ හදවත පළන්නේ නම් හෝ දෙපයින් ගෙන ගගින් එතෙරට දමා ගසන්නේ නම් හෝ එබන්දකු මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත සත්වප්‍රජාව අතරෙහි නොම දකිමි. එහෙත් ඇවැත්නි නුඹ කැමති යමක් වේ නම්, එය අසව” යැයි තමන් වහන්සේට ප්‍රශ්න විසදීමේ බරක් නොවන බවත්, යම් කැමති දෙයක් ඇත්තේ නම් අසන ලෙසත්, ඒ සියල්ල විසදන බවටත්, සෙසු පසේබුදු අග්‍රශ්‍රාවක මහාශ්‍රාවකයන් වහන්සේලාටද අසාධාරණ වූ සර්වඥ පැවරීමෙන් පැවරූ සේක. ඉනික්බිති සුචිලෝම යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ සැල කළේය. 

‘රාගො ච දොසො ච කුතොනිදානා, අරතී රතී ලොමහංසො කුතොජා; කුතො සමුට්‌ඨාය මනොවිතක්‌කා, කුමාරකා ධඞ්‌කමිවොස්‌සජන්‌ති’’ යනුවෙනි. 

රාගය හා ද්වේෂය කුමක් නිදාන කොට ඇත්තේද? ප්‍රාන්ත සෙනසුන්වල සහ අධිකුසලධර්මයන්හි නොඇල්ම හෙවත් අරතියද, පස්කම්ගුණයන්හි ඇල්ම නම්වූ රතියද, ලොමු දැහැගැනීම හෙවත් චිත්තුත්‍රාසය යන මේ තුන් ධර්මයෝ කොහි උපදින්නේද? ගැමි දරුවෝ කවුඩකුගේ පා නූලකින් බැද මුදා හරින්නේ යම්සේ ද එසේ කාමවිතර්කාදී අකුසල විතර්කයෝ කොතැනින් හටගෙන කුසලසිත බැද හරිත්ද?

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ ප්‍රශ්නයන් විසදනුයේ මෙම ගාථා වදාළ සේක.

‘‘රාගො ච දොසො ච ඉතොනිදානා, අරතී රතී ලොමහංසො ඉතොජා; ඉතො සමුට්‌ඨාය මනොවිතක්‌කා, කුමාරකා ධඞ්‌කමිවොස්‌සජන්‌ති’’

රාගය හා ද්වේෂය (පඤ්චස්කන්ධ සංඛ්‍යාත) මෙම ආත්මභාවය නිදානකොට ඇත්තේය. අරතියද, රතියද, ලොමුදැහැගැනීමද මෙම ආත්මභාවයෙන්ම හටගන්නා ලද්දේය. ගැමි දරුවෝ කවුඩකුගේ පා නූලකින් බැද මුදා හරින්නේ යම්සේ ද එසේ කාමවිතර්කාදී අකුසල විතර්කයෝ මේ ආත්මභාවයෙන්ම හටගෙන කුසලසිත බැද හරිත්.

මෙසේ ඒ ප්‍රශ්න විසදන ලද භාග්‍යවතුන් වහන්සේ අනතුරුව ඒ මේ ආත්මභාව නිදානය, ආත්මභාවයෙන් ජාතය, ආත්මභාවයෙන් සමුට්ඨාපනය යන අර්ථයක් වදාරණ ලද්දේද එය සාධනය කරනුයේ

‘‘ස්‌නෙහජා අත්‌තසම්‌භූතා, නිග්‍රොධස්‌සෙව ඛන්‌ධජා; පුථූ විසත්‌තා කාමෙසු, මාලුවාව විතතාවනෙ’’ යන ගාථා වදාළ සේක.

නුගරුකෙහි කදින් හටගන්නා අරළු (ප්‍රරෝහ/පහතට ඇදෙන මුල්) යම්සේද එසේම තෘෂ්ණා ස්නේහයෙන් උපන් ඒ සියලු රාගාදී කෙලෙස් පංච උපාදානස්කන්ධ භේද ඇති ආත්මභාවයෙහි පහළ වූවාහුය. වනයෙහි පැතිර ගිය මාලුවා වැල මෙන් නන් අයුරු වූවාහු කාමයන්හි පැටලීගත්තාහු වෙති.

නුගරුකෙහි කදින් හටගන්නා අරළු (ප්‍රරෝහ/පහතට ඇදෙන මුල්) නුග රුකෙහි ආපෝ ස්නෙහය ඇති කල්හිම හටගනිත්. හටගනුයේ ද ඒ නුග රුකෙහි ඒ ඒ අතුවල හටගනිත්. එසේම රාගාදීහුද ආධ්‍යාත්මයෙහි තෘෂ්ණා ස්නෙහය ඇති කල්හිම හටගනිත්. එසේ හටගනුයේ ද ඒ ආත්මභාවයාගේම ඒ ඒ චක්ෂුරාදී ද්වාරාරම්මණ වස්තූන්හි හටගනී. මෙසේ කාමයන්හි නොයෙක් අයුරින් පැටලීගත් රාගය පස්කම් ගුණ වශයෙන්ද, ද්වේෂය ආඝාත වස්තු ආදී වශයෙන්ද, අරති ආදියද ඒ ඒ දෙයෙහි භේදයේ වශයෙන්ද යැයි සර්වාකාරයෙන් මේ සියලු කෙලෙස් පැතිර නොයෙක් ආකාර වී වස්තු,ද්වාර,ආරම්මණ ආදී වශයෙන් ඒ ඒ වස්තුකාමයන්හි පැටලී, එල්ලී, වෙලී, සිටියාහුය. කෙසේ පැටලී, වෙලී සිටියේද යත්, වනයෙහි මාලුවා වැල පැතිරගොස් ඇති අයුරිනි.

‘‘යෙ නං පජානන්‌ති යතොනිදානං, තෙ නං විනොදෙන්‌ති සුණොහි යක්‌ඛ; තෙ දුත්‌තරං ඔඝමිමං තරන්‌ති, අතිණ්‌ණපුබ්‌බං අපුනබ්‌භවායා’’

යමෙක් මෙසේ පැතිරපවත්නා වූ භේද සහිත වස්තුකාමයන්හි පැටලී, වෙලී ගිය ක්ලේෂ සමූහය යම් නිදානයකින් උපදී යැයි දනිත්ද, ඔවුහු එය තෘෂ්ණා ස්නේහ සහිත ආත්මභාවයෙහි උපදී යැයි දැන ඒ තෘෂ්ණා ස්නේහය ආදීනවානුපස්සනා ආදී ඤාණ ගින්නෙන් වියළවමින් දුරුකරයි. බැහැර කරත්. කෙළවර කරත්. යක්ෂය, මේ අපගේ සුභාෂිතය අසව. මෙසේ මෙහි ආත්මභාවය දැනගැනීමෙන් දුක්ඛාර්යසත්‍යය පිරිසිදීමද, තෘෂ්ණා ස්නේහය රාගාදී කෙලෙස් සමූහය දුරුකිරීමෙන් සමුදයාර්ය සත්‍යය ප්‍රහානයද දැක්වේ.

යමෙක් ඒ රාගාදී කෙලෙස් සමූහය දුරුකරත්ද, ඔවුහු නැවත නොම ඉපදීම් සංඛ්‍යාත නිර්වාණය පිණිස දීර්ඝ සංසාරයෙහි සිහිනෙනුදු නොඉක්මවන ලද, තරණය නොකළ විරූ, දුකසේ තරණය කළයුතු චතුරෝඝය තරණය කරත්. මෙයින් මාර්ග භාවනාවද, නිරෝධය සාක්ෂාත් කරගැනීමද දැක්වෙයි. යමෙක් මෙම කෙලෙස් සමූහය දුරුකරත්ද, ඔවුහු ඒකාන්තයෙන්ම මාර්ගය වඩත්. මාර්ගභාවනාවකින් තොරව කෙලෙස් දුරුකිරීමක් නැත්තේය. යමෙක් මාර්ගය වඩත්ද, ඔවුහු ප්‍රකෘති නුවණින්, දුකසේ තරණය කළයුතු කාමෝඝාදී චතුර් ඕඝය තරණය කරත්. මාර්ග භාවනාව ඔඝතරණය වේ.

මෙසේ චතුස්සත්‍ය දීපනය කරන්නාවූ ගාථාව අසන්නාහු ‘‘සුත්‌වා ධම්‌මං ධාරෙන්‌ති, ධතානං ධම්‌මානං අත්‌ථමුපපරික්‌ඛන්‌තී’’ යන ආදී කර්මය අනුව පවත්නාවූ පුඥාවට පිළිවෙලින් පැමිණෙනුයේ ඒ යහළු යක්ෂයන් දෙදෙන ගාථා කෙළවරම සෝතාපත්ති ඵලයෙහි පිහිටියහ. තවද ඔවුහු රන්වන්පැහැ සිරුරු ඇතිව දිව්‍යාලංකරණයෙන් අලංකාරව පැහැදීම එළවනසුළු වූහ.

සම්පාදක – පූජ්‍ය මහව ඤාණාලෝක හිමි