ලෝකනාථ වූ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ පිරිනිවී අසංඛ්‍ය කල්පයක් ඉක්ම ගිය පසු එක කල්පයක “මංගල, සුමන, රේවත, සෝභිත” යැයි බුදුවරු සිවුනමක් ලොව පහළ වූ සේක. උන්වහන්සේලාගෙන් ‘මංගල’ නම් බුදුරජාණන් වහන්සේ ‘උත්තර’ නම් නගරයෙහි ‘උත්තර’ නම් රජු නිසා ‘උත්තරා’ නම් මව් දේවියගේ කුසෙහි ඉපිද වැඩිවියට පැමිණි පසු ගිහිගෙය හැර දමා පැවිදිව ‘නා බෝධිමූලයේ දී’ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. එම බුදුරජාණන් වහන්සේ ‘සුදේව, ධම්මසේන’ යැයි අගසව් දෙනමක්ද ‘පාලිත’ නම් උපස්ථායක තෙර නමක්ද ‘සිවලී, අශෝකා’ යැයි අග්‍රශ්‍රාවිකාවන් දෙනමක්ද ලබමින් අසූඅටරියන් උස බුදු සිරුරු ඇතිව වැඩ ඉන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ශ්‍රාවක සන්නිපාත තුනක් විය. එනම්, පළමු වර භික්ෂූන් වහන්සේලා කෝටි ලක්ෂයක්ද, දෙවන වර කෝටි දහසක්ද, තෙවන වර අනූ කෝටියක්ද වශයෙනි. භාග්‍යවතුන් වහන්සේගේ වේමාතික සහෝදරයෙකු වූ (එක් පියෙකුට දාව උපන් වෙනත් මවකගේ දරුවා) ආනන්ද නම් කුමාර තෙමේ අනූකෝටි සංඛ්‍යාත පිරිසක් පිරිවරාගෙන දහම් ඇසීමට බුදුන් වෙත පැමිණියේය. එම පිරිස භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා පටිසම්භිදා සහිතවම රහත්ඵලය ලැබූ සේක.භාග්‍යවතුන් වහන්සේ එම අනූකෝටියක් රහතුන්ගේ පුණ්‍යභාවය දැක ශ්‍රී හස්තය දිගු කොට “ඒහි භික්ඛු” යනුවෙන් අමතා පැවිදි උපසම්පදාව ලබා දුන් සේක. එම අනූකෝටියක් වූ රහතන් වහන්සේලා ඍධිමය පා සිවුරු දරාගෙන සැටවස් පිරුණු මහතෙරුන් වහන්සේලාගේ හා සමාන ඇවතුම් පැවතුම් ඇතිව බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන වැඩහුන් සේක. මේ තෙවන ශ්‍රාවක සන්නිපාතය විය.

අන් බුදුරජාණන් වහන්සේලාගේ ශරීර ප්‍රභාවය අසූරියනක් පමණ විහිදෙන්නේය. නමුත් මංගල බුදුරජාණන් වහන්සේගේ එසේ නොවේ. එම ‘මංගල’ නම් සුගතයන් වහන්සේගේ ශරීර ප්‍රභාවය නොනැවතීම දසදහසක් සක්වලට විහිදෙමින් පවතින්නේය. ගස්, ගල්, පෘථිවි, සාගර ආදිය පමණක්ම නොව යටත් පිරිසෙන් සැලි ආදියද දැඩිව ගත් රන් පටකින් වෙලා සිටියාක් මෙන් වී බබලන්නට වීය. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලය තුළදී ඉර හඳ ආදියට ස්වකීය රශ්මියෙන් බැබළෙන්නට නොහැකි වීය. හිරු එළිය මනාව ඇති විටෙක මෙන් නිති පවතින බුදුරැසින් සත්ත්වයෝ දහවල ආහාර සොයමින් හැසිරෙත්. සවසට පිපෙන මල් පිපීමෙන් රාත්‍රියත්, පක්ෂීන් නාද කිරීමෙන් උදෑසනත් වශයෙන් දිවා රෑ පිරිසිඳ දැන ගනිත්.

අන් බුදුවරුන්හට මෙවන් ආනුභාවයක් කුමක් නිසා නොවන්නේද? අන් බුදුවරුන්හට එවන් ආනුභාවයක් නැත්තේ නොවේය. උන්වහන්සේලා කැමති වන්නේ නම් දසදහසක් සක්වලට නොව එයටත් වඩා පැතිරවීමට හැකිවන්නේය. නමුත් ‘මංගල’ බුදුරජාණන් වහන්සේ පෙර කළා වූ ප්‍රාර්ථනාවක් වශයෙන් සැම කල්හිම දසදහසක් සක්වලට විහිදෙමින් පවතින රශ්මිධාරාවක් වූ සේක.

ඒ ප්‍රාර්ථනාව කෙසේද යත්,

මංගල බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ත්ව කාලයෙහි අපගේ බුදුරජාණන් වහන්සේගේ වෙස්සන්තර ආත්මභාවය මෙන් වංකගිරි පර්වතයෙහි අඹුදරුවන් සමඟ වාසය කරන කල්හි එක් ‘ඛරදාඨික’ නම් යක්ෂයෙක් බෝධිසත්ත්වයන් වහන්සේගේ දාන ආධ්‍යාශය දැන බමුණු වෙසකින් පැමිණ දරු දෙදෙන ඉල්වීය. බෝසතාණන් වහන්සේද දරුවන් දන්දිය හැකිවන්නේ යැයි සතුටුව මහපොළොව කම්පා කරමින් දරු දෙදෙන දන් දුන් සේක. යක්ෂයාද එහිම සක්මන්මළුව කෙළවරට වී රාබු අල කන්නාක් මෙන් බෝ සතුන් බලා සිටියදීම දරු දෙදෙන කෑවේය. ගිනි ජාලාවක් මෙන් මුඛයෙන් ලේ වගුරුවමින් දරුවන් කන්නා වූ යක්ෂයා දෙස බැලූ බෝධිසත්ත්වයන් වහන්සේ කෙස් අගක් පමණකුදු දෝමනස්සයක් උපදවා නොගෙන “දුන් දානය මනාව දුන්නේය” යැයි සිතත්ම මහත් වූ ප්‍රීතියක් උපන්නේය. එවිට මේ කුසල බලයෙන් බුදුවන ජාතියෙහි බුදුසිරුරෙන් රැස්ධාරාවෝ විහිදෙත්වා යි ප්‍රාර්ථනා කළ සේක.

තව ද උන්වහන්සේ පෙර අන් ආත්මභවයක එක් බුදුරජාණන් වහන්සේ නමකගේ චෛත්‍යයක් දැක මේ බුදුරජාණන් වහන්සේට ජීවිතය පුදන්නට වටී යැයි සිතා රුවන් කැකුළක් බඳු සිරුර පන්දමක් වෙළන්නාක් මෙන් රෙදිකඩකින් වෙළාගෙන ලක්ෂයක් වටිනා රන් පාත්‍රයක් ගිතෙලින් පුරවාගෙන එහි වැටි දහසක් දල්වාගෙන එම ගිතෙල් පිරවූ රන් පාත්‍රය හිස මත තබාගෙන සිරුරත් දල්වාගෙන එම මහා සෑය ප්‍රදක්ෂිණා කරමින් තුන්යම් රැයම පහන් කළේය. අරුණ උදා වුවද ලොම් ගසකට තරමකුදු උණුසුමක් නොවීය. පියුම් ගැබට වැදි කලක් මෙන් විය.

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී – ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති” යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ එයමය.මේ කුසල බලයෙනුත් ‘මංගල’ බුදුරජාණන් වහන්සේගේ ශරීර ඕභාසය දසදහසක් සක්වලට විහිදී පැතුරුණු සේක.

බුදු රජාණන් වහන්සේගේ සමයෙහි අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ “සුරුචි” නම් බ්‍රාහ්මණයෙකුව ඉපිද භාග්‍යවතුන් වහන්සේ හා සමඟ කතාබස් කිරීමට පැමිණ මධුර වූ ධර්මකතා අසා හෙට දිනයේදී මාගේ දානය පිළිගන්නා සේක්වා යි ආරාධනා කළ විට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් කී නමකටදැයි ඇසූ සේක. එවිට බමුණා ‘ස්වාමීනි, කොපමණ භික්ෂූන් සිටිත්දැයි ඇසූ විට, පළමු සන්නිපාතයේදී භික්ෂූන් කෝටි ලක්ෂයක් වූහ යැයි භාග්‍යවතුන් වහන්සේ බමුණාට කී සේක.

එකල්හි බමුණා “ස්වාමීනි, එම කෝටි ලක්ෂයක් තරම් වූ සියලු භික්ෂූන් වහන්සේලා සමඟ හෙට දවසේදී මාගේ දානය ඉවසත්වා” යි භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කොට නිවසට ගොස් සිතනුයේ, “මම වනාහි මෙපමණ භික්ෂූන්හට කැඳ, බත් ආදී දානයන් පිදීමට අපොහොසත් වන්නෙක් නොවෙමි” නමුත් උන්වහන්සේලා හට වැඩ හිඳීමට මණ්ඩපයක් කෙසේ තනන්නේදැයි සිතත්ම යොදුන් අසූහාරදහසක් මත්තෙහි සිටින්නා වූ ශක්‍ර දේවේන්ද්‍රයාගේ පඬුපුල් අසුන හුණු විය. කාරණය කුමක්දැයි බලන සක් දෙවිදු හට මහබෝසත් කුමරා කෝටි ලක්ෂයක් බුදු පාමොක් මහසඟනට දානයක් දෙන්නේය. ඒ සඳහා මණ්ඩපයක් ගැන සිතන්නේය යැයි දැක, මමත් ගොස් එම දානයට හවුල් වී එම පිනෙන් කොටසක් ලබන්නෙමි යි සිතා වඩුවෙකුගේ වෙසක් මවාගෙන වෑ පොරෝ අතැතිව බෝසතුන් ඉදිරියෙහි පෙනී සිටියේය. අනතුරුව එම වඩුවා තමන් කුලී වැඩක් ඇතිදැයි ඇසීය. එවිට බෝසත් තෙමේ තමන් දන්නාවූ ශිල්පයක් ඇතිදැයි ඇසූ විට “මම නොදන්නා වූ ශිල්පයක් නම් නැත්තේය. යම්කිසි ගෙයක් හෝ මණ්ඩපයක් හෝ යම්කිසි වැඩක් හෝ ඇතිද එය කරන්නෙමියි වඩුවා කීවේය. “එසේනම් මාගේ වැඩක් ඇත” යි බෝසත් තෙමේ කී විට “ආර්යයන් වහන්ස කුමක්දැයි වඩුවා ඇසීය. එවිට “හෙට දින මා විසින් කෝටි ලක්ෂයක් බුදු පාමොක් මහසඟනට දානයක් පුදන ලදිමි, ඒ සඳහා උන්වහන්ස්ලාට වැඩහිඳීමට මණ්ඩපයක් කරව” යැයි බෝසතාණෝ කීවේය. “එසේනම් මම මණ්ඩපයක් කරන්නෙමි. මට වැටුපක් දීමට හැකි වන්නේදැයි වඩුවා ඇසීය. “දරුව හැකිවන්නේය” යැයි බෝසතාණෝ කී විට, “හොඳයි කරන්නෙමියි” කියා ගොස් එක් ප්‍රදේශයක් බලා යොදුන් දොළොසක්, දහතුනක් පමණ ප්‍රදේශයක් කසිණ මණ්ඩලයක් සේ සමතලා කළේය. සත්රුවන් මණ්ඩපයක් නංවන්නෙමි සිතා ඒ ප්‍රදේශය දෙස බැලූ විට එකෙණෙහිම පොළොව සිඳගෙන සත්රුවන් මණ්ඩපයක් පැන නැංගේය. එම මණ්ඩපයෙහි රන් කණු මත්තේ රිදී කළ ද රිදී කණු මත රන් කළ ද මැණික් කණු මත මැණික් කළ ද සත්රුවන් කණු මත සත්රුවන් කළ ද විය. එම මණ්ඩපයෙහි කිංකිණි දැලක් එල්ලමියි සිතූ විට එහි කිංකිණි දැලක් විය. එයින් මද පවනටද පඤ්ච තූර්යය භාණ්ඩයන් වැයෙන්නාක් මෙන් මදුර හඬක් නැගීය. එය දිව්‍යමය සංගීතයක් වැයෙන කාලයක් මෙන් විය. සුගන්ධ දාම, පුෂ්පදාම එල්ලේවායි බැලූ විට එසේම විය. කෝටි ලක්ෂයක් මහසඟරුවනට වැඩ හිඳීමට ආසන හා කුඩා මේස පැන නැගෙත්වායි බැලූ විට එසේද විය. මණ්ඩපයේ කොන් සතරෙහි දියසැල් නැංවීය. මෙසේ මහේශාක්‍ය ලෙස මණ්ඩපය නිමවා බෝධිසත්ත්වයන් වහන්සේ වෙතට ගොස් ආර්යයන් වහන්ස, නුඹගේ මණ්ඩපය බලා මාගේ වැටුප දෙනු මැනවැයි වඩුවා කීවේය. එවිට බෝධිසත්ත්වයන් වහන්සේ එම මණ්ඩපය දුටු මොහොතේ මුළු සිරුරම පස්වනක් ප්‍රීතියෙන් වෙළා ගත්තේය.

ඉක්බිති එම මණ්ඩපය දුටු මෙහොතේ බෝධිසත්ත්වයන් වහන්සේ සිතනුයේ, “මෙම මණ්ඩපය මිනිසෙකු විසින් කරන ලද්දක් නම් නොව, මාගේ දාන ආධ්‍යාශයට හා මාගේ ගුණයට ඒකාන්තයෙන්ම ශක්‍රභවන හුණු වූවා විය හැක. එහෙයින් ශක්‍රයා පැමිණ මේ මණ්ඩපය කළා විය හැක. එමනිසා මේ මණ්ඩපයෙහි එක්දිනක් නොව සත්දිනක්ම දානය දෙන්නෙමියි බෝසතාණෝ සිතීය. බාහිර දානයන් කොපමණ පිදුවත් බෝධිසත්ත්වයන් වහන්සේලාගේ සිත් නම් සතුටු කළ නොහැක. සැරසූ හිසක් හෝ සිඳ අඳුන් ගෑ ඇසක් හෝ උපුටා ප්‍රිය වූ හෘදමාංශය හෝ උදුරා දුන් කල්හිම බෝධිසත්ත්වයන් වහන්සේලාගේ සිත් සතුටු වන්නාහ. සිවි ජාතකයෙහි අපගේ බෝසත් තෙමේ රන්කහවනු පස්අමුණක් වියදම් කොට සතර වාහල් දොරටු හී ද, නගර මධ්‍යයෙහිද වර්ෂ දෙකක් දන් දුන්නද එයින් සෑහීමක් නම් නොවීය. එකල්හි ශක්‍ර දේවේන්ද්‍රයා බමුණු වෙසකින් අවුත් සිවි මහරජුගේ ප්‍රිය නෙත් දෙක ඉල්ලීය. එවිට අප මහා බෝධිසත්ත්ව උත්තමයාණෝ නෙත් දෙක දන් දෙන්නෙමියි සතුටු විය. එයින් කෙසඟක් තරමකුදු සිතේ වෙනසක් නම් නොවීය. මෙබඳු දානයන්ගෙන්ම බෝසත්වරු සතුටු වන්නාහ.

එමනිසා බාහිර දානයක් වූ මෙම දානය එක්දිනක් නොව සත්දිනක්ම දෙන්නෙමියි සිතූ සේක.

බුදුපාමොක් මහසඟරුවන එම මණ්ඩපයෙහි වඩා හිඳුවා ‘ගවපාන’ නම් දානයක් සත්දින පුරාවට පිදුවේය. ගවපාන නම්, මහත් මහත් සැලිවලට කිරි පුරවා එය ගිනි උඳුනෙහි තබා උකුවන තෙක් එය ගින්නෙන් පිස අනතුරුව හාල් ටිකක් දමා පැසුණු පසු මී පැණි, කුඩුකරගත් හකුරු, ගිතෙල් ආදිය දමා සකස් කරන ලද ආහාර වේ.

යොදුන් දොළොසක්, දහතුනක් තරම් වූ මණ්ඩපයද කෝටිලක්ෂයක් තරම් සඟරුවනට ප්‍රමාණවත් නොවුණු හෙයින් තම තමන් වහන්සේලාගේ ආනුභාවයෙන් ඒ ඒ තැන වැඩහුන් සේක. ඒ සා මහත් වූ බුදුපාමොක් මහාසංඝරත්නයට උපස්ථාන කිරීමට මිනිසුන්හට නොහැකි වූහ. එහෙයින් දෙවිවරුද භික්ෂුවක් හැර භික්ෂුවක් වශයෙන් හිඳ උපස්ථාන කළහ. අවසන් දිනයෙහි සියලු භික්ෂූන් වහන්සේලාගේ පාත්‍ර සෝදවා බෙහෙත් පිණිස ගිතෙල්, වෙඬරු, මී පැණි, උක්සකුරු ආදිය පුරවා තුන් සිවුරු සමඟ පූජා කළේය. නවක භික්ෂූන් හට ද ලක්ෂයක් වටිනා සිවුරු පිළි පූජා කළේය.

භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා දම් දෙසුම පවත්වන කල්හි මෙවන් දානයක් දෙන්නා වූ මේ මහාපුරුෂයා කවරෙක්දැයි අනාගතංශ ඤාණයෙන් ලොව බලා “මහා පුරුෂය, නුඹ දෙයාසංඛ්‍යකල්ප ලක්ෂයකට මත්තෙහි ගෞතම නමින් ලොව්තුරා බුද්ධ රාජ්‍යය ලබන්නේය” යැයි මංගල සර්වඥයන් වහන්සේ තෙවැනි නියත විවරණය දුන් සේක.

එය ඇසූ මහබෝසත් තෙමේ, අනාගතයෙහි ලොව්තුරා බුදු වන්නේ නම් ගිහිගෙයි විසීමෙන් කුමන අර්ථයක් දැයි සිතා සියලු සම්පත් අලුයම හෙලූ කෙළ පිඬක් සේ හැර දමා බුදුන් සමීපයෙහි පැවිදිව සියලු බුද්ධවචනය ඉගෙන පඤ්ච අභිඤ්ඤා අෂ්ඨසමාපත්ති ද උපදවා ආයු කෙළවර බ්‍රහ්මලෝකයෙහි පහළ වූ සේක.

මංගල බුදුරජාණන් වහන්සේ සියලු බුදු කිස නිමවා වර්ෂ අනූදහසක් ආයු විඳ පිරිනිවුණු සේක. එවිට දසදහසක් සක්වල එකවිටම අඳුරු විය. සියලු සක්වල වාසී මිනිසුන් හඬා වැළපුනහ.

“සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”

(ජාතකට්ඨකථාව ඇසුරෙන්)

සම්පාදක :

පූජ්‍ය පුවක්පිටියේ සුමංගලරතන හිමි.

 

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය
නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk